Monday, February 24, 2014

ඉන්ටවිව් එහෙකට ගියෙමි

පුලපුලා බලා හිටි දවස් ගානකට පස්සෙ ඔන්න මමයි නංගියි ගියා කොළඹ පැත්තේ. ඒ අපේ ජීවිත වල හැරවුම් ලක්ෂයක් ලකුණු කරන්න තරම් වටින දවසකට කලින් දා පට්ට දවාලේ. තනියට අපේ අම්මත් ආවා. කොහොමින් හරි පහුවදා ඉන්ටවිව් එකට එන්නය කියල තිබුණෙ උදේ හතරට. ඒ හන්දා බොහොම දුර බැහැර ඉඳන් එහෙ ගිය අපි ඒ ලඟ ගෙදරක නැවතුණා. අපි ඉතිං නැවතුණේ අම්මගෙ කැම්පස් කාලේ බොක්කෙ ෆිට් එහෙකගෙ ගෙදර. අංකලුයි ඇන්ටියි අම්මයි දෙන්න තුන්දෙනාම එකම කැම්පුස් එකේ නිසා රස කතා ගොඩයි. හප්පේ අපේ කන් පිරිලා ඉතිං එදා. පහුවදා ඉන්ටවිව් එක හෙනම කට්ටක් කියලා දැන දැනත් හිටි නිසා කලින් නිදාගන්න හැදුවට කද්දිම රෑ 11 වුණා. ඉතිං මොන නින්දක්ද....

අපි දැනන් උන්නා ෆිසිකල් බලද්දි ඩිප්ස් ගහන්න දෙනවය කියලා. ඉතිං අපිට නිදාගන්න දුන්න කාමරේට ගියායින් පස්සෙ නගා කීවා එයාට ඩිප්ස් ගහන හැටි කියා දෙන්නය කියලා. මමත් සැදී පැහැදී බිම බඩගාගෙන වැඩේට ලෑස්ති වෙද්දි ඒ ගෙදර නගා ආවය කියමුකො කාමරේට... මම ඇඳ ගාව බිම. ඩිප්ස් ගහන්න ඔන්න මෙන්න ඉරියව්වෙන්. ඒ නංගි බලන්ට ඇති මේ මොන විකාරයක්දැයි කියලා, ආපු කාරියත් නොකරගෙනම යන්ට ගියා.

Thursday, February 13, 2014

නවකවදය, සරසවිය හා සරසවි කුමරිය හා බැඳි මිහිරි මතකයේ මගේ අත්දැකිම - 2

එක ලියල ගොඩක් කල්. ඒක මෙතනින්

සරසවිය.... පෙර දිනෙක එය මට සිහිනයක්ම පමණක් විය. එහෙත්, “සතීගේ කතාව නම් වූ අපූර්ව නවකාතාව මා ඇදගෙන ගොස් ඒ සොඳුරු වු සරසවි සිහිනය තුළ තනි කළේය. ඉදින් එක් දිනක මවත් පියාත් කැටුව නවක සරසවි සිසුවියක ලෙස හන්තාන කන්ද පාමුළ අති උතුම් අන්දර කඩේට ගොඩ වැදීමේ මහත් භාග්‍ය මා ලැබීමි. එවක අප එය දැන සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ලෙසිනි. නමුත් ලොව සැමට එය university of peradeniya වන විට අපටනම් එය එකම එක ‘හන්තාන කන්ද පාමුළ අන්දර කඩය ම විය. මට මෙන් අප බහුතරයකට අවැසි වූයේ සරසවි සිහිනය තුළ අප පැතූ සියල් සපිරි රසබර දෑ එක බිඳකුදු නොහැර එලෙසින්ම අප තුළට අරා ගැනිමයි.

