Saturday, May 4, 2013

විවරණ අංක එක * - නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය - * බහුතරයකගේ ඉල්ලීම මත ලියවෙන අර්ථ දැක්වීමක්


මං ලියූ දෙයක් ගැන මමම අර්ථ දක්වන එක වැරදියි තමයි. ඒත් කිහිප දෙනෙක්ම කිවා අර්ථය තේරුම් ගන්න අපහසු නිසා පැහැදිලි කිරීමක් අවශ්‍ය බව. මේ පුංචි සටහන ඒ ඉල්ලීම් වෙනුවෙන්. ඒත් ඇත්තෙන්ම මම අකමැති දෙයක් මම ලියපු හෝ ඇඳපු දෙයක් වෙනමම විග්‍රහ කරන්න වෙන එක. ඒකෙන් පැහැදිලි වන ප්‍රධානම දේ තමයි මගේ නිර්මාණය අසාර්ථකයි කියන එක. ඒත් නිතර මගේ බ්ලොග් එකට ගොඩවදින, මම ලියන දේවල් කියවන්න ආස මිතුරු මිතුරියන් වෙනුවෙනුයි මේ අර්ථ දැක්විම කරන්න හිතුවේ. මේ සටහන මිට දින දෙකකට උඩදි මා ලියූ නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය නම් වූ සංකල්පනාව ගැනයි.

කලින් කියවපු නැති අය ඉන්නවනම් මුලින්ම කවිය බලල එන්නකො මේක කියවන්න කලින්. මෙන්න ලින්ක් එක.

මුරුගසන් වරුසාව, එය ඔබ කවුරුත් දන්නවා ඇති. කල්පාවසානයේ වහින මේ වැස්සට හසු වුණු සියල්ල විනාශ වන බවයි සාහිත්‍යයේ සඳහන් වන්නේ. ඇය, කිරි වැදුනේවත් නැති නෑඹුල්ම වි ඇටයක්. ඒ කියන්නෙ ඇය ඉඳුල් නොවුණු මල්වර විද නැති දැරියක්. නමුත් ඇය මහා දරුණු ඉරණමකට මැදි වෙලා. මුරුගසන් වරුසාව නැමති ඔහුගේ දෑතට, නෑඹුලේම හසු වූ
ඇය ඒ වැස්සෙන්ම තෙමිල කිරි වැදෙන්නත් කලින් මිහි මව සිපගන්න වගේ බිමට නැමිලා. බොල් වුණු ඇගෙන් දැන් කිසිවෙකුට පලක් නැහැ. ඒ වගේම ගොයම් කිරි වැදුණු විටයි බිමට නැමෙන්නෙ. නමුත් ඇය බිමට නැමී සිටින්නෙ එවන් සාරවත් කරුණක් නිසා නොවෙයි. වැස්ස නැමති ඔහුගේ අපහරණයෙන් තෙත බරිත වෙලා විනාශ වුණු නිසා.

සිදු වූ ව්‍යයසනයට තනිව මුහුණ දෙන්න තරම් ඇය ලාමක වැඩියි. මන්ද ඇය මල්වර වීවත් නැහැ. නොකඩවා හැඬූ ඇගේ ඉකියෙන්ම ඇගේ හද පෑරිලා. තුවාල වුණු ඇගේ හදවත හෘද ස්පන්දනයේ රාවයෙනුත් දෙදරණවා. මද කම්පනයක් වුණත් මහා පරිමාණයෙන් දැන් ඇයට දැනෙන නිසයි එය දෙදරීමක් ලෙස ඇයට දැනෙන්නෙ. මලක් වැනිව, සුමුදුවට සිටි ඇය කඩ කඩ වි ගොස් පෙති විසිරුණු මලක් වෙලා... ඔබ දැකල ඇති පන්සල් අසල නොපිපිණු නෙළුම් කැකුළු අතින් පුබුදු කරවන පිරිස්. ඇයත් අන්න ඒ වගෙයි. හිරු එළියෙන් සුදුසු කල නිසි ලෙස නෙවෙයි ඈ පුබුදුවලා තියෙන්නෙ. ඇය හරියට පිපෙන්න කලින් පෙති ඈත් මෑත් කරල මලක් ලෙස සැකසූ නෙළුම් කැකුලක් වගෙයි. පවිත්‍රත්වයෙන් තොරව කෙළෙසුණු ඇය මල් ආසනයේ පූජාවට පාත්‍ර වෙන්නත් අපුලයි. අපිරිසිදුයි. ඇය දැන් වියපත් මල්, ඒ කියන්නෙ පර මල් එක්ක මුල්ලකට විසි වෙලා තියෙන්නෙ ඇයව තව දුරටත් සමාජය නොපිළිගන්නා නිසාවෙන්.

