Sunday, February 9, 2014

සමුගනිමු ගුල්සාරි


“.... ගුල්සාරි හැමවිටම පාහේ දිගු ලොමින් ගහන ගෙලැති විශාල වෙළඹක වු සිය මව පසුපසින් තණපිටි හරහා වැටි වැටී යමින් නැගිට ගන්නට හා හා පුරා කියා වෙර ගත් පළමු අවස්ථාවේ සිට පැවතියා වූ තමාටම විශේෂ වු ගමන් ලතාව රැක ගන්නට උත්සාහ දැරීය........... දිගු ලොමින් ගහණ ගෙලැති උගේ මවු වෙළඹ දිස් වූයේ උණුසුම් කිරි පැහැති වලාවක් පරිද්දෙනි.... ඇගේ තණපුඩු දැඩි වූ අතර ඉන් ගලා ආ කිරෙහි මිහිරෙන් හා අධික බවින් ගුල්සාරිට ඉස්මුරුත්තා ගතියක් පවා දැනුණේය.... අම්මා - යන මේ සියල්ලම එකම එක කිරි උගුරක අඩංගුව තිබුණේය...... ගෙලෙහි ලොම් ගහන වූ විසල් වෙළඹද තදැති මවක් වන බවක් පෙනිණි. නුවුවමනා හිරිහැර ගුල්සාරිගෙන් පැමිණෙන විට ඇය කළේ පැටවාගේ අර මදක් රිදෙන්නට හැපීමය. තව දුරටත් ඇති තරම් බොන්නට කිරි නොවී. ඌට තණ උලා කෑමට සිදු විය....


කාලය නම් එයයි. එය හිටිවනම නවතින්නේ නැත. වුවමනා වුවද නවතාලිය නොහැක. උහු ළඟා වි සිටියේ එහි අවසානයටය. තව දුරටත් කාලය හා තරඟයේ පැටලී දිවිය නොහැකි වූ අසු සිය උර මත උපතේ සිට පටවාගෙන පැමිණි බර සැහැල්ලු කිරීමට සුදානමින් සිටියේය.

“අසුගේ මහළු, පීඩිත හදවත වේදනාවෙන් පෙළුණු අතර කරපටිය හුස්ම ගැනිම තවත් අසීරු කළේය. ලිස්සා ගිය සෑදලයේ පටි අසුගේ සම කපාගෙන ගොසිනි. කරපටියේ වම් පැත්තේ යටින් වූ කිසියම් තියුණු උලක් දිගින් දිගටම ගෙලෙහි ඇනෙමින් පැවතිණි......


චිංගීස් අයිත්මාතොව් දහසකුත් අරගල මැද ජිවිතය ගැටගසාගන්නට පොර බදන මිනිසාගේ ගැඹුරු සිතිවිලි අපූරුලෙස නිර්මාණයට නැගූ රචකයෙකි. ගුරු ගීතය, ජමිලා වැනි ග්‍රන්ථ ඔස්සේ ඔහු හඳුන්වා දෙනු ලබන චරිත ජීවිතයේ අනන්ත දුක් වේදනාවන් කරපින්නාගත්තා වූද, යුතුකම් වගකීම් රැසකට මැදිව ඉදිරියට ඇදෙන්නා වූ සමාජ යථාර්ථයන් හුවා දක්වන්නා වූ කටුක ජිවන අත්දැකිම් වලින් ගහණ ඒවා වේ. “සමුගනිමු ගුල්සාරි” ඔස්සේ විවරණය වන්නේද එවන් දුක්ඛිත ජිවන අත්දැකිම් සමුදායකි. නමුත් එහි ගලායන්නා වූ අපූර්ව වෙනසක් අපට දැකිය හැකිය. කතුවරයා මෙහිදී අශ්වයකුලේ සිතිවිලි තුළට කිඳා බැස එම සත්වයාගේ උපතේ සිට මරණය දක්වා වූ ගෙවන ලද සුන්දර මෙන්ම කටුක ජීවන අත්දැකීම් ඔස්සේ පරිකල්පනය මෙහෙයවමින් අනුවේදනීය වූ කතා පුවතක් ගෙනහැර දැක්විමට සමත්කම් දරා තිබීමයි.

