Saturday, August 18, 2012

The Political Theories and Concepts Found in the Buddhist Tradition (බෞද්ධ සම්ප්‍රදායේ එන දේශපාලන න්‍යායන් සහ සංකල්ප)


  1. හැඳින්විම

"දේවෝ වස්සතු කාලේන

සස්සසම්පත්ති හෝතුච

පිතෝ භවතු ලෝකෝච

රාජා භවතු ධම්මිකෝ "

  බෞද්ධ දේශපාලන සංකල්ප හැඩගැසුනේ ධම්ම සංකල්පය මුල් කර ගෙනය. උක්ත ගාථාවේ අවසන් පදයෙන් අරුත් ගැන්වෙන පරිදි,  රජු ධාර්මික විය යුතු යැයි පැවති පසුබිමට සම්මත වු හේතුවද එයයි. යම් සමාජයක සංවිධිත ව්‍යූහය ගොඩනැගෙනුයේ එකී සමාජයේ පාලන කේන්ද්‍රස්ථානය පදනම් කර ගනිමිනි. රජු පත්කර ගනු ලබන්නේ මහජනයා විසින් වන අතර එහෙයින් රජු, මහාසම්මත වු බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. තවද එහෙයින් ඔහු දිව්‍යමය බලයකින් සැම අතින්ම තොර වු, මනුෂ්‍යයන් අතරම පහළ වූ, මනුෂ්‍යයන් අතරින් තෝරා ගනු ලැබූ හුදු මහජන නියෝජිතයෙක් පමණක්ම විය. බෞද්ධ දේශපාලන දර්ශනයේ මුලික හරය ප්‍රජාතන්ත්‍රවාදය බව මෙහි ඉදිරියට සඳහන් කරන කරුණු අනුව ගම්‍ය වනු ඇත. නුතන දේෂපාලන දර්ශනයේත් වැදගත් සංකල්පයක් සේ පිළිගැනෙන දේශපාලන ක්‍රියාදාමයේ මූලිකයා ලෙස පුරවැසියා සැලකිම බෞද්ධ දේශපාලන දර්ශනයෙන්ද සනාධ වේ.

Thursday, August 2, 2012

අතීතාවර්ජනා 1 - පළමු පෙම්වතා



ජිවිතේ මුල ඉල සිද්ධ වෙච්ච දේවල් කල්පනා කරද්දි මම කොයි තරම් දුරක් ඇවිල්ලද කියල මට පුදුම හිතෙනවා. ඊටත් වඩා පුදුමයි දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතපු සියයක් දහසක් තත්පර ගණන් මම ගෙවල තියෙනව නේද කියල ආයෙමත් හැරිල බලද්දි. ගෙවුණු අවුරුදු ගණන තුළ කොයි තරමක් නම් පිරිමින් මගේ ලෝකෙ හොල්මන් කළාද? එයාල ගැන මම හිතපු වාර අනන්තයි. ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම දැන් මේ හිතන්නෙ මම දෙන උත්තරය මොකද්ද කියලා. කැපකිරිම්ද? පරිත්‍යාගයද? ආශාවද? ඇල්මද? බැීම්ද? ______ මේ මොන මගුලද ආදරේ කියන්නෙ කියල මට හිතාගන්න බැ. ඒත්, වචනයට කියනව වගේ මම ආදරේ කළා. මගේ මතකය අංශුවෙන් අංශුව ගෙවිල යමින් පවතින මේ වෙලාවෙ මම උත්සහ කරන්නෙ මට මතක හැමදේම මේ කොළ අහුරු අතරෙ ගොණු කරන්නයි. ලියන්න මතක් වෙන්නෙම ආදරේ... ආදරේ... ආදරේ... මමවත් නොදන්න, ඒත් මම හැමදාම හැමෝටම කරපු ඒ අකුරු අතරෙ අරුත....

Tuesday, July 31, 2012

සඳ කින්නරාවි



කිඳුනියේ
කිඳුනියේ
මුසපත්කරන්
මන්මත්කරන්
මා හද රසවත්කරන්

සිලි සිලියෙන් පිනි මල් වැසි ඉසිනා
මේ රාත්‍රියේ
යුග පා තබන්
මිනි මෙවුලන් සලන්
මා සිත තුට වඩන්

Sunday, July 29, 2012

අළුත් මනාළි


රාමු කරන ලද පින්තුරවල ඇති දූවිල්ලක්ද නැතිවුණත් මම පිහදනවා. යුතුකමක් වගකිමක් ලෙස හෝ පිළිවෙතක් ලෙස නිරන්තරයෙන් නිරතවිය යුතු, සැබැවින්ම පිළිවෙත් යැයි කිව හැකි වූ දේවල මට දැන් තියෙනවා. පැයක් පාසා දිනපතා සතිපතා මාස්පතා.... මින් පසු වසරක් පාසා දිග්ගැස්සෙන එදිනෙදා කාරණා. සීලිමේ පංකාව කැරකෙන දිහා මම ටික වෙලාවක් බලන් හිටියෙ අපේ ඩෙඩින් ෆොටෝ එකත් දූවිලි පිහන රෙදි කෑල්ලත් දෙකම එකට අල්ලගෙන. අපේ පැත්තෙනම් ‍ෆෑන් ඕන නෑ. ගිනිකාස්ටකේට පෑවුවත් ගේ ඇතුළ සීතලයි. අපේ ගෙදරට පහළින් පුංචි ඇළ පාරක් ගලන් ගිය නිසාත් කෙහෙල් වත්තක්ම එහා පැත්තෙන් තිබුණු නිසාත් ගස් වදුල නිසාත් අමුතුවෙන් හුලං ගහගන්නවත් සිකලක්වත් අපිට කවදාවත් ඕන කළේ නෑ.

Saturday, July 14, 2012

අග්නි



වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... පරිසර වර්ණනය නම් කරන්න අමතක වුණා. සාමාන්‍යයෙන් කතාවක් පටන් ගද්දි ගඟක් ගැන, කුරුල්ලො ගැන, කුඹුරක් ගැන, ඉර හරි හඳ හරි ගැන පොඩිපහේ වැණුමක් කරන එක සිරිතනෙ. මම හිතුව වෙනස් විදිහකට පටන් ගන්න. වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... ඇයි ඉතිං පරිසර වර්ණනයක්. මේ වගේ සුන්දර ගැහැණියක් උදේ පාන්දරින් කරන්න තියෙන දාහක් වැඩ කන්දරාවක් දඩිබිඩියෙ ඉවර කරල ඔෆිස් එකේ ඇතුල් කාමරේ පඩි ටික නැගගද්දි එයාගෙ හිතේ තියෙන සැනසිම... හැමදාම වගේ අදත් සමන්මලී එද්දි මම හිටියෙ පොතක් කියව කියව. ඒත් එයා මගේ ළඟට එන බව මට දැනෙන්නෙ ඉවෙන් වගේ. මම සමහරදාට සමන්මලී එන දිහා හොරෙන් බලාගෙන ඉන්නව ඇති කියල මට හිතුණෙ එයාගෙ ලස්සන ගැන එයා එක්ක මම කියද්දියි. පුරුදු විදිහටම එයා මගේ ගාවට ඇවිත් හිටගත්තට පස්සෙ මම පොතෙන් මූන උස්සලා එයා දිහා බැලුවෙ කියවමින් හිටි පිටුවටවමතේ දබරඟිල්ල තද කරගන්න ගමන්.

“හායි සුදා.. ගුඩ් මෝනිං. අද මොකෝ කලින්ම...”

“කලින්ද? කීයද වෙලාව.. නැගිටිද්දි හය උනා අනේ. උයල බබාව වොශ්කරල කවල ටක්ටක් ගාල ලෑස්ති වෙලා දුවගෙන ආවෙ.”

Wednesday, July 11, 2012

කන්‍යාවී....


බිහිකළා ඔහු
අපුර්ව වූ
කන්‍යාවියක්...
දශමයෙන්
දශමයට
සැලකිල්ලෙන්
නොහෙලෙන ඇසිපියෙන්
අවධානයෙන්
අවධාරණයෙන්
ගොඩනැගුවා
ඇය,
ඔහු
ඔහු වෙනුවෙන්ම...
එත තැනක
එක විදිහකට

සමුගැනිම



“හෙලෝ.. ආ කොහේද ඉන්නෙ?”
“අනේ බං උඹ ආවද? මම තවම ඔෆිස් එකේ..”
“හරි මට ගෑස් වගේ . උඹ එනකන් මම බත් එකක් කන්නම් . සිටි සෙන්ට එකට වරෙන්.”
“හරි හරි හලෝ මම මෙහෙන් දැන් පිටත් වෙනවා. ඉක්මනින් එන්නම්.”
“හ්ම්. මම සිටි සෙන්ට එකේ සරසවියෙ ඉන්නවා. වරෙන්.”
“ඕකේ. බායි.. බුදුසරණයි..”
“බුදුසරණයි..”

මම ඔෆිස් එකෙන් පිටත් වෙද්දි මහ වැස්සක් පටන් අරන්. මේ වැස්සෙ මාළිගාවෙ යන්නෙ කොහොමද කියල හිත හිතා මම එළියට බැස්සෙ. ඔෆිස් එක ගාවම ටිකක් එහාට ගියාම නුවරට බස් එක ගන්න පුළුවනි. හෑන්ඩ් බෑග් එකත් එල්ලන්, ඒ අතින්ම මම සාරියේ රැළි ටික එක අතකට කරල උස්සලා අල්ල ගත්තෙ පාරෙ මඩ වලින් මගේ අලුත් සාරිය බේර ගන්න ඕන නිසා. අනිත් අතින් ඉහලගත්තු තුඩෙත් එක්ක මට විනාඩි ගණනක් බස් එකක් එනකත් ඉන්න වුණා.. කරුමෙ, හදිසි වෙලාවටමයි බසුත් නැත්තෙ.. චිරී...ස් ගාගෙන මහ හයියෙන් යන වාහන රෝද වලින් විසි වෙන වතුරමල් නිසා මගේ සාරිය පරිස්සම් කරගන්න දරපු වැයම අත් හරින්න සිද්ද වුනේ හරිම ඉක්මනින්. නොදකින් විතරක්.. මුන් හිතන් ඉන්නෙ මුන් සක්කරය වගේ යන්න ඕන කියල වෙන්න ඇති රෝද හතරක නැගල හතර අතින් වහ ගත්තම.. මේ මගුල් බස් අද නැත්තෙ ඇයි මංදා... වෙලාවට සීටිබී කට්ටක් ආව නිසා මම කුඩෙත් අකුලන්න හදන ගමන්ම බස් එකට ගොඩ වුණා.. පඩිය‍ට ගොඩ වෙන කොටම බස් එක ඉක්මනින් ඇද්දුවේ මගේ කුඩේ පස්සට ඇදිල යන හුළං පාරට අහුවෙන අතරෙමයි.

Tuesday, July 3, 2012

පාර දිගේ මගේ ගමන


හරියට කුරුලෑ පිරුණු මිනිහෙක්ගෙ මූනක් වගෙයි අපේ පාර ඉස්සර. තැනින් තැන උස් පහත් වෙච්ච වලගොඩැලි, ගැලවුණු කළුගල් කැට. සමහර වංගු වල වැලි දාලා හෝ වැලි රුදිලා. ඒ තැන් වලින් යද්දි මගේ දත් ටික හිරි වැටෙනවා දැන් වැටෙයි දැන් වැටෙයි වගෙයි ඒ වැලි පාරෙ පරිස්සමින් අඩිය තියන්නෙ. මම හරි ආසයි පාරෙ යන ගමන් ගල් කැට වලට පයින් ගහන්න. කොල්ලන්ට වගේ ඉලක්කෙ බලල ගහන්න මට පුළුවන් වුනේ කාලයක් තිස්සෙ ගල් කැට සිය දහස් ගණනකට පයින් ගහල ගහල ගහලම හුරු වුණාට පස්සෙ. සමහර වෙලාවට එකම ගල් කැටේට දිගටම පයින් ගගහ පාරෙ ලොකු දුරක් අරන් එනවා. ගල් කැටේ අම්මයි තාත්තයි පුංචි ගල් කැටේ නැතිව දුක් වෙනවා ඇති... ඒත් මට මොකෝ.. හරිම කරුමයක් මේ පාරෙ යන එක. කදු පල්ලම් කදු කදු පල්ලම් කදු... කෙලවරක් නැ... කන්දක් නැලග කන්දක් බහිද්දි ආය කන්දක්.. සිය දහස් වර හිතිං සාප කළා මම මේ කැලෑවම හොයන් ඇවිත් මෙහෙ පදිංචි වුණු ආච්චිටයි සීයටයි, ගෙයක් නැතිව බින්න බැහැපු තාත්තටයි.

Friday, June 29, 2012

පූර්ව බ්‍රාහ්මි ලේඛන කියවමු.

මෑතකාලීනව නිධන් සෑරීම යනු විනෝදාංශයක් මෙන් මහා පරිමාණව සිදුකරගෙන යන්නකි. මේ සදහා බොහෝ විට පැරණි ශිලා ලිපි සහිත ස්ථාන අවධානයව ලක්වේ.

**************************************************************************
මේ ඇරයුම,
නිධන් ඇති තැන් සොයා යාම උදෙසා පූර්විකාවක් වශයෙන් නොව,
තතු මනාව වටහා ගැන්මට
සහ
ඉතිහාසය ප්‍රායෝගිකව කියැවීමට හුරු විම පිණිස  
එක් වන මෙන් සිදු කරන්නකි
***************************************************************************

අභිලේඛන යනු යම් මතුපිටක් මත සටහන් වූ දෑය. මෙකී සටහන්හි ඉතිහාසය සොයා යාමේදී ලොව ප්‍රථම නගරායනය හදුනා ගන්නට ලැබෙන ශිෂ්ටාචාර අවධීන්හිදී ලේණකගත සාධක රැසක් දක්නට ලැබේ. මෙසපොතේමියානු, චීන, ඊජිප්තු, ඉන්දුනිම්න ආදී ලෙස ගත් කල්හි මෙකී ශිෂ්ටාචාරයන්හි ප්‍රමුඛ වශයෙන් අක්ෂර හදුනාගත හැකිය.

Tuesday, June 26, 2012

මූලාශ්‍ර එකක් දෙකක් මත පිහිටා ඉතිහාසය ‍ප්‍රතිනිර්මානය කළ හැකිද? (අවිද්‍යා මතධාරින්ගෙන් දූෂිත සමාජ ශෝධනයක් උදෙසා ලියැවෙන්නකි)

මුලින්ම කියන්න ඕන මේ ලිපිය ලියන්න මාව පොළඹවපු කාරනාව ගැන. ඒ මම මිට කාලෙකට කලින් ලියපු බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාවයැයි කිම සාවද්‍යයි කියන ලිපිය නිසා. ඒ ලිපියට "මෙතනින්" යන්න. ලියල කාලයක් ගියත් දැන් ඒකට හෝ ගාල කමෙන්ට්ස් එනව මාව විවේචනය කරල. මගේ ජාතකේත් මතක් කරලා. හා කමක් නෑ. දෙවෙනියටත් දෙයක් කියන්න තියනව. කෙනෙක් අදහස් දක්වලා තියනව මම ලියන සිංහල එයාට තේරෙන් නෑලු. සිංහල තියා මම දක්වපු තර්කවත් තේරුම් නොගත්ත එයා මම ඉතිහාසය ගැන මොකුත්ම නෙදන්න මෝඩයෙක් ගානට දාල කතා කරලා. හා කමක් නැ කියමුකො. ඉතිං මේ ලිපිය ලියනව මූලාශ්‍ර පරිහරණය ගැන දන්නෙ නැති අයට දැනුවත් වෙන්නත්, සාමාන්‍යපෙළ, උසස්පෙළ, විශ්වවිද්‍යාල වල ඉගෙනගන්න අපේ නංගිලා මල්ලිලාට උදව්වක් විදිහටත්... මේ ලියන භාෂා ශෛලියනම් මට හුරු නෑ, මොකද නිතරම මම ලියන්නෙ විධිමත් භාෂා ශෛලියකින් නිසා. කමක් නෑ.. කාටත් තේරුම් ගන්න පුළුවන් මට්ටමින් සරල කරල ලියන්න උත්සහ කරන්නම්.

Sunday, June 24, 2012

කළු සුදු


කළු සුදු
දන්නවාද මේ දෙක අතර වෙනස
කළු කළු වෙන්නෙ
කළු, සුදු නොවෙන නිසා
සුදු සුදු වෙන්නෙ
‍සුදු, කළු නොවෙන නිසා

Wednesday, June 20, 2012

වනචර ගමන්


මුල සිට අග දක්වා කියන්න තියෙන්නෙ වනචර දේවල්ම තමයි. කොහෙන් පටන් ගත්තත්, කොහෙන් ඉවර කළත් වනචර කම හැරුණු කොට වෙන කිසි දෙයක් නැ කියලයි හිතෙන්නෙ. ඒත් ඒ වනචර දේවල් වලට අපි කොච්චර ඇබ්බැහි වුණාද කියනවනම්, පැවතුණු අවස්ථාවෙ සිදුවීම් වචනයේ නියම අර්ථයෙන්ම අපට නොපෙනුනු ගානට ඉදල අපේ ශරිර දෙකේ උවමනාවන් සංසිදවගැනිම ගැන විතරමයි අවධානය යොමු කළේ. එහෙම කරද්දි හිතට ලොකු නිදහසක් දැණුනා. හේතුව වරදකාරීබව එළියට ඇදල ගත්තම කාපුවා වැමෑරෙන තරමේ නරකක් අපි තුළින් අපි දැක්ක නිසා. ඒ නිසා කවදාවත් අපි ශුද්ධවන්තයෝ වෙන්න බැලුවෙවත්, සිංහ හම් පොරවගත්තෙවත් නැ.. අපි කියන එක එක අතකින් හරිද මන්දා.

Tuesday, June 19, 2012

මම කුවේණිය


ඉසුරුමුණියේ සුකුමාල තරුණිය නොවේ මා
පෙම්වතා උකු‍ළේ නැලැවෙන
මම කුවේණිය
පෙම්වතා පිටුපා තනිකළ
මම කුවේණිය
දරුවො වනයේ හැරගිය
මම කුවේණිය

හිමියනි උරා බොනු...



හිමියනි

උරා බොනු

මගේ දෙතොලග

රූරා වැටෙන


නුඹේ පහරින්


පුපුරා හැලෙන


ලේ බිඳු...

Monday, June 18, 2012

බුදුන් උපන් දේශය ලංකාවයැයි පුළුල් ප්‍රචාර ගෙනයාම ජනතාව මුළා කරවන්නක්

නූතනයේ ඇතැම් සමාජ පිරිස් සිය අවියත් මතවාද තුළින් ලංකාව පසුබිම් කොටගත් අර්ථහින ප්‍රකාශන ප්‍රචාරණයෙන් ජනතාව මුළා කරවිමටත් වක්‍රාකාරයෙන් ඒ ඇසුරින් ජාතිවාදි හැඟිම් සමාජගත කිරීමටත් කටයුතු කරති. මෙකී අදූරදර්ශී ව්‍යාජ ප්‍රකාශයන්හි ව්‍යර්ථබව සාධක සහිතව ඔප්පු කර පෙන්වීම කාලින අවශ්‍යතාවයක් සේ දකිමි. ජාත්‍යාලයට, අන්තවාදි ආගමික මාවතකට මැදි නොවී ඉතිහාසයේ සිදුවූ සිදුවිම් සාක්ෂි සහිතව විද්‍යාත්මක අයුරින් අධ්‍යයනය කරන්නාවු ගවේශකයන්ට මේවා අසිරු අභියෝග නෙවන බව මුලින්ම මතත් කර දෙනු කැමැත්තෙමි. මෙම අදහස් දක්වන්නන් මුලික උපන්‍යාසයක් (Hypothasis) මත පිහිටා තම මතය විදහා දැක්විම විද්‍යාත්මක විශයන් කෙරෙහි පමණක් මිස මෙවන් ක්ෂේත්‍ර සඳහා කිසිසේත් යෝග්‍ය නොවන බව අවධාරණයෙන් මතක් කරදෙනු කැමැත්තෙමි.

මෙවන් ඇතැම් පිරිස් බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව අනේකවිධ සාධක මවා පාමින් ස්වමත දක්වති. දඹදිව යනු ලංකාව යැයි ඇතැමෙකුගේ අදහසයි.

පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික ච්න්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද?


ලෝකයේ නොයෙක් බෙදීම් ඇති කර ගන්නේ සමාජය විසින්මය. මිනිසාම සම්මත කර ගත් එම බෙදිම් තුළ සිටිමින් විය යුතු යොවිය යුතු සම්මතයන් ඒ අනුව මිනිසා විසින්ම බිහි කරගෙන තිබේ. මෙකී සමාජ සම්මතයන් තීරණය කිරීමෙහි ලා ප්‍රබල දායකත්වය සපයන්නේ සංස්කෘතියයි. යම් ජන කොට්ඨාසයක්, ඔවුන් විසින්ම නීතිගත කරන ලද සංස්කෘතික රාමුවක සිට සමාජ සම්මත, තහංචි දමා සිය සංස්කෘතික දෘශ්ටියට යම් අනන්‍යතාවයක් ලබා දී තිබේ. මෙසේ බිහිකරගත් යම් නිශ්චිත කෝණයක සිට බැලීමේදී තම සමාජයට සුදුසු දේ ‍කවරක්ද, නුසුදුසු දේ කවරක්ද යන්න සම්මතයකට පැමිණීම මෙකී සංස්කෘතික පසුබිමේ ස්වභාවයයි. ඒකාකාරි රාමුවකට කේන්ද්‍රගත වීම තුළින් ඇතැම් නව්‍ය ප්‍රගමන වෙත මෙකී සමාජය ඔරොත්තු නොදේ නම් සංස්කෘතික බැම්මෙන් එපිට ඇති දේ යැයි කියා ඒවා බැහැර කිරීම සාමාන්‍ය සිරිතය. මෙය ලංකාවේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. සමාජය තුළ ගැහැණියගේ භූමිකාව මෙහි එක් ප්‍රභල පැතිකඩකි. සමාජය හා ගැටීමේදී මා වෙත එල්ලවු නොයෙක් අභියෝග, අපවාද, දිරිගැන්විම් ආදියද මෙම ලිපිය සඳහා පසුබිම් විය.

Sunday, June 17, 2012

දුයිෂෙන්


සිහිනෙනුත් පෙනේ
අර පොප්ලර් ගස් දෙක
මතකයන් සඟවා
ගීතනය වන
කැඩුණු කාන්දමක්
එක්කරන විට මෙන්
ඔබ වෙතින් මා
ඉවතට වීසි කළ
දුම්රියේ වේගයට
පසුපසට ඇදී ගිය
කන්ද මුදුනේ
පොප්ලර් නිඹුල්ලු

Saturday, June 16, 2012

අවුරුද්ද



දන්නවාද... දන්නවාද..... 
වසන්තයේ ගි කියන කුරුල්ලන් 
තුඩින් තුඩ අමුණන්
ඔච්චමට මා දිහා බල බල
ගි කියන බව...
ගුමු ගුමුවෙ පැටලිලාවත්
ලිලැක් මල් සුවදකවත්....
අළුත් හඩක්... 

Sunday, April 29, 2012

ගැහැණිය


මම.... මගේ කුමාරයා එනකන් බලන් හිටියා........
ඉස්සර වගේම මහ රෑ මගේ කාමරේ ජනේලෙන් පෙනෙන පොල් අත්ත අස්සෙන්... හද පායගෙන එනකන් රෑ දෙගොඩහරියේ නිදි නැතිව මම අද වෙනතුරුත් බලන් හිටියා. අන්දකාර අහසට හද වගේ මගේ වස්තුව, මගේ කාමරේ එළිය කරන්න වඩිනකන්..... ඒ කාලෙ මම කොයි තරම් පිස්සියක් උනාද? මම හදෙන් දැක්කෙ ඔයාවමයි. ඒකයි මම රෑ දෙක තුන වෙනකන් වුණත් හද මගේ ජනේලෙට පිටින් පායනකන් බලන් හිටියෙ.... හැම කවි කාරයම, හැම නවකතා කාරයම, හැම කෙටිකතා කාරයම වගේ මමත් ඔයාව පුරුද්දට හදට උපමා කරනව නෙවෙයි. හදට කටක් තියනවනම් ඇත්තම කියාවි. මේ ඇද උඩ ඒ මේ අතට කැරකි කැරකි මේ දක්වා කාලයක් මගේ ඇස්දෙක හදේ නැවතුණ හැටි හැම රෑකම.

තත්පරෙන් තත්පරේ ගෙවිලා ඒ තත්පර ගණන කෝටි ගණනකින් වැඩි වෙලා... ලස්සනට තිබුණු මගේ තොල් තෙත් කරපු ඔයාගෙ ඒ තෙත්බර උණුහුම ආයෙමත් මගේ තොල් වලට දැනෙන දවසක් එනකන් මම කොයි තරම්නම් හූල්ල හූල්ල හිටියද? ඒ ඇගිලි මාව කිතිකවාගෙන, මා පුරාම... හැමතැනම දුවවද්දි දැණුනු හිරිය ආයෙමත් දැනෙන දවසක් එනකන්....

පංතියට නොයා අර කැළෑ පාරවල්වල කළුවර අහුමුළුවල අපිම හොයාගත්තු අපේ තාවකාලික දිව්‍ය විමාන ඔයාට මතකද? කෑඩැල්ලො තෙල්කූඹි... අපේ ආදරේට වේදනාවෙ මිහිරි රහක් එක් කරද්දි අපි දෙන්න අපේ සිරුරු දෙක එකක් කරගත්තු තහනම් විරාමයන්....

Thursday, April 19, 2012

පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතිය

01
හැඳින්විම

දක්ෂින ආසියාවේ ඇතිවු වර්ධනියම ශිෂ්ටාචාරය ලෙස හරප්පා සභ්‍යත්වය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. දැනට ශේෂ වී ඇති තත්කාලීන නශ්ටාවශේෂ විමර්ශනයේදීද පෙනී යන්නේ ඉතා දියුණු නාගරික සංස්තෘතියක් උක්ත ශිෂ්ටාචාරයේදි හඳුනාගත හැකි බවයි. නමුත් පශ්චාත් හරප්පාන් සමය පිළිබඳව විමසා බැලීමේදී ඉහත ලක්ෂණය එකී ක්ෂේත්‍ර අනුසාරයෙන් කෙතෙක් දුරට ස්ඵුට වන්නේද යන්න විවාදාත්මක ප්‍රපංචයක් ලෙස දැක්විය හැකිය. මන්ද යත්, ක්ෂේත්‍ර ගණනාවක කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් පශ්චාත් හරප්පන් වකවානුව ප්‍රතිනිර්මාණය කළ හැකි බොහෝ සාධක දැනට අනාවරණය වි ඇති හෙයින් ඒ පිළිබඳ පැහැදිලි අර්ථ විවරණයක් මේ වන විට ලබා දීමේ හැකියාව පැවතීමයි.

කෙසේ වෙතත් පශ්චාත් හරප්පන් යුගයේ හමු වන ජනාවාස “ග්‍රමීය සංස්කෘති” ලෙස හැඳින්වීම මතම ඒවා කෙබඳු ආකාර වූයේදැයි ඉඟියක් ලබා ගැනිමේ අවස්ථාව ඇත. එසේ හෙයින් පශ්චාත් හරප්පානු සමය සැලකූ කල්හි එය නාගරික ලක්ෂණවලින් වියුක්ත වූ ග්‍රාමිය ලක්ෂණ වඩා වර්ධිත වකවානුවක් ලෙස පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම පෙර පැවති දියුණු නාගරික ශීෂ්ටාචාර ලක්ෂණ මේ වන විට පිරිහි ගොස් නාගරිකත්වයේ පරිහාණිය සනිටුහන් කරන්නා වූ ඊට පූර්වයේ පැවති ග්‍රාමිය තත්ව යළි ස්ථාපිත වන බව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

විශේෂයෙන්ම ගංගා නිම්න ආශ්‍රිත ප්‍රෙද්ශයන්හි මෙකි ජනාවාසවල විස්තීරණයක් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි බැවින් සම්පත් කලාප උපයුක්ත කොට ගෙන ඒවා ස්ථාපිත වු ආකාරය හඳුනා ගැනීමේ හැකියාව පවතී. තවද මෙකි සමාජවල තිබූ මධ්‍ය ශිලා සංස්කෘතියේ කැපි පෙනෙන තාක්ෂණික දියුණුවක් මෙම සංස්කෘතීන් තුළින් නිරීක්ෂණය කළ හැකිය. උක්ත ලක්ෂණ පැහැදිලිව අර්ථකථනය කළ හැකි ග්‍රාමීය සංස්කෘතියක් ලෙස රාජස්ථාන් ප්‍රදේශයේ පැවති Ahar සංස්කෘතියේ ලක්ෂණ උපනිශ්‍රයෙන් එම සංස්කෘතික විශමතා අර්ථකථනය කළ හැකි ආකාරය මෙම නිබන්ධනයේදි අවධානයට ලක්වේ.

01:01
පශ්චාත් හරප්පන් සංස්කෘතින්

පශ්චාත් හරප්පන් යුගය සැලකූ කල්හි එක් ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වටා ගොනු වු සමාජ වෙනුවට පුළුල් ප්‍රදේශයක පැතිරී ගිය (යම් තරමක් හුදෙකලා වු) තනි සමාජ ඒකකවල ස්වරූපයක් හඳුනා ගැනිමේ හැකියාව ලැබේ. දැනට පිළිගැනීම වන්නේ ක්‍රි.පූ. 1750දී පමණ සින්ධු නදිය කේන්ද්‍ර කොටගෙන ගොඩනැගුණු ශිෂ්ටාචාරයේ බිඳවැටිම සිදුවු බවයි. පසුව එම සභ්‍යත්වයේ නටඹුන් මත කුඩා කුඩා සංස්කාතීන් පහළ වූ බවට පුරාවිද්‍යා සාධක ලැබේ. මෙම ප්‍රාදේශීය සංස්කෘතීන අල්පායුෂ්ක වු අතර ඒවායේ දක්නට ලැබෙන්නේ සීමිත ව්‍යාප්තියකි (අලහකෝන් 1968). මෙකි පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් භූගෝලීය වශයෙන් ප්‍රදේශ කිහිපයක් යටතේ ගොනු කරයි.
ආසන්න  බටහිර සංස්කෘතිය
(රානාඝුන්ඩායි iv හා v, Shahi Thump, Trihni Ware, Cairn Burials, Londo Ware)
බටහිර පංජාබයේ සංස්කෘතිය
(H සුසාන භූමිය)
සින්ධු ප්‍රදේශයේ සංස්කෘතිය
(Jhukar, Jhangar)
ගංගා නිම්න සංස්කාතිය
(Copper hoards, Ocher colored ware)

01.01.01
ආසන්න බටහිර සංස්කෘතිය

මෙම සංස්කෘතීන් අතුරින් ඇතැමක ආරම්භය සනිටුහන් වන්නේ හරප්පා ශිෂ්ටාචාරයටත් පෙරාතුවයි. ඒ අතරින් එකක් ලෙස රානාඝුන්ඩායි පෙන්වා දිය හැකිය. පශ්චාත් හරප්පන් සමයෙහි ලා ගැනෙන මෙහි iv අවධීය ඇති වන්නේ හරප්පා නටඹුන් මතයි. මෙම අවධියේ මැටි මෙවලම් ඊට පූර්ව අවධියට වඩා වෙනස් වන අතර රළු බවකින් යුක්ත විම විශේෂ කරුණකි. ගින්නෙන් විනාශ වූ බව සිතිය හැකි, iv අවධීයට පසුව හමුවන v අවධීයේ මැටි මෙවලම්හි සිතුවම් දක්නට නැත. තවද මෙම සංස්කාතියේ ලක්ෂණ උක්ත ප්‍රදේශයට පමණක් සිමා වීම (අලහකෝන් 1968) සහ ඉහත කී කරුණු සැලකීමේදී පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංසකෘතින් පිළිබද යම් අවබෝධයක් ලබාගත හැකිය.
තවද ෂාහි තුම්ප් (Shahi Tump) හි සුසානය පශ්චාත් හරප්පන් යුගයෙහිලා සැලකේ. තත් කාලීන භූමදාන ක්‍රම පැහැදිළිව අවබොධ කරගත හැකි මෙහි ආකාර දෙකක භූමදාන සාධක පිළිබිඹු වේ.
අස්ථි භූමදානය
‍සුසාන ද්‍රව්‍ය පමණක් භූමදානය
මෙම සාධක උපයුක්ත කොටගෙන පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් විවරණය කිරීමේ හැකියාව පවති. සොහොන් තුළින් හමුවන
  • මැටි භාණ්ඩ
  • ශීලා
  • පබලු
  • තඹ සහ ලෝකඩ ආයුධ
  • මුද්‍රා
  • ශිලා මෙවලම්

ආදිය අධ්‍යයනයෙන් තත්කාලීන ආයතනමය අංශ ප්‍රතිනිර්මාණය කළ ඇකි වනවා සේම, එසමයේ ඔවුන් සතු වූ තාක්ෂණයේ ස්වභාවයද අධ්‍යයනය කිරිමේ හැකියාව පවතී.