දැන් ඔන්න අර මහා දරුණු මුරුගසන් වරුසාව වැහැල අහවරයි. ඒ මුරුගසන් වැස්සට හසු වූ ඇය විනාස වෙලත් අහවරයි. මුරුගසන් වරුසාවේ ප්‍රචන්ඩත්වයත් අහවරයි. දැන් බලන්න... අවසාන පිනි බිඳෙන් ඒ මහා විනාශකාරී වැස්ස අපූරු දේදුන්නක් මවලා. ඇගේ දිවිය විනාශයේ පත්ලටම ඇදල දාලා ඔහු නව දිවියක් නව කෙනෙක් සමග බොහොම සතුටින් ගෙවනවා. ලස්සනට ගෙවනවා.... ඒ දේදුන්න කියන ඔහුගේ නව දිවිය අන් අයව අමන්දානන්දයට පත් කරනවා.
--------------------------------------------------------------------------------
ඒත් බලන්න අර වැස්සෙන් ගොහොරුවක් වුණ බිම. ඔහු නැමති වරුසාව ගොහොරුවක් කළ බිම අර කිරි නොවැදීම හිස බාගත් වී ඇටය, නොකලට පුබුදුවා ලූ මල් කැකුල වැටිල ඉන්නවා...........


ඔන්න ඉතිං මං තේරුම් කළා. මට ලැජ්ජයි තේරුම් කරන්න වුණු එක ගැන. ඒ කියන්නෙ මගේ නිර්මාණය අසාර්ථකයි කියන එක. මේක දාපු දවසෙ පැය දොළහකටත් වඩා යනකන් එක කමෙන්ටුවක්වත් තිබුන් නෑ... මං හිතුවා මගේ බ්ලොග් එකේ කමෙන්ට්ස් වල අවුලක්වත්ද කියලා... හි හි J මුහුණු පොතේ පල කළාට පස්සෙ ආපු ඉල්ලීම් කිපයකට අනුවත් ඉස්සර මං ලියන ඒව පැහැදිලි කරලත් දෙන්න කියල දිගින් දිගටම කරපු ඉල්ලීම් නිසාත් මම කවදාවත් නොකරන දෙයක් ඔන්න අද කළා..... දැන්වත් බලන්නකො සංකල්පනාව තේරෙනවද කියලා J


අකල්හි හෙන හඬින් වට
මුරුගසන් අසනි වැස්සට
තෙමී හේබා වී ‍බොල්ව
කිරෙන්ද ‍නොනැමි
නෑඹු‍ලේ වියැටය
අවසන් ස්වප්නය දකිනු රිසි
මිහි මවුන් සිප ගැන්මක


ඉකි‍යෙන්ම පෑරුණු
ස්පන්දන කම්පනයෙන්ද දෙදරණ
සත් ‍සො‍ළොස්කඩ කඩව
විසිරි ‍පෙති එක් කරනු නුහුණුව
නොකල්හි පුබුදු කළ ‍නෙළුම
මලසුනකටද අපුලව
වියපත් මල් අතර මුල්ලක


