Monday, February 24, 2014

ඉන්ටවිව් එහෙකට ගියෙමි

පුලපුලා බලා හිටි දවස් ගානකට පස්සෙ ඔන්න මමයි නංගියි ගියා කොළඹ පැත්තේ. ඒ අපේ ජීවිත වල හැරවුම් ලක්ෂයක් ලකුණු කරන්න තරම් වටින දවසකට කලින් දා පට්ට දවාලේ. තනියට අපේ අම්මත් ආවා. කොහොමින් හරි පහුවදා ඉන්ටවිව් එකට එන්නය කියල තිබුණෙ උදේ හතරට. ඒ හන්දා බොහොම දුර බැහැර ඉඳන් එහෙ ගිය අපි ඒ ලඟ ගෙදරක නැවතුණා. අපි ඉතිං නැවතුණේ අම්මගෙ කැම්පස් කාලේ බොක්කෙ ෆිට් එහෙකගෙ ගෙදර. අංකලුයි ඇන්ටියි අම්මයි දෙන්න තුන්දෙනාම එකම කැම්පුස් එකේ නිසා රස කතා ගොඩයි. හප්පේ අපේ කන් පිරිලා ඉතිං එදා. පහුවදා ඉන්ටවිව් එක හෙනම කට්ටක් කියලා දැන දැනත් හිටි නිසා කලින් නිදාගන්න හැදුවට කද්දිම රෑ 11 වුණා. ඉතිං මොන නින්දක්ද....

අපි දැනන් උන්නා ෆිසිකල් බලද්දි ඩිප්ස් ගහන්න දෙනවය කියලා. ඉතිං අපිට නිදාගන්න දුන්න කාමරේට ගියායින් පස්සෙ නගා කීවා එයාට ඩිප්ස් ගහන හැටි කියා දෙන්නය කියලා. මමත් සැදී පැහැදී බිම බඩගාගෙන වැඩේට ලෑස්ති වෙද්දි ඒ ගෙදර නගා ආවය කියමුකො කාමරේට... මම ඇඳ ගාව බිම. ඩිප්ස් ගහන්න ඔන්න මෙන්න ඉරියව්වෙන්. ඒ නංගි බලන්ට ඇති මේ මොන විකාරයක්දැයි කියලා, ආපු කාරියත් නොකරගෙනම යන්ට ගියා.


ඔන්න ඉතිං ඒකෙන් මේකෙන් පහුවදා උදා වුණා. අපි දෙන්න පාන්දරින් නැගිටලා සාරි පටලාන අම්මත් එක්ක ඉන්ටවිව් භූමිය කරා පිටත් වුණාය කියමුකො. අම්මව එතන එළියෙන් රඳවාන අපි දෙන්නව එක්කන් ගියා ඇතුළට. ගිය ගමන් කීවා සාරි ගලවලා බොටමට මාරු වෙන්නය, උදේම ඔයාලාට දුවන එකය තියෙන්නෙ කියලා. අපි තමා ඔන්න මුලින්ම ඇවිත් උන්නෙ. පස්සෙ පස්සෙ අනික් උදවියත් ආවා. අපි සේරම මුලින් කළේ බොටමටත් ටීශර්ට් එකටත් මාරු වෙලා පාරම්පරික ලෙඩ තියේද බලන්න ඩොක්ට ගාව පෝලිම් ගැහිලා උන්නු එක. පුරවන්න දීපු කොළෙත් අරන් පීඩනේ බලන්න ගියා ඉතිං. ඔන්න අත වටේ අරක, අර පටිය ඔතලා මිරිකනවා. ඒක පොස් පොස් ගාද්දි මම හිතින් බුදුන්ට කියනවා අනේ බුදු හාමුදුරුවනේ අවුලක් වෙන්න එපා අවුලක් වෙන්න එපා, යහතිං කෙළවර වෙන්න කියලා. අපේ නගාගෙ පීඩනේ අවුලක් වෙලා (බය වෙලාද කොහෙද හිටි නිසා) එයාව පැත්තකින් ඉන්දවලයි හිටියේ. කොහොම හරි දොස්තර නෝනා මගේ අධීක කෙට්ටුවේ හේතුව ඇහුව මගෙන්. මං කීවා ඉතිං කොච්චර කැවත් මහත් වෙන් නැතය කියලා. ඊට පස්සෙ ඊළඟ ඉන්ටවිව් එකට එද්දි තයිරොයිඩ් චෙක් කරගෙන එන්නය කියලා ලියල දුන්නා. (පෙරේදා ඒකත් ටෙස්ට් කරගත්තා. දෙයියන්ගෙ පිටිටෙන් නෝමල්).