මෙහිදී සාකච්ඡාවට ප්‍රස්තුත වන සංස්කෘතිය අධ්‍යයනයේදී ට්‍රීනි මැටි මෙවලම් (Trihni Ware) ද වැදගත් වේ. Lal Chhato, Lohri, Shan Hasan, චන්හුදාරෝ ආදී ස්ථාන වලින් හමුවූ මේවා අධ්‍යයනයෙන් පශ්චාත් හරප්පන් ග්‍රාමිය තත්ව පිළිබද පැහැදිළි අවබෝධයක් ලබාගත හැකිය.

මෝගල් ඝුන්ඩාහි කවාකාර වැටි සහිත භූමදාන (Cairn Burials) හා ලොන්ඩෝ මෙවලම් (Londo Ware) සැලකීමේදීද පශ්චාත් හරප්පන් ග්‍රාමිය සංස්කෘතීන්ගේ තාක්ෂණික පසුබිම, සමාජ ව්‍යූහය ආදීවූ ලක්ෂණ රැසක් ලබාගත හැකිය. මෙහිදි පැහැදිලිවම හරප්පානු තත්වයට වඩා සපුරා වෙනස් ආකාරයක් පිළිබිඹු වේ. තවද මෙම මැටි මෙවලම්හි නිරූපිත අශ්ව රූප අධ්‍යයනයෙන් ඒවා වෙනත් සංස්කෘතීන් සමග දක්වන සබදතා අධ්‍යයනයටත්, ඒ ඒ සමාජවල පැවති සුවිශේෂීතා අධ්‍යයනයටත් හැකියාව ලැබේ. තවද වැදගත්ම සාධකයක් වන්නේ ලොන්ඩෝ මැටි මෙවලම් අධ්‍යයනයේදී යකඩ භාවිතය කළ බවට සාධක ලැබිමයි. උක්ත කරුණු විමර්ශනයේදි පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන්ගේ යම් යම් අංශ වර්ධනය උදෙසා විදේශ බලපෑම ලැබුණිද? එම සංස්කෘතීන් විදේශ සංස්කෘතීන් සමග අන්තර් සබදතා පවත්වා ගත්තේද? යන සාධක අධ්‍යයනය වැදගත් වේ.

02
Ahar Culture
(අහාර් සංස්කෘතිය)

වත්මන් ඉන්දියාව තුළ හමුවන පැරණිතම කැල්කොලිතික සංස්කෘතියක් පැවති ස්ථානයක් වශයෙන් මෙම ක්ෂේත්‍රය සුවිශේෂී වැදගත්කමක් දරන බව ප්‍රකාශ කිරීමේ හැකියාව ලැබේ. එසේම Banas නදිය ආශ්‍රිතව ව්‍යාප්ත විම මත Banas Culture යන නමින්ද හදුන්වයි. මෙම නදිය පාදක කොටගෙන ගිනිකොන දිග රාජස්ථානයේ Ahar සහ Gilund නමින් කැල්කොලිතික ‍ක්ෂේත්‍ර දෙකක් හදුනාගෙන තිබේ (Chakrabarti, 1995).

02.01
ක්ෂේත්‍රයේ පිහිටීම

කතියවෝර් සිට 300 km ගිනිකොන දිග ප්‍රදේශයට වන්නට, අරවල්ලි ප්‍රදේශයට නැගෙනහිරින් Banas නදිය මුල් කරගෙන මෙම ක්ෂේත්‍රය පැතිරී ඇත (Allchin, 1996). එසේම මෙය වත්මන් රාජස්ථානයේ Udaipur දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට හදුනාගත හැකිය. එහිදි මීට වසර 4500කට ප්‍රථම කාලයකදී මෙම සංස්කෘතිය පිළිබද සාධක දක්නට ලැබෙන අතර කාබන් කාලනීර්ණ අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ ක්‍රි.පූ. 3500 - 1800  දක්වා කාල පරාසයක් තුළ මෙම සංස්කෘතිය පැවති බවට සාධක ලැබේ (www.india-today.com).
විශේෂ වැදගත්කමක් ලෙස දැක්විය හැකි වන්නේ ගංගා නිම්න භූමියක් පදනම් කරගනිමින් මෙකී සංස්කෘතිය ව්‍යාප්ත වී තිබිමයි. ඒ අනුව ජනාවාස පිහිටුවා ගැනීමේදී මෙම ජනයා ජල මූලාශ්‍ර වෙත ප්‍රධාන අවධානයක් යොමු කළ ආකාරය පෙනී යයි. තවද, දැනට පාකිස්ථානයේ පවතින හරප්පා සභ්‍යත්වයට යම් තරමක් සමීපස්ථව ‍උක්ත සංස්කෘතිය පැතිරී ගිය ක්ෂේත්‍රය දක්නට ලැබෙන බැවින් එම ප්‍රදේශද්වය අතර සබදතා පැවතියේද යන්න කෙරෙහි, මෙහි පිහිටීම අනුව විමසා බැලීමේ හැකියාව ලැබේ.

