Monday, June 24, 2013

මවිසින් ඇඳි සිතුවම් සහිතව ගෙන එන පළමු ළමා කථාන්දරය - මම කුරුල්ලෙක් නම්




තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක එකට ඉන්න බැරි වුණා.

එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස කතාත් එකතු වුණ නිසා.

Sunday, June 23, 2013

Tuesday, June 18, 2013

උරුම ක්‍රියාවලිය / Heritage as a process


Heritage formation

1.       Discovery by birth (ජන්ම උරුම)
2.       Achievements (සාධිත උරුම)
3.       Acquisition  (ආරෝපිත උරුම)

උරුම දාමය / heritage chain

උරුමය යනු එකිනෙක සහසම්බන්ධ වූ දෙයකි. ඉහත පරිදි, උරුමය ප්‍රභවය වන ක්‍රමවේද තුනකි. යම් දෙයක් උරුමයක් බවට පත් වන්නේ මෙකී ක්‍රමවේද කවරකින් හෝ එය උරුමයක් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුවය.


1.       උපතින් / ජන්මයෙන් උරුමයක් බවට පත් වීම.

උදා :-
ජාතික කොඩිය
විශ්ව කීර්තියට පත් යම් කලාකරුවෙකුගේ නිර්මාණ (මෙහිදී ඔහු පුද්ගල ස්වරූපයෙන් උරුමයක් බවට පත් වීමට ඒ දක්වා පසු කළ අවධියේදී සැලකිය යුතු තරම් බලපෑමක් සමාජයට සිදු කර තිබිය යුතුය. ඔහු සමාජය තුළ උරුමයක් ලෙස නම් වූ පසු එතැන් පටන් ඔහුගේ සියලු නිර්මාණ උපතින්ම උරුම ගණයෙහි ලා ගැනේ)

Thursday, June 13, 2013

පුරාවිද්‍යා න්‍යාය / සිද්ධාන්ත හැඳින්වීම


පුරාවිද්‍යාව යනු,

අතීත මානවයාගේ හැසිරීම් රටා සහ සංස්කෘතික වෙනස්වීම්, ද්‍රව්‍යාත්මක අවශේෂ තුලින් අධ්‍යයනය කිරීමයි.




මානව පරිනාමයේ මුල් යුගයේ සිට පසු කළ විවිධ අවධීන්හිදී විශෞෂතා හඳුනාගත හැකි වන්නේ ඔවුන්ගේ ද්‍රව්‍යෘත්මක සංස්කෘතික සාධක මගිනි. එනම් මානවයා විසින් ඒ ඒ යුගයන්හිදී භාවිත කළා වූද අදටද කැණීම්, ගවේශන ඔස්සේ අනාවරණය වන්නා වූද මානවයාගේ භාවිතයන් පිළීබඳ තොරතුරු දක්වන විවිධ ද්‍රව්‍යයි.

Wednesday, June 12, 2013

මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා ආදේශනය




 සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලිය

පැරණි ජන කණ්ඩායම් වල හැසිරීම් රටා අධ්‍යයනයේදී පුරාවිද්‍යඥයන් විසින් සමීප අධ්‍යයනයට ගනු ලබන්නේ වර්තමාන ගෝත්‍රික ජනතාවයි. මෙහිදී ඉපැරණිම හැසිරීම් රටා තත්වාකාරයෙන් අධ්‍යයනය කිරීමේ නොහැකියාව පැවතියද යම් තාක් දුරකට පැරණී සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ‍සැලසේ. මානවවංශවිද්‍යා විශ්ලේෂණයන් පුරාවිද්‍යාවේ ප්‍රධාන න්‍යායක් ලෙස අධ්‍යයන කටයුතු වලදී පාදක කරගනු ලැබෙන්නේ මෙලෙස අතීත සමාජ ප්‍රතිනිර්මාණය උදෙසා එමගින් ලබාගත හැකි සමීප නිදර්ශන රැස නිසාවෙනි. මිනිසාගේ සමාජ සංස්කෘතික හැසිරීම් රටා අධ්‍යයනයේදී මානව කාති මගින් ඉදිරිපත් කරන්නාවූ දත්ත පාදක කරගත හැකි සේම, එයට වඩා දත්ත ප්‍රමාණයක් වත්මන් ප්‍රාථමික ජන කණ්ඩායම් අධ්‍යයනයේදී ඔවුන්ගේ ‘ඇදහිලි හා විශ්වාස’ පදනම් කරගනිමින් අර්ථවිග්‍රහ කිරීමේ හැකියාව පවතී.

Tuesday, June 4, 2013

ගමන


ඇය යාන්තමට වමතින්, ඈට ඉදිරියෙන් සිටි ඇගේ ඉඟටියෙන් අල්ලා ගත්තා. මෙතෙක් වේලා තිබුණු විදිහටම, වයර් දිගේ ඇදි ඇදි ගිහින් කනක් අස්සෙ ඇහෙන විරාජ්ගෙ සිංදු තාලෙට දකුණතේ ඇඟිලි ඇගේ කලවය උඩ තාල ඇල්ලුවා. ඉය’ෆෝන් එකේ අනිත් අන්තය සම්බන්ධ වුණේ ඉදිරියෙන් හිටපු නාගේශ්වරීවරීගෙ එක කනකට. හවුලේ සිංදු අහගෙන පාන්දර හිරිගඩු පිපෙන සීතලේ ඇටමිදුලු කාවද්දන සීතල හොයාගෙන යන අපූරු ගමන ගැන දෙන්නටම තිබුණෙ කෝඩුකාර ආසාවක්. ඒ ආසාවට වඩා කුතුහලය ඒ හිත් ඇතුලෙ කැරළි ගහන්න ගත්තේ හෙල්මට් කපාගෙන මූණෙ අහුමුළු හොයන සීතල හුළ‍ඟෙ කැරලිකාරී බව වගේමයි. අටබාගෙ පහු කරන් යද්දි නුවරඑළි හීතල ටිකෙන් ටික දැනි දැනී තිබුණා. ඉදිරි ආවරණයක් නැති හෙල්මට් එක ඇතුලෙ දඟර ගහන තෙත හුළඟ ඇගේ වගේම නාගේශ්වරීගෙත් මුහුණ හිරි වට්ටන බව ඇය හිතුවා.

“නිශු, ගලවන්න ඔය හෙල්මට් එක” ඈ පැවසුවේ ඇගේ කෙහෙරැළි වලටත් නිදැල්ලේ යන්නට ඉඩ හරිමින් ඇගේ හිස් ආවරණය ගලවා අතේ රඳවාගන්න ගමන්.

“අපෝ බැ... දැන්නම් කොහොමත් බෑ. කන් දෙකත් අයිස් වෙයි” ඒ කටහඬ මවා පෙන්වූ සිහින් දඟකාර හිනාව නාගේශ්වරීට පසුබා සිටි නිසා ඈ නොදුටුවත්, ඇගේ පිළිතුරු හිනාව ඒ නොදුටු සිනහවට පිළිතුරු කීවා.

“අනේ රාණි, මට විඳින්න ඕන ඔයාගෙ කොණ්ඩෙ පිච්චමල් සුවඳ. ඉරත් නැති මේ පාන්දර තෙත්වෙච්ච සීතල හුළඟත් එක්ක ඒ සුවඳ කොයි තරම් සුවඳ ඇත්ද කියල ඔයා දන්නවද?”

Monday, June 3, 2013

උරුමය HERITAGE


හැඳින්වීම

උරුමය යනු මිනිසා විසින් “ගොඩනගන ලද” සංකල්පයකි (constructed idea). උරුමය ලෙස අප සලකන්නේ සංස්කෘතිකමය වශයෙන් පොහොසත් වටිනාකම සහ සංකල්පමය වශයෙන් විශාල වැදගත්කමක් ලබා දෙන්නා වූ දේවල්ය. නමුත් සත්‍ය වශයෙන්ම සිදුවිය යුත්තේ එයද යන පැනය නැගිය යුතුය. අපගේ උරුමය ලෙස අප නම් කළ යුත්තේ එවන් බාහිර ඔපයෙන් අනූන, තම සිතැඟියාවන් අනුව විශේෂ හිමිකමක් දුන් තෝරාගත් යම් යම් අංශ පමණක්ද යන්න විමසීම වැදගත් වේ.
HERITAGE - මෙම සංකල්පය යම් යම් දේ ප්‍රතික්ෂේප කර, යම් දේ පමණක් තෝරාගැනීමකට ලක් කරයි. මෙම තෝරාගැනීම පුද්ගලානුබද්ධ වන අතරම, යම් ජන සමාජයක, සංස් කෘතියක, ජාතියක, රටක දුර්වල දුප්පත් සාධක බැහැර කිරීමත්, පොහොසත් වටිනාකමක් ආරෝපණය කළ හැකි සාධක පමණක් උරුමය ලෙස නම් කිරීමත් මෙහිදී සිදු වේ.

Tuesday, May 21, 2013

යැදුම්





දැහැටි පුදා බුහුටි ලෙසට
කරමි යැදුම් සලිත සිතින
සිතක් බලා කරුණා කර
වඩින් දෙවිඳු මල් යහනට

කට්ටකුමංජල් දුම් තිර
ඇද වහලා හිත වෙව්ලුම
ආවඩනෙමි දෙවිඳු නමට
වඩින් දෙවිඳු මල් යහනට

Tuesday, May 14, 2013

෴තුන්පත්රෑන෴






සුපුල් විලේ කෙළිනා සිරි රුසිරාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන

Tuesday, May 7, 2013

ලේ




වැලේ වනපු රෙදි දිගේ වතුර බේරෙනවා. රෙදිවල දාර දිගේ ඇදෙන දිය සීරාව නිසා පොළව හිල් වෙනවද කියල බැලුවත් මිදුලෙ පිරිල තියන වතුර කන්දරාවෙ තරමට හිල් වෙන එක කෙසේ වෙතත් වතුර ගලන රටාවට මිදුලෙ ඉරි ඇඳිල ඇති කියලනම් හිතුණා. වැලි පොළව දිගේ මහා වතුර පාරක් ගලද්දි කොහොමත් නෙරු නිම්න රටා ඇඳෙනවනෙ.

'දවස් තුනක් ඇති හරියටම වැලට රෙදි ටික දාලා. ඔය අපූරුවට වේලෙන්නෙ. නිකන් රෙදි ටික සවුත්තු වෙනව විතරයි.... දැන් ඕක දිහා බකන්නිලං හිටියම වේලෙයි කියල හිතං ඇති. තමුසෙට තිබුණනෙ ඔය ටික අර ලෑලි කාමරෙන් දාල වේලගන්න....'

ඊළඟ පැය තෙක් දෑස් මානගෙන



කසිකබල් වහළෙට
ඔරොත්තු නැහැ වැස්ස
හිල් වෙච්ච ටකරමේ
ඉරාගෙන ඉටිකොළ අණ්ඩ
සාස්පාන් පුරෝගෙන
දෝරෙ ගලනව වතුර
බිමත් බොඳ කරගෙන
හිතත් තෙත් කරගෙන



Monday, May 6, 2013

ඔබේ ආලය

මහා වැස්සක
තෙමි තෙමී දුවගෙනම
හනි හනික ආවෙමි
ලියන්නට කවියක්
මැකෙන්නට කලියෙන්
නලියාපු පදවැල්

ඔබේ ආලය
කාණු පල්ලේ ගලන

Sunday, May 5, 2013

බලාපොරොත්තු නැතිනම් ඔබ ජීවත් වේවිද.....? ගීයක් සඳහා මගේ තවත් එක කටුසටහනක්


---බලාපොරොත්තු--- අපිව ජීවත් කරවනවා... බලාපොරොත්තු නැති ජීවිතේ මොන පලයක්ද කියල අපි අපෙන් අසාගන්න තරමටම බලාපොරොත්තු කියන දේවල් අපේ ජීවිතේට සමීපයි.......... ඔබ සිතුවාද මෙලෙස.................. කිසිම බලාපොරොත්තුවක් නොමැතිව, ශුන්‍යක්ව, ඔබට ජීවත් විය හැකිද කියා..........? මම සිය දහස් වර මගෙන්ම විමසා තිබෙනවා............. බලාපොරොත්තු නැතිව මට ජීවත් විය හැකිද කියලා.... එවිට හිත මුරගා කියනවා.... ‘බලාපොරොත්තුවක් නැතිනම් තෝ මැරියන්... බලාපොරොත්තු වලින් තොර ජීවිතේ මොකටද‘ මංද... ඒ මට හිතෙන දේ..... 

එක්එක්කෙනාට එක් එක් විදිහේ බලාපොරොත්තු තියෙනව තම ජිවිත කාලය මුළුල්ලේ ඉටු කරගන්න...... මේ ලියවුණෙත් එවන් එක් දෙයක් ගැන.... කල්ප කාලයක් පෙරුම් පුරලත් නොලැබුණ සම්පතක්, අනන්ත උත්සාහයන් වලින් පස්සෙ එක දවසක අහම්බෙන් ලැබෙනවනම්..... ඊට වඩා තවත් සැපතක් තියේවිද....? බලාපොරොත්තු කියන දේ අන්න ඒ වගේ.... අපි හිතන් හිටියට විතරක් අපිට ලැබෙන් නැහැ..... සමහරවිට මුළු ජීවිතේම කොයි තරමක් බලන් හිටියත් ලැබෙන් නැහැ.....


රෑ අහස පීදිලා
තරු පොකුරු බර වෙලා
දුවේ නුඹෙ පිපුණු වතමල වගෙයි
ටිකිරි සඳ හෙට උදාවෙන හැඩයි

කසුන් රැස් පායලා
පැතුම් සිත්තම් වෙලා
මහ ගෙදර අඳුර දුරුවෙනු වගෙයි
මාසෙ පෝ කළුව මැකෙනට ළඟයි

කිරි සුවඳ ඉහිරිලා
කිරි කටක හඬ ගලා
සිනාමල් පිපෙන්නට අවසරයි
බිළිඳු සඳ වඩම්මන දින ළඟයි

Saturday, May 4, 2013

විවරණ අංක එක * - නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය - * බහුතරයකගේ ඉල්ලීම මත ලියවෙන අර්ථ දැක්වීමක්


මං ලියූ දෙයක් ගැන මමම අර්ථ දක්වන එක වැරදියි තමයි. ඒත් කිහිප දෙනෙක්ම කිවා අර්ථය තේරුම් ගන්න අපහසු නිසා පැහැදිලි කිරීමක් අවශ්‍ය බව. මේ පුංචි සටහන ඒ ඉල්ලීම් වෙනුවෙන්. ඒත් ඇත්තෙන්ම මම අකමැති දෙයක් මම ලියපු හෝ ඇඳපු දෙයක් වෙනමම විග්‍රහ කරන්න වෙන එක. ඒකෙන් පැහැදිලි වන ප්‍රධානම දේ තමයි මගේ නිර්මාණය අසාර්ථකයි කියන එක. ඒත් නිතර මගේ බ්ලොග් එකට ගොඩවදින, මම ලියන දේවල් කියවන්න ආස මිතුරු මිතුරියන් වෙනුවෙනුයි මේ අර්ථ දැක්විම කරන්න හිතුවේ. මේ සටහන මිට දින දෙකකට උඩදි මා ලියූ නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය නම් වූ සංකල්පනාව ගැනයි.

