Thursday, March 13, 2014

බන්ධනාගාරයේ පැයක් හා දිය වැටකොළු


දාලා තියන මාතෘකාව දැක්කම හිතෙනව ඇති මේ මොකද්ද කියන්න යන්නේ කියලා. මම අද කියන්නේ දවස් දෙකකදි කියන්න තියන කතා දෙකක් ගැන. කතා දෙක එකතු කරන්න හේතුව, මුලින් කියපු ඔය බන්ධනාගාරෙ කේස් එකට දාන්න කිසි 4ටෝ එකක් මා ගාව නැති එක. මොකද මට තියෙන්නේ දිය වැටකොළු වල 4ටෝස් විතරයි. හේතුව බන්ධනාගාරෙ ඇතුළට ජංගම දුරකථන ගෙන යාම තහනම් වීම.

හරි, මම බන්ධනාගාරෙන් කතාව පටන්ගන්නම්. මේක වුණේ අද. ඒ කියන්නේ මං දිය වැටකොළු ගැන දැනගත්තට පස්සේ. දියවැටකොළු දැක්කේ අඟහරුවාදා. ඉතිං දෙවෙනි කාරණේ මං මුලින්ම කියන්න හිතුවා. අපේ ආයතනයෙන් සම්ප්‍රදායික කලා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ලංකාව වටේ ප්‍රවීණ ශිල්පීන්ගෙ මූලිකත්වයෙන් ගුරු ශිල්පි පංති කියල පංති විශේෂයක් පවත්වනවා. ඉන් එකක් බදුල්ල බන්ධනාගාරයේත් තියනවා. ඒක පොල් කටු ආශ්‍රිත නිර්මාණ බන්ධනාගාර රැඳවියන්ට පුහුණු කරන සය මාසික පාඨමාලාවක්. ඒක දැනට පවත්වගෙන යන්නේ නෙල්කා දිලානි කියලා පොල් කටු නිර්මාණ වලට දක්ෂ ගුරු ශිල්පිණියක්. අපි ආයතනමය මට්ටමින් යනවා ඒ පංති අධීක්ෂණය කරන්න. ඉතිං අද ඔන්න පලවෙනි වතාවට මම බන්ධනාගාරෙ ඇතුළට ගියා. පළවෙනි වතාව වෙන්න හේතුව, ඔය කියන ගුරු ශිල්පී පන්තිය 2014 වර්ෂයට පටන් ගත්තේ ගිය 06 වෙනිදා වීම. ඒ දවසේ ඉඳන් සතියකට පාරක් මා යා යුතුයි පංතිය බලන්න. අද මාත් එක්ක අපේ සහකාර අධ්‍යක්ෂ තුමාත් ආවා. එයා ආවේ මගේ වෙලාවට. පළවෙනි වතාවට බන්ධනාගාරෙට යනව කියන්නේ ඒක මට අමුතු අත්දැකිමක් ඇත්තටම.