Tuesday, July 31, 2012

සඳ කින්නරාවි



කිඳුනියේ
කිඳුනියේ
මුසපත්කරන්
මන්මත්කරන්
මා හද රසවත්කරන්

සිලි සිලියෙන් පිනි මල් වැසි ඉසිනා
මේ රාත්‍රියේ
යුග පා තබන්
මිනි මෙවුලන් සලන්
මා සිත තුට වඩන්

Sunday, July 29, 2012

අළුත් මනාළි


රාමු කරන ලද පින්තුරවල ඇති දූවිල්ලක්ද නැතිවුණත් මම පිහදනවා. යුතුකමක් වගකිමක් ලෙස හෝ පිළිවෙතක් ලෙස නිරන්තරයෙන් නිරතවිය යුතු, සැබැවින්ම පිළිවෙත් යැයි කිව හැකි වූ දේවල මට දැන් තියෙනවා. පැයක් පාසා දිනපතා සතිපතා මාස්පතා.... මින් පසු වසරක් පාසා දිග්ගැස්සෙන එදිනෙදා කාරණා. සීලිමේ පංකාව කැරකෙන දිහා මම ටික වෙලාවක් බලන් හිටියෙ අපේ ඩෙඩින් ෆොටෝ එකත් දූවිලි පිහන රෙදි කෑල්ලත් දෙකම එකට අල්ලගෙන. අපේ පැත්තෙනම් ‍ෆෑන් ඕන නෑ. ගිනිකාස්ටකේට පෑවුවත් ගේ ඇතුළ සීතලයි. අපේ ගෙදරට පහළින් පුංචි ඇළ පාරක් ගලන් ගිය නිසාත් කෙහෙල් වත්තක්ම එහා පැත්තෙන් තිබුණු නිසාත් ගස් වදුල නිසාත් අමුතුවෙන් හුලං ගහගන්නවත් සිකලක්වත් අපිට කවදාවත් ඕන කළේ නෑ.

Saturday, July 14, 2012

අග්නි



වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... පරිසර වර්ණනය නම් කරන්න අමතක වුණා. සාමාන්‍යයෙන් කතාවක් පටන් ගද්දි ගඟක් ගැන, කුරුල්ලො ගැන, කුඹුරක් ගැන, ඉර හරි හඳ හරි ගැන පොඩිපහේ වැණුමක් කරන එක සිරිතනෙ. මම හිතුව වෙනස් විදිහකට පටන් ගන්න. වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... ඇයි ඉතිං පරිසර වර්ණනයක්. මේ වගේ සුන්දර ගැහැණියක් උදේ පාන්දරින් කරන්න තියෙන දාහක් වැඩ කන්දරාවක් දඩිබිඩියෙ ඉවර කරල ඔෆිස් එකේ ඇතුල් කාමරේ පඩි ටික නැගගද්දි එයාගෙ හිතේ තියෙන සැනසිම... හැමදාම වගේ අදත් සමන්මලී එද්දි මම හිටියෙ පොතක් කියව කියව. ඒත් එයා මගේ ළඟට එන බව මට දැනෙන්නෙ ඉවෙන් වගේ. මම සමහරදාට සමන්මලී එන දිහා හොරෙන් බලාගෙන ඉන්නව ඇති කියල මට හිතුණෙ එයාගෙ ලස්සන ගැන එයා එක්ක මම කියද්දියි. පුරුදු විදිහටම එයා මගේ ගාවට ඇවිත් හිටගත්තට පස්සෙ මම පොතෙන් මූන උස්සලා එයා දිහා බැලුවෙ කියවමින් හිටි පිටුවටවමතේ දබරඟිල්ල තද කරගන්න ගමන්.

“හායි සුදා.. ගුඩ් මෝනිං. අද මොකෝ කලින්ම...”

“කලින්ද? කීයද වෙලාව.. නැගිටිද්දි හය උනා අනේ. උයල බබාව වොශ්කරල කවල ටක්ටක් ගාල ලෑස්ති වෙලා දුවගෙන ආවෙ.”

Wednesday, July 11, 2012

කන්‍යාවී....


