Tuesday, July 3, 2012

පාර දිගේ මගේ ගමන


හරියට කුරුලෑ පිරුණු මිනිහෙක්ගෙ මූනක් වගෙයි අපේ පාර ඉස්සර. තැනින් තැන උස් පහත් වෙච්ච වලගොඩැලි, ගැලවුණු කළුගල් කැට. සමහර වංගු වල වැලි දාලා හෝ වැලි රුදිලා. ඒ තැන් වලින් යද්දි මගේ දත් ටික හිරි වැටෙනවා දැන් වැටෙයි දැන් වැටෙයි වගෙයි ඒ වැලි පාරෙ පරිස්සමින් අඩිය තියන්නෙ. මම හරි ආසයි පාරෙ යන ගමන් ගල් කැට වලට පයින් ගහන්න. කොල්ලන්ට වගේ ඉලක්කෙ බලල ගහන්න මට පුළුවන් වුනේ කාලයක් තිස්සෙ ගල් කැට සිය දහස් ගණනකට පයින් ගහල ගහල ගහලම හුරු වුණාට පස්සෙ. සමහර වෙලාවට එකම ගල් කැටේට දිගටම පයින් ගගහ පාරෙ ලොකු දුරක් අරන් එනවා. ගල් කැටේ අම්මයි තාත්තයි පුංචි ගල් කැටේ නැතිව දුක් වෙනවා ඇති... ඒත් මට මොකෝ.. හරිම කරුමයක් මේ පාරෙ යන එක. කදු පල්ලම් කදු කදු පල්ලම් කදු... කෙලවරක් නැ... කන්දක් නැලග කන්දක් බහිද්දි ආය කන්දක්.. සිය දහස් වර හිතිං සාප කළා මම මේ කැලෑවම හොයන් ඇවිත් මෙහෙ පදිංචි වුණු ආච්චිටයි සීයටයි, ගෙයක් නැතිව බින්න බැහැපු තාත්තටයි.


ඉස්කෝලෙ එක වසරෙ ඉදංම මම අවුරුදු ගැන්නා, කවදද මේ කන්දෙ උඩට පල්ලට ගිහිං ඉවර වෙන්නෙ කියලා. ඊට කලිනුත් ඒ ගැන අදහසක් තිබ්බද කියන්න මට මතක නෑ.. මොකද මොන්ටිසෝරි ගිය කාලෙ ඉතිරිවෙච්ච මතකයෙන් මගේ හිතේ රැදිල තියෙන්නෙ දොර වහන්න තව ලමයෙක් එක්ක පොර කාපු හැටියි, පහල තිලංක හෝටලේ ස්විමිං පූල් එකේ සුදුදො සුදුදියෝ බිකිනියි ජංගිකොටයි ඇදන් අවුව තැපපු හැටියි වගේ පුංචි පුංචි දේවල් ටිකක් විතරයි. ඒව බිකිනි බව දැනගත්තෙත් ඉස්කෝලෙ දහය දොළහ පංති වලට ආවට පස්සෙයි. කොහොම හරි මම අවුරුදු ගැන්නා... ඉස්කෝලෙ ගිහිං ඉවර වෙන්නෙ කොයි වයසෙදිද කවදද කියන එක මට මහ කරදරයක් වුණ නිසා. අපෝ ඒත් සාමාන්‍යපෙල උසස්පෙළ අතරෙ පරතරේ නිසා හිතුවට වඩා තව කාලයක් ඉස්කෝලෙ යන්න වෙන බව දැනගත්තදා මට වහ ටිකක් කාල මැරෙන්න හිතුණා. ඇයි මළ වදේ මේ කන්දෙ මම තව කොච්චර කල් ගාටන්නද?

පල්ලම බහිද්දිනම් නගිනව තරම් අමාරු නෑ. ගෙදර ඉදල දුවගෙනම ආවොත් විනාඩි පහලොවෙන් වගේ ඉස්කෝලෙට යා ගන්න පුළුවන්. ඒත් ඉතිං ගිනි මද්දහනෙ ඉස්කෝලෙ ඇරිල එන එක තමයි ඉවසන්නම අමාරු. ඒ වෙලාවට පයින් ගෙදරට යන්න පැය එකහමාරක් විතර යනවා. මම මේ කරදරකාරී ගමනෙන් මිදෙන්න ඒ කාලෙ පුංචි උපක්‍රමයක් පාවිච්චි කළා. සර්වප්‍රකාරයෙන්ම සාර්ථක නොවුණත්, දාඩිය පෙරාගෙන කම්මැලිකමේ ගාට ගාට කන්ද නගිද්දි මට මගේ තනියට හිටියෙ මම ඒ හිතිං මවාගත්තු හීන ලෝකෙ.

