Monday, June 24, 2013

මවිසින් ඇඳි සිතුවම් සහිතව ගෙන එන පළමු ළමා කථාන්දරය - මම කුරුල්ලෙක් නම්




තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක එකට ඉන්න බැරි වුණා.

එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස කතාත් එකතු වුණ නිසා.

Sunday, June 23, 2013

Tuesday, June 18, 2013

උරුම ක්‍රියාවලිය / Heritage as a process


Heritage formation

1.       Discovery by birth (ජන්ම උරුම)
2.       Achievements (සාධිත උරුම)
3.       Acquisition  (ආරෝපිත උරුම)

උරුම දාමය / heritage chain

උරුමය යනු එකිනෙක සහසම්බන්ධ වූ දෙයකි. ඉහත පරිදි, උරුමය ප්‍රභවය වන ක්‍රමවේද තුනකි. යම් දෙයක් උරුමයක් බවට පත් වන්නේ මෙකී ක්‍රමවේද කවරකින් හෝ එය උරුමයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුවය.


1.       උපතින් / ජන්මයෙන් උරුමයක් බවට පත් වීම.

උදා :-
ජාතික කොඩිය
විශ්ව කීර්තියට පත් යම් කලාකරුවෙකුගේ නිර්මාණ (මෙහිදී ඔහු පුද්ගල ස්වරූපයෙන් උරුමයක් බවට පත් වීමට ඒ දක්වා පසු කළ අවධියේදී සැලකිය යුතු තරම් බලපෑමක් සමාජයට සිදු කර තිබිය යුතුය. ඔහු සමාජය තුළ උරුමයක් ලෙස නම් වූ පසු එතැන් පටන් ඔහුගේ සියලු නිර්මාණ උපතින්ම උරුම ගණයෙහි ලා ගැනේ)

Thursday, June 13, 2013

පුරාවිද්‍යා න්‍යාය / සිද්ධාන්ත හැඳින්වීම


පුරාවිද්‍යාව යනු,

අතීත මානවයාගේ හැසිරීම් රටා සහ සංස්කෘතික වෙනස්වීම්, ද්‍රව්‍යාත්මක අවශේෂ තුලින් අධ්‍යයනය කිරීමයි.




මානව පරිනාමයේ මුල් යුගයේ සිට පසු කළ විවිධ අවධීන්හිදී විශෞෂතා හඳුනාගත හැකි වන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යෘත්මක සංස්කෘතික සාධක මගිනි. එනම් මානවයා විසින් ඒ ඒ යුගයන්හිදී භාවිත කළා වූද අදටද කැණීම්, ගවේශන ඔස්සේ අනාවරණය වන්නා වූද මානවයාගේ භාවිතයන් පිළීබඳ තොරතුරු දක්වන විවිධ ද්‍රව්‍යයි.

Wednesday, June 12, 2013

මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා ආදේශනය




 සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලිය

පැරණි ජන කණ්ඩායම් වල හැසිරීම් රටා අධ්‍යයනයේදී පුරාවිද්‍යඥයන් විසින් සමීප අධ්‍යයනයට ගනු ලබන්නේ වර්තමාන ගෝත්‍රික ජනතාවයි. මෙහිදී ඉපැරණිම හැසිරීම් රටා තත්වාකාරයෙන් අධ්‍යයනය කිරීමේ නොහැකියාව පැවතියද යම් තාක් දුරකට පැරණී සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ‍සැලසේ. මානවවංශවිද්‍යා විශ්ලේෂණයන් පුරාවිද්‍යාවේ ප්‍රධාන න්‍යායක් ලෙස අධ්‍යයන කටයුතු වලදී පාදක කරගනු ලැබෙන්නේ මෙලෙස අතීත සමාජ ප්‍රතිනිර්මාණය උදෙසා එමගින් ලබාගත හැකි සමීප නිදර්ශන රැස නිසාවෙනි. මිනිසාගේ සමාජ සංස්කෘතික හැසිරීම් රටා අධ්‍යයනයේදී මානව කාති මගින් ඉදිරිපත් කරන්නාවූ දත්ත පාදක කරගත හැකි සේම, එයට වඩා දත්ත ප්‍රමාණයක් වත්මන් ප්‍රාථමික ජන කණ්ඩායම් අධ්‍යයනයේදී ඔවුන්ගේ ‘ඇදහිලි හා විශ්වාස’ පදනම් කරගනිමින් අර්ථවිග්‍රහ කිරීමේ හැකියාව පවතී.

