Monday, July 8, 2013

පන්නම් කතුරින් දෘශ්‍යමානිත ඉපැරණි සාම්ප්‍රදායිකත්වයේ සමාජ සංස්කෘතික විවරණයක් (සාහිත්‍යාත්මක ඉතිහාසයෙන් සන්ධර්භගත අස්පර්ශනීය උරුමයේ නූතන කථනයකි)


 මිනිසා පරිසරයට අනුව හැඩගැසුණු සත්වයෙකි. මානව පරිණාමයේ මුල් යුගයේ සිට විවරණය වන සාධක පරිශීලනයේදී විද්‍යමාන වන වැදගත්ම සාධකය වන්නේ මිනිසා හා පරිසරය අතර පැවති අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය තුළින් සමාජය යන ව්‍යූහය විකසනය වූ ආකාරයයි. සැබැවින්ම එය, පරිණාමය වන තාක්ෂණයේ ක්‍රමික දියුණුව අනුව යුගයෙන් යුගය සිදු වූවා සේ ක්‍රම ක්‍රමයෙන් හැඩගසන ලද උල් ආයුධයක් වැනිව, යොදා ගනු ලබන කාර්යයට අනුව සියුම් බවින් මුවහත් බවින් මනා පෙනුමෙන් සුසංයුක්තව මනාව නිමැවුණකි. මෙහිදි පරිසරය යනු පිහිය තැනීමට යොදාගත් ශිලාමය මාධ්‍යයයි. එය සියුම් පිහි තලයක් සේ සකසන්නේ මිනිසායි. මිනිසා සතු බුද්ධි මහිමයයි. මිනිසා එම තාක්ෂණය උගත්තේ හිටි හැටියේ නොව, යුග ගණනක් පුරා සොබාදහම තුළ වෙසෙමින් පසු කළා වූ විවිධ යුගයන්හිදී සොබාදහමෙන් තමා ගත් පරිචයන් තුළින් ලද අත්දැකීම් සමුදාය තුළිනි. මුලින් රළු පරළු නෙරු නිම්න සහිතව නිමවූ ගොරහැඩි පිහි තලය පසු කාලීනව ඉතා සුමටව තියුණුව කැටයමින් අලංකෘතව නිම කිරිමට තරම් දැණුමක් අවබෝධයක් ඔහු ලබා ගත්තේ සොබාදහම තුළ සොබාදහමේ ජීවියෙකු ලෙස දිගින් දිගටම සොබාදහම හා ගැටෙමින් ගතකළ ජීවිතයේ පසුකළ කඩයිම්හි ලද අත්දැකිම් නිසාවෙන්මය. පරිසරය හා බැඳි මිනිසා අව්‍යාජය. ඔහුගේ අවශ්‍යතා ඉතා සීමිතය. ඔහු තම උවමනාවන් සපුරාගත්තේ තමා වාසය කළ පරිසරය තුළින්මය. අද මෙන් කෘතිම සාටෝපකාරී ජීවිත උදෙසා තරඟයක් නොතීබූ ඈත ඉතිහාසයේ අප මුතුන් මිත්තෝ පරිසරය හා බැඳි අපූර්ව වූ කලාකරුවෝ වූහ. එදා සිය ජීවිතයේ සියලු අවැසිතා ඔවුන් අවට පරිසරයෙන් ලබා ගත හැකි අල්පතරයෙන් ඉටු කර ගෙන ඉතා අල්පේජ්ජ වූ සරළ ජීවිත ගෙවූහ. අද වන විටමෙරට සංචාරක ක්ෂේත්‍රයට පමණක් බොහෝ විට සීමා වී ඒ කෙරෙහි පමණක් යම් ආකර්ෂනීයත්වයක් දරන්නා වූ හස්ත කර්මාන්ත පෙර කී සරළ ගැමි දිවියෙන් අද වන විට ශේෂ වූ මැකි යමින් පවතින සෙවනැල්ලකි.