ඉතිං අහවරයි ඒ
මුරුගසන් වැසි ටව
අ‍ගෙයි ඉන් නැගි ‍ඉන්ද්‍රචාපය
--------------------------------
ඇගේ මිස වරුසා‍‍වෙ වරදද 
බලන් අර ‍ගො‍හොරුව
කිරි ‍නොවැදි වියැටය
නොකලට පිබිද වූ කැකුලිය




Comments
5 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

5 comments:

  1. මෙච්චර දෙයක් නම් හිතෙන්නේ නැ මට... ඒ අතින් මම හරිම දුර්වලයි... :(

    ReplyDelete
    Replies
    1. නෑ ඔයා දුර්වල නෑ... ඔයාගෙන් මම මොනතරම් දේ ඉගෙනගන්නවද

      Delete
  2. අක්කට මතක ඇති මම කිව්වා මේක ගොඩක් සැරයක් කියවන්න උණා සාර්ථක වෙන්න කියලා. මම ගත්තේ හැබැයි පොඩ්ඩක් වෙනස් තේරුමක්. මම හිතුවේ වී ඇටය බෝල් උණත් එකෙන් පැළයක් මතු වෙනවා වගේ සමාජ අසාධාරණයට ලක් වුණු කාන්තාවක් කෙතරම් නින්දා ගැරහුම් ආවත් කුසට ආපු ළමයාගේ ජීවිතය අහිමි නොකර එයාව ලොකු කරනවා. අවසනේදී ඇය දිහා බලලා සතුටු වෙනවා කියලා. මට හිතුණු එකට වඩා වෙනස් අක්කා අදහස් කරපු එක. මෙහෙම දෙයක් තියෙනවා අක්කේ අපේ හිතේ ඇතිවන අදහස වෙන කාටවත් ඒ විදියටම තේරුම් ගන්න බෑ. එයා එයාගේ පරි කල්පන ශක්තියෙන්, ලබාගෙන තියෙන සමාජ අත් දැකීම් අනුව එයාටම ආවේණික අර්තයක් තෝරා ගන්නවා. අපි නිර්මාණය කළාට අපිට එකේ අනන්‍ය වු රසවින්දනයක් නිර්මාණය කරන්න බෑ. ඒක රසවිදින කෙනාට හිමි දෙයක්. ඒකෙන් අදහස් වෙන් නෑ අක්කා කලේ අසාර්ථක දෙයක් කියලා. මොකද මේක මම එදා කිව්වා වගේ ලස්සනම ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
  3. මේකට හේතුව අපි නිර්මාණයක් කරනකොට නිර්මාණ කරුගේ හිතේ තියෙන නිර්මාණයට පසුබිම් වූ නැතිනම් වස්තු බීජය වූ සිද්ධිය අපි නොදැන සිටීමයි. නිර්මාණකරුත් ඒ තොරතුර නොදන්නා කෙනෙක්ගෙ ඇසින් නිර්මාණය දිහා නොබැලුවොත් කියවන කෙනා අමාරුවේ වැටෙනවා තමයි.

    මේක හුඟාක් ගීත වලට පොදුයි. නමුත් සමහර ගීත තියෙනවා ඒ පසුබිම් කතාව නොදැන වුනත් යම් තාක් දුරකට රසවිඳින්න හැකි විදියට stand alone කරපු නිර්මාණ. ඒවයේ පසුබිම්කතාව අපි සමහර විට දැන ගන්නේ හුඟාක් කාලෙකට පස්සෙ, සමහර විට ගීත රචකයා මලාටත් පස්සෙ. එතොකොට අර ගීතයට අමතර අර්ථයක් added meaning එක එනවා.

    ReplyDelete
  4. ඔන්න දැන් තමා 100% ක් තේරුනේ :) .. මෙතන තියෙන්නේ අක්කගේ අසාර්ථක නිර්මාණයක් නෙමේ, පාඨකයන් ට එව්වා හරියට තේරුම් ගන්න තරම් හැකියාවක් නැති කම.

    ආයේ මෙහෙම් කියල දෙන්න නොවේවා හික් හික් ;)

    ReplyDelete