පස්සෙ අපි සේරෝම එක පෙළට හිටවලා ඇහුවා කරපු ස්පෝට්ස් ගැන. සමහර අය නිවාසාන්තර ක්‍රීඩා උත්සවේ හිටපු ඒවත් කීවා... හි හී... මගේ වාරෙත් ආවා.. මං පටන්ගත්තා, ඉස්කෝලෙ නෙට්බෝල් ටීම් එකේ, කැන්ඩි නෙට්බෝල් ටිම් එකේ, ජාතික මට්ටමේ ජයග්‍ර...... ඩොක්ට මම කියන් යද්දි මාව පාස් කරලා ඊළඟ එක්කෙනාගෙන් අහන්න ගත්තා. සැක්...

ඔන්න ඊළඟ අදියර, අපිට බස් එකට නංගලා දුවන තැනට එක්කන් ගියා. අප්පේ එතන හිටපු පී.ටී.අයි ව දැක්කම බය හිතෙනවා. මුලින් එයා කිවා වන් පොයින්ට් එයිට් ඇන් ටූ හන්ඩ්‍රඩ් දුවන්න තියේය කියලා. මට හීන් දාඩිය දැම්මා. මං හිතුවෙ කිලෝමීටර් දෙසීයක්ම දුවන්න වේය කියලා. අඬු දිග වුණාට දුවන්න බෑ නෙව. අනික අවුරුදු හතකින් මෙහා දුවලා නෑ. අපිට දුවන්න දුන්නෙ මිටර් අටසීයක්. විනාඩි 4යි තත්පර 30කට කලින් දිව්වොත් ලකුණු 20යි. මම නංගිට කිවා මාත් එක්කම දුවන්න, මුලින්ම වේගෙන් දුවලා අමාරුවේ වැටෙන්න එපා කියලා. කොහොමත් ඉන්ටවිව් එකට කලින් මම අපේ කැම්පුස් මැරතන් ශූරයා හාක්‍රොස් පටාස්ගෙන් දුවන ටෙක්නික්ස් අහන් ආවේ. ඌ කීවා,

උඹ මුලින් ගාල කඩාගත්ත එළදෙන වගේ දුවන්න එපාය, සාමාන්‍ය වේගෙකින් ගිහින් අන්තිමේ හයියෙන් දුවපන්ය, නැතිනම් හති වැටිල මග මැරේය කියලා.
දෙවෙනියට එන්නෙ මංතුමීලු

ඔන්න ඉතිං හාක්‍රොසාගේ උපදෙස් පරිදි නගාවත් මා ලඟින්ම දුවන්න තියාගෙන අපි දුවන්න ගත්ත කමාන්ඩ් එකට. කෙල්ලො සෙට් එක පණ එපාය කියලා දුවනවා. පටන්ගත්තා විතරයි. මං නගාට කිවා එයැයිල දිවට කමක් නැතිය මා එක්ක යංය කියලා. මිටර් 400කටත් වඩා යනකන් අපි අන්තිමේට ගියේ පස්සෙ ඉස්සර කරන් දුවන්න ගත්තා සේරමලව. හි හි..... මගක් යද්දි ඔන්න හති වැටෙන්න ගත්තා. එන්න කලින් අයිය කෙනෙකුයි අම්මයි කීවා හති ආවොත් නහයෙන් හුස්ම අරන් කටින් පිට කරන්නය කියලා. වෙලාවට ඒක මතක් වෙච්චි නිසා එහෙම කරන්න ගත්තා. අම්මේ දැණුන සනීපේ... පාවෙනව වගෙයි. අන්තිමේ සේරමලව පාස් කරලා මං දුවන් දුවන් දුවන් ඉස්සරහටම ආවා. දෙවෙනියට ඉවර කරන්න පුළුවන් උනා ඉතිං. විනාඩි හතරයි තත්පර 15යි... අප්පේ මදෑ ඔයින් ගියා.
පිටකොන්ද බරුගහගත් අවස්ථාව

