Thursday, August 2, 2012

අතීතාවර්ජනා 1 - පළමු පෙම්වතා



ජිවිතේ මුල ඉල සිද්ධ වෙච්ච දේවල් කල්පනා කරද්දි මම කොයි තරම් දුරක් ඇවිල්ලද කියල මට පුදුම හිතෙනවා. ඊටත් වඩා පුදුමයි දැන් මැරෙයි දැන් මැරෙයි කියලා හිතපු සියයක් දහසක් තත්පර ගණන් මම ගෙවල තියෙනව නේද කියල ආයෙමත් හැරිල බලද්දි. ගෙවුණු අවුරුදු ගණන තුළ කොයි තරමක් නම් පිරිමින් මගේ ලෝකෙ හොල්මන් කළාද? එයාල ගැන මම හිතපු වාර අනන්තයි. ආදරේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල කවුරුහරි මගෙන් ඇහුවොත් මම දැන් මේ හිතන්නෙ මම දෙන උත්තරය මොකද්ද කියලා. කැපකිරිම්ද? පරිත්‍යාගයද? ආශාවද? ඇල්මද? බැීම්ද? ______ මේ මොන මගුලද ආදරේ කියන්නෙ කියල මට හිතාගන්න බැ. ඒත්, වචනයට කියනව වගේ මම ආදරේ කළා. මගේ මතකය අංශුවෙන් අංශුව ගෙවිල යමින් පවතින මේ වෙලාවෙ මම උත්සහ කරන්නෙ මට මතක හැමදේම මේ කොළ අහුරු අතරෙ ගොණු කරන්නයි. ලියන්න මතක් වෙන්නෙම ආදරේ... ආදරේ... ආදරේ... මමවත් නොදන්න, ඒත් මම හැමදාම හැමෝටම කරපු ඒ අකුරු අතරෙ අරුත....

සමහරවිට මගේ පළවෙනි ආදරය එක්තැන් වුණේ මගේ ඒ ඉස්කෝල නිවාඩු කාල වල, ඒ ඉක්මනින් ගෙවිල ගිය සතුටුදායක දවස් කිපය තුළ වෙන්න ඇති. ලියන්න පටන්ගද්දි මම නිපුණ ගැන ලියන්න අදහස් කළේ නැ. හාංකවිසියන් මට එයාව මතක තිබුණෙත් නැ... ඒත් ලියන්න ඉදගත්තට පස්සෙ මගේ ලියන මේසෙට ඉස්සරහින් තියන මේ වෙල්යාය දැක්කම මට නිතම්ම මතක්වුණා ඒ ගොයම් කැපුව දවස. ලියදි පුරා එරි එරී අපි තුන් දෙනා දුවපු දවස. සමහරවිට ඒ මගේ පළවෙනි ආදරේ කියල මට එක පාරම හිතෙන්න ඇත්තෙ දැන් මම දකින දේ නිසාත් වෙන්න ඇති.

මම එතකොට මතක විදිහට හතරවසරෙ. ඉස්කොලෙ නිවාඩුවේ අම්මා මාව අම්මගේ යාලුවෙක්ගෙ ගෙදර ඇරලුවා. මම හිතන්නෙ මම අත්වින්ද සුන්දරම කාලෙ තමයි ඒ. ඒ ගෙදර විදුහල්පති අංකල් නොවෙන්නත්, කුලප්පු වෙච්ච ගමන් හිටපු වසවර්ති කුකුළ නොවෙන්නත් හරිම නිදහසේ මම එහෙ හිටියෙ. අංකල්ට කෙසේ වෙතත් කුකුළටනම් මම පණ බයයි. 'දුටුතැන අල්ලනු' කියල විශේෂ අණක් පැනවිලා තිබුණ වගේ, පිට කෙනෙක් දැක්ක ගමන් මේ කුකුළ පන්නගෙන එනව කොටන්න. අනේ මු මැරෙන්න තව කල් තියනවද අක්කෙ කියල මම මැණිකෙ අක්කගෙන් ඇහුවෙත් ඒකයි. කොහොමහරි කුකුළ නිසා හැංගිමුත්තං කරන වෙලාවට පාඩු වුණෙත් මටමයි. මේ වසවර්තියා කොහෙන් මතුවෙයිද නොදන්න නිසා ඒ ගෙදර මට හැංගෙන්න තැනක් තිබුණෙ නැ. ඒ නිසා පෝරණුව අස්සම පිහිට කරගත්ත මාව නිපුණත් මැණිකෙ අක්කත් ලේසියෙන්ම හොයාගත්තා.

නිපුණ හරි ලස්සනයි, සුදුයි, කළුම කළු කොණ්ඩෙ පොකුටුයි. බෝනික්කෙක් වගෙයි. හැබැයි මම එයාට වටා උසයි. මම හිතුව මම එයාට වඩා උස හරිම ටිකයි කියලා. 'මේ මම උගන්වන ඉස්කෝලෙ ගාව ගෙදරක ළමයෙක්' ඇන්ටි ඒ විදිහට කසුන්ව අපේ අම්මට එදා අුන්වලා දෙද්දි මම හොින් එයා දිහා බලන් හිටපු බව මට දැන් මතක් වෙනවා. එහෙම කියල කසුන්ට යන්න ඇරල ඇන්ටි අපේ අම්මගෙ කණට කරල මොකද්දෝ රහසක් කිවට මට ඒක ඇහුණෙත් නැ. නිපුණ මගේ වයසෙම බවත්, මට වඩා මාස දෙකක් වැඩිමල් බවත් දැනගත්ත නිසා මට අමුතු සතුටක් ආවා මතකයි. ඒ වගේම එයා එකක් කතා කරන වෙලාවට මම නිතරම බලන් හිටියෙ එයාගෙ සුදුම සුදු හම විනිවිද යනව කළුම කළු කොණ්ඩෙ දිහා.

ඒ ඉස්කෝලෙ නිවාඩු කාලෙ. සති තුණක් මම එහෙ නැවතිලා හිටියා. ඒ නිවාඩුවෙන් පස්සෙ නිවාඩුව හරිම එපාකරපු එක්ක් වුණේ සුදු රෙද්දකින් ඔළුව වහල විකාර ගොඩක් කරන්න කලින් සතියක් තිස්සෙ මාව අපේ ගෙදර කළුවර කාමරේ තනියම දාල හිර කරල තිබුණ තිසා. තරහ වැඩි කමට මම ඒ කාමරේ තිබුණු පුංචි ඇත් දළෙන් බිත්තියේ ලොකු හිලක් හෑරුවා. ඒ ඊට කලින් නිවාඩුව මතක් කර කර. කොහොම හරි නිපුණත් මැණිකෙ අක්කත් එක්ක ගත කරපු දවස් එකින් එක නැතත් ටික ටික මගේ මතකෙ තාමත් තියනව ඒ එක්කම ලැබුණු මේ නිරස අත්දැකිම නිසාම.

අපි හැමදාම එක එක ජාතියේ සෙල්ලම් කළා. කඩ දැම්මා. කඩේ සල්ලි විදිහට ගත්තෙ පින් කටු කෑළි. අංකල් නිපුණ එක්ක එකතු වෙලා ලස්සන ඩක කෑල්ලක් කෝටු කීපෙකින් හදල දුන්නම මමයි අක්කයි ලස්සනට බඩු අඩුක්කරනවා. බඩු මොනවද කියල මට දැන් මතක නෑ. මතක තියෙන්නෙ කොළ පාට, ක්‍රීම් පාට, නිල් පාට වගේ තිබුණු පින් කටු සල්ලි විතරයි. අපේ ගෙදරදි කවදාවත් සෙල්ලම් කඩේට එහෙම සල්ලි මට තිබිල තිබුණෙ නෑ. මේ නිවාඩුවෙන් පස්සෙවත් එහෙම තිබුණෙ නැ මට කොයි තරම් ඒ සල්ලි කෑලි ඕන වෙලා තිබුණත්. කඩේ ගැන මට මතක එච්චරයි.

ඒ ගෙදර රඹුටන් ගහක් තිබුණා. නැ.. මට මතක නැ ඒ රඹුටන්ද වෙන මොනවත්ද කියලා. මගේ මතකය දැන් පුදුම විදිහට දුර්වල වෙලා. කොහොමහරි ගෙය පහළින් තිබුණ වෙල අයිනෙම මහ විසාල ගහක් තිබුණා. ඒ ගහේ ටකයක් බැල තිබුණා. ගහ තිබුණෙ ඇල්ලෙන් පහළ නිසා ලේසියෙන්ම ගෙදර මිදුලෙ ඉල ටකේ හොල්ලන්න පුළුවන්. පස්සෙ කාලෙ කැම්පස් එකේ රැග් එක කාලෙ අයියලා උගන්නපු ටකේ සම්බන්ධ කුණුහරුප කවියක් නිසා මට නිතරම මේ ටකේ මතක් වුණත් නිතරම ඒක සද්ද කරපු නිපුණවනම් ඒ කාලෙ මතකෙට ආවෙ නැ. මට මතක විදිහට ඒක සද්ද කළේ කුඹුරට එන කුරුල්ලො එළවන්න හරි, අර ගහ රඹුටන් ගහක් නම් ඒකට එන කුරුල්ලො එළවන්න වෙන්න ඕන.

හවස තුනෙන් පස්සෙ අපි ගේ වටේම තියන තේ වත්ත පුරා ඇවිදින්න යනවා. එක එක දවසට එක එක පාරවල් දිගේ අපි ඔහේ ඇවිදන් යනවා. අක්කටයි මටයි කලින් කෝට්ටක් වන වන නිල් පාට කොට කලිසමක් ඇන් යන නිපුණ තමයි මාර්ගෝපදේශකයා වෙන්නෙ. අපේ පස්සෙන් අපි කොහේ ගියත් එන යාලුවෙක් හිටියා. ඒ පල්ලෙහා කඩේ ගෙදර බල්ලා. එයාට මහ පුදුම ලෙඩක් තිබුණා. තත්පර ගානෙන් ගනට එයාට චූ දාන්න ඕන. අක්ක කිව ලැසියට දියවැඩියාව කියලා. දියවැඩියාව කියන්නෙ මොකද්ද කියල මම ඒ වෙද්දි දැණන් හිටියෙ නැ. මම හිතුවෙ ලැසී වතුර බිලා වැඩි නිසා ඇගේ තියන වතුර වැඩී කියලයි. තේ වතු වලට තදේට අවුව පායන බව මට පස්සෙ කාලෙක ආයෙම එහෙ ගිය දවසක දැණුනත් අපි තුන්දෙනා එක්ක රස්තියාදුවෙ ගිය මේ දවස් වල එහෙම පැවිල්ලක් තිබුණද කියල කියන්න තරම් මතකයක් මට දැන් නැ. අපි ටූනා මල් එකතු කළා. මම හිතන් හිටිය වගේ නෙවෙයි, මෙහෙ මත්තෙ ගෑණු අය කූඩ වෙනුවට පිටේ බැන් හිටියෙ පොහොර මලු. අක්ක මට කියලා දුන්නා තේ දළු කඩන විදිහ. ඒ වගේම මුල් වතාවට තේ ගෙඩියක් දැකල මම පුදුමෙන් කැ ගැහුවෙ මේ විදිහට ගිය පළවෙනි දවසෙයි. එදා ඉන් මම අහුවෙන අහුවෙන තේ ගෙඩි එකතු කළා ගෙදර ගේන්න. නිපුණ මා වෙනුවෙන්ම සැදී පැහැදී මට තේ ගෙඩි කඩල දුන්නා. මම එහෙන් එන දවසෙ නිපුණ එකතු කරපු තේ ගෙඩි මළු දෙකක් පිරෙන්නම තිබුණා. ඒත් ගෙදර ගේන්න වුණේ එයින් එකයි. නිපුණ අනිකට මොනව කළාද දන්නෙ නැ.

දවසක් අපි ටි ෆැක්ට්‍රි එකට ගියා. අක්ක එතව වැඩ කරපු, එයා අුනන කාවදෝ හොයන්න ගියේ මාවයි නිපුණවයි ඔෆිස් එකක් වගේ තැනක තියලා. ඒ කාලෙ තිබුණෙ යතුරු ලියන. තඩි යකඩ ගොඩක්... ඒවයෙ කළු පාට යතුරු වල අකුරු ලියල තිබුණා. එතන කවුරුත් පේන්න හිටියෙ නෑ. මමයි නිපුණයි එක පුටුවක ඉගෙන යතුරුලියනයක් අල්ල අල්ල හිටියා. එක පාරම නිපුණ අතින් එක අකුරක් ලියපු යතුරක් යටට එබෙද්දි කොහෙන්දෝ අස්සකින් ආපු දිග කූරකින් ටිකිස් ගාල අකුරක් වැදුණා හරහට දාලා තිබුණු අව පාට කොළේ. ඒත් එක්කම පිටිපස්සෙ තිබුණු හරස් බටේ එක පැත්තකට වුණා. අපි දෙන්නම සැහෙන්න බය වෙලයි හිටියෙ වෙච්ච දේ නිසා. ඇයිද මංද මට අපි කතා කරපු එක වචනයක් වත් මතක් වෙන්නෙ නැත්තෙ. මේ සිද්දි මගේ හිතේ ඇඳෙන්නෙ හරියට හඬකවන්න අමතක වුණු චිත්‍රපටියක් වගෙයි. දෙයියන්ට ස්තූතිවන්ත වේවා, මේ මතක රාමු කළු සුදු නම් නෙවෙයි. ඒවා පාට පාටින් මගේ හිතේ ඇඳෙනවා.

අපිට හොඳ ඇඳන් තිබුණ වුණත් නිපුණ නිදාගත්තෙ බූරු ඇඳක. මම දැකල තිබුණු එකම බූරු ඇඳ ඒක. මම මැණිකෙ අක්කගෙන් ඇහුවා ඇයි එයාට ඒ අමුතු ජාතියේ ඇඳ දීල තියෙන්නෙ කියලා. මැණීකෙ අක්ක ඒකට මොන උත්තරයක් දුන්නද මන්දා, කොහොම හරි මම බුරු ඇඳ ඉල්ලලා රණ්ඩු කළා. එක්ස් අකුරෙ හැඩේට කකුල් තිබුණු ඒකෙ පොහොරමළු එළල තිබුණෙ. මම කොයි තරම් ආස කළාද ඒකෙ නිදා ගන්න. ඒත් මට කවදාවත් ඒ අවස්ථාව ලැබුණෙ නැ. දවසක් මම නිපුණට රහසින් කිවා මට එක පාරක් ඒකෙ නිදාගෙන බලන්න දෙන්න කියලා. එයා හොඳටම බය වුණා. අපි එදා රණ්ඩු කළා. මම නිපුණගෙ අත හැපුවා. එයා බූරු ඇඳ දැතින්ම බදාගෙන මට පිටිපස්ස හරවලා ඒක පුළුවන් තරම් මගෙන් අයින් කරන්න උත්සහ කළා. අපේ කාලගෝට්ටියට ආපු ඇන්ටි හොඳ කනේ පාරක් දුන්නෙ නිපුණට. මට එතකොටයි මම කළ වරදේ තරම අවබෝධ වුණේ. නිපුණටනම් ඒක රිදුණෙ නැතිව ඇති. ඒත් මගේ කම්මුල පුපුරු ගහනව වගේ මට දැණුනා. එදා රෑ කිසි දෙයක් නොවුණා වගේ අපි ආයෙම සෙල්ලිම් කළා මේසෙ ඇතුළෙ. මම හිතන්නෙ මේසෙ ඇතුළෙ අපි කළේ සෙල්ලම් ගෙයක් දාන එක වෙන්න ඇති. මට මතක පැදුරක් එළන් අපි ඉටිපන්දමක් පත්තු කරන් හිටිය බව විතරයි. අක්ක එදා කුස්සියට ගිය වෙලාවෙ මම නිපුණගෙ කම්මුල අතගාල ඇහුවා ගොඩක් රිදුනද කියලා. එයා ඇහුවා මොනවද කියලා.

