Friday, February 7, 2014

දියතලාව පසුකර හපුතලේ දක්වා සීතල දිනෙක උණුහුම් හදවත් සොයා

අද මුහුණ දෙන්න වුණේ ජීවිතේ අපූරුම අත්දැකිමක්. ඒ නිසාමයි මගේ බ්ලොග් එකේත් අලුත් කැටගරියක් මේ වෙනුවෙන්ම විවෘත කරන්න ඕන කියලා හිතුණේ. ඔන්න ඒ විදිහටයි මගේ “ක්ෂේත්‍ර චාරිකා කැටගරිය අමුතුවෙන් ලියවෙන්නේ. 



අද බදුල්ල දිස්ත්‍රික්කෙට පුදුම සිතලක් තිබුණ දවසක්. ඒ බව මට දැණුනෙ වෙනදටත් කලින් නැගිට්ටුන නිසා. ඒ නැගිට්ටුනෙත් සිතල වැඩි කමට නිදාගන්න බැරිව. අද වගේ සිතලම සිතල දවසක හපුතලේ වගේ තවත් සිතල වැඩිම දිහාවට යන්න දාගත්තු ගමන ගැන මම මටම හිතින් බැන ගත්තට පුදුම ආසාවක් තිබුණා ඒ පැත්තේ ඇවිදලා එන්න. ඉතිං සීතල තොච්චර ඇඟට වද දුන්නත් ඇඟ දන තරම් කූල් වුණ වතුරෙ පෙඟිලා ඇවිත් සාරිය පටලගෙන යන්තමින් 8 වෙද්දි බෝඩිමෙන් පිටත් වුණා. බදුල්ල කොළඹ බස් එකකට ගොඩ නූනේ යන ගමන් ජංගමයගෙ සටහන් කරගන්න ලස්සන පරිසරේ දර්ශන ටික මගහැරේවි කියලයි. ඔන්න ඉතිං පැය ගානක් ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුණ බණ්ඩාරවෙල බස් එක යන්තම් පණ ගහල ගත්තා සීතලටත් ටටා කියාගෙන. මම පෙරුම් පුරල පුරලත් මෝඩයා වගේ වාඩි වෙලා තියෙන්නේ අරින්න බැරි ජනේලයක් ගාවයි කියමුකො. ඉතින් මක් කරන්නද..... අඟල් දෙකක් විතරක් ඇරගන්න පුළුවන් වුණ ජනේලෙ අස්සෙන් ජංගමයා රිංගවලා ෆොටෝවක් දෙකක් ගත්තා.


මුලින්ම ගියේ දියතලාව කහගොල්ල කියන ගමට. බණ්ඩාරවෙලින් බැහැලා එතනින් දියතලාව බස් එකක් ගන්න ඕනි මේ ගමට යන්න. කියන්න අමතක වුණානේ ඇයි මම මේ යන්නේ කියලා. අපේ ආයතනය යටතේ ඉන්න සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත කරගෙන යන මේ පළාතෙ ඉන්න ශිල්පීන් කිහිපදෙනෙක් මුණගැහෙන්නයි මම ගියේ. මොකද මං ඉතිං ඉදුල්ල දිස්ත්‍රික්කෙට අලුතින් පත් වෙලා ආ කෙනා නිසා ශිල්පින්ව එයාලගෙ පසුබිම ගැටළු අඳුනගන්න එපැයි. කොහොම හරි මට බහින්න කියපු තැනින් යන්තන් බැහැගද්දි මාව එක්ක යන්න ආපු ශ්‍රියාවති මහත්මියත් එතැන්ට ඇවිත් හිටියා. එයා හණ කෙඳි භාවිතයෙන් අත්කම් නිර්මාණ කරන කෙනෙක්. බොරළු පාරක් දිගේම ගිහින් ගෙවල් ගානක් මැදින් අස්සෙන් අස්සෙන් රිංගලා ඒ මහත්මියගෙ ගෙදරට ළඟා වුණා කියමුකෝ.

(මේ ඒ යන අතරමග හමුවුණ හණ ශාකයක්. මේවයෙ කොළ තලලා කෙඳි අරන් පාට දාලා තම්බලා කමයි හණ නිර්මාණ කරන්නේ. ඒක හරි දුශ්කර වැඩක්. ඉස්සර කාලෙනම් නියඳ හණ වැඩ වලට කින්නර කුලයේ මිනිස්සු තමයි හිටියේ. අද වෙද්දි කුලේ බලන් නැතිව ගොඩක් අය මේ කර්මාන්තෙ කරනවා)



