Monday, June 24, 2013

මවිසින් ඇඳි සිතුවම් සහිතව ගෙන එන පළමු ළමා කථාන්දරය - මම කුරුල්ලෙක් නම්




තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක එකට ඉන්න බැරි වුණා.

එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස කතාත් එකතු වුණ නිසා.

අම්මලා තාත්තලා එක්ක යාලුවො ඇවිදපු තැන්, හවසට ළමා උයනෙ සෙල්ලම් කරන හැටි, නංගිලා මල්ලිලා, අයියලා අක්කලා එක්ක විනෝදෙන්, සෙල්ලමෙන් එයාලා ගත කරන ජීවිත, ඒ අය අතරෙ ඇතිවෙන පුංචි පුංචි නෝක්කාඩු වගේ හැම දෙයක්ම තීර්ණටනම් සුරංගනා ලෝකෙක ලස්සන කතා වගේ වුණා. තනිපංගලමෙ ගෙවෙන තීර්ණගෙ හවස් වරුවේ පැය ගණන් වල ඒ වගේ කතා කිසි දෙයක් තිබුණෙ නැති නිසයි ඒ. ඒ සිදුවීම් මේ ලෝකෙ වෙන දේවල්ද කියලවත් තීර්ණට දැනගන්න විදිහක් තිබුණෙ නැහැ.



ගොඩක් දවස් වල යාලුවො රස කතා කියද්දි තීර්ණත් කතාවක් කියන්න ඕන කියල හිතල කට හදා ගත්තත් ආයෙම ඒ අදහස එයා වෙනස් කරගත්තා. තීර්ණට බය හිතුණ කතා කරන්න. යාලුවො එයාට ඇහුම්කන් දෙයිද, එයාට විහිළු කරයිද, එයාට හරියට කතා කියා ගන්න පුළුවන් වෙයිද කියන බය තීර්ණගෙ හිතේ හොල්මන් කළා. මේ සේරටම වඩා තීර්ණ ගොළු වුණෙ වෙන දෙයක් නිසයි. " මං මොනව ගැනද කතා කරන්නෙ....? " කියන ප්‍රශ්නය තීර්ණව තව තවත් නිහඬ ළමයෙක් කළා.


තීර්ණ ටිකෙන් ටික යාලුවො එක්ක ඉන්න කාලය අඩු කරන්න ගත්තා. ඒ වෙනුවට එයා කළේ ටික ටික එයාම හදාගත්තු එයාටම වෙන් වුණු ලෝකෙකට යන්න. ඒ ලෝකෙ එයා හදා ගත්තෙ හැමදාමත් උදේ හවස ඉස්කෝලෙ යද්දි එද්දි එයා පහු කරන් ගිය තැනක. තීර්ණගෙ ගෙවල් තිබුණු බංගලාවත්ත පාරෙ කෙළවරේම තිබුණා විසාල නුග ගහක්. තීර්ණ වගේ දහ දෙනෙක් හිටියත් බදාගන්න බැරි තරම් මේ නුග ගහේ කඳ සද්දන්තයි. දිගට දිගට වැල් එල්ලිලා පළාතම කළුවර කරන් හිටපු මේ නුග ගහ යටින් තීර්ණටම කියාපු හොඳ නවාතැනක් හම්බවුණා. ඒ, නුග ගහේ පහළ තිබුණු ගහේ කඳෙන්ම වටවුණු බෙණයක් වගේ තැනක්.




යාලුවො එක්ක හිටපු වෙලාවල් වලදි අගුළු වැටිල තිබුණු තීර්ණගෙ හඬ අවදි වුණේ මේ නුග ගහ යටදි. මුලින්ම තීර්ණ කළේ නුග ගහේ ඒ කළුවර මුල්ලට වෙලා ඔහේ හිත හිත හිටපු එක. එයා හිතුවෙ මොනවද කියන්නවත් දන්නෙ නැති වුණාට ගොඩක් අය එක්ක ඉන්නවට වඩා තනියෙන් එතන එහෙම ඉන්න එක හොඳයි කියල එයා දැනන් හිටියා. කොයි වෙලේ වචනයක් වරදීද කියල බයක් ඒ ගහ යටදි තීර්ණට තිබුණෙ නැහැ.  මොකද, එයා කියන දේවල් අහන් ඉඳලා හිනා වෙන්නවත්, විහිළු කරන්නවත් යාලුවෝ එතන හිටියෙ නැති නිසා.


