Tuesday, July 23, 2013

කාලය අවකාශය හා සංස්කෘතිය








එය, විවාදාත්මකව විචාරාත්මකව විවේචනාත්මකව විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡාවට ලක් වන්නකි. සංස්කෘතිය... වචනාර්ථයෙන් ගතහොත් සංස්කෘතියකින් තොර කිසිවක් නැත. යම් කුලකයකටම ආවේණික් වූ සංස්කෘතීත් විවිධාකාරයෙන් හමු වේ. එසේම එම පොදු කුලකය ව්‍යුක්තව ගෙන නිරීක්ෂණයට ලක් කළහොත්, ඒ තුළ විවිධ උප කුලක දක්නට ලැබේ. සාකච්ඡාවට ප්‍රවිශ්ටයක් වශයෙන් මෙහිදී ප්‍රථමයෙන් සංස්කෘතියේ ආරම්භය කෙරෙහි යොමු වෙමි. මන්ද යත් යම් කරුණක්, ගැටළුවක්, චින්තනයක් මෙ ඈ කුමක් වුව කවරාකාරදැයි නිවැරදි අධ්‍යයනය සඳහා ක්‍රමික ගලායාමක්, දැණුවත් බවක් අවශ්‍ය හෙයිනි.



සමාජ ආයතන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේදී සංස්කෘතික, දේශපාලනික, ආර්ථික, සාමාජයීය ලෙස ප්‍රධාන වූ චතුර්විධ විභේදනයක් හඳුනාගත හැකිය. වෙන් වෙන්ව ගතහොත් මෙකී අංශයන් ඒවාට ආවේණීක සාධක පදනම් කරගනිමින් සාකච්ඡා කළ හැකි වුවද, මෙකී අංශ සියල්ල අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධතා දක්වන බවත්, එකකට එකක් ස්වාධීනව නොපවතින බවත් තත්‍ය වශයෙන් අවබෝධ වනු ඇත. කෙසේ වුවද මේ සංකල්පයන් සියල්ලම එකට දරා හිඳිනා මහා සාධකය වන්නේ සංස්කෘතියයි. මන්ද, සමාජය පොදු ඒකකයක් ලෙස ගත් කල්හි සමාජය යන ව්‍යූහය හඳුනාගැනීමේ කේන්ද්‍රීය සාධකය වන්නේ ඒ ඒ සමාජ පද්ධතීන් හා බැඳි සංස්කෘතික හර පද්ධතීන් වන හෙයිනි.



“සංස්කෘතිය” යන්නෙහි ආරම්භය සලකා බලන කල්හි,
මිනිසා ස්වභාවික පරිසරයේ තවත් එක සත්වයෙකු පමණක් නොවී තම පරිකල්පනය මෙහෙයවමින් ක්‍රියාත්මක වන්නට ඇරඹූ දා සිට ඔහු සංස්කෘතියක් සහිත අයෙක් බවට පරිවර්තනය වූ බව කිව හැකිය. ඔස්ට්‍රොලොපිතේකස් මානවයාගෙන් ලද පන්නරයෙන්, ස්වභාවික පරිස‍රයේ වෙසෙමින් පරිසරයෙන් ලද අත්දැකීම් හා නිරීක්ෂණයන්ගේ අනුසාරයෙන්, හෝමෝ හැබිලිස් මානවයා අතින් යමක් (ආයුධයක් - මෙය සැකසීමකට ලක් නොකල හුදු ගලක් පමණකි) ග්‍රහණයට ගනිමින් ඉතා සරළ මට්ටමෙන් තම ආහාර අවශ්‍යතා සපුරාගන්නට යොමු වූ තැන අපට දක්නට ලැබෙන්නේ සංස්කෘතියයි. තවද ගුහා ‍ක්ෂේත්‍ර හෝ වේවා එළිමහන් භූමි හෝ වේවා වාසස්ථාන කොට ගනිමින් සමාජ ‘කණ්ඩායමක්’ ලෙස සැකසුණු ඔවුන්ගේ වව්‍යුහය තුල අපට දක්නට ලැබෙන්නේ සංස්කෘතියයි. එතැනින් ආරම්භ කළ ගමන, පරිසරය හා නිරන්තර ගැටෙමින් ගත කළ ජීවිතයේ පියවරෙන් පියවර ඔවුන් ලබා ගත් පන්නරය මත ලද අත්දැකීම් ඇසුරෙන් දෑත ක්‍රියාත්මක වීම මත සිදුවූ මොළයේ වර්ධනයත්, ඒ අනුවම පන්නරය ලබමින් සිය තාක්ෂණයේ පියවරෙන් පියවර අත් කර ගත් දියුණුවත් තුළ අපට පැහැදිලි නිගමනයකට එළඹිය හැකිය. එනම්...... කාලය හා කාලයට සාපේක්ෂව ලත් අවකාශය තුළ සංස්කෘතියද ප්‍රාථමිකම අවස්ථාවේ සිට ක්‍රමික වර්ධනීය යුග ගණනාවක් පසු කළ බවයි.



නිදර්ශනයක් වන්නේ එදා ෆ්ලින්ට් පතුරක් මුවහත් කර තනාගත් පිහි තලය පසු කාලීනව ලෝහමය මාධ්‍යයෙන් එළිදැකීමත්, එකී මෙවලමේ කාර්යයම අද වන විට විදුලි බලයෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන උපකරණ ඇසුරින් සිදු කර ගැනීමත් දක්වා වූ තාක්ෂණික මට්ටමේ ජයග්‍රහණයන් රැසක් කාලය හා අවකාශය ඔස්සේ ලබා තිබීමයි.



සංස්කෘතිය... එක ගොඩනගන ලද සංකල්පයකි (constructed idea). එහි නිර්මාපකයා මිනිසායි. එසේම එය තෝරාගන්නා (selected) ලක්ෂණයන්ගෙන් යුක්ත වූවකි. සමාජයකට හොඳ / නරක ලෙස වෙන් කරන ලද මේ තෝරාගැනීම් සිදු කරනුයේ එම සමාජයේම මිනිසා විසිනි. කාලය හා අවකාශය යන සාධකද්වය මෙහිදී නැවතත් උපුටා දක්වන්නේ නම්, අදාල තෝරාගත් ලක්ෂණයන් සෑම කාලයකටම අනුරූප වන්නේද යන පැනය මෙහිදී නගමි. මානවයා මළ කුණූ බුදින්නන් ලෙස ගත කළ අවධියේ සිය සංස්කෘතික ලක්ෂණයන් ලෙස තිබූ ඔවුන්ගේ තෝරාගැනීම් අදට ගැලපේද? ශිලා, ලෝකඩ, යකඩ යුගයන්හි පැවති සංස්කෘතික ලක්ෂණයන් අදට ගැලපේද? යටත්විජිත යුගයේ අප වැනි රටවල පැවති අතිශය මිශ්‍රිත සංස්කෘතික ලක්ෂණයන් අදට ගැලපේද?



මෙහිදී මම මෙවන් පැනයක් අසමි..... “අනාදිමත් කාලයක සිට පැවතෙන අපගේ සංස්කෘතික ලක්ෂණ මේවාය.....” ඇතැම්මු එසේ කියති. එකී අනාදිමත් යුගය කෙබඳුද? එම යුගයේ සංස්කෘතික ලක්ෂණ කෙබඳුද? ඒ ලක්ෂණ එසේම පැවතිනැයි ඔප්පු කළ හැකි සන්සන්දනාත්මක නිරවද්‍ය සාධක කවරේද? එම ලක්ෂණ අදටත් සමාජ භාවිතයේ පවතින්නේද?



මිනිසා සංස්කෘතික සත්වයෙකි.... අයෙක් එසේ කීය. මිනිසා දේශපාලනික සත්වයෙකි... තවත් චින්තකයෙක් එසේ කීවේය.... මිනිසා යනු කවරහුද.....? මිනිසා යනු කාලය හා අවකාශය අතර සිය කර්තව්‍යයන් පවත්වාගනිමින් පැවතෙන්නෙකි. මිනිසාගේ මූලිකත්වයෙන් සිදු වන සෑම ක්‍රියාවලියක්ම මතු නොව සොබාදහමේ සිදු වන සෑම ක්‍රියාවලියක්ම පවතින්නේ කාලය හා අවකාශය මතයි. එසේ නම් සංස්කෘතිය යන “කාලානුරූපව මිනිසා විසින් තෝරාගත් සංකල්පය” ස්ථිතිකයක්ව සදාකල්හි එක ලෙසම පවතීද? යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතුය.



සංස්කෘතිය තුළ අප විවිධ අංශ හඳුනා ගනී. දේශපාලනය තුළද දේශපාලනික සංස්කෘතියක් වේ. ආගම තුළද ආගමික සංස්කෘතියක් වේ. සමාජය තුළද ඒ ඒ සමාජයන්ට ආවේණික වූ අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණයන් වේ. ආර්ථීක ක්ශේත්‍රය තුළද එසේමය. එසේම වැදගත් ලක්ෂණය වන්නේ සංස්කෘතිය යනු හුදෙකලා වූවක් නොව, එක් එක් පැතිකඩ තුළින් විවිධ විෂම ලක්ෂණ සන්ධර්භගතව නිර්මාණය වූවක්ය යන්නය. කිසිදු සමාජයකටහුදෙකලා විය නොහැක. කිසිදු සමාජයකට වෙනයම් සමාජයක් ප්‍රතික්ෂේප කළ නොහැක. කිසිදු සමාජයකට තම සංස්කෘතික ලක්ෂණ සර්ව සම්පූර්ණයෙන්ම නෛසර්ගික සම්ප්‍රදා‍යන්ගේ පැවැත්මකැයි තර්ක කළ නොහැක. අයෙක් එලෙස කෙස් පැලෙන තර්ක උපුටා දක්වමින් තර්ක කළද නිසැකයෙන්ම එම තර්ගයන් විද්‍යෘත්මක බවින් දුරස්ථය. විචාරශීලීත්වයෙන් තොරය. 





නූතන ලෝකයේ මහත් සීඝ්‍රගාමීව පැතිර යන සංකල්පයක් ලෙස සංස්කෘතීන් ‍මුහුන් වී එක් සංස්කෘතියක් බිහි වීම (hybridization) හැඳින් විය හැකි කේන්ද්‍රීය සාධකයකි. උදාහරණ ලෙස බටහිරකරණය හඳුන්වමු. ආසියාතික ලෝකයේ සංස්කෘතියත් සමග බටහිර රටවල සංස්කෘතිය පොදුවේ ගෙන සලකා බැලුව හොත්, ඒ ද්විත්වය අතර පවතින පරතරය අති මහත්ය. ආසියාතික රටවල් බොහොමයකට සියවස් ගණනාවක් මකු නොව සහස්‍ර වර්ෂ ගණනාවක් ඔබ්බට දිවෙන සාධක සහිත විශීෂ්ට ශිෂ්ටාචාර ලක්ෂණයන් ඇත. එසේම ඔවුන් යුගයෙන් යුගය සිය ආවේණිකතා හැකි පමණ රුක ගනිමින් සිය දේශීයත්වයට අදාල, ආවේණික පැවැත්මක් නිරන්තරයෙන් වර්තමානයට ගෙන ආ‍හ. නමුත් යටත්විජිත පවත්වාගනිමින් ලොව පුරා බලය විහිදුවාලූ බොහොමයක් බටහිර රටවල්වල ඉතිහාසය ඉතා මෑතකාලීන වේ. එමතුද නොව ඔවුන්ගේ ‘ආගමික හා සමාජයීය ආකල්ප’ මත අතීත උරුම සංස්කෘතිය අනාගතය වෙනුවෙන් තත් ලෙසම ගෙන යා යුතු යැයි යන මතයෙන් බැහැර වූ ආර්ථික ප්‍රවර්ධනයට හා බලයට අදාල වූ  සංකල්ප විය. ආගම හා සමාජ සිරිත් විරිත් ප්‍රමුඛ කරගනිමින් පැවතෙන ආසියාතික රටවලට එකී මත බලයෙන් ඔබ්බවාලනු ලැබූ ඒවා විය. නමුත් ගෝලීයකරණය හමුවේ තත්වය සපුරා නව මගකට යොමු කෙරෙමින් පැවතෙන අතර, සමාජ සංස්කෘතික ආකල්ප විකසනයකට ලක් කෙරෙමින් එක් සංස්කෘතියක් එක් සමාජයක් යන තත්වය අද වන විට ඇති වී තිබේ.



සියලු සංස්කෘතීන් එකට මුහුන් වී යම් දිනෙක එක් සංස්කෘතියක් ඇති වී නම් තත්වය කෙබඳුද.....? මෙය සාකච්ඡෘවට ලක් විය යුත් කරුණක් ලෙස දයිමි. මෙහිදී ආකර්ශණීය සංස්කෘතිය කුමක්ද, ආකර්ශණය වෙන සංස්කෘතිය කුමක්ද යන්න සලකා බැලුව හොත්, වැඩි විභවතාවක් දක්වන්නේ බටහිර සංස්කෘතිය කෙරෙහි ‍දියුණූ වෙමින් පවතින බහුතර රටවල් ගණනක් ආකර්ශණය වීම එනම් බොහොමයක් රටවල් බටහිරකරණයට ලක් වීමයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් උදාහරණයක් ලෙස ලංකාව භාවිත කරමින් මෙකී කාරණය විමර්ශනය කරමු.



අතීතයේ ලංකාවේ ප්‍රධාන ආර්ථිකය රඳා පැවතියේ තේ, පොල්, රබර් ආදී වූ මුඛ්‍ය අපනයන භෝග කෙරෙහිය. නමුත් අද වන විට ඇඟලුම්, සංචාරක ව්‍යාපාරය ආදී තවත් බොහොමයක් ක්ෂේත්‍ර ආර්ථීකයේ ප්‍රමුඛතාව ගෙන ඇත. විදේශිකයන් මෙරටට ආකර්ශනය වන හේතු බොහොමයකි. (වෙනත් රටවලටද මෙසේමය). ඒ අතර, විවිධ ජන කණ්ඩායම් නිරීක්ෂණය, විවිධ ජන සමාජ, ඇදහිලි හා විශ්වාස, අතීත ගෘහ නිර්මාණ, භූමි දර්ශන, පුරාවිද්‍යාත්මක ඓතිහාසික වැදගත් සාධක නිරීක්ෂණය, ලාංකීය සමාජයේ විවිඡතා විශමතා කෙරෙහි දක්වන ආකර්ශනය මත සහ සුන්දරත්වය මත මෙහි ඇදී ඒම යන කාරණා සුවිශේෂීය. මෙකී කරුණූ විමර්ශනයේදී පැහැදිලිවම පෙනෙන්නේ මේවා ලාංකේය සංස්කෘතිය හා ඇදී බැඳී පවතින බවයි. (අවධානයට යොමු කළේ අදාලත්වය අනුව සංස්කෘතික සාධක පමණි).



එසේ නම්, අද මෙවැනි රටවල පවතින සංස්කෘතික ලක්ෂණයන් මුලිනුපුටා දමමින් බටහිරකරණය අංශුවක් පාසා වැළඳගත්තේ නම්, එවන් රටවල ආර්ථිකය, පැවැත්ම කෙබඳු වනු ඇත්ද?



