මම.... මගේ කුමාරයා එනකන් බලන් හිටියා........
ඉස්සර වගේම මහ රෑ මගේ කාමරේ ජනේලෙන් පෙනෙන පොල් අත්ත අස්සෙන්... හද පායගෙන එනකන් රෑ දෙගොඩහරියේ නිදි නැතිව මම අද වෙනතුරුත් බලන් හිටියා. අන්දකාර අහසට හද වගේ මගේ වස්තුව, මගේ කාමරේ එළිය කරන්න වඩිනකන්..... ඒ කාලෙ මම කොයි තරම් පිස්සියක් උනාද? මම හදෙන් දැක්කෙ ඔයාවමයි. ඒකයි මම රෑ දෙක තුන වෙනකන් වුණත් හද මගේ ජනේලෙට පිටින් පායනකන් බලන් හිටියෙ.... හැම කවි කාරයම, හැම නවකතා කාරයම, හැම කෙටිකතා කාරයම වගේ මමත් ඔයාව පුරුද්දට හදට උපමා කරනව නෙවෙයි. හදට කටක් තියනවනම් ඇත්තම කියාවි. මේ ඇද උඩ ඒ මේ අතට කැරකි කැරකි මේ දක්වා කාලයක් මගේ ඇස්දෙක හදේ නැවතුණ හැටි හැම රෑකම.
තත්පරෙන් තත්පරේ ගෙවිලා ඒ තත්පර ගණන කෝටි ගණනකින් වැඩි වෙලා... ලස්සනට තිබුණු මගේ තොල් තෙත් කරපු ඔයාගෙ ඒ තෙත්බර උණුහුම ආයෙමත් මගේ තොල් වලට දැනෙන දවසක් එනකන් මම කොයි තරම්නම් හූල්ල හූල්ල හිටියද? ඒ ඇගිලි මාව කිතිකවාගෙන, මා පුරාම... හැමතැනම දුවවද්දි දැණුනු හිරිය ආයෙමත් දැනෙන දවසක් එනකන්....
පංතියට නොයා අර කැළෑ පාරවල්වල කළුවර අහුමුළුවල අපිම හොයාගත්තු අපේ තාවකාලික දිව්‍ය විමාන ඔයාට මතකද? කෑඩැල්ලො තෙල්කූඹි... අපේ ආදරේට වේදනාවෙ මිහිරි රහක් එක් කරද්දි අපි දෙන්න අපේ සිරුරු දෙක එකක් කරගත්තු තහනම් විරාමයන්....
ඔයා මගේ ජීවිතේට එක්කරපු ඒ නොමැකෙන මිහිර, ඔයා මගෙන් දුරස් වුණාට පස්සෙත් මම හොයන්න උත්සහ කළා කීවොත් මගේ වස්තුව කරහ වෙන්නෙ නැතිවෙයි නේද? එකින් එක මට ලං වුණු හැම පිරිමියෙකුගෙන්ම... ඒත් නොවැරදීම මම ඔයා මගෙ ජනේලෙට පිටින් පායගෙන එනකන් බලන් හිටියා. ඔයා දන්නවද..... ඔයා නාව දවසට මම පිස්සියක් වගේ... ඒ තරමටම මට මාව පාලනය කර ගන්න බැරි මොහොතක් තවත් නෑ. කවුරු මට පණ දෙන්න ආවත්, ආදරේ කළත්, ඒ අයගෙ අවශ්‍යතාවයට විතරක්ම ළං වුණත්... ඔයා දුන්නු ඒ ආදරේ මට කවදාවත් තව කෙනෙකුගෙන් ලැබුණෙ නෑ. බිදවැටුණු අපේක්ෂා ගොඩක් පුරවගත්තු මගේ පපුවට උඩින්, රත් වුණු දාඩිය පුළුටු ගදකුත්, කවුරුහරි මිනිහෙක්ගෙ මහ බරකුත් තියාගෙන සිගරට් දුම අතරින් ඇස් යව යව මම හෙව්වෙ ඔයාවමයි. මට උඩින් ඉන්න ඒ මිනිහගෙ රස්නෙට වඩා මාව පිච්චුවේ මගේ පපුවෙ අහුමුළු සේරම අවුස්ස අවුස්ස දැල්වුණු ඔයා අවුලුවපු ඒ ගින්න කියල මම තත්පරයක් පාසා වඩා හොදින් අවබෝධ කර ගත්තා.