පන් කර්මාන්තයට ඉතා ඈත ඉතිහාසයක් ඇත. එහි ආරම්භය මහා සම්මත රජ දවස හා බැඳි බව ජන විශ්වාසයේ වූවද එහි ඇරඹුම කිසිවෙකුත් තිර ලෙස නොදනී. මානව ඉතිහාසයඅවධානයට ගතහොත්, ගල් ගුහා, එළිමහන් වාසස්ථාන ආශ්‍රිතව වාසය කළ අතීත මානවයා දවසේ කාර්යයෙන් වෙහෙසට වන් කල දෑසේ සිරුරේ දාහය වෙහෙස නිවාලනු වස් පිහිටි වැළි පොළව මත සැතපුණේයැයි අපට කිව හැකිද? අවම වශයෙන් ඔවුන් කොළ අතු හෝ සත්ව සම් හෝ අතුරා ගන්නට ඇත. ඒවාද තමා අවට පරිසරයෙන් ඔවුන් සපයාගත් දෑය. කාලානුරූපව සිදුවූ වෙනස් දැණුමේ වෙනස්කම් මත ඔවුන් බිම අතුරන ලද කොළ අතු පිදුරු පවා අපූරු රටා කර්මයන්ගෙන් අලංකෘත වන්නට ඇතිය යන අනුමානයට අපට එළඹිය හැකිය. එය එසේනම්; පැදුරේ විකාශනයෙහි මූලාරම්භය වන්නට ඇත්තේ එය නොවේයැයි කිව හැකිද?


මෙහිදි මා සාකච්ඡා කරනුයේ ලංකාවේ පැදුරු වර්ග අතුරින් දක්නට ලැබෙන පන් කර්මාන්තය හා බැඳි අපූර්ව වූ අස්පර්ශනිය උරුමයක් තුළින් විවරණය වන්නාවූ සමාජයක තොරතුරු බිඳකි. ඒ පිළිබඳ ලියැවී ඇති ලේඛනද සීමිත පරිදි වුව තිබුණද මෙහි පහතින් විස්තර වන පද්‍ය පංතිය මවිසින් ලබා ගත්තේ දැනට පන් කර්මාන්තයේ නියැලෙන ආර් පුංචිමැණිකේ මහත්මියගේ මතක ආවර්ජනයකිනි.  ලංකාවේ මේ දක්වාද උක්ත කර්මාන්තය යම් යම් ප්‍රෙද්ශාශ්‍රිතව පැවතියද ඒ හා බැඳි කාව්‍ය සාහිත්‍යය පැරණි ජන සමාජය සමගින්ම වියැකී ගොස් තිබෙනු නොරහසකි. සාම්ප්‍රදායිකව ශිල්පය උරුම වූ පාරම්පරික පන් ශිල්පීන් සිටිනවානම් ඒ අතලොස්සකි. පන් කර්මාන්තය හා බැඳි පවුල් සිටියද මේ දක්වාත් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන එන්නෝ වේ නම් ඒ ඊටත් වඩා සීමිත පිරිසක් බව කනගාටුවට කරුණක් වුව වෙනස් වන සමාජ රටාව හමුවේ හැල්මේ දුවන සමාජයට එක් විමට එකී පරම්පරාවේ නූතන පුරුක් වෙන ඇති යොමුව නැවතීම කළ හැකි දෙයක් නොවේ.


පැල් කවි, නෙළුම් කවි, කරත්ත කවි, පාරු කවි.... මේ ඈ බහුවිධ අර්ථ ක්‍රමයන් හා බැඳි අප උරුමයේ මුළුගැන්වී ගිය පන් කර්මාන්තය හා බැඳි කාව්‍ය සාහිත්‍යයක් ඇති බව දන්නා අය වේ නම් ඒ අතලොස්සකි. මෙහි දැක්වෙනුයේ පන්නම් කතුරින් උපුටාගත් කාව්‍යයන් කිහිපයකි. එමගින් විද්‍යමාන වන තත් සමාජය කවරාකාරදැයි කැඩපතකින් බලනවා සේ අප දෑස් මානයේ රූපණය කිරීමට තරම් මෙම සරල කවි රටාවේ අව්‍යාජ වදන් මාලාව සමත්කම් දරයි. නේකාකාර වර්ණනාවන් අකුරු කරමින් කාව්‍යෙයන් මතු කෙරෙන අව්‍යාජ ගැමි සුන්දරත්වය මකාලිමට අකමැත්තෙමි. එහෙයින් මෙතැන් සිට කවියෙන් කවිය නැතත්, එය ඔබේ විචාරාත්මක මනසට තත්ලෙස විඳගැන්මට සලස්වමින් කෙටි සටහනක් පමණක් තබමි.

