Tuesday, June 4, 2013

ගමන


ඇය යාන්තමට වමතින්, ඈට ඉදිරියෙන් සිටි ඇගේ ඉඟටියෙන් අල්ලා ගත්තා. මෙතෙක් වේලා තිබුණු විදිහටම, වයර් දිගේ ඇදි ඇදි ගිහින් කනක් අස්සෙ ඇහෙන විරාජ්ගෙ සිංදු තාලෙට දකුණතේ ඇඟිලි ඇගේ කලවය උඩ තාල ඇල්ලුවා. ඉය’ෆෝන් එකේ අනිත් අන්තය සම්බන්ධ වුණේ ඉදිරියෙන් හිටපු නාගේශ්වරීවරීගෙ එක කනකට. හවුලේ සිංදු අහගෙන පාන්දර හිරිගඩු පිපෙන සීතලේ ඇටමිදුලු කාවද්දන සීතල හොයාගෙන යන අපූරු ගමන ගැන දෙන්නටම තිබුණෙ කෝඩුකාර ආසාවක්. ඒ ආසාවට වඩා කුතුහලය ඒ හිත් ඇතුලෙ කැරළි ගහන්න ගත්තේ හෙල්මට් කපාගෙන මූණෙ අහුමුළු හොයන සීතල හුළ‍ඟෙ කැරලිකාරී බව වගේමයි. අටබාගෙ පහු කරන් යද්දි නුවරඑළි හීතල ටිකෙන් ටික දැනි දැනී තිබුණා. ඉදිරි ආවරණයක් නැති හෙල්මට් එක ඇතුලෙ දඟර ගහන තෙත හුළඟ ඇගේ වගේම නාගේශ්වරීගෙත් මුහුණ හිරි වට්ටන බව ඇය හිතුවා.

“නිශු, ගලවන්න ඔය හෙල්මට් එක” ඈ පැවසුවේ ඇගේ කෙහෙරැළි වලටත් නිදැල්ලේ යන්නට ඉඩ හරිමින් ඇගේ හිස් ආවරණය ගලවා අතේ රඳවාගන්න ගමන්.

“අපෝ බැ... දැන්නම් කොහොමත් බෑ. කන් දෙකත් අයිස් වෙයි” ඒ කටහඬ මවා පෙන්වූ සිහින් දඟකාර හිනාව නාගේශ්වරීට පසුබා සිටි නිසා ඈ නොදුටුවත්, ඇගේ පිළිතුරු හිනාව ඒ නොදුටු සිනහවට පිළිතුරු කීවා.

“අනේ රාණි, මට විඳින්න ඕන ඔයාගෙ කොණ්ඩෙ පිච්චමල් සුවඳ. ඉරත් නැති මේ පාන්දර තෙත්වෙච්ච සීතල හුළඟත් එක්ක ඒ සුවඳ කොයි තරම් සුවඳ ඇත්ද කියල ඔයා දන්නවද?”

“මෙයාගෙ වදේනම් ඉතිං....... කෝමඅරි අන්තිමේ ඔයාට ඕන දේ කරගන්නවා.” නාගේශ්වරීගෙ නෝක්කාඩුවේ රැඳුණෙ මවාගත් තරහක්. එක දිගට වැටුණු වංගු කිහිපයක් පසු කළ ඇය ස්කූටරය පාරේ පසෙකට කර නැවැත්තුවා. 

“දැන් හරිද?” 

“අපෝ මෙයාගෙ බෙලිකටු මල්ල හොලවන කැත ඉතිං. මේ පාරෙ ගෙවල් නැති නිසා හොඳයි. නැත්තං අම්මප මිනිස්සු බය වෙනවා මෝහිනී සිරික්කිය පානව කියල හිතල.” ඈ කීවේ හෙල්මට් එක ගලවා හැඬලයේ එල්ලා හිනාවෙන නාගේෂ්වරීගේ දඟකාර හිනාව දිහා මවාගත් තරවටුවකින් බලමින්. “යං යං.... මට ඉක්මනින් අර සුව‍ඳෙ අතරමං වෙන්න ඕන” ඈ නැවත හෙමින් නාගේශ්වරීගේ කනට කර කීවේ හොර බැල්මකුත් මුහුණෙ ඇතිව.


