Tuesday, May 7, 2013

ලේ




වැලේ වනපු රෙදි දිගේ වතුර බේරෙනවා. රෙදිවල දාර දිගේ ඇදෙන දිය සීරාව නිසා පොළව හිල් වෙනවද කියල බැලුවත් මිදුලෙ පිරිල තියන වතුර කන්දරාවෙ තරමට හිල් වෙන එක කෙසේ වෙතත් වතුර ගලන රටාවට මිදුලෙ ඉරි ඇඳිල ඇති කියලනම් හිතුණා. වැලි පොළව දිගේ මහා වතුර පාරක් ගලද්දි කොහොමත් නෙරු නිම්න රටා ඇඳෙනවනෙ.

'දවස් තුනක් ඇති හරියටම වැලට රෙදි ටික දාලා. ඔය අපූරුවට වේලෙන්නෙ. නිකන් රෙදි ටික සවුත්තු වෙනව විතරයි.... දැන් ඕක දිහා බකන්නිලං හිටියම වේලෙයි කියල හිතං ඇති. තමුසෙට තිබුණනෙ ඔය ටික අර ලෑලි කාමරෙන් දාල වේලගන්න....'

මගේ කම්මැලිකමට නොසැලකිල්ලට ඔහුගේ මා නුරුස්නාකමට හැම දේටම ඇති පිළිකුල නිසා වෙන්න ඇති සද්දෙන් පටන්ගත් නෝක්කාඩුවේ සැර ක්‍රමයෙන් අඩු කරමින් ඔහු දිගටම හිතේ කෝන්තර දිගහැරගෙන ගියා. රෙදි වැල දිහා බලන් හේත්තු වෙලා හිටිය දොර උළුවස්සෙන් මෑත් වෙලා මම කේතලේ ලිපේ තියන්න ආවෙ මගේ ඇඟ ඇතුලෙන් මාවම විදගෙන ඇවිත් තිබුණු හිරිගඩු අතගගා උණුසුමක් අතට දෙන ගමන්මයි. එළියෙ අඳුරයි ගේ ඇතුලෙ අඳුරයි අතරෙ මහා ලොකු වෙනසක් තිබුණෙ නැති වුණත් ඇස් දෙක ගේ ඇතුළට හරවං ඉන්නවට වඩා එළිය බලාගෙනම ඉන්න එක එක අතරට සැනසීමක් කියලා හිතුණා. පෙරේද හවස රෙදි ටික හෝදල වැලට දාපු ගමන්මයි අහස කළු කරන් ආවෙ. තෙත රෙද්දෙ ආය මොනා තෙමෙන්නද කියලයි මම වැහි අන්දකාරෙ බල බලත් රෙදි ටික වැනුවෙ. කොහොමත් මෙහෙට වහින කාලෙට පැල් බැඳන් වහිනව මිසක ආය මොන පෑවිල්ලක්ද. ගේ අස්සෙ වනල පුස් කකා තිබුණත් එකයි එළියෙ තෙමි තෙමිම තිබිල පුස් කෑවත් එකයි. වතුර අල්ලන්න බැරි තරම් සිතල. ඇඟිලි වලට ඉඳිකටු තුඩුවලින් අනිනව වගේ. මං කේතලේට වතුර පුරෝලා ගෑස් එක පත්තු කළා. ජොග්ගුවට සීනියි කෝපි කුඩුයි දාලා වතුර නටනකන් අත් දෙක රත් කරගන්න කේතලේට උඩින් අත් දෙක ගෑස් එකට අල්ලන් හිටියා. ටිකින් ටික දුම් දාන්න පටන්ගත්තු කේතලේ ඉක්මනින්ම අත් දෙකත් තැම්බෙන තරමේ රස්නෙට දුම් වලා උඩ යැව්වා.

 'ක්‍රීඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊස්'.

'අර මගේ කමිසෙකුයි කලිසමකුයි මැදල තියන්ඩ. හෙට ප්‍රෝග්‍රස් මීටින් එක. බෑග් එක ගාවින් තියන්ඩ, ඊයෙ දවල් වැඩ කරන්ඩ ගත්තු ෆයිල්ස් ටික ඇති මේසෙ උඩ. ඒ ඩොක්‍යුමන්ට්ස් ටික එකතු කරල තියන්ඩ...... චික් සපත්තුත් ඉවරයි මේ ජරා වැස්සට'

කකුල් දෙකත් උඩට අරන්, හරියට ඉසුරුමුණියෙ මිනිසා සහ අශ්වහිස කැටයමේ මනුස්ස රූපෙ වගේ, සෝපාවෙ ඉඳගෙන ටීවි එකේ ඇස් අලවන් හිටපු ඔහු අතට මං කෝපි කෝප්පෙ දෙනගමන් ඔහු මාව ඉලක්ක කරල කියපු ඒ වාක්‍යයේ අන්තිම ටික ඔහු කියාගත්තෙනම් ඔහුටමයි. ඉරිද දවස තාම පටන්ගෙන වැඩි වෙලාවක් නැහැ. සෙනසුරාදා ඉරිද ඔහු ගෙදර ඉන්න දවස්. ඒක වෙනස් වෙන්නෙ කලාතුරකින් මොකක් හරි ගමනක් වැටුණොත් විතරයි. වෙනදට වඩා අද විශේෂත්වෙකට තිබුණෙ එළියෙ මහ හඬින් හඬා වැටෙන වැස්ස විතරයි. වැස්ස නැත්නම් අපේ ගෙදර හරිම නිස්කලංකයි. සතියෙ දවස් වලටනම් ඇල්පෙනිත්තක් වැටුණත් ඇහෙන තරම් නිහඬතාවයක් ගේ ඇතුලෙ තියෙන්නෙ. ඒක බිඳෙන්නෙ ඔහු ගෙදර ආව වෙලාවට... ඒ කියන්නෙ හවස හයෙන් පස්සෙ විතර. 'මොකද මේ පාපිස්ස ගැසුවෙ නැද්ද, අර මල් පැල ටික සේරම මැලවිලා ගිහින්. වතුර ටිකක්වත් දානව පණ ඇති මිනිස්සු මේ ගෙදර ඉන්න බව පේන්න වත්, කෝ මගේ සරම, ඔය තුවාය ගේනව.. මේ තුවාය තෙත ඇයි, අවුවට දාන්නත් මම කියන්න ඕනද, ඇයි ටැංකියේ වතුර ඇරියෙ නැද්ද' ඒ විදිහට ඔහු ගෙදර ආවම ගෙදරම පිරිල යනව ඒ දෝංකාර දෙන කටහඬින්. ඒක නැවතෙන්නෙ කරන්න තිබුණත් නැතත් කරන වැඩ අහවර කරල ඔහු ඇවිත් ටිවි එක දාගත්තම.

