Tuesday, May 14, 2013

෴තුන්පත්රෑන෴






සුපුල් විලේ කෙළිනා සිරි රුසිරාන
රැසින් දිලේ පළඳා පිනි සිලිලාර
වතින් සැලේ දිය ඒ විල දඟපාන
කෙනරිඳු ඇය ගැබ දරනා බිසවාන

Tuesday, May 7, 2013

ලේ




වැලේ වනපු රෙදි දිගේ වතුර බේරෙනවා. රෙදිවල දාර දිගේ ඇදෙන දිය සීරාව නිසා පොළව හිල් වෙනවද කියල බැලුවත් මිදුලෙ පිරිල තියන වතුර කන්දරාවෙ තරමට හිල් වෙන එක කෙසේ වෙතත් වතුර ගලන රටාවට මිදුලෙ ඉරි ඇඳිල ඇති කියලනම් හිතුණා. වැලි පොළව දිගේ මහා වතුර පාරක් ගලද්දි කොහොමත් නෙරු නිම්න රටා ඇඳෙනවනෙ.

'දවස් තුනක් ඇති හරියටම වැලට රෙදි ටික දාලා. ඔය අපූරුවට වේලෙන්නෙ. නිකන් රෙදි ටික සවුත්තු වෙනව විතරයි.... දැන් ඕක දිහා බකන්නිලං හිටියම වේලෙයි කියල හිතං ඇති. තමුසෙට තිබුණනෙ ඔය ටික අර ලෑලි කාමරෙන් දාල වේලගන්න....'

ඊළඟ පැය තෙක් දෑස් මානගෙන



කසිකබල් වහළෙට
ඔරොත්තු නැහැ වැස්ස
හිල් වෙච්ච ටකරමේ
ඉරාගෙන ඉටිකොළ අණ්ඩ
සාස්පාන් පුරෝගෙන
දෝරෙ ගලනව වතුර
බිමත් බොඳ කරගෙන
හිතත් තෙත් කරගෙන



Monday, May 6, 2013

ඔබේ ආලය

මහා වැස්සක
තෙමි තෙමී දුවගෙනම
හනි හනික ආවෙමි
ලියන්නට කවියක්
මැකෙන්නට කලියෙන්
නලියාපු පදවැල්

ඔබේ ආලය
කාණු පල්ලේ ගලන

Sunday, May 5, 2013

බලාපොරොත්තු නැතිනම් ඔබ ජීවත් වේවිද.....? ගීයක් සඳහා මගේ තවත් එක කටුසටහනක්


---බලාපොරොත්තු--- අපිව ජීවත් කරවනවා... බලාපොරොත්තු නැති ජීවිතේ මොන පලයක්ද කියල අපි අපෙන් අසාගන්න තරමටම බලාපොරොත්තු කියන දේවල් අපේ ජීවිතේට සමීපයි.......... ඔබ සිතුවාද මෙලෙස.................. කිසිම බලාපොරොත්තුවක් නොමැතිව, ශුන්‍යක්ව, ඔබට ජීවත් විය හැකිද කියා..........? මම සිය දහස් වර මගෙන්ම විමසා තිබෙනවා............. බලාපොරොත්තු නැතිව මට ජීවත් විය හැකිද කියලා.... එවිට හිත මුරගා කියනවා.... ‘බලාපොරොත්තුවක් නැතිනම් තෝ මැරියන්... බලාපොරොත්තු වලින් තොර ජීවිතේ මොකටද‘ මංද... ඒ මට හිතෙන දේ..... 