පන්නම් කතුර

අසන් මගෙ නෑනා
වෙමින් අසමානා
නොවී සකජානා
යමං පන් උගුලන්ට නෑනා


ගොසින් පන් විලකට
බලමින් දෙන්න වටපිට
සොඳ පන් සොයා සිට
කපමු නෑනෝ මෙපන් හනිකට


ගෙනත් පන් ගෙදරට
අව්වේ දමා නිසි කොට
රැගෙන පන් සුරතට
වියමු නෑනෝ මෙපන් හනිකට


ගෙනත් එපන් අව්වේ ලා වේලමින
නොබා පන් ඉරති අඟනෝ වෙනින් වෙන
සොබා මුල්ල පුරමින් පන් මිටක් ගෙන
දෙපත් රටාවෙන්වත් යන්තම් ගොතන


අඬයි කිරි බොන්ඩ නෑනෝ මගෙ දරුවා
දොඩයි එක වරක් මාගේ වද කරුවා
කුඩයි හැවන් ගහ මදි පැදුරක් පිරුවා
හොඳයි නෑන මම ඔහෙ යන්තම් ගෙතුවා


සත් මසකට ඇති දරුවා පිළිසිඳිලා 
චිත්‍ර රුවින් ළමැදේ ගෝමර ඉසිලා
ගබ්සාවෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා


අක්කණ්ඩියේ යන්දැයි පන් කපන්නට
ඔක්කොම වන් රන්මිණිවන් පන් විලට
ගොසින් පන් කපා එන්නේ සවසකට
කවුද නගේ දරුවට කිරි පොවන්නට


මන්ද නගේ ඇයි කල් පසු කරන්නේ
යන්ද මෙලාකට දරුවා අඬන්නේ
උන්ඩ මෙලාකට කොල්ලන් තලන්නේ
යන්ඩ ලහිය පන් බැඳගල්ලා නෑනේ


පන් මිටි බැඳලා අරගත්තුය හිසට
යං කියලා අඟනෝ සැදුනේ පෙළට
මං බැහැලා අඟනෝ සැදුනේ රුවට
පන් ඉරලා වියමුය පැදුරක් රුවට


හිසට පියුම් ලා කොට්ටේ වියඥ්ඥා
පයට පියුම් ලා කොට්ටේ වියඥ්ඥා
මැදට ඇස් රටා ඇද පන් වියඥ්ඥා
කෙතට සතර මුල් ඇර දඟ වියඥ්ඥා


වියලා මෙම අලි සහ ගෝමර ඇත්තු
දඟලා පෙළින් පෙළ නයි පොළඟුන් සත්තු
ගිරා සැළලිහිණි වටකර හැම සත්තු
නුරා පැදුර වියලා දුන් අදිපත්තු


රුවන් තෝඩු කනකට ඔබින අන්දම්
රිදී බන්දි අතකට ඔබින අන්දම්
එවන් කතගෙ පියයුරු දිලෙන අන්දම්
බලන් ඔමරි ලිය පන් වියන අන්දම්


විලකට ගොසින් පන් උහුලාගෙන එන්නේ
මිදුලේ දමා අව්වේ වේලා ගන්නේ
මඩුවේ මම පැදුරක් දැන් පුරන්නේ
පැදුරේ ගැටිය ඇයි ඇද කෙරුවේ නෑනේ


බොහෝ කල්ම ගොස් කාටත් වෙයි නපුරු
කාටත් ඔහොම ඇසු දෙක නොපෙනෙයි නපුරු
නාමල් කුමරියන් වියනා හොඳ පැදුරු
ඇහිදැල් බෝය නෑනේ මිනිවන් පැදුරු



