Wednesday, June 12, 2013

මානවවංශ විද්‍යාවේ පුරාවිද්‍යා ආදේශනය




 සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලිය

පැරණි ජන කණ්ඩායම් වල හැසිරීම් රටා අධ්‍යයනයේදී පුරාවිද්‍යඥයන් විසින් සමීප අධ්‍යයනයට ගනු ලබන්නේ වර්තමාන ගෝත්‍රික ජනතාවයි. මෙහිදී ඉපැරණිම හැසිරීම් රටා තත්වාකාරයෙන් අධ්‍යයනය කිරීමේ නොහැකියාව පැවතියද යම් තාක් දුරකට පැරණී සමාජය ප්‍රතිනිර්මාණය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ‍සැලසේ. මානවවංශවිද්‍යා විශ්ලේෂණයන් පුරාවිද්‍යාවේ ප්‍රධාන න්‍යායක් ලෙස අධ්‍යයන කටයුතු වලදී පාදක කරගනු ලැබෙන්නේ මෙලෙස අතීත සමාජ ප්‍රතිනිර්මාණය උදෙසා එමගින් ලබාගත හැකි සමීප නිදර්ශන රැස නිසාවෙනි. මිනිසාගේ සමාජ සංස්කෘතික හැසිරීම් රටා අධ්‍යයනයේදී මානව කාති මගින් ඉදිරිපත් කරන්නාවූ දත්ත පාදක කරගත හැකි සේම, එයට වඩා දත්ත ප්‍රමාණයක් වත්මන් ප්‍රාථමික ජන කණ්ඩායම් අධ්‍යයනයේදී ඔවුන්ගේ ‘ඇදහිලි හා විශ්වාස’ පදනම් කරගනිමින් අර්ථවිග්‍රහ කිරීමේ හැකියාව පවතී.


අතීත සමාජ ප්‍රතිනිර්මාණකරන ක්‍රියාවලියේදී පුරාවිද්‍යා ක්‍ෂේත්‍ර වලින් හමුවන මානවකෘති මෙන්ම මානව නොවනකෘති සඳහාද විශේෂ වැදගත්කමක් හිමි වේ. මෙහිදී ‘සන්ධර්භය’ අමතක නොකළ යුතු වැදගත් සාධකයකි. ඕනෑම පුරාවස්තුවක් පිළීබඳ විස්තර වාර්තාකරණයේදී ඒ හා සමගම එහි සන්ධර්භය පිළීබඳ අවධානය යොමු කිරීම සාර්ථක වාර්තාකරණයක ලක්ෂණයකි.


උදාහරණයක් ලෙස ක්ෂේත්‍රයක හමුනව වලං කැබැල්ලක් දෙස අවධානය යොමු කරමු. මෙහිදී ඒ හා බැඳි සංධර්භය විශේෂයෙන් වැදගත් වේ. වලං තනන ස්ථානය, ඒවා තැනීමට උපයුක්ත කරගනු ලැබූ තාක්ෂණය, අදාල කාලයට සාපේක්ෂව තාක්ෂණයේ විශේෂතා, තැනීමට වැය වන කාලය, හැඩය, ප්‍රමාණය, උපයෝගිතාව අනුව හැඩයේ දක්වන සුවිශේෂීතා ආදී බොහොමයක් විස්තර ඒ වලං කැබැල්ලෙන් සහ ඒ වටා වූ සන්ධර්භය අධ්‍යයනයෙන් අවබෝධ කරගැනීමේ හැකියාව ලැබේ.



