Friday, February 1, 2013

මේක සෑහෙන්න පරණ කතාවක්..... අවුරුද්දයි දවස් 19ක් පරණයි ඇරඹුම


සිත්තරි රස්සාවක් හොය හොය හිටපු කාලෙ පුංවි රස්සාවක් ලැබුණා. ඒ "සහකාර වෙළද සේවිකාවක්" විදිහට. මගේ නගරෙ එහෙම රස්සාවක් කරන්න අම්ම තාත්ත ඉඩ නොදුන් නිසා මම ගියා කොළඹ. ලකාවෙ ප්‍රසිද්ධ පොත් සාප්පුවක වෙළද සේවිකාවක් විදිහට මගේ මුල්ම රැකියාව ආරම්භ කළා ජනවාරි 12 වෙනිදා. මට තිබුණෙ හොද වැදගත් විදිහට අපේ ‍පොත් සාප්පුවට එන අයට කතා කරල සුහදව එයාලත් එක්ක කටයුතු කරන එක. දොර අරින වහන එක, පාරිභෝගිකයො ගන්න පොත් ටික අරන් එයාලගෙ පස්සෙන් ගිහින් මුදල් ගෙවන කවුන්ටරයට ඒවා බාර දෙන්න ඕන. ඒ වගේම අපට බාර දුන්නු පොත් රාක්කවල හැමදාම දූවිලි පිහදාන්න ඕන. දවසක් සාප්පුව ඉස්සරහ මිදුල අතුගාන්නත් සිද්දවුණා. වාහන යන මහපාරෙ මාව දන්න කෙනෙක් මේ ඈත කොළඹ නැති නිසා මම හිතට වීරිය අරන් සාප්පුව ඉස්සරහ මිදුල අතුගෑවා. ඒත් පහුවදාම මම ෆාමසියට ගිහින් ඔක්සිෆියුරා
එකක් ගත්තා. ආයෙමත් මිදුල අතුගාන්න වුණොත් අඩුගානෙ ඒකෙන් මගේ නහය කට හරි වහගන්න. නැත්තටම නැතිකර නොගත්තු මගේ ලැජ්ජාව තරමකට හරි වහගන්න මට ඒක උදවු වෙයි කියල හිතුණා.



සමහර දාට උදේ 6.30ට ආවම රෑ 8 වෙනකන් තියා ගන්නව. එක විනාඩි පහක විවේකයක් නෑ ටිකක් හරි ඉදගන්න. මගේ යටිපතුල් දෙක වටේ ඒ කාලෙ අශ්ව ලාඩමක් වගේ ඝන වෙලා තිබ්බා. (තාමත් චුට්ටක් තියනව) ඇතුල් කාමරේ අපිට තිබ්බෙ එක පුටුවයි. ඒකෙත් යන යන හැම වෙලේම අරක්ගෙන හිටියෙ පොත් සාප්පුවේ පරණ සේවිකාවො. කන්න ගියක් එක එකා ඇවිත් අහනව "තවම කනවද, කාල ඉවර නැද්ද, තව කොච්චර වෙලා යයිද..." ඔන්න ඔය වගේ ප්‍රශ්න. ඉතිං සමහරදාට මම බනිස් ගෙඩියක් කාල මයිලෝ එකක් බිලා ඉන්නව එතන ඉදගෙන බත් කකා ඉන්න බැරි නිසා.

දවස් නවයකට පස්සෙ මගේ මුල්ම පඩිය මට ලැබුණා. රුපියල් 4140ක්. මම ජීවිතේ පළමු වතාවට රස්සාවක් කරල උපයපු පඩිය. මම ‍මගේ වැටුප සටහන් වුණු කොලේ ඩයරියේ අදාල දවස පෙන්වපු තැනට තියල ඇමිණුවා. (ඒ විදිහට අමුණපු වැටුප් කොළ තුනක් දැනටත් මගේ ඩයරියේ තියනවා.)