ටිකෙන් ටික ස්කූටරයේ වේගය වැඩි කරද්දි හුළඟත් එක්ක දඟර ගහපු නාගේශ්වරීගෙ කෙහෙරැළි ඇගේ මුහුණෙ දැවටුණා. බඳ වටා යැවූ දෑතින් ඇය නාගේශ්වරීව තවත් ළං කරගද්දි හුළ‍ඟෙත් කෙහෙරැළිවලත් පොරයටම ගැලවුණු ඉය’ෆේන් එක ඇගේ කලවය මතින් වැටී හුළ‍ඟෙ වේගයට ආපස්සට ඇදුණා.

“හඳ නැති කළුවරයි
පාන්දර සීතලයි
හීන් හිරිකඩයයි
දඟ කරන කොණ්ඩෙයි
පිච්ච සුවඳයි - නිශූ මා ගාවමයි.......” ඇය නාගේශ්වරීගේ කන අසල කෙඳිරුවා.

“දැන් ලෙඩේ හොඳද”

“හ්ම්...... දේවාලෙ ද්වාර මණ්ඩපේ ඉන්නව වගේ...... පිච්ච සුවඳයි”

“අපෝ නල්ලම්... දොර ගාවින් නවතින්න... ඇතුළට ආවොත් තව මොනව කියයිද මංදා”

“ඇයි, හිතන්නෙ මං දොර ගාවට ඇවිත් හැරිල යයි කියලද? තවම මල් ආසනේ ගාවට ආවෙ නැහැ. තවම ද්වාර මණ්ඩපේට එන පිච්ච සුවඳ විතරයි බැලුවේ....”

“තව මොනවද................” ඉඟි සඟවාගත් හිනාවක් එක්ක නාගේශ්වරී මදක් පසුපස හැරී ඈ දෙස බැලුවා.

“කෙලින් බලාගෙන යමන්. පිච්ච සුවඳට ආස වුණත් පිච්ච සුවඳත් එක්ක තේ වත්ත පල්ලමේ ලේ සුවඳ බලන්න වෙන එකට මං ආස නෑ රාණි”

“චී චී....... අපෝ මේ කියන්න වටින කතාද....? මේ කටනම් ඉතිං.....”

“හා... මේ කට නැත්නම් නාගේශ්වරී අද මෙහෙම එනවද?” ඈ එසේ කියන ගමන් බඳ වටා වූ ග්‍රහණය තව ටිකක් දැඩි කළා. 

ආයාසයෙන් වංගු කැරකෙමින් කන්ද බඩගාන ස්කූට‍රයේ ඇඬුම් හඬත් පරද්දමින් ඔවුන් දෙදෙනා සංවාදයේ යෙදුනේ මහ පාන්දර නුවරඑළි පාරේ ඔවුන්ට භාදා කරන්න කවුරුවත්ම හිටියෙ නැති නිසයි. පුස්සැල්ලාවට එද්දි මීදුමෙන් ගිලිල තිබුණ මොනරගල කන්ද නොපෙනුනත් කන්ද මුදුනෙ කැරකෙන කුළුණෙ රතු ලයිට් එළිය කන්දෙ ඉහළ සීමාව අහසෙ ලකුණු කළා. 

“මට හිතෙනව අර ‍කන්දෙ මොණරගෙ ඔළුවටම නගින්න.... යංද දවසක”

“මොකක්,  මොන මොණරද?”

“ අර පේන ලයිට් එළියට එහා‍යින් තියෙන්නෙ මොනරගෙ ඔළුව. ගස් ටිකක් තියනව හරියට මොනරගෙ ඔළුවෙ තියන පිල් වගෙයි. ඔයාලගෙ කන්දසාමි මේ මොනරගෙ පිටේ ගිහින් තියෙනවද දන් නෑ.... යන්න වටින ගමන. හුටු හුටුව කන්ද පහළ නවත්තලා පයින් තමයි යන්න වෙන්නේ.”