බීට්, අල, අයිස් කුකුළෙක්, අඟුන කොළ මිටියක් මං ගත්තා ෆ්‍රිජ් එකෙන්. වැස්ස කිසි වෙනසක් නැතිව එකම ස්වර එකම විදිහට වයනවා. ටක් ටක් ටක් ටක්.... බීට් පෙති කැපෙද්දි එකම තාලයෙන් පිහිය ලෑල්ලට වදිනවා. එක පෙත්තක් පිහි දාරෙ ඇලවෙද්දි අනෙක් පෙත්ත ලෑල්ලට වැටෙනවා. ලෑල්ලෙ වතුර එක්ක බීට් වල රතු පාට දිය වෙලා ලේ පාට හීනි දාරයක් ලෑල්ල දිගේ බේරෙනවා.
ලේ.... එක පුංචි ලේ බිංදුවක සටහන. ඒ ලේ සටහන තියෙන නැතිවෙන එකේ වෙනස...... මිනිස්සුන්ගෙ ජීවිත මොන තරමින් වෙනස් කරනවද.....? මට ඉස්සරහින් පේන කවුළුවෙන් මං එළිය බැලුවා. පේනව මට මගේ ඉස්සරහම ඒ රෙදි වැල පැද්දි පැද්දි ඉන්නව වැස්සෙ තාලයට නටනව වගේ.

'බකන්නිලන් ඉන් නැතුව කන්න හදනවා. රෑට තමයි කන්න වෙන්නෙ ඔහොම ගියොත්'

ඔහුගෙ හඬ නැවතත් මාව පියවි සිහියට ගෙනාවා. වෙලාව උදේ අට වුණත් මහා පාළු අඳුරක් තිබුණෙ වැස්ස නිසාම. අත් සිතල වෙලා. ඇඟිලි තුඩු රැළි වැටිලා. කුකුළා අයිස් එක්ක මිදිල තිබුණත් ඉක්මනින් උයන්න ඕන නිසා අඬු ටික ඈත් මෑත් කරගන්න අයිස් එක්ක මට සෑහෙන තරඟයක් දෙන්න වුණා. අප්‍රසන්නම දෙයක් මට කුකුල්ලු සුද්ද කරන එක. කවද ඉඳලද කියන්න නොදන්නව වුණත් කුකුල්ලුන්ව කපන මට ඔක්කාරෙට එන දෙයක් වුණා. ඒත් කරන්න දෙයක් තිබුණෙ නැහැ අකමැත්තෙන් වුණත් කපනව හැර. පුරුෂ ලිඟුවක් වගේ නහර පෑදිලා දිගට ඇදුණු කුකුළාගේ බෙල්ලත් වෘශණ සිහිගන්වන ගොදුරත් නිසා ඒ ඔක්කාරය දෙගුණ තෙගුණ වුණා. මගේ මනසේ මම විහින්ම හදාගත්තු බහුබූත විදිහට මේ දේවල් හිතින්ම යටපත් කරන්න උත්සාහ කළත් මම මගේ සිතිවිලි වලට පැරදුනා ඒ හැම මොහොතකදිම.

'මේ වහළෙ වතුර වැක්කෙරෙන එක හදාගන්න තාම බැරිවුණානෙ. බාස් කෙනෙක් හොයාගන්න ඕන අප්පා. ගේම ජරා වෙනව මේ කරුමෙ නිසා.'

බීල ඉවරවුණු කෝපි කෝප්පය සින්ක් එකෙන් තියලා, කොහු මිටෙන් වහළෙට ඇනල උළු කැටයක් එහෙ මෙහෙ කරන්න නිරර්තක උත්සහයක යෙදෙන ගමන් හදන ගමන් ඔහු කීවා. ගින්දරට අත දාන්න තරම් සීතලයි. ඒත් ගින්දරට අත ලං කරන්න බැරි කමට මම හට්ටිය වටේ අත් තියාගෙන හිටියා. උයද්දි දැනෙන මේ අලසකම මම කුස්සිය හුරු කරගන්න හදපු කාලෙ ඉඳලම මට දැනෙන දෙයක්. කෑල්ලෙන් කෑල්ලට කැපෙන එලවළු එක්ක සිතිවිලි අතරමං වෙනවා. පිහිය ලැල්ලට වදින සද්දෙ හිත මමත් නොදන්න කොහෙදෝ දුරකට ගෙනියනවා. ළූණු ගෙඩියෙන් රවුම් වෙවී කැපෙන දාර එක්ක හිත රවුම් වෙලා කැරකිලා යනවා. ගින්දරේ නලියන දැල් සංගීතය නැතින නටන ලස්සන නැටුමකට අපූරුවට රිද්මය අල්ලනවා. සාලෙන් ආයෙමත් වැස්ස පරද්දගෙන ටීවි එකේ හඬ ආපු නිසා මම දැනගත්තා ඔහු වැඩසටහනක් බලනව ඇති කියලා.

දවස ගෙවෙන්නෙ හරි හෙමින්ද කියලත් හිතුණා. කොයි තරම් වැඩ තිබුණත් කාලය රබර් පටියක් වගේ ඇදෙනවා. වැඩ වැඩි වෙන තරමට කාලයත් වැඩි වෙනවද මංදා. සති අන්තේ නිවාඩු දවස් නැති, දවස් පහේ සතියක් තිබුණනම් මොන තරම් සැනසිමක්ද කියල අනන්තවත් හිතෙන එක මට නැති කරගන්න විදිහක් නැති වුණා. මං එහෙම හිතන එක වැරදිද කියල ආයෙමත් මට හිතන්න, මගෙන්ම අහන්න ඕන වුණත් ඒ සිතිවිලි වලට ඉඩ දෙන්න මට පුළුවන්කමක් නැහැ. සෙනසුරාද, ඉරිද, පෝය, රජයේ නිවාඩු දවස් එපා වෙන්න පටන් ගත්තෙ මොන කාලෙ ඉඳන්ද කියල මතක් කරන්න මම වෙහෙසුනත් මට හරියටම ඒ ගැන මතකයක් නැහැ. ඒක පටන්ගත්තෙ අදක ඊයෙක නෙවෙයි.... ඔවු, මතකයි මට. මං හිතන්නෙ ඒ අපි බැඳපු කාලෙම ඉඳන් වගේ තමයි. 'තෝ මගේ ජිවිතේ කාලකණ්නි කළා වල් වේසාවි' ඒ වචන මගේ කන් ඇතුළෙ තැන්පත් වුණා වුණාමයි ආය පිටවුණේ නැහැ. මගේ කන් ඇතුළට එදා රිංගගත්තු ඒ වචන අත පය අකුළුවගෙන කන් අස්සෙ බැඳගත්ත අට්ටාලෙක මුල්ලකට වෙලා ජීවත් වුණා. විටින් විට අතපය දිගෑරලා ඒ වචන මට මතක් කළා මම කෙනෙකුගේ ජීවිතයක් සදාකාලික කාලකණ්නි බවකට පත් කරපු වල් වේසාවියක් කියලා. දැන් ඒ වචන හොල්ලන්නවත් බැහැ. අවශ්‍යම දේට හැර මං කතා නොකරම ඉන්න තත්වෙට පත්වුණෙත් එකකින් එකකට උත්තර බැඳිල්ලෙත්, නිදහසට කරුණු කීමෙත්, වැරදි නිවැරදි කිරීමෙත් තේරුමක් නැති බව බොහොම ඉක්මනින් වැටහුණු නිසා.