බිහිකළා ඔහු
අපුර්ව වූ
කන්‍යාවියක්...
දශමයෙන්
දශමයට
සැලකිල්ලෙන්
නොහෙලෙන ඇසිපියෙන්
අවධානයෙන්
අවධාරණයෙන්
ගොඩනැගුවා
ඇය,
ඔහු
ඔහු වෙනුවෙන්ම...
එත තැනක
එක විදිහකට

සමුගැනිම



“හෙලෝ.. ආ කොහේද ඉන්නෙ?”
“අනේ බං උඹ ආවද? මම තවම ඔෆිස් එකේ..”
“හරි මට ගෑස් වගේ . උඹ එනකන් මම බත් එකක් කන්නම් . සිටි සෙන්ට එකට වරෙන්.”
“හරි හරි හලෝ මම මෙහෙන් දැන් පිටත් වෙනවා. ඉක්මනින් එන්නම්.”
“හ්ම්. මම සිටි සෙන්ට එකේ සරසවියෙ ඉන්නවා. වරෙන්.”
“ඕකේ. බායි.. බුදුසරණයි..”
“බුදුසරණයි..”

මම ඔෆිස් එකෙන් පිටත් වෙද්දි මහ වැස්සක් පටන් අරන්. මේ වැස්සෙ මාළිගාවෙ යන්නෙ කොහොමද කියල හිත හිතා මම එළියට බැස්සෙ. ඔෆිස් එක ගාවම ටිකක් එහාට ගියාම නුවරට බස් එක ගන්න පුළුවනි. හෑන්ඩ් බෑග් එකත් එල්ලන්, ඒ අතින්ම මම සාරියේ රැළි ටික එක අතකට කරල උස්සලා අල්ල ගත්තෙ පාරෙ මඩ වලින් මගේ අලුත් සාරිය බේර ගන්න ඕන නිසා. අනිත් අතින් ඉහලගත්තු තුඩෙත් එක්ක මට විනාඩි ගණනක් බස් එකක් එනකත් ඉන්න වුණා.. කරුමෙ, හදිසි වෙලාවටමයි බසුත් නැත්තෙ.. චිරී...ස් ගාගෙන මහ හයියෙන් යන වාහන රෝද වලින් විසි වෙන වතුරමල් නිසා මගේ සාරිය පරිස්සම් කරගන්න දරපු වැයම අත් හරින්න සිද්ද වුනේ හරිම ඉක්මනින්. නොදකින් විතරක්.. මුන් හිතන් ඉන්නෙ මුන් සක්කරය වගේ යන්න ඕන කියල වෙන්න ඇති රෝද හතරක නැගල හතර අතින් වහ ගත්තම.. මේ මගුල් බස් අද නැත්තෙ ඇයි මංදා... වෙලාවට සීටිබී කට්ටක් ආව නිසා මම කුඩෙත් අකුලන්න හදන ගමන්ම බස් එකට ගොඩ වුණා.. පඩිය‍ට ගොඩ වෙන කොටම බස් එක ඉක්මනින් ඇද්දුවේ මගේ කුඩේ පස්සට ඇදිල යන හුළං පාරට අහුවෙන අතරෙමයි.

Tuesday, July 3, 2012

පාර දිගේ මගේ ගමන


හරියට කුරුලෑ පිරුණු මිනිහෙක්ගෙ මූනක් වගෙයි අපේ පාර ඉස්සර. තැනින් තැන උස් පහත් වෙච්ච වලගොඩැලි, ගැලවුණු කළුගල් කැට. සමහර වංගු වල වැලි දාලා හෝ වැලි රුදිලා. ඒ තැන් වලින් යද්දි මගේ දත් ටික හිරි වැටෙනවා දැන් වැටෙයි දැන් වැටෙයි වගෙයි ඒ වැලි පාරෙ පරිස්සමින් අඩිය තියන්නෙ. මම හරි ආසයි පාරෙ යන ගමන් ගල් කැට වලට පයින් ගහන්න. කොල්ලන්ට වගේ ඉලක්කෙ බලල ගහන්න මට පුළුවන් වුනේ කාලයක් තිස්සෙ ගල් කැට සිය දහස් ගණනකට පයින් ගහල ගහල ගහලම හුරු වුණාට පස්සෙ. සමහර වෙලාවට එකම ගල් කැටේට දිගටම පයින් ගගහ පාරෙ ලොකු දුරක් අරන් එනවා. ගල් කැටේ අම්මයි තාත්තයි පුංචි ගල් කැටේ නැතිව දුක් වෙනවා ඇති... ඒත් මට මොකෝ.. හරිම කරුමයක් මේ පාරෙ යන එක. කදු පල්ලම් කදු කදු පල්ලම් කදු... කෙලවරක් නැ... කන්දක් නැලග කන්දක් බහිද්දි ආය කන්දක්.. සිය දහස් වර හිතිං සාප කළා මම මේ කැලෑවම හොයන් ඇවිත් මෙහෙ පදිංචි වුණු ආච්චිටයි සීයටයි, ගෙයක් නැතිව බින්න බැහැපු තාත්තටයි.