Thursday, July 11, 2013

ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්....

ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්.... ඔවු... තටු ඇවිත් ඒ කූඩු කරල තිබුණු ‍වේදනාවට. දැන් ඒ ‍වේදනාව ඉගිල්‍‍ලෙන්නයි මාන බලන්‍‍නේ... ඔවු, ඔයා දන්නව මට ලස්සනට ලියන්න පුළුවන් බව. ඒ ව‍ගේම මම දැන් ලියන්න යන ‍දේ ගැනත් මුලින්ම කියල ඉන්න ඕන. මට ලස්සනට ලියන්න පුළුවනි. ලස්සන ‍දේට වඩා දුක හි‍තෙන ‍දේ තවත් ලස්සනට ලියන්න පුළුවනි. ‍මේ වචන නිසා ඒ දුක හි‍තෙන ‍දෙයින් එළියට පැනපු දුක ලස්සන වි‍ශේෂණ ‍ගොඩකින් එළියට එද්දි ම‍ගේ දුකට අතිශ‍යෝක්තියක් එක් ‍වෙන්නත් පුළුවනි.... ඒත් ඔයා දන්නව මා ගැන... “‍බොරුකාරි.... වංචාකාර ආද‍රේ.....“ ඒ ඔයා මට හැමදාම උ‍දේ දවල් රෑ ‍වෙනසක් නැතිව කියපු එකම වචන ටික. මංදා... මට මාවම ‍නො‍තේ‍රෙන බව මම ‍කොයි තරම් කියල ඇත්ද? කිසි ‍දෙයක් මට සරලව කියන්න බැහැ. ඔයාට මං කියන ‍දේ ‍‍නො‍තේ‍රෙන බව ‍වෙලාවකට මට හි‍තෙනවා. සමහරවිට කවදාවත්ම ‍තේ‍රෙන්නත් නැතිව ඇති. 


හිත ‍ගොඩක් කලබල ‍වෙලා.... ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත් නිසා. ගාල් කරල තිබුණ කූඩුවත් කඩා‍ගෙන ‍වේදනාව ඉගි‍‍ලෙන්න යනවා. ‍කොතනින් පටන්ගන්නද කියල මට හිතාගන්න බැරි නිසා මං ‍මේ ලියන කිසි ‍දෙයක් ඔයාට ‍තේරුම් ගන්න බැරි ‍වේවි........ මුලක් මැදක් අගක් නැති‍වේවි. නරකම ‍දේ.........., සමහරවිට මීට කලින් කවමදාකවත් ඔයාට මාව ‍තේ‍රෙන්නත් නැතිව ඇති.


“හැම‍දේම අන්ති‍මේ ශුන්‍යයකින් නතර ‍වෙනවා..... හිස්ම හිස් ‍මොකුත්ම නැති අනන්තයට යනකන් හිස් සුදු අවකාශයක්...“ මං හැමදාමත් ඔයාට කීව ව‍ගේ..... ඔයාට මතක ඇති... අමතක ‍වෙන්න විදිහක් නැහැ. ම‍ගේ හැම කතාවක්ම අන්ති‍මේ නතර වු‍ණේ ඔතනින්.. මං කියපුවා ඔයාට ‍තේරුණු නිසාද,, එ‍හෙම නැත්නම් ඔයා ඒව අහල අහලම මට හුරු වුණ නිසාද මංදා අන්ති‍මේ අන්ති‍මේ මම පටන්ගත්ත කතා, ම‍ගේ පුරුදු ශුන්‍යයෙන් ඔයයි ‍කෙළවර ක‍ළේ.....


මං ‍කොයි තරම් කල්පනා කළාද වරද ‍කොතනද කියලා... දැන් දැන් කවුරුත් මා එක්ක ඔයා ගැන කතා ‍නොකරනම ගානයි. ‍කොයි තරම් වැරදි තිබුණත්,,, හි‍තේ පතු‍ලෙම ආගා‍‍ධෙකට නාරස්සනයක් බස්සවලා අකරුණා‍වෙන් රවුම් කර කර ඇති‍වෙච්ච ගැඹුරු තුවාලයක් තව තවත් හාරනව ව‍ගේ ඔයා නිසා තුවාල වුණ ම‍ගේ ජීවි‍තේ ඇති‍වෙච්ච තුවාලය ‍කොයි තරම් අසාධ්‍ය මට්ට‍මේ එකක් වුණත්, කවුරුහරි ඔයාව මතක් කරපු හැම ‍වෙලාවකම මමත් ‍නොදන්න ආද‍රේකින් ම‍ගේ හිත පිරිල යනවා. ඒ මම ඔයාට දුන්නු ආදරයක් ‍නෙ‍වෙයි.... ඇත්තම කියනවනම් ඔයත් දන්නව මං ඔයාට ආද‍රේ ‍නොකළ බව.... ඒ පි‍රෙන්‍‍නේ ඔයා මට දුන්නු ආද‍රේ. 