ප්‍රශ්න පත්තර වලට උත්තර ලීවෙ ඉස්කෝලෙ යන කාලෙ. උසස්පෙළ අන්තිම ප්‍රශ්නපත්‍රයට ලියල එද්දි මං හිතුවෙ මුළු ජීවිතේම අප්පිරියාවෙන් කරපු විභාග සේරම දැන් ඉවරයි කියලයි. ඒත් මට එදා ලොකු වැරදීමක් වෙලා තිබුණා. ඉස්කෝලෙන් පස්සෙ ආපු අළුත් ජීවිතේ, විවාහයත් එක්ක තවත් විභාග ගණනාවක් මගේ ඉස්සරහ දිගහැරුණා. අම්මගෙ අතින් එදා සුදු රෙද්ද මගේ ඇඳුම් බෑග් එකේ උඩින්ම ඇතිරුණේ අළුත උපන් බබෙක් වගේ පරිස්සමට. ලැජ්ජාවද, බයද, කුතුහලයද, සැකයද, අස්ථාවරත්වයද කියන්න දන්නෙ නැති මොකද්දෝ හැඟීමක් එක්ක මම ඒ වෙලේ අම්ම දිහා බලල හිනා වෙන ගමන් බිම බලා ගත්තා. මංගල රැය ගැන මනාළියකගෙ හිතේ ඇතිවන තිගැස්ම අනිත් කාටත් වගේ මටත් ඒ වෙලේ ඇති වෙලා තිබුණා.

'මේ, ඇඳුම් මැද්දද? අමකත කරල දාන්ඩ එහෙම එපා. දන්නවනෙ, උදේට මට කැ ගහන්න ඉඩ තියන්ඩ එපා'

රෙදි මැදල ගොඩක් වෙලා වුණත් මතක් වෙන මතක් වෙන වෙලාවට කෑ ගහන එක ඔහුගේ පුරුද්ද හෝ හැටිය නිසා මම මොකුත් කියන්න ගියේ නැහැ. උවමනාවෙන් බැලුවනම් පෙනෙන්නත් තිබුණ අයන් බෝඩ් එක උඩ තිබුණ ඇඳුම. සමහරවිට ඔහු කාමරේට යන්න නැතිව ඇති. ගියානම් ඒක දකින්න තිබුණ.

යන්තම් වැස්ස ටිකක් පායාගෙන ඇවිත්. සියඹලා ගහේ බිමට බරවෙච්ච අතු වල කොළ ඉති එකට එකට ඇලිලා තද නින්දක වගේ. වැහි අන්දකාරෙත් එක්ක මගෙත් ඇස් පියවීගෙන යනව වගෙයි. ඇඳේ ඇලවෙන්න තරම් කොහෙන්ද ඒත් විවේකයක්. වැස්සෙ සැරට ඉරුණු කෙහෙල්ගස්වල කොළ ඕනෑවට එපාවට දෙපැත්තට පැද්දි පැද්දි තිබුණෙ හුළඟ හින්දමයි. හුළඟෙ අනාදරේ කොච්චරද කියනවනම් කෙසෙල් කොළ කීතු කීතුවට ඉරිලා. කෙසෙල් කොළ වල පැද්දිල්ල බලන් හිටපු මගේ හිතට ඉබේම ආවෙ පුංචි කාලෙ අම්ම කියා දීපු කවියක්.

'පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි'

ඒ පද පේළි දෙක පුංචි හිනාවකුත් එක්ක දිගින් දිගටම කෑ ගහල කියනව වගේ හිත අස්සෙ ඉන්න කවුරුහරි. පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි - පිස්සානං ඔළුව වනයි - පිස්සීනං කැලේ දුවයි. කෙහෙල් කොළ පැද්දෙන ලතාවට හිත අස්සෙ එක්කෙනා තාලෙ අල්ලනවා. ඒත් එක්කම මතක් වුණා තවත් කවියක්.

'අබුං කටයි
බත් දෙකටයි
මගේ පුතත්
ඔක්කොම කයි'

හිතේ හිටපු එකා දුවල ගිහිං හැංගුනා වගේ. වචනෙන් කියාගන්න බැරි දුකක් මගේ හිතට ආවා. අම්ම ඉස්සර මටත් එහෙම බත් කැව්වා. 'දෝණි රවුමක් දූවලා එන්න කුරුල්ලෙක් වගේ. ඇවිත් රූං කියල බයියං කට කන්න.....' වැහි මිදුමෙන් ඈතට ඈතට අම්මගෙ කටහඬ ඇදිල ගියා. හිතේ යාන්තමට මැවීගෙන ආපු රූපෙ මීදුම ගිලත්තා. කොහෙන් ආපු කරුම මීදුමක්ද? ආයෙමත් ඇස් අගට කඳුළු බිංදුවක් ඇවිත් බව දැනුණා. කාලෙකට කලිනුයි මං මටම පොරොන්දු වුණේ ආය කවමදාකවත් මං අඬන් නැහැ කියලා. අම්මගෙන් බත් කට කට කවාගද්දි හිතිල තිබුණෙ නැතත් මමත් මගේ පුංචෙක්ට බත් කවන්නෙ මෙහෙමයි කියලා, එදා පෝරුවට නගින්න කලින් දවසෙ මුළු රෑම ඇහැරගෙන එකින් එක පොර කකා ආපු සිතිවිලි අතර ඒ වගේ සිතිවිල්ලකුත් අහම්බෙන් හරි මතු වෙන්න ඇති කියල මට හිතුණා. ඇස් වලට උනපු කඳුළු ආයෙමත් ඇස් යටටම ගිලාබස්සවන්න මම උඩ බලාගෙන ඇහිපිල්ලන් ගැහුවේ මීදුමත් එක්ක හිතේ ආයෙමත් පුරෝගත්තු මහා බර එක මොහොතකට හරි පැත්තකින් තියන්න ඕන නිසා. කඳුළු කියන දේ ඉස්සරහටත් මට ඕනකරන වටිනා දෙයක් බව තේරුම් අරන් හිටිය නිසා කඳුළු පරිස්සම් කරගන්න අවශ්‍ය වුණත් මම ඒ මොහොතෙදිත් ආයෙමත් මටම වුණ පොරොන්දුව මතක්කරගත්තා.

'දවස පටන්ගත්ත වෙලේ ඉඳල එළිය බලාගෙන මොන මගුලක් කරනවද? ගේ හරියට යක්ස විමානෙ වගේ. අර ලයිට් ටිකවත් දානවා. මේවයෙ බූතයොත් පැටව්ගහයි මෙහෙම ගියොත්'

මගේ සිතිවිලි ලෝකෙ සීසීකඩ විසිරුණේ මගේ තිගැස්සීම නිසා. යාන්තම් පායගෙන ආවත් අහස ආයෙම වහින්න අර අදිනවද කියලා හිතුණෙ ගෙරවිල්ලට කලින් ජනෙල් වීදුරුවෙන් ගෙට පාත් වුණු අකුණක එළිය හින්දයි. පිටදී හිටපු උළුවස්සෙන් මෑත් වෙලා ගේ දිහාවට හැරුණු මගේ ඇස්, හරියටම ඔහුගෙ ඇස් ඉස්සරහ අහම්බෙන් නතරවුණා. ඒත් එක්කම ඒ අකුණු එළියෙන්ම අඩ අඳුරෙ ඔහුගෙ ඇස් වල මම දකින්න අකමැතිම ඒ බැල්ම අඳුරගන්න මට බැරි වුණේ නැහැ. ඔහුගෙ ඇස් දිහා කාලෙකින් කෙලින් නොබලපු බව ඒ අකුණු එළිය මට මතක්කරල දුන්නා.

