Tuesday, September 10, 2013

දේශීය දැණුමට පුනරාගමනයක් - ජාතික විද්‍යා පදනමේ පවත්වන්නට යෙදුණු වැඩමුළුව පදනම් කරගනිමින් මවිසින් සම්පාදිත සංක්ෂිප්ත වාර්තාව

වැඩමුළු වාර්තාව



මාතෘකාව :-
පාරම්පරික දැණූමට පුනරාගමනයක් (Revisiting traditional knowledge)

මාතෘකාව හැඳින්වීම :-
මෙහිදි පළමු කොටම (traditional knowledge) “සාම්ප්‍රදායික දැණූම” යන්නට වඩා  (Indigenous knowledge) “දේශීය දැණූම” යන වචනය වැඩමුළුවේ අරමුණ වඩාත් ස්ථාවර කරන බැවින් පොදු එකඟතාවය ලෙස දේශීය දැණුම යන්න ව්‍යවහාරයට ගනිමින් ස්වදේශීය ඥානය, නෛසර්ගික උරුමයන් වර්ථමාන ලොවට හඳුන්වා දිමත්, එකී දේශීය දැණූම නූතනත්වයට ආදේශනයෙන් අද්‍යතන ආර්ථික අංශය උදෙසා එතුළින් ලැබෙන ධනාත්මක ප්‍රවේශයන් උපයුක්ත කර ගැනිමත් ‍ Revisiting traditional knowledge යටතේ සිදු කෙරෙන බව හඳුන්වා දෙනු ලැබිණි.

අරමුණු හා අභිමතාර්ථ :-
·         දේශීයව පවතින ලිඛිත සහ අලිඛිත දැණූම නූතන විද්‍යා ප්‍රවේශයන්ට උපනිශ්‍රය කරගනිමින් දේශීය චින්තනය පෙරටුගාමී කරගත් නව ගමනක් සඳහා පූර්ව පියවර සනිටුහන් කිරීම.
·         දේශීය දැණූමේ විද්‍යාත්මක පදනම පිළිබඳ සාධක ගවේශනය.
·         දේශීය වෛද්‍ය විද්‍යාව, ගෘහනිර්මාණ ශිල්පය, තාක්ෂණය, කාෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව ආශ්‍රිත දැණූම, නක්ෂස්ත්‍රය, පූජාවිධි හා සෞන්දර්ය ශාස්ත්‍රය මෙන්ම දේශීය දැණූම ආරක්ෂා කිරීම පිළිබඳ දර්ශනයන් ආදී වූ ප්‍රවේශ යටතේ දේශීය දැණූම අධ්‍යයනය.
·         දේශීය දැණූමේ මහිමය පිළිබඳව පොදු ජනතාව දැණූවත් කිරීම.
·         දේශීය දැණූම වත්මන් ලෝකයට හඳුන්වා දෙමින් එය භාවිතයෙන් ඵලදායී ආර්ථික රටාවක් කරා දේශය මෙහෙයවීමට පසුබිම සකසා ගැනීම.


ප්‍රවේශය :-
Falk knowledge, Traditional knowledge, Local knowledge ලෙස නන්විධ ආකාරයෙන් දේශීය දැණූම (Indigenous knowledge) රට තුළ පවතින බව ප්‍රකාශ කරමින් සිය ආරම්භක සටහනට ප්‍රවේශය ගත් මහාචාර්ය මාකස් කරුණානායක වැඩමුළුව පුරා සිදු කෙරෙන සාකච්ඡා වාර සියල්ල තුළ කථාබහට ලක්කෙරෙන්නා වූ අංශ ඔස්සේ අනාවරණය කළ හැකි දේශීය දැණූම පිළිබඳ වත්මන් තත්වයන්, විවිධ ආයතනවල මැදිහත්වීමෙන් දේශීය දැණූමේ සුරක්ෂිතතාව උදෙසා පිහිටුවා ඇති විවිධ සංගම් මෙන්ම පහත කරුණු අවධානයට ලක් කරන ලදී.