ටික දවසක් යද්දි තීර්ණටත් නොදැණිම තීර්ණ කතා කරන්න පටන් අරන්..... තීර්ණට යාලුවො ගොඩාක් හිටියා. එක එක ජාතියේ යාලුවෝ.... එක එක හැඩයේ යාලුවෝ.... එක එක පාට යාලුවෝ..... සමනල්ලු, නුග ගහ වටේ දුව පැන ඇවිදින ලේන්නු, කිචි බිචි ගගා කොච්චරවත් කැ ගහන දෙමලිච්චො රංචුව තීර්ණගෙ හොඳ යාලුවො වුණා. තීර්ණ කතා කළේ ඒ අයට.... දෙමලිච්චො රංචුව කියන සිංදු වලට තීර්ණත් තාලෙ අල්ල අල්ල සිංදු කීවා. ලේන්නු රංචු රංචු එයාගෙ සිංදු අහන්න එයා වටේ රැස් වෙලා බලන් හිටියා. සිංදු වල තාලෙට සමනල්ලු නැටුවා. තීර්ණ හරි සතුටෙන් හිටියෙ මේ අලුත් යාලුවො රංචුව නිසා.




හවස් වෙනකන් කවුරුත් තීර්ණගෙ ගෙදර නැති නිසා තීර්ණට බයක් තිබුණෙ නෑ කවුරුත් එයා නැතිව බය වේවි කියලා. ඒ වෙනුවට එයා අරන් එන බත් ඇට ටික කන්න බලන් හිටපු සත්තු යාලුවො ගොඩක් තීර්ණට ලැබුණා... තීර්ණ එද්දි මුලින් සෙල්ලම් පැත්තක දාලා හැංගුන ලේන්නු දෙමලිච්චො දැන් තීර්ණ ඈත වංගුවෙන් මතු වෙන වෙලාව ඉවෙන් දන්න නිසාම පෙරමග බලන් ඉන්න පුරුදු වෙලා තිබුණා. දවසින් දවස ඒ යාලුවෝ එකින් එක්කෙනා වැඩි වුණා. හවස් වෙන්න වෙන්න ඉර හැංගුනා අඳුරට ඉඩ දීලා. ඒත් එක්කම විසාල නුග ගහේ අහුමුළු වල හැංගෙන ලේන රංචු, දෙමලිච්චො තීර්ණට කීවා දැන් ගෙදර යන්න වෙලාව ලඟ බව. ඒ සමුගැනීමේ පණිවිඩේ එනකන්ම තීර්ණ ඒ අපූරු ලෝකෙ ලස්සන වින්දා.



නුග ගහේ බිමටම නැවුණු වැල් ඇඳක් වගේ තිබුණ අත්තෙ දිගා වුණාම නුග ගහේ කොළ අතරින් තීර්ණ අහස දැක්කා. කුරුල්ලො, සමනල්ලු විතරක් නෙවෙයි, විටින් විට නිල් සුදු අළු කහ තැඹිලි රන් දම් පාටින් හැඩ වැඩ වෙන අහසත් තීර්ණගෙ හොඳ යාලුවෙක් වෙලයි හිටියෙ. ඇයි එතකොට වෙලාවකට උණුසුමයි වෙලාවකට සීතලයි තව වෙලාවකට හිරිකඩයි තවත් වෙලාවකට දූවිල්ලයි ගේන හුළඟ.... මේ හැම දේ එක්කම තීර්ණ කතා කළා.... ඇඳක් වගේ දිගට ඇදුණු පැද්දෙන නුග අත්ත තීර්ණට තොටිල්ලක් වුණා. අම්මා තීර්ණවත් පුංචි කාලේ තොටිල්ලේ තියලා ඒ වගේ පද්දන්න ඇති කියලා එයා හිතුවා.



තීර්ණට දැන් එයා කියන දේවල් අහන් ඉන්න ගොඩක් අය ලැබිලා. තීර්ණ හරි සතුටෙන් හිටියෙ. තීර්ණ ඒ යාලුවො එක්ක කතා කරන්න බය වුණේ නැහැ.මොකද ඒ අය හැමෝම තීර්ණ කියන දේවල් අහගෙන හිටිය වගේම තීර්ණ කියන දේවලට හිනා වුණේ නෑ... ඔච්චම් කළේ නැහැ. දුර එද්දිම තීර්ණව පිළිගන්න ඒ යා‍ලුවෝ පෙරහැරක් හැදිල වගේ බලන් හිටියා. ලේන්නු, කන් දෙක උස්සගෙන, කඳ කෙලින් කරන් ඉව ඇල්ලුවා. දෙමලිච්චො එහෙට මෙහෙට පැන පැන සතුට පල කළා. සමනල්ලු තටු ගගහ නැටුවා. ඒ විතරක් නෙවෙයි, නුග ගහත් අමුතු පණක් ආවා වගේ අතු ටික හොල්ලලා හීන් හුළඟක් මැව්වා.


