Thursday, May 1, 2014

අළුතින්ම එළිදකින මගේ සිතුවම

මෙම සිතුවම මවිසින් සෙන්ටිමිටර 55.9 x 76.2 ප්‍රමාණයේ කැන්වස් පැනලයක් මත ඇක්‍රලික් සායම් භාවිතයෙන් අඳින ලද්දකි. මිලදී ගැනීම් සඳහා විමසීම් මාගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ සිදු කළ හැකි අතර එයට මෙතැනින් පිවිසෙන්න.


by :- Thilini Shalwyn
2014
acrylic on canvas


Thursday, March 13, 2014

බන්ධනාගාරයේ පැයක් හා දිය වැටකොළු


දාලා තියන මාතෘකාව දැක්කම හිතෙනව ඇති මේ මොකද්ද කියන්න යන්නේ කියලා. මම අද කියන්නේ දවස් දෙකකදි කියන්න තියන කතා දෙකක් ගැන. කතා දෙක එකතු කරන්න හේතුව, මුලින් කියපු ඔය බන්ධනාගාරෙ කේස් එකට දාන්න කිසි 4ටෝ එකක් මා ගාව නැති එක. මොකද මට තියෙන්නේ දිය වැටකොළු වල 4ටෝස් විතරයි. හේතුව බන්ධනාගාරෙ ඇතුළට ජංගම දුරකථන ගෙන යාම තහනම් වීම.

හරි, මම බන්ධනාගාරෙන් කතාව පටන්ගන්නම්. මේක වුණේ අද. ඒ කියන්නේ මං දිය වැටකොළු ගැන දැනගත්තට පස්සේ. දියවැටකොළු දැක්කේ අඟහරුවාදා. ඉතිං දෙවෙනි කාරණේ මං මුලින්ම කියන්න හිතුවා. අපේ ආයතනයෙන් සම්ප්‍රදායික කලා ව්‍යාප්ත කිරීමේ අරමුණින් ලංකාව වටේ ප්‍රවීණ ශිල්පීන්ගෙ මූලිකත්වයෙන් ගුරු ශිල්පි පංති කියල පංති විශේෂයක් පවත්වනවා. ඉන් එකක් බදුල්ල බන්ධනාගාරයේත් තියනවා. ඒක පොල් කටු ආශ්‍රිත නිර්මාණ බන්ධනාගාර රැඳවියන්ට පුහුණු කරන සය මාසික පාඨමාලාවක්. ඒක දැනට පවත්වගෙන යන්නේ නෙල්කා දිලානි කියලා පොල් කටු නිර්මාණ වලට දක්ෂ ගුරු ශිල්පිණියක්. අපි ආයතනමය මට්ටමින් යනවා ඒ පංති අධීක්ෂණය කරන්න. ඉතිං අද ඔන්න පලවෙනි වතාවට මම බන්ධනාගාරෙ ඇතුළට ගියා. පළවෙනි වතාව වෙන්න හේතුව, ඔය කියන ගුරු ශිල්පී පන්තිය 2014 වර්ෂයට පටන් ගත්තේ ගිය 06 වෙනිදා වීම. ඒ දවසේ ඉඳන් සතියකට පාරක් මා යා යුතුයි පංතිය බලන්න. අද මාත් එක්ක අපේ සහකාර අධ්‍යක්ෂ තුමාත් ආවා. එයා ආවේ මගේ වෙලාවට. පළවෙනි වතාවට බන්ධනාගාරෙට යනව කියන්නේ ඒක මට අමුතු අත්දැකිමක් ඇත්තටම.

Monday, February 24, 2014

ඉන්ටවිව් එහෙකට ගියෙමි

පුලපුලා බලා හිටි දවස් ගානකට පස්සෙ ඔන්න මමයි නංගියි ගියා කොළඹ පැත්තේ. ඒ අපේ ජීවිත වල හැරවුම් ලක්ෂයක් ලකුණු කරන්න තරම් වටින දවසකට කලින් දා පට්ට දවාලේ. තනියට අපේ අම්මත් ආවා. කොහොමින් හරි පහුවදා ඉන්ටවිව් එකට එන්නය කියල තිබුණෙ උදේ හතරට. ඒ හන්දා බොහොම දුර බැහැර ඉඳන් එහෙ ගිය අපි ඒ ලඟ ගෙදරක නැවතුණා. අපි ඉතිං නැවතුණේ අම්මගෙ කැම්පස් කාලේ බොක්කෙ ෆිට් එහෙකගෙ ගෙදර. අංකලුයි ඇන්ටියි අම්මයි දෙන්න තුන්දෙනාම එකම කැම්පුස් එකේ නිසා රස කතා ගොඩයි. හප්පේ අපේ කන් පිරිලා ඉතිං එදා. පහුවදා ඉන්ටවිව් එක හෙනම කට්ටක් කියලා දැන දැනත් හිටි නිසා කලින් නිදාගන්න හැදුවට කද්දිම රෑ 11 වුණා. ඉතිං මොන නින්දක්ද....