හිතු හිතූ විලස පන් පැදුරක් වියන්නට නොහැකිය. පැදුරක් මෝස්තර රටාවෙන් අගතැන්පත්ව නිම වෙන්නේ පන් නෙළීමේ සිට ඇරඹෙන යානුත්‍ර්‍යයක අවසන් නිමාව සනිටුහන් කරමිනි. ගැමි සමාජයේ දහසක් වු දෛනික කාර්යයන්ගේ එක් කාර්යයක් පමණක් වූ මෙය අතිත සමාජයේ එක් කුලයක පිරිසකට සිමා වූ එක් අර්ථ ක්‍රමයක් පමණි. පන්නම් කතුරින් දෘශ්‍යමාන වන එකී සමාජයේ තතු බොහොමයක් මෙහිදි අප අවධානයට නිතැතින් යොමු වේ.


පන් නෙළන්නට යන්නේ තනි තනිව නොව සමූහ වශයෙනි. ඒද කාන්තවන් පමණක්මදෝ යන පැනය අප සිත්හි ජනිත වන්නේ මෙම කවි අතර පන් නෙළීම හා බැඳී සිටින්නේ කාන්තා චරිත පමණක් බව විද්‍යමාන වන හෙයිනි. එසේම පන් ඇති ප්‍රදේශද වෙන් වෙන් වශයෙන් පැවති බවට නොයෙකුත් ඉඟි ලැබේ. "ගොසින් පන් විලකට...." "....ගබ්සාවෙයි කැපුවොත් පන් විල බැසලා...." "...ඔක්කොම යං රන්මිණිවන් පන් විලට..." එනම් පන් හටගන්නේ ඒ වෙනුවෙන්ම වෙන් වූ විශේෂිත පරිසර පද්ධතියකයි. අද වන විට අතරමැදියන් වෙතින් පන් මිළ දි ගන්නා තත්වයට වත්මන් ශිල්පීන් බහුතරය පත්වී තිබුණද අතීතයේ පන් නෙළීම හා බැඳි අපූරු සුන්දරත්වයක් පැවති බව මේ කවි විද්‍යමාන කරවයි. පන් නෙළමින් කවියෙන් හාත්පස පරිසරය කාව්‍යමත් කිරීමෙන් එදා හටගත් සුන්දරත්වය කෙබඳු වන්නට ඇත්ද? නමුත් එය අද සමාජයට සම්පූර්ණයෙන්ම ආගන්තුක වනවාට සැකයක් නැත. ඒ නෙළුමේ සුන්දරත්වය අද සුසානයක ගිලි ඇත. අතීතයේ පැවති ඒ අපූර්වත්වය අද අපට ගෙන එන්නේ යම් යම් පමණින් හෝ මෙසේ ශේෂ වී ඇති කාව්‍යයන් තුළින් පමණි. එහෙයින් මෙම කාව්‍ය සාහිත්‍යය තුළින් හෝ අතිත සමාජය යම් තරමකින්වත් ප්‍රතිනිර්මාණයට දායක වූ වාය ආර්. පුංචිමැණිකේ මහත්මිය වැන්නවුන්ට අප අපේ හෙළ ශ්‍රී විභූතිය වෙනුවෙන් හිස නමා ආචාර කළ යුතු නොවෙද?


කැපූ පන් පැදුරක් පුරන්නට සුදුසු වන පරිදි සැකසීමේ විශේෂිත යාන්ත්‍රණයක් වේ. මෙම කවි තුළින් ඒ පිළිබඳ ඉඟි ලැබෙන අතරම අද වන විටත් පන් කර්මාන්තය හා බැඳී පවතින්නේ එකී යාන්ත්‍රණයමය. පන් පැදුරු වියන ලඳුන්ගේ දෛනික කාර්යය එය පමණක් නොවීය. ඔවුන් අම්මාවරුන්ය. ගෘහණියන්ය. ගෙදරදොර දහසක් වැඩකටයුතු අතරින් ඔවුන් මෙම කර්මාන්තයේද නිරත වී ඇති බව අව්‍යාජ ගැමිකම විශද කරවන මේ කවි තුළින් මැනවින් උද්දීපනය වේ.