තවද කැල්කොලිතික සාධක හමුවන ඉන්දීය ප්‍රදේශ ලෙස Udaipur වලට අමතරව Chitorgarh, Bhilwara, Ajmer, Jaipur, Tonk in Rajasthan, Mandasore in Madhya Pradesh ආදී ස්ථාන නම් කළ හැකි අතර Udaipur හි Ahar ක්ෂේත්‍රය වැදගත් වන්නේ පැරණිතම සාධක හමුවීම මතය.
Ahar ක්ෂේත්‍රය පිළිබද දක්වන්නේ නම්, මෙහි ග්‍රාමීය ප්‍රදේශ අනූවක පමණ එම සංස්කෘතික සාධක හමුවී ති‍බෙන බව දැක්විය හැකිය. රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ Ahar ප්‍රමුඛව වැජඹුණු බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබේ. මෙහි ව්‍යාප්තිය දෙස බැලීමේදී නැගෙනහිර අරවල්ලි සානුවල සහ Banas ගංගාව දිගට මෙන්ම එහි අතු ගංගාවල මෙම ක්ෂේත්‍රය පැතිරී ගිය බවට සාධක ලැබේ.වත්මන් රාජස්ථානයේ,
Udaipur
Chittorgarh
Dungarpur
Bhiwara
Rajsamand
Bundi
Tonk
Ajmer
ප්‍රදේශ ආශ්‍රිතව වර්ග කිලෝමීටර 10,000ක පමණ භූමි ප්‍රමාණයක මෙම සංස්කෘතික සාධක දක්නට ලැබේ. මෙකී ක්ෂේත්‍රවල පැතිරිම අනුව ගිනිකොණදිග රාජස්ථානයේ සහ මධ්‍ය ප්‍රදේශ් ආශ්‍රිතව මෙහි ව්‍යාප්තිය පෙනී යයි (www.india-today.com).

02.02
chronology
කාල නීර්නය

වර්තමාන උදායිපූර් ප්‍රදේශයෙන් හදුනාගනු ලබන මෙම සංස්කෘතිය මීට වසර 4500ක පමණ ඉතිහාසයකට අයත් බව පැවසේ. කාබන් කාලනීර්ණයන්ට අනුව රාජස්ථානයේ Mewar ප්‍රාන්තයේ 3500-1800 B.C. සමය අතර කාල පරාසයක් තුළ Ahar සංස්කෘතිය පැවති බව පිළීගැනේ. Mewar හි පළමු අදියරයන් හරප්පානු යුගයටත් වඩා ර්‍පර්ව කාලීන වීම සැලකිය යුතු ලක්ෂණයකි (www.india-today.com).
පොදුවේ ගත් කල්හි, Ahar සංස්කෘතිය යුගකරණය අනුව හරප්පානු වකවානුව හා සම කාලයට මෙන්ම ඊට පසු කාලයටද අයත් වන බව පෙනී යයි (Allchin, 1996). තවද, කෙසේ වෙතත් මෙම යුගද්වය,
Proto Historic - 2600-1500 B.C.
Early Historic - 500-300 B.C.
ලෙස වර්ගීකරණයට ලක් කොට තිබේ. මෙහිදී කැල්කොලිතික අවස්ථාව ලෙස හදුනාගන්නේ පෙර කී පළමු යුගයයි. එය, හමුවන මැටි මෙවලම් මත නැවත වර්ගීකරණයකට ලක් කොට තිබේ.
1A - 2600-2150 B.C.
1B - 2150-1950 B.C.
1C - 1950-1550 B.C.
උක්ත කාලනීර්ණ පදනම් කර ගනිමින් සහ Ahar හි කැණීම්වලින් හෙළිවන සාධක භාවිතයෙන් මෙම සංස්කෘතිය හරප්පා සභ්‍යත්වය සමග සබදතා පැවැත්වීද යන ගැවළුව මතු වී ඇත. මෙහිදී උපයුක්ත වන කාලනීර්ණ ක්‍රම සැලකීමේදී,
සාපේක්ෂ කාලනීර්ණය
නිරපේක්ෂ කාලනීර්ණය
යන අංශද්වයම භාවිත කළ හැකිය. මීට එක් නිදර්ශනයක් ලෙස මෙහිදී සදහන් කළ හැක්කේ Dish on stand එනම්, ආධාර තැටි මත ඇති දීසි මෙම සංස්කෘතියේද හමුවීම මත හරත්තානු ආභාසය මෙයට ලැබුණිදැයි පරීක්ෂා කිරීමේ හැකියාව පැවතීමයි.

02.03
Ahar හි මැටි බදුන්

 Ahar හි Proto Historic යුගය එහි හමුවන මැටි බදුන් අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙන බව ඉහතද දක්වන ලදී. එනම්, 1A, 1B, 1C යනුවෙනි. මෙම සංස්කෘතියට ආවේණික මුඛ්‍ය ලක්ෂණයක් ලෙස කාල රක්ත මැටි බදුන් -  BRW (Black & Red Ware) පෙන්වා දීමේ හැකියාව ලැබේ (Chakrabarti, 1995). එසේම රේකා සහ තිත් මෝස්තර සහිත සුදු පැහැයෙන් සැරසිළි කළ BRW ද මෙහිදී දක්නට ලැබෙන වැදගත් සාධකයකි.
තවද,
Cream Slipped Ware (with black painting)
Red Slipped Ware
Buff Ware
Blotchy Grey Ware
Jorwe Ware
Red Ware
යනාදී මැටි මෙවලම් මෙහිදී දක්නට ලැබේ (Chakrabarti, 1995). එසේම පෙර දක්වන ලද සුදු පැහැ සැරසිළි සහිත කාල රක්ත මැටි මෙවලම් මෙම සංස්කෘතියේ උක්ත ප්‍රධාන යුගත්‍රයෙහිම හදුනාගත හැකි සාධකයකි