අපි දැනන් උන්නා ෆිසිකල් බලද්දි ඩිප්ස් ගහන්න දෙනවය කියලා. ඉතිං අපිට නිදාගන්න දුන්න කාමරේට ගියායින් පස්සෙ නගා කීවා එයාට ඩිප්ස් ගහන හැටි කියා දෙන්නය කියලා. මමත් සැදී පැහැදී බිම බඩගාගෙන වැඩේට ලෑස්ති වෙද්දි ඒ ගෙදර නගා ආවය කියමුකො කාමරේට... මම ඇඳ ගාව බිම. ඩිප්ස් ගහන්න ඔන්න මෙන්න ඉරියව්වෙන්. ඒ නංගි බලන්ට ඇති මේ මොන විකාරයක්දැයි කියලා, ආපු කාරියත් නොකරගෙනම යන්ට ගියා.

Thursday, February 13, 2014

නවකවදය, සරසවිය හා සරසවි කුමරිය හා බැඳි මිහිරි මතකයේ මගේ අත්දැකිම - 2

එක ලියල ගොඩක් කල්. ඒක මෙතනින්

සරසවිය.... පෙර දිනෙක එය මට සිහිනයක්ම පමණක් විය. එහෙත්, “සතීගේ කතාව නම් වූ අපූර්ව නවකාතාව මා ඇදගෙන ගොස් ඒ සොඳුරු වු සරසවි සිහිනය තුළ තනි කළේය. ඉදින් එක් දිනක මවත් පියාත් කැටුව නවක සරසවි සිසුවියක ලෙස හන්තාන කන්ද පාමුළ අති උතුම් අන්දර කඩේට ගොඩ වැදීමේ මහත් භාග්‍ය මා ලැබීමි. එවක අප එය දැන සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෙසිනි. නමුත් ලොව සැමට එය university of peradeniya වන විට අපටනම් එය එකම එක ‘හන්තාන කන්ද පාමුළ අන්දර කඩය ම විය. මට මෙන් අප බහුතරයකට අවැසි වූයේ සරසවි සිහිනය තුළ අප පැතූ සියල් සපිරි රසබර දෑ එක බිඳකුදු නොහැර එලෙසින්ම අප තුළට අරා ගැනිමයි.

“ටිකක් සංවරව හිටහන්. උඹේ කට නිසාම උඹ අමාරුවේ වැටෙයි. මේ හැම තැනම ජ්‍යේෂ්ඨයෝ ඉන්නවා

Sunday, February 9, 2014

සමුගනිමු ගුල්සාරි


“.... ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යමින් නැගිට ගන්නට හා හා පුරා කියා වෙර ගත් පළමු අවස්ථාවේ සිට පැවතියා වූ තමාටම විශේෂ වු ගමන් ලතාව රැක ගන්නට උත්සාහ දැරීය........... දිගු ලොමින් ගහණ ගෙලැති උගේ මවු වෙළඹ දිස් වූයේ උණුසුම් කිරි පැහැති වලාවක් පරිද්දෙනි.... ඇගේ තණපුඩු දැඩි වූ අතර ඉන් ගලා ආ කිරෙහි මිහිරෙන් හා අධික බවින් ගුල්සාරිට ඉස්මුරුත්තා ගතියක් පවා දැනුණේය.... අම්මා - යන මේ සියල්ලම එකම එක කිරි උගුරක අඩංගුව තිබුණේය...... ගෙලෙහි ලොම් ගහන වූ විසල් වෙළඹද තදැති මවක් වන බවක් පෙනිණි. නුවුවමනා හිරිහැර ගුල්සාරිගෙන් පැමිණෙන විට ඇය කළේ පැටවාගේ අර මදක් රිදෙන්නට හැපීමය. තව දුරටත් ඇති තරම් බොන්නට කිරි නොවී. ඌට තණ උලා කෑමට සිදු විය....


කාලය නම් එයයි. එය හිටිවනම නවතින්නේ නැත. වුවමනා වුවද නවතාලිය නොහැක. උහු ළඟා වි සිටියේ එහි අවසානයටය. තව දුරටත් කාලය හා තරඟයේ පැටලී දිවිය නොහැකි වූ අසු සිය උර මත උපතේ සිට පටවාගෙන පැමිණි බර සැහැල්ලු කිරීමට සුදානමින් සිටියේය.