නමුත් අපට මෙහි විරුද්ධ පාර්ශවය, එනම්, අපට නූතන ලෝකයේ විකසනයන් සමගින් අනවශ්‍ය සිරිත් විරිත් සහමුලින් බැහැරලමින් නිදහස් බැඳීම් රහිත මානව කොටසක් ලෙස ඒකීයත්වයකට පත් විය නොහැකිද? අපට ඒ සඳහා අයිතියක් නොමැතිද යන්න විමර්ශනය කළ හැකිය.



සියලු රටවල් එකම සංස්කෘතියක් එකම සදාචාරයක් එකම පැවැත්මක් ඇති කර ගැනීම වරදක්ද.....?



යම් හෙයකින් සියලු රටවල් (උදාහරණයක් ලෙස) ඇමරිකාවක් වුවහොත්....... (සමාජ ආර්ථීක දේශපාලනික සංස්කෘතික ආයතනයන්ගේ පොදු ඒකීයත්වයක් නිරූපණය කරන සංස්කෘතික ලක්ෂණයන් පූර්ණය කරමින්) එවිට....., වෙනස් වෙනස් නම් වලින් හඳුන් වන එකමාකාරයේ පිරිසක් වෙසෙන භූමි තිබුණද, ඒ අතර එකදු හෝ වෙනසක් තිබේවිද? ඉන් ඔබ්බට, කවරාකාරයේ සංස්කෘතියක් ප්‍රධාන ආකර්ශනීයත්වයෙහි ලා අනුකරණය කරන්නේද?



මෙහිදී මම නැවත මුලට යමි. එනම්......., සංස්කෘතිය යනු පුද්ගලයා විසින්ම පුද්ගලයා අකැමැති දේ බැහැර කර කැමති දේ ලං කර ගනිමින් සිදු කරන ලද තෝරාගැනීමකි. එකම් සංස්කෘතිය තෝරාගත් සංකල්පයකි.



අප අප සතු දේ, අප රැකගෙන පැමිණි දේ බැහැර ලා ළං වන්නේ තවත් සංස්කෘතියකටයි. පාරම්පරිකත්වය හණමිටි සේ බැහැරලා ප්‍රතික්ෂේප කර අප වඩාත් සුදුසු ලෙස හා කාලෝචිත ලෙස සිතා වැළඳ ගන්නේ තවත් පිරිසක් සිය කැමැත්ත ලෙස තෝරාගත් සංස්කෘතියක් නොවේද?



ඉතිහාසය පුරා සංස්කෘතිය එක බිඳකුදු නොවෙනස්ව පැවතියේයැයි අපට තර්ක කළ හැකිද?



මම නැවත මෙය මතක් කරමි... සංස්කෘතිය යනු ස්තිථික නොව ගතික සංකල්පයකි. එය කාලය හා අවකාශය අතර තීරණාත්මක වෙනස්කම් දක්වමින් අඛණ්ඩ ගමනක නොනැවතී යෙදේ.

මමය මගේය යැයි කෙතරම් ඇඳ බැඳ ගත්තද අපද නොදැනුවත්ව අප අපේයැයි පවසන සංස්කෘතිය තත්පරයක් පාසා විවිධත්වය හා මුහුව වෙනසකට ලක් වෙමින් පවතී.... දැනුදු....





නිමි

Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments:

  1. අක්කා දැන් ලියන්නේ ගොඩක් හරබර ලිපි නේ.

    ReplyDelete
  2. මේ පොඩි එකාට බරපතල වැඩි වගේ

    ReplyDelete
  3. ෆොන්ට් සයිස් එක ඉතා කුඩයි ඒ නිසා කියවන්න බෑ අඩුම තරමින් 14ටවත් දාන්න. කණ්නාඩියක් නැතුව කියවන්න පුලුවන්. සංස්කෘතිය කියවන්න උත්සාහ කරමින්....

    ReplyDelete
    Replies
    1. ප්‍රමාණය වෙනස් කළා අකුරු වල.. පමා වුණෘට සමාවෙන්න :)

      Delete

 
There was an error in this gadget