අලුත් යාලුවෝ රංචුව වචනෙන් කියාගන්න බැරි තරම් සතුටක් තීර්ණගෙ හිතේ ඇති කළා. කම්මැලිකමේ ගෙවිල ගිය තීර්ණගෙ දවස්, දවසින් දවස අලුත් යාලුවො එක්ක සතුටෙන් පිරුණා.



ඔහොම කාලෙ ගෙවෙද්දි නිර්මාණ තරඟයකට රචනා දාන්න අවස්ථාවක් තියෙන බවත්, කැමති ළමයින්ට ඒ වෙනුවෙන් ලියන්න පුළුවන් බවත් කියලා පංති බාර ගුරුතුමා තීර්ණලාගෙ පංතියේ ළමයින්ව දැණුවත් කළා. එදා හවස තීර්ණ නුග ගහ යටට ගියේ පොඩි සටහන් පොතකුයි පැන්සලකුයි අරගෙන. ඒ, තීර්ණට එදා ගුරුතුමා පංතියේදි කියපු රචනා තර‍ඟෙ මතක් වුණූ නිසයි. 


තීර්ණව වටකරගත්තු දෙමලිච්චන්ට බත් ගෙනියන්නත් තීර්ණ අමතක කළේ නැහැ. තමන්ගෙ තනියට ඉන්න ඒ හිතවතුන්ව තීර්ණ අමතක කළේ නැහැ. පුරුදු විදිහට යාලුවන්ට කෑම දුන්නු තීර්ණ නුග ගහේ වක ගැහිල ගිය ලොකු මුලක් ගාව ඉඳගෙන මුලට හේත්තු වුණා. සටහන් පොත දිගෑරලා ලියන්න යන රචනාවට නමක් කල්පනා කරන්න උත්සාහ කළා. තීර්ණට නොදැණිම වගේ පැන්සලත් ඉබේම තීර්ණගෙ කට ඇතුළට ගිහින් තිබුණෙ කල්පනාව නිසාමයි. එහෙම හිත හිත ඉන්න අතරෙ පුරුද්දට වගේ අහස බැලුණා. ඈත අහසේ පුංචි කුරුල්ලෙක් රවුම් රවුම් කැරකි කැරකි පියාඹනවා තීර්ණට පෙනුණා. ඉබේටම ව‍ගේ දත් වලට හැපුණූ පැන්සල් කොටේ රස තීර්ණගෙ දිවට දැනුණා. ඒ ගමන්ම වගේ තීර්ණට කල්පනා වුණා හොඳ මාතෘකාවක් එයාගෙ රචනාවට......

"මම කුරුල්ලෙක් නම්"



කටේ ගහන් හිටපු පැන්සල් කොටේ ඉක්මනින් සටහන් පොතේ ඉරි අතරට අරන් තීර්ණ ලියන්න පටන්ගත්තා.... දෙමළිච්චො රංචුව උඩ පැන පැන තීර්ණ වටේ රවුම් ගගහ හිටියත් කිචි බිචියනම් ටිකක්වත් අඩු කළේ නැහැ. තීර්ණගෙ දෙමලිච්චො යාලුවො නිසාම තීර්ණ කුරුල්ලන්ගෙ හැසිරීම හොඳින් දැනගෙන හිටියා. තීර්ණට දැනුණෙ තීර්ණත් ඒ දෙමලිච්චො පවුලෙම කෙනෙක් කියලයි. ඉතිං තීර්ණ ලියන්න පටන් ගත්තා. තර‍ඟෙන් දිනනවමයි කියල අදහසක්නම් තීර්ණට ආවෙ නැහැ. එයාට ලියන්න ඕන වුණේ හිටිහැටියෙ එයාගෙ ජීවිතේ වෙනස් කරපු මේ අපූරු යාලුවො වගේ වෙන්න එයාටත් පුළුවන් වුණානම් කියන දේ ගැනයි.