“ටිකක් සංවරව හිටහන්. උඹේ කට නිසාම උඹ අමාරුවේ වැටෙයි. මේ හැම තැනම ජ්‍යේෂ්ඨයෝ ඉන්නවා

Sunday, February 9, 2014

සමුගනිමු ගුල්සාරි


“.... ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යමින් නැගිට ගන්නට හා හා පුරා කියා වෙර ගත් පළමු අවස්ථාවේ සිට පැවතියා වූ තමාටම විශේෂ වු ගමන් ලතාව රැක ගන්නට උත්සාහ දැරීය........... දිගු ලොමින් ගහණ ගෙලැති උගේ මවු වෙළඹ දිස් වූයේ උණුසුම් කිරි පැහැති වලාවක් පරිද්දෙනි.... ඇගේ තණපුඩු දැඩි වූ අතර ඉන් ගලා ආ කිරෙහි මිහිරෙන් හා අධික බවින් ගුල්සාරිට ඉස්මුරුත්තා ගතියක් පවා දැනුණේය.... අම්මා - යන මේ සියල්ලම එකම එක කිරි උගුරක අඩංගුව තිබුණේය...... ගෙලෙහි ලොම් ගහන වූ විසල් වෙළඹද තදැති මවක් වන බවක් පෙනිණි. නුවුවමනා හිරිහැර ගුල්සාරිගෙන් පැමිණෙන විට ඇය කළේ පැටවාගේ අර මදක් රිදෙන්නට හැපීමය. තව දුරටත් ඇති තරම් බොන්නට කිරි නොවී. ඌට තණ උලා කෑමට සිදු විය....


කාලය නම් එයයි. එය හිටිවනම නවතින්නේ නැත. වුවමනා වුවද නවතාලිය නොහැක. උහු ළඟා වි සිටියේ එහි අවසානයටය. තව දුරටත් කාලය හා තරඟයේ පැටලී දිවිය නොහැකි වූ අසු සිය උර මත උපතේ සිට පටවාගෙන පැමිණි බර සැහැල්ලු කිරීමට සුදානමින් සිටියේය.

“අසුගේ මහළු, පීඩිත හදවත වේදනාවෙන් පෙළුණු අතර කරපටිය හුස්ම ගැනිම තවත් අසීරු කළේය. ලිස්සා ගිය සෑදලයේ පටි අසුගේ සම කපාගෙන ගොසිනි. කරපටියේ වම් පැත්තේ යටින් වූ කිසියම් තියුණු උලක් දිගින් දිගටම ගෙලෙහි ඇනෙමින් පැවතිණි......

Friday, February 7, 2014

දියතලාව පසුකර හපුතලේ දක්වා සීතල දිනෙක උණුහුම් හදවත් සොයා

අද මුහුණ දෙන්න වුණේ ජීවිතේ අපූරුම අත්දැකිමක්. ඒ නිසාමයි මගේ බ්ලොග් එකේත් අලුත් කැටගරියක් මේ වෙනුවෙන්ම විවෘත කරන්න ඕන කියලා හිතුණේ. ඔන්න ඒ විදිහටයි මගේ “ක්ෂේත්‍ර චාරිකා කැටගරිය අමුතුවෙන් ලියවෙන්නේ. 