දේශීය වෛද්‍ය ශාස්ත්‍රය - මහාචාර්ය කේ. කේ. ඩී. එස් රණවීර
මෙහිදී පළමු කොට දේශීය දැණූම කුමක්ද යන්න හඳුන්වා දෙමින් දේශීය වෛද්‍ය ශාස්ත්‍රීය දැණූම, සංගීතය, නර්ථනය, ගද්‍ය පද්‍ය සාහිත්‍ය, ආත්මය පිළිබඳ වූ සංකල්ප, කෘෂිකර්මාන්තය හා පාරිසරික විද්‍යාත්මක දැණුම ආදී වූ ක්ෂේත්‍ර රැසක් පුරා මෙය විස්තීරණය වන බව මහාචාර්ය කේ. කේ. ඩී. එස් රණවීර විසින් පෙන්වා දෙනු ලැබීය. පාරම්පරික වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය හැඳින්වීමට ප්‍රවේශය ගනිමින් දේශීය චිකිත්සා “ප්‍රලතිසි පරම්පරාව” දක්වා දිවෙන බවත්, රාවණ රජු සමයේ සිට දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබඳ සාධක ලැබෙන බවත් පැවසීය.
දේශීය දැණූම සමග ලෝක වෙළඳපලට යාමේ අවස්ථාව මේ වන විට බහුවිධ මාධ්‍යන් තුළින් උදා වී ඇති අතර, දේශීය වෛද්‍ය ක්‍රමවේද පිළිබඳ විදේශීය ආකර්ශනය එහි ලා සුවිශේෂීත්වයක් ගනී. මෙකී දැණුම විසිරී ඇති අවකාශය තෝරාබේරාගෙන “දේශීය දැණූම” සංරක්ෂණය, ආරක්ෂා කිරීම, සම්ප්‍රේශනය, දේශීය දැණුම ආරක්ෂා කිරීම සඳහා රුකුල් දීම, වඩා ශක්තිමත් කිරීම, සම්පත් ලබා දීම, ඉහළ නැංවිම, ප්‍රයෝජනයට ගැනීම, තහවුරු කිරීම, හසුරුවාගැනිම ආදී වූ අංශ වෙත අවධානය යොමු කළ යුතු බව ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.

දේශීය වාස්තුවිද්‍යාව - මහාචාර්ය නිමල් ද සිල්වා
කාලානුරූපව සිදූවූ සඳකඩපහණේ හැඩයේ ‍සහ කැටයම්හි විශමතා උදාහරණයට ගනිමින් සාකච්ඡාවට ප්‍රවිෂ්ට වූ මහාචාර්ය නිමල් ද සිල්වා සම්ප්‍රදායික තාක්ෂණය යනු කවරක්දැයි මුලින්ම හඳුනා‍ගෙන පසුව එය නූතනත්වයට ආදේශ කළ හැකි ආකාරය සොයා බැලීම බුද්ධිගෝචර බව පැවසීය.
විවිධ සංකල්ප රැසක් සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් දැක්වූයේ මෙම දේශීය දැණූමේ සුවිශේෂීත්වයත් එහි ගැබ්වූ විද්‍යාත්මක පදනමත්, තාක්ෂණයේ මහඟු වටිනාකමත් මත නැවත එම දැණුම වත්මනට ආදේශකරගැනීමෙන් ලබා ගත හැකි ප්‍රයෝජ්‍යතාවය තුළින් ලාංකේය අනන්‍යතාව යටතේ ජගත් මට්ටම අතික්‍රමණය කිරීමේ ඇති හැකියාව පිළිබඳවයි.