ඊට පස්සෙ තමා පට්ටම වැඩේ. බිම නිදාගෙන දණිස් ගාවින් තවාගෙන උරහිසේ අත් තියන් ඉස්සෙන්න ඕන අංශක 45ක්. බුදු අප්පච්චියේ.... විනාඩි එකහමාරටද කොහෙද 20ක් කරන්න ඕනි. ටිකක් කරගෙන ආවා. ඒත් එක්කම ආයෙ බිමට යද්දි කරන්නම බැරි වුණා.... සැක්... ඒකෙන් මට ලකුණක්වත් නැද්ද කොහෙද. ගෙදර ඇවිත් බලද්දියි දන්නෙ ඇයි කරන්න බැරි වුණේ කියලා. පිට දිගේ තියන මගේ ඇටකටු කූඩෙ ඉලිප්පිච්ච ඇටකටු ගල් පොළවෙ බැදිලා හම බරුගැහිලා ගිහින්. අනේ මගේ දුප්පත් අස්ථී පංජරේ.....

ඊළඟට ඩිප්ස් ගහන්න තිබුණෙ. අම්මේ යාන්තන් 4ක් ගහගත්තා. වැලමිට ගාවින් මගේ අත් නැවෙන්නෙම නෑ. හි හි
ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ

සේරටෝම ඔන්න එන්නය කියලා ආයෙම බස් එකේ දාගෙන තව තැනකට ඇන්න ගියා. ඒ ඇස් උස බර වර්ණ අරව මේවා පරික්සාවට. උසනම් ඉතිං ඕනැවටත් වඩා තීනවනේ. අනික්වත් හරි. කොහොමත් බුදුන්ට කිය කිය හිටියෙ අර පුංචි කූඹි අකුරු ටික මට අඳුනගන්න පුළුවන් කරන්නය කියලා.

කලර් විශන් බලද්දි එක එක පාට සත්තු පෙන්නුවා. මං පටන්ගත්තා කියන්න. චිත්‍ර ඇඳලා ඇඳලම හැඩතලයි වර්ණයි හොඳට හුරුයිනේ ඉතිං. ඩොට්ස් වලින් තිබුණත් අවුලක් වුණේ නෑ.

කොළ පාට ජිරාෆුයි දුඹුරු පාට මොල්ලි දෙකේ ඔටුවයි... පලවෙනි රූපෙ දකිද්දිම මං කීවා

නෑ නෑ පාට කියන්න ඕන නැ පේන රූපෙ විතරක් කියන්න... පෙන්වන්න හිටි කෙනා කීවා. මං ඒත් හිතුවා කලර් විශන් වුණාට පාට ඕන නැතිව ඇති එහෙනම් කියලා. පෙන්නපු පෙන්නපු එක කියන් කියන් ගියා. අන්තිමේ කිසි කමකට නැති හැඩයක් පෙන්නුවා. මට අඳුනගන්නම බැරි වුණා. මං කීවා ඒක මොකද්දෝ කොළ පාට හැඩක් නැති හැඩයක් කියලා.

දැන් තමයි බය හිතෙන හරිය. ඒ තමා ඉන්ටව්වි එක. විනාඩි දහයක් දුන්නා කට්ටියටම සාරි ඇඳගන්න ආයෙම. ඉතිං ඇඳගත්තයින් නොගත්තයින් සාරි ටික පටලගෙන අපි ආය ආවා ඉන්ටවිව් කරන්න ගෙනියන තැනට යන්න. මාල වලලු කරාබු ටික මග යද්දි දදා ගියා.

හිටියා හිටියා හිටියා... සෑහෙන වෙලාවක් ඉඳගෙන හිටියා. ඒ අතරෙ ඔන්න අපිට තේයි බිස්කටුයි දුන්නා. දැන් දැන් ඔන්න බය ටික ටික වැඩි වෙනවා. අප්පේ මොනවා අහයිද? අන්තිමේ මගේ වාරෙත් ආවා. සබ්බ සකලමනාවම අරන් මං ඉතිං ගියා ඔන්න. සහතික ෆයිල් එකයි. ඩෙසියයි. පබ්ලිකේශන්ස් තිබුණ ෆයිල් එකයි... ඒ සේරම මටත් වඩා බරයි. ඒ නිසා ඒව ගැන අවුලක් තිබුණෙ නෑ. අවුල තිබුණෙ අහන ඒවට උත්තර දෙන්න පුළුවන් වේද කියන එක. කොරේ පිටට මරේ වගේ මෙන්න බොල කඩ්ඩෙන් නෙව අහන්න ගත්තේ. මට ඉතිං එපා වුණා. දාඩියත් දානව දානව වගේ. ඒත් මං  කල්පනා කරනවා, යකෝ ඉන්ටවිව් එහෙකට ආවම දාඩිය දාන්න හොඳ නෑනේ... හිඳියන් දාඩිය හිඳියං...... ඉන්ටවිව් බෝඩ් එකේ හතරයි. වටේ හැටක් විතර හිටගෙන ඉන්නවා. වටේ හිටපු අය කළුද සුදුදවත් කියල මං බැලුවෙ නෑ. ඒ අස්සෙ කෙනෙක් 4ටෝ ගන්නවා.
බරසාර ෆයිල් ගොඩ උස්සාගත් මං..... 