ඒ හීන ලෝකෙ ලස්සයම ලස්සන පුංචි සුරංගනාවි මමයි. පාරෙ බඩගාන තරම් මට්ටමෙන් හති දාගෙන මල්ලත් කරේ එල්ලන් දෙකට තුනට නැවිල කන්ද නැග්ගත්, මේ වෙලාවට මගේ හිතේ රජ කරන හිනෙන් මාව මුදවන්න කාටවත්ම බෑ. ඒ සිතිවිලිත් එක්ක මම යන්නෙ පාවි පාවි... අහසින්... මගේ කකුල් කොහොමත් බිම, පොළොවෙ වදින්නෙ නෑ. නක්ද නගින එක කොයි තරම් අමාරු වුණත් මමම මගේ හීනෙන් වශී වෙලා කතා පිට කතා මවනව හිතිං. එතකොට මේ වෙහෙසකර ගමන හරි පහසුයි.

ඒ ලෝකෙ මට කොල්ලෙක් හිටියා.. ඒ මම ටිකක් ලොකු වෙද්දි. සමහරවිට හත අට වසරෙදි වෙන්න ඇති. ඒ කොල්ල ‍මගේ වුණත්, මටම කියල හිටියත්, විශේෂයෙන්ම 'හීනෙක' හිටියත් මට හරිම ලැජ්ජයි එයයි මායි අතර වෙන පුංචි පුංචි රහස් දෙයක් වුණත් හිතිං මවාගන්න. පුංචි කිස් එකක තරමවත් දෙයක් ඒ කාලෙ මම ඒ කොල්ලගෙන්, මගේ හීනෙ සුරංගනා කොල්ලගෙන්... අත්තටු තිබුණ කොල්ලගෙන් බලාපොරොත්තු වුණේ නැ. මේ සිතිවිලි වලදි මටත් අත්තටු තිබුණ නිසා මම ඒ කොල්ලටත් අත් තටු දුන්නා. 

මේ කාලෙ තමයි අල්ලපු ඉස්කෝලෙ කොල්ලෙකුත් මම යන එන වෙලාව අල්ලලා පස්සෙන් ආවෙ. මට මතක විදිහට කොල්ලො දෙන්නෙක් හිටියා. ඒ කාලෙම වගේ ඒ දෙන්නගෙන් කෙනෙක් අතුරුදහන් වුණා. මම මොකටද මේ කොල්ලො ගැන කතා කරන්නෙ.. මම කියන්නෙ පාර ගැනනෙ. අයියෝ මොන දේ වුණත් ඉතිං මම ඉස්කෝලෙ ගමන කෙලවර වෙන දවස වෙනකන් ඇගිලි ගැනපු එකේ නම් අඩුවක් වුණේ නෑ.

ඉස්කෝලෙ ඇරෙන වෙලාවට හරිම කාෂ්ටකේ. මම කවදාවත් කුඩයක් පාවිච්චි කළේ නෑ. මට කවදාවත් කුඩයක් තිබුණෙත් නෑ. මේ වෙලාවට නත්ද නතින්න වස කම්මැලියි. ඒ නිසා ටික දවසකින් මම පිළියමක් හොයා ගත්තා. මේ හය වසරෙ වගේ ඉද්දි. අපේ ඉස්කෝලෙ ගාව තිබුණ ළමා උද්‍යානයක්. මම හැමදාම ඒකට යනවා. මම හිතන් හිටියෙනම් ඒකෙ මම හිටියෙ විනාඩි දහයක් වගේ කාලයක් කියලයි. ඒත් ගෙදර එද්දි සැහෙන වෙලාවක් ගිහින් බව දැනගත්තෙ අම්මගෙ මුන දැක්කට පස්සෙයි. මුලින් මුලින් මම කිවෙ නැ අම්මට මම කොහෙද යන්නෙ කියල ඉස්කෝලෙ ඇරුණට පස්සෙ. ඒත් ගෙවල් පැත්තෙ ඉන්න දන්න් අදුනන අයගෙ කටවල්වලින් අම්මට ආරංචිය ගිහිං තිබුණා. අම්මට සේරටම වඩා තරහ ගියේ ඉස්කෝලෙට වතුර ගෙනියන කෑන් එකේ (ඒ කාලෙ මට තිබුණෙ පුංචි කෑන් එකක්) වතුර හිස් කරල චිල්රන් පාක් එකේ තිබුණ පොකුණෙ හිටපු මාළුවෝ ඒකෙ පුරවගෙන ආවමයි. මම එදා අම්මගෙන් පොල්ලක් කැඩෙනකන් ගුටි කැව විතරක් නෙවෙයි මාළුවන්ට අත් වුණෙත් මහ භයානක ඉරනමක්. අම්ම ඒ මාළු ටික සේරම සින්ක් එකට හැලුවා. මම අඩ අඩා දුවගෙන ගිහින් එළියෙ කාණුව පිර පීර මාළු ටික හෙව්වා. අනේ දෙවියනේ එකෙක්වවත් මට හම්බවුණේ නැ....

අපේ ගෙවල් වලට එන්න දිගම දිග පඩිපෙලක් තිබුණා. කැඩිච්ච අබලන් පඩිපෙලේ පඩි එකසියගානක් