දවස් තුනක් තිස්සෙ එක දිගටම අහස පොළවට කඩා වැටිල යන්තම් නතර වුණා විතරයි. කැරකෝප්පුවේ අතරින්පතර හිටගෙන ඉන්න කෙනෙක්දෙන්නෙක් ඉහළගත්තු කුඩයක කවාකාර නැම්ම දිගේ රූටගෙන එන වතුර බිංදු නන අගින් බේරිලා මඩ වුණු පොළවට වැටෙනවා. අඳුරු කොළ පාට අතු වැහි වතුරෙන් බර කරගත්ත ෆයිනස් ගස් ගොන්න පරද්දගෙන අහසට නැගුණු ආදාහනාගාරෙ උස කුළුනෙන් පිටවෙන අළු පාට දුම් වළළු ඕනෑවට එපාවට වගේ අහසෙ එහෙ මෙහෙ ගිහින් මැකිලා යනවා.
“නිමන්තිට හොඳයි, නංගියෙක්වත් හිටපු නිසා. නැත්තං ආතක්පාතක් නැතිවනෙ මැරිල යන්න වෙන්නෙ දෙයියනේ.”
“ඔව් ඔව්. පාරවල් ගැන විස්වාසෙකුත් නෑ මේ දවස්වල හැටියට. මඩ නිසා වාහනේ ගන්න අමාරුයි. එද්දිත් දැක්කෙ නැතෑ...”
“ඉන්ඩකො එහෙනම්, මම ගිහින් කට්ටියට කියල එන්නම් බස් එකට යන්ඩ කියලා.”
එක්කෙනා දෙන්න කනත්තෙ අශ්වලාඩමක් වගේ තියන ලොකු වංගුව පහු කරගෙන පාරට ආවා. ආදාහනාගාරෙ ලඟ රජකරපු නිශ්ශබ්දතාවයත් මුනුමුනුවත් වෙනුවට කනත්තෙ ලොකු කළුපාට ගේට්ටුව පහුකරපු කාගෙත් කටවල්වලට අලුත් පණක් ඇවිත්. එහෙම ආපු කෙනෙක් පාරට පය තිබ්බ ගමන් ලොකු හුස්මකුත් ගත්තෙ බලෙන්ම මළවුන් අතරට ඇදගෙන ගිහින් ආයෙත් පියවි ලෝකෙට ගෙනත් අතහැරියම ලැබෙන සතුට සමරන්න වගේ. පාර දෙපැත්ත බැලුවා හෝ නොබැලුවායින් පාර පැනගත්ත අය බස් රථයට ගොඩවුනේ ගමට යනකන් ඉඳගෙන යන්න තැනක් අල්ලගන්න හදිස්සියෙන්.
නිමන්ති..., පායගෙන එන මහ වරුසාවක වගක් නොදැන මේ දැන් ආදාහනාගාරෙ ඇතුළෙ උණුසුම්වෙන, නැත්නම් ගිනි රස්නෙට කර වෙන නිමන්ති...
පුංචි කාලෙ, එතකොට නිමන්තිට අවුරුදු තුනක් විතර ඇති. අම්ම සාලෙ පුටුවකට වෙලා කුල්ලත් තියාගෙන පෙනෙල වැල් එකින් එක අරගෙන කොළ කඩනවා. නිමන්ති පෙනෙල ගෙඩි පුංචි ඇඟිලි තුඩු අතරට තියලා මිරිකද්දි ඒව කැඩෙන සතුටට හයියෙන් කෑ ගහනවා. අම්මත් නිමන්තිගෙ සතුටු කෑගැහිල්ලට එකතු වෙලා ‘ආ මැණික තව පෙනෙල ගෙඩියක්’ කියල කීවත්, ටකරන් වහලෙට මහ හඬින් වැටෙන වැස්ස නිසා නිමන්තිට අම්ම කියන දේ ඇහෙන්නෙ නෑ. අම්ම අත දික්කරන නිසයි නිමන්ති වටහගන්නෙ, එයාට තව වතාවක් හයියෙන් හිනාවෙන්න පුළුවන් වෙන්න අම්ම තව පුපුරන ගෙඩියක් එයාට දෙන බව. නිමන්තිට ඕන හයියෙන් කතා කරන්න, වහළ දෙදරවන වැස්සෙ මහ ගෝසාව පරද්දලා අම්මට ඇහෙන්න හයියෙන් කෑ ගහන්න. මොනවද කියල එයාවත් හරියට නොදන්න වචන ගොඩක් එකතු කරල කිය කියා නිමන්ති එදා ගොඩක් සතුටු වුණා.
තදින්ම වහින දවසට නිමන්තිගෙ ගෙඅර මිදුලෙ වතුර පිරෙනවා. ඒ, ගෙදර තිබුණෙ තුන් පැත්තකින්ම ඇල්ලෙන් වටවුණු වළක් වගේ තැනක නිසා. තුන් පැත්තකින් ගලාගෙන එන වතුර පාර මිදුලෙ පිල මට්ටමටම වගේ පිරෙනවා. පුංචි නිමන්ති හරි ආසයි ඒ වෙලාවට බෝට්ටු හදල වතුරෙ යවන්න. උඩහ වතු දිගේ පාරට කඩාගෙන එන වතුර පාර කෙලින්ම බෑවුම දිගේ එන්නෙ නිමන්තිලාගෙ මිදුලට. ඒ වෙලාවට නිමන්ති අම්ම එක්ක එකතු වෙලා පරණ පොත්වල පිටු නවල පුංචි බෝට්ටු හදනව. ඉස්සරහ දොර ගාවින් මඩ වතුරට එකතුවෙන බෝට්ටු වතුර පාරෙ කැරකි කැරකි යනවා. එහෙම නැත්නම්, පීලි නොදාපු වහළෙන් වැටෙන වතුර බෝට්ටු ඇතුළෙ පිරුණොත් පෙරළිලා යනවා. ඒත් ටික කාලෙකින් අම්ම නංගියෙක් ගෙනාවට පස්සෙ නිමන්ති තනියම බෝට්ටු හැදුවා. ඒ වෙද්දි තනියම ඒව හදන්න පුළුවන් තරම් බෝට්ටු හදන්න පුරුදු වෙලයි හිටියෙ. තාත්ත නගරසභාවට ලියලා, කියලා කොහොමහරි වත්ත උඩින් බෝක්කුවක් දාගත්තට පස්සෙ කොයි තරම් වැස්සත්, නිමන්ති කොයි තරම් බලාගෙන හිටියත් කවදාවත්ම එදායින් පස්සෙ මිදුල වතුරෙන්නම් පිරුණෙ නෑ.
දන්න දවසේ ඉඳලම නිමන්ති වැස්සට ආසයි. කොයි තරම් තදින් වැස්සත් ඕනම වැස්සක එළියට බැහැල යන්න කවදාවත් එයා කම්මැලි වුණේ නෑ. මේ වෙද්දි නිමන්ති ඉස්කෝලෙ නවයෙ පංතියේ. එදත් තදින් වැස්ස දවසක්. කුඩේ තිබුණත් හුළං වැස්සට තෙමෙන එක වලක්වන්න කුඩේට බැරිවුණා. නිමන්තිලාගෙ ඉස්කෝලෙට යන්න තවත් පිරිමි ළමයින්ගෙ ඉස්කෝලයක් පහු කරන්න ඕන. ඉස්කෝලෙ පටන්ගන්න වෙලාව නිසා පාර දිගටම පිරිමි ළමයි. කුඩයක් ඉහලන් හිටියත් කුඩයක් නැතිව ගිය ගානටම තෙමුණු නිමන්තිගෙ සුදු ගවුම ඇඟටම ඇලිලා. පුංචියට මතු වෙලා එන පපුව වහගන්න පුළුවන් විදිහක් ගැන හිතලා පොත්මල්ල එල්ලගෙන හිටපු එක උරහිසක් නිදහස් කරල පොත්මල්ල ඉස්සරහට අරන් පපුව වහගත්තා. එහෙම කරලා එක අතකින් පොත් මල්ල පපුවට තුරුල් කරන්, අනික් අතින් මූන වැහෙනකන් පහත් කරගත්ත කුඩේ අල්ලගෙන ඉස්කෝලෙට යනකන් දිව්වා. ගේට්ටුවෙන් ඇතුල වුණාට පස්සෙ එයාට කිසිම ආගන්තුක හැඟීමක් ආවෙ නෑ. හේතුව එයා එළියෙ අමුතු ලෝකෙන් මිදිල එයා වගේම ගෑණු ළමයි ගොඩක් අතරටයි ආවෙ. පිරිමි ළමයින්ගෙ ඉස්කෝලෙ පාරෙ එද්දි ඇහෙන විහිළු කතා, හැමදාම ඒ පාරෙ යද්දි එද්දි ඇහෙන නිමන්තිට පටබැඳපු නම්, මේ ගේට්ටුවෙන් ඇතුල් වුණාට පස්සෙ ඇහුණෙ නැති නිසා නිමන්තිට දැනුණෙ ලොකු ආරක්ෂාකාරී හැඟීමක්. එදා නිමන්ති හිටියෙ වැවක බස්සලා පොඟවලා ගත්තා වගේ. පංතියේ එයා ඉඳගෙන හිටපු පුටුව දිගේ බේරිලා තිබුණෙ මහ වැස්ස නිමන්තිගෙ ඇඟේ ඉතිරි කරල ගිය වතුර. ඉන ගාවට එනකන් ගොතල අගිස්ස නවල සුදු රිබන් පටියෙන් බෝ එක ගැටගහල තිබුණු කොණ්ඩ කරල් දෙක මිරිකලා වතුර එකතුකරගන්න පුළුවන් තරම් වැස්සකටයි නිමන්ති අහුවෙලා තිබුණෙ. ලස්සනට පිළිවෙළට සුදු ගවුම් ඇඳල කාර් එකකින් හරි වෑන් එකකින් හරි ඇවිත් ඉස්කෝලෙ ගේට්ටුව ගාවින්ම බැහැල පංතියට ආපු අනිත් කෙල්ලො, කිකිළියක් වගේ තෙමිල හිටපු නිමන්තිට හිනා වුණාට නිමන්ති ඒක ගණන් ගත්තෙ නෑ. සපත්තු ඇතුළෙ වතුර පිරිල ගොජ ගොජ ගාපු නිසා නිමන්ති සපත්තු ගැලෙව්වා. ඊළඟට වෙන වෙනම හෙමිහිට මේස් දෙකත් ගැලෙව්වා. මහපටඟිල්ල ගාවින් ලොකු හිලක් හදාගෙන එළියට පැනපු ඇඟිල්ල පේන මේස් දෙක දාගෙන ඉන්නවට වඩා ඒකත් ගලවලාම ඉන්න එක හොඳ බව එයාට ඒ වෙද්දිත් දැනිලයි තිබුණෙ. නඩුකාර පැටව්, දොස්තර පැටව්, ඉන්ජිනේරු පැටව්, විනිසුරු පැටව්... මෙකී නොකී පැටව් ඔනවට වඩා හිනස්සවන විහිළුකාරියක් වෙන්න කොහොමටවත් නිමන්තිට ඔනකමක් තිබුණෙ නෑ. කොහොම වුණත් මේක එයාගෙ ජීවිතේ එයාට අමතක නොවුණු දවස්වලින් එක දවසක්.
තවත් දවසක්.... ඒකත් වැහි බීරම තිබුණු දවසක්. ඒ, නිමන්ති එයාගෙ මුල්ම පෙම්වතා, නිමන්තිත් කුළුඳුලේම පෙම්වතී වෙලා හිටපු කාලෙ මුණගැසුණු සම්පූර්ණ දවස් විසි හතරෙන්ම මතක තියන ලස්සනම දවසක්. එයාගෙ විදිහට කියනවනම් එයා එයාගෙ මුල්ම පෙම්වතාගෙ ඇඟ විනිවිදගෙන ගිහින් ‘ඇය ඔහුම’ වුණු දවසක්.
ඉස්කෝලෙ ඇරිලා ළමයි විසිරිලා යනකන් නිමන්ති කල් බලබලා ඉඳලයි කලින් කතා වෙලා හිටපු තැනට ගියේ. ඒ දෙන්න මුනගැහුණෙ ගැහැණු පාසලත් පිරිමි පාසලත් අතර පාරෙ තිබුණු තුන්මංහංදියක් ගාවදි. ටිකින් ටික පටන්ගත්ත වැස්ස එන්න එන්නම තද වුණා. එයා... ඒ කීවෙ නිමන්තිගෙ මුල්ම පෙම්වතා, ගිහාන්.. තමත් අල්ලාගෙන හිටපු නිමන්තිගෙ අතින් තමන්ගෙ අත මුදවලා දෑතින්ම නිමන්තිව තුරුල් කරගත්තා. වැස්සත් එක්ක දැනෙන සීතලට වඩා මුළු ඇඟම අමුතු හිරියකින් ගැස්සෙද්දි නිමන්ති ගිහාන්ගෙ අත් අතරෙ හැංගුණා. ඒ තුංමංහන්දියේ දිසාපති නිළ නිවසට හැරෙන තැත. මොහොතින් මොහොත තද වෙන වැස්සත් එක්කම ගිහාන්ගෙ ග්‍රහණයත් තද වුණා. අලුතින් වැටෙන හැම වතුර බිංදුවක් බිංදුවක් ගානෙම හිරිගඩු පිපුණ නිමන්තිගෙ අතපය උණු කරගෙන, නැවුම් කිතියක් එක්කම ගිහාන්ගෙ උණුසුම නිමන්තිගෙ නහර වැල් දිගේ ඇදුණා. තව තවත් ඒ උණුහුමට නිමන්ති ඇදිල යද්දි කිටි කිටියෙ ගිහාන්ට තදවුණු, දැන් ඉස්සරට වඩා සුදු ගවුමෙන් උඩට මතුවෙලා තියෙන නිමන්තිගෙ පපුවට, ගිහාන්ගෙ පපුව වේගෙන් ගැහෙන ගැස්ම දනුණා. ගිහාන්ගෙ ඒ ඩග් ඩග් සද්දේ හැමදාම නිමන්තිගෙ පපුව ඇතුළෙ තියාගෙන ඉන්න මුල්ම වතාවට නිමන්තිට ලෝබ කමක් ඇතිවුණේ එදායි. අඩුගානෙ එදා ගෙදරට යනකන්වන් ගිහාන්ගෙ උණුහුම ඒ පපුව ඇතුලෙ තියාගන්න ඕන නිසා නිමන්ති දෑතම එක්කරල පපුව ගාවට තියල තද කරගෙනයි ගියේ. ගිහාන් ගාවදි ඉහළුනේ නැති කුඩෙත් ගෙදර යද්දි ඉහළගත්තෙ තවත් ආරක්ෂාවට. සීතලෙන් ගිහාන්ගෙ උණුහුම ආරක්ෂා කරගන්න. ඒත් නිමන්ති ඒ කාලෙ වෙද්දි හිටපු එකොළහේ පංතියෙන් දොළහට මාරු වෙද්දි ඒ සිතිවිල්ල එකොළහේ පංතියේම දාල යන්න සිද්ද වුණේ, ඒ වෙනකොටත් කාටත් නොකියම ගිහාන් අතුරුදහන් වෙලා තිබුණු නිසා.
ඒ කොහේද, කින්ද, මන්ද නොදන්න ආරංචියත් එක්කම නිමන්ති කාටත් නොදැනිම හුදෙකලා වෙන්න ගත්තා. මහ හයියෙන් රෑට ටකරං වහළට වැස්ස වැටෙද්දි ඒ වැහිකෝඩෙට මුවා වෙළා නිමන්ති හයියෙන් අඬන හඬ, කඳුළුවලින් පෙඟුණු කොට්ටෙ ඇතුළෙ අතුරුදහන් වුණා. ගිහාන් ඇයි ගියේ කියල නිමන්ති නොදන්නව වගේම උදේට උදේට නිමන්තිගෙ ඇස් රතු වෙන්නෙ ඇයි කියලත් කිසිකෙනෙක් දැනගත්තෙ නෑ. ඉන් පස්සෙ හැම වැහි දවසකම උදයක් දවාලක් රැයක් නැතිව කාමරේ ඇඳේ හුදෙකලා වෙන්න පටන් ගත්ත නිමන්ති ආයෙමත් ඒ වැහි දවසෙ එකම වතාවක් විතරක් ලබපු උණුහුම හොයාගෙන කොට්ටෙට තුරුල් වෙන්න පුරුදු වුණා.
මහ පාරෙදි, කැම්පස් එකේදි වැස්සෙ තුරුලුවෙලා කුඩයක් යටින් යන ආදරවන්තයො දකිද්දි නිමන්තිගෙ හිත කෑගැහුවා. හිතට දිවක් තිබුණනම් නිමන්තිගෙ ඒ සිතිවිලි වචනයට නගාවි,
‘තොපි දන්නවද යක්කුනේ..., ඔය හැම දෙයක්ම බොරු මනස්ගාත විතරයි. ඉන්නකන් සුරංගනා ලෝකෙ හිටපල්ලා. ආසාව ඉවරවුණාම තොපිත් මිරිකලා දාපු පොල්කුඩු. එතකන් සුරංගනා ලෝකෙ හිටපියව්’
ඒ වගේ කාලෙක නිමන්තිගෙ දෙවෙනි පෙම්වතා එයාගෙ ලෝකෙට ආවා. අනාගතේ මවන්න හිතාගෙන ඉන්න දිව්‍ය විමානෙක අරුමෙ කියාගෙනනම් නෙවෙයි, තත්පරයක් තත්පරයක් ගානෙ දුක් මහන්සිවෙලා හම්බකරගෙන මහන්සියෙන් ගොඩනගාගන්න ඕන ලෝකෙකට පාර පෙන්නගෙනයි එයා ආවෙ. ගිහාන්ගෙ සිතූ පැතූ සම්පත් දෙන කප්රුකට වඩා, කැනල කැනල මතුකරගෙන, වතුර ඇදගෙන බොන්න තියන නිර්මාල්ගෙ ළිඳ හොඳයි කියල ඒ වෙද්දිත් නිමන්තිට හිතිල තිබුණු නිසා නිර්මාල් නිමන්තිගෙ නීත්‍යානුකූල දෙවෙනි පෙම්වතා වුණා. කළුම කළුපාට අහස හඬා වැටෙන වැහි දවසක රෑ, ඒ වැහි කඳුළු වලට හේදිලා වැටුණු රොබරෝසියා මල් අල්ලන්න සරච්චන්ද්‍ර වලේ උඩ පැනපැන හිටපු නිමන්ති නිර්මාල්ගෙ හුස්මෙ උණුහුම හඳුනගත්තා. අමතක වීගෙන ගිය අතීතයක, කොට්ටයක් තුරුල් කරගෙන හොයාගන්න දඟලපු, ඒත් අතරමග හැලිල ගිය ආගන්තුක නොවුණු උණුහුමක්, ආගන්තුක ශරීරෙකින් විඳගන්න මුලින්ම ඉස්සර වුණේ නිමන්තියි. ඒ උණුහුම කඩා හැලෙන වැස්සෙන් සේදිලා ගියත් ගිහාන්ගෙ උණුහුම වගේ පපුව ඇතුලෙ රඳවගන්නනම් නිමන්තිට මේ වෙද්දි වැඩි ඕනකමක් තිබුණෙ නෑ. ඒකට හේතු ගොඩක් තිබුණා.
නිර්මාල් අරන්දුන්නු පුළුං පුරෝපු ලොකු වලහ තුරුල් කරගෙන පැය විසිහතරම වුණත් කතා කරන්න පුළුවන් ෆෝන් එකත් ළඟට ගත්තම නිමන්තිට අමුතු උණුහුමක් අරන් තියාගෙන පරිස්සම් කරගෙන ඉන්න ඕනකමක් තිබුණෙ නෑ. ඒත් විශ්වවිද්‍යාලෙ ඒ අවුරුදු හතර ඉවර වුණාම නිමන්තිගෙ කේන්දරෙන් නිර්මාල්ට අපල ගෙනාවා. වැන්දඹු වෙනවට නිර්මාල් හිත යටින් බය වුණු නිසාත්, ගෙදරට විරුද්ධ වෙලා නිමන්තිව ගෙදර ගෙනියන්න නිර්මාල්ට හයියක් නොතිබුණු නිසාත්, නිමන්ති තව කෙතෙක් අතින් අත් හැරුණු මුල්ම හා එකම වතාව මෙය නොවෙන නිසාත් නිමන්ති නිර්මාල්ට යන්න දුන්නා.
රස්සාවක් නැතිව ගෙදරට වෙලා හිටපු කාලෙ දිගටම වගේ අම්මයි නිමන්තියි අතර රණ්ඩු ඇති වුණා. ඒවට ගොඩක්ම මුල් වුණේ නිමන්තිගෙම හැසිරීම. තමන්ගෙ වැරදි අඩුපාඩු හදාගත යුතුයි කියල නිමන්ති මොහොතකටවත් හිතුවෙ නෑ. විවාහ වෙන්න නිමන්තිට තිබුණු නොවුවමනාව ඒ ගැටුම් වැඩි කළා.
“තොට මේ ගෙදරින් ආයෙ කෑම නෑ. මේකි මගේ කරුමෙට උපන් එකියක්”
කියල අම්ම කියපු තුන්වෙනි දවසෙ මහ රෑ වැස්සවත් බලන් නැතිව නිමන්ති ගෙදරින් පිටවුණා. රත්තරන් කරාබු කුට්ටන් දෙකකුත්, රුපියල් තුන්සීයක් තිබුණු බැංකු පොතකුත්, ඉතුරු කරගෙන තිබුණු සීයෙ කොළේකුත්, සහතික මිටියකුත් ඇඳුම් මල්ලකුත් අරන් පිටවෙද්දි වෙලාව හවස හත වුණා විතරයි.
“ගියාවෙ ඕකි. උද්දච්චකම ගිහින් පස්ස බිම ඇනුණු දාක තේරේවි මේ අම්මගෙ වටිනාකම”
ගෙදරින් පලයන් කියලත්, පස්සෙ නිමන්ති යන ගමන වලක්වන්න හදලත් බැරිවුණු තැන අම්ම කීවා. එදා නිමන්ති යක්ස වේසෙන් අම්මගෙ ඇඟට කඩා පැනල තිබුණු දවසක්. නංගි ඇඬුවා. අම්ම නෑඬුවා නෙවෙයි. ඇඬුවා. ඒ උපන්දා ඉඳල ලොකු කෙල්ල නිසා තමන් විඳවපු දුක් කන්දරාවයි අවමානයි නිමන්තිගෙ නොදැමුණුකමයි වෙනුවෙන් අඬපු ඇඬිල්ලක්. නංගිගෙ සැමියා කීවෙ ‘මේ හදිස්සියේ නොගිහින් දවාලක යන එක නේද හොඳ..’ කියලයි. කොහොම වුණත් අම්මගෙ ඒ වටිනාකම නිමන්තිට තේරුණා. ඒ හැමදාමත්... හැමදාමත්... හැමදාමත්... අම්ම ගැන හිත හිත අඬපු, ජීවිතේ වේදනාව හිත ඇතුලෙම හිරකරගෙන විඳවපු, ජීවත්වුණු මුළු කාලයෙන් තුනෙන් දෙකකට අඩු වෙච්ච ඉතුරු මුළු ජීවිත කාලෙම. හරියටම කියනවනම් ගෙදරින් ගිහින් පැයක් වුණු මොහොතෙ ඉඳලම.
එදා ඒ රෑ වැස්සට ගෙනියන්න ගත්ත මලු තෙමෙද්දි නිමන්ති ඇවිදගෙන ගියා පයින්ම. යන්න තවත්වලා තිබුණු වැඩිම දුරක් යන බස් එකට නැංගා. පාර පුරා ගලාගෙන යන වතුර පාර දකිද්දි නිමන්තිට මතක් වුණා පුංචි කාලෙ අම්ම හදල දුන්නු බෝට්ටු. නිමන්ති ඒ එක බෝට්ටුවක් පැදගෙන ආවා. පාර දිගේ ගහගෙන ආව බෝට්ටුව පාරෙ කැඩුණු මුල්ලකින් මහ කාණුවට වැටුණා. ඇතුලෙ හිටපු නිමන්ති කැරකිලා ගියා එතන තිබුණු සුළියට අහුවෙලා. බස් එක දහදොළොස් වතානක් ගැස්සිලා ගස්සලා පාරට දැම්මා.
නිමන්තිගෙ දෙවෙනි රස්සාව, ඒ කියන්නෙ එයාට ස්ථිර විදිහටම විශ්‍රාම යනකන් කරපු රස්සාව ලැබුණෙ වගකිවයුතු පුද්ගල වේශයකුත් එක්ක. ඒ විදිහට නිමන්ති ගුරුවරියක් වුණා. අවුරුදු තිස්පහේදි නිමන්ති අනුරාධපුරේ. නිමන්තිගෙ නවාතැන වුණේ කොහොඹගස්හන්දිය ලඟ ගෙදරක්. ඒ ජීවිතේ තීරණාත්මක වෙනස්වීමකට මුලපිරූ කාලයක්.
හැමදාමත් පහුකරගෙන යන ජේතවනේ චෛත්‍ය ලඟ පොකුණ ගාව හිටපු ගිහාන්ව නිමන්ති දැක්කෙ අහම්බෙන්ද දෛවෝපගතවද කියන්න නිමන්ති දැනන් හිටියෙ නෑ. ලැබුණු අවස්ථාව අත්හරින්නවත් අතයටින් ලිස්සලා හරින්නවත් නිමන්තිට වුවමනාවක්, කැමැත්තක්, පෙළඹීමක් තිබුණෙ නෑ. අවුරුදු දහනවයක අතීතයක ලස්සන දවසක් නිමන්තිට මතක් වුණා. මහ වැස්සට අහුවෙලා දියවුණු ගිහාන්ගෙ ශරීරෙ අංශුවක් අංශුවක් ගානෙ නිමන්ති තුළට ඇදිලගිය දවස. ඊට පස්සෙ අවුරුදු හතරක් යනතුරුත් කොට්ටයක් ඇතුලෙන් ගිහාන්ගෙ උණුසුම හොයන්න දඟලපු හැටි, ඒ නොලැබෙද්දි කොට්ටෙට මූණ ඔබාගෙන අඬලා අඬලම තෙත්වුණු කොට්ටෙන්, උණුසුමෙන් තොරවෙච්ච ගිහාන් කෙනෙකුගෙ සීතලකට මුවාවෙලා නිදි නැතිව එළි කරපු රැයවල් ගණන...
“හැමදාමත් මම ඔයාව හෙව්වා”
නිමන්ති ගිහාන් ලඟට ගිහින් කීවෙ නොදැක හිටි මුළු වසර ගානම හොඳ හිතවත්කමකින් හිටිය වගේ. දුරස් බවකින් තොරව ගිහාන්ව ලං කර ගන්න ඒ හිනාවට, වචන වලට, හැසිරීමට පුළුවන්කම ලැබුණා. ඒත් එක්කම ගිහාන්ගෙ ඇස් ගියේ නිමන්තිගෙ වම් අත දිහාවට බව ගිහාන්ගෙ මූණෙන් ඇස් ඉවතට නොගත්ත නිමන්ති දැක්කා.
“ඔයාව හොයන්න මම පහුගියකාලෙ නොගත්ත උත්සහයක් නෑ. ඉස්සර ඔයා හිටියයි කියපු ගෙවල් දිහාවටත් ගිහින් බැලුවා. හරියටම මම තැන දැනන් හිටියෙ නෑ. දවසකට හරි දකින්නයි මට ඔන වුනේ”
කුළියට ගත්ත හෝටල් කාමරේ එක බිත්තියක දැල්වෙන රතු එළියෙන් මුවා වෙන්න අතක් ඇස් මතට ගන්න ගමන් නිමන්ති කීවත් ගිහාන් ඉදිරියේ තමන්ගෙ යටගියාවෙ පාපෝච්චාරනයක් කිරීමේ උවමනාවක් නිමන්තිට තිබුණෙ නෑ. උඩුඅතට වැතිරිලා හිටිය නිමන්තිට උඩින් එකම රවුමෙ විදුලිපංකාව කැරකුණා. රතු ලයිට් එළිය උරාගෙන තඹ පාටකට හැරුණු නිමන්තිව ගිහාන්ගෙ ඇඟේ අඳුරු හෙවනැල්ලෙන් ගිලෙද්දි නිමන්ති තමන්ගෙන්ම ඇහුවා ‘ඇත්තටම මම ගිහාන්ට ආදරෙයිද’ කියලා. ජනේලෙට එපිටින් හැබෑ ලෝකෙ බක් මහේ අසනි වරුසාව පොළවත් කඩාගෙන පල්ලම් බහින්න තරම් වේගෙන් දුවන හඬ රතු එළිය පුරෝගත්තු කාමරේටත් නෑහුණා නෙවෙයි. ඒත් ඒ හඬේ ගිලිලා කිමිදිලා පාවෙද්දි නිමන්ති හිතුව දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් කැණල කැණල පාදගෙනත් වතුර ඇදගෙන බොන්න වෙන නිර්මාල්ගෙ නොපෑදුණු ළිඳට වඩා හිටිහැටියෙ පාත් වෙලා සිතූපැතූ සම්පත් දෙන ගිහාන්ගෙ කප්රුක හොඳයි කියලා.