ඉතිං දැන් මං ගිය ඒ ගෙදර ගැන කියන්නම්. මුලින්ම රෙද්දකින් වහල එකට ළං කරල තිබුණ පුටු සෙට් එකක් ඈත් මෑත් කරලා ඉඳගන්න මිස්... මේක තමා මගේ ගේ කියලා එයා කීවා. පුංචි අන් දෙන්නෙක් මහ හටියෙන් කෑ ගගහ සීතල සිමෙන්ති පොළවේ කිසි ගානක් නැතිව නට නටා හිටියෙ මම ඒ සීතලටම අත පය අකුළුවාගෙන හිටිද්දිමයි. ඉතිං මං මුලින්ම ආ ගිය තොරතුරු කතා කරලා එයාගෙ නිර්මාණ ටිකක් බලන්න ගත්තා ඒව හදන විදිහ ගැන එයා ලබාගෙන තියන පළාත්, ජාතික ජයග්‍රහණ ගැන අහන ගමන්. ඒ අතරේ ගෙදර හිටපු තව ගෑණු ළමයෙක් මට තේ හදන්න ගියා.

ශ්‍රියාවතී මහත්මිය කුස්සියේ ඉඳන් කියනව ඇහුණ අද මිස් එන නිසාම කෙහෙල් ඇවරියක් ගන්න හිටපු බවකුත් මොකක් හෝ හේතුවකට එය මගහැරුණු බවකුත්. අර ගෑණු ළමයා මට කන්න කියලා අළුවා කිරිටොෆි කේක් එහෙම දාගෙන ආවා. මේක කියන්න හිතුණෙ, ලියන්න හිතුණෙ මේ සිද්ධිය නිසා.

“අනේ මිස් ට්‍රේ එකක් නම් නෑ

කියලා එයා තේ එක ගෙනාවේ කෑම පෙට්ටියක පියනක. ඒ වගේම මට සංග්‍රහ කරපු කැවිලි ජාති දවස් ගානක් තැන තැනින් එකතු කරගත්ත ඒව බව පෙනුණා. මට බල කළා ඒව කන්න කියලා හරි අහින්සක විදිහට. ඇත්තටම මට පිළීකුලක් ඇති වුණේ නෑ. මට ඒ අය ගැන දුකක් ඇති වුණේ. තේ එක බීලා මම කිරි ටොෆි කෑල්ලකුයි, පෙරැත්ත වැඩි කමට අයින් කෑලි කැඩිලා ගිහින් තිබුණ ඒ කේක් කෑල්ලකින් පොඩි කෑල්ලකුයි කඩාගෙන කෑවා. ඒ ඒ අයගෙ හිත් සතුටු කරන්න. කේක් කෑල්ල කද්දි ඒකෙ තිබුණ පරණ රහ මගේ දිව පුරා පැතිරුණත් මට පුළුවන්කමක් තිබුන් නෑ ඒක විසි කරන්න. මට ගොඩක්ම දුකයි ඒ වගේ ජීවත් වෙන මිනිස්සු තව කොයි තරම් ඇතිද කියල මතක් වෙද්දි.

එයාලා ඒ කෑම වෙන වෙන තැන් වලින් ලැබුණු ඒව බව නොකියා හිටියෙත් නැ. අන්න ඒකයි මම ඒ මිනිස්සුන්ගෙ දැකපු අව්‍යාජත්වය. මට හිතුණ රාජකාරියට හරි මම එහෙ ගිහින් කරන්නේ ඒ අයට කරදරයක්දෝ කියලත්. ඒත් ඒක එයාලා කරදරයක් විදිහට හිතුවෙ නැහැ.

ඒත් හිත රිදෙන දෙයක් මෙහෙදි වුණා. බදුල්ලෙ කුඹල් වෙල ඉන්න ශිල්පින් ගැන කතා කරද්දි ශ්‍රියාවති මහත්මිය කිවා අනේ මිස් ඒ අය අඩු කුලේ මිනිස්සුනේ. අපිනම් යන් නෑ එහෙ කියලා. මම කුඹල් වෙල යන්න හිතන් ඉන්න බව ඒ මහත්මියට කියන්න හිටියත් මේ කතාව නිසා නොකියා නිකන් හිටියා. ඒත් එක්කම මට කල්පනා වුණා බැරි වෙලාවත් මම අඩුකුලේක වුණානම් මේ අය මට මෙහෙම හෝ සලකයිද කියලා. ඒත් නිලධාරි මට්ටමින් සහ පිට පළාත් වලින් ආපු අපි වගේ අයගෙ මට්ටමින් සලකද්දි එයාලා කුලේ බලන් නැතිව ඇතිද? මෙයාලා තවමත් ලෝකෙත් එක්ක ඉදිරියට යන වේගයේ කොයි තරම් මන්දගාමී ඉසව්වකද කියලා හිතුණා.

තව ශිල්පිනියක් ඒ ළඟම තැනක ඉන්නව කියපු නිසා අපි වෙල් නියරවල් යායක් මැදින් ඒ මහත්මියගෙ ගෙදරට ගියා. ඒ ගමනනම් අමතක වෙන් නැ. මොකද මම හා හා පුරා කියලා වගා බිමකට පය තිබ්බෙ අදයි. යද්දි ඒ ගමට පාලමක් හදනවා. මඩ කච්චාවේ බැහැගෙනයි මට යන්න වුණේ.

මේ තියෙන්නේ ඒ දසුන්.

වැල්ගොල්ලට යද්දි පාත්ති සකසමින් හිටපු ගොවි මහත්මයා

බෝංචි වගාවක්

මායිමේ සාරි වටකරපු අල වගාවක්


කැරට් වගාවක්

දෙවෙනියට ගිය ගෙදර හිටියෙ ශාන්ති මහත්මිය. එයාත් හණ නිර්මාණ වගේම රෙදි පින්තාරු එහෙමත් කරන කෙනෙක්. එහෙ ශෝක් පූස් පැටියෙකුත් හිටියා.
මේ ඉන්නේ එයා..............



පාර දිගේ යන අතරේ ශ්‍රියාවතී මහත්මිය මූණ ඉස්සරහට හම්බවෙන හැමෝම එක්ක ටිකක් නැවතිලා ආගිය තොරතුරු කතා කරන ගමන් මාවත් ඒ අයට හඳුන්වලා දුන්නා.

“මේ අපේ අලුත් මිස්. මෙහෙට අලුතින් ආවේ. අද අපේ ගෙවල් පැත්තෙ ඇවිත් අපේ වැඩ බලන්න

එයාලට ඒක වැඩක් වුණාද නැද්ද කියන්න මං දන් නැහැ. ඒත් ඒ හැමෝම මාත් එක්ක හිනා වෙලා කතා කළා. මට මේක අමුතුයි. මොකද ගමේදි වුණත් දන්නම කෙනෙක් හම්බවුණොත් යන්නම් කියාගෙන යනව මිසක් යන එන තැන කිය කිය ගිහින් නැහැනෙ කවදාවත්. ඒක ඒ අයගෙ හැටි වෙන්න ඇති කියලා ඉතිං මං හිතාගත්තා. මොකද ඒ සිරිත් විරිත් වල අපූරු ගැමි සුවඳක් තිබුණා.

මේත් අර කලින් පාත්ති හද හදා හිටිය ගොවි මහත්මයාමයි

මගේ ඊළඟ නැවතුම වුණේ හපුතලේ. අර කියපු ශ්‍රියාවතී මහත්මියම පාරට ඇවිත් මාව හපුතලේ බස් එකකට දාන්න පැයක් විතර හිටන් හිටියා. ඔන්න අන්තිමේ මම මුල් වතාවට හපුතලේටත් ආවා. ඒ ලස්සන දැකලා මට පිස්සු හැදෙන්න තරම් වුණා. බලන්න.... 


මේ හපුතලේ දුම්රිය ස්ථානය ගාව


කොහොමද ලස්සන......

මම ගියේ නස්ලියා කියලා මුස්ලිම් ගෑණු ළමයෙක්ගෙ ගෙදරකට. මාව එක්ක යන්න එයා රේල්වේ ස්ටේශන් එක ගාවට ඇවිත් හිටියා. මුල්ම වරට මුස්ලිම් නිවසකට ගොඩ වුණේ අද. නස්ලියා කරන්නේ අත් රේන්ද, තැටින්, හණ වලින් කරන බෑග් මැක්‍රම් පර්ස් වගේ ඒවා. හරි ලස්සන කලර් ස්කීම් එකක් එයාට තිබුණා. සිංහල අය තෝරා නොගන්නා තදම තද වෛවර්ණ පාට වර්ග. එතනත් කතා බහ ඉවර කරලා මම හපුතලේ ටවුන් එකේ ටිකක් නිදහසේ ඇවිද්දා. නිනව්වක් නැතිව දුප්පත් ෆෝන් රාජයෙක්ගෙන් ෆොටෝ ගහන මේකි මොකිද කියල මිනිස්සු නොබැලුවමත් නෙවෙයි ඉතිං. මට මුකෑ කවුරු මොකව කිවත් කියලා මම හිතල හපුතලේ වෙව්ල වෙව්ල ජංගමයගේ සටහන් කරගත්තා.

මේ එන ගමන් ගත්තු තව දර්ශන කිහිපයක්


මේ ටර්පන්ටයින් ගස්ද මංදා. කඳ සුදුයි. දියතලාවෙ ඉඳන් හපුතලේට යනකන් තියෙන්නේ මේ ගස්.



ඉතිං කෙලින්ම කොළඹ බස් එකේ බදුල්ලට එන්න පුළුවන් කම තිබුණත් නිවි හැනහිල්ලේ බණ්ඩාරවෙලට ඇවිත් බණ්ඩාරවෙල ටවුන් එකේත් ඔහේ වටරවුමක් ගහලා බෝඩිමට ඇවිත් හුස්මත් කටක් අරන් ඔන්න මේකත් ටයිප් කරලා දැම්මා.


යනගමන් කන්න කියලා ශ්‍රියාවති මහත්මිය දිපු පේරේ. ඔය මැද කාලා තියෙන්නෙ මම නෙවේ ඕං......



අර කියපු අඩු කුලේ මිනිස්සු බලන්න ළඟදිම දවසක යන්න ඕනි. සමහරවිට ඊළඟ සටහන එයාලා ගැන වේවි 
Comments
13 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

13 comments:

  1. ලස්සන ගමනක්..නියමයි...
    කොහොම උනත් (හොඳ,නරක තිබ්බත්) ඒ මිනිස්සු වටවෙලා තියෙන රාමුව නිසාම තමයි ඒ මිනිස්සු සරල විදියට ඉන්නේ මම හිතන්නේ...ඒ නිසාම තමයි ඒ අව්‍යාජ බව රැඳිලා තියෙන්නේ..
    ඊළඟ ගමන තවත් ලස්සන වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔඕ එයාලගෙ අවශ්‍යතා සරලයි. නිදහස් සහ අව්‍යාජයි

      Delete
  2. අපූරු ගමනක්.. මාත් ආසයි මේ වගේ ගැමි පරිසරයක නිදහසේ ගිහින් එන්න යන්න..

    ReplyDelete
    Replies
    1. ඔවු මල්ලි. මම පින් දෙනව දැන්නම් මට මාරුව දුන්න හෙඩ් ඔෆිස් එකේ ඇත්තන්ට :)

      Delete
  3. මෙහෙත් මේ කමෙන්ට් එක දාන වෙලාවෙත් තවමත් සීතලයි. වතුර ගෑවුනාම ඇඟිලි ඉරි වැටෙනව. ඉතින් ඔය පැත්ත ගැන කවර කතා ද. මාත් මාස කීපයකට කලින් ඔය ඉසව්ව කිට්ටුවට ගියා. එතකොට නම් දකින්න ලැබුනෙ වතුර නැතුව මැරිලා යන එලවළු වගාවන්. කඳුකරේ සුන්දරත්වය තව වැඩි කාලයක් දකින්න බැරි වෙයිද කියල හිතුන මට. පින්තූර ටික ලස්සනයි,

    ReplyDelete
    Replies
    1. 'ඉරි' යන්න හිරි ලෙස නිවැරදි විය යුතුයි.

      Delete
    2. දැන්නම් පළාතම කොළ පාටින් නෑවිලා. හරිම ලස්සනයි.
      අදනම් සිතල අඩුයි සෑහෙන්න

      Delete
  4. කුලය ගැන මනින මිනිස්සුන්ව මට නම් පේන්න බෑ.මන් කොච්චර නම් මෙහෙ ඉන්න ඉන්දියන් කරයො එක්ක රන්ඩු වෙල අතිද ඔය කුල මල කතා මාත් එක්ක කියන් අවිල්ල..
    එහෙම හිතන මිනිස්සු මට නම් හරි ගොත්‍රිකයි..

    ReplyDelete
    Replies
    1. මේ සමාජය තරමක් ප්‍රාථමිකයි. ඒ නිසා අපේ සංකල්ප අනුව නැහැ කියලා ඒ අය නොසලකා ඉන්න හොඳ නැහැ මං දකින විදිහට. ලංකාවේ තාක්ෂණ දියුණුව හැම දිහාවටම එක සේ වුණ දවසට මොවුනුත් හණමිටි අත හැර දමාවි

      Delete
  5. IDB (industrial development board) එකේ එහෙම නෙමෙයි නේද වැඩකරන්නෙ ?

    ReplyDelete
    Replies
    1. නැ මං ජාතික ශිල්ප සභාවේ

      Delete
  6. රස්සාව කෙසේවෙතත් අපූරු සෞන්දර්යය චාරිකාව. ගම්වලට රාකාරි වැඩවලට ගියාම ඒ මිනිස්සු ආන්ඩුවේ නිලධාරියෙක් කිව්ව ගමන් බොහොම ගරුසරුවට සලකනවා..

    ReplyDelete
    Replies
    1. ඔවු. මට ඒ අත්දැකිම හරිම අලුත්. අවුරුද්දක් තිස්සෙ කොළඹ ඔෆිස් එකට වෙලා කාලා දාපු කාලෙ අපරාදෙ වගේ හැඟෙනවා

      Delete

 
There was an error in this gadget