“මේ කොයි හරියද?”

“නවකඩදොර” මුහුණ වසාගත් නාගේශ්වරීගේ අකීකරු කෙස්ස වමතින් මෑත් කරමින් ඈ කීවා. ඒත් එක්කම ඇගේ සිතිවිලි ඉගිල්ලුනේ අතීතයේ දවසක මොනරගල මුදුනට ගිය මතකය දිහාවට. මහ වැස්සෙම අඟල් දෙක තුන දිග කූඩැල්ලො කඩ කඩ එදා මුළු දවසම වෙවුල වෙවුල ගත කළේ කන්දේ. ඒ විස්තර නාගේශ්වරී එක්ක ආයෙ දවසක කන්දෙ ගිය දවසකටම කියනවයි කියල හිතාගත්තු ඇය ආපහු ස්කූටරයේ ඉන්න මේ මොහොතට ආවා.

“ගමන් නම් කොච්චරද රාණි? උපන්දා ඉඳලම ගමනෙ” 

“හ්ම්.... අමුතු අමුතුවට පෙනෙන ඔක්කොම යන එක වගේම ගමන් වල”

ඇය නාගේශ්වරීට රාණි කියන්න හුරු වුණේ ඇගේ දමිළ ලස්සන ඒ තුළින් තවත් ඔපවත් වෙන නිසා මිස එය නාගේශ්වරීගේ නමේ කොටසක් වුන නිසා නෙවෙයි. හරියට නුවර කෙල්ලක්ට මැණිකෙ කියනව ‍වගේ.... ඇය ආස වුණා නාගේශ්වරී තුළින් පෙරිල එන දමිළ හැඩතල වලට. විශේෂයෙන්ම නාගේශ්වරීගේ පුළුල් නළල් තලය ඉස්මතු කරවන කවාකාර ඝන කළු ඇහිබැමි දෙක හරි මැදින් කියන පුංචි කළු මොට්ටුවට. මොන මෝස්තරයට විලාසිතා කළත් නළලෙන් මොට්ටුව අයින් කරන්න ඇය ඈට ඉඩ නුදුන්නෙ ඒ නිසා.

“අන්න ඔයාලගෙ හනුමන්තා. නිශුව පැහැරගත්ත කියල ආයෙ ගින්නක් තියයිද දන් නෑ.” ඇය කන්ද මුදුනෙ තියන ලොකු පිළිමෙ දිහා බලන් කීවා. ස්කූටර තත්පර කීපෙකින් හනුමාන් පහු කළත් පාර දිහාවට යොමු වුණ හනුමාන්ගෙ බැල්ම ඔවුන් පස්සෙ පන්නනවත් ඇති කියල ඇයට හිතුණා.

“ඉතිං හොඳ නැද්ද ආ.... කැලේ ගිනි තිබ්බොත් චේනා කල්ටිවේශන් එකක් කරන් ඉන්න පුළුවන්නෙ අපි දෙන්නට.”

“නිශු හිතන තරං ලේසිනම් මේ රටේ එහෙම හේන් කොටන් පැල් කොටේක ඉන්න අපිට ජීවිතේ මේ තරම් ලස්සනක් විඳින්න වෙන එකක් නෑ”

“මං ඇහුවෙ නැනෙ”

“මොකද්ද”

“අපි කොහෙද යන්නෙ?”

“මංදා”

“................”

“ඇයි නිශු යන තැනක්... පාරෙ දිග තියනකන් අපි යං. පාර නැවතුණොත් අතුරු පාරවල් හොයං යං. අතුරුපාරවලුත් නැති වුණොත්...........”