දේශීය තාක්ෂණය - කථිකාචාර්ය නලින් ගනේගොඩ
මිනිසා සිය පරිකල්පනයේ මෙහෙයවීමෙන් හැඩගසා ගන්නා වූ උපකරණ, යන්ත්‍ර තුළින් උපදින තාක්ෂණය භාවිතයේ දේශීය අනන්‍යතාවන්හි මහිමය අර්ථ දක්වමින් ශිලා, දැව සහ මැටි මාධ්‍ය තුළින් ගම්‍යමාන වන දේශීය උරුමය ඔහු මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදී. නිර්මාණ සඳහා මාධ්‍ය තෝරා ගැනීම, මාධ්‍ය අනුව උපකරණ සහ යන්ත්‍ර හැසිරවීම, කැපීම, ඉරීම, තැලීම ආදී වූ විවිධ අවශ්‍යතා සඳහා එම අවශ්‍යතාවන්ට උචිත පරිදි උපකරණ සකසා ගැනීම සතු දේශීය දැණූම, එහි ප්‍රතිඵලයක් ලෙස අද්‍යතනයේද ශේෂ වී පවතින සුවිසල් අතීත ස්මාරක නිදර්ශනයට ගනිමින් ඔහු මෙහීදී දේශීය තාක්ෂණයේ අද්වීතීයත්වය විදහා දක්වන ලදී.
·         තනි දැව ඇණයකින් පමණක් ඇම්බැක්ක විහාරයේ වහළය දරා සිටින පරිදි සකස් කළ තාක්ෂණය සහ නූතන වාස්තුවිද්‍යාව සඳහා එහි ආදේශනයේ කලාත්මක හා සංචාරක ආකර්ශනීය වශයෙන් පවතින වැදගත්කම
·         වරිච්චි බිත්ති ක්‍රමය අනුව යමින් රළු මැටි නිමාවෙන් යුත් ගඩොල් සඳහා අද වෙළඳපලේ පවතින ඉල්ලුම
·         කළුගල් නිමාවෙන් යුත් ගෘහනිර්මාණකරණය සඳහා වර්තමාන යොමුව
ආදිය දක්වමින් දේශීය තාක්ෂණය නූතන වෙළඳපලට හඳුන්වා දෙමින් දේශීයත්වය පෙරටුකරගත් වාණිජ රටාවක් තුළින් අත් කරගත හැකි වාසි පිළිබඳව තව දුරටත් ඔහු අදහස් දැක්වීය.
තව දුරටත් කරුණු දක්වමින් ඔහු තඹ, පිත්තල, ලේකඩ, රන්, රිදී ආදී වූ ලෝහ මාධ්‍ය නිර්මාණ වෙළඳපලේදී ඉන්දීය හා චීන නිර්මාණ සමග තරඟකාරීත්වය තුළ ලංකාවට ජයගත යුතුව ඇති අභියෝග පිළිබඳවත් ලෝහ මළ නොබැඳීම සම්බන්ධව අතීත ශ්‍රී ලාංකිකයින් අනුගමනය කර ඇති ක්‍රමෝපායන් පිළිබඳවත් ප්‍රතිමා නිර්මාණයෙහිදී උපයුක්ත වූ ‘ලඹතටුව’, ‘තාල ක්‍රමය’ ආදී වූ දේශීය මිණූම් ක්‍රම තුළින් විද්‍යමාන වන විශිෂ්ටත්වය පිළිබඳවත් අදහස් දක්වන ලදී.

දේශීය කෘෂිකර්මාන්තය හා ආහාර සුරක්ෂිතතාව - මහාචාර්ය සුනේත්‍රා තෙන්නකෝන්
තිරසාර සංවර්ධනය උදෙසා දේශීය කෘෂිකාර්මික දැණූම භාවිතය හා ඒ හා බැඳි වාරි තාක්ෂණය, ධාන්‍ය වගාව හා බැඳි දේශීය තාක්ෂණය, ශශ්‍ය මාරුව, හේන් වගාව, යල මහ කන්න, කැකුළම, මුට්ටි නැමීමේ මංගල්‍ය, අළුත් සහල් මංගල්‍ය, කෙම් ක්‍රම, බෙත්ම, වැවක ක්‍රියාකාරීත්වය ඇතුළු අංශ රැසක් පිළිබඳව සිය සාකච්ඡාව මෙහෙයවමින් නූතන ආර්ථිකය උදෙසා පැරණි දේශීය දැණූම උපයුක්ත කරගැනීමේ වැදගත්කම ඇය මෙහිදී හඳුන්වා දෙන ලදී.

නක්ෂස්ත්‍රය, පුද පූජා හා සෞන්දර්ය - මහාචාර්ය තිස්ස කාරියවසම්
වසර පුරා නැකැත් අනූව සිදු කෙරෙන විවිධ මංගල්‍ය කටයුතුත්, ඒවා නිර්ණය පිළිබඳව දේශීය වශයෙන් පවත්නා කන්ශස්ත්‍රය පිළිබඳ දැණූමත්, ඇදහිලි හා විශ්වාස මත බැඳි දේශීය අනන්‍යතාවනුත්, තාරකා ශාස්ත්‍රය මානව සමාජය කෙරෙහි එල්ල කරන්නාවූ සුභ සහ අසුභ බලපෑම් පිළිබඳ දැක්ම පිළීබඳවත් මෙහිදී අවධානය යොමු කරන ලදී. එසේම නර්ථනය, බෙර වාදනය, සිතුවම්කරණය, ගායනය ආදී වූ සෞන්දර්යාත්මක අංශයන් හා බැඳි විශ්වාස මත පදනම් වූ ඒ කෙරෙහි බැඳී තිබෙන්නා වූ ඇදහිලි වල විද්‍යාත්මක පදනම මෙහිදි තව දුරටත් ඉදිරිපත් කෙරුණි.