පිටින් තියන ලෝකෙ ආරංචි අරන් උදේ ජනෙල් පියන් අතරින් එන එළිය තීරු ඇකිළුණු ඇඳ රෙද්දෙ අතින් අල්ලගන්න බැරි රටා මවද්දිත් ගිහාන් ඇඳපැළඳගෙනයි හිටියෙ.
“එදා... අර මුලින්ම පාර මැද්දෙ වැස්සෙ තෙමිතෙමී අපි හිටපු දා.... ඒ දවසට මම ගොඩක් ආදරෙයි... ගිහාන්...”
නිමන්ති කීවෙ ගිහාන් සපත්තු දාන්න නිමන්ති නිදාගෙන හිටපු තැනින් ඇඳේ ඉඳගනිද්දියි.
“නැගිටලා ලෑස්තිවෙන්න”
සපත්තු දාගෙන නැගිටිද්දි කකුලක් බිමට තද කරල බලන ගමන් ගිහාන් කීවා.
ගමෙන් කැරකෝප්පුවට ගිය බස්එක ගමට ආයෙම එද්දි යාන්තමට කළුවර වැටිලා. වැහි මන්දාරම අහසෙ තිබුණත් ආයෙ වහින බවක් පේන්න තිබුණෙ නෑ. අලවපු දා ඉඳලම වැටුණු වැහි වතුරට පෙඟුණත් ඒ වෙද්දිත් ලයිට් කණුවක ‘සී. නිමන්ති කරුණාරත්න උපාසිකා මාතාවට නිවන් සැප ලැබේවා !’ කියන සුදු කොළේ ඇලවිලා තිබුණා. මැරෙන්න මොහොතකට කලින් ජනේලෙට පිටින් හඬා වැටුණු මහ වැස්ස දිහා බලාගෙන නිමන්ති අන්තිමට ඉඳගෙන හිටපු පුටුවත්, කෝපි මණ්ඩි තිබුණු කෝප්පෙත්, පොත් මේසෙත් අයින් වෙලා, ඒ වෙද්දිත් නිමන්ති අන්තිම කාලෙ හිටපු නංගිලාගෙ ගෙදර කාමරේට කවුරු හෝ නව පෙණුමක් දීලයි තිබුණෙ.
“නිමන්තිට හොඳයි, නංගියෙක්වත් හිටපු නිසා. නැත්තං ආතක්පාතක් නැතිවනෙ මැරිල යන්න වෙන්නෙ දෙයියනේ.”
ReplyDeletenimanthige jiwitha kathawa me wachana tikata ringawalaa;lassanata hithe mewena widihata liyalaa,
obata jaya!
meeka aththa kathandarayak wagee! lassanai!
ReplyDeleteස්තූතියි යාලුවා
Deleteමන්දා මන් කථාවක් කියවන්න ගත්තොත් නතරවෙන්නෙ දුක හිතෙන තැනක.
ReplyDeleteඋදේ පන්දර ටිකක් අවුල් ගියා,., ම්ම් කමක් නැහැ ,. මට ඉතින් මේකේ ගුන දිස් විවේචනයන කරන්න තරන් දැනුමක් නැහැ හැබැයි ,., බොක්කටම වැදෙන එපා වෙන්නෙ නැතුව කියවන්න පුලුවන් කියලනන් දන්නවා
ReplyDeleteස්තූතියි මල්ලි
Delete