Tuesday, June 18, 2013

උරුම ක්‍රියාවලිය / Heritage as a process


Heritage formation

1.       Discovery by birth (ජන්ම උරුම)
2.       Achievements (සාධිත උරුම)
3.       Acquisition  (ආරෝපිත උරුම)

උරුම දාමය / heritage chain

උරුමය යනු එකිනෙක සහසම්බන්ධ වූ දෙයකි. ඉහත පරිදි, උරුමය ප්‍රභවය වන ක්‍රමවේද තුනකි. යම් දෙයක් උරුමයක් බවට පත් වන්නේ මෙකී ක්‍රමවේද කවරකින් හෝ එය උරුමයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුවය.


1.       උපතින් / ජන්මයෙන් උරුමයක් බවට පත් වීම.

උදා :-
ජාතික කොඩිය
විශ්ව කීර්තියට පත් යම් කලාකරුවෙකුගේ නිර්මාණ (මෙහිදී ඔහු පුද්ගල ස්වරූපයෙන් උරුමයක් බවට පත් වීමට ඒ දක්වා පසු කළ අවධියේදී සැලකිය යුතු තරම් බලපෑමක් සමාජයට සිදු කර තිබිය යුතුය. ඔහු සමාජය තුළ උරුමයක් ලෙස නම් වූ පසු එතැන් පටන් ඔහුගේ සියලු නිර්මාණ උපතින්ම උරුම ගණයෙහි ලා ගැනේ)


2.       මුදුන්පමුණුවා ගැනීමෙන් උරුම බවට පත් වන දේ / සාධිත තත්ව. මෙහිදි අරුම බවට එය පත් විමට කාලයක් ගත වේ. කාලය යන සාධකය මෙහිදී විශේෂ වැදගත් කමක් දරයි.

උදා :-
වලව්
ප්‍රසිද්ධ පුද්ගලයෙක් භාවිත කළ ද්‍රව්‍ය (මාටින් වික්‍රමසිංහ) වසර 100ක් ඉක්මවූ දේ උරුමයක් ලෙස පත්වන බවට ඇති සම්මතය මෙහිදි වැදගත් වේ.


3.       ආරෝපිත උරුම. වසර සියයක් පැරණි වුවද එය උරුමයක් බව තහවුරු කළ යුත්තේ පුරාවස්තු අඥා පනතින් සම්මත කර ගැනීමෙන් පසුවය. වසර සියයට වඩා පැරණී සියල්ල උරුම නොවන අතර මෙහිලා විශේෂ වන්නේ සංස්කාතිකමය, ඓතිහාසික වැදගත්කම්ය. ඒ අනුව ඒවා ආරෝපිත උරුම වේ.

උදා :-
ලෝක උරුම
ස්මාරක


උරුම කලමනාකරුවා යනු මෙම ක්‍රියාවලියේ නිරත වන තැනැත්තායි. උරුම කලමනාකරණයේදී සියල්ල වාර්තාගත කරණය ඉතා වැදගත් වේ. මෙම ක්‍රියාවලිය උරුම කලමනාකරුට අවශ්‍ය පරිදි සැකසෙන්නකි. ඔහුට අවශ්‍ය දෙය පමණක් ඔහු වාර්තා කරයි. එනිසා එය පුදුගලානුබද්ධ වේ. ඒ අනුව උරුම කලමනාකරණයද නිර්මාණය කරන ලද / ගොඩනගන ලද දෙයකි. (පළමු ලිපියෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දක්වා තිබේ)


රටකින් රටකට ඔවුන්ගේ සිතිවිලි අනුව උරුම කලමනාකරුනාගෙන් උරුම කලමනාකරුවාට වාර්තාකරණය විෂම වේ. ඒ අනුව උරුම ක්‍රියාවලිය යනු නිර්මාණය කරන ලද දෙයකි. මෙම ක්‍රියාවලිය හසුරුවන ක්‍රමවේදය නිසා මෙය බොහෝ මතභේදයන්ට, මතවාදයන්ට තුඩු දේ. එහි තත්වයන් උරුම කලමනාකරුවාට අවශ්‍ය ලෙස සැකසිය හැකිය. උරුම කලමනාකරණය තුළ ඇති මෙම තත්වය මත එය මතවාදයන්ට ලක් වේ. සියයට සියයක් මෙහිදී තත් ලෙසම උරුම කලමනාකරණයක් සිදු නොවන්නේ මෙකී තත්වය පෙර දැක්වූ ලෙස පුද්ගලානුබද්ධ වන හෙයින්ය.


උරුම කලමනාකරුවාගේ සිතිවිලි සහ තෝරාගැනීම් මත අදාල ක්ෂේත්‍රයන්ගෙන් ලැබෙන සාධක තෝරාගැනීම හා බැහැර කිරීම සිදුවේ.

උදා :-
දමිළ සාධක සහිත ශිලා ලිපි, ස්මාරක ආදිය ඇතැම් විට ඉතිහාසයෙන් බැහැර කරනු ලැබ තිබේ.
මන්ද එහිදී උරුම කලමනාකරුවාගේ, පුරාවිද්‍යාඥයාගේ අදහස් මෙහි අර්ථදැක්විම් සඳහා බලපාන බැවිනි. එසේම පක්ෂග්‍රාහී බව නිසාද මෙකී තත්වයන් ඇතිවේ.


පෙර දෙවනුව දැක්වූ සාධිත තත්වයන් යටතේ උරුම දාමය සාකච්ඡා කරන කල්හි පහත සඳහන් සාධක වැදගත් වන ආකාරය විමර්ශනය කළ හැකිය.

·         ලේඛනගත කිරීම
උරුමයක් ලෙස නම් කිරීම

·         උරුමයේ තත්වය
යම් දෙයක් උරුමයක් ලෙස ලේඛනගත කළ පසු ඒ පිළිබඳව දෙන තත්වයයි. ලේඛනගත කිරීමෙන් පසු තත්වය, එනම් නිල තත්වයක් දෙනු ලැබේ. (ලෝක උරුමයක් ලෙස යමක් ඇතුළත් කළ පසු එයට ඉබේම යම් සාධිත තත්වයක් ලැබේ.  දහතුන් වන ව්‍යවස්ථාවට පසු ලංකාවේ සියලු ජාතික වැදගත්කමක් සහිත ස්ථාන වල අයිතිය හිමි වන්නේ මධ්‍යම රජයටයි. එය නිල තත්වයකට නිදර්ශනයකි) මෙම තත්වගත කිරීම කරනුයේ “සුදුසුකම් ලත් පිරිසක්“ විසිනි.

·         උරුමයේ තත්වය නීර්ණයෙන් පසු භෞතික සංරක්ෂණය කළ හැකි හා කළ නොහැකි ලෙස එය නැවත කොටස් දෙකකට බෙදේ. එහි භෞතික සංරක්ෂණය කළ හැකි යටතට; සංරක්ෂණය, ප්‍රතිනිර්මාණය, ප්‍රතිසංස්කරණය, අළුත්වැඩියාව යන කරුණු හතර අන්තර්ගත වන අතර භෞතික සංරක්ෂණය කළ නොහැකි යන අංශයට, නැවත නීතියක් ගෙන ඒම අන්තර්ගත වේ.

භෞතික වස්තූන් ලෙස ද්‍රව්‍යාත්මකව ගෙන සංරක්ෂණය කළ හැකි දේ ඇත. නමුත් අභෞතික වස්තූන් (අස්පර්ෂණීය උරුමයන් - ස්පර්ෂ කළ නොහැකි අභිචාර, ශිල්ප තාක්ෂණික ක්‍රමවේද ආදිය) එලෙස සංරක්ෂණය කළ නොහැක. මෙහිදී ඇසල පෙරහැර වැනි වූ නැවත සජීවී කරණය කළ හැකි දේ හැකි පමණින් නැවත නැවත පවත්වමින් ඉදිරියටත් පවත්වාගෙන යාම එක්තරා සංරක්ෂණ ක්‍රියාවලියක් වේ. තවද ආදිවාසීන්ගේ උරුමයක් වූ කිරි කොරහ ශාන්තිකර්මය මෙලෙස නැවත නැවත සිදු කරමින් සංරක්ෂණ ප්‍රවේශයකට යා ගැකිය. නමුත් අද්‍යතන සංස්කාතිය හමුවේ මෙය වඩාත් දුශ්කර කර්තව්‍යයක් වුවද; ප්‍රදර්ශනාත්මක මට්ටමින් හෝ මෙය ඉදිරියට පවත්වාගෙන යා හැකිනම් තවත් පරම්පරා කිහිපයකට හෝ මෙවන් උරුමයන් රැගෙන යාමේ හැකියාව ලැබේ. ඇඳුම් පැළඳුම් භාණ්ඩ ආදී වූ ස්පර්ෂීත උරුම යම් යම් ක්‍රමවේද යටතේ සංරක්ෂණය කළ හැකි වුවත්, උරුම ක්‍රියාවලිය යටතේ පෙර දැක්වූ අස්පර්ෂණීය උරුමයද කෙසේ හෝ ඉදිරියට පවත්වාගෙන යාම අභියෝගයකි. මන්ද අස්පර්ෂණීය උරුමයන් සමාජයෙන් නැති වී ගියහොත් කිසිදු ක්‍රමයකින් ඒවා නැවත ස්ථාපනය කිරීමේ හැකියාවක් නොමැති බැවිනි. උරුමය යන්න පැහැදිලි කිරීමට අස්පර්ෂණීය උරුමයත් ස්පර්ෂණීය උරුමයත් අන්‍යෝන්‍ය සහයෝගයක් දෙන අවස්ථා එමටය. (කෞතුකාගාරවල බහුලව භාවිත වන ප්‍රදර්ශන ක්‍රමවේදයක් වන; ක්‍රියාවේ යෙදෙන අනුරූ භාවිතය මෙහිලා නිදර්ශනයක් ලෙස දැක්විය හැකිය)

·         අර්ථනිරූපණය
උරුම දාමයේදී පසු කරන තවත් එක් පියවරකි. සංරක්ෂණය කරන ලද ද්‍රව්‍ය එකී ක්‍රියාවලියෙන් පසු අර්ථ දැක්වීම මෙහිදී සිදු වෙ. එහි වටිනාකම, උපයෝගීතාව, භාවිතය, සමාජ ආර්ථික වටිනාකම් පැහැදිලි කිරීම, ඒවා සමාජගත කිරීම මෙහි ඇති වැදගත්කමයි. (පංචාවාසයක් ගත් කල්හි ඉහත උදෘත යටතේ එහි ඇති වැදගත්කම පැහැදිලි කිරීම, පැරණි නගර ව්‍යූහයක සැකැස්ම අර්ථ දැක්වීම, කාසියක නිශ්පාදන තාක්ෂණය, අන්තර්ගත රසායණික සංයෝග, ඒ හා බැඳි සමාජ ආර්ථික පසුබිම ආදී දේ විග්‍රහ කිරීම) උරුමය සංරක්ෂණයේදී එය හැසිරවීමේ පූර්ණ හැකියාව පවතින්නේ සංරක්ෂකයා වෙතයි. එසේම අර්ථදැක්විමේදීද තත්වය මෙයයි. ඒ අනුව පෙර සඳහන් කළ ලෙස මෙය නැවත පුද්ගලානුබද්ධ ආකාල්ප හා බැඳි, නිර්මාණය කරන ලද්දක් බව නැවතත් විද්‍යමාන වේ.

·         වටිනාකමක් දීම
උරුමය සඳහා වටිනාකමක් දිම මේ යටතේ සිදු වේ. සංස්කෘතික වස්තූන් යම් යම් ආකාරයෙන් වාණිජකරණයට ලක් වේ. පුරාවස්තු වාණිජකරණයට ලක් කරන එක් ස්ථානයක් ලෙස කෞතුකාගාරය හැඳින්විය හැකිය. මෙහිදී පුරාවස්තු නැරඹීමට මුදල් ගෙවා ප්‍රවේශපතක් ලබා ගත යුතු අතර දේෂීය බාල මහළු පාසැල් ලෙසත් විදේෂීය ලෙසත් සංචාරකයන් වර්ග කිරීමකුත් ඒඒ කාණ්ඩ සඳහා වෙනස් මිල ගණන් දැක්විමකුත් සිදු වේ. එසේම ඡායාරූප ගැනීම සඳහා වෙනම ගාස්තුවක් අය කෙරෙන අතර ඇතැම් විට පුරාවස්තු වල විස්තර ඇතුළත් ග්‍රන්ථ මගින්ද වාණිජ පරමාර්ථ මුදුන්පමුණුවා ගැනීමක් සිදු වේ. Art market යනුවෙන් හැඳින්විය හැක්කේත් එවන් වාණිජකරණය වූ උරුමයන් සහිත ස්ථානයකි. නමුත් මෙහිදි මිල කරනු ලබන උරුම එම මිලකිරීමෙන් පසු කිසිදු වටිනාකමක් රහිත ඒවා බවට ලක් විම නිතැතින්ම සිදු වේ. තවද සංචාරක ක්ෂේත්‍රද වාණිජකරණයට ලක් වේ. බොහෝ විට ඒවායෙහි නඩත්තු කටයුතු සඳහා ආදායම් ලබන්නේ මෙම ක්‍රියාවලිය තුළිණි. ඇසළ පෙරහැරද මෙයට අන්තර්ගත වේ. විශේෂයෙන් පෙරහැර කාලයට සංචාරක ක්ෂේත්‍රය පුධාන වශයෙන්ම අරමුණු කරගැනේ. තවද සංචාරක නිවාඩු නිකේතනයන්හි පවත්වනු ලබන සංස්කෘතික සංදර්ෂනද මේ යටතෙහි ලා ගැනේ. නමුත් විධේෂිකයන්ගෙන් මුදල් ඉපයීමම පමණක් අරමුණු කර නොගෙන ඒ ඒ සංස්කෘතික සංදර්ෂණ නිසි පරිදි නිසි කාලය හා තත්වයන් සහිතව ඉදිරිපත් කිරීම මෙහිදී අනිවාර්යය වේ.  Art marketහි හැර උරුමය වාණිජකරණයට ලක් කිරීම උරුමකලමනාකරුවාගේ වගකීමකි.  විවිධ අදියරයන්හි මෙම උරුම කලමනාකරණ ක්‍රියාවලිය නතර කිරීම හෝ ඉදිරියටත් පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ උරුම කලමනාකරුවාටය.