“අසුගේ මහළු, පීඩිත හදවත වේදනාවෙන් පෙළුණු අතර කරපටිය හුස්ම ගැනිම තවත් අසීරු කළේය. ලිස්සා ගිය සෑදලයේ පටි අසුගේ සම කපාගෙන ගොසිනි. කරපටියේ වම් පැත්තේ යටින් වූ කිසියම් තියුණු උලක් දිගින් දිගටම ගෙලෙහි ඇනෙමින් පැවතිණි......

Friday, February 7, 2014

දියතලාව පසුකර හපුතලේ දක්වා සීතල දිනෙක උණුහුම් හදවත් සොයා

අද මුහුණ දෙන්න වුණේ ජීවිතේ අපූරුම අත්දැකිමක්. ඒ නිසාමයි මගේ බ්ලොග් එකේත් අලුත් කැටගරියක් මේ වෙනුවෙන්ම විවෘත කරන්න ඕන කියලා හිතුණේ. ඔන්න ඒ විදිහටයි මගේ “ක්ෂේත්‍ර චාරිකා කැටගරිය අමුතුවෙන් ලියවෙන්නේ. 



අද බදුල්ල දිස්ත්‍රික්කෙට පුදුම සිතලක් තිබුණ දවසක්. ඒ බව මට දැණුනෙ වෙනදටත් කලින් නැගිට්ටුන නිසා. ඒ නැගිට්ටුනෙත් සිතල වැඩි කමට නිදාගන්න බැරිව. අද වගේ සිතලම සිතල දවසක හපුතලේ වගේ තවත් සිතල වැඩිම දිහාවට යන්න දාගත්තු ගමන ගැන මම මටම හිතින් බැන ගත්තට පුදුම ආසාවක් තිබුණා ඒ පැත්තේ ඇවිදලා එන්න. ඉතිං සීතල තොච්චර ඇඟට වද දුන්නත් ඇඟ දන තරම් කූල් වුණ වතුරෙ පෙඟිලා ඇවිත් සාරිය පටලගෙන යන්තමින් 8 වෙද්දි බෝඩිමෙන් පිටත් වුණා. බදුල්ල කොළඹ බස් එකකට ගොඩ නූනේ යන ගමන් ජංගමයගෙ සටහන් කරගන්න ලස්සන පරිසරේ දර්ශන ටික මගහැරේවි කියලයි. ඔන්න ඉතිං පැය ගානක් ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණ බණ්ඩාරවෙල බස් එක යන්තම් පණ ගහල ගත්තා සීතලටත් ටටා කියාගෙන. මම පෙරුම් පුරල පුරලත් මෝඩයා වගේ වාඩි වෙලා තියෙන්නේ අරින්න බැරි ජනේලයක් ගාවයි කියමුකො. ඉතින් මක් කරන්නද..... අඟල් දෙකක් විතරක් ඇරගන්න පුළුවන් වුණ ජනේලෙ අස්සෙන් ජංගමයා රිංගවලා ෆොටෝවක් දෙකක් ගත්තා.

Tuesday, February 4, 2014

මාතෘ දේවතා




"එයාට හොඳ කරන්න බැරි ලෙඩක්" 


නගරෙ පුරා කතාව පැතිරිලා ගියේ එහෙම. අපි හිටියෙ ලොකු නගරෙක. තනි තනි වශයෙන් සීමිත ඉඩක පැතිරිලා. නගරෙටම හිටියෙ අපි ටික දෙනයි. හරියටම කීවොත් දහ දෙනයි. අපි වගේ සිය ගුණයකින් වැඩි ගොඩනැගිලි අපේ නගරෙ තිබුණා. ඒත් මුලින් කිව වගේ අපි හිටියෙ අපි අපිව පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් සීමිත ඉඩක. ඒ නිසා නගරෙ පුරා කතාව පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. වැඩිම වුණොත් තත්පර දහයක් පහළොවක්. 

නගරෙ අපේ කොටස අපි නම් කළේ ‘නොනිදන උදානය’ කියලා. ඇත්තම කීවොත් ඒකට හරිම හරි තේරුමක් අපි දැනන් හිටියෙ නැහැ. ඒත් කිසි හැලහොල්මනක් නැතිව නිදන හිස් නගරෙකට අපේ ආගමනය කන්කරච්චලයක් වුණා වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දහ දෙනා තීරණේ කළා අපේ කොටසට මේ නම දෙන්න. අපි ඉන්න ගොඩනැගිල්ලේ තුන් වෙනි තට්ටුවේ කාමර දහයක් මුලින්ම අපි අපි වෙනුවෙන් වෙන් කර ගත්තා. හේතුව සුන්බුන් වලින් ටිකක් හරි නිදහස් වෙලා තිබුණෙ මේ ‍ඉහළ‍ කොටස් වීම. කොහොම වුණත් විසාල නගරෙ අසීමාන්තික පැතිරීමත් එක්ක බැලුවම අපි එක්කෙනෙක්ට මීට වඩා දේපල හිමිකමකට උරුමකම් කියන්න පුළුවන් වුණත්, කාගෙන්වත් ඒකට තහනමක් නොතිබුණත් දේපල වලින් අපි කරන්න ඕන දෙයක් දැනන් හිටියෙ නැහැ. ඇත්තටම එහෙම අයිතිය කියාපෑවට කරන්න පුළුවන් වුණේ මොකද්ද? හැමදාම වගේ බඩගිනි වෙලාවට තාමත් ඉතිරි වෙලා තිබුණු තැන් වලින් ටින් කැම ටිකක් හොයා ගෙන කන එක විතරයි. 