ද්‍රව්‍යාත්මක සංස්කෘතිය සේම පැරණී සමාජ අධ්‍යයනයේදී ඔවුන්ගේ විශ්වාස හා පදනම් වූ අභෞතික සංස්කෘතියද අත් හැර දැමිය නොහැකි ඉතා වැදගත් අංශයකි. විශේෂයෙන්ම ස්වභාවික පරිසරයේ බලපෑම් වලට යටත් වූ මිනිසා ස්වභාවික පරිසරයේ විවිධ සංසිද්ධීන්, මරණය හා බැඳි ඔවුන්ට ගුප්ත වූ කාරණා ආදිය පිළීබඳ පැවති බිය හෝ තේරුම්ගත නොහැකි සාධක හේතුවෙන් නොපෙනෙන බලවේගයන් හමුවේ පසුබැම මත විවිධ ඇදහිලි හා විශ්වාසයන්ට යොමු විය. ඉපැරණී ප්‍රාථමික සමාජ ව්‍යූහය අධ්‍යයනයේදී වත්මන් ගෝත්‍රික ජනයාගේ මෙවන් ජීවමාන සාධක පදනම් කරගනිමින් අතීත සමාජය සඳහා උපකල්පන ඉදිරිපත් කිරීමේ හැකියාව මෙහිදි පවතින්නේ අද්‍යතනය දක්වා මෙම ඇතැම් ඇදහිලි විශ්වාස ආදිය ඔවුන් පවත්වාගෙන ඒමේ ප්‍රවනතා දක්නට ලැබෙන බැවිනි. මේ නිසා පුරාවිද්‍යා අධ්‍යයන කටයුතු වලදී මානවවංශ විද්‍යාවද නිතැතින්ම ඈදී පවතින බව කිව හැකිය.


විශේෂයෙන්ම විවිධ රටවල වත්මන් ගෝත්‍රික ජන කණ්ඩායම්, ග්‍රාමීය සංස්කෘතීන් තුළින් ප්‍රාග් ඓතිහාසික යුගයේ ඇතැම් සාධක සොයා ගැනීමේ හැකියාව පවතී. උදාහරණ ලෙස, ඉන්දියාව, පැසිපික් දුපත්, ඇතැම් අප්‍රිකානු රටවල් ආදියේ ඇතැම් ග්‍රාමිය සංස්කෘතීන් තුළින් පැරණි සමාජය පිළිබඳ ඇතැම් සාධක අධ්‍යයනය කිරීමට හැකිය. අවධාරණය කළ යුතු කරුණ වන්නේ, මෙම ප්‍රාථමික ජන කණ්ඩායම්තුළින් පිළිබිඹු වන සාධක සියල්ල ප්‍රාග් ඓතිහාසික සමාජයට ආදේශ කළ නොහැකිය යන්නයි. බොහෝ විට පර්යේෂණ සාධක තුළින් ලැබෙනුයේ ප්‍රාථමික ලක්ෂණ ඉතා අවම ප්‍රමාණයක් විය හැකිය. වැදගත් වන්නේ ලබා ගන්නා ලද සාධක තුළින් අතීත සමාජය විස්තරකථනය කිරිමේ හැකියාවයි.


උදාහරණයක් ලෙස ක්ෂේත්‍ර ගවේශනයකදී එම සමාජයේ පිරිස් තමන්ට අවශ්‍ය ආයුධ සකසා ගැනීමේ තාක්ෂණය පැරණි සමාජයට ආදේෂ කිරීමේ හැකියාව පෙන්වා දිය හැක.



මෙහිදි ඔවුන්ගේ ඇදහිලි හා විශ්වාසයන්ට අවධානය යොමු කළ හොත්, ඒවා ඉබේ ඇති වූ දේ නොව අතීත පරම්පරා‍වන්ගේ දායාද ලෙස පාරම්පරිකව පැවතෙන ඒවා බව පිළිලිඹු වනු ඇත.


