Tuesday, September 10, 2013

දේශීය දැණුමට පුනරාගමනයක් - ජාතික විද්‍යා පදනමේ පවත්වන්නට යෙදුණු වැඩමුළුව පදනම් කරගනිමින් මවිසින් සම්පාදිත සංක්ෂිප්ත වාර්තාව

වැඩමුළු වාර්තාව



මාතෘකාව :-
පාරම්පරික දැණූමට පුනරාගමනයක් (Revisiting traditional knowledge)

මාතෘකාව හැඳින්වීම :-
මෙහිදි පළමු කොටම (traditional knowledge) “සාම්ප්‍රදායික දැණූම” යන්නට වඩා  (Indigenous knowledge) “දේශීය දැණූම” යන වචනය වැඩමුළුවේ අරමුණ වඩාත් ස්ථාවර කරන බැවින් පොදු එකඟතාවය ලෙස දේශීය දැණුම යන්න ව්‍යවහාරයට ගනිමින් ස්වදේශීය ඥානය, නෛසර්ගික උරුමයන් වර්ථමාන ලොවට හඳුන්වා දිමත්, එකී දේශීය දැණූම නූතනත්වයට ආදේශනයෙන් අද්‍යතන ආර්ථික අංශය උදෙසා එතුළින් ලැබෙන ධනාත්මක ප්‍රවේශයන් උපයුක්ත කර ගැනිමත් ‍ Revisiting traditional knowledge යටතේ සිදු කෙරෙන බව හඳුන්වා දෙනු ලැබිණි.

අරමුණු හා අභිමතාර්ථ :-
·         දේශීයව පවතින ලිඛිත සහ අලිඛිත දැණූම නූතන විද්‍යා ප්‍රවේශයන්ට උපනිශ්‍රය කරගනිමින් දේශීය චින්තනය පෙරටුගාමී කරගත් නව ගමනක් සඳහා පූර්ව පියවර සනිටුහන් කිරීම.
·         දේශීය දැණූමේ විද්‍යාත්මක පදනම පිළිබඳ සාධක ගවේශනය.
·         දේශීය වෛද්‍ය විද්‍යාව, ගෘහනිර්මාණ ශිල්පය, තාක්ෂණය, කාෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව ආශ්‍රිත දැණූම, නක්ෂස්ත්‍රය, පූජාවිධි හා සෞන්දර්ය ශාස්ත්‍රය මෙන්ම දේශීය දැණූම ආරක්ෂා කිරීම පිළිබඳ දර්ශනයන් ආදී වූ ප්‍රවේශ යටතේ දේශීය දැණූම අධ්‍යයනය.
·         දේශීය දැණූමේ මහිමය පිළිබඳව පොදු ජනතාව දැණූවත් කිරීම.
·         දේශීය දැණූම වත්මන් ලෝකයට හඳුන්වා දෙමින් එය භාවිතයෙන් ඵලදායී ආර්ථික රටාවක් කරා දේශය මෙහෙයවීමට පසුබිම සකසා ගැනීම.