මේ නිවාඩු කාලෙමයි අංකල්ලගෙ කුඹුරෙ ගොයම් කැපුවෙත්. කමත තිබුණෙ ගේ පැත්තට ප්‍රතිවිරුද්ධ දිහාවෙ. එදා ලියදි ලියදි වෙන් කරල තිබුණ කුඹුර පුරා අපි තුන්දෙනා දුව දුව සෙල්ලම් කළා. මම දැනන් හිටියෙ නෑ කුඹුරෙ ඇවිදින්නවත්. අක්කයි නිපුණයි මමයි කුඹුරෙ අල්ලන් සෙල්ලන් කරන්න පටන් ගත්තත්. මට අඩියක් දෙකක් යාගන්නවත් පුළුවන්කමක් තිබ්ණෙ නෑ. මම එදා ඇඳල හිටියෙ අඩි බාගයක්වත් දිග නැති පුංචි කලිසම් කොටයක් විතරයි. අඩියක් තියල අඩියක් ගද්දි මගේ මුළු කකුළක් එහෙම්පිටින්ම කුඹුරෙ මඩේ එරුණා. අඩියක්වත් ඉස්සරහට තියන්න පුළුවන්කමක් මට තිබුණෙ නෑ. මම මහ හයියෙන් කැ ගැහුවා එරිල මාව මඩේ වැහිල යයි කියලා. අක්ක ඈත ඉඳන් දෙකට නැමිල හිනා වෙවි හිටියා. නිපුණත් ගොඩක් දුර ගිහින්. එයා ආයෙම හැරිල මා ගාවට ආවා. ඒ වෙද්දි දණිස්සෙනුත් අඩියක් විතර උඩට මාව එරිලයි හිටියෙ. නිපුණ මාව ඇදල උඩට ගත්තා හිනා වෙවිම. කලිසම් කොටෙන් වැහුණෙ නැති මගේ කෝටු කකුල් දුඹුරු පාට සෙවල ගතියෙන් සම්පුර්ණයෙන්ම පාට වෙලා. නිපුණ මට කියල දුන්නා කපපු ගොයම් ගස් පහළට කරල කකුලෙන් පාගලා ඒ උඩින් එරෙන් නැති වෙන්න අවිය තිනය විදිහ. ටික දුරක් යනකන් එයා මගේ අත අල්ලගෙන මට ඇවිදින්න පුරුදු කළා. කමතට වෙලා ඉඳන් ඉන්න එක අපිට එපා වුණු නිසා ආයෙමත් ගේ පැත්තෙ අයිනෙන් යන ඇළ පාරට ආවෙ එතන හෙවණ නිසායි. අනික විශේෂම කාරණේ ඇලේ හිටපු අළු පාට පුංචි මාළු. අපි ගෙදරින් ජෑම් බෝතල් ගෙනැල්ලා මාළු ඇල්ලුවා. මම මුල් වතාවට ඉස්ගෙඩින්ව දැක්කෙත් එදායි. පුංචි පෙන්දක් එක්ක එහෙ මෙහෙ යන කළු පාට බෝල ගෙඩි වගේ උන් කවද හරි ගෙම්බො වෙනවයි කියන එකනම් මම එදා මුලින්ම විශ්වාස කළේ නෑ. ඒත් උඩටත් නැති පල්ලටත් නැති නැට්ටකුයි ‍ගෙඹි කකුල් දෙකකුයි දැක්කම මට කැගැස්සුණා. මඩ වලට මූර්ති වෙලා තිබුණු අපේ කකුල් අපි ඒ ඇලෙන්ම හෝද ගත්තා.

කොහොම වුණත් මට එපාම වුණේ අම්ම මාව එක්ක යන්න ආපු දවසෙයි. ආයෙමත් වතාවක් කාලය කැරකිලා, නිවාඩුවට අපි මෙහෙ ආපු දා උදා වෙනවනම් දාහෙන් සම්පතයි කියලා මට හිතුණා. 'නංගි යන්න, නිවාඩු කාලෙ නිසා දෝණි මෙහෙ ඉඳපුවාවෙ' ඇන්ටි එදා අම්මට කිව හැටි මට මතක් වුණා. රතුපාටට පහළට එල්ලෙන ගිරා මල් කෑගස්සවන්නත්, ටකේ හොල්ල හොල්ල කෑ ගහන්නවත්, පිඟන්කටු සල්ලි අරන් කඩේ යන්නවත්, තේ වත්ත පුරා කරක්ගහන්නවත්, ටූනා මලුයි කැලෑ කොළයි එකතු කරන්නවත්, බර වාහන යද්දි හෙල්ලෙන පහළ පාලම උඩට වෙලා ගිටාර් එකක තත් වගේ කම්පනය වෙන්නවත් ආයෙ අවස්ථාවක් නැ කියල මතක් වෙද්දි ඇත්තමයි ආයෙමත් කාලය කැරකිලා සති තුනකට කලින් දවස වැටුණනම් හොඳයි කියල අනන්තවත් හිතුණා.

ඔක්කොටම වැඩිය දුක හිතුණු දේ තමයි එදා යනවයි කියල කියල එන්න නිපුණ ගෙදර නොහිටිය එක. එයාටත් එදාම යන්න ඔන වුණා එයාගෙ අම්මව බලල එන්න. සමහර විට එයා හිතන්න නැතිවත් ඇති මම එදා ගෙදර යයි කියලා.


Comments
6 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

6 comments:

  1. ෂෝයි කතාව...උස...........................අයට නම් මාත් ආසයි අප්ප :)

    ReplyDelete
  2. මේ ආත්ම කථනය නිර්වින්දය වූ සමාජයකට කියවන්න හොද වින්දනීය එන්නතක්

    ReplyDelete
  3. වෙනස් ලිවීමේ රටාවක්.. අගෙයි ගොඩක්..! :)

    ReplyDelete

 
There was an error in this gadget