ඔහු හා බැඳුණු, සිය අශ්වයා කෙරෙහි පවතින ආදරණීය සිතිවිල්ලෙන් සිත ගලවාගත නොහැකි වූ ඔහුගේ ස්වාමියා වූ තනබායි පක්ෂ සාමාජිකයෙකු ලෙස සිය වගකිම් වලට යටත්ව ගෙවා ඇත්තේ සතෙකුටත් අන්ත දිවියක් නොවේද? යන පැනය කථාවේ ගලා යාම තුළ අප සිතට නොනැගී තිබේවිද....? ධනවාදයත් සමාජවාදයත් ඈ නොයෙකුත් සමාජයීය සන්ධර්භයන් තුළ පංති භේදයක්, තනතුරු භේදයක් අරභයා පැනනගින ගැටළු, දුර්මත, පරපිඩක මනෝභාවයන්, ව්‍යවස්ථාවන්ගේ සිදුරු තුළින් රූරා ගලන අපසිතිවිලි නොමැතියේද? කථාවේ ගලායාම තුළ අප රඳවන මනෝභාවය එයයි.


අසුට සිය සිතිවිලි වදන් කළ නොහැක. තම පවුලෙන්, තම ආදරණීයයන්ගෙන් වෙන් කරන තම නිදහස යළි තමා සන්තක කරගැනිම පිණිස ඔහුට කිසියම් හෝ හඬක් නැගිය නොහැක. තම අවසරයට පටහැනිව කප්පාදු කරන ලද තම අයිතීන් යළි ලබා ගනු වස් ඔහු එදිරිවාදිකම් පානුයේ, තමා සිය හිතවතුන්ගෙන් වෙන් කරගෙන යනු ලැබීමෙන් පසු ගාල් කර තබන ලද රැහැන් බිඳගෙන නැවත තම ආදරණීයයන් සොයා පැමිණීමෙනි. තනබායිගේ සෙවනේ නිදහසේ නිදැල්ලේ ගතකරමින් සිටි කාලය අවසන් වී හුදෙකලා ගාලක් තුළ රැකවරණයකින් තොරව ඔහේ ලැග සිටිම අසු රැස්සන්නේ නැත. සිය අසුගේ සුසුම්හි තෙත් බව උණුහුම පවා හඳුනමින් ඌ කුඩා කල සිට උගේ සිතිවිලි කියවීමේ හැකියාව ලද ඔහුගේ හැබෑ ස්වාමියා වු තනබායිට අසුගේ නිදහස වෙනුවෙන් කළ හැකි යමක් වේ නම් ඒ උගේ දුක වෙනුවෙන් සුසුම් ලෑම පමණි. ඒ ඔහු බැඳී රකිමින් සිටි නීතිරීති සමුදාය වෙනුවෙන් ඔහුට කළ හැකි උපරිම වු කැප කිරීමයි. නමුත්...., ශීත කාලයේ ගල් වන තරම් ශීතලේ මිදෙමින්, බැටළු වසුරු මත ලගිමින් සමූහ ගොඩිපලට අයත් පොදු සම්පතක් වූ බැටළු රංචු අනන්ත දුක මධ්‍යෙය් රැක බලා ගැනීම වෙනුවෙන් ඔහු ලද ලාභය කුමක්ද....? අප විමසිය යුතුතේ එයයි. සිය ජීවිතය දෙස නැවත හැරී බලන ඔහු විමසන කරුණද එයයි.


“ගුල්සාරි! උඹ හොඳ කදිම අශ්වයෙක්. මගේ යාලුවා වෙලා හිටියෙත් උඹ තමයි. මේ විදිහට ඔඹ මගෙන් වෙන් වෙලා යන කොට මගේ ජීවිතේ හොඳම කාලෙත් උඹත් එක්කම යන්න යාවි. මං කවදාවත්, කවමදාවත් උඹව නම් අමතක කරන්නේ නැහැ. තාමත් උඹ ජීවතුන් අතර. ඒ වුණත් මම දැනටමත් උඹ ගැන කල්පනා කරන්නෙ මැරිච්ච එකෙක් ගානට. ඔවු! ඒත් ඉතිං උඹ මියැදෙමින් තමයි ඉන්නේ. අනේ මගේ හොඳ අශ්වයා ගුල්සාරි. කවදහරි දවසක එහා ලෝකයේදි අපි දෙන්න මුණගැහේවි. ඒත් එහෙදි මට කවදාවත් උඹේ කුර සද්දෙ නම් ඇහෙන එකක් නෑ. එහෙ පාරවල් නෑ. තණකොළ, කොටින්ම ජිවිතයක් එහෙ නෑ. ඒත් හැම තිස්සෙම උඹ මගේ මතකය තුළ ඉන්න හන්දා කවමදාවත් උඹ මැරෙන එකක් නෑ ගුල්සාරි. උඹේ ඔය කදිම කුර හඬ ජීවිත කාලය පුරාම මං වැඩියෙන්ම අහන්න ආශා කරපු ගිතය වේවි.”