මම හරිම ආසයි පොත් කියවන්න. පොත් අතගගා ඉන්න තිබ්බත් මට ඒ ඇති. ඒත් අපිට පොත් කියවන්න එතන කිසි අවසරයක් තිබුණෙ නෑ. ඒත් මම කලමනාකරුටවත්, අපිව බලන්න හිටපු අපේ වයසෙම මුස්ලිම් කෙල්ලටවත් (මම ජාති බේද සලකන්නෙ නැ. ඒක් මේ කෙල්ල මට මහ හිසරදයක් වුණා ඒ කාලෙ. ඒකයි මෙහෙම කිවෙ), "එයා අස්‍රා" කොහොමහරි මේ අයට නොපෙනෙන්න හොරෙන් පොත් කියෙව්වා.
දවසක් මම ගුරු ගිතය පොත කියව කියව ඉන්න ගමන් අස්‍රා ආවා. මාව අහු වුණා.. :( "කියල තියනව නේද මෙතන පොත් බලන්න එපා කියලා.."  මුස්ලිම් ගෑණි බෙරිහන් දුන්නා. මගේ ඇස් දෙකෙන් කදුළු එළියට පැන්නා. දෙවියනේ ඊට මාස කිපෙකට කලින් පොත් සාගරේක ගිලිලා හිටපු මට... මුළු ජීවිතේම පොත් ඇතුලෙ සුන්දර ලෝකෙක කිමිදුණු මට.. පොත් නොකියවිය යුතුයි කියල වාරණයක් දානවා.. හරියට මට දැනුණෙ මගේ පණ මගෙන් උදුරගත්ත වගෙයි.



මම වැඩ කළේ පිළිගත් පොත් සාප්පුවක උනත් ඒක ඇතුළෙ තිබුණෙ හරිම පිළිකුල් ලෝකයක්. වැඩකරන කොල්ලො කෙල්ලො ඔක්කොම කුණුහරප මත ජිවත් වෙන අය. හැම දේම මෙහෙම කියන්න බෑ. ඒ තරම් අජූවයි. ඒත් මම හිතා ගත්තා මම ප්‍රවිශ්ට වුණු සාමාන්‍ය ලෝකෙ මේ වගේ තමයි, මම ඒකට හැඩගැහෙන්න ඕන කියලා. සිත්තරිගෙ තාත්ත කියන්නෙනම් මේ වගේ අයට "තුන්වෙනි පංතියේ මිනිස්සු" කියලයි. ඒ නිසා මම මේ දේවල් මොකුත් ගෙදරට කිවෙ නෑ. හේතුව ඒකෙන් වෙන්නෙ රස්සාව නැති වෙන එක විතරයි. මේ පොත් සාප්පුවේ හිටියා කොල්ලෙක්. හැම තිස්සෙම ළගින් යද්දි අතගාගෙන යනවා. එයා බැදලා, මාස තුනක විතර බබෙකුත් හිටියා ඒ වුණාට. තව කෙල්ලො දෙන්නෙක් හිටියා දෙන්නටම අවුරුදු 19යි. නමුත්... අනේ මංද.. මට මෙයාල නිසා මැවුණෙ මුඩුක්කු පරිසරයක්. කතා කරපු වචනයක් ගානෙ, හැසිරුණු විදිහෙ, ඇදපු පැළදපු විදිහෙ... මේ හැමදේකම වැටිල තිබුණෙ ඒ වගේ හෙවනැල්ලක්. ඒ හෙවනැල්ල මුළු පොත් සාප්පුව පුරාම අරක්ගෙන තිබුණා.

මේ මම මුලින්ම පය තියපු බාහිර සමාජය. අපේ වචනවලින් කිවොත් මහ සමාජය. වෙන එකක් තියා, අපේ මැ‍නේජර්ගෙ අතේත් තිබුණා ලොකු පච්චයක්. මම රස්සාව කරපු වහළ යට හිටපු එකම මනුස්සයා එයා කියල හිතං හිටියත් ඒ පච්චෙ දැක්කට පස්සෙ මගේ සිතිවිලි දියවෙලා ගියා හරියට ඉටිපන්දමක් ගිනිමැලේකට ඇල්ලුවා වගේ.