" අඬයි කිරි බොන්ඩ නෑනෝ මගෙ දරුවා
දොඩයි එක වරක් මාගේ වද කරුවා
කුඩයි හැවන් ගහ මදි පැදුරක් පිරුවා
හොඳයි නෑන මම ඔහෙ යන්තම් ගෙතුවා"


යන කවියෙන් පිළිබිඹු වන්නේ එකී සමාජ පසුබිමයි. කිරි වරා නොමැති අත දරුවාගේද සිය හිමියාගේද අවැසිතා සියල්ල සන්තර්පනය කරමින් ඈ මේ කාර්යයෙහි නිරත විය යුතු විය. පැදුරක් පුරන්නට තරම්වත් නැති හැවන් මිටකින් වුව ඈ යන්තම් හෝ පැදුරක් පුරන්නට මෙම දහසකුත් එකක් අරගල මැද වුව පසුබට නොවන්නීය. මෙහි ඇති කාව්‍යාත්මක සරලබව නිසාවෙන්ම එකි අවස්ථාව මනෝරූපමය පෙළහරකින් අප නෙත් මානයේ දර්ශනය නොවන්නේද?


අද මෙන්ම අතීත ගැමි සමාජයේද පාරම්පරිකව උරුම වූ විවිධ විශ්වාසයන් විය. මේ කවි පෙළ තුලින්ද එකි අවස්ථා මතු වී පෙනේ. දරු ගැබක් පිළිසිඳ ගැන්මකදී පන් නෙළීම ගැබිණියට අකැපය.

"....ගබ්සාවෙයි කැපුවොත් පන් විල බැසලා
එපා යන්ඩ කී මගෙ හිමි මට බැනලා"


මේ එදා පැවති ජන විශ්වාසයන්ය. ඒවා අද මෙලෙසින් අප හට දැනගැන්මට ලැබෙනුයේ මෙම කාව්‍ය සාහිත්‍ය නිසාවෙනි. එපමණක් නොව පන් කර්මාන්තය හා බැඳි විවිධ වචන, නන්විධ මෝස්තර රටා වර්ග ගැට වර්ග, ඒවා පැදුරු තුළ නිරූපණය කරන ආකාරය ආදියද මෙම කවි තුළින් නිරූපණය වන අයුරු හඳුනා ගත හැකිය.


අද වන විට පන් පැදුරු, වට්ටි, පෙට්ටි මේ ඈ නොයෙක් නිශ්පාදන කරන ශිල්පින් සිටියද මෙකී මෝස්තරකරණාංග සියල්ලෙන්ම අගතැන්පත් දක්ෂතා පරිපූර්ණ අයවලුන් සොයා ගැනීම ඉතා අසි රු කටයුත්තකි. වෙනස් වන සමාජ රටාව හා බැඳී නාගරිකත්වය හඹා යන අද්‍යතන පරම්පරා එකි ගමනින් මුදවා ගැනීම කිසි සේත් නොකළ හැකි දෙයක් වුව අපගේ අතිත උරුමය එලෙස නශ්ට විමට ඉඩ නොදී හැකි පමණින් හෝ රැක ගැන්මත් ඉදිරි පරම්පරා වෙත ගෙන යාමට හැකි වෙහෙසක් දැරීමත් අප සතු යුතුකමක් හා වගකිමක් ලෙස දකිමි.