ජීවිතය වූ කලි අරගල රැසක කදිම එකතුවකි. මිනිසුන් සිය දිවිය කැඩී බිඳී විසිරි යාමට නොදී ගැටගසාගනිමින්, එළලාගනිමින් පිරිමසාගන්නේ ලෝකය තුළ හවුහරණක් සොයාගනු පිණිසය. එය සැබැවින්ම තනබායි ජයිදාර් වැන්නවුන් අණ්ඩ දමමින් වුව සකසාගන්නා දිරා ගිය ෆෙල්ට් කූඩාරම් වුව, ඉඩපාඩු ඇහිරුණ කැන්වස් කූඩාරම් වුව ඒවා ජීවත්විමට හවුහරණක් සපයයි. මිනිසකුට තමා හුරු පුරුදු වූ ජීවන රටාවෙන් සම්පූර්ණයෙන්ම අත්මිදී හුදෙකලා පැවැත්මකට යොමු වීම අසීරු වන්නේ අවිනිශ්චිත නුහුරු පැවැත්මක් තුළ තමා ‘ජීවත් වන්නේද යන ගැටළුව පැන නගින හෙයින් විය යුතුය. එහෙයින් නැවත තනබායි පක්ෂ සාමාජිකත්වය ඉල්ලුම් කරනු ඇත.

“බොහෝ දින ගණනක් පුරා ඔටු මව තම පැටවාට අඬගාමින් ඇවිද්දාය. අඳුරු ඇස් ඇති මගේ පැටියෝ නුඹ කොහිද? උත්තර දිපන් මට... බුරුල්ල උතුරා ගලා ආ කිරි බිඳු ඇගේ දෙපා දිගේ පහළට ගලා හැලුණි. නුඹ කොහේද? උත්තර දිපන් මට. දිගින් දිගටම ඇගේ බුරුල්ල උතුරා කිරි ගලා ගියේය. ඒ වූ කලි ඇගේ ලෙයින් නිපදවුන පිරිසිදු, සුදු පැහැ කිරිය.......


නිමක් නැති ජිවින සටනේ මිරිකෙමින් මියැදෙන ජනයාගේ දුක කඳුල දහඩිය අදත් හෙටත් කවදත් නොනැවති ගලනු ඇත.
Comments
10 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

10 comments:

  1. ගුරු ගීතය නම් කියෙව්වා. මේ පොතත් හොයාගන්න ඕනේ.

    ReplyDelete
  2. අයිතමෝව්ගේ පොතක් නම් ඉතිං අනිවාර්යෙන්ම හදවතට කතා කරන ගතිය ඇති. කියවිය යුතු පොත් අතරට මේකත් දාගන්නවා එහෙනම්

    ReplyDelete
  3. මම ඕක කියෙව්වා.....හිමිහිට.....ටික ටික....නතරකර කර ජීවිතය යනු එයයි,,,,,,,,,,,,,,,,,අපුඋරු ජීවිත විවරණයක්...........

    ReplyDelete
  4. කියවා ඇති වාර ගණන මතක නැති තරම්ය.මගේ ජීවිතයේ මා කියවූ පොත් ගොන්නේ ඉහලම තැනක් උහුලාගෙන ඉන්නට ගුල්සාරි සමත් වූවේය.

    ReplyDelete
  5. හොද විස්තරයක් අක්කේ . ආස හිතුණා.

    ReplyDelete
  6. පොත් නම් ඉතින් මට කියවන්න අහුවෙනවා අඩුයි අක්කේ..

    ReplyDelete
  7. මෙවැනි ලිපි තමයි මම ජාලෙන් වැඩිපුර කියවන්න කැමති. ඉදිරියේදී තවත් වටිනා ලිපි සමග හමුවෙමු..මේ මගේ පළමු කමෙන්ටුවයි...

    ReplyDelete
  8. ඇත්තටම මුල වතාවෙදි කියෙව්වම මට තේරුණෙත් නෑ.. මං හිතන්නෙ එතකොට මං හතර වසරෙ.ඒත් ඊට අවුරුදු ගාණකට පස්සෙ මං කියෙව්වම දැනුනු හැඟීම් කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි.අදටත් ඇහැට කඳුළක් එක්ක පොත ගැන මතකෙ හිතට එන්නෙ.. ස්තූතියි මතක් කරලා දුන්නට!

    ReplyDelete
  9. ලංකාවෙ රුසියානු පාඨකයන්ට මක්සිම් ගෝර්කිගෙන් පසු හොඳම රුසියානු නවකතාකරුව වෙන්නෙ චිංගිස් අයිත්මාතෙව්. ඇත්තටම ඔහුගේ සිලුම කෘතීන් තුළ ජීවිතය දේශපාලනය ගැන ගැමුරින් කතා කරනවා

    ReplyDelete

 
There was an error in this gadget