අපේ අල්ලපු වැටේ තිබ්බෙ විශාකා විද්‍යාලය. ඒකෙ ගුරුවරියක් නිතර ආව පොත් ගන්න. මාව දැනගත්තට පස්සෙ ඒ ගුරුතුමි මාව හොයාගෙන ආවා අළුත් පොත් ගැන අහන්න. පරණ සේවිකාවොන්ට මාත් එක්ක හරිම තරහයි මේ නිසා. හේතුව අපි ගාවට එන පාරිභෝගිකයන්ගෙ ප්‍රමාණයට අපිට ලකුණු දිමක් සිද්දකළා ආයතනයෙන්. මම මේ පොත් සාප්පුවට ගිහින් සතියක් ඇතුළත මට ඉංග්‍රීසි අංශය බාර දුන්නා. ඒක බාරව හිටියෙ මුස්ලිම් කොල්ලෙක්. නම මුනාජ්. මුනාජ් ඒ තරහට මට විරුද්ධව කේළම් කීව මැනේජර්ට. උපන්දා ඉදල බාහිර ලෝකෙන් ඇත් වෙලා හිටපු මම මේ සමාජෙට ඕපපාතිකව ආව වගෙයි.. කරකවල අතහැරපු ගතියකුයි මට දැනුණෙ. ඒකෙ වැඩ කරපු කාලෙ පුරාවට මම අනන්තවත් අඩල ඇති පොත් රාක්කවලට මුවා වෙලා..

දවසක් අපේ ඉස්කෝලෙ විනය භාර ගුරුවරිය ආව පොත් සාප්පුවට. මගේ ඇගේ ලේ වතුර වුණා. වෙනද පාරෙදි ගුරුවරියක් දැක්කත් දණගහල වදින මම එදා මේ ගුරුවරිය දැක්කට පස්සෙ පොත් රාක්ක අතරෙ හැංගුණා. එදා දෙවන වතාවටත් මම තේරුම් ගත්ත මා තුළ මා විසින් අත් හළ යුතු ලක්ෂණ ගොඩක් ඉතිරි වෙලා තිබුණු බව. (පළමු වතාව තමයි මට සාප්පුව ඉස්සරහ අතුගාන්න සිද්ධ වුණු දවස.) මම හිතුවා, මම පිටතට නොපෙන්නුවත්, මම කරන්නෙ මට නොගැලපෙන පහත් රස්සාවක් කියල මගේ හිත හිතන බව. පොත්වල දූවිලි පිහද පිහද ඉද්දි මගේ ඇස් වලට කදුළු ආවෙ ඇයි කියල මම තේරුම් ගත්තා. නමුත් මම ශක්තිය ගත්තා.. සපත්තු ඔපදමපු මනුස්සයා ජනාධිපති වුණානම්, මම ඇයි ලැජ්ජ වෙන්නෙ මේ රස්සාව ගැන.
කොළඹ ජීවිතේ මට එපා නොවුණෙ හැමදාම තිබුණු මොන මොනව හරි ප්‍රසංග නිසයි. මොන අමාරුකම් මැද්දෙහරි, නාට්‍යයක්, සම්භාව්‍ය සංගිත ප්‍රසංගයක්, චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න යන්න මම වෙලාව වෙන් කර ගත්තා. මම අදටත් ආදරේ කරන අමරණීය මතකයන්ගෙන් එකක්... "රාත්‍රී කොළඹ"

‍බම්බලපිටියට ආසන්න තැනකයි මම වැඩ කරපු පොත් සාප්පුව තිබුණෙ. මේකෙ හිටපු කාලය ඇතුළත මට අදුනගන්න ලැබුණා වටිනා කියන මිනිස්සු ගොඩක්. හැමදාම කොයි තරම් රෑ වෙලා ආවත් මේ හැම දේම මම ඩයරියේ සටහන් කර ගත්තා. කවදාවත් අමතක නොවෙන්න. ක්‍රීඩකයො, කලාශිල්පියො, සාහිත්‍යධරයො, ආචාර්ය මහාචාර්යවරු... මේ හැමදෙනෙක් වගේම මම වැඩියම ආස කරපු පොත් වලට ලැදි මිනිස්සු ගොඩක්... සැහෙන දෙනෙක්ව මම අදුනගත්තා. ආයතනය ඇතුළෙ තිබුණ කටුක බව නැති වුණේ මේ නොයෙක් වර්ගයේ මිනිස්සු නිසා. ඊළග බෝම්බෙ පිපිරුවා මගේ මට්ටමේ හිටපු අනෙත් අයට වඩා මගේ පඩිය වැඩි කියල එයාල දැනගත්ත වෙලාවෙ. අනේ ඒ මහ ලොකු ගානක්නම් නෙවෙයි. එයාලට වඩා මට ලැබුණෙ 2500ක් විතරයි. එකට කාල බිල ඉන්න අයත් රුපියල් වලට කොයි දේත් අමතක කරනව කියල මම හොදාකාරවම තේරුම් ගත්තෙ එදායි. දවල් දවසෙ මට ටිකක් හරි සැනසිමක් ලැබුණෙ මගේ යාලුවා මාව බලන්න පොත් සාප්පුවට ආව වෙලාවක විතරයි.

.... කොහොමහරි මේ ඇණ කොටා ගැනිලි මට ඇති වුණා. අම්මට කීව මම අයින් වෙනව කියලා. අම්ම කිව "මම ඔයාට යන්න කීවෙත් නෑ එන්න කියන්නෙත් නෑ, හැබැයි මේ ඔයාගෙ ජීවිතේ ඔයා තනියම ගන්න අවසාන තීරණේ, කිසි දවසක ඔයාගෙ තනි මතේට මින් පස්සෙ වැඩ කරන්න බැ" කියලා. ඒ විදිහට මම මගේ මුල්ම රස්සාවට සමු දුන්නා. අන්තිම මාසෙ මට ලැබුණු මුළු වැටුපටම ඒ පොත් සාප්පුවෙන්ම පොත් අරන් මම නුවර... මගේ ගෙදර ආවා.

පේරාදෙණිය පහු කරද්දි මට දැනුණෙ පුදුම සනීපයක්.. ඒ සිතල සුවද.. මගේම කියන හැගිම.. කොළඹ කටෝරබව එක නිමේශයකින් උදුරල අයින් කළා.. මින් ඉස්සර කිසි දවසක මට නුවර මේ තරම් සනිපයක් දැනිල තිබ්බෙ නෑ.

++++++++++++++++++++++++++++++++++++++++++++++


මෙය පරණ කතාවකි :)
Comments
31 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

31 comments:

  1. අපූරුයි.එක හුස්මටම කියෙව්වා.අපි හිතන විදිය නෙවේ හුගක් දේවල් ඇතුල් පැත්ත.සමහර ඒවා අපි හිතනවට වඩා හොදයි.සමහර ඒවා නරකයි.බැලූ බැල්මට නරක අත්දැකීමක් වගෙ පෙනුනට අක්කගෙ ජීවිතේට මේකෙන් කොයි තරම් දේවල් හම්බවෙලා තියෙනවද...

    හැබැයි පච්චයක් කොටාගෙන හිටි තරමට මනුස්සයෙක් නරක කෙනෙක් කියලා කියන්න බෑ.අනික් කාරණේ මං හරි කැමති මේ ලිපියෙ සමහර තැන් හරි සුබවාදි.
    සපත්තු ඔපදමපු මනුස්සයා ජනාධිපති වුණානම්, මම ඇයි ලැජ්ජ වෙන්නෙ මේ රස්සාව ගැන.
    ඊළගට වටිනා කියන මිනිස්සු ගොඩක්. හැමදාම කොයි තරම් රෑ වෙලා ආවත් මේ හැම දේම මම ඩයරියේ සටහන් කර ගත්තා. කවදාවත් අමතක නොවෙන්න.
    මොන අමාරුකම් මැද්දෙහරි, නාට්‍යයක්, සම්භාව්‍ය සංගිත ප්‍රසංගයක්, චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න යන්න මම වෙලාව වෙන් කර ගත්තා.
    කොයි තරම් ජීවිතේ අපහසු වුණත් අපිට උවමනාවක් තියෙනව නම් ජීවිතේ විදින්නත් පුළුවන්..එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම වර්ෂා... දැන් කම්මැලිකමේ පුටුවකට වෙලා කරන මේ “වැදගත්“ ය කියන රස්සාවට වඩා ඒක කොච්චර හොඳයිද කියලත් හිතෙනව එක වෙලාවකට...
      කොහොමත් මම කැමතියි වෙනස් වෙනස් අත්දැකිම් වලට.. එ නිසා මං දන්නව මේ මගේ ඇරඹුමවත් අවසානයවත් නොවන බව...

