කිමිදෙමින් සිටි සිහින ලොවට ඈ කොතරම්ආදරය කළාද යත් යම් සිතිවිල්ලක් පසුපස්සේම සිත දුවවන්නට ගත් දා පටන් ඇය මෙලොව වාසීකිසිවෙකුත් නොවිය. ඇගේ සිහින ලොවම චරිතයක් වූ ඇය යථාර්ථය තුළ පරිකල්පනමය ලෝකයක්මවාලීය. තනිව හිඳ මුමුණමින් ඈද නොදන්නා අරුත් සහිත, (බෝහෝ විට මේවා කිසිදු අරුතක්නැති වචන සමුදායක් පමණක්ම විය) ගී, ඇගේම තාලයන්ට මුසු කර ගැයූ ඇය ගඟවැරුල්ලා පඳුරුමත දෙවියන්ගේ අදෘශ්‍යමාන හස්ථයෙන් රාත්‍රියේ අඳුරට අලංකාරයක් ලෙස මවනා ලදකනාමැදිරියන් සිය දහස් ගණනක් දෙස බලා තමා හා අත්වැල් බැඳගන්නැයි උන්ට ආරාධනා කළාය.නිවස ඉදිරිපිට බෑවුම දිගට සිටුවා තිබූ මෙම ගඟවැරැල්ලා වැට පුරාවට රාත්‍රියේ එල්ලනලද කුඩා විදුලි බුබුළු සේ දිළුණු කනාමැදිරි එළි, ඈ විසින් රාත්‍රියේ මුළු විශ්වයමඅමතා කළ හුදෙකලා ගායනය වෙනුවෙන් ඇගේ වේදිකාවට දැල්වූ නිවි නිවී දැල්වෙන පහන්ම විය.
Saturday, August 3, 2013
කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/30 - 3 කොටස
ඇගේ දින සටහන් අතර ළදරු විය පිළිබඳ මතකයේ ඈ ශේෂ කර ගිය දෑ බොහෝ විය. ඇතැම් විට වයස අවුරුදු දෙකේදි හෝ තුනේදී පමණ සිදුවූ දෑ ඇගේ මතකයේ එතරම් තදින් රැඳී තිබුණේ කෙසේදැයි මට සිතා ගැනීම ඉතා අසීරු වු අවස්ථා තිබුණි. ඉතා දුෂ්කර පෙදෙසක ළදරු විය ගෙවා දැමූ ඈ මතකයේ ඒ පිළිබඳ තිබු අතළොස්සක් සිදුවිම් අතර ‘වැව‘ විශේෂිත තැනක් ගති.
‘ජිම් පප්පා ජිම් පප්පා ලිඳේ වැටීලා
ලිඳේ තිබුණු කෝටු බෝටු ඇඟේ ඇනිලා‘
කියා සිංදුවට නොව, පෙරහැරේ යන කඩියන් පෑගීම නිසා උඩපැන නටමින් දැවිල්ල ගත් පා පිරිමදිමින් ඈ වැව් ඉව්රේ ගිනි කාශ්ටකය නොතකා ගත කළ වරු බොහෝ විය. බහ තෝරන වියේ ඈ තමා අසල නොමැති විමෙන් වික්ෂිප්ත වු මවත්, අසල් වැසියනුත් ඈ සොයා වෙහෙසෙනාතුර ‘‘ අම්මා, අත්ත අතන ඔකූඌඌඌ තිබුලෙක්“ යැයි කියමින් වැවේ සිට පැමිණී ඈ කටින් පමණක් නොව අතින්ද, ඇස් දෙකෙන්ද ඹුලාගේ ප්‍රමාණය පෙන්වූවාය. ඈ කිඹුලෙකියි සිතා රැවටි තිබුණේ වැවේ පාවූ දරකොටකයට වුව, අරක හොඳය අරක නරකය කියමින් ළමා විය සිට සුබාසුබ තෝරාගැනිමට හුරු කළ ඇය ස්වභාවයෙන්ම කිඹුලා යනු දරුණු සතෙකිය යන්නත් ඌ දැක බිය විය යුතුය යන්නත් අවබෝධ කරගත්තාය.