අපේ මළගිය නගරෙ මැද ඉස්සර අහස උසට නැගුණ කොළ පාටින් අංක බබලපු සද්දන්ත ඔරලෝසුව දැන් හිස කඩාගෙන බිම වැටිල තිබුණ වුණත්, ඉතිරි වෙලා කියන කඳ කොටසේ මුදුනටම නැග්ගම අපිට බලාගන්න පුළුවනි හැම අතින්ම මීදුමකින් වගේ පටලයකින් කෙළවර වෙන අළු පාට ගොඩනැගිලි (දැන් හිස් අහිමි කරගත්ත වුණත්) අහසට උස්සගත්තු අපේ නගරය. මුලින්ම අපි ඒ දර්ශනේ දැක්ක දවසෙ ටරාස්‍යා කලබල වුණා හොඳටම. 

"අපිට කවදාවත් ගැලවීමක් නැතිවෙයි" නිමක් නැති අනන්තයකට විහිදී ගිය අළු පාට, කැඩුණූ බිඳුණු ගොඩනැගිලි පුරෝගත්තු නගරෙ දැක්ක ගමන් එයා කීවේ මට කවදාවත් කරන්න බැරි තරම් ඇස් ලොකු කරගෙන. දැන් ඒ ටරාස්‍යා අපේ ‘නොනිදන උදානයේ’ එයා‍ට වෙන්වුණු ඇඳ උඩ නිදාගෙන වගේ ඉන්නව. 

"ලේ ගැලිල්ලේ අඩුවක් නෑ. එයා විලාප දීලා කෑ ගහපු වෙලේ මම නම් හොඳටම බයවුණා. හරියට මැජික් පෙට්ටියට බැස්ස දා වගේම" 

Saturday, February 1, 2014

මානවවංශ පුරාවිද්‍යාව හා සත්ව පාලනය පිළිබඳ විමර්ශනයක්

සැකසුම :- තිලිනි නදිකා ෂැල්වින්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පුරාවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව
2013-1014

මානවවංශ පුරාවිද්‍යාව යනු

කාලය හා අවකාශය අතර මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවූ ගනුදෙණුවේදී මානව පරිණාමය හා බැඳි මානවයාගේ ක්‍රියාකාරකම්හි වර්ධනීය පියවර සියුම්ව අවධානය යොමු කළ යුතු වූ විෂය පථයකි. මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා කාර්යයභාරය වූ මානවවංශ පුරාවිද්‍යාව සැලකිල්ලට ගැනීමේදී නොදන්නා යුගයක, නොදන්නා සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාව මේ ඔස්සේ ලැබෙන බව අවිවාදිතය. කැණීම් බිම් වලින් හමු වන්නා වූ මිනිසා විසින් උපයුක්ත කරගනු ලැබූ ද්‍රව්‍යාත්මක සාධක තුළින් අතිත මානවයාගේ චර්යා රටා සහ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරගනු ලබන්නේ යම් සේද, වත්මන් ප්‍රාථමික සමාජ අධ්‍යයනයට ගැනීමේදී ලැබෙන සාධකද මේ කෙරෙහි වඩාත් වැදගත් තොරතුරු අනාවරණය කරයි. සංස්කෘතිකමය වෙනස්විම් වලට නැඹූරු නොවී සිය සාම්ප්‍රායික සිරිත් විරිත් අනන්‍යතාවන් තවමත් පෙර මෙන්ම හැකිතාක් ආරක්ෂා කරගනිමින් ස්වභාවික පරිසරය මත සිය යැපීම් පවත්වා ගනිමින් ජීවත් වන ඇතැම් ප්‍රාථමික ජන කණ්ඩායම් අදටත් බොහෝ රටවල්හි වාසය කරන අතර මානවවංශවිද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මෙකී ජීවමාන ජන කණ්ඩායම් උපයුක්ත කර ගනී.