“අතුරු පාරවලුත් නැති වුණොත් කැලෑ පාරවල් හදන් යං. ඒකයි මගේ දුලංජලීගෙ තියරි එක. දැන්නම් මං හෙල්මට් එක දාගන්නව. කන් පෙති දෙක ගල් වෙලා මගේ.” කතාව අතරට පැනපු නාගේශ්වරී කීවෙ සුරතින් දකුණු කන් පෙත්තඅල්ලන ගමන්. ඒ අත මත තැබුණ දුලංජලීගේ අතේ උණුහුම දැනුණ නිසා ඇය කන් පෙත්තෙන් ඇගේ අත ඉවතට අරන් දුලංජලීගේ අත උඩින් ඇගේ අත ආයෙමත් තියාගත්තා.

“ටිකක් නැවතිලා යං. ඔයාට අමාරු ඇතිනෙ මේ පාරෙ ඇවිල්ලා.”

කඳු අතරින් ඉර පායන්න ලකුණුවත් තවම මතු වෙලා තිබුණෙ නැහැ. මග දිගටම පසු කරන් ආවා වගේ, කන්ද පහළට ගල් පර්වතේ හෝදගෙන වැටෙන තවත් එක දිය ඇල්ලක් තිබුණු වංගුවක නාගේශ්වරී ස්කූටරය අයිනට කරල නැවැත්තුවා. පාර ඡේදනය කරපු වතුර පාර ගලා ගියේ වංගුවේ හදපු පාලම යටින්. පාරෙ වම් පැත්තට වෙන්න වාහන නතර කරන්න පුළුවන් තරම් ඉඩ පහඩු ඇතිව හදපු කොටසට යාබදව ඉටිපන්දම් එළියක්වත් නැති පුංචි කඩ කාමරයක් තිබුණා. පාර අයිනෙ යකඩ අත් වැටට හේත්තු වෙලා දිය ඇල්ලට පිටුපාලා, දෙවැලමිටි අත්වැටට තදකරගත්තු නාගේශ්වරී උඩුබැලි අතට හැරිලා අහස දිහා බැලුවෙ ගනින්න පුළුවන් තරම් වුණු තරු ටික දකින්න. වැහි වලාකුළු තමන්ගෙ බරත් දරාගන්න බැරිව කඳු අතරටම පාත් වෙලා තිබුණත් අතරින් පතර එබෙන තරු කීපයක් අහ‍සෙ තිබුණා. ඇලයට හැරුණු දුලංලී දකුණතින් අත්වැටට බර දීලා තද අඳුරෙන් පෙරාගත්තු ඇගේ රාණිගෙ කෝමල රේඛා මතකයේ සටහන් කරගන්න උත්සාහ කළා.

“යන ගමනෙ කෙළවර කොතනද කියල ඇත්තටම දැනගෙන ඉන්න ඕනද නිශූ?”

“බලන්න අහස.... පාළු වුණත් මොන තරම් නිස්කලංකද?’

“අපි යන හැම ගමනම යන්නෙ අවසානය කොතනද කියල හරියටම දැනගෙනද?”

“ඔයා ටිකක් ඉතුවද, මේ පාළු අහසට මේ දියඇල්ලෙ ඉවර නැති කරච්චල් එකතු උනාම මොන වගේ හැඟීමක් දැනෙනවද කියලා?”

“මොන ගමන ගියත්, යන හැම ගමනක්ම අන්තිමේ පොළව ඇතුලෙන් ඉවර වෙනවනම්..... එක එක්කෙනා නම් ගම් දාගෙන අවසර අරගෙන, නීති රීති හදාගෙන නීතිගත කරගෙන, පිළිවෙලට, පැහැදිලිව, සුරක්ෂිතව, නීත්‍යානුකූලව යන ගමනෙත්,,,,,,,, ඉමක් කොණක් නොදැන, තැනක් නොතැනක් නොබලා, ඉබාගාතෙ යන ගමනෙත් වෙනස මොකද්ද මගේ රාණි................?”