Thursday, August 1, 2013
කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/29-2
මුලින් කීමට අමතකව මතකය තුළ අමතකව ගිය යමක් දැන් කියමි.ඒ, මේ ලියවෙන කරුමක්කාරිය ගැනයි. ඈ මට හමුවූයේ මින් වසර බෝහෝ ගණනකට ඉහතදීය. මේලියැවෙන්නේ, ලෝකයාට අමතකව සුළඟට හසුව පාව යමින් සිටි ඈ විසින් අඛන්ඩව ඇගේ දිනසටහන් පොත් මත කුරුටු ගා තැබූ මතකයයි. එසේම මේ ලියවිල්ලේදී මා දක්වන්නේ ඇගේ දිනයන්නොව මා මෙය ලියන දිනයන් බව ඔබට පවසනු කැමැත්තෙමි. ඒ අනුව මේ ලියවිලි තුළින් ඔබට ඈහමු වන්නේ ඍජුවම ඇගේ මතකයන් තුළින් නොව අතරමැදියකු වන මා හරහායි. ඒ අනුව සිදුවීම්පෙළ ගැස්වෙන කාලය හා අවකාශය අතර ඈ වෙත ඔබට සමීප විය නොහැකි ප්‍රතිරෝධකයක් මම ඇතිකරමි. එසේම ලියාගෙන යෑමේදී මට මගහැරෙන දින ගණන් පැවතිමට පුළුවන. එහිදී ඔබ නිහඬවබලා සිටිය යුතුය අතර ඔබට මාගෙන් ප්‍රශ්න ඇසීමේ හැකියාවක් නැත. මා ඈ පිළිබඳවසිතමින් ඇගේ අනීතය වර්තමානයට හැරවීමේදී ඇයට වඩාත් සමීප වීමට ඔබට ඉඩකඩ පාදා දීමට මමමෙම කාලය යොදා ගනිමි. ඒ ඔබ වෙනුවෙන්ම වන සිසා ඔබට මට විරුද්ධව ප්‍රශ්න කළ නොහැකිය'
Wednesday, July 31, 2013
කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/28 -1
දින සටහන්යැයි කීවාට මේ ලියැවෙන්නේ අදාල දින වලින් ගතහොත් සිදුවීම්හි පෙළගැස්මක් නොව දිනය තුළ උපන් සිතිවිලි පෙළගැස්මක් බව පළමු කොට කියමි. ඇරඹුමේදීම හූනෙකුගේ සන් කිරීම, මේ ලියනා කරුමක්කාරියගේ දිවිය හා නිතැතින් බැඳී තිබුණාවූ ඛේදවාචකයන් සමග පෑහුණ කල ආගන්තුක යමක් යැයි කිව නොහැකිය. එනිසා වැඩිමනත් තතු නොකියා හූණා කෑ ගැසුවේද කරුමක්කාරියගේ ඉරණම ඉතා හොඳින් තහවුරු කිරීමට බැව් ලියා මම අද දවස අරඹමි.
Sunday, July 28, 2013
කාම සූත්‍රය හා කජුරාවෝ විනිවිඳින තුරු..... - අතිශයින්ම බබාලාට නොවේ
ආගම මුඛ්‍ය කොටගත් ලෞකිකත්වයේ අතරණීය කඩයිම මට හමු වන විට යන්තම් 15වන විය එළඹුනා පමණි. ඇලීම් බැඳීම් නිශේදනය කරමින් පෙන්වා දෙන ලද දැහැමි මගක සිත ගමන් කරවිම, සිදු කළ යුතුම අවසන් ක්‍රියාවයැයි සම්මත කරන ලද සමාජයේ අරටු බැසගත් නගරයක, උඩරට බොදු කුල දැරියන් බිහි කිරීම තේමා පාඨය කරගත් බාලිකාවක, පවුලේ හැර වෙනත් කිසිදු පිරිමි පුළුටක් ඇස නොගැටෙන මානයක, තහංචි කරන ලද රූපවාහිනී වැඩසටහන් කෙරෙහි සපුරාගත නුහුණු සරාගික ප්‍රේමයක් ඇතිව කාවන් නෑ පුස් ගඳ ගහන පොත් තුළ වසර ගණනක් නෙත් ඔබා සිටි මට 'නුරාවේ අනුරාව නංවන තත්, මා තුළම කම්පනය වු දිනය' 15 වන වියේදි මුන නොගැසුනි.