      ජීවිතේ ගලාගෙන යන ගඟක් වගේ. බාල යෝවුන් වෘද්ධ අවධි පහු කරනවා විවිධ විදිහට :)

      Delete
  2. පරණ කතාවක් වුනාට මගේ නම් බොක්කටම වැදුනා අක්කේ.

    ReplyDelete
    Replies
    1. හ්ම් :)
      ඒ කාලෙ මටනම් බොක්කට තියා උගුරට වදින්නවත් දෙයක් තිබුණ් නෑ සමහර දාට කටින් පහළට දාගන්න :)

      Delete
  3. හ්ම්ම්.....අප්පේ..ගණන් ගන්න එපා සිත්තරි අක්කේ..ඔය ගත්ත පන්නරය කවදා හරි ඔයාට ඉස්සරහට යන්න උදව් කරනවා අනිවාර්යෙන්ම!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි... මම අදටත් සතුටුයි එහෙම තැනක වැඩ කළ එක ගැන. මම දුක් වෙන් නෑ ලැජ්ජ වෙන් නැ ඒ රස්සාව ගැන කියන්න

      Delete
  4. මාරම සංවේදී කතාවක්නේ සිත්තරියේ...මේ තමා ජීවිතය. අපේ මාවත වැටී ඇත්තේ මල් යහන් මතින් නොවෙයිනේ...එය ජයගැන්ම තමා වටින්නේ...

    ReplyDelete
    Replies
    1. ඒ ආයතනයට අඩිය තියද්දි මං හිතුවෙ නැ දවසක මෙහෙම දෙයක් ලියන්න වෙයි කියලා... නමුත් ලියන්න වුණා... ජීවිතය තව ඉදිරියට තව තව ආකාර වලින් ලියවෙයි :)

      Delete
  5. කාලෙකට පස්සේ හොඳ කතවක් බ්ලොග් එකකින් කියෙව්වා. මමත් පොත් සාප්පු වල කාලය ගත කරන්න ආසයි. සමහර සාප්පු සේවකයෝ අතර හොඳ දැනීමක් තියෙන අය ඉන්නවා. මට මතක්වුනේ AL කරලා රස්තියාදු ගහන කාලේ මුණගැහුණු ඒවගේ කෙනෙක්. එයා ගාව මහා පොත් ගොඩක් තිබ්බ. මම ඒ එකක් නෑර කියෙව්වා. දවසකට දෙක තුනකුත් කියෙව්වා. ඒ වගේ පොත් කියවපු කාලයක් ආපහු ආවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒක ඇත්ත... අපි නොහිතන තැන් වලදි නොහිතන විදිහට අහඹු හමුවීම් වෙනවා.... ජීවිතේ ඒ වගේ

      Delete
  6. අක්කියෝ..ජීවිතේ මේ වගේ අත්දැකීම් ලබන්න ඕනි.එතකොට තමයි ජීවිතේ හදාගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. හ්ම්... ඇත්ත නංගි
      ඒකත් වින්දනාත්මකයි

      Delete
  7. කෙල්ලෙක් විසින් දරන්න පුළුවන් දුක් කරදර සීමාවේ උපරිමයටම ඔයා දුක් විඳලා තියෙනවා කියලා පේනවා.ඉතින් දැන් මොකද කරන්නේ?ඒවාත් ලිව්වා නම්?.

    ReplyDelete
    Replies
    1. දැන් මහාචාර්ය හීනෙ හැබෑ කරගන්න යන ගමන ඉදිරියට යනවා.... බලමු ඒ අහලකටවත් යා ගන්න පුළුවන් වේද කියලා... :)

      Delete
  8. ඔබේ මතක ආවර්ජනය ඉතා කතාව දුක්බර යි. සමහර අයගේ ජීවිත ආරම්භය ඔය ආකාරයෙන් සනිටුවහන් වෙනවා. හැදී වැඩුන පරිසරයෙන් ක්ෂණික වෙනසක් සිදුවීම සමඟ සමහරකුට පළමු රැකියාව එපා වෙනවා. ඒ අනුව ඉදිරි පිම්මකට සූදානම් වෙනවා.
    ඔබටත් දුර ගමනක් යාමට සුභ පැතුම් එක් කරමි.