මං ඉතිං කියනකන් ඉඳලා කිවට පස්සෙ ඉඳගත්තා හිනා මූන දාගෙන. මුලින්ම ඇහුවේ ඉස්කෝලේ... පස්සෙ බකස් ගාලා ඇහුවා ලංකාවෙ අගමැති කවුදැයි කියලා. මට හිනා ගියා යන්තමින්... අගමැතිතුමාව මතක් වෙලා. උන්දැ ගිය පාර අපේ ඔපිසියේ සම්මාන උළෙලටත් ආව මතකයි නෙව. ඇවිත් කරපු කතාවත් මතක් වුණා වචනයක්වත් වෙන් කරලා අල්ලගන්න බැරි වුණත්.

මයේ ගැන විස්තරයක් කරන්නය කියලා කීවා. නිකමටවත් එන්න කලින් මට ඕක කියයි කියල මතක් වුණේ නෑ නෙව. නැත්නම් යස අගේට ටිකක් හිතන් ඇවිත් කියන්න තිබුණා. මට මාවත් මතක නෑනෙ සිරාවට....

දැන් තමයි ප්‍රශ්න ප්‍රහාරය... අප්‍රිකා මහාද්වීපෙ රටවල් තුනක් කියන්න. අනේ දෙයියනේ හදිස්සියට මතක් වෙන් නෑ. කොහොමින් හරි දෙක තුනක් කීවා. මං කියපු සමහර රටවල් ඒ සර් දන් නැ. ඉතිං මං මුනා කරන්නද? ප්‍රසිද්ද ඒව වෙනුවට මට මතක් වෙන්නෙම ලෙක්චස් වලදි ගෝත්‍රිකයො ගැන උගන්වද්දි කියපු පොඩි රටවල්. කොහොම හරි කිවා. ඒ අතරෙ මුරුසියයි කියපු නිසා ඇහුවා ලංකාවෙන් එහෙට පිටුවහල් කළේ කාවදැයි කියලා. කිං රාජසිංහව යැව්වද? මංදා මං කීවා. ඇහැලේපොළවයි කැප්පැටිපොළවයි දෙන්නම මතක් වෙච්ච නිසා හරියට මතක් කරගන්න බැරි වුණා බෙල්ල ගැහුවෙ කොයි පොළගෙද රට පැටෙව්වෙ කොයි පොළවද කියලා.

ඊට පස්සෙ අහපි සාක් රටවල් කියන්නෙ මුකක්ද, ඒව නම් කරන්නය කියලා. එක වටේක පිළිවෙලට කියන් එද්දි දෙකක් අමතක වෙනවා. ඊළඟ වගේ කියන් යද්දි මුලින් කියපු දෙකක් ආයෙ අමතක වෙලා නොකියූ දෙක මතක් වෙනවා. හත් දෙයියනේ ෆෑන් තිබුණට හුළං මදි ඒවයෙ.

ඔන්න දැන් ප්‍රශ්න අහපු සර් තව මැඩම් කෙනෙක්ට කිවා මගෙන් ප්‍රශ්න අහන්නය කියලා. මැඩම් හිටියෙත් බය වෙලා වගේ. එයාගෙ මූන දැක්කම මටත් බය හිතුණා. හි හි... මැඩම් තමා මාව අමාරුවෙ දැම්මේ. මොකද්ද එකක් කියන් ගියා. මට තේරුන් නෑ. මං ආය අහද්දි එයා ටිකක් හිමිට කීවා. ආ... මේ එයා අහල තියෙන්නේ අර සංවිධාන ගැනනේ. වචනයක් දෙකක් අල්ලගත්ත නිසා යන්තන් ජාමෙ ගොඩ දාගත්තා. යුනෙස්කො, යුනිසෙෆ්....