මං කවදාවත් ආද‍රේ කරන්න දැනන් හිටි‍‍යෙ නෑ කියල මං කියන් නැහැ. මං දැනටත් කල්පනා කරනවා මං කාටද හරියටම ආද‍රේ ක‍ළේ කියලා. මං ඉස්‍‍සෙල්ලම ‍කෙ‍නෙක්ට ආද‍රේ කළා. ඔන්න එත‍‍කොට ‍ගෙදර අය කීවා එයාට ඉ‍ගෙනීමක් නෑ ඕක නවත්තපන් කියලා. ඊට පස්‍‍සේ මම ඉ‍ගෙනගත්තු ‍කෙ‍නෙක්ට ආද‍රේ කළා. එ‍තෙන්දි ‍ගෙදර අය කීවා එයාට අම්ම තාත්ත නෑ ඕක නවත්තපන් කියලා. ඊට පස්‍‍සෙ මට ඔයාට හම්බවුණා. ඒ ‍වෙද්දි මං ආද‍රේ කරලම ‍හෙම්බත් ‍වෙලා හිටි‍යෙ. කරන්න තියන ආද‍රේ ‍වෙනුවට ආද‍රේ ‍නොකර මං ආද‍රේ ලැබුවා.... ජීවි‍තේ මුල් වරට..... ඒ ආද‍රේත් ආත්මාර්ථකාමී අන්තවාදී අසම්මත.......... ඔය ව‍ගේ ‘අ‘යන්‍‍නෙනුත් තව ‍වෙන ‍වෙන අකුරු වලිනුත් පටන්ගන්න ‍ගොඩක් ‍දේ ති‍යෙන්න ඇති. 


හැම‍ ‍දේ ගැනම ඕනවට වඩා හිතන මට ඔය කියන ‍ගොඩක් ‍දේ ‍පෙනුණා. ඒත් ම‍ගේ භාෂාව ඔයාට ‍නො‍තේ‍රීමත්, ඔයා‍‍ගෙ භාෂාව මට ‍නො‍තේරීමත් අත‍රේ මං ‍ලොකු තනිකමක් වින්දා. ඒ මං පණ ගත්‍‍තෙ ගහ ‍කොළ වලින් කුරුල්ලන්‍‍ගෙන් පා‍වෙන වලාකුළුවලින් මුඩුක්කු ‍පේළියක ‍කෙළව‍රේ චිමිනියක අහසට නැ‍ගෙන දුමකින් ඩැටක් උඩ වහල ඉන්න කපු‍ටෙක්‍‍ගෙ හුළ‍‍ඟෙන් ඉස්සි ඉස්සී නටන තට්ටකින්.... ඔන්න ඔය ව‍ගේ ‍දේවලින් නිසා..... 

මුලින්ම මට ‍පෙනු‍‍‍ණේ ‍ගැලපීම් ‍ගොඩක් අතර එක ‍නොගැලපිමක්... එත‍කොට මං ඉස ගිනි අරන් ඒකම එකම පිහිට කර‍ගෙන ම‍ගේ ජීවිත අල්තා‍‍රෙ ඉස්සරහ දණ ගහ‍ගෙන ම‍ගේ තනි ඔ‍කෙස්ට්‍රා එකක හිටියා. ඩයනීසස්ට මං කීවා දැන් ඔබතුමන් ‍වෙනු‍වෙන් විකට‍යෙක්ට ඇඳ‍ගෙන කරපු රංග‍නේ ඉවර කරන්න මට අවස්ථාවක් ‍දෙන්න කියලා. ඩයනීසස් මිදි යු‍ෂෙන් නෑවිලා ‍හොඳටම ‍හෙම්බත් ‍වෙලා රතු වුණ ඇස් වලින් ම‍ගේ දිහා අමුතුවට බලද්දි මං ‍තේරුම් ගත්තා ඔයාව නැති කරගත්‍තොත් දැන් මට පුරුද්දක් ‍වෙලා තියන, නැතිවම බැරි උණූහුමක් මට නැති‍වෙන බව. මං එතනින් හිමින් ලිස්සලා ආවා ‍වෙන ‍දෙයක් වුණා‍‍වේ, මං බලන් ඉන්නවා කියලා.


