Wednesday, May 1, 2013

අපි හොරෙන් යං පුංචි කාලෙට...... කාගෙන් බාධාවක්ද............


පුංචි කාලෙ මතකය හරිම සුන්දරයි. ලොකු වුණාම ගොඩක් අය එහෙම කියනවා. ඒත් පුංචි අය කැමති නෑ ගොඩක් වෙලාවට තමන් ගත කරන කාලයට. හැමෝම එහෙමද කියන්න මම දන්නෙ නැහැ. මං මං ගැන කියන්නම්. මං කැමැත්තෙන් හිටියෙ නැහැ පුංචි කාලෙට. ඒ කාලෙ මට ඕන වුණේ ඉක්මනින් ලොකු වෙන්න. මොකද කියනවනම්, අපේ අම්ම හැමදාම ටොකු ඇණ ඇණ පාඩම් කෙරෙව්වා. හැමදාම උදේ හවස ඉස්කොලෙ යන්න එන්න පයින්ම.... යන්න මහා විසාල කන්දක් තිබුණා. ගිණි කාස්ටකේ ඔය පාරෙ මටත් වඩා බර පොත් බැග් එකක් උස්සන් යන්න එන්න සිද්ද වුණා. මල්ලිලා මට වඩා බාල නිසා බොහොම සාරෙට එයාලට සැලකුම් ලැබුණා. හැම රණ්ඩුවකම කෙළවර සටහන් වුණේ ලොකු ගුටි වරුසාවක් මගේ පිට දිගට ඇඟ හරහට වැදිලා.


ඔන්න ඒවටත් එක්ක හරි යන්න මම බොහොම මුරණ්ඩු, නාහෙට නාහන ගානට හැදුනා. මේ ඇත්තම මගේ ගැනයි කියන්නෙ. වෙන කතා වගේ ආදේශ චරිතයක් නෙවේ. මට හිතුණ දේ කරන, දෙයක් ඕනනම් හොඳින් හෝ නරකින් මට ඕන දේ ලබාගන්න විදිහට කාටවත් මෙච්චල් නොවී මං හැදුණා.

ළමා කාලෙ.... අපෝ, කවුරුහරි කීවොත් ඔයාට පුළුවන් ආයෙම පැංචි සන්දියට ගිහින් ජීවිතේ අළුතෙන් පටන්ගන්න කියලා..... මම දිවි නහගන්න තරම් තැනට එන විදිහට ඒ වචනය මට මහ අජූව වචනයක් වුණා.....

අරයව ආස්සරේ කරන්ටෙපා. අර කෙල්ල එක්ක කතා කරන්ටෙපා. ඒ ගෙදර යන්ටෙපා. ඉස්කෝලෙ ඇරුණම රස්තියාදු ගහන්ටෙපා. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං.. පාඩම් කරපං..පා...ඩම්..... පාපාපාපාපාපා..... මොන මළ ඉලව්වක්ද... හැම තිස්සෙම කන් අස්සෙ පුපුරු ගැහුවෙ ඒ වචන දෙක. අහවල් මගුලක් පාඩම් කරන්නද... ඔන්න ඒව මතක් වෙද්දි මට මගේ භාෂාවෙ තියන සංයමයත් නැති වීගෙන යනවා.....

හිතන්නකො... පාඩම් නොකරම ඉඳලත් පාඩමේම ඇලිල ඉන්න ඉගෙනීමේ උස්නෙ විතරක් ඔළුවට ගහපු දෙමව්පියෝ ළමයි අතරෙ තිබුණු සමාජයක, විභාගෙ දවසට තියන විෂයවත් නොදැන ගිහින් ප්‍රශ්න පත්තරේට ලියලත් පනස් ගණනක් ළමයි හිටපු පන්තියක මම තිස් වෙනිය විතර වුණා.... මට හරි සන්තෝසයි ඉතිං.... මේක අතුරු කතාවක්... මං විභාග ලියපු විදි ගැනත් මං කලින් ලියල තීනවා....