සෑම ජීවමාන සමාජයක්ම තම උපයෝගිතාව පිණිස භෞතික සහ අභෞතික සාධක භාවිත කරගනී. මෙහිදී ප්‍රාථමික සමාජ දෙස අවධානය යොමු කළ කල්හි සීග්‍ර නාගරීකරණයකට ඔවුන් ඍජුව මුහුණ දිමක් සිදු නොවන බැවින් බොහෝ විට ඔවුන්ගේ ද්‍රව්‍යාත්මක සංස්කෘතික සාධක හෝ ඇදහිලි හා විශ්වාසයන් වේවා නවිකරණය වන්නේ ඉතා මන්දගාමී අයුරින් බව කිව හැකිය. එහිදී පැරණි සමාජයේ ලක්ෂණ බොහෝ දුරට ඔවුන්ගේ අද්‍යතන සමාජයේත් යම් යම් අංශ තුළ සටහන්ව පවතිනු දක්නට ලැබේ.  


සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ වන්නේ ජීවමාන සංස්කෘතින් තුළින් පැරණි සමාජ ප්‍රතිනිර්මාණය කිරීමයි. මානවවංශවිද්‍යාත්මක දත්ත පුරාවිද්‍යාවට ආදේෂ කිරීමේ හැකියාව මෙහිදී අපට ලැබේ. යම් සමාජයක පැරණි ඇදහිලි විධි, ආර්ථික ක්‍රම, සමාජ සිරිත් විරිත් වර්ථමානයේදී වෙනස් විය හැකිය. එසේම පැරණි තත්වයන් යම් යම් වෙනස්කම් සහිතව වර්තමානයේදීද පවත්වාගෙන එමින් පවතිනු විය හැකිය. එවන් තත්වයන් විධිමත් පර්යේෂණයන් යටතේ හඳුනා ගැනීම මෙහිදී වැදගත් වේ. විශේෂයෙන්ම විවිධ ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතා සඳහා පදනම් වූ හැසිරීම් රටා අධ්‍යයනයේදී මානවවංශ්‍ය අධ්‍යයනයන්ගෙන් ලබාගත් සාධක ඉතා වැදගත් වේ. 



ප්‍රාථමික සමාජ අධ්‍යයනයේදී ඔවුන්ගේ වත්මන් සමාජභාවය විශේෂ වැදගත්කමකින් අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බව පූර්වයේද පවසන ලදී. එමතුද නොව සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලියේදී එම ජීවමාන දත්ත අධ්‍යයන කටයුතු සඳහා උපයුක්ත කරගන්නා ආකාරයද විශේෂයෙන් සලකා බැලිය යුතුය. වර්තමාන ප්‍රාථමික ගෝත්‍රයන්හි සිරිත් විරිත්, නිශ්පාදන සකසක ක්‍රියාවලීන්, කෘෂිකර්මාන්ත, දඩයම්, ප්‍රවාහන ක්‍රම ආදියේ තාක්ෂණය, ඇදහිලි හා විශ්වාස පැරණී සමාජයට ආදේශ කිරීමේ ප්‍රාමාණිකතාව මෙහිදී විමර්ශනය කළ යුතුය. මන්ද වත්මන් තත්වය එලෙසින්ම පැරණී සමාජයට ආදේශ කළ නොහැකි නිසාත්, කාලයට සමාපේක්ෂව මානව සමාජයේ පරිණාමයක් දක්නට ලැබෙන නිසාත්ය. තවද මෙම තර්කන ක්‍රියාවලිය යටතේ ඒ ඒ සමාජයන්හි විවිධ අංග යුග අනුව පරිනාමීය ව්‍යූහයක් පෙන්නුම් කරන්නේනම් ඒ පිළීබඳ අධ්‍යයනය කිරීමේ හැකියාවට විද්‍යාත්මක ප්‍රවේශයක්ද ලැබේ.


උදා:-
ආර්ථිකය
ජීවනෝපාය
තාක්ෂණය

අතීතයේ සිට විවිධ පාරිසරික සාධක මිනිසා විසින් ග්‍රහණය කරගනිමින් පරිසරය තමාට අවැසි පරිදි සකසා ගැනීමේ යාන්ත්‍රණය හඹා ගිය ආකාරය මෙහිදී අවබෝධ කරගත හැකි වේ.