දේශීය දැණූම ආරක්ෂාකිරීම සඳහා වූ දැක්ම - නීතීඥ ජගත් ගුණවර්ධන
දේශීය දැණුම නැසී යාමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමට නෛතික ක්‍රියාමාර්ග තිබේද, දේශීය දැණූම අපභාවිතය වැලැක්විම සඳහා ක්‍රියාමාර්ග කවරේද යන අංශ අවධාරණය කරමින් ඇරඹි සිය අදහස් දැක්වීම තුළ, දේශීය දැණූම ලේඛනගත කොට ආරක්ෂා කිරීම තුළ තත් ලෙසම එහි ජීවමාන ස්වරූපය ආරක්ෂා වේද යන්න ඉස්මතු කරන ලදී. එසේම උක්ත සාකච්ඡෘවට ලක් වූ විවිධ අංශ එකිනෙක හා තදින් බැඳී බවතින බවත්, ඒවා එකිනෙකින් ව්‍යුක්තව ගෙන සාකච්ඡාවට ලක් කළ නොහැකි බවත් භූගෝලීය දර්ශක මත කේන්ද්‍රගත වූ දේශීය දැණූම එම කලාපීය ආවේණිකත්වයෙන් සුසංයුක්ත බවත් ඒවායෙහි වැදගත්කම තීරණය වන්නේ එම ආවේණිකාංග තුළින් බවත් පවසන ලදී. එසේම ජාතික මට්ටමින් සහ ජාත්‍යන්තර මට්ටමින් සිදුවන දේශීය දැණූම අපභාවිතය වැලැක්වීම සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවයත් මෙහිදී ඔහු අවධාරණය කළේය.
අවසන් වශයෙන් දේශීය දැණූම සුරක්ෂිත කිරීමට අප රටට ගැලපෙන ආකාරයේ නීතියක් සකසා ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීමේ කාලීන වැදගත්කම ඔහු විසින් පෙන්වා දෙන ලදී.

“දේශීය දැණූමට පුනරාගමනයක්” වැඩමුළුවේ ඉදිරි අරමුණු යටතේ මෙහි සාකච්ඡාවට කේන්ද්‍රීය වූ එක් එක් විෂය පරාසයන් නියෝජනය කරමින් එකී අංශ ඔස්සේ දේශීය දැණූම ගවේශනයෙන් ඒවා සංරක්ෂණයට හා එතුළින් ජාතික ආර්ථිකය නංවාලිමට ජාතික මට්ටමේ ක්‍රියාවලියක් සැකසීමේ යෝග්‍යතාව පෙන්වා දෙන ලදී.

මෙහි අසංක්ෂිප්ත විග්‍රහය ඉදිරියේදී බලාපොරොත්තු වන්න

Comments
3 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

3 comments:

  1. වැඩ පිළිවෙලක් තියෙන එක නම් හොදයි සිත්තරි අක්කේ .. එත් මේ දැනුම දැන් කොහෙන් කියලා හොයන්නද

    ඇම්බැක්කේ දේවාලයේ ඒ තියෙන ශිල්පිය දැනුම දැන් කා ලගද තියෙන්නේ .. කොහෙන්ද අපි ඒවා හොයා ගන්නේ කියලා ගැටළුවක් එනවා නේද ...

    අනික දැන් ජෝතිෂ්‍යය කියන්නේ තනිකර ජාවාරමක් වෙලා .. මිනිස්සු මේ දේවල් පිලි නොගන්න තත්වෙට ඇවිත් දැන් ඉන්න මේ තක්කඩි නිසා

    දේශීය වෙදකම නම් ටික ටික ආරක්ෂා වෙලා තියෙන බව දන්නවා .. මමත් ඒ වගේ වෙදකම දන්නා කෙනෙක්ගේ පුතෙක් උන නිසා ... ඒවා මුදලට නෙමේ කරන්නේ ...