අද බදුල්ල දිස්ත්‍රික්කෙට පුදුම සිතලක් තිබුණ දවසක්. ඒ බව මට දැණුනෙ වෙනදටත් කලින් නැගිට්ටුන නිසා. ඒ නැගිට්ටුනෙත් සිතල වැඩි කමට නිදාගන්න බැරිව. අද වගේ සිතලම සිතල දවසක හපුතලේ වගේ තවත් සිතල වැඩිම දිහාවට යන්න දාගත්තු ගමන ගැන මම මටම හිතින් බැන ගත්තට පුදුම ආසාවක් තිබුණා ඒ පැත්තේ ඇවිදලා එන්න. ඉතිං සීතල තොච්චර ඇඟට වද දුන්නත් ඇඟ දන තරම් කූල් වුණ වතුරෙ පෙඟිලා ඇවිත් සාරිය පටලගෙන යන්තමින් 8 වෙද්දි බෝඩිමෙන් පිටත් වුණා. බදුල්ල කොළඹ බස් එකකට ගොඩ නූනේ යන ගමන් ජංගමයගෙ සටහන් කරගන්න ලස්සන පරිසරේ දර්ශන ටික මගහැරේවි කියලයි. ඔන්න ඉතිං පැය ගානක් ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණ බණ්ඩාරවෙල බස් එක යන්තම් පණ ගහල ගත්තා සීතලටත් ටටා කියාගෙන. මම පෙරුම් පුරල පුරලත් මෝඩයා වගේ වාඩි වෙලා තියෙන්නේ අරින්න බැරි ජනේලයක් ගාවයි කියමුකො. ඉතින් මක් කරන්නද..... අඟල් දෙකක් විතරක් ඇරගන්න පුළුවන් වුණ ජනේලෙ අස්සෙන් ජංගමයා රිංගවලා ෆොටෝවක් දෙකක් ගත්තා.

Tuesday, February 4, 2014

මාතෘ දේවතා




"එයාට හොඳ කරන්න බැරි ලෙඩක්" 


නගරෙ පුරා කතාව පැතිරිලා ගියේ එහෙම. අපි හිටියෙ ලොකු නගරෙක. තනි තනි වශයෙන් සීමිත ඉඩක පැතිරිලා. නගරෙටම හිටියෙ අපි ටික දෙනයි. හරියටම කීවොත් දහ දෙනයි. අපි වගේ සිය ගුණයකින් වැඩි ගොඩනැගිලි අපේ නගරෙ තිබුණා. ඒත් මුලින් කිව වගේ අපි හිටියෙ අපි අපිව පහසුවෙන් සම්බන්ධ කරගන්න පුළුවන් සීමිත ඉඩක. ඒ නිසා නගරෙ පුරා කතාව පැතිරෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. වැඩිම වුණොත් තත්පර දහයක් පහළොවක්. 

නගරෙ අපේ කොටස අපි නම් කළේ ‘නොනිදන උදානය’ කියලා. ඇත්තම කීවොත් ඒකට හරිම හරි තේරුමක් අපි දැනන් හිටියෙ නැහැ. ඒත් කිසි හැලහොල්මනක් නැතිව නිදන හිස් නගරෙකට අපේ ආගමනය කන්කරච්චලයක් වුණා වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දහ දෙනා තීරණේ කළා අපේ කොටසට මේ නම දෙන්න. අපි ඉන්න ගොඩනැගිල්ලේ තුන් වෙනි තට්ටුවේ කාමර දහයක් මුලින්ම අපි අපි වෙනුවෙන් වෙන් කර ගත්තා. හේතුව සුන්බුන් වලින් ටිකක් හරි නිදහස් වෙලා තිබුණෙ මේ ‍ඉහළ‍ කොටස් වීම. කොහොම වුණත් විසාල නගරෙ අසීමාන්තික පැතිරීමත් එක්ක බැලුවම අපි එක්කෙනෙක්ට මීට වඩා දේපල හිමිකමකට උරුමකම් කියන්න පුළුවන් වුණත්, කාගෙන්වත් ඒකට තහනමක් නොතිබුණත් දේපල වලින් අපි කරන්න ඕන දෙයක් දැනන් හිටියෙ නැහැ. ඇත්තටම එහෙම අයිතිය කියාපෑවට කරන්න පුළුවන් වුණේ මොකද්ද? හැමදාම වගේ බඩගිනි වෙලාවට තාමත් ඉතිරි වෙලා තිබුණු තැන් වලින් ටින් කැම ටිකක් හොයා ගෙන කන එක විතරයි. 