Tuesday, July 23, 2013
කාලය අවකාශය හා සංස්කෘතිය
එය, විවාදාත්මකව විචාරාත්මකව විවේචනාත්මකව විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡාවට
ලක් වන්නකි. සංස්කෘතිය... වචනාර්ථයෙන් ගතහොත් සංස්කෘතියකින් තොර කිසිවක් නැත. යම්
කුලකයකටම ආවේණික් වූ සංස්කෘතීත් විවිධාකාරයෙන් හමු වේ. එසේම එම පොදු කුලකය ව්‍යුක්තව
ගෙන නිරීක්ෂණයට ලක් කළහොත්, ඒ තුළ විවිධ උප කුලක දක්නට ලැබේ. සාකච්ඡාවට ප්‍රවිශ්ටයක්
වශයෙන් මෙහිදී ප්‍රථමයෙන් සංස්කෘතියේ ආරම්භය කෙරෙහි යොමු වෙමි. මන්ද යත් යම්
කරුණක්, ගැටළුවක්, චින්තනයක් මෙ ඈ කුමක් වුව කවරාකාරදැයි නිවැරදි අධ්‍යයනය සඳහා ක්‍රමික
ගලායාමක්, දැණුවත් බවක් අවශ්‍ය හෙයිනි.
සමාජ ආයතන අංශ කෙරෙහි අවධානය යොමු කිරීමේදී සංස්කෘතික, දේශපාලනික, ආර්ථික,
සාමාජයීය ලෙස ප්‍රධාන වූ චතුර්විධ විභේදනයක් හඳුනාගත හැකිය. වෙන් වෙන්ව ගතහොත් මෙකී
අංශයන් ඒවාට ආවේණීක සාධක පදනම් කරගනිමින් සාකච්ඡා කළ හැකි වුවද, මෙකී අංශ සියල්ල
අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධතා දක්වන බවත්, එකකට එකක් ස්වාධීනව නොපවතින බවත් තත්‍ය
වශයෙන් අවබෝධ වනු ඇත. කෙසේ වුවද මේ සංකල්පයන් සියල්ලම එකට දරා හිඳිනා මහා සාධකය
වන්නේ සංස්කෘතියයි. මන්ද, සමාජය පොදු ඒකකයක් ලෙස ගත් කල්හි සමාජය යන ව්‍යූහය හඳුනාගැනීමේ
කේන්ද්‍රීය සාධකය වන්නේ ඒ ඒ සමාජ පද්ධතීන් හා බැඳි සංස්කෘතික හර පද්ධතීන් වන
හෙයිනි.
“සංස්කෘතිය” යන්නෙහි ආරම්භය සලකා බලන කල්හි,
Thursday, July 11, 2013
මගේ වේදනාවට තටු ඇවිත්....
මගේ වේදනාවට තටු ඇවිත්.... ඔවු... තටු ඇවිත් ඒ කූඩු කරල තිබුණු වේදනාවට. දැන් ඒ වේදනාව ඉගිල්‍ලෙන්නයි මාන බලන්‍නේ... ඔවු, ඔයා දන්නව මට ලස්සනට ලියන්න පුළුවන් බව. ඒ වගේම මම දැන් ලියන්න යන දේ ගැනත් මුලින්ම කියල ඉන්න ඕන. මට ලස්සනට ලියන්න පුළුවනි. ලස්සන දේට වඩා දුක හිතෙන දේ තවත් ලස්සනට ලියන්න පුළුවනි. මේ වචන නිසා ඒ දුක හිතෙන දෙයින් එළියට පැනපු දුක ලස්සන විශේෂණ ගොඩකින් එළියට එද්දි මගේ දුකට අතිශයෝක්තියක් එක් වෙන්නත් පුළුවනි.... ඒත් ඔයා දන්නව මා ගැන... “බොරුකාරි.... වංචාකාර ආදරේ.....“ ඒ ඔයා මට හැමදාම උදේ දවල් රෑ වෙනසක් නැතිව කියපු එකම වචන ටික. මංදා... මට මාවම නොතේරෙන බව මම කොයි තරම් කියල ඇත්ද? කිසි දෙයක් මට සරලව කියන්න බැහැ. ඔයාට මං කියන දේ නොතේරෙන බව වෙලාවකට මට හිතෙනවා. සමහරවිට කවදාවත්ම තේරෙන්නත් නැතිව ඇති.