පරිසර විද්‍යාත්මක අවකාෂය සහ මානව පැවැත්මේ සබඳතා


ආහාර යනු ජීවීන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය වූ සාධකයකි. සූර්යය ශක්තිය මෙම ක්‍රියාවලිය සහ ඒකාබද්ධව පවතින්නකි. පාරිසරික සාධක මත ශාකායනය විවිධ වේ. මානව ජනාවාස ව්‍යාප්තිය සැලකීමේදී උක්ත කරුණ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බව අවධානයට ගත යුතුය. යම් පරිසරයක ජීව ගහනයක් ව්‍යාප්ත වීම සඳහා එකී ප්‍රදේශයේ පාරිසරික තත්ව මුඛ්‍ය සාධකයක් වීම මෙහි ලා හේතු වේ.
"Man has relationship with animate and inanimate."

පැරණී සමාජ අවධානයට ගත් කලිහි මිනිසුන්ගේ මූලික පැවැත්ම රැඳී පැවතියේ ජීවනෝපායන් සමගිනි. මෙකී ජීවනෝපාය මාර්ගයන් ප්‍රධාන වශයෙන් තාක්ෂණය හා ඒකාබද්ධව පැවතිණි. 

ජීවනෝපාය
·         දඩයම
·         රැස් කිරීම
·         මසුන් මැරීම

තවද ප්‍රාථමික ජනාවාස අවධානයට ගත් කලිහි වාසස්ථානද ඉතා වැදගත් වූ සාධකයකි. 

වාසස්ථාන
·         සංචාරක
·         අර්ධ සංචාරක
ලෙස දෙයාකාර විය. මෙකී තත්වය වත්මන් ගෝත්‍රික ජනාවාසයන්හිද ප්‍රාථමික මානව ‍සමාජ වලදීද අදටද විද්‍යමාන වේ. මෙම සමාජයන්ගේ යැපුම් මාර්ග උක්ත දැක්වූ පරිදි විය. එසේම සත්ව ගෘහස්ථිකරණයද පසු කාලීනව කැපී පෙනෙන ලක්ෂණයකි. අර්ධ සංචාරක ගෝත්‍ර බොහෝ විට කේන්ද්‍ර වන්නේ ශුෂ්ක කලාප වල විම වැදගත් වේ. පැරණි සමාජයේ සිය දඩයම් කටයුතු සඳහා ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් තමන් විසින්ම මෙවලම් නිශ්පාදන ක්‍රමවේද පැවතුණූ අතර අද වන විට යම් යම් ග්‍රාමීය සහ ගෝත්‍රික සමාජ වලද මෙම තත්වය දක්නට ලැබේ. සමාන්තර උදාහරණ තර්කන ක්‍රියාවලියේ වැදගත්කම මෙහිදී පාදක කොටගෙන පැරණි සමාජ ප්‍රතිනිර්මාණය සඳහා මෙකී සාධක ඉවහල්කර ගැ‍නීමේ හැකියාව පවතී.


මීළඟ ලිපියෙන්...... පුරාවිද්‍යා ගවේශනයන්ට මානවවංශ විද්‍යාවේ දායකත්වය - ඉන්දියාවේ Son Koli සමාජය ඇසුරින්

Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments:

  1. බරසාර ලිපියක්නේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ක්ෂේත්‍රයේ නැති අයෙක්ටනම් ටිකක් තේරුම් ගන්න අපහසු වෙයි. මුලින් ලියල තියෙන ලිපි කියෙව්වොත් පහසුවක් වෙයි බොහෝ දුරට.

      Delete
  2. සිත්තරි දැන් අමුතුම ඉසව්වකට අත පොවලනේ..

    ReplyDelete
    Replies
    1. ඔවු අයියෙ. ඉගෙනගන්න අයට යම් තරමක හෝ සේවයක් කරන්න හිතුවා

      Delete