අර බලන්න අරය ඇයි වැටිලා, බලන්න එයාට මොනාද කරන්න ඕන කියලා....

යුනෙස්කෝවෙ මං අතරමං වෙලා ඉද්දි අර සර් කෙනෙක් මට කීවා කලබලෙන් වගේ... අපොයි එතකොටයි දැක්කෙ මං. ප්‍රථමාධාර දෙන්න මම දන්නවද කියල බලන්න කෙනෙක් රඟපානවා බිම වැටිලා හදිසි අනතුරක් වගේ. වෙලාවට එයා වැටිලා දඟල දඟල හිටියේ. වැටුණු විදිහ මං නොදැක්ක නිසා, බැරිවෙලාවත් කරන්ට් වැදිල හරි කලන්තෙ දාලා හරි වැටිලා හිටියනම් මම දන් නෑ මොකද්ද එයාගෙ අනතුර කියලා.
ෆිට් එක හැදුනා සේ රඟපාන කෙනා ගාව අසරණ මං

දැන් ඔන්න අර වැටිච්චි කෙනා දඟළනවා හරියට දියෙන් ගොඩ දාපු මාළුවා වගේ. මං එයා ගාව ටිකක් ඉඳගත්තා දැන් මුකෝ කොරන්නෙ කියල කල්පනා කොරන ගමන්. ඒ ළඟ පොල්ලක් තිබුණා. මං දැන් හිතනවා ඒ පොල්ල මෙයාගෙ කටේ දානවදෝ... නැතිදෝ.. කියලා. පොල්ල හරියට පරණ තෙත් වෙච්ච කොහු මිටක් වගේ. රඟපානව වුණත් මේ මනුස්සයා කැමති වෙයිද ජරා පොල්ලක් කටේ තියාගන්න.....? මං ටිකක් බැලුවා. එයාගෙ කට දෙපැත්තෙන් අල්ලලා දත් ටික ඈත් කරන්න හැදුවා. සැක්.... මාරෙට එයාට දාඩිය දාලා. ප්‍රථමාධාරෙ කෙසේ වෙතත් මම එයාගෙ දාඩිය ගෑවුණ මගේ අත පැත්තකට ගත්තා. :/ අර සර් මගෙන් ඇහුවා මොකද්ද එයාට වෙලා තියෙන්නෙ කියලා. ඉඳගෙන හිටපු හතර දෙනයි වටේ හිටන් හිටපු අයයි සේරම මං දිහා බලනවා. හැපෝ.... ඩ්‍රාමා එකක් පෙන්වනවා වගේ. ඒ අස්සෙ කෙනෙක් 4ටෝ ගහනවා.

මං කීවා, එයාට ෆිට් එක සර්.

එතකොට මොකද කරන්න ඕන? සර් ඇහුවා...

දත් එකට පුට්ටු වෙන් නැති වෙන්න ලී පතුරක් වගේ දෙයක් දත් අතර හිර කරන්න ඕන...

හරි හරි නැගි එන්න... (හම්මේ යාන්තන් ඒ මරාලෙත් ඉවරයි. මං ආමෙ ගිහින් පුටුවෙ වාඩි වුණා.)

තව ටිකක් අරව මේව කතා කළා. දැන් කරන ජොබ් එක, ඒකෙ තනතුර, වැඩ කරන තැන, මේකට දාන්න හේතුව,


ඉන්ටවිව් එක ඉවර වුණා දෙයියන්ගෙ පිහිටෙන්. මාර සැනසීමයි. දැන් බලන් ඉන්නේ ඊළඟ පියවරට පාස්ද කියලා තොරතුරු දැනගන්න. අනේ බුදු හාමුදුරුවනේ මටයි නංගිටයි ඒකෙන් තේරෙන්න ලැබෙන්න. ලැබෙන්න. ලැබෙන්න
ගෙදර බලා ආ අපි දෙන්නා

Comments
25 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

25 comments:

  1. මොකද්ද මේ ඉන්ටර්විව් එක?

    ReplyDelete
  2. බුදු අප්පොච්චියේ අපායේ මොකක් හරි තනතුරක් ගන්නද ඔය හදන්නේ..