එක්එක්කෙනාට එක් එක් විදිහේ බලාපොරොත්තු තියෙනව තම ජිවිත කාලය මුළුල්ලේ ඉටු කරගන්න...... මේ ලියවුණෙත් එවන් එක් දෙයක් ගැන.... කල්ප කාලයක් පෙරුම් පුරලත් නොලැබුණ සම්පතක්, අනන්ත උත්සාහයන් වලින් පස්සෙ එක දවසක අහම්බෙන් ලැබෙනවනම්..... ඊට වඩා තවත් සැපතක් තියේවිද....? බලාපොරොත්තු කියන දේ අන්න ඒ වගේ.... අපි හිතන් හිටියට විතරක් අපිට ලැබෙන් නැහැ..... සමහරවිට මුළු ජීවිතේම කොයි තරමක් බලන් හිටියත් ලැබෙන් නැහැ.....


රෑ අහස පීදිලා
තරු පොකුරු බර වෙලා
දුවේ නුඹෙ පිපුණු වතමල වගෙයි
ටිකිරි සඳ හෙට උදාවෙන හැඩයි

කසුන් රැස් පායලා
පැතුම් සිත්තම් වෙලා
මහ ගෙදර අඳුර දුරුවෙනු වගෙයි
මාසෙ පෝ කළුව මැකෙනට ළඟයි

කිරි සුවඳ ඉහිරිලා
කිරි කටක හඬ ගලා
සිනාමල් පිපෙන්නට අවසරයි
බිළිඳු සඳ වඩම්මන දින ළඟයි

Saturday, May 4, 2013

විවරණ අංක එක * - නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය - * බහුතරයකගේ ඉල්ලීම මත ලියවෙන අර්ථ දැක්වීමක්


මං ලියූ දෙයක් ගැන මමම අර්ථ දක්වන එක වැරදියි තමයි. ඒත් කිහිප දෙනෙක්ම කිවා අර්ථය තේරුම් ගන්න අපහසු නිසා පැහැදිලි කිරීමක් අවශ්‍ය බව. මේ පුංචි සටහන ඒ ඉල්ලීම් වෙනුවෙන්. ඒත් ඇත්තෙන්ම මම අකමැති දෙයක් මම ලියපු හෝ ඇඳපු දෙයක් වෙනමම විග්‍රහ කරන්න වෙන එක. ඒකෙන් පැහැදිලි වන ප්‍රධානම දේ තමයි මගේ නිර්මාණය අසාර්ථකයි කියන එක. ඒත් නිතර මගේ බ්ලොග් එකට ගොඩවදින, මම ලියන දේවල් කියවන්න ආස මිතුරු මිතුරියන් වෙනුවෙනුයි මේ අර්ථ දැක්විම කරන්න හිතුවේ. මේ සටහන මිට දින දෙකකට උඩදි මා ලියූ නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය නම් වූ සංකල්පනාව ගැනයි.

කලින් කියවපු නැති අය ඉන්නවනම් මුලින්ම කවිය බලල එන්නකො මේක කියවන්න කලින්. මෙන්න ලින්ක් එක.

මුරුගසන් වරුසාව, එය ඔබ කවුරුත් දන්නවා ඇති. කල්පාවසානයේ වහින මේ වැස්සට හසු වුණු සියල්ල විනාශ වන බවයි සාහිත්‍යයේ සඳහන් වන්නේ. ඇය, කිරි වැදුනේවත් නැති නෑඹුල්ම වි ඇටයක්. ඒ කියන්නෙ ඇය ඉඳුල් නොවුණු මල්වර විද නැති දැරියක්. නමුත් ඇය මහා දරුණු ඉරණමකට මැදි වෙලා. මුරුගසන් වරුසාව නැමති ඔහුගේ දෑතට, නෑඹුලේම හසු වූ