Tuesday, June 4, 2013

ගමන


ඇය යාන්තමට වමතින්, ඈට ඉදිරියෙන් සිටි ඇගේ ඉඟටියෙන් අල්ලා ගත්තා. මෙතෙක් වේලා තිබුණු විදිහටම, වයර් දිගේ ඇදි ඇදි ගිහින් කනක් අස්සෙ ඇහෙන විරාජ්ගෙ සිංදු තාලෙට දකුණතේ ඇඟිලි ඇගේ කලවය උඩ තාල ඇල්ලුවා. ඉය’ෆෝන් එකේ අනිත් අන්තය සම්බන්ධ වුණේ ඉදිරියෙන් හිටපු නාගේශ්වරීවරීගෙ එක කනකට. හවුලේ සිංදු අහගෙන පාන්දර හිරිගඩු පිපෙන සීතලේ ඇටමිදුලු කාවද්දන සීතල හොයාගෙන යන අපූරු ගමන ගැන දෙන්නටම තිබුණෙ කෝඩුකාර ආසාවක්. ඒ ආසාවට වඩා කුතුහලය ඒ හිත් ඇතුලෙ කැරළි ගහන්න ගත්තේ හෙල්මට් කපාගෙන මූණෙ අහුමුළු හොයන සීතල හුළ‍ඟෙ කැරලිකාරී බව වගේමයි. අටබාගෙ පහු කරන් යද්දි නුවරඑළි හීතල ටිකෙන් ටික දැනි දැනී තිබුණා. ඉදිරි ආවරණයක් නැති හෙල්මට් එක ඇතුලෙ දඟර ගහන තෙත හුළඟ ඇගේ වගේම නාගේශ්වරීගෙත් මුහුණ හිරි වට්ටන බව ඇය හිතුවා.

“නිශු, ගලවන්න ඔය හෙල්මට් එක” ඈ පැවසුවේ ඇගේ කෙහෙරැළි වලටත් නිදැල්ලේ යන්නට ඉඩ හරිමින් ඇගේ හිස් ආවරණය ගලවා අතේ රඳවාගන්න ගමන්.

“අපෝ බැ... දැන්නම් කොහොමත් බෑ. කන් දෙකත් අයිස් වෙයි” ඒ කටහඬ මවා පෙන්වූ සිහින් දඟකාර හිනාව නාගේශ්වරීට පසුබා සිටි නිසා ඈ නොදුටුවත්, ඇගේ පිළිතුරු හිනාව ඒ නොදුටු සිනහවට පිළිතුරු කීවා.

“අනේ රාණි, මට විඳින්න ඕන ඔයාගෙ කොණ්ඩෙ පිච්චමල් සුවඳ. ඉරත් නැති මේ පාන්දර තෙත්වෙච්ච සීතල හුළඟත් එක්ක ඒ සුවඳ කොයි තරම් සුවඳ ඇත්ද කියල ඔයා දන්නවද?”

Monday, June 3, 2013

උරුමය HERITAGE


හැඳින්වීම

උරුමය යනු මිනිසා විසින් “ගොඩනගන ලද” සංකල්පයකි (constructed idea). උරුමය ලෙස අප සලකන්නේ සංස්කෘතිකමය වශයෙන් පොහොසත් වටිනාකම සහ සංකල්පමය වශයෙන් විශාල වැදගත්කමක් ලබා දෙන්නා වූ දේවල්ය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයද යන පැනය නැගිය යුතුය. අපගේ උරුමය ලෙස අප නම් කළ යුත්තේ එවන් බාහිර ඔපයෙන් අනූන, තම සිතැඟියාවන් අනුව විශේෂ හිමිකමක් දුන් තෝරාගත් යම් යම් අංශ පමණක්ද යන්න විමසීම වැදගත් වේ.
HERITAGE - මෙම සංකල්පය යම් යම් දේ ප්‍රතික්ෂේප කර, යම් දේ පමණක් තෝරාගැනීමකට ලක් කරයි. මෙම තෝරාගැනීම පුද්ගලානුබද්ධ වන අතරම, යම් ජන සමාජයක, සංස් කෘතියක, ජාතියක, රටක දුර්වල දුප්පත් සාධක බැහැර කිරීමත්, පොහොසත් වටිනාකමක් ආරෝපණය කළ හැකි සාධක පමණක් උරුමය ලෙස නම් කිරීමත් මෙහිදී සිදු වේ.