“අහසෙ තරු පිරිල තිබුණනනම් දිය ඇල්ලෙ මියුසික් මෙච්චර ලස්සනට අහන්න පුළුවන් වෙන එකක් නෑ නේද දුලංජලී”

“ලැබුණු ජීවිතේ ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ අපිට පුළුවන්නම් අපේ හිතට එක බිංදුවක දුකක් නොගෙන සතුටින් ගෙවන්න..... තව මොනවද අපි ජීවිතෙන් බලාපොරොත්තු වෙන්න ඕන.....? ඔයා අහස දිය ඇල්ල යා කරනවා. මං ඔයා එක්ක අනිත් කවුරුත් යනව වගේ තවත් එක ගමනක් යනවා.” 

“නීලා නච්චත්‍රම් ඉල්ලාද වානම් එච්චලව් අලහානම්”

“හරියට මගේ නිශූ රාණිගෙ අඟපසඟ  මට කියාදෙන, වෙන කාටවත්ම නොපෙනෙන මටම විතරක් පෙනෙන කතන්දර මං නිශූගෙන් විඳිනව වගෙයි නිශූ අහසෙ රහස් හොය හොය යන්නෙ...... නේද රාණි?” 

“හ්ම්.......” දෙවැලමිටින් යකඩ අත්වැටට දී තිබූ බරින් මුදා මුහුණෙ ඇඳුණු සිනහවෙන් නාගේශ්වරී ඇය දෙසට හැරුණා. “යන ගමන කොඉ ගියාම මොකද? අවසානෙ එකයි නම්”  

“නිශූව මං විඳින තරම නිශූ දන්නවා. ඒත් කවදාවත් වෙන කෙනෙක් ඒක තේරුම් ගන්නෙ නැහැ. තම තමන්ට සීමා වුණ ලෝක වල ඉන්න ඒ අය ඒ සීමාවෙන් ඔබ්බට බලන්නෙත් නැහැ. 

“ඉංගෙ නල්ල කුලිර්මයානදු  ඈ දෙස බලා නාගේශ්වරී කීවේ ඇඟ සලිතකළ හිරියකුත් එක්ක.

දුලංජලී ආසා කළ කළු පාට පුංචි තිලකය නාගේශ්වරීගේ දෙබැම මැද සොයා ගැන්මට ඇය සමත් වුණේ එළියකින් නෙවෙයි. ඒක පුරුද්දට වගේ හිතේ ඇඳුණා. නාගේශ්වරීගේ සිනහව හැර වෙන ආලෝකයක් ඒ අඳුරේ ඇයට අවශ්‍ය වුණේ නැහැ. ඇය සෙමෙන් නාගේශ්වරීගේ නලියන කෙස් අතින් සකසන ගමන් ඇයව තුරුලට ගත්තා. පැය ගණනක් සිතලේම මිදි තිබුණු අයිස් වැනී සීතල දෙතොලෙන් තැබූ සලකුණ නාගේශ්වරීගේ නළලත බොහෝ වේලාවක් රුඳී තිබුණේ සීතලත් උණසුමත් හැඟීමත් විඳීමත් එකට එක්තැන් වුණු පරස්පර සාධක කිහිපයකගේ හමුවීමක් විදිහට.