හරි හරි... ඒකෙන් මේකෙන් කියාගෙන ආපු දේ වෙනමම පැත්තකට ගියා..... ඔන්න ඉතිං පුංචි කාලෙ ඒ තරමටම අමිහිරියි කියල හිතුවත්, ඒ අමිහිර අතරින් මොන තරම් රසවත් දේ අද වෙද්දි මතකයේ ඉතිරි වෙලා තියෙනවද කියලත් හිතෙනවා. කොච්චර තහංචි වාරණ දැම්මත් අම්මල තාත්තල දන්නවයැ අපි කරන කියන හැම දේම. අනික මට එපා කියල කීවොත් දෙයක්, ඒ දේ කොහොම හරි කරන්න තරම් උණක් මට තිබුණා. අම්මල ඒක තේරුම් ගත්තනම් අදටත් කිසි දෙයක් කරන්න එපා කියල මට තහංචි දාන්නෙ නැතුව හිටියමන් ඉවරයි J මොකද, එපා කියපු දේ කරන්න ආසාවක් මිස ඒව කරන්න ඕනකමක් මට තිබුන් නැහැනෙ. එපා කියන නිසා කරනවා..... J 

පුංචි කාලෙ.... මට අප්පිරියද...

මතකයි ඉස්සර ඉස්කොලෙ ඇරිල ළඟ තිබුණු ළමා උද්‍යානෙට පැනගන්නව... විනාඩි දහයක් ඔන්චිලි පදින්න ගිහින් මටත් නොදැනිම පැය බාගෙකටත් වඩා එතනම ගත වෙනවා. ජරා වතුර පිරුණු පොකුණෙ මාළුවො අල්ලලා වතුර බොන බෝතලේට දාගෙන එනවා. දවසක් අම්මට ඒක අහු වෙලා මම ගෙනාපු සාරිගප්පි යික කාණුවට හැලුවම උන් මැරෙයි කියන දුකට මහ හඬින් අඬ අඬ මම කුණු කාණුව පුරා හොය හොය ආයෙමත් ගප්පි ටික එකතු කරා.... උදේ පාන්දර අරළිය ගහේ මුදුනටම නැගලා ඕන වුණත් නැතත් ඉස්සර අර සතපනහට තිබුණ සිලිමල්ලට පුරවල එකක් මල් කැඩුවෙ ආසාවටත් එක්ක. මට සපත්තු දාගෙනත් නොවැටී ගස් යන්න පුළුවන් කියන පුංචි පහේ ආඩම්බරෙත් මට තිබුණා. කොහොම හරි මුලදි මුලදි ගහේ මුදුනෙම තියන හීනි අත්තටත් නගින්න පුළුවන්කම තිබුණත් දවසින් දවස වේගෙන් ගෙවෙද්දි මම තේරුම් ගත්ත මට ගස් යන්න බැරි වේගෙන එනවයි කියන එක.... ඒ වෙන මුකුත් නිසා නෙවේ, අරලිය අතු හයිය නැති නිසාත් මං පුංචි වයසෙ හැමදාමත් ඉන් නැති නිසාත් කාලය මට ඒ දේවල් මතක් කරල දුන්නු නිසාත්.....

ඉස්කෝලෙ ඇරිල ඇවිත් නට නට ඉඳලා දාඩිය පිටින්ම වෙලාව ආවම සෙරෙප්පුත් නැතිව, ගෙදරට ඇඳන් හිටිය වියතක්වත් නැති, පරණ නිසාම ඇකිළුණ බරු ගැහිච්ච කොට කලිසම පිටින් පංතියට දුවන්න පුරුදු වෙලා හිටපු මං රටේ නැති මෝස්තර කරන්න ගත්තු කාලෙකුත් තිබුණා. දවසක් මහ රෑ එකොළහට විතර තාත්ත ගෙදර ආපු වෙලේ දොර ඇරියෙ මං. අපේ තාත්ත බය වෙලා ඇස් දෙක නලලෙ ඉන්දගත්තා මාව දැක්ක හැටියෙම.... එතකොටයි මට මතක් වුණේ මම මූණ පුරා සුදු හඳුන් ගාගෙන හිටපු බව... ඉතිං මහ රෑ ජාමෙ එකපාරම මූණ විතරක් සුදු පාට කැරළි ගැහිච්ච අවතාරයක් ඇස් ඉස්සරහ පහළ වුණාම කොහොම වේවිද.....