Friday, May 3, 2013


පශ්චාත් හරප්පන් ග්‍රාමීය සංස්කෘතීන් සහ Ahar සංස්කෘතියෙහි මැටි බදුන්.
01
හැඳින්විම
දක්ෂින ආසියාවේ ඇතිවු වර්ධනියම ශිෂ්ටාචාරය ලෙස හරප්පා සභ්‍යත්වය අවිවාදයෙන් යුතුව පිළිගැනේ. දැනට ශේෂ වී ඇති තත්කාලීන නශ්ටාවශේෂ විමර්ශනයේදීද පෙනී යන්නේ ඉතා දියුණු නාගරික සංස්තෘතියක් උක්ත ශිෂ්ටාචාරයේදි හඳුනාගත හැකි බවයි. නමුත් පශ්චාත් හරප්පාන් සමය පිළිබඳව විමසා බැලීමේදී ඉහත ලක්ෂණය එකී ක්ෂේත්‍ර අනුසාරයෙන් කෙතෙක් දුරට ස්ඵුට වන්නේද යන්න විවාදාත්මක ප්‍රපංචයක් ලෙස දැක්විය හැකිය. මන්ද යත්, ක්ෂේත්‍ර ගණනාවක කරන ලද පුරාවිද්‍යා කැණීම් මගින් පශ්චාත් හරප්පන් වකවානුව ප්‍රතිනිර්මාණය කළ හැකි බොහෝ සාධක දැනට අනාවරණය වි ඇති හෙයින් ඒ පිළිබඳ පැහැදිලි අර්ථ විවරණයක් මේ වන විට ලබා දීමේ හැකියාව පැවතීමයි.
කෙසේ වෙතත් පශ්චාත් හරප්පන් යුගයේ හමු වන ජනාවාස “ග්‍රමීය සංස්කෘති” ලෙස හැඳින්වීම මතම ඒවා කෙබඳු ආකාර වූයේදැයි ඉඟියක් ලබා ගැනිමේ අවස්ථාව ඇත. එසේ හෙයින් පශ්චාත් හරප්පානු සමය සැලකූ කල්හි එය නාගරික ලක්ෂණවලින් වියුක්ත වූ ග්‍රාමිය ලක්ෂණ වඩා වර්ධිත වකවානුවක් ලෙස පැහැදිලිවම හඳුනා ගැනීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම පෙර පැවති දියුණු නාගරික ශීෂ්ටාචාර ලක්ෂණ මේ වන විට පිරිහි ගොස් නාගරිකත්වයේ පරිහාණිය සනිටුහන් කරන්නා වූ ඊට පූර්වයේ පැවති ග්‍රාමිය තත්ව යළි ස්ථාපිත වන බව හඳුනා ගැනීමේ හැකියාව ලැබේ.

පතකි නිදිකුම්බා


රමණය.... එය සැමටම උරුමද? එසේයැයි කිව නොහැක. මන්ද රමණයේ උත්කෘෂ්ට සන්තුශ්ටිය තබා ස්පර්ශයේ උණුහුම නිය තුඩගටදු නොදැනෙන ඇතැම්හු අප අතරම වෙති. හැබෑය... ඒ අල්පතරයකි. නොගිණිය හැකි ගණනකි.... නමුදු ඔබ, ඔහු හෝ ඈ වී තමන් දෙස බැලුවාද....? යම් දිනෙක ඔබත් ඒ නොගිණිය හැකි අල්පය අතරට ආවේ නම්...... වැඩිමනත් යමක් නොකියමි... දෙනෙත් පියා ඔබටම සිතන්නට ඉඩ හරිමි. 


Thursday, May 2, 2013

නොකලට පිබිද වූ කැකුලිය - කිරි ‍නොවැදි වියැටය - ඇය




අකල්හි හෙන හඬින් වට

මුරුගසන් අසනි වැස්සට
තෙමී හේබා වී ‍බොල්ව
කිරෙන්ද ‍නොනැමි
නෑඹු‍ලේ වියැටය
අවසන් ස්වප්නය දකිනු රිසි
මිහි මවුන් සිප ගැන්මක

Wednesday, May 1, 2013

මම කුරුල්ලෙක් නම්


තීර්ණ හැදුනෙ තනියම. තනියම කිවට අම්මයි තාත්තයි එයාට හිටියා. ඒ හිටියෙත් ඉරත් හැංගිලා හඳත් නැගුණු වෙලාවට විතරයි. ඉස්කෝලෙ යාලුවො ගොඩක් හිටිය වුණත් තීර්ණට ගොඩක් වෙලාවට ඒ අයත් එක්ක එකට ඉන්න බැරි වුණා.

එයාට නොදැණිම ලොකු පාළුවක් එයාගෙ හිතට ආපු නිසයි එහෙම වුණේ. යාලුවෝ නිතරම විස්තර කීවා එයාලගෙ නංගිලා මල්ලිලා අයියලා අක්කලා ගැන. තීර්ණට ඒ වගේ විස්තර මොකුත්ම තිබුණෙ නැහැ යාලුවො එක්ක රස කර කර කියන්න. යාලුවො එක්ක පිට්ටනියෙ කොණක තිබුණු ගිරා අඹ ගහ යට හෙවනෙ, ගැට අඹ කට ඇඹුල් කර කර කන හවස් වරුවල හිනාවෙන් පිට්ටනියම පිරුණෙ මේ රස කතාත් එකතු වුණ නිසා.

අපි හොරෙන් යං පුංචි කාලෙට...... කාගෙන් බාධාවක්ද............


පුංචි කාලෙ මතකය හරිම සුන්දරයි. ලොකු වුණාම ගොඩක් අය එහෙම කියනවා. ඒත් පුංචි අය කැමති නෑ ගොඩක් වෙලාවට තමන් ගත කරන කාලයට. හැමෝම එහෙමද කියන්න මම දන්නෙ නැහැ. මං මං ගැන කියන්නම්. මං කැමැත්තෙන් හිටියෙ නැහැ පුංචි කාලෙට. ඒ කාලෙ මට ඕන වුණේ ඉක්මනින් ලොකු වෙන්න. මොකද කියනවනම්, අපේ අම්ම හැමදාම ටොකු ඇණ ඇණ පාඩම් කෙරෙව්වා. හැමදාම උදේ හවස ඉස්කොලෙ යන්න එන්න පයින්ම.... යන්න මහා විසාල කන්දක් තිබුණා. ගිණි කාස්ටකේ ඔය පාරෙ මටත් වඩා බර පොත් බැග් එකක් උස්සන් යන්න එන්න සිද්ද වුණා. මල්ලිලා මට වඩා බාල නිසා බොහොම සාරෙට එයාලට සැලකුම් ලැබුණා. හැම රණ්ඩුවකම කෙළවර සටහන් වුණේ ලොකු ගුටි වරුසාවක් මගේ පිට දිගට ඇඟ හරහට වැදිලා.


ඔන්න ඒවටත් එක්ක හරි යන්න මම බොහොම මුරණ්ඩු, නාහෙට නාහන ගානට හැදුනා. මේ ඇත්තම මගේ ගැනයි කියන්නෙ. වෙන කතා වගේ ආදේශ චරිතයක් නෙවේ. මට හිතුණ දේ කරන, දෙයක් ඕනනම් හොඳින් හෝ නරකින් මට ඕන දේ ලබාගන්න විදිහට කාටවත් මෙච්චල් නොවී මං හැදුණා.

Monday, April 29, 2013

උඩුයටිකුරු



මේ චිත්‍රය මම නම් කළේ උඩුයටිකුරු නමින්. ෆේස් බුක් එකේ ඉන්න සමහර යාලුවෝනම් මගේ මේ සිතුවම දැකල ඇති.. 

ඔයාලට මේකෙන් මොන වගේ අරුතක්ද දැනවෙන්නෙ කියන එක මම මුලින්ම අහන්නම්. කැමති නෑ මේ ගැන මගේ අදහස කියන්න.....

මේ දේ කියන්නම්. සමාජය ගැන අන්තෙටම කලකිරිල හිටපු මොහොතකයි මේක ඇන්දෙ.

