දින සටහන්යැයි කීවාට මේ ලියැවෙන්නේ අදාල දින වලින් ගතහොත් සිදුවීම්හි පෙළගැස්මක් නොව දිනය තුළ උපන් සිතිවිලි පෙළගැස්මක් බව පළමු කොට කියමි. ඇරඹුමේදීම හූනෙකුගේ සන් කිරීම, මේ ලියනා කරුමක්කාරියගේ දිවිය හා නිතැතින් බැඳී තිබුණාවූ ඛේදවාචකයන් සමග පෑහුණ කල ආගන්තුක යමක් යැයි කිව නොහැකිය. එනිසා වැඩිමනත් තතු නොකියා හූණා කෑ ගැසුවේද කරුමක්කාරියගේ ඉරණම ඉතා හොඳින් තහවුරු කිරීමට බැව් ලියා මම අද දවස අරඹමි.
ඇය කවුද කින්ද මන්ද යැයි කිව යුතු නොවේ. මන්ද ඇය විශ්වය තුළ කිසිවකු නොවන බැවිනි. උපතේ සිට ඇය නොසලකාහරිනු ලැබූ තැනැත්තියකි. පෙනි පෙනී සිටියද කාගේ හෝ අවධානයට ලක් නොවී පවුලෙන්ද අත හැරුණු තැනැත්තියකි. ඇය කළේ සිතට නැගෙන සියල්ල ලිය ලියා පොත් පිරවිමයි. ලියනු ලැබූවක් නැවත කියවූ ඇය තමා පිළිබඳවම කලකිරී එම පොත් ඇවිළෙනා ගිනිමැලයකට විසි කළාය. ඒ බොහෝ විට කුස්සි පිළිකන්නේ කුණු පිළිස්සීම සඳහා අවුළුවන ලද ගින්නයි. කුණු සමග එක්වී, විශ්වයේ සියලු බැඳීම් රැඳි හස්තයන්ගේ ඇඟිලි අතරින් රූරා වැටුණු ඇගේ ජීවිතයේ මතක සටහන්ද පිළීස්සී ඇඹරී ගිය වාර බොහෝය. එවිට ඈ ඇඹරෙමින් රතු පුල්ලි විහිදුවමින් අවසන කළු පෑ සැහැල්ලු යමක් බවට පත්වි අළු වී සුළඟට හසුවන, පෙර තමාගේ සිතිවිලි සාරය වැකි පත්ඉරු දෙස බලා සිටින්නී, ඇගේම දැවී හළුවන වේදනාව තුළ ගිලී හැඬුවාය. හිරවූ ඉකිය පපුව තුළ ගිගිරුම් හඬ නගද්දී නිසල වතින් අළු ගොඩ දෙස බලා සිටියාය.
තත්වය සමහන්ව ගිය අතර බොහෝ ගණනක් ගෙවුණු ඉක්බිති දිනෙක ඇය කවියෙන් සිය සිතිවිලි වලට පණ පොවන්නට තැත් දැරීය. තාලයක්, එළිවැටක්, පිළිවෙලක්, රසයක් නැති ඇගේ ජීවිතයේ තත්පරෙන් තත්පරය ඇගේ මවු භාෂාවේ ඒ වන විටත් තිබූ දසහකුත් අලංකාර වදනින් ලස්සන කර ලියන්නටත්, තව කෙනෙකුගේ රසය සදහා සුදුසු පරිදි එය ඔපමට්ටම් කරන්නටත් ඇය හුරු වූයේ ක්‍රමයෙනි. එහෙත් ඇයට ඒ සඳහා බොහෝ වෙහෙස අනවශ්‍ය වූවා සේම, ලියන්නට වන් කල සිතීමෙන් තොරව සිතිවිලි සමුදායක් වේලි නොබැඳි ගඟකින් බෑවුම් මගක සමුදුර වෙත ඇදී යන්නා සේ ඇගේ අතැඟිලි අතරින් ගලාවිත් පත්ඉරු මත සටහන් විය.
රෑ නින්දේදී, සැබැවින්ම කිවහොත් අඩ නින්දේදි බොහෝ සිතිවිලි ඈ මනස කරා ඇදි ආ අතර, නින්දේම අවදිව ඈ එකෙණෙහිම කටු සටහනක ඒවා සටහන් තබා ගත්තාය. නැතහොත් උදා හිරු කිරණත් සමගින් එළියවන කාමරයේ ආලෝක රැස් අතරේ ඒවා රහසේම මැකී යාම අනිවාර්යයෙන්ම සිදු විය. ඇතැම් දිනක එලෙස සටහන් තබා ගැනිමට ඈ නොසමත් වූ වාර වල බොහෝ වටිනා වූද, පියවි සිහියෙන් සිටින කිසි දිනෙක ඈ වෙත නැවත නොඑළඹෙන්නා වුද සිතිවිලි සිය ගණනක් ඈ මතකයෙන් ගිලිහී ගොස් තිබිණි.
සැබැවින්ම කියන්නේනම් ඈ ලීවේ පියවි සිහියෙන් සිටියදී නොවේ. අසිහියත් සිහියත් යා කෙරෙන මානයකදී සංයුක්ත වන ඇගේ සිතිවිලි කිසිදු පෙළඹවීමක් නොමැතිවමද ඔපමට්ටම් වී පෑන් තුඩගින් සුදු පෑ මලාණික කරදහි මත ලියවිණි. ඈ ලියූවක් බලා ඈම පුදුම වන වාර අනන්ත අප්‍රමාණ වශයෙන් ගෙවී යමින් පැවතියදී සැමට අමතකව අත් හැර දැමුණු ඇය, ඇගේ පවුලේ අය අතර කෙසේ වෙතත් ඇගේ මිතුරු සමූහය ඈ කෙරෙහි ඉව වැටී ඈ වටා තව තවත් රොක් විය. ඒ සඳහා වෙනත් හේතුවක්ද විය. එනම් ඇය සිත්තරියක් සේම ඇකඩමි වේදිකාවේ නම් දැරූ රංගන ශිල්පිණියකද විමයි.......
මතුසම්බන්ධයි
Lassanai (:) akuru kirilla ...
ReplyDeleteස්තුතියි
Deleteඔයා ගැන ද ?
ReplyDeleteමොනා උනත් බුද්ධිමත් යැයි කිව හැකි ගැහැනියක්. නමුත් හිතුවක්කාර ගැහැනියක්. කරුමක්කාරියක් නෙමෙයි. කර්මය වෙනස් කල හැක්කේ තමාටම නොවෑ..
බොර දියක ඉඳුවර
පළමු කොටස
Deletelassanai wachana tika eth mata mokuth therun ne ane
ReplyDelete:)
Deleteමාර ලියැවිල්ල.. සම්භාව්‍යයි බොල.. :)
ReplyDeleteස්තුතියි සැම්
Deleteලස්සනයි.. හිත් ගත්ත.. ඉදිරියත් බලමු... අර පාන්දරට සිතුවිලි ගලන කතාව නම් ඇත්තම ඇත්ත... ඉර එළියත් එක්ක ඒ සිතුවිලි මැකෙන බවත් ඇත්ත....වෙලාවකට හරි ලෝබ හිතෙනවා... ඒ සිතුවිලි ගැන උණත්..
ReplyDeleteඅහිමි විම් බොහොමයි අපේ නොසැලකිල්ල නිසාම
Deleteකා ගැන ද මේ?
ReplyDeleteචරිතයක් ගැන
Delete