Monday, December 16, 2013

වෛවර්ණ සුදු කළු

(ආත්මාර්ථය මගේ පාදාන්තයේ මහපටඟිල්ලේ නිය අගින් ඉපැදී දිගුම දිගු කෙස් ගහේ පැලුණු අග්‍රය දක්වා දිවේ. යම් හෙයකින් මෙය වැරදි කියැවීමක් ලෙස අයෙකු දකිනු ඇත. එහෙත් හරිය කියා යමක් ඇත්තේ කොහෙද? භේද ඇතිකළවුන්ට මම සදා ණයගැති වෙමි. මන්ද, ධන ඍණ යමක් නෙවේනම් අද ලොවක්ද නොපවතින්නට ඉඩ තිබුණු හෙයිනි.)

මම දිගු නිහැඬියාවක ගිලී ගියෙමි. එයට බෙහෙවින් හේතු වූයේ අතමිට හිඟකමත් නිදහස් තත්පරයක් බලා සොයා මුල්ලකට වැදී ලියන්නට තරම් වෙලාවක් ඔරලෝසුවේ පැය විසි හතර මට නොදිමත් යන කාරණා යුග්මයට අමතරව මමම විහින් මගේ අතැඟිලි ලොක් කොට තිබීමත්ය. එහෙත් අද, ඒ අතක් නැති අත් කොටය මගේ උරහිසේ ඇතිල්ලෙද්දී ‘උඹ නැවත ලිවිය යුතුයැයි මගේ හිත මට තර්ජනය කරන්නට විය. ඉදින්, මාස ගණනක් පුරා සිර කොට බැඳ තිබූ සිතිවිලි යතුරු පුවරුව මත පොලාපනිමින් වලිකන විට මම හැකිතරම් ඒවා තෝරාබේරාඇදපැද ඉන් දෙක තුනක් පමණක් මේ කොළය මත තබමි.


ඔවු, මා කියන්නට ගත්තේ ඒ අත් කොටය පිළිබඳවයි. එය ආවරණය වී තිබුණේ කහට පැල්ලම් එක දෙකකට වඩා වැඩි වූ කහටින්ම බතික් මෝස්තරයක් ඇඳුණු කපු කමිසක රෙදි අතකිනි. කලින් ඔහුට අයත් වූත්, දැන් අහම්බයකින් හෝ යම් හේතුවකින් ඔහුගේ ඇඟේ තව දුරටත් නොපවතින්නක් වූ ඔහුගේ ඒ තිබුණා විය හැකි වූ අතෙන් කැපී ශේෂ වූ කොටය ඔහුට නොදැනීම ඉහළ පහළ යන විට මගේ උරහිස් නිරායාසයෙන්ම ස්පර්ශ කරන්නට විය. ඔහුගේ අතක් නැති අත් කොටය මට ගෙන දුන් හිරිහැරය මත මා පත් වූ අපහසුතාවය දැක ඔහු අපහසුතාවයකට පත් වුවද මම හැකි තරම් මගේ හැඟීම් මැඩගනිමින් ඔහුගේ අත් කොටය මගේ ඇඟේ නොගෑවුණාසේ හිඳින්නට තැත් කළෙමි. කොළඹට ළඟා වීමටද පැය ගණනකට පෙර පායා විත් තිබූ ඒ අන්ධකාරය මගේ මුහුණේ සිතිවිලි ඟවාලන්නට රුකුලක් විය.

බසයේ වීදුරුවේ නිවි නිවි දැල්වෙන කළුවර කොළඹ වෛවර්ණ බල්බ් අතරින්, ඒ වීදුරුව තුළම මම ඔහුගේ ප්‍රතිබිම්බයද දුටිමි. කේඩෑරි ගැසුණු ඔහු සිය බතික් කහට කමිසය අතරින් විටින් විට ඉස්සෙන අත් කොටය පාලනය කරගන්නට මෙන් අසුනේ එහෙට මෙහෙට කිහිප වරක් ඇඹරුණේ එසේ කරද්දී තව තවත් ඒ අත් කොටය මගේ උරහිසේ වදින බව දැනද නොදැනද යන්න මම නොදනිමි. බලන්නට අන් අතක් නැති තැන ඉදිරිය බැලූ මට නැවත මගේ ඇස් කණ්නාඩි කාචයේ යට දාරයෙන් පොල්කටු දනිස් දෙක නිරාවරණය කළ ඔහුගේ කළු පැහැ නූල් ගිය කොටකලිසම පෙනිණි. අතේ පොලිතින් මල්ලක පොදි කළ දෙයක් විය. ඇත්තෙන්ම...... යාචකයෙක්යයැයි කිව හැකි ඔහු මගේ අසුනේ මා වෙත ඇලී හිඳිගෙන සිටියේය.

මම නොසෙල්වීමි. නොනැගිට්ටෙමි. අපුළක් නොකළෙමි. මම හැකි තරම් මානව දයාවයැයි පෙර දාක කවුරුන් හෝ මට උගැන්වූ, සමානාත්මතාවයයැයි කවුරුන් හෝ මට කියාදුන් යමක් නැවත නැවත ධාරණය කරගනිමින් නොසැලී සිටින්නට හැකි හැම උත්සාහයම ගතිමි. ඒ අතර ඔහුගේ ළඟින් නික්මුණ දැඩි බීඩි ගඳ මගේ නහය කපාගෙන පෙනහළු තුළට ගිලා බසින්නට විය. පෙනහළු තුළ බෝල පිම්බෙනු හැකිළෙනු, සැර බීඩි ගඳක් මගේ රුධිරනාල පුරා විහිදී යනු මට දැනිණි. මම නැවත අර පාඩම මතක්කරගනිමින් අසුනේ සිටි ඉරියව්වේම හිඳිමින් පිම්පෙන පෙනහළු අමතක කරන්නට තැත් කළෙමි.

ජෝසප් වාස් මධ්‍යස්ථානය පහු වන විට, එතෙක් මගේ උරහිසේ වැදි වැදී පැවති ඒ හිසරදය ඉවත් වූ බව මට දැනුණි. ඔවු. ඒ ඔහු බසයෙන් බසිනා තැනයි. මම බීඩි ගඳින් තොර හුස්මක් ගතිමි.


Comments
3 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

3 comments:

  1. බස් එහෙක මනසින් ගියෙමි .

    ReplyDelete
  2. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
  3. කකුල නැතිවෙලා දැන් අවුරුදු දහයකටත් වැඩියි. ඒ අවුරුදු දහයට මම කීසැරයක් නං බස්වලට, කෝච්චි වලට ගොඩවෙලා ඇතිද ? මගේ කකුල් කොටය කාන්තාවන් කී දෙනෙකුගේ ඇඟවල් වල ඇතිල්ලිලා ඇතිද ? අනික් අතට කාන්තාවන් කීදෙනෙක් මට ඒ ගොල්ලන්ගේ සීට් එක දීලා ඇතිද ? අනේ ඒ හැමෝටමත් මේ විදියටම හිතිලා ඇති නේද............

    ReplyDelete

 
There was an error in this gadget