පියාඹන්න පුළුවන් ලස්සන තුටු දෙකක්..... ඇන ඇන කෑම අහුලන් කන්න පුළුවන් පුංචිම පුංචි හොටයක්... වචන වෙන් කරල කියන්න පුළුවන් කටහඬක් වෙනුවට සිංදු කියවෙන පුංචි කුරුළු හඬක්..... දිග උල් ඇඟිලි තියන ලා කහ පාට කකුල් දෙකක්.... බිමින් යද්දි පැන පැන යන්න පුළුවන්, පියාඹද්දි ඉබේ ඇකිලෙන කකුල් දෙකක්.... හම වෙනුවට ඇඟ පුරා පැතිරුණු සිනිදු පිහාටු ගොඩක්...... කිසි වෙනසක් නැති, එයා වගේම තවත් කුරුළු යාලුවො රංචුවක්...... ඈත ඈත ඉහළ අහසෙ සුළං පහර කපාගෙන රවුම් රවුම් පියාඹන්න පුළුවන් දැන් තීර්ණට..... 


ඇයි ඒ විතරක්ද? මේ කතන්දරේ කුරුල්ලා වුණු තීර්ණට, මේ වගේම නුග ගහක් යටට කෑමත් අරන් එන පුංචි කොලු පැටියෙක් ගැනත් තීර්ණ ලියන්න අමතක කළේ නැහැ. හැමදාම එයා කෑම අරන් එන වෙලාවට පෙරමග බලන් ඉන්න හැටිත් තීර්ණ ලීවා.


මේ විදිහට කාලෙ ගෙවිල ගියා. දවසක් සඳුද උදේ රැස්විම වෙලාවෙදි රචනා තරඟයක ප්‍රතිඵල ඇවිත් තියන බවත් විදුහල්පතිතුමාගෙ කතාව අතරින් ඇහුණා. වෙනදට අහසෙ තියන වලාකුළු වලයි අද අහසෙ තියන වලාකුළු වලයි වෙනස හොයන්න තීර්ණ අහස පුරා ඇස් දුවව දුවවයි හිටියෙ. 


ඒ වෙලාවෙ එක වරම තීර්ණගෙ නම විදුහල්පතිතුමාගෙ කටින් කියවෙනව වගේ තීර්ණට ඇහුණ. බල බල හිටපු දවල් හීනෙන් මිදුණත් තිර්ණගෙ ඇඟ පුරා හීන් දාඩිය පාරක් දාගෙන ගියා. 'අන්න තීර්ණ ඒ ඔයා.... යන්න යන්න....' තීර්ණගෙ පිටිපස්සෙන් පිටට අනින ගමන් යාලුවො කිප දෙනෙක් ඉස්සරහට තල්ලු කළ නිසා තීර්ණ ඉස්සරහට ඇදුණත් කකුල් දෙකත් පණ නැති වෙනව වගෙයි එයාට දැණුනෙ. කවදාවත් සෙනග ගොඩක් ඉස්සරහට යන්න එයාට අවස්ථාවක් ලැබිල තිබුණෙ නෑ මීට කලින්. ඒ වගේම හැමෝගෙම අවධානයත් යොමු වෙලා තිබුණෙ ලංකාවෙන්ම පළමුවෙනියා වුණු එයා දිහාවටයි.

'මේ දරුව බොහොම අපූරු විදිහට රචනා තරඟෙට ලියල තියනවා. මුළු ලංකාවෙන්ම පළවෙනි තැන කියන්නෙ අපේ ඉස්කෝලෙට ලොකු ආඩම්බරයක්....

විදුහල්පතිතුමා තව මොනවදෝ කියනව තීර්ණට ඇහුණත්, ඒ වචන කනට ඇතුල් වුණ බව දැණුනත් තීර්ණට පැහැදිලි වුණේ නැහැ ඒ මොනවද කීවේ කියලා... ලොකු සභාවක් මැද්දෙ, ඒ කියන්නෙ මුළු ඉස්කෝලෙම සෙනග මැද්දෙ හැමෝටම දැන් පේන්නෙ තමන්ව කියල දැණුනු නිසා තීර්ණ කලබල වෙලා හිටියෙ. ඒත් යන්තමින් තිර්ණට මතක් වුණා එයා ලියපු රචනාව... "මම කුරුල්ලෙක් නම්" ඒත් එක්කම රත්තරං පාටින් බබලන ලොකු කුසලානයයි සහතිකයයි විදුහල්පතිතුමා අතින් තීර්ණගෙ අතට ලැබුණා. ආයෙමත් රැස්වීමෙ පෝලිම් අතරින් එයා හිටපු තැනට යනකන්ම ළමයි සේරම එයාගෙ පිටට තට්ටු කර කර සුබ පැතුවා. තීර්ණට දැනුණෙ එයා හීනයක ඇවිදිනව වගෙයි.