ඒ ඉන්න අත‍රේ මට ඔයා‍‍ගෙ උතුර උතුරා ගලන ආද‍රේ දරන්න බැරි තැනටම ආවා. ‍හේතුවක් ඇතිව ‍හෝ නැතිව, මං ‍නො‍දෙන ආදරයක් ‍වෙනු‍වෙන් වුවමනාවටත් වැඩිය ලැ‍බෙන ආදරයක් මං තවත් විඳිය යුතුද කියල මං දහ අ‍තේ කල්පනා කළා. රෑ නවයහමාර ‍වෙද්දි මට ඉස ‍කෙලින් කරන් ඉන්න බැරි තරම් නිදිමත ආවා. ‍නොකඩවා ඔයා ජංගමයා හඬවද්දි මම ඌ සයිලන්ට් කරලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. ඒත් මං හිතු‍‍වේ ඇත්තටම ඔයා මට ආද‍රේ ඇති, මං අවුන්ස ගණනක්වත් ඔයාට ආදරයක් නැතිව ඇති කියලයි. (ඒ ‍වෙද්දි මං දැනන් හිටි‍‍යේ නැහැ ඔයා ‍ලොකු වංචාවක මාව අහු කරල විත්තිය - ඒත් ‍මේක කියවන අයට ඔයා‍‍ගෙ වැරදි කියන්න ඕන නැහැ කියලා මං ‍මේක ලියන්න කලින්ම කීර‍ණේ කළා. ඒ නිසා ඒ හරිය ඕන නෑ.... ඒත් එක ‍දෙයක්,, ඒ වංචා‍වෙන් පස්‍සොමට හිතුණා ඇයි ඔයා මට වංචා ක‍ළේ කියලා. ඒ වංචා ක‍‍ළේ, ඇත්තටම ඔයා මට ආද‍රේ නිසා බවත්, ඒක ‍හෙළි වු‍ණොත් මං ඔයාව දාලා යයි කියලා ඔයා සැක කළ නිසා බවත් මං ‍තේරුම් ගත්තා... ඉතිං එච්චර වංචාවක් කළාට පස්‍‍සේ කවදාවත් ‍නොතිබුණ ආදරයක් ඔයා ගැන මට ඇති වුණා කියල ඔයා දන්නවද...? නෑ ඔයා ඒක දැනගන්න විදිහක් නැ. ‍මොකද ඔයා මං ගැන හිතන්න ඇත්‍‍තේ, අනික් හැම ‍කෙල්ලම ඒ ව‍ගේ අවස්ථාවක ගන්න එකම තීර‍‍ණේ මමත් ගනී කියන දෘශ්ටි‍යෙන් ‍වෙන්න ඇති) 


‍කො‍හොම වුණත්.... මට කියන්න ‍ගොඩක් ‍දේ ති‍යෙනවා. මට ඕන අහන් ඉන්න ‍කෙ‍නෙක්... ඔයා ගාවදි කවදාවත් මං කතා ක‍‍ළේ නැහැ, හැමදාම ඔයා කතන්දර කීවත්... දික් කරපු ම‍ගේ කකුල් ‍දෙක ඔයා‍‍ගෙ ඔ‍ඩොක්කු‍වේ දා‍ගෙන මං ක‍‍ළේ ඔයා කියන ‍දේ අහන් ඉන්න එක (ඇත්තටම සමහර ඒව අහන් ඉන්න බව ‍පෙන්නුවත් මං වැඩි උවමනා‍වෙන් අහන් හිටි‍යෙත් නෑ මට මතක විදිහට... ඒ වචන ම‍ගේ කන් වල වැදිලා ඔ‍හේ ආපු අතටම ‍හෝ ‍වෙන අතකට පා‍වෙලා යන්න ඇති). 