“මං කැමති නැහැ මෙලෝ යකෙක් නැති තැනක, අඳුරු මුල්ලක, කාටත් හොරෙන් ඔයාව ඉඹින්න. මට ඕන කරන්නෙ, ලෝකෙට පෙනෙනවාය, අතිශය රස්‍යය කියල හංගන් වහන් ඉන්න අහවල් තැන් වලින් හැම සම්බන්ධයක්ම කෙළවර වෙනවාය කියල මිනිස්සුන්ගෙ සම්බන්ධතාත්, සදාචාරයයි කියන මවාගත්ත සංකල්පයත් තරාදියෙ දාලා කිරණ මිනිස්සුන්ට ඒක එහෙම නෙවේය කියල කියන්න. දවසක උන් ඉස්සරහට ගිහින් මට කියන්න ආසයි ‘මං මේ ගෑණිව විඳිනවා, මේ ගෑණිගෙ හැම ඉරියව්වකම, හැම සිතිවිල්ලකම සුන්දරත්වය මට දැනෙනවා, මං ඒකිට ආදරේ කරනවා... ආදරේ විතරක් නෙවේ, මං ඒකී එක්ක සදාකාලයටම බැඳිල ඉන්නව’ කියල කියන්න. ඒ වින්දනය මොන තරම් අසීමාන්තික සැනසීමක් ඇති කරනවද කියල උන්ටත් කියල දෙන්න. ඒත් මං දන්නව, ඒ මිනිස්සු කවදාවත් ඒක තේරුම්ගන්න තියා ඒ දිහා තත්පර ගණනකට හරි හිතල බලන්නවත් නවතින් නැහැ රාණි..... මවාගත්ත සදාචාරයෙන් ඒ අයගේ යථාර්ථයේ හෙළුවැල්ල වහගෙන උපාසකදම් පුරන අය සමාජෙ වැඩී.”

“නාංගල් එල්ලෝරුම් එංග සෙන්ද්‍රාලම් සේර්වදු කඩෛසීයෙල් ඕර්ඉඩමේ”

“හ්ම්..... ඇත්ත මගේ රාණි..... අපි යං.... කවුරු කොයි ගමන ගියත් නවතියි අන්තිමේ එක තැනකින්”

දිය ඇල්ල තාමත් එකම ගීත නාදයෙන් අඬනවා ඇල්ලට පිටුපා එන ඔවුනට ඇසුනා. ආයෙමත් හීතල දෙබෑකරගෙන යන ගමන පටන්ගන්න මේ වතාවෙ ස්කූටරය පනගැන්නුවේ දුලංජලී. ඈට පිටුපසින් හිඳගත් නාගේශ්වරී දෑතම දුලංජලීගේ බඳ වටා යවා ඈට තුරුළු වුණේ මුහුණ ඇගේ පිටට තබා ගන්න ගමන්.


++++++++++++++++++++++++++++++++++++++++

වේලාව පාන්දර තුන පසුවී විනාඩි තිහ සනිටුහන් කරන බව එක් වරක් රැවු දුන් ඔරලෝසුවේ බට්ටාගේ හඬ හේතුවෙන් මම තේරුම් ගතිමි. ලියන අතරේ ඔරලෝසුව පාන්දර තුන දැනුම් දුන්නේ තුන් වරක් බට්ටා ඇඬවීමෙනි. දුලංජලී, නාගේශ්වරී වැන්නවුන් කොතෙක් ඇත්ද කියා නම් ගම් වශයෙන් හෝ සංඛ්‍යාත්මක වශයෙන් මා නොදැන සිටියත්, මෙවන් කතාවක් ලිවීමෙන් මනඃකල්පිතව හෝ ඔවුන් දෙදෙනා එවන් ගමනක පිටත් කර හැරීම තුළින් මම යම් තරමක හෝ සැනසීමක් ලදිමි.

එබැවින් මම පෑන පසෙකින් තබමි.
Comments
17 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

17 comments:

  1. යෙක මට නොතේරේ

    ReplyDelete
  2. හරි අමුතුයි අප්පා.. නොතේරෙන වචන දෙක තුනකුත් තියනව නිවාඩු පාඩුවේ අහන්නම් ඈ

    ReplyDelete
    Replies
    1. හරි අහන්නකො ඕන වෙලාවක

      Delete
  3. ඔක්කොම සෙල්ලං එක දේකට. බර සාර වැඩියි වගේ වුවත් අනර්ඝයි. හැමදේම තියනවා කතාව ඇතුළේ.

    ReplyDelete
    Replies
    1. කලින් ඒව තරම් හොඳට ගියවුන් නැහැ කියල මට හිතෙනවා.
      ස්තූතියි අයියේ.

      Delete
  4. සිත්තරී සොසීගේ සිස්ටම් රකට යනවා වගේ...