අපේ මළගිය නගරෙ මැද ඉස්සර අහස උසට නැගුණ කොළ පාටින් අංක බබලපු සද්දන්ත ඔරලෝසුව දැන් හිස කඩාගෙන බිම වැටිල තිබුණ වුණත්, ඉතිරි වෙලා කියන කඳ කොටසේ මුදුනටම නැග්ගම අපිට බලාගන්න පුළුවනි හැම අතින්ම මීදුමකින් වගේ පටලයකින් කෙළවර වෙන අළු පාට ගොඩනැගිලි (දැන් හිස් අහිමි කරගත්ත වුණත්) අහසට උස්සගත්තු අපේ නගරය. මුලින්ම අපි ඒ දර්ශනේ දැක්ක දවසෙ ටරාස්‍යා කලබල වුණා හොඳටම. 

"අපිට කවදාවත් ගැලවීමක් නැතිවෙයි" නිමක් නැති අනන්තයකට විහිදී ගිය අළු පාට, කැඩුණූ බිඳුණු ගොඩනැගිලි පුරෝගත්තු නගරෙ දැක්ක ගමන් එයා කීවේ මට කවදාවත් කරන්න බැරි තරම් ඇස් ලොකු කරගෙන. දැන් ඒ ටරාස්‍යා අපේ ‘නොනිදන උදානයේ’ එයා‍ට වෙන්වුණු ඇඳ උඩ නිදාගෙන වගේ ඉන්නව. 

"ලේ ගැලිල්ලේ අඩුවක් නෑ. එයා විලාප දීලා කෑ ගහපු වෙලේ මම නම් හොඳටම බයවුණා. හරියට මැජික් පෙට්ටියට බැස්ස දා වගේම" 

Saturday, February 1, 2014

මානවවංශ පුරාවිද්‍යාව හා සත්ව පාලනය පිළිබඳ විමර්ශනයක්

සැකසුම :- තිලිනි නදිකා ෂැල්වින්
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
පුරාවිද්‍යා පශ්චාත් උපාධි පාඨමාලාව
2013-1014

මානවවංශ පුරාවිද්‍යාව යනු

කාලය හා අවකාශය අතර මිනිසාගේ මැදිහත්වීමෙන් සිදුවූ ගනුදෙණුවේදී මානව පරිණාමය හා බැඳි මානවයාගේ ක්‍රියාකාරකම්හි වර්ධනීය පියවර සියුම්ව අවධානය යොමු කළ යුතු වූ විෂය පථයකි. මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා කාර්යයභාරය වූ මානවවංශ පුරාවිද්‍යාව සැලකිල්ලට ගැනීමේදී නොදන්නා යුගයක, නොදන්නා සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රවණතාව මේ ඔස්සේ ලැබෙන බව අවිවාදිතය. කැණීම් බිම් වලින් හමු වන්නා වූ මිනිසා විසින් උපයුක්ත කරගනු ලැබූ ද්‍රව්‍යාත්මක සාධක තුළින් අතිත මානවයාගේ චර්යා රටා සහ සංස්කෘතිය ප්‍රතිනිර්මාණය කරගනු ලබන්නේ යම් සේද, වත්මන් ප්‍රාථමික සමාජ අධ්‍යයනයට ගැනීමේදී ලැබෙන සාධකද මේ කෙරෙහි වඩාත් වැදගත් තොරතුරු අනාවරණය කරයි. සංස්කෘතිකමය වෙනස්විම් වලට නැඹූරු නොවී සිය සාම්ප්‍රායික සිරිත් විරිත් අනන්‍යතාවන් තවමත් පෙර මෙන්ම හැකිතාක් ආරක්ෂා කරගනිමින් ස්වභාවික පරිසරය මත සිය යැපීම් පවත්වා ගනිමින් ජීවත් වන ඇතැම් ප්‍රාථමික ජන කණ්ඩායම් අදටත් බොහෝ රටවල්හි වාසය කරන අතර මානවවංශවිද්‍යාත්මක අධ්‍යයනයන් සඳහා මෙකී ජීවමාන ජන කණ්ඩායම් උපයුක්ත කර ගනී.