    ReplyDelete
  9. පිටතින් සුන්දරව පේන හුඟක් දේ ඇතුලතින් අසුන්දරයි. මමත් ඔය වගේ රැකියා කරලා තියනවා. ඒ වගේ මිනිස්සු ආශ්‍රය කරලා තියනවා. ඒවා හොඳ අත්දැකීම් නොසැලී ඉන්නට..

    ReplyDelete
    Replies
    1. ඔබේ ගමනට සුබ පතනවා..!

      Delete
    2. බොහොම ස්තූතියි චන්දන

      Delete
  10. සුපිරියි අක්කේ! සුපිරියි!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :) ‍බො‍හොම ස්තුතියි මල්ලි

      Delete
  11. දුක් විදලා තියෙනවනේ සැප උරුම කරගන්න.

    ReplyDelete
  12. මම මේ ආවාමයි. මම ඇත්තටම ආවේ සිත්තරීගේ කොන්ඩෙ පාට දැකලා. :D

    මේක හරිම සංවේදී කතාවක් කාලෙකින් කියවපු. ජීවිතේ ගමන් මග හරි පුදුමයි නේද?

    මම ඇඩ් එකක් දානවා නෙවෙයි මෙතන. මමත් මෑතකදි මගේ ඩෙනිමට ලිව්වා මේකට අදාල බ්ලොග් පෝස්ට් තුනක් එක දිගට. 'මං කවුරු වෙන්නද ආසා' කියලා පටන් අරගෙන, එතනින් ලැබුන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම ලිව්ව Teaching Abroad 1 & 2 කියවලා බලන්න කියලා මම සිත්තරීට ආරාධනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හි හි... ඉතිං පාට පාට දකින්න ඇති ‍නේද....
      හරි මං එන්නම් ඔයා‍‍ගේ බ්‍‍ලොග් එකට යාලු....
      ‍‍මේ පැත්‍‍තෙ ආවට ස්තූතියි

      Delete
  13. සිත්තරිගේ ජිවිතේ .., මේක කියෙව්වම මට ප්‍රශ්න කිහිපයක් අහන්න හිතුනා... ඒත් මෙතන බැහැ බුකියේදී අහනවා ..

    ReplyDelete
    Replies
    1. ඕ‍කේ..... අද අහන්න......... :)

      Delete
  14. අදමයි මේ පැත්තෙ ආවෙ.....

    මමත් 94 අවුරුද්දෙ මහරගමට ආවෙ ස්ක්‍රීන් ප්‍රින්ටින් ජොබ් එකකට...එතනින් හමබ වුන පඩිය සම්පූර්ණයෙන්ම වැය වුනේ....
    මා‍සෙකට චිත්‍රපටි 4ක් බලන්න
    පොතක් ගන්න
    එවකට ඵලවුන රැඩිකල් පත්තර සගරා ඔක්කොම ගත්තා
    පොත් එළි දක්වන උත්සව වලට ගියා
    නාට්‍ය බැලුවා.....
    චිත්‍ර ප්‍රදර්ශන බැලුවා...

    ReplyDelete
    Replies
    1. අහ්.... මරුනෙ අයියේ.... මමත් කොල්ලෙක් වුණානම් කියල හිතෙනවා.... කෙල්ලෙක් වෙලා ඒ නිදහස අපරිමෙන් විඳින්න බැහැ නෙව.... :(

      Delete
  15. ජිවිතේ ලැබෙන හැම අත්දැකිමක්ම අලුත් හොද ජිවිතයකට පාර කියනවා අක්කේ...ඒ ආදරණිය වු ජිවිතයට පිවසෙන්න හැකියාව ලැබේවි..මොන දේ වුනත් කරන හැම දෙයක්ම හිතින් උනන්දුවෙන් කරන්න..ඒ දේ ට අකමැති කියලා හිත කියනවා නම් ඒ දෙයින් ඈත් වෙන්න ...සාර්ථක දිවියකට මං විවර වේවි..ගොඩක් සංවේදි කතාවක් ..සුබ පැතුම් ලස්සන අනාගතයකට අක්කේ....

    ReplyDelete

 
There was an error in this gadget