Saturday, April 27, 2013

බිසෝ



දණ වටක් දියේ බැස
කෙකටියා මල් නෙළන
බිසෝ නුඹ පෙර පවින්
මගේ පිලේ පැල් බැන්ද

කඩමාලු මල් රෙද්දෙ
මල් හිනා නූල් ගිය
පරදවා ඇඳී යන
නුඹෙ විඩා හිනා රොද

Wednesday, April 24, 2013

HONDA



සතියේ පස් දිනම
4.30 කණිසමට
ඉඹුල මත නැගි උදුම්බරාව
වෙනුවට
අජානේය HONDA මත
ලිපිකාර පෙම්වතිය
එක ඉරට දුර ඇදෙන
ක්ෂිතිජයත් අල්ලන

මධුරා කුමරියගේ පැමිණිල්ල




නුඹ කුවේණිය නම්
මධුරා කුමරි මම වෙම්
දෑස් අග්ගිස්සෙන්
කඳුළු සඟවන්නම්

කාලෙක එකෝමත්
රජ කුමරියක වූවෙන්

Tuesday, April 23, 2013

උඹ දන්නෙ මොනවද... අපෙ රහස ගැන.....






උඹ දන්නවාද මම....
උනා දැම්මා ඇය ඉදිරියේ ලැජ්ජාව.....
බොහෝම ඉස්සර....
උඹේ හෙවනැල්ල.....
මට උඩින් නොපායපු කාලෙකට ඉස්සර.....

පුරුෂාධිපත්‍යයේ මාන්නය කරමතින් වඩම්මන....
අධීමානයේ ගඳගහන උජාරුව...

Friday, April 19, 2013

පායපන් සඳ



^_^

මගෙ පුංචි සඳ
පායපන් දෑස් හැර
බලන් අර ඉර
දිස්න දෙන අපූරුව

ගනින් රැස් බිඳ බිඳ
දෝතටම පුරෝගෙන

Thursday, April 18, 2013

ඉනික්බිති





තරු දිලුන රැ‍යක
නුඹ නොදුටු තරුවක්
දුටිමි
සඳ ඇවිදින් ගිය දිනෙක
අහඹු කිවිසුම
නෙත් රැඳවූ සඳ
පාලු අහසේ
මුල්ලක
අඳුරු මුල්ලක
ඈත අනන්තයට

Wednesday, April 17, 2013

එය එසේ විය



නිසි කල
අනිසි ලෙස
නොනිසි පහසට නතුව
වීය ඇය
වෙසඟන

Tuesday, April 16, 2013

නොකියාම සිටියත් සිත්විය කියන්නට



බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට මට එන්න විදිහක් නැහැ යාලුවනේ.... එක පුද්ගලයෙක් ඉන්නව, ‍මගේ ජීවිතේට ලොකු තර්ජනයක් කරන. ඒ මිනිහ මගේ චරිතය නැත්තට නැති කරනවා. පොලිසිට‍ ගියත් මේ මනුස්සයාගෙ තියන මෝඩ කමට හෝ අමන කමට මගේ චරිතය නැවත නැවත පලුදු කරන්න උත්සහ කරනවා. අනිවාර්යයෙන්ම ඒ කෙනා 21 වෙනිද මහරගමට ඒවි. බ්ලොග් ලියන අපේ අවුරුදු උත්සවේට. මං ගොඩක් ආසාවෙන් හිටියෙ අපේ කට්ටිය එක්ක එකතු වෙලා සතුටින් ඒ දවස ගත කරන්න. ඒත් මේ මනුස්සයා නිසා මට එන්න විදිහක් නැති එක ගැන මම ‍ගොඩක් කනගාටු වෙනවා...... ගොඩක් ගොඩක් ගොඩක්ම දුකයි. සිත්තරී කියන නමට හෝ තිලිනි කියන මගේ සැබෑ නමට ඒ පුද්ගලයා කරන කිසිම සඳහන් කිරීමක්, ගණන් ගන්න එපා කියල මම ඔයාලගෙන් ඉල්ලා හිටිනවා.