ඔන්න ආයෙමත් මම මාතෘකාවෙන් පිට පැනල වගේ.... මේක හරියන් නෑ කෙටියෙන් කියන්නම්......

මේකයි කාරණේ.... ඇත්තටම පුංචි සන්දිය ඒ තරම් නරක නෑ.... මොකද අපි විසින් මවාගන්න ලෝකයක් අපිට ඒ කාලෙ තියෙනවා. මංද මං හිතන්නෙ මං දන්නව මං කියන දේ ගැන... ඔයාලටත් එහෙම ඇති සමහරවිට.

මං පුංචි දෙයක් පටන්ගන්නයි හිතන් ඉන්නෙ. මං අදහස් කරා ලියන්න පුංචි ඈයන්ට කතන්දර....... චිත්‍රත් එක්කම.... ආර්ථික අපහසුතා නිසා දැන්මම චිත්‍ර අඳින්න වෙන එකක් නෑ. එතකන් අන්තර්ජාල පිහිටෙන් හොයාගත්තු 4ටෝස් එක්ක කතා ලියන්නම්.... මේ ආරම්භක සටහන............. J

ඉතිං ඔයාලටත් ඇති පුංචි කාලෙ පහුකරපු ඒ ලස්සන මතකයේ හැංගිච්ච අහුමුළු වල දූවිලි බැඳිච්ච රස සිතිවිලි..... මං කියන්නෙ පුංචි කාලෙ නොදැණීම අපි මවාගන්න අපේ හීන ලෝකය ගැන සිතිවිලි.... එහෙම නේද

පි හොරෙන් යං පුංචි කාලෙ...... 
කාගෙන් බාධාවක්ද............

Comments
34 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

34 comments:

  1. අපි හැමෝටම තියන බොළඳ අශාවක් සිත්තරී මේක..... හැමදෙයක්ම වගේ පුංචිකාලෙත් වටිනාකම තේරුනේ අපිට බාල කාලේ අහිමි වෙලා නේද කියල දැනුනහම...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ඒ ලස්සන පුළුවන් හැම විදිහකින්ම උරාගන්න තිබුණ නේද කියල දැන හිතෙනවා.... වෙලාවට ලස්සනම දේවල් විතරක් වැඩියෙන් මතක තියෙන්නෙ :)

      Delete
  2. ගෙවීයන හැම තප්පරයක්ම ඇතැම්විට කරදරයක් සේ දැනුනත් කාලයක් යනවිට එය අතිතයක් වෙයි. ඒ අතිතය වර්ථමානයට සාපේක්ෂව සුන්දරයි කියල තමා කාටත් හැගෙන්නේ... මේක මවා පානා බොරුවක්ද කියලත් වෙලාවකට මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔවු.... ඉටුකරගන්න බැරිවුණ අපේක්ෂෘවන් එක්ක නිතැතින්ම අත යටින් ගලා ගිය කාලය ගැන තරහක් තියෙන්න පුළුවනි. ඒත් වටහාගැනීම් හැකියාව වැඩි වෙන තරමට, වගකීම් වැඩිවෙන තරමට පීඩනය වැඩි වෙන තරමට ඒව මොකුත් නැති අතීතය හොඳයි කියල හිතෙන්නත් පුළුවනි.... ඒත්... ඒ වගේම,, මේ ගත කරන මොහොතත් ඊළඟ මොහොතෙදි අතීතයට එක් වෙනවා.... අපි සිතිවිලි අතර මංමුලා වෙනවා