Wednesday, July 10, 2013
පින්න නුඹ ඇවිදින් කළුවරේ - වත මගේ සිපගන් (මාතින් ලියැවුණු ගියක්)
උනා පෙති සළු
පිපුණ නෑඹුල්
කඩුපුලී මම වෙම්
කඩුපුලී මම වෙම්
අඳුරු සයනේ
සුවඳ වගුරා
නුඹ නමින් සැතපෙම්
නුඹ නමින් සැතපෙම්
සිනිඳු
පෙතගින් හිරිය දොවමින්
පිපි හැඟුම් අතුරන්
පිපි හැඟුම් අතුරන්
Monday, July 8, 2013
පන්නම් කතුරින් දෘශ්‍යමානිත ඉපැරණි සාම්ප්‍රදායිකත්වයේ සමාජ සංස්කෘතික විවරණයක් (සාහිත්‍යාත්මක ඉතිහාසයෙන් සන්ධර්භගත අස්පර්ශනීය උරුමයේ නූතන කථනයකි)
Wednesday, July 3, 2013
Monday, July 1, 2013
ආන්ද්‍රා ප්‍රදේශයේ ගෝත්‍රික ජනයා
ඉතා පොහොසත්
සංස්කෘතික උරුමය, සරල ජන ජීවිතය, පැරණි මානව සමාජයන්හි නූතන පැවැත්ම ආදිය හේතුවෙන්
ආන්ද්‍ර ප්‍රදේශ් එක්තරා සුවිශේෂීත්වයක් දරයි. තවත් ලෙසකින් කියන්නේනම්, මෙම ප්‍රදේශය
නිජබිම් කරගෙන වාසය කරන්නාවූ ගෝත්‍රක ජනයාගේ චාරිත්‍ර, පූජාවිධි, වාණිජ ක්‍රමවේද,
උත්සව ආදී ගෝත්‍රිකයන්ටම අනන්‍ය අංශ හේතුවෙන් එම කලාපය මානවවංශවිද්‍යාව කෙරෙහි
ආකර්ශනයක් පිළිබිඹු කරන්නාවූ පුද්ගලයින් තුළ උත්තේජනයක් සහ උනන්දුවක් ඇති කරවයි.
Monday, June 24, 2013
මවිසින් ඇඳි සිතුවම් සහිතව ගෙන එන පළමු ළමා කථාන්දරය - මම කුරුල්ලෙක් නම්
තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි
එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත්
තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත්
එක්ක එකට ඉන්න බැරි වුණා.
එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි
එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර
මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක
රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම
පිරුණෙ මේ රස කතාත් එකතු
වුණ නිසා.
Sunday, June 23, 2013
Tuesday, June 18, 2013
උරුම ක්‍රියාවලිය / Heritage as a process
Heritage formation
1.
Discovery by birth (ජන්ම උරුම)
2.
Achievements (සාධිත උරුම)
3.
Acquisition (ආරෝපිත උරුම)
උරුම දාමය / heritage
chain
උරුමය යනු
එකිනෙක සහසම්බන්ධ වූ දෙයකි. ඉහත පරිදි, උරුමය ප්‍රභවය වන ක්‍රමවේද තුනකි. යම්
දෙයක් උරුමයක් බවට පත් වන්නේ මෙකී ක්‍රමවේද කවරකින් හෝ එය උරුමයක් ලෙස
හඳුනාගැනීමෙන් අනතුරුවය.
1.
උපතින් / ජන්මයෙන්
උරුමයක් බවට පත් වීම.