නැන්දා ලේලි හබය

නැන්දා ලේලි අතර සාමුහික සන්හිඳියාව පිළිබඳ කියැවෙන කතා අල්ප බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඔවුනතර විරසකය කවදා කෙසේ කොයි නැන්දම්මා ලේලියගෙන් හටගත්තාදැයි කීමද අසීරු තරමටම මේ ආරවුලටද සිමා මායිම් නොදන්නා දිගු ඉතිහාසයක් ඇත. පන් කර්මාන්තය හා බැඳි එක් අපූර්ව වු කාව්‍ය සාහිත්‍යයක් ලෙස අපට දක්නට ලැබෙන්නේ සුලභ වූ නැන්දම්මා ලේලි විරසකයේ දුලබ දසුනක් පන් කර්මාන්තයේ අස්පර්ශිත උරුමය තුළින්ද අපට සොයා යැමට හැකියාව ලැබීමයි. නිදා ගැන්මට පැදුරක් ඉල්ලූ ලේලියගේ වදනින් කෝපයට පත්වන නැන්දා ඇයට බැන වදින අන්දමත්, එකිකෙකා පරදා දක්ෂ ලෙස පැදුරු විවීමෙන් ඔවුන් කෝන්තරය දිග්ගස්සා ගන්නා ආකාරයත්, විරසකයක වුව දැකිය හැකි කලාත්මක උරුමයත් නිසා මෙම කාව්‍යය විශේෂිත වේ. එහෙයින් ආර්. පුංචිමැණිකේ මහත්මිය විසින් සඳහන් කළ එකී පද්‍ය කොටස් කිපයක් ඔබේ රසවින්දනය සඳහා මෙහි පහත දක්වමි.


ලේලි   
දිසිවන ගුණ සදිසි නැන්දේ අසන්නේ
නිදිමත නෙත් දෙකට කඳුලැලි ගලන්නේ
සිරිකත ලේලි සුරතල් බස් කියන්නේ
නිදිමත බෝය පැදුරක් මට දියන්නේ


නැන්දා
ඉම්ගම් නොදැන ඇයි මැසිවිලි කියන්නේ
පන්නම් බැරි ගෑණු කොහොමද රැකෙන්නේ
ගංගංවල ඇවිද රැකුණද බොලන්නේ
දෙන්නට පැදුරු මං වාලිද කියන්නේ


ලේලි
තරඟ කතා ඇයි උඹ මට කියන්නේ
දෙරණ උණු වෙන්ඩ වියමන් වියන්නේ
හුණුවැල් දඟේ පැදුරේ වට පුරන්නේ
රත්මල් පොහොට්ටුව නැන්දේ බලන්නේ


නැන්දා
සිනා කුළුණු ගුණයෙන් ඔබ බලන්නේ
උනා වරල ඉස ඔපකර බඳින්නේ
ගොතා රන් දළසෙ දළ දෙක දිළෙන්නේ
ඇතා බලන්නට ලේලිට වියන්නේ


ලේලි
හිමයට උන්ව අදිපති කරමින් වෙසෙන
සැම සත හට අතුමෙකි රජකම් කරන
මූදු ජලය පැන පීනා මෙගොඩ වුන
ඇතා කන්ඩ සිහ රජ නැන්දට වියන


නැන්දා
සතහට වැළඳි රෝගය සුව නොවන කලා
ඇත යකදුරන් ගන්නා තටුවට තොයිලා
නෙතපිට පෙනෙයි කුකුළෙකු වියනේ පුරලා
සිත ලෙස ලේලි බල සිව් කොණ පැදුර මුලා


ලේලි
වෙනයම් දෙයක් නොකළෙමි ලොව දැනගන්න
වියමන් ටිකක් දැනගති රැක පසු වන්න
බින්න බොරු නොවේ නැන්දේ පවසන්න
කොළ දිවියෙක් වියමි කුකුළා මරවන්න


නැන්දා
පෙර කළ කුසලයෙන් අපි දෙන්න එක් වුණේ
සැර වැර නොගෙන පවතිමු එකම සිතකිනේ
මිතුරුදමෙන් කල් අරිමුව සැම සිතිනේ
ලේලි නෙවෙයි මගෙ අම්මා කෙනෙකි අනේ


පන්නම් කතුරෙහි අන්තර්ගත කවි ලබා දීම වෙනුවෙන් කෘතඤතාපූර්ව ස්තූතිය, ආර්. පුංචිමැණිකේ මහත්මිය, අංක 77, මුදුන්ගොඩ, හුරීගස්වැව.


Comments
1 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

1 comment:

  1. යකෝ මේකේ දිග කම්මැලි හිතුණා කියෝන කොට. පස්සේ බලනවා දැන් බැ

    ReplyDelete

 
There was an error in this gadget