      Delete
  3. අර අරලිය ගහ ගැන කියනකොටනම් මටත් මතක් උනා :)

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ ගේ ඉස්සරහ තිබුන අරලිය ගහට මන් හැමදාම නගිනවා ඉතින් අර කිව්වත් වගේ අරලිය අතු හයිය නැති නිසා අපේ ගේ ඉස්සරහ ගෙදර හිටපු නැන්දා අපේ අම්මාට ඕක කියල ඉතින් අරලිය ගහ කැපුවා :/

      Delete
    2. මමත් ඔය වැඩේම කරන්න ගිහින් අරලියගහත් එක්ක වැට කඩාගෙනම වැටුන. මාසයක් විතර බේත් කළා
      ඒ දවස් වල කොච්චර රිදුනත් දැන් නම් මතක් වෙද්දීහිනාත් යනවා :D

      Delete
    3. දවසක් හවස මම හී‍නෙන් ගිහින් ග‍හේ නැගලා... ඇහැ‍රෙද්දි මම ගහ මුදු‍නේ ^_^

      Delete
    4. අ‍නේ අ‍පේ අරලිය ගහත් කැපුව‍නෙ... මීට අවුරුදු අටකට විතර උඩදි.... :( :(

      Delete
  4. මට ගොඩ දවසක් ඉදලා හිතිලා තිබ්බ දෙයක් තමා මේකිගේ තියෙන්නේ එසේ මෙසේ දගයක් නම් නෙවේ කියලා. ඔන්න අක්කේ අද මට ඒකට පිළිතුරු අක්කගේ කටින්ම හම්බුණා.

    ReplyDelete
    Replies
    1. තාම කියන්න පටන්ගත්ත විතරලු ;)

      Delete
  5. පුංචි කාලෙ, කොහොම උනත් අතීතයනෙ. මං නම් කැමති නෑ අෆ්ෆා.
    හැබැයි මටත් ඔහොම කාලයක් තිබුන.ගොඩක් දේවල් මේ කතන්දර වලට සමානයි.

    එහෙනම් ලියන්ටකො බලන්න ලස්සන කතන්දර. හැබැයි ලොකු අකුරෙන් ඇ.

    ReplyDelete
    Replies
    1. මමත් එහෙමයි හිතන් ඉන්නෙ... හොඳට ලියවුණොත් කවදහරි පබ්ලිශ් කරන්ටත් බැරියැ

      Delete
  6. අඩේ නියම අයිඩියාව අක්කේ! සුපිරි :)
    ඔයාට ඒක කලහැකි නියමෙට...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා...... :)
      එහෙනම් පටාාාාාාාං ගන්නං

      Delete
  7. මං නං ඉතින් තාම පුංචියිනේ...))))))_)