උදා :-
ජාතික කොඩිය
විශ්ව
කීර්තියට පත් යම් කලාකරුවෙකුගේ නිර්මාණ (මෙහිදී ඔහු පුද්ගල ස්වරූපයෙන් උරුමයක් බවට
පත් වීමට ඒ දක්වා පසු කළ අවධියේදී සැලකිය යුතු තරම් බලපෑමක් සමාජයට සිදු කර තිබිය
යුතුය. ඔහු සමාජය තුළ උරුමයක් ලෙස නම් වූ පසු එතැන් පටන් ඔහුගේ සියලු නිර්මාණ
උපතින්ම උරුම ගණයෙහි ලා ගැනේ)
Thursday, June 13, 2013
පුරාවිද්‍යා න්‍යාය / සිද්ධාන්ත හැඳින්වීම
පුරාවිද්‍යාව
යනු,
අතීත මානවයාගේ
හැසිරීම් රටා සහ සංස්කෘතික වෙනස්වීම්, ද්‍රව්‍යාත්මක අවශේෂ තුලින් අධ්‍යයනය
කිරීමයි.
මානව පරිනාමයේ
මුල් යුගයේ සිට පසු කළ විවිධ අවධීන්හිදී විශෞෂතා හඳුනාගත හැකි වන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යෘත්මක
සංස්කෘතික සාධක මගිනි. එනම් මානවයා විසින් ඒ ඒ යුගයන්හිදී භාවිත කළා වූද අදටද
කැණීම්, ගවේශන ඔස්සේ අනාවරණය වන්නා වූද මානවයාගේ භාවිතයන් පිළීබඳ තොරතුරු දක්වන
විවිධ ද්‍රව්‍යයි.
Wednesday, June 12, 2013
මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා ආදේශනය
සමාන්තර උදාහරණ තර්කන
ක්‍රියාවලිය
පැරණි ජන කණ්ඩායම් වල
හැසිරීම් රටා අධ්‍යයනයේදී පුරාවිද්‍යඥයන් විසින් සමීප අධ්‍යයනයට ගනු ලබන්නේ
වර්තමාන ගෝත්‍රික ජනතාවයි. මෙහිදී ඉපැරණිම හැසිරීම් රටා තත්වාකාරයෙන් අධ්‍යයනය
කිරීමේ නොහැකියාව පැවතියද යම් තාක් දුරකට පැරණී සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව
සැලසේ. මානවවංශවිද්‍යා විශ්ලේෂණයන් පුරාවිද්‍යාවේ ප්‍රධාන න්‍යායක් ලෙස අධ්‍යයන
කටයුතු වලදී පාදක කරගනු ලැබෙන්නේ මෙලෙස අතීත සමාජ ප්‍රතිනිර්මාණය උදෙසා එමගින්
ලබාගත හැකි සමීප නිදර්ශන රැස නිසාවෙනි. මිනිසාගේ සමාජ සංස්කෘතික හැසිරීම් රටා අධ්‍යයනයේදී
මානව කාති මගින් ඉදිරිපත් කරන්නාවූ දත්ත පාදක කරගත හැකි සේම, එයට වඩා දත්ත ප්‍රමාණයක්
වත්මන් ප්‍රාථමික ජන කණ්ඩායම් අධ්‍යයනයේදී ඔවුන්ගේ ‘ඇදහිලි හා විශ්වාස’ පදනම්
කරගනිමින් අර්ථවිග්‍රහ කිරීමේ හැකියාව පවතී.
Tuesday, June 4, 2013
ගමන
ඇය යාන්තමට වමතින්, ඈට ඉදිරියෙන් සිටි ඇගේ ඉඟටියෙන් අල්ලා ගත්තා. මෙතෙක්
වේලා තිබුණු විදිහටම, වයර් දිගේ ඇදි ඇදි ගිහින් කනක් අස්සෙ ඇහෙන විරාජ්ගෙ සිංදු
තාලෙට දකුණතේ ඇඟිලි ඇගේ කලවය උඩ තාල ඇල්ලුවා. ඉය’ෆෝන් එකේ අනිත් අන්තය සම්බන්ධ වුණේ
ඉදිරියෙන් හිටපු නාගේශ්වරීවරීගෙ එක කනකට. හවුලේ සිංදු අහගෙන පාන්දර හිරිගඩු පිපෙන
සීතලේ ඇටමිදුලු කාවද්දන සීතල හොයාගෙන යන අපූරු ගමන ගැන දෙන්නටම තිබුණෙ කෝඩුකාර
ආසාවක්. ඒ ආසාවට වඩා කුතුහලය ඒ හිත් ඇතුලෙ කැරළි ගහන්න ගත්තේ හෙල්මට් කපාගෙන මූණෙ
අහුමුළු හොයන සීතල හුළඟෙ කැරලිකාරී බව වගේමයි. අටබාගෙ පහු කරන් යද්දි නුවරඑළි
හීතල ටිකෙන් ටික දැනි දැනී තිබුණා. ඉදිරි ආවරණයක් නැති හෙල්මට් එක ඇතුලෙ දඟර ගහන
තෙත හුළඟ ඇගේ වගේම නාගේශ්වරීගෙත් මුහුණ හිරි වට්ටන බව ඇය හිතුවා.