සමාජ මට්ටම, උගත් බව, නම්බුව, කීර්තිය, ප්‍රසිද්ධිය... මගේ වටේ කැරකෙන්න පටන් ගත්තු මගේ ජීවිතේ මුල්ම කාලෙම මාව කාලකන්නි ගෑණියෙක් කළා, ඒ හැම දෙයක්ම එකට එතිල මගේ අම්මලාගෙ ඔළුවෙ යක්ෂයා අරක්ගත්ත නිසා. ඒ ඔයාව මගෙන් උදුරගත්තු මගේ ආත්මය මට තැතිවුණු දවසෙ. මම මැරුණු ගෑණියෙක් වුණු දවසෙ.
අද ජනේලෙට පිටින් හදත් පායලා. පොල් ගහ දැන් ලොකු නිසා කරදරයක් නැතිව හද රවුමට බලාගන්න පුළුවනි. ඔයා... මගෙ වස්තුව මා ගාව ඉන්නව, එදා වගේම දිස්නයක් නැතත් ඒ ඇස් දෙකේ පතුලෙ මගේ රැළි වැටුණු හමේ වේලිච්ච ප්‍රතිබිම්බයක් ඇදගෙන... අද මට කට ඇරල වචනයක් කියා ගන්නත් කොච්චර වෙලා යනවද? කොයි තරම් මහන්සියක්ද....? ඒත්.. ඒත් අවුරුදු ගානක් මගෙ හිතේ ඔයා වෙනුනවන්ම ගෙතුණු, ඒත් හිත ඇතුළෙම පල් වෙවී තිබුණු කතා සේරම මම ඔයාට කොහොමහරි කියන්න ඕන. මගේ ඉස්සරහ සැලුණු ඔයාගෙ එත ඇහි පිල්ලමක් ගානෙ මගේ හිතේ ඔයා වෙනුවෙන් ඇති වුණු ආදරය මම කියන්න ඔන... මට තව කාලයක් නෑ... මම හුගක් වයසයි ඔයා වගේම දැන්.
ඔයා ඔහොම මගේ දිහා බලන්න එපා. මට තේරෙනව... ඔයාටවත් මටවත් අපේ පුංචි කාලෙට ආය යන්න බැරි බව... ඇයි ඔහොම අහක බලා ගන්නේ...?
මගේ වස්තුව... එක දෙයක් කරනවද... මම හිතන්නෙ අපට දැන් ඉතිරි වෙලා තියෙන්නෙ එච්චරයි...
ඔයා ආයෙමත් එනකන් කියල, බොහොම අමාරුවෙන් දෙයියන්ගෙන් ණයට අරන් තියා ගත්තු මගේ මේ අන්තිම හුස්ම පොදවත් ඔයාගෙ පපුවට වැටෙනකම් මාව තුරුල් කරගෙන ඉන්නවද...?
//ඔයා ආයෙමත් එනකන් කියල, බොහොම අමාරුවෙන් දෙයියන්ගෙන් ණයට අරන් තියා ගත්තු මගේ මේ අන්තිම හුස්ම පොදවත් ඔයාගෙ පපුවට වැටෙනකම් මාව තුරුල් කරගෙන ඉන්නවද...?//
ReplyDeleteඅපූරු ලියමනක්.. හිතට වැදුනා හුඟාක්..!!!
ප.ලි-word verification අයින් කලානම් කමෙන්ට් කරන්න ලේසියි!!!settings වලින් ඒක හදන්න..
ස්තීතියි යාලුවා
Deleteමම හදන්න උත්සහ කරන්නම්.
හඳ එළිය බලාපොරොත්තු ගෙනාවත් කළුවර වෙච්ච හිතක් එළිය කරන්න ඒ මදි නගා.ඉර එළියට පිච්චුනු හිත හඳ එළියෙන් සිහිල් කර ගන්න හිතන්න එපා
ReplyDeleteලස්සන අර්ථයක්
Deleteහිතට කාවැදුණා... ස්තුතියි යාලුවා... :)