    ReplyDelete
    Replies
    1. හේ හේ.... තේරුණොත්නම් ඉතිං දිව්‍යලෝකෙ ගියා වගේ තමයි

      Delete
  3. මේ මොන විකාරයක්ද ? මේ වගේ විකාර ලියන වෙලාවේ ලෝකෙට වැඩක් ඇති වැඩක් කරානම් හොඳයි නේද?

    ReplyDelete
  4. ක්‍රීඩා අමාත්‍යංශේ ‍රැකියාවක්ද?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  5. සිත්තරීගේ සිතුවම් ටික නම් මරු...

    ReplyDelete
    Replies
    1. අනේ මේවා බලි කුරුටුනෙ නලින් අයියේ

      Delete
  6. රටවෙනුවෙන් අපි නගා ඔයා හරි මේ කතාව මිට වසර ගණනකට පෙර මේ රටේ විශාල පිරිසක් එක් වු බව අපි දන්නවා නමුත් අද එදාට වඩා වෙනස් ඇති හරියට වැක් කරන්න උගන්වන තියරිය නිසා තමයි මේ හැටි මහන්සි කරන්න ඇත්තේ ....මම කිවේ උඹට පුළුවන් අනාගතයෙදි සැළුට් ගහන්න සුදානම් අපි ඒ දවස බලන්න

    ReplyDelete
    Replies
    1. :) ඔහොම හිටිමු ඊළඟ දෙක පාස් වෙනකන්
      අනේ මට බයයි :(

      Delete
  7. දෙවැනි එකේ මුහුදට අල්ලලා දානවා... :v :v ...

    ReplyDelete
  8. මේක ලියලා තියෙන විදිය නම් මරේ මරු...මගේ හිත ගත්තා බොලාගෙ ඉන්ටර් විව් එක
    ඊලග වටයට තේරියන් කියලා මමත් එළවලු තෙල් පහනක් හරි පත්තු කොරලා ප්‍රාර්තනා කොරන්නම්...

    ReplyDelete
    Replies
    1. එලෝලු තෙල් වලට කාසි නාස්ති කරන්නේ මක්කටැයි අයියේ? අපිටනම් පොල් තෙලුත් අහේනි කාලේ මේ.....

      මුකුත් නැතිව ඔන්න ඔහේ පැතුම විතරක් මෙහෙට එවන්ට. හොඳටෝම ඇති :)

      Delete
    2. මං ඉන්න රට තමයි ලෝකෙම එළවළු තෙල් නිෂ්පාදනයට කප් ගහලා ඉන්නෙ...මෙහෙ පොල්තෙල් පට්ට ගනං...හැමතැනම ගන්නත් නෑ...

      Delete
  9. මුකක්ද අෆ්ෆා මේ ? o.O

    ReplyDelete
    Replies
    1. අර උඩ කියල තින එක අෆ්ෆා

      Delete
  10. මට මතක් උනේ කැඩෙට් කාලේ කරපු physical ටෙස්ට් එක. සුභ පැතුම් ආ!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතී ඈ...
      ඔන්න ඒක පාස් කියලා දෙවෙනි එකට එන්නය කියල කිවා ^_^

      Delete
  11. හෆ්ෆේ මේක ලියලා තියෙන විදිහට එක පාරම හිතා ගන්න බැරි වුනා මොකක් ගැනද මේ කියන්නේ කියලා..

    ReplyDelete
  12. ආහ් ..නේවි ඉන්ටර්විව් ගිහින් වගේ නෙහ්...:D

    ReplyDelete
  13. හි හි ලස්සනයි ඔයා දුවනවා මැවිලා පේනවා.. පින්තූර ටිකත් හොදට ඇදලා..පාස්වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ.. කතාවම රසවත්ව ලියලා තියෙනවා.

    ReplyDelete
  14. ඔන්න එහෙනම් සුභ පැතුම්...

    ReplyDelete
  15. මොකක්ද මේ ඉන්ටර්වීව් එක පොලිසියේ එස්.අයි ද ?

    …ආහ් මුරුසියට පිටුවහල් කළේ ඇහැලේපොළවයි, පිළිමතලව්වේගේ පුතායි. එයත් පිළිමතලව්වේ තමා :D

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ආමි එකට ‍පො‍ෆෙෂනල්ලා ගන්න ඉන්ටව්ව් ගියාද...‍මොකක් වුනත් ලස්සනට ලියලා තියනවා..‍ෂොක් නාගා... - ඔබනම් ‍දක්ෂ ‍ලේඛිකාවක්

    ReplyDelete

 
There was an error in this gadget