'ඇඳ හදනවා'

ඕනෑවට එපාවට සඟරාව පෙරළ පෙරළ හිටපු ඔහු මට කිවෙ රෑ කෑම මෙසේ අස් කර කර ඉද්දි. හීල්ලුණ සුසුමට ඔහේ පාවෙන්න ඇරල මම පුරුදු වැඩ ටික ඒ විදිහටම කරගෙන යන්න උත්සාහයක යෙදුණෙ සීතලට නොවුණත් මටම වාරු නැතින වෙව්ලන ඇඟිලි තුඩු අවනත කරගන්න උත්සහයක යෙදෙන ගමන්. ඒ නියෝගය හැමදාම ලැබෙන එකක් නොවුණත් මම කවදාවත් කනට අහන්න ආස කරපු නියෝගයක් නෙවෙයි ඒක.

එළියෙ මහ හඬින් වහිනවා. අකුණු එළියට කාමරේ සැරින් සැරේ එළිය වැටුණා. උඩ තට්ටුවේ වහන්න බැරි වුණ දොර හුළඟට ඇරෙමින් වැහෙමින් උළුවස්සට වදින සද්දෙ එක දිගට ඇහුණත් ඔහු කිසි දෙයක් කීවෙ නැහැ. කුස්සියේ තෙමුණු මුල්ල දෝරෙ ගිහින්ද දන්නෙත් නැහැ කියල මට හිතුණා. එළියෙ තෙත මගේ හිතටත් ඕනකළා වුණත්, මගේ ඇඟ උඩ තිබුණ දාඩියෙන් නෑවුණ ඔහුගෙ ගිණියම් ඇඟ නිසා ඒ සීතල තෙත මගේ හිත ගාවට ගන්න පුළුවන්කමක් තිබුණ් නැහැ.

'කි පාරක් කියන්න ඕනද මළමිණියක් වගේ ඉන්ඩ එපා කියලා'

හතියත් හුස්මත් අතර අරගලයට මද විවේකයක් දීලා කඳ කෙලින් කරගත්තු ඔහුගෙ ඇස් මගේ ඇස් වලට එබුණ ඒ තරවටුවත් එක්ක. ඒත් එක්කම ජනේලෙ විනිවිදගෙන ආපු අකුණු එළියෙන් ලා රතු පාටට ඒ ඇස් දිලිසුණා. එකපාරම ඔහුගෙ බැල්ම නපුරුවුණා වගේ මට දැනුණෙ ඒ අකුණු එළියම මගේ සුදුමැලි මූණෙ රටාව ඒ විදිහටම ඇඳල ඔහුගෙ ඇස් දෙකට කේළම් අල්ලන්න ඇති කියල හිතුණු නිසයි. 'තෝ මගේ ජීවිතේ කාලකණ්ණි කළා වල් වේසාවි' මගේ කන් අස්සෙ නිදාන උන්නු ඒ වචන අඬු පඬු දිගහැරල අවදි වෙනවත් එක්කම මම කකුල් තද කරල ඔහුගෙ උකුල හිරකරගත්තා. කොහේවත් නැති කුකුළෙක්ගෙ බෙල්ලක් මතක් වෙද්දිම මම ඇස් තදකරගත්තා ඔහුගෙ ඇස් ආයෙමත් මගේ ඇස් හසුකරගනී කියන බය නිසා. ඔහුගෙ පිට දිගේ ගලන දාඩියෙන් ලිස්සලා යන්නම දඟලපු මගේ අත් වලට, පුළුවන් තරම් උපරිම දහිරිය දාලා වාරුවක් අරන් හිර කරගන්න මම උත්සහ කළා.

අඩු වැඩි වෙන රිද්මය ටිකින් ටික නැති වෙලා යන්න හදද්දි මගේ ඇඟ ඇතුලෙන් ආබාධිත වෙලා හිටපු මොකෙක්දෝ අතපය දිගෑරලා නැගිටින්න හදනව වගේ මට දැණුනත් ඌව නැගිට්ටවල ගන්න කෙනෙක් හිටියෙ නැහැ. ඔහු මගේ ඇඟ මතින් පසෙකට වෙලා අනිත් පැත්ත හැරුණා.

මගේ ඇස් කට්ට කළුපාට අඳුරෙ මමත් නොදන්න දෙයක් හෙව්වා. කවදාවත්ම මට හොයාගන්න බැරිවුණු, සමහරවිට හෙව්වත් ජීවිත කාලෙටම හොයාගන්න බැරිවෙන දෙයක්. ඔහේ බලා ඉන්නව ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් තිබුණෙ නැහැ. ඔහුගෙත් මගේත් එකට කලවම් වුණු දාඩිය පිහදන්න ටිකෙක් ටික එළියෙ දඟලපු සීතල ලං වුණා. 'කල්ප, අනේ ප්ලීස් මට දරු පැටියෙක් දෙන්න' මම මට පුළුවන් උපරිම හඬින් ඒ වෙලේ මුර ගෑවා. මට පිටුපාලා අනිත් පැත්ත හැරිලා යාන්තම් ගොරවන ඔහුගෙ සුව නින්දේ හඬ, මගේ කටහඬත් පරද්දලා මගේ කන් ඇතුළෙ රවුම් ගැහුවෙ හුළඟෙ 'ශෝ' හඬත් එක්ක. හිතේ විලංගු බිඳගෙන ගලපු කඳළු හංගන්න මට අමුතුවෙන් උඩ බලන්න ඕන වුණේ නැහැ.........

Comments
64 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

64 comments:

  1. සිදුවීම් ගලා යෑම තාත්විකයි.තාත්විකයි කියන්නේ සත්යාසන්නයි.හැබැයි කතාව පරිපුර්ණ නෑ.තරුණිය විවාහ ජීවිතයක් තුල ඇති වෙන්න පුළුවන් ඛේදාන්ත සාදක දෙකකටම යටත් වෙලා..ඉසදිය චාරිත්‍රය හා ලිංගික බෙලහීනතාව..තරුණිය ඒ තත්වයට පත් වෙන්න හේතුව පැහැදිලි නැති නිසා කතාවේ තියන පරිපුර්ණ ගතියට වෙන හානිය ඉතාමත් ඉහලයි.