·         විනාශ නොවී පැවතීම, වටිනාකම සදහටම නැති වීම, උරුමය සදහටම නැති වීම
ලෙස, උරුම ක්‍රියාවලියේ අන්ත තුනකි. උරුම කලමනාකරණයේදී යම් උරුමයක් විනාශ නොවී සදහටම උරුමය විදහා දක්වමින් ආරක්ෂිතව පැවතීම මෙහි එක් අංශයකි. (කෞතුගාකාරවල වාර්තාකරණය සහිතව පවතින බොහෝ උරුමයන්) මේවා වාණිජකරණයට ලක් වුවද තිරසාර ලෙස උරුමය විදහා දක්වමින් පවතී. දෙවැන්න උරුමයක වටිනාකම සදහටම නැති වී යාමයි. වැරදි ලෙස සන්ධර්භයෙන් ඉවත් කරන ලද ඇතැම් කෞතුක භාණ්ඩ වලට සේම Art market හි මිල කරන ලද උරුමයන් සඳහා මෙකී තත්වය බලපායි. මෙහිදී සිදුවන්නේ උරුමයේ අනන්‍යතාව ඒ තුළින් නැතිවි යාම හා එහි අගය මුලිනුපුටා දැමීමයි. තුන් වන කාරණය උරුමය සදහටම නැති වී යාමයි. යම් උරුම ක්ෂේත්‍රයක් වැරදි ලෙස සංචාරකයින් සඳහා විවර කළහොත් එහි අගය සදහටම ලෝකයෙන් තුරන් වී යන අවස්ථා ඇත (නිතර පයට පෑගෙන ස්ථාන වල ඇති වටිනා ශිලා ලිපි). එසේම සංරක්ෂකයින්ගේ අවධානයට ලක් නොවූ ඉතා පැරණි ශිල්ප කලා සම්ප්‍රදායන්ගේ අවසන් තාක්ෂණික නිපුණයන් මිය යාමත් සමග එකී අරුමයන් සදහටම ලොවට නැති වී යයි (ඇත්දත් ශිල්ප කලාව).



ඒ අනුව උරුම ක්‍රියාවලිය යටතේ උරුම දාමය ක්‍රියාත්මක වන්නේ ඉහත පරිදිය. මෙකී සෑම ක්‍රියාවක් සඳහාම නිවැරදි මාර්ගයක් සහ වැරදි මාර්ගයක් වේ. එය නිවැරදි ලෙස හැසිරවිම උරුම කලමනාකරුවාගේ වගකීමකි. උරුම ක්‍රියාවලියද උපතේ සිට නැතිවිම දක්වාම පසුකරන අවධීන් වන ඉහත සාධක පාලනය කරනුයේ උරුම කලමනාකරුවා විසිනි. උරුම කලමනාකරණය යනු මෙම විස්තර කරන ලද මාර්ගය හැසිරවීමයි. තිරසාර කලමනාකරණය රැඳී පවතින්නේ උරුමකලමනාකරුවා ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය තුළ වන අතර පෙර ලිපියේද දැක්වු පරිදි මෙය යම් පුද්ගලයෙකුගේ ස්වාධීන අදහස් හා බැඳී පවතින්නා වූ “නිර්මාණය කරන ලද අදහසක්“ බව මේ අනුව විද්‍යමාන වනු ඇත.
Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments:

  1. සිත්තරියො, මෙව්ව විකිපීඩියාවට දාන්ට බෑද? එහෙම කොරනව නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. අනේ මං දන් නැනෙ ඒකට දාන්න. අනික ඒකට දානවනම් මූලාශ්‍රත් එක්ක දාන්න වෙනවා. ඒකට වැය කරන්න තරම් කාලයක් මට හොයාගන්න අමාරුයි

      Delete
  2. පොඩි දෙයක් කියල හිතන් හිටිය උරුම කලමනාකරණය, සැහෙන්න ලොකු සංකීර්ණ ක්‍රියාවලියක් බව දැනගත්තා මේ ලිපි පෙළින්...... ස්තුතියි ඔබට!

    ReplyDelete
  3. උරුමය ගැන පුළුල් විවරණයක්.

    ReplyDelete

 
There was an error in this gadget