මේ ලැබුණු ජය වෙනුවෙන් උදව් දුන්නු එයාගෙ අලුත් යාලුවන්ගෙ විස්තර ඉස්කෝලෙ යාලුවන්ටත් ඉක්මනින්ම කියන්න ඕන තියල තීර්ණ හිතුවා. දැන් එයාට ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. තීර්ණගෙ අලුත් යාලුවො නිසා ලොකු ජයග්‍රහණයක් එක්කම අමුතු පණක් ලැබිල තියෙන බව තීර්ණට දැනුණා.

ඒ මොහොතෙ ඉඳල තීර්ණ එදා දවසම ඉවසිල්ලක් නැතිව බලන් හිටියෙ එයාට ලැබුණු ජයග්‍රහණය ගැන කොයි වෙලේ නුග ගහ යට යාලුවන්ට කියන්නද කියලා.... වෙනද වගේම තීර්ණ එනකන් කන් දෙකත් උස්සගෙන පාරට ඉව කරන ලේන් පැටවුන්ව පංති වෙලාවෙදිත් තීර්ණට මතක් වුණා.  තීර්ණව දැක්ක ගමන් පැන පැන ඉස්සරහට එන දෙමලිච්චන්ව මතක් වුණා.




අලුත් කුසලානය තිබුණත් නැතත්, හැමදාම ඒ අය පුරුදු විදිහටම තීර්ණව පිළිගන්න කිසි වෙනසක් නැතිව මග බලන් ඉන්න බව තීර්ණට ඒ වෙද්දිත් දැනිලයි තිබුණෙ.
Comments
16 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

16 comments:

  1. ෂා.. නියමයි අක්කේ.. පොතක් ප්‍රින්ට් කරා නම් හරි.

    ReplyDelete
  2. ලස්සනයි කතාව.... චිත්‍ර ටිකත් ලස්සනයි... ළමයි ආස වෙයි... පොතක් විදියට පළ කරන්න.. ගොඩක් දරුවන්ට කියවන්න පුළුවන්නේ...

    ReplyDelete
  3. ලස්සනයි පින්තුරත් කතාවත් දෙකම අක්කෙ. පොතක් කරන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන්ම බැහැ නංගි. පස්සෙ කාලෙක බලන්න ඕනි

      Delete
  4. ආයේ ළමා කාලයට ගියා වගේ දැනුනේ.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  5. කතාවත් ලස්සනයි චිත්‍රත් ලස්සනයි ...

    ReplyDelete
  6. ආදර්හමත් ළමා කතාවක් . එකක් දරුවන්ට සොබා දහමට ආදරය කරන්නට ඉගැන්විම සහ සොබා දහමේ අපුර්වත්වය විදින්නට කියා දිම. කළ යුත්තේ එයයි. තවත් ටිකක් කෙටි කරන්න හැකිනම් අගෙයි.
    සුනිල් එදිරිසිංහයන් ගයන "ඉස්සර මංගිය පාසැල ඇරිලා' ගීතයත් මේ වගේමයි.

    ReplyDelete
    Replies
    1. මේ මම මුලින් ලියු කතාව නෙවෙයි. ලියූ මෑතකදි තරඟයක් ආපු නිසා මේක ටිකක් දිගින් වැඩි කරල දාන්න වුණා ඒ අය පිටු 16කට වැඩිය ඉල්ලලා තිබුණ හිංදා :)

      ස්තූතියි :)

      Delete
  7. අක්කේ පොත් නම් ලියන්න එපා බොරුවට ,,තව තව ලියන්න බ්ලොග් ,, දැන් ඉන්න ළමයි කියෝන පොත් බැරියැයි
    චිත්‍ර ලස්සනයි කතාවේ අගය ගොඩක් වැඩි කළා

    ReplyDelete
  8. මේ කතාව පොතක් කරමු නංගී...

    ReplyDelete

 
There was an error in this gadget