“නිශු, ගලවන්න ඔය හෙල්මට් එක” ඈ පැවසුවේ ඇගේ කෙහෙරැළි වලටත් නිදැල්ලේ යන්නට ඉඩ හරිමින් ඇගේ හිස් ආවරණය ගලවා අතේ රඳවාගන්න
ගමන්.
“අපෝ බැ... දැන්නම් කොහොමත් බෑ. කන් දෙකත් අයිස් වෙයි” ඒ කටහඬ මවා පෙන්වූ
සිහින් දඟකාර හිනාව නාගේශ්වරීට පසුබා සිටි නිසා ඈ නොදුටුවත්, ඇගේ පිළිතුරු හිනාව ඒ නොදුටු සිනහවට පිළිතුරු කීවා.
“අනේ රාණි, මට විඳින්න ඕන ඔයාගෙ කොණ්ඩෙ පිච්චමල් සුවඳ. ඉරත් නැති මේ පාන්දර
තෙත්වෙච්ච සීතල හුළඟත් එක්ක ඒ සුවඳ කොයි තරම් සුවඳ ඇත්ද කියල ඔයා දන්නවද?”
Monday, June 3, 2013
උරුමය HERITAGE
හැඳින්වීම
උරුමය යනු මිනිසා
විසින් “ගොඩනගන ලද” සංකල්පයකි (constructed idea). උරුමය ලෙස අප
සලකන්නේ සංස්කෘතිකමය වශයෙන් පොහොසත් වටිනාකම සහ සංකල්පමය වශයෙන් විශාල වැදගත්කමක්
ලබා දෙන්නා වූ දේවල්ය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයද යන පැනය නැගිය
යුතුය. අපගේ උරුමය ලෙස අප නම් කළ යුත්තේ එවන් බාහිර ඔපයෙන් අනූන, තම සිතැඟියාවන්
අනුව විශේෂ හිමිකමක් දුන් තෝරාගත් යම් යම් අංශ පමණක්ද යන්න විමසීම වැදගත් වේ.
HERITAGE - මෙම සංකල්පය යම් යම් දේ ප්‍රතික්ෂේප
කර, යම් දේ පමණක් තෝරාගැනීමකට ලක් කරයි. මෙම තෝරාගැනීම පුද්ගලානුබද්ධ වන අතරම, යම්
ජන සමාජයක, සංස් කෘතියක, ජාතියක, රටක දුර්වල දුප්පත් සාධක බැහැර කිරීමත්, පොහොසත්
වටිනාකමක් ආරෝපණය කළ හැකි සාධක පමණක් උරුමය ලෙස නම් කිරීමත් මෙහිදී සිදු වේ.
Tuesday, May 21, 2013
යැදුම්
දැහැටි පුදා බුහුටි ලෙසට
කරමි යැදුම් සලිත සිතින
සිතක් බලා කරුණා කර
වඩින් දෙවිඳු මල් යහනට
කරමි යැදුම් සලිත සිතින
සිතක් බලා කරුණා කර
වඩින් දෙවිඳු මල් යහනට
කට්ටකුමංජල් දුම් තිර
ඇද වහලා හිත වෙව්ලුම
ආවඩනෙමි දෙවිඳු නමට
වඩින් දෙවිඳු මල් යහනට
ඇද වහලා හිත වෙව්ලුම
ආවඩනෙමි දෙවිඳු නමට
වඩින් දෙවිඳු මල් යහනට
Tuesday, May 14, 2013
෴තුන්පත්රෑන෴
සුපුල් විලේ
කෙළිනා සිරි රුසිරාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන
Subscribe to:
Comments (Atom)




.jpg)



.jpg)






.jpg)