Friday, January 31, 2014

ඒ අපූරු වූ සුවඳේ කතාන්දරය


කාලය ඉගිල ගියද නැතද වෙනසක් නැත
මිනිසුන් නම් එමමය
අයෙක් පරයා අයෙකුට නැගී සිටිය හැකිනම් එසේ නොකරන්නේ කවුරුද?
එසේ නොකරන අයෙක් වේනම් ඒ ඉතා කලාතුරකිනි
ඔහුටද පැවැත්මක් නැත
තත්වයක් නැත
බලවතා පසුපස එල්ලී වල්ගය වන වනා වුව යා හැකි වේ නම් එසේ නොකරන අයවලුන්ද අල්පයකි
එවන් සමාජයක මේ තවත් එක කතාවකි..... මතුවටත් ලියවෙන.... යළි යළිත් කියැවෙන

Tuesday, January 28, 2014

_ _ණීය _ _ණය (මර/රම)



සීත නිල් වලාකුල
දේදුනු නිය තුඩින් පැන් ඉස
පුබුදුවා මිහි ලඳගෙ තුනු වත
අවදි කරලයි හැඟුම්
ලහිරු අත්ලින් ස්පර්ශ කර.

තණ තුඩග එල්ලී වැනෙන පිනි බිඳ
උරා රස කරයි රන් කිරණ දෙතොලග

දෑල හඬවා නිල් වන වසා රොද මෑත් කර
ගලයි ගං දිය කොමළිය දී මිහිරි කෙඳිරිය

Sunday, January 26, 2014

ආදර කතාවක්



බයිසිකල් රෝදෙට

විසිරී විසිරී වැදෙන 
වැලි කැට තරමටම
බුබුලු ලයි සෙනෙහස

Saturday, January 18, 2014

අතීතයට ගමනක්



හීං දං බෝවිටිය
එරමිණිය ගාල මත
පැටලි පැටලී රැඳුණු
අතීතය සොයමි මම

නිතර ආ ගිය මගේ
බොරළු කැට ඉලිප්පී
පරණ මතකය මැදින්
හැඳින මා සිනාසේ

Friday, January 17, 2014

නැති ප්‍රශ්න ඇති කරගෙන, ඒවා කරපින්නා තත්පරෙන් තත්පරයට අඩිය තියන සමාජයට - ටොපි පෙන්නා දෙවියන් රැවැට්ටීමට උගන්වන ජනමාධ්‍ය


අද... 2014.01.17 වන දින දෙරණ ටීවී නාලිකාව මගින් එක් දේෂක මහතකු අපූරු පාඩමක් කියා දුනි. අහන්නට ලැබුණේ එහි විනාඩි දහයක පමණ කොටසක් වීම එක්තරා ආකාරකින් හොඳය. නැතිනම් සිකුරටම මගේ හොඳ ලේද නරක් වන්නේමය. පළමු කොට මට ඇසුන කොටසෙහිදී ඔහු කීවේ ඝන දෙවියන් රවටා අපේ ප්‍රශ්න විසඳා ගැනිමට ඔහුගේ ආශිර්වාදය ලබා ගන්නා ක්‍රමයක් ගැනය. ඔහුට අනුව, “ඝන දෙවියන්ගේ නම් එකසිය අට එකදිගට කියාගෙන ගියහොත් දෙවියන් සතුටට පත්වී අපට අපගේ ප්‍රශ්න විසඳා දෙන්නේය“

ඝන දෙවියන්ට මෙය නිකන්ම කළ නොහැක. ඒ සඳහා දෙවියන්ටද දොලපිදේනියක් අවැසිය. හිනා යන කරුණ ඒ උදව්ව වෙනුවෙන් ඔහුට පුදනා දෙයය. එනම්, අර කී නමින් නමට ඔහුගේ රුව ඉදිරියේ කියන වාරයක් ගානේ ඝන දෙවියන්ට සීනිබෝලයක් හෝ ටොෆියන් තැබිමයි.... අර දේශකයා කියන දෙල ඕනෑම කෙනෙක්ට මිහිරිම වචනය තමන්ගේ නමයි. ඉතිං නම් 108 ක් ඇති ඝන දෙවියා, කෙනෙක් තම නම් 108ම එක දිගට කී පමණින් අමන්දානන්දයට පත් වී ඔහුගේ හෝ ඇගේ ඉල්ලිම ඉටු නොකරාද.....? හි හි හී........

Monday, December 16, 2013

වෛවර්ණ සුදු කළු

(ආත්මාර්ථය මගේ පාදාන්තයේ මහපටඟිල්ලේ නිය අගින් ඉපැදී දිගුම දිගු කෙස් ගහේ පැලුණු අග්‍රය දක්වා දිවේ. යම් හෙයකින් මෙය වැරදි කියැවීමක් ලෙස අයෙකු දකිනු ඇත. එහෙත් හරිය කියා යමක් ඇත්තේ කොහෙද? භේද ඇතිකළවුන්ට මම සදා ණයගැති වෙමි. මන්ද, ධන ඍණ යමක් නෙවේනම් අද ලොවක්ද නොපවතින්නට ඉඩ තිබුණු හෙයිනි.)

මම දිගු නිහැඬියාවක ගිලී ගියෙමි. එයට බෙහෙවින් හේතු වූයේ අතමිට හිඟකමත් නිදහස් තත්පරයක් බලා සොයා මුල්ලකට වැදී ලියන්නට තරම් වෙලාවක් ඔරලෝසුවේ පැය විසි හතර මට නොදිමත් යන කාරණා යුග්මයට අමතරව මමම විහින් මගේ අතැඟිලි ලොක් කොට තිබීමත්ය. එහෙත් අද, ඒ අතක් නැති අත් කොටය මගේ උරහිසේ ඇතිල්ලෙද්දී ‘උඹ නැවත ලිවිය යුතුයැයි මගේ හිත මට තර්ජනය කරන්නට විය. ඉදින්, මාස ගණනක් පුරා සිර කොට බැඳ තිබූ සිතිවිලි යතුරු පුවරුව මත පොලාපනිමින් වලිකන විට මම හැකිතරම් ඒවා තෝරාබේරාඇදපැද ඉන් දෙක තුනක් පමණක් මේ කොළය මත තබමි.

Monday, October 14, 2013

මගේ අළුත් කටු සටහන් සිතුවම්

සිතුවම.... කාලෙක ඉඳලා ගිලිහිලා ගිහින් මගේ සිතිවිලි, හරියට මාව කුණාටුවකට අහු වෙලා වගේ. ගෙයි බිත්ති බිඳලා නැත්තටම මාව නැති වෙනකන් මගේ වටිනා කියන සියල්ල හොරු අරන් වගේ... ඒ ඉන්න අතරේ මම අත්සහ කළා නිදිගත් මගේ හිත් පතුල ආයෙමත් අවධි කරන්න. 

මේ ඒ ප්‍රයත්නයේ පුංචි ප්‍රතිඵලය. 

ප්‍රාර්ථනා කරනවා ළඟදිම කාලෙක මට මේ කටු සටහන් මගේ කැන්වස් තල වලට ගන්න පුළුවන් වෙන්නයි කියලා..... 

@බලාපොරොත්තු කරපින්නගෙන

Tuesday, September 10, 2013

දේශීය දැණුමට පුනරාගමනයක් - ජාතික විද්‍යා පදනමේ පවත්වන්නට යෙදුණු වැඩමුළුව පදනම් කරගනිමින් මවිසින් සම්පාදිත සංක්ෂිප්ත වාර්තාව

වැඩමුළු වාර්තාව



මාතෘකාව :-
පාරම්පරික දැණූමට පුනරාගමනයක් (Revisiting traditional knowledge)

මාතෘකාව හැඳින්වීම :-
මෙහිදි පළමු කොටම (traditional knowledge) “සාම්ප්‍රදායික දැණූම” යන්නට වඩා  (Indigenous knowledge) “දේශීය දැණූම” යන වචනය වැඩමුළුවේ අරමුණ වඩාත් ස්ථාවර කරන බැවින් පොදු එකඟතාවය ලෙස දේශීය දැණුම යන්න ව්‍යවහාරයට ගනිමින් ස්වදේශීය ඥානය, නෛසර්ගික උරුමයන් වර්ථමාන ලොවට හඳුන්වා දිමත්, එකී දේශීය දැණූම නූතනත්වයට ආදේශනයෙන් අද්‍යතන ආර්ථික අංශය උදෙසා එතුළින් ලැබෙන ධනාත්මක ප්‍රවේශයන් උපයුක්ත කර ගැනිමත් ‍ Revisiting traditional knowledge යටතේ සිදු කෙරෙන බව හඳුන්වා දෙනු ලැබිණි.