    මේකත් ගසා කෑමට පටන් ගන්න හදන තවත් එක දෙයක් නෙමේ නම් ඇත්තටම හොද වැඩක් ...

    බලාගෙන ඉන්නම් සංක්ෂිප්ත නොවන කොටස දානකන් ..

    තෙරුවන් සරණයි

    මම - නෙතු කදුළු දියවර

    ReplyDelete
  2. දේශීය දැනුම,පාරම්පරික දැනුම ආරක්ෂා කරනවා කියල අද කරන්නේ බිස්නස් එකක්.වාණිජ ලෝකේ හැටි.කොහොම වුනත් ඔය බිස්නස් එකට සපෝට් එකක් වෙන්නේ (බටහිර) විද්‍යාව.
    අද සිංහල වෙද මහත්තයෙක් අලුත් බෙහෙතක් හොයාගත්තම ඒක ඔය කියන විද්‍යාවට අනුව ඔප්පු කරන්න වෙනවා.එහෙම ඔප්පු කරන්න බැරි දේවල් වල පැවැත්මක් නෑ.ආරක්ෂාවක් නෑ.
    මේකට ප්‍රධානම හේතුව ඔය විද්‍යාව කියන දේ අද මිනිස්සුන්ගේ පරම සත්‍ය වගේ වෙලා.ඉතින් දේශීය දැනුම ආරක්ෂා කරගන්න නම් ඉස්සෙල්ලම මිනිස්සුන්ගේ ඔය විද්‍යාවට හැමදේම අහුවෙන්න ඕන කියන මතය දුරු කරන්න වෙනවා.

    අද සිංහල වෙදකම නැත්තටම නැති ගානයි.වෙද මහත්තයෙක් කිව්වොත් ඔය ලෙඩේ වාතය කෝප වෙලා හැදිලා තියෙන්නේ කියල,අද මිනිස්සු හිනා වෙනවා.මිනිස්සුන්ට ඕන ඒක බටහිර විද්‍යාවට අනුව ඇත්ත කියල තර්ක කරලා නියම දාල පෙන්නන්න.නැතුව ඒක අද භාහුතරය පිළිගන්නේ නෑ.

    යන්තම් බටහිර විද්‍යාවේ ජීව විද්‍යාව කියල කාලක් තියෙන නිසා අද වෙද මහත්තයෙක් හොයාගන්න බෙහෙතක් මිනිස්සුන්ට ගන්න පුළුවන්.නැත්නම් අද වාණිජ ලෝකේ ඒ වෙද මහත්තය හිරෙත් දාල.

    අද ජෝතිශයය කියන දේ බටහිර විද්‍යාවට හරියට ඔප්පු කරන්න අමාරු නිසා අද ජෝතිෂ්‍යය අභාවයට යනවා.සමහරු කියයි නෑ ඔය දැන් වැහි වැහල වගේ ජෝතිර්වෙදියෝ ඉන්නවනේ කියල.ඒත් ඔය ඉන්න අයගෙන් කීදෙනාටද හරියට කරන්න පුළුවන්.

    පාරම්පරික දැනුම නැතිවෙලා යන්න ප්‍රධානම හේතුව බටහිර වවිද්‍යාව සහ ඒ නිසා ඇතිවුන වාණිජ ලෝකය.තාත්ත වෙද මහත්තය කියල පුතා ඒවා ඉගෙනගන්නේ නෑ.පුතා අලුත් කාලේ මිනිහෙක්.මිනිහට විස්වාස බටහිර බෙහෙත්.

    ජෝතිෂ්‍යය,වෙදකම වගේ දේවල් වලට අද වෙලා තියෙන්නේ ඔය තත්ත්වය.

    ඉස්සෙල්ලම මිනිස්සුන්ගේ මොලේ හදන්න ඕන.නැතුව අපේ දැනුම පවත්වාගෙන යන්න,ආරක්ෂා කරන්න හරිම අමාරු වෙයි.

    (පඬි ටෝක්ස්)

    ReplyDelete
  3. හැමදාම අර්ථවත් දේවල් ලියන ඔයාට ජයෙන් ජය සිත්තරී අක්කේ...ඔන්න ජානු ත් ආපහු ආවා..ඒ පැත්තෙත් එන්නකෝ...

    ReplyDelete