    කතාව ලස්සනයි... නලීන් අයියා කිව්වා වගේ හැම මඟුලම අන්තිමට කෙලවර වෙන්නේ එකම දේකින් තමයි...
    දෙමල වචන වලින් නම් ගොඩක් තේරුනේ නෑ... දෙමල ඉගෙන ගත්තේ නැති මෝඩකම...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.
      දෙමළ වාක්‍ය වල තේරුම, ඊට පස්සෙ එන දෙබසින් හොයාගන්න බුළුවනි. නාගේශ්වරීගෙ කියුමන් වලට දුලංජලී දෙන උත්තර වලින්.....

      Delete
  5. අසාධාරනයි, අපි අකමැති උණත් මේ කතාවට විරුද්ධ වෙන්න ඉඩ තියලා නෑ අපිට. දෙන්නත් එක්ක පස්සෙන් යන්න තමයි උනේ.

    ReplyDelete
    Replies
    1. ඒ කමෙන්ට් එකටනම් ලා හිනාවක් ගියා.....
      @ ඔපිසියේ අයට හොරෙන් හිනා වෙමින් ^_^

      Delete
  6. හැබැයි බබෝ ඔය දෙමළ දාලා වරහන් ඇතුලේ ඒක සිංහලෙන් දැම්මනං හොදා.. නැතිනං තේරෙන්නේ නෑ නෙව.. කතාව හොදා. ඔහොම ජීවිත ඉන්නවා. මොන දේටත් එකම පාරක් විතරක් නෙමෙයි නේ තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. දෙමළෙන් කියපු ටික පස්සෙ පේළියේ දෙන උත්තරෙන් පැහැදිලි වෙන විදිහටයි ලියල තියෙන්නෙ.
      1. තරුත් සඳත් නැති අහස කොච්චර ලස්සනද කියල අහනවා.
      2. හරිම සිතලයි කියලවා.
      3. කවුරු කොයි ගමන ගියත් නවතියි අන්තිමේ එකම තැනකින් කියනවා.
      ඔන්න ඔය ටිකයි කියන්නෙ දෙමළෙන්...... පරිවර්තනේ දාපුවම ඒක කතාවෙ ගලා යාමට භාදාවක් වෙනව කියල හිතුණ

      Delete
  7. කතාව ලස්සනයි මැණිකේ අක්කේ...
    දෙපාරක් කියෙව්වා.
    පොඩි කෙස් එකක් තියෙනවා...මැණිකේගේ "කවුරු කොයි ගමන ගියත් නවතියි අන්තිමේ එක තැනකින්” කියන තියරිය හරි නම් වැරදියි...

    මට නම් තේරෙන්නේ නෑ මැණිකේ මේවා කොහොම ලියනවද කියලා... ;)මේ වගේ දෙයක් හිතේ මවාගන්න හරිම අමාරු නොවැ...හ්ම්ම්ම්ම්....

    ReplyDelete
    Replies
    1. “නාංගල් එල්ලෝරුම් එංග සෙන්ද්‍රාලම් සේර්වදු කඩෛසීයෙල් ඕර්ඉඩමේ”
      ඇයි එහෙම නොවෙන්නෙ. ආගමික ඉගැන්වීමත්, සංස්කෘතික ඉගැන්වීමත් සහමුලින්ම "එක මොහොතකට" අමතක කරල තමන් තමන්ට ස්වාධීන වුණොත් ඒක එච්චර අමාරු වෙන එකක් නෑ මල්ලි.
      මැණීකෙනම් කොහොම ලියනවද මංදා... මං නම් ලියන් යද්දි ඔටෝ පියවෙනවා :)

      Delete
  8. ඕන්න එහෙනම් අපිත් නාගේෂ්වරීටයි දුලාංජලිටයි සුබ පැතුම් එක් කළා. ඔවුන්ගේ ජීවිතවල ගැඹුර ඔවුන්ම රිසි සේ විඳගත්තාවෙ....

    ReplyDelete

 
There was an error in this gadget