කලින් කියවපු නැති අය ඉන්නවනම් මුලින්ම කවිය බලල එන්නකො මේක කියවන්න කලින්. මෙන්න ලින්ක් එක.

මුරුගසන් වරුසාව, එය ඔබ කවුරුත් දන්නවා ඇති. කල්පාවසානයේ වහින මේ වැස්සට හසු වුණු සියල්ල විනාශ වන බවයි සාහිත්‍යයේ සඳහන් වන්නේ. ඇය, කිරි වැදුනේවත් නැති නෑඹුල්ම වි ඇටයක්. ඒ කියන්නෙ ඇය ඉඳුල් නොවුණු මල්වර විද නැති දැරියක්. නමුත් ඇය මහා දරුණු ඉරණමකට මැදි වෙලා. මුරුගසන් වරුසාව නැමති ඔහුගේ දෑතට, නෑඹුලේම හසු වූ

Friday, May 3, 2013


පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතියෙහි මැටි බදුන්.
01
හැඳින්විම
දක්ෂින ආසියාවේ ඇතිවු වර්ධනියම ශිෂ්ටාචාරය ලෙස හරප්පා සභ්‍යත්වය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. දැනට ශේෂ වී ඇති තත්කාලීන නශ්ටාවශේෂ විමර්ශනයේදීද පෙනී යන්නේ ඉතා දියුණු නාගරික සංස්තෘතියක් උක්ත ශිෂ්ටාචාරයේදි හඳුනාගත හැකි බවයි. නමුත් පශ්චාත් හරප්පාන් සමය පිළිබඳව විමසා බැලීමේදී ඉහත ලක්ෂණය එකී ක්ෂේත්‍ර අනුසාරයෙන් කෙතෙක් දුරට ස්ඵුට වන්නේද යන්න විවාදාත්මක ප්‍රපංචයක් ලෙස දැක්විය හැකිය. මන්ද යත්, ක්ෂේත්‍ර ගණනාවක කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් පශ්චාත් හරප්පන් වකවානුව ප්‍රතිනිර්මාණය කළ හැකි බොහෝ සාධක දැනට අනාවරණය වි ඇති හෙයින් ඒ පිළිබඳ පැහැදිලි අර්ථ විවරණයක් මේ වන විට ලබා දීමේ හැකියාව පැවතීමයි.
කෙසේ වෙතත් පශ්චාත් හරප්පන් යුගයේ හමු වන ජනාවාස “ග්‍රමීය සංස්කෘති” ලෙස හැඳින්වීම මතම ඒවා කෙබඳු ආකාර වූයේදැයි ඉඟියක් ලබා ගැනිමේ අවස්ථාව ඇත. එසේ හෙයින් පශ්චාත් හරප්පානු සමය සැලකූ කල්හි එය නාගරික ලක්ෂණවලින් වියුක්ත වූ ග්‍රාමිය ලක්ෂණ වඩා වර්ධිත වකවානුවක් ලෙස පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම පෙර පැවති දියුණු නාගරික ශීෂ්ටාචාර ලක්ෂණ මේ වන විට පිරිහි ගොස් නාගරිකත්වයේ පරිහාණිය සනිටුහන් කරන්නා වූ ඊට පූර්වයේ පැවති ග්‍රාමිය තත්ව යළි ස්ථාපිත වන බව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

පතකි නිදිකුම්බා


රමණය.... එය සැමටම උරුමද? එසේයැයි කිව නොහැක. මන්ද රමණයේ උත්කෘෂ්ට සන්තුශ්ටිය තබා ස්පර්ශයේ උණුහුම නිය තුඩගටදු නොදැනෙන ඇතැම්හු අප අතරම වෙති. හැබෑය... ඒ අල්පතරයකි. නොගිණිය හැකි ගණනකි.... නමුදු ඔබ, ඔහු හෝ ඈ වී තමන් දෙස බැලුවාද....? යම් දිනෙක ඔබත් ඒ නොගිණිය හැකි අල්පය අතරට ආවේ නම්...... වැඩිමනත් යමක් නොකියමි... දෙනෙත් පියා ඔබටම සිතන්නට ඉඩ හරිමි. 


Thursday, May 2, 2013

නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය




අකල්හි හෙන හඬින් වට

මුරුගසන් අසනි වැස්සට
තෙමී හේබා වී ‍බොල්ව
කිරෙන්ද ‍නොනැමි
නෑඹු‍ලේ වියැටය
අවසන් ස්වප්නය දකිනු රිසි
මිහි මවුන් සිප ගැන්මක

Wednesday, May 1, 2013

මම කුරුල්ලෙක් නම්


තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක එකට ඉන්න බැරි වුණා.

එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස කතාත් එකතු වුණ නිසා.

අපි හොරෙන් යං පුංචි කාලෙට...... කාගෙන් බාධාවක්ද............


පුංචි කාලෙ මතකය හරිම සුන්දරයි. ලොකු වුණාම ගොඩක් අය එහෙම කියනවා. ඒත් පුංචි අය කැමති නෑ ගොඩක් වෙලාවට තමන් ගත කරන කාලයට. හැමෝම එහෙමද කියන්න මම දන්නෙ නැහැ. මං මං ගැන කියන්නම්. මං කැමැත්තෙන් හිටියෙ නැහැ පුංචි කාලෙට. ඒ කාලෙ මට ඕන වුණේ ඉක්මනින් ලොකු වෙන්න. මොකද කියනවනම්, අපේ අම්ම හැමදාම ටොකු ඇණ ඇණ පාඩම් කෙරෙව්වා. හැමදාම උදේ හවස ඉස්කොලෙ යන්න එන්න පයින්ම.... යන්න මහා විසාල කන්දක් තිබුණා. ගිණි කාස්ටකේ ඔය පාරෙ මටත් වඩා බර පොත් බැග් එකක් උස්සන් යන්න එන්න සිද්ද වුණා. මල්ලිලා මට වඩා බාල නිසා බොහොම සාරෙට එයාලට සැලකුම් ලැබුණා. හැම රණ්ඩුවකම කෙළවර සටහන් වුණේ ලොකු ගුටි වරුසාවක් මගේ පිට දිගට ඇඟ හරහට වැදිලා.


ඔන්න ඒවටත් එක්ක හරි යන්න මම බොහොම මුරණ්ඩු, නාහෙට නාහන ගානට හැදුනා. මේ ඇත්තම මගේ ගැනයි කියන්නෙ. වෙන කතා වගේ ආදේශ චරිතයක් නෙවේ. මට හිතුණ දේ කරන, දෙයක් ඕනනම් හොඳින් හෝ නරකින් මට ඕන දේ ලබාගන්න විදිහට කාටවත් මෙච්චල් නොවී මං හැදුණා.

Monday, April 29, 2013

උඩුයටිකුරු



මේ චිත්‍රය මම නම් කළේ උඩුයටිකුරු නමින්. ෆේස් බුක් එකේ ඉන්න සමහර යාලුවෝනම් මගේ මේ සිතුවම දැකල ඇති.. 

ඔයාලට මේකෙන් මොන වගේ අරුතක්ද දැනවෙන්නෙ කියන එක මම මුලින්ම අහන්නම්. කැමති නෑ මේ ගැන මගේ අදහස කියන්න.....

මේ දේ කියන්නම්. සමාජය ගැන අන්තෙටම කලකිරිල හිටපු මොහොතකයි මේක ඇන්දෙ.