මට මතක නෑ මං ඔයාට ආද‍රේ කළාද නැද්ද කියලා. මතක් කරගන්න මං ‍ගොඩක් උත්සහ කරනවා. ඒත් මට කියන්න පුළුවනි මං කවදාවත් උනන්දු‍වෙන් ඔයාට ආද‍රේ ක‍ළේ නෑ කියලා. ඒත් මං විඳපු ආද‍රේ ‍වෙනු‍වෙන් ප්‍රති ආදරයක් ‍දෙන්න බැරි වුණ එක ගැන මං ‍ගොඩක් දුක් වුණා. ඒත් හැම‍දේම ඔයා විහින්ම කනපිට හරවගත්තයින් පස්‍‍සේ ම‍ගේ කනස්සල්ල මං ගාලු ‍කොටු‍‍වේ ගල් බැම්ම උඩදි හුළඟට අහු‍වෙලා ගහ‍ගෙන යන්න එදා ඉඩ ඇරියා. 


එක කා‍ලෙක මං ආද‍රේ කරපු ‍කෙ‍නෙක්‍‍ගෙන් අහන්න තියන ප්‍රශ්න ‍සේරම මං ‍කො‍ලේක ලියා‍ගෙන, එයා කතා කරන ‍වෙලාවට අහ‍ගෙන අහ‍‍ගෙන ගියා. ‍හේතුව එයා ඉස්සරහදි මං ‍ගොලු වුණ එක. ඒ ව‍ගේම එයා ‍මොන තරම් ‍ලෝබ‍‍යෙක්ද කියනවනම් දවසට තත්පර ගානයි කතා ක‍ළේ. මං දවසින් දවස එයා කතා කරන තත්පර ගණන ‍කො‍ළේක ලියා‍ගෙන ගණන් හදාගත්තා. ‍කොට්‍‍ටේ ‍පෙ‍‍ඟෙනකන් අඬ අඬ මං හිත හදාගත්තා එයා‍‍ගෙ ලෝබ කම නිසා මං වින්ද ‍වේදනාව ‍වෙනු‍වෙන්. 


ඒත් ඔයා සම්බන්ධ‍යෙන් ගත්තම ඒක ‍මොන තරම් ‍වෙනස් තත්වයක්ද? නවයහමාරට, ඔයා කතා කරන ‍වෙලාවට ජංගමයා පැත්තක දාලා නිදි කිරාවැ‍ටෙන මම, මට ඕන දවස් වලට පැය ගණන් අන්තර්ජා‍‍ලෙ සවාරි ගැහුවා. එක වතාවක් ඔයා තරහ වු‍ණොත් දවස් ගණනක් මං තරහ ‍වෙලා හිටියා. අන්ති‍මේ කිසි හැඟීමක් නැතිව ළං වුණා. ආද‍රේ ශුන්‍යයක් වුණා. මං හිස් අවකා‍ශෙක පාවුණා. මට එකතැනක රැ‍‍‍‍ඳෙන්න බැහැ. අල්ලගන්න තැනක් නැහැ. ‍ඔයාට හී‍නෙන් දැනිල තියනවද අපිට අල්ල ගන්න තැනක් නැතිව, අපි ගැනම අපිට පාලනයක් නැතිව අ‍පේ අකමැත්‍තෙන් අපිව පා‍වෙනවා. මමත් ඒ ව‍ගේ වුණා. (ඒත් මං ආ‍යෙම ‍හො‍රෙන් ඔයාට මතක් කරනවා අර ‍ලොකුම ‍ලොකු වංචාව, අන්න ඒක විත්ති‍යේ වාසියට හිටලා මට ජයග්‍රහණය ‍දෙන බව. ඒත් මං ඒක ‍මෙතන කියන් නැහැ. ‍මොකද මට ඕන ඔයා සුදු වරිතයක් කරන්න)


ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්. මං ‍මෙච්චර දවසක් ඒ ‍වේදනාව යකඩ දම්වැ‍ලෙන් බැඳලා කූඩුවක් ඇතු‍‍ළෙ දාලා කූඩුවත් යතුරු දාලයි තිබු‍ණෙ. ඒත් දැන් මගේ ඒ ‍වේදනා‍‍වේ කඬාඩු කැඩිලා හාත්පසම යටකරන් ගලායනවා. නෑ නෑ.. ඒ උපමාව ගැන‍පෙන් නැහැ. ම‍ගේ ‍වේදනාව, ඒ ලැබුණු තටු වල හිරි ඇරගන්න යකඩ දම්වැලුත් කඩා‍ගෙන කූඩු‍වේ ‍දොරත් කඩා‍ගෙන ඉගි‍ලෙන්නයි ලැහැස්තිය. “ම‍‍ගේ _ _ _ _“ ඔයා හැමදාමත් කියපු වචන ම‍ගේ කන් ඇතු‍‍ළෙ මොනතරම් ‍දෝංකාර ‍දෙනවද කියල ඔයා දන්නවද? ඒක හරියට පල්ලියක් අස්‍‍සෙ හූ තියනව ව‍ගේ වැඩක්. ඌරාගල කන්ද නැගල මුදු‍‍ණෙ ඉඳන් කෑ ගහනව ව‍ගේ වැඩක්............


ඔයාට ඇ‍‍හෙනවද? 
ම‍ගේ ‍වේදනාවට තටු ඇවිත්



(පසුව ලියමි :- 
මං මුලදිම කියල ඇති ඕනම ‍දෙයක් මං අතිශ‍යෝක්ති‍යෙන් විසිතර කරනවයි කියලා. ඔයා‍‍ට ඒ ‍පේළිය මතකයි ‍නේද?)
Comments
14 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

14 comments:

  1. හැමදාම කියනව වගේ මට අදත් කියන්න ඇත්තේ ආදරය කියා දෙයක් ලොව නොපවතී. ඇත්තේ ගනු දෙනු පමණි යන්නයි.

    ReplyDelete
    Replies
    1. ඇයි දන්නෑ එහෙම වෙන්නේ

      Delete
    2. හ්ම්....... ගනු විතරක් තියන තැනක් සොයමි :)
      (දෙනු නොහැකි නිසා )

      Delete
  2. මුනා කියනවද මන්දා

    ReplyDelete
    Replies
    1. තේරුණේ නැතෙයි මලේ?

      Delete
  3. නෑ මට ඒක අමතක උනා, අවසානෙදි ආයෙමත් ඔයා ඒක මතක් කරල දුන්න. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කියවං යද්දි මතකෙ ඉගිලෙන බව මගේ මතකෙට අහු වුණා
      ඒකයි පසු සටහන :)

      Delete
  4. ආදරය ගනු දෙනුවකි අවසානය......
    හිස්ම හිස් ‍මොකුත්ම නැති අනන්තයට යනකන් හිස් සුදු අවකාශයක් ..................................... ද මංදා :/

    ReplyDelete
  5. මට මේ මුකුත් මතක නැති එක තමයි අප්පා අවුල

    ReplyDelete
    Replies
    1. හැම තැනම අවුල් තමයි අප්පා :/

      Delete
  6. මට කෑගහල අඩන්නමයි හිතෙන්නේ......විටෙක මේ මගේ හිතද කියල හිතුණා. නොගැලපෙන පුංචි පුංචි තැන් ඇරෙන්න මගේ ජීවිතෙත් මේ වගේම වුණා......

    වේදනාවට තටු ඇවිත් ඔව් ඇත්තමයි මමත් පියාඹුවා.....නමුත් විටෙන් විට අතීතයට හිත දුවල මම මටම වද දෙනවා.....මම මාවම රිද්දනවා.....

    මේ ආදරේ වේදනාවක් මහ වේදනාවක් කියන්න බැරි තරම්.......

    දන්නවද ඒත් ආදරේ හරි සුන්දරයි............... තේරෙන්නෙ නෑ ආදරේ මහ විකාරයක්................

    ReplyDelete
    Replies
    1. “මම මාවම රිද්දනවා.....“ ඇත්ත සිත්තමී... මමත් මාවම රිදවනවා. දන් නෑ ඒ ඇයිද කියලවත්.
      එක වරක් මට ඕන වුණා මගේ හම මගේ ඇඟෙන් ඉරල අයින් කරන්න. මං ඒක කළා.... අම්ම දුවගෙන ඇවිත් කම්මුලට ගහල මාව නවත්තනකන්...

      මගේ වේදනාවට තටු ඇවිත්.....

      Delete

 
There was an error in this gadget