    ReplyDelete
  8. ලිපිය කියවපුගමන් එක පාරටම මතක්වුනේ මෙන්න මේක. අපි පුංචිකාලේ තිබුනා, කඩි බිත්තර කියලා කියන, වී ඇටයකට ටිකක් ලොකු, දිගටි සීනිබෝල ජාතියක්. ඒවා ඇතුලේ සූදුරු ඇටයකුත් දාලා හදලා තියෙන්නේ. එකවර 10ක් 15 ක් කටේ දාගන්න පුලුවන්. මේවා ආවේ පොලිතීන් බෑග් වල. දවසක් අම්ම දිග බඩු ලැයිස්තුවක් දීලා මට කිව්වා කඩේ ගිහින් එන්න කියලා. මම හිටියේ 6 පන්තියේ විතර. මුදලාලි බඩු කිරන අතරේ මුදලාලිගේ මෙසේ උඩ තිබුන කඩි බිත්තර පැකට් එකේ මුල්ලක් කෙනිත්තුවා මම, එකක් දෙකක් ගන්න හොරෙන්. හෝ ගාලා කඩි බිත්තර එන්න ගත්තා. එක අතක් පිරුනා. ඒක කලිසමේ සාක්කුවට දාගත්ත. අනික් අතත් පිරුනා ඒක අනික් සාක්කුවට දාගත්තා. දෙයියනේ තවත් එනවා. දැන් සාක්කු උතුරන්න ලඟයි. මුදලාලි බඩු කිරලා අවසන් වෙන්නත් ලඟයි.මට චූ යන්න ලඟයි. හප්පේ දෙයියෝ බලලා කඩි බිත්තර ගංගාව නැවතුනා. බඩු ගත්ත ගමන් මම පුදුම බයකින් කඩෙන් එලියට ආවේ. දවස් දෙකක් විතර කන්න කඩි බිත්තර ලැබුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අහා......... අපි ඒවට කීවෙ මී බෙටි සීති බෝල කියලා... නමනම් කැතයි ඒත් සීතිබෝලනම් රසයි...

      මොනව වුණත් හොරකම් කරන එක නාකයි ඈ........ ;)

      Delete
    2. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයා නැ... පැණි රහයි සූදුරු රහයි

      Delete
  9. ඇත්තටම අක්කේ පුංචි කාලේ ඇත්තටම සෝක්...හිතේ අනං මනං නැ නේ..ඒක නිසා වෙන්න ඕන..
    හරිම ලස්සනයි අක්කගේ පුංචි කාලේ..මට මෙ ටික කියෙව්වම හිතුනේ..
    අර ගප්පි අල්ලපු හැටි..අරලිය ගහේ නැගල මල් කඩන හැටි...මැවිලා පෙනුනා...
    මටත් ඉස්සර මාළු පිස්සුව...හි හි ඇලේ මාළු අල්ලනවා..මමයි අපේ ගෙවල් ළඟ යාළුවෙකුයි..හයියෝ දවසක් අහුවුනා තාත්තට...අපි දිව්වා ඇලේ..වැලි ගොඩ දාපු වලකට වැටුනා..තාත්ත ඇවිත් යන්තම් අදාල ගත්තා..තෙත හිඳුනා විතරයි..බැනුම් කෝටියයි..
    මාළු විකුණන කඩ පේන්න බෑ..අලුත් කඩයක් දම්මගමන් අපි යනවා..
    දැන්නම් මාළු ටැංකිය බිඳිලා... :(
    පොන්ඩ් එකේ දියසේවෙල්...ගෙම්බෝ බිත්තර දානවා..
    ඔය යන්තම් පණ ගැට ගහගෙන ප්ලේටි තුන් හතර දෙනෙකුයි ගප්පි ටිකකුයි ඉන්න්නවා..
    අනේ උන්ට කෑම ටිකක් දාන්නවත් වෙලාවක් නැ..
    උන්ට දැන් දාන කෑම පුරුදු නෑ වගේ...
    තව කොච්චර විකාර වැඩද...
    ඉස්කෝලේ පිටිපස්සේ වත්තට පැනලා ඩොන්ග කඩනවා..තැඹිලි කඩනවා..
    පප්පගේ වත්ත කියලා කියන්නේ...
    පාප මැරිලා..හොල්මන් තියේලු වත්තේ...මුලින්ම ගියපු දවස..හයියෝ..මතක් වෙනකොට හිනා..ඉතිපිසෝ ගාථාව කියා කියා..තව එකෙක් කරණිය මෙත්ත සුත්‍රය කියා කියා...
    හපෝ එක ලියන්න මහා වැලක්...
    ඒ කාලෙට ගියාම එන්න හිතෙන්නේ නැ..
    දැනුත් යන්තන් යාළුවො දෙතුන් දෙනෙක් සෙට් වුනාම ඔය කතා තමයි..රැ වෙනවා දැනෙන්නේ නැ..
    --------
    අක්කගේ වැඩේ නියමයි..කොච්චර ලස්සනද..බලලා හිනාවෙන්න පුළුවන්..ටිකක් හිතුවම අනේ ඇයි මෙහෙම වුනේ කිඅල අවබෝධ කරගන්න පුළුවන්..
    හිත ගැන..සමාජයේ වෙනස් වීම ගැන ගොඩක් දේ හිතන්න පුළුවන්...