අරමුණු හා අභිමතාර්ථ :-
·         දේශීයව පවතින ලිඛිත සහ අලිඛිත දැණූම නූතන විද්‍යා ප්‍රවේශයන්ට උපනිශ්‍රය කරගනිමින් දේශීය චින්තනය පෙරටුගාමී කරගත් නව ගමනක් සඳහා පූර්ව පියවර සනිටුහන් කිරීම.
·         දේශීය දැණූමේ විද්‍යාත්මක පදනම පිළිබඳ සාධක ගවේශනය.
·         දේශීය වෛද්‍ය විද්‍යාව, ගෘහනිර්මාණ ශිල්පය, තාක්ෂණය, කාෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව ආශ්‍රිත දැණූම, නක්ෂස්ත්‍රය, පූජාවිධි හා සෞන්දර්ය ශාස්ත්‍රය මෙන්ම දේශීය දැණූම ආරක්ෂා කිරීම පිළිබඳ දර්ශනයන් ආදී වූ ප්‍රවේශ යටතේ දේශීය දැණූම අධ්‍යයනය.
·         දේශීය දැණූමේ මහිමය පිළිබඳව පොදු ජනතාව දැණූවත් කිරීම.
·         දේශීය දැණූම වත්මන් ලෝකයට හඳුන්වා දෙමින් එය භාවිතයෙන් ඵලදායී ආර්ථික රටාවක් කරා දේශය මෙහෙයවීමට පසුබිම සකසා ගැනීම.

Wednesday, August 28, 2013

ම‍ගේ සිතුවම් එකතුවට මවිසින් ඇඳි තවත් සිතුවමක්


මේ චිත්‍රය ඇන්‍‍දේ අම්මලාට ‍හො‍රෙන්. ඊසල් එක කාම‍රේට දාලා ‍‍ලොක් කර‍ගෙන, හරි බ‍යෙන් ඇන්‍‍දේ. අඳින කා‍‍ලෙ මට වයස 19යි. ඉස්‍‍කෝලෙන් අවුට් වුණා විතරයි. ඒ ව‍ගේම අඩ නිරුවත් රූප අඳින්න ගත්තු මුල් කා‍‍ලෙ නිසා ‍ගෙදර අය ඒ ගැන ‍මොන ව‍ගේ ප්‍රතිචාරයක් දක්වයිද කියල බයක් මට තිබුණ. (දැන් නම් ම‍ගේ චිත්‍ර ‍ගෙයි බිත්ති වල එල්ලන එක අම්ම තහනම් කරලයි ති‍යෙන්‍‍නේ. ඒව කාම‍රේ ‍තෙතට පුස් කකා යනවා) :( 

Thursday, August 8, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/03 - 7 කොටස

කාලය කැටි කර මිටින් ගත හැකිනම් ඈ කාලය හකුළුවා ගවුමේ පසෙකින් ඇති පැසෙහි බහා ගන්නීය. අතිතයට එසේ කළ හැකි වුවද ඇ ඉදිරියේ ඇති අනාගතය තෙක් වර්තමානය ඇදෙන්නේ රබර් පටියක් මෙනි. ඇදෙන්නට හැකි තාක් දිගට රබර් පටිය ඇදෙනවා සේම ගෙවා ගැනිමට අසීරු කාලයද බොහෝ සේ ඇදෙමින් ඈ වෙහෙසට පත් කළේය. ඒ ඇදීමෙන් අනතුරුව සංකෝචනය වන රබර් පටිය තිබුණාටත් වැඩි තරමින් යම් ප්‍රමාණයක් විශාල වන්නේ යම් සේද, ඇදුණු කාලය පුරා ඈ එක්කාසු කරගත් තොරතුරු ‍හිස් කාලයට එක් කළ විට, රබර්පටියේ වැඩිපුර ඇදුණූ කොටසට ඈ අළුතින් එක් කරගත් අත්දැකීම් සම කළාය. ගෙවුණු කාලය තුළ ඈ තම මතක සටහන් අතරට කඳුල සිනහව ඉකිය සුසුම වේදනාව වින්දනය සමග අසීරුවෙන් සහ කැමැත්තෙන්ම පුරවාගත් යම් යම් දෑ හේතුවෙන් අනාගතයේදී ඇයට සිය අතීතය පිළිබඳ කථා කළ හැකි බොහොමයක් දෑ මෙම ඇදෙමින් පැවති කාලය තුළ ඈ එක් කරගත් අතර පසුව ඒවා හකුළුවා කැටි කර සිය පසුම්බිය තුළට රුවා ගනු ලැබුවාය.

Wednesday, August 7, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/02 – 6 කොටස


හු‍දෙකලාව ඈ සිත තුළට අපූර්ව වූ සංකල්පනා ‍ගෙන ආ‍වේය. මහ ‍සෙනගක් මැද සිටියද ඇ‍ගේ ඇස්බලන මාන‍යෙන් ඔබ්‍‍බෙහි වු යමක් මත රැඳිණි. එවිට ඈද ‍නොදැන විසල් වන අම්මා කියූ ‍දොඹ ‍ගෙඩි, ‍වෙන අ‍යෙක් දු‍ටොත් බිය වනු ඒකාන්තය. දත් මදින විටදිය නා ඉක්බිති හිස පිහදාගන්නා විට ඈද ‍නොදැන හදිසි‍යේ සිය කාර්යය නතර කරන ඈ හිටි වනම ගල් ගැසි සිතිවිලි ‍ගොන්නක් තුළට වැද ඒවා එකි‍නෙක ‍පෙරළමින් තමා ‍සොයන්නා වු යමක් ‍සොයා එය අවුස්සයි. තමන් ‍සොයන්‍‍නේ කුමක්දැයි යන්නවත් ‍නොදත් ඈ තමා‍ගේම සිතිවිලි තුළ අතරමං වී කහළ‍ගොඩක් ‍සේ අවුල් වූ ඒවා ‍දෙස ඔ‍හේ බලා සිටින්නී එවන් අවස්ථා සඳහා දත්මදින සහ හිස පිහදමනා අවස්ථාම ‍සොයා ගත්තාය. අනිච්ඡානුගව ‍මෙ‍හෙය‍වෙන්නාවූ ඇ‍ගේ පිළි‍වෙලකට නැති මනස, ‍තෙත් සිරුරැතිවහිරු එළිය යටදී සිතල දිය ඇඟ පුරා හි‍‍‍‍‍‍ඳෙමින් ඇති කරන කිතිය විඳගැන්මට ආශා කළාය. තැඹිලි පැහැ මල් වැටුණඈ නෑමට ඇඳි ‍තෙත් ජම්පරය උකු‍ළෙනුත් පහළට එල්ලා වැ‍ටෙද්දී ඒ පිළිබඳ වගක්වත් නැත්තී (සැබැවින්ම ඒ ඈ සිතිවිල්‍‍ලේ පසු වන විට ඇයට ‍‍වෙනත් කිසිවක් ‍නොදැ‍නෙන ‍නොහැ‍ඟෙන නිසාය) ඇ‍ගේම ඇ‍‍ඟේ සි‍ඳෙමින් කිති කැ‍වෙන දිය බුබුළු දස දහස් ගණනක‍ගේ පහස වින්දාය. 

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/01 – 5 කොටස



සිතිවිලි මිටි බැඳ අසුරා පිළිවෙලට තැබු ඇගේ රාක්කෙන් එකිනෙක සිතිවිලි මිටි දිගහරින මා ඒවා ඔබ ඉදිරියේ විවර කරමි. ඇය බෙහෙවින් ආශා කළේ සිතිවිලි රාක්කයක් පිරවිමට නොව පොත් රාක්ක ගණන් පුරවා ඈටම වෙන් කළ පුස්තකාලයක ආඩම්බරකාර හිමිකාරියක විමටයි.


උඹ මහ ආත්මාර්ථකාමි ගෑණියෙක්



ඇගේ ආශාව ඇසූ සමීපතමයෙක් දිනක් දුරකථන සංවාදයකදී ඈට බැන වැදුණි.


පොත් ගොඩගහගන්නෙ ආත්මාර්ථකාමී මිනිස්සු. පොතක් ගත්තම කියවලා කාටහරි දිපං. නැත්නම් අළුතින්ම පොත් උඹටම කියල සල්ලිවලට ගන් නැතිව, ඒ පොත තියන එකෙක්ගෙන් ඉල්ලගනිං.


බෑ... මට ඕන ලස්සනට පොත් පිරුණු රාක්කයක්


ඔහු කියන්නක් නොඅසා ස්වමතයේම රඳමින් තම අතාගත පොත් රාක්කයට එක් විය යුතු, වන විට පාඨක රසවින්දනය නොමදව දිනා ඇති අළුත් පොත් මිතුරන්ගෙන් අසා ලැයිස්තු ගත කරන්නි පඩි දා නොවැරදීම දෙතුන් දහසක පොත් මිලදි ගන්නීය. ජීවිතයේ පළමුවර ඈටම කියා පොතක් ලැබුණු දිනය කෙසේවතුදු, ඈ උදෙසාම ලද ළමා පත්තරය ලත් දින ඈ මතකයේ හොඳින් සටහන් වි තිබිණි. බිංදුලෙසින් නම සඳහන් වු එහි කවරය සැරසූයේ දුඹුරු පැහැති වලස් මවක් පියෙක් සහ බබෙකි. සීයා සමග එක්වී දහවල පුරා වැටහිර කෝටු සුද්ද කිරිමෙන් සිරුර පුරා තවරාගත් ගස් ගඳට ඇලෙන දහඩියද එක්කරගත් ඈ අම්මා දුන් පත්තරය අතට ගත්තා නොව ඩැහැගත්තීය. සිව් වන විය සපුරා තිබූ ඇය ඒ වන විට කියවීම හුරු කරගෙන සිටියා සේම වඩාත් රුචි කළේ පාටකූරුවලින් හරඹ දැක්විමටයි.



 
There was an error in this gadget