    සාමාන්‍ය පාටකයෙකුට එකම සිද්දියක් ගැන උපකල්පන ගොඩක් ගොඩනගන්න පුළුවන් උනාට විරුද්ද අන්ත දෙකක තියන සිද්දි දෙකක් ගැන උපකල්පනයක් හදාගන්න ටිකක් අමාරුයි.ඒකෙන් කතාවේ තියන රසය නැති වෙනවා

    (වචන පේලියකින් කතාවේ ලොකු වෙනසක් කරන්න තිබ්බා)

    ReplyDelete
    Replies
    1. මානවක ඊයෙ කියපු මේ කතාව තේරුම්ගන්න මට සෑහෙන වෙලාවක් ගියා. ඇත්තටම පැය විසි හතරට ටිකක් අඩුවෙන්.
      ඇයගේ පුරුෂයා තදබල විදිහට දෙයක් විශ්වාස කරන නිසා නිරපරාදෙ ඇය හංවඩු ගැහිල ඉන්න බවයි මට කියන්න ඕන වුණේ.
      දෙවැන්න ඇය ලිංගික බෙලහිනතාවයකට පත් වෙලා නැහැ. නමුත් ඇය ඔහුව ප්‍රතික්ෂේප කිරීමක් තියෙනවා. ඒ වගේම ඔහු ඇය කිසි අවස්ථාවක සතුටට පත් නොකරන මානසිකත්වයකත් ඉන්න බව කියන්න මට ඕන වුණා.
      ඔය කී කාරණා කොයි තරමින් ඉවු වෙලාද කියන්න දන්නෙ කියවන ඔයාලා :)

      Delete
  2. ජීවිතයේ සතුට කියන්නෙ මොකක්ද කියල ඇහුවොත් කවදාවත් තනි උත්තරයක් දෙන්න බෑ. පොඩි දේවල්, ලොකු දේවල් වගේම නොහිතනා දේවලුත් සතුට ඇතුලෙ තියනව.

    සිත්තරී සමාජය ගැන ලියනව කිව්වට පෙරල පෙරල ගහන්නෙ එකම පැත්තට.

    ReplyDelete
    Replies
    1. //සිත්තරී සමාජය ගැන ලියනව කිව්වට පෙරල පෙරල ගහන්නෙ එකම පැත්තට.//

      ඒ කතාවටනම් මමත් එකඟයි. :p

      Delete
    2. මගේ තීම් එක “ලිංගිකත්වය සහ පුද්ගල මනෝභාවය“

      කොහෙන් පටන්ගත්තත් ඉතිං මං නවතින්නෙ ඔතන. මොකද මගේ තීම් එක ඒක නිසා ^_^

      ඉස්සරහට හිතන් ඉන්නව සානුකම්පික පරිකල්පනය ගැන හදාරලා යම් වෙනසක් ඇති කරන්න ආකල්පමය වශයෙන්.

      Delete
  3. කථාවකින් පාඨකයෙක්ට සේරම දේවල් කීමේ අවශ්‍යතාවයක් නෑ , කැමති දෙයක් හිතාගන්න ඉඩදීලා බලාගන ඉන්න එක තමයි ලියන කෙනාගේ කාර්‍ය. එක නිසා කථාවේ මට පේන්න කිසිම ගැටලුවක් නෑ , ලස්සනයි , දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.... :) මමත් බොහෝ දුරට ඇන ඇන කියන්න යන් නෑ මේකෙන් කියන්නෙ මේක, මේකෙන් කියන්නෙ මේක කියලා. නමුත් සමීපතම යාලුවො එක්ක විතරක් ටිකක් ලියන අඳින් දේවල් ගැන කරුණු කතාබහ කරනවා. ඒකෙන් අපේ නිර්මාණ වලට එකතුකරගන්න දේ බොහොමයි.
      (ඔබ කියනව වගේ මම කීවෙත් පොදු පාඨකයා ගැන නෙවෙයි)

      Delete
  4. කතාව හරිම නිර්මාණ ශිලියි , මම ගොඩක් කැමති අවසන් කරලා තියෙන විදියට.. පුරුෂාධිපත්‍යයට යටවෙලා ගොඩක් විවාහක කාන්තාවන් මේ වගේ ජිවිත ගතකරන විදිය මම දැකලා තියෙනවා .. සිත්තරි ඒ විවාහක කාන්තාවගේ සිතුවිලි වලට රිංගලා සාර්ථකව කථාව ගොඩනගලා තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියෙ
      කලින් යාලුවෙකුගේ මේ වගේ ඇත්ත අද්දැකීමක් ගැන ලීවත්, මගේ ස්වාධීන කෙටිකතාවක් විදිහට මේ ඒ වගේ චරිතයක් ගැන ලියපු පලවෙනි එක :)

      Delete
  5. මොනවා කියන්නද @කම්පනා කරමින්

    ReplyDelete
    Replies
    1. කම්පනා කොරල එන්ටකො ඈ.....

      Delete
  6. හිතට දැනෙන දේවල් නම් එමටයි.. එත් ඒවා ලියන්න ඕන විදිහට පෙල ගැහෙන්නෙ නෑ මේ වෙලාවේ....

    ReplyDelete
    Replies
    1. හිතට දැනෙන දේ පෙලට හෝ නොපෙලට කුරුටු ගාල යනවනම් මට ඒ අදහස් ගොඩක්ම වටිනවා :)

      Delete
  7. //පුරුෂ ලිඟුවක් වගේ නහර පෑදිලා දිගට ඇදුණු කුකුළාගේ බෙල්ලත් වෘශණ සිහිගන්වන ගොදුරත්// -ආයේ මේ පැත්තේ එන්නේ නම් නෑ .. තම අපි පොඩි ළමයි :P

    මෙහෙම විවාහ ජීවිතයකින් වැඩක් තියෙනවද කියන එකයි මට තියෙන අවුල. අනේ මන්ද මෙහෙම ඉන්නවට වඩා තනිකඩ ජිවිතේ සැපයි. මෙහෙම වෙන්න හේතුව හිතා ගන්න අමාරුයි. වරද කාගේද කියල නිගමනේකට එන්න බැරි උනහම පාඨකයෝ එක එක විදියට හිතන එක සාදාරනයි. කෙටි කතාවක් උනහම විස්තර නැති උනත් පොඩි ඉඟියක් තියෙන්නේ ඕනේ කියන එකයි මගේ අදහස. ..

    තවත් සාර්ථක නිරමාණ කිරිමට ... මගේ සුබපැතුම්....

    ReplyDelete
    Replies
    1. ඉඟිනම් ඕන තරම් දුන්නා. ඒව ටච් වෙලා නැත්නම්..... සමහරවිට ඉඟිය ප්‍රබල නැතුව ඇති

      Delete
  8. //මිනිසා සහ අශ්වහිස කැටයමේ මනුස්ස රූපෙ වගේ,//

    //පුරුෂ ලිඟුවක් වගේ නහර පෑදිලා දිගට ඇදුණු කුකුළාගේ බෙල්ලත්//

    නියම උපමා ටිකක් සිත්තරී....:)
    කතාව ලියලා තියන විදිය හරිම අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ඒව නිකම්ම හිතුණු ඒවා ඉතිං :)

      බොහොම ස්තූතියි පොඩි කුමාරිහාමි

      Delete
  9. සාඩින් එකක් වගේ රහයි..

    ReplyDelete
    Replies
    1. කාලත් බැලුවද.....?
      හා හා කමක් නෑ ස්තූතියි ^_^

      Delete
  10. සැරින් සැරේ පොඩ්ඩ පොඩ්ඩ කියවන්න වුනේ...........ලස්සනයි.දකින්න තරම් අඩුපාඩුවක් නෑ මම කොහොමස් සිත්තරීගේ වැඩ වලට ආසයි....................

    දිගටම ලියන්න

    කථාව ගැන ඇත්තටම හිතට ගොඩක් දේවල් ආවා ඒත් ගලපගන්න බැරි කමක් මටත් තියෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිත්තමී......
      ඒත් ගලපගත්තෙ නැතත් ඒ අදහස් කියල යනවනම් තමයි මම ගොඩක්ම සතුටු :)ඒව මට ගොඩක් වැදගත් තව දෙයක් ලියද්දි

      Delete
  11. //'තෝ මගේ ජිවිතේ කාලකණ්නි කළා වල් වේසාවි' ඒ වචන මගේ කන් ඇතුළෙ තැන්පත් වුණා වුණාමයි ආය පිටවුණේ නැහැ. // මට හිතෙන විදියට හුඟක් කාන්තාවො ඔහොමයි. හිත ඇතුලට දාගන්න දෙවල් වලින් ජීවිතයම විඳවනවා. ඔය විඳවීම දෙදෙනාගෙම පවුල් දිවියට බලපාන වග නම් නිසැකයි. සමහර විට මේ කතාවෙත් අද තියන තත්වයට වග කියන්න ඒ සිද්දියම වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත අතීතයේ අසුන්දර මතක අමතක කරන එකමයි හොද. එව්වගෙන් විදව විදව ඉන්නවට වඩා පාඩමක් ඉගෙනගෙන අමතකකරලා දාල අනාගතේ හදා ගත්තනම් මිට වඩා සාර්ථක වෙන්න තිබුන.

      Delete
    2. @ලොකු ජෝන්....
      දෙන්නම හිතන්නෙ ඔයා කී තැන ඉඳගෙන. එහෙම චරිත අපි අතරෙ ඕනෑ තරම්.

      @අරවින්ද....
      පරිකල්පනය ගැනද කීවෙ යථාර්ථය ගැනද? නැත්නම් පරිකල්පනය යථාර්ථයට ආබද්ධ කරල පොදු නිගමනයක් ගැනද? පැහැදිලි නැහැ මට

      Delete
    3. යතාර්ථය ගැන කිව්වේ. අපි මොන ලෝක මැව්වත් .. මොන ආදර්ශ කතා කිව්වත්, ජිවත් වෙන්නේ සැබෑ ලෝකෙනේ.............

      Delete
    4. හැබෑවයි කල්පිතයයි පටලගත්තම නිර්මාණ විඳින්න බෑ කියලා දහය වසරෙ සාහිත්‍ය උගන්නපු ගුරුතුමිය අපට පාඩම් පොත පටන්ගන්න කලින්ම කියල දුන්නා....
      සමහරවිට දැන් සිලබස් වෙනස් ඇති අපේ කාලෙට වඩා. උගන්වන ක්‍රමවේදත් වෙනස් ඇති :)

      Delete
    5. අපිත් හයේ හිටියේ ඒ කාලේ තමා. :D

      කතාවේ වැරද්දක් කිව්වේ නැහැ මෝඩියේ. ආයේ නොකිය ඉන්නම්කො. :(

      Delete
  12. 95% සාර්තකයි......
    .........Aml Desh

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි
      අර නැතිවුණ 5% ගැන දුකයි :(
      ඒත් දැනට මේ ඇති :) ඒක ගැන සතුටුයි

      Delete
  13. සංකේත භාවිතය නම් ඉතා ඉහළයි.සාපේක්ෂව සාර්ථක කෙටිකතාවක්..

    සුබ පැතුම්...!

    ReplyDelete
  14. //'කල්ප, අනේ ප්ලීස් මට දරු පැටියෙක් දෙන්න'// -- මෙහෙම කියන්න කොහෙත්ම බිරිඳකට ගැලපෙන්නේ නැහැ, අනික මේක එයාගේ වැරැද්ද. තමන් ඉල්ලන තැනට සිදුවීම් වීම මමනම් දකින්නේ එයාගේ නොහැකියාව කියලයි .. :ප් (පොඩ්ඩක් ......)

    ReplyDelete
    Replies
    1. වෙලාවක් තිබුණොත් නැවත කියවල බලන්න :)

      Delete
  15. ඇඟ හිරිවැටිලා ගියා, හදවතටම දැනුනා අක්කේ

    ReplyDelete
  16. පින්තුර දානකොට තව ටිකක් සැලකිලිමත් වුනා නම් හොඳයි අක්කේ. මොකද ඔෆිස් එකේ වගේ තැනක කතාව කියවනකොට මිනිස්සු මං ගැන වැරදි ආකල්පයක් ඇති කරගන්නවාට මම කැමති නෑ.. අන්න ඒ පීඩනය කතාවේ රසයට බාධා කරනවා

    ReplyDelete
    Replies
    1. කොහොමත් අන්තිම ෆොටෝ දෙක කතාවට කොහෙත්ම ගලපෙන්නෙත් නැහැ

      Delete
    2. අනේ ඉතිං කිසි පොටෝවක් දාන් නැතිවම ඉන්නත් හදල කට්ටිය පුරුදු විදිහට තේරෙන් නැ තේරෙන් නෑ කියයි කියල හිතුණ නිසයි දැම්මෙ. :)

      (මම ඔයා උනානම් කවුරුත් මං ගැන දරන ආකල්පය ගැන තඹ සතේකට මායිම් කරන් නෑ.... ඒත් ඉතිං ඔයා ඔයානෙ :) )

      Delete
    3. නෑ නෑ.. පින්තුර දාන නොදාන එක ඔයාගේ කැමැත්ත අක්කේ.. ඒකෙ කිසි ප්‍රශ්නයක් නැතෝ.. ඔයිට වඩා දේවල් දැකලා තියනවා. ඒක වෙනම කතාවක්..

      මම කිවේ මම තවත් මේ රස්සා කරන්න ඕනි. ඒවගේම කම්පැනි එකේ ගරුත්වය රැකගන්න මට වගකීමක් තියනවා.

      ඔයා මම වුනා නම් සමහර විට එහෙම වෙයි. ඒ ඔයාගේ හැටි, මේ මගේ හැටි..හැමෝටම එක වගේ වෙන්නත් බෑනේ නේ අක්කේ..මිනිස්සු හිතන ඒවා පාලනය කරන්න අපිට බෑ..ඒත් මං කියන්නේ වෙනම කතාවක්.. (තරහ නෑනේ..?)

      Delete
    4. අ‍නේ තරහ නැ‍තෝ........... :)

      Delete
  17. මේ අපේ ගෙදර එක්කෙනාගෙ සිතිවිලිද? එත් මම එයාට වැඩ කාරියකට වගේ සලකන්නෙ නැහැනෙ. හැම දේම ළඟටම ගෙනත් දෙනව. එයාට තියෙන්නෙ උයන්නයි, මැෂිමෙන් රෙදි හෝදන්නයි, ගෙදර පිළිවෙලට තියාගන්නයි විතරයි. මම එයාට ළමයි දෙන්නෙක් දීල තියෙනව. තුන්වෙනියනෙ දුන්නෙ නැත්තෙ. මාව නැතිකරපු හැතිරි කිව්ව තමයි එත් වේසි කිව්වෙ නැහැනෙ. සුදු රෙද්දෙ රතුපාට පැල්ලම එයාටත් කලින් දැක්කෙ මමනෙ. ඇයි අපි දෙන්න එකිනෙකාව රුස්සන්නෙ නැත්නම් තවත් එකට ඉන්නෙ. ළමයි දෙන්න දීග යනකන්වත් දෙන්නටම ඉවසගෙන ඉන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු කතාව මගේ ජීවිතේ සමීපතමයන් ජෝඩු දෙකකට තියෙනව. එක් ජෝඩුවක් අවුරුදු හතලිහක් විතර ඇසුරු කරපු දෙන්නෙක්. අනිත් දෙන්න බැන්දෙ ගිය දෙසැම්බර්.....
      :( :( :(
      තවත් කියන්න බැහැ මට දුකයි ගොඩක්

      ජිවිතේ ඔහොමයි. ගැටළු වලට පිළියම් තියෙන්නෙත් අපි අපි ලඟමයි ඇනෝ.....

      Delete
  18. සිත්තරී මේ මතුකරන්න හදන සිද්ධිය ලංකාවේ පවුල් සෑහෙන ප්‍රමාණයක අඩු වැඩි වශයෙන් දකින්න තියෙනවා. මට කතාවක් කියෙව්වොත් පේන්නේ කතාවේ වැරදිමයි. හැබැයි මේකේ වැරැද්දක් මට අහු උනේ නෑ. මේ කතාව ලිඛිත භාෂාවෙන් ලියවුනානම් මම බොහොම කැමතියි.

    ReplyDelete
    Replies
    1. මම කැමතියි හරි ගැන කියනවට වඩා වැරදි ගැන අහන්න.... පූසො ආය වතාවක් කියවල වරදක් දෙකක් කියන්න ඊළඟ එකේදි මට හදාගන්න..... :/
      ලිඛිත භාෂාවයි මට ගොඩක් සමිප.. ඒ මගේ හැටි වෙන්නෝන. මොකද කතා කරද්දිත් කියවෙන්නෙ ලියන භාෂාව

      Delete
    2. ඒත් මේක කථන බසින් ලියල තියෙන්නෙ හොඳේ :)

      Delete
  19. සුලබ මාතෲකාවක් .. වෙනස් ආරක් ..

    ReplyDelete
  20. ගොඩක් වෙලාවට මේක හැමතැනම දකින්න තියෙන දෙයක්.. පොඩ්ඩ පොඩ්ඩ වෙනස්කම් තිබ්බට... කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා.. මොකද මේ කතාව ඇතුලේ කතා කරන්න මාතෘකා 10ක් විතර තියෙනවා.... කොහොම උනත් මට හිතෙන්නේ එක පැත්තකින් මේ කතාව නිර්මාණයක් වශයෙක් සාර්ථකයි වගේම යථාර්ථයක් වශයෙන් අසාර්ථකයි කියලා... එතන මම දකින්නේ ඔයාගේ කරැණු ගැලපීමේ, ලිවී‌ෙම් දක්ෂකම...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හිරු :)

      Delete
  21. මේ කථා නායිකාවකගෙ විවාහ ජීවිතයම ශෝකාලාපයක්..ඇය සැමියා සමග ඉන්නවට වඩා හුදෙකලාව ප්‍රිය කරන්න පටන් අරන්..ඒ හුදෙකලාව තුලින් ඇය සිතිවිලි වලින් පරිසරයේ ඇති පණ නැති වස්තූන් එක්ක නිහඩ සනිවේදනයක යෙදෙනව වගෙයි..

    අවාසනාවකට ආසියාතික ගැහැනියක් වන ඈට යුග දිවියෙන් පලා යන්න ලේසි නැහැ. ඒ නිසා ගල් පිළිමයක් වගේ සියළු මානසික පීඩාවන් දරා ගෙන ඉන්නව. මවක් වීමට ගැහැණියකට ඇති ශාරීරික ඇවැසිතාවයටත් වඩා තමන්ගෙ ජීවිතේ දරුණු තනිකම මකාගන්න ඈට දරුවෙකු ඕනෑ වෙලා තියනවා..අවාසනාවකට ඒක පැතුමක් පමණක් වෙයිද...

    ආසියාකරයේ ගැහැණිය දුර්වලයිද නැතිනම් මේක් පුද්ගලානුබද්ධ සිදුවීමක්ද? මම තාම හිතනවා..

    ReplyDelete
    Replies
    1. ඔයා කියවල තියෙනව මගේ සිතිවිල්ලට ගොඩක්ම සමීපව

      Delete
  22. //ලේ.... එක පුංචි ලේ බිංදුවක සටහන. ඒ ලේ සටහන තියෙන නැතිවෙන එකේ වෙනස...... මිනිස්සුන්ගෙ ජීවිත මොන තරමින් වෙනස් කරනවද.....?//

    …සමාජ සම්මුතියක(හෝ එයට ගැති වූ මනස් පිළිබඳ) නීරස යථාර්තය..

    …මම හිතන්නෙ සමහර දෙබස් මීට වඩා තාත්වික වෙනවනං හොඳයි.. මොකෝ දෙබස් කියන්නෙ කටවහරට නිසා.. හැබැයි මටත් කරන්න අමාරුම වැඩක් තාත්වික දෙබස් ලිවිල්ල..

    ReplyDelete
    Replies
    1. බලමු ඊළඟ කතාවෙන් ඒ අඩුව හදාගන්න
      ස්තූතියි මල්ලි

      Delete
  23. මම මේ පේජ් එක ඇරලා ටික දවසක් වුනාට, කියෙව්වේ දැන්. ඒකට හේතුව මට ඕනෙ වුනා මේක කලබලේ නෙවෙයි, නිවි සැනසිල්ලේ කියවන්න. දැන් හිතාගෙන හිටි විදියටම නිවිසැනසිල්ලේ පෝස්ට් එකයි, කමෙන්ට්ස් ටිකයි කියවල ඉන්නේ.

    සිත්තරීගේ තීම් එක ගැනයි, කලින් කරපු නිර්මාණයි මම මෙතනදි අමතක කරලා, මේක වෙනම කතාවක් හැටියට රසවින්දාම, මට මේ කතාවේ කියන්න කිසිම අඩුපඩුවක් නෑ. ඒ මගේ අවංක මතය.

    මේ දේ දෙදෙනාගෙන් ඕනෙම කෙනෙකුට සිද්ද වෙන්න පුලුවන්. ඒවගේම තත්වයේ බරපතල කම අඩු වැඩි වෙන්න පුලුවන්. එක්කෙනෙක් කියන හිත රිදෙන වාක්‍යයක් නිසා, නැතිනම් කරන ක්‍රියාවක් නිසා, මුළු ජීවිතයම ඔය විදියට ක‍ටුව ඇතුලට වැදුන ගොලුබෙල්ලෙකු වගේ, නිර්වින්දනය වුන අයුරින් ගත කරන්න ඉඩ තියෙනවා.

    මේ තරම්ම දරුණුවට නොවුනත්, තවත් ගැහැණියකගේ/පිරිමියෙකුගේ ලස්සන ගැන කියන්න ගිහින්, අභූත චෝදනාවකටත් ලක්වෙලා, පාඩමක් ඉගෙනගත්ත සැමියෙක්/බිරිඳක් මුළු ජීවිත කාලයම එකට සතුටින් ඉන්නවා වගේ පිටට පෙනුනත්, සහකරු/සහ සහකාරිය එක්ක ආයෙ ජීවිතේට විවෘතව කතා නොකරන ලැයිස්තුවට අර මුලින්ම කිව්ව දේ දාන්න ඉඩ තියෙනවා.

    ඒ වගේම තත්වය සිත්තරීගේ කතාවේ තියෙනවටත් වඩා දුරදිග යන්න ඉඩ තියෙනවා.

    කමෙන්ට් කරපු කියවපු අය කෙලින්ම නෑසූ ප්‍රශ්ණය තමයි, ඇයි මේක සාකච්ඡා කරලා විසඳා ගන්නේ නැත්තේ කියන එක. නැතිනම් වෙන් නොවෙන්නේ ඇයි කියන එක.

    මිනිස්සු විවිධාකාරයි. කටට ආපු දේ කියන අයත් ඉන්නවා. නිහඬව විඳවන අයත් ඉන්නවා. එතකොට extrovert/introvert personalities තියෙනවා. වෙන්වෙලා නොයන්න සමහරවිට අම්මට වුන පොරොන්දුවක්, නැතිනම් එහෙම දේකට මූණ දෙන්න තියෙන බය වාගේ දේවල් බලපාන්න පුලුවන් අර උඩුන් කිව්ව පෞර්ශ වලට අමතරව.

    මම මේකට සිත්තරී කියන දේ කියවන්න ආසාවෙන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. තාක්ෂණික: ඔයාගේ බ්ලොග් එකේ වෙලාවෙ AM/PM හදන්න.
      අනික කලින් පෝස්ට් එකක් හොයන්න අමාරුයි Archives වල drop down list එකක post titles වැටෙන්නේ නැති නිසා.

      Delete
    2. වෙලාව හදන්නෙ කොතනින්ද කියලනම් මම දන්නෙ නැහැ. දෙවෙනියට කී දෝශය හැදුවා :)

      මේ විදිහට ආරම්භයක් ගන්නම්. මට අවශ්‍ය වුනා “සම්පූර්ණ නිරවද්‍ය වූත් වෝදනා සඳහා නිහඬ වූත් වරිතයක්“ ගොඩනගන්න. මෙය ලීවාට පසු සාහිත්‍යකරණය පිළිබඳ දැණුම ඇති මගේ මිත්‍රයින්ගෙන් මේ ගැන කරුණු විමසුවාම ඔවුන් යම් යම් දේ කීවා මම මේ කතාවේ සම්පූර්ණ සාර්ථකත්වයට පත් වෙන්න නම් කළ යුතු වෙනස්කම් කීපයක්, ඔවුන්ට දැනෙන අයුරින්. මෙහි එම වෙනස්කම් වලට ආවොත් තව දුරටත් සාධාරණ චරිතයක් ගොඩ නගන්න පුළුවන් බව මට හැඟුණා.

      ඒ ගැන නොලියා මම ලියූ දේ ගැන, ඔබේ කරුණු දැක්විමට අදාලව කතා කරන්නම්.
      පුරුෂයා වෙන් නොවන්නේ ඇයි කියන එක ගැන කියනවන මට අවශ්‍ය වුණා කියන්න ඔහු වෙන්වීමකට අකමැති වුවත් යම් තරමකින් ‘පවුල‘ යන සංකල්පය ඉදිරියට ගෙනියන්න හදන්න උත්සහ කරනවා කියලා. වතුර වෑහෙන වහළය පිළිසකර කරන්නට ඔහු නිරර්ථක වුවත් යම් තරමක හරි උත්සහයක් ගන්නා බවින් මම කියන්න අදහස් කළෞ එය. නමුත් ඒ යෙදුම එතරම් සාර්ථකව දැක්විලා නැති බව මට පෙනුනා ආයෙම කියවද්දි.
      ඇය.... ඔහු කෙරෙහි කිසිදු දෝශයක් රෝෂයක් දකින්නේ නැහැ. කොපමණ නින්දා අපවාද පැමිණියත් ඇය වදනකින් හෝ ඉඟියකින් හෝ එළි දක්වන් නැතිවෙන්නෙ ඇගේ මනෝභාවයන් නිසා. නමුත් මෙහිත් යම් යම් දේ නැවත එක් කළ යුතු බව සිතෙනවා. පොදුවේ කියනවනම් ඇය ඔහු වෙනුවෙන් සියල්ල යථා පරිදි සිදු කළත්, ඔහු ඒවා දකින් නැහැ, හෝ ඔහුට ඒවා දකින්න උවමනාවක් නැහැ. මන්ද ඔහුත් සිය ආකල්ප හේතුවෙන් විඳවන්නෙක්. නමුත් තමන් නිසා තමන් විඳවන බව නොදන්නෙක්.

      කථාවේ බොහෝ තැන් වල පෙනෙන්න පුළුවනි ඇය අලස, වගකිම් පැහැර හරින, දුර්වල තැනැත්තියක් ලෙස. එවිට කළ යුත්තේ නැවත එය එසේදැයි විමසා බැලීම. (කථාව තුළ සියලු ප්‍රශ්නකිරීම් ඇති විය යුත්තේ කියවන්නාගේ සිතේ)

      Delete
    3. Design > Settings Language and formatting

      Time Zone (GMT=05:30) Colombo

      Delete
  24. නියමෙටම ලියලා තියෙනවා අක්කා.මනුස්ස ජීවිතේ එක එක්කෙනාට විවිධ ප්‍රශ්න මේකත් ඒ වගේ යතාර්ථවාදී ප්‍රශ්නයක්!

    ReplyDelete
  25. මේ අවුරුද්දේ මාව වැඩියෙන්ම කම්පනය කරවපු ලිපිවලින් එකක්..

    ReplyDelete
  26. මේක ගොඩාක් පරණ මගේ මතකයක් අලුත් කරපු කතාවක්!!

    මංගල රාත්‍රිය අවසානෙදි ඔය කියන සුදු රෙදි කඩ ගෙදරින් ගෙනාව විදියටම තියෙනව දැකල මගේ හිත හදල තමන්ගේ නෑදෑයින්ටත් බොරුවක් කරන්න තරම් මාව විශ්වාස කරපු මගේ මහත්තය ගැන මට එදාටත් වැඩි ලොකු ආදරයක් ඇතිවුනේ මේ කතාව කියෙව්වම... එදා එයා එහෙම තීරණයක් නොගත්තානම් වරදක් නොකරම මගේ ජීවිතයත් මේ වගේ අපායක් වෙන්න ඉඩ තිබුන මේ වෙනකොට.

    ස්වාභාවිකවම ඒ "එක පුංචි ලේ බිංදුවක සටහන" නොලැබෙන අය තව කොච්චර මේ සමාජේ ඉන්නවද? ඒ හැම දෙනාටම බුද්ධිමත් වගේම කරුණාවන්ත ස්වාමිපුරුෂයෝ ලැබෙන්න කියලයි මගේ ප්‍රාර්ථනය..

    ReplyDelete
    Replies
    1. ඔවන් තත්වයට පත් වන අනිත් කාන්තාවනුත් ඔබ මෙන් වාසනාවන්ත වේවායි පතමු :)

      Delete

 
There was an error in this gadget