    ජය වේවා අක්කට..දිගටම ලියන්න... :D

    ReplyDelete
    Replies
    1. ඌ දිග වැඩිද මන්දා..හි හි ඔහොම තමයි සුන්දර මතක පෝලිමට එනවා..සුන්දර නිසාම යන්න හිතෙන්නේ නැ ඒ ලෝකයෙන්...

      Delete
    2. ඒ කාලෙ මටත් මාළු පිස්සුව උපරිමේටම තිබුණා. වත්ත මැද වලවල් හාර හාර පොකුණු හැදුවා. පස්සෙ කාලෙක තාත්ත පොකුණකුයි ටැංකියකුයි දෙකක්ම හදලා මාළුත් ගෙනත් දාල දුන්නා.. උන් කන්න නැතිව උන් උන්ම කාල මැරෙනකන් දැන් අපි දන් නෑ....

      ශෝක්නෙ, ලියන්නකො ඔයත්.... ආසයි බලන්න

      Delete
    3. හපෝ මට ඕව කොට කොට ඉන්න වෙලාවක් නැ.. :(

      Delete
  10. පුංචි කාලේ මතක් වෙද්දී ගොඩක් ආසයි.. අක්ක වගේ අරලිය මල් කඩන්න ගිහින් කොන්ද නොකදී බේරුනේ 99 න.... තව දවසක් බිලි බාල (ජිවිත කාලෙටම පලවෙනි පාර) දවසම ඉදල එකෙක්වත් අහු වෙලා නැතුව SET එකෙන්ම චා වෙලා ගෙදරත් ඇවිත් ගුටි කාල... වරුවක්ම මිදුලේ දනගහගෙන උන්නු හැටි එහෙම....

    අම්මෝ ඒ කාලේ කොච්චර වේදනාකාරී උනත් දැන් නම් මතක් වෙද්දීත් ආසයි..

    කොහොම උනත් පොඩි කාලෙට අමිහිරි අත්දැකීම් වලට වඩා දැන් ජිවිතේ මටනම් සුන්දරයි

    අක්කගේ අලුත් වැඩේට මගෙනුත් සුබපැතුම්.. ඔන්න පලවෙනි එක අද කියෙව්වා ;)

    ReplyDelete
    Replies
    1. හි හි මම දැක්කා... ඒක‍නොමමත් කි‍වේ මටත් හිතාගන්න බෑ ‍කොයි කා‍ලෙද ‍හොඳ කියලා.....
      මමත් දවසක් අරලිය ග‍හෙන් වැ‍ටෙන්න ගිහින් ග‍හේ කඳ ව‍ටේ කැරකිලා ආ‍යෙම හිටපු තැනට බඹ‍රොව‍ගේ ආවා.. හයි‍යෙන් අල්ලන් හිටපු නිසා.....

      Delete
  11. ඇත්තටම! මං හරි ආසයි මගේ පුංචි කාලේ ගැන නැවත නැවතත් ආවර්ජනය කරන්න. ඒකට ඉතින් කාගෙන් බාධාවක්ද? ඒ විතරක් නොවේ, පුංචි කාලේ වගේ දැනුත් හිතන්න, වැඩ කරන්න, එහෙම කරලා පුංචිකාලේ දෙමව්පියන්ගෙන් බැනුම් අහනවා වගේ බැනුම් අහන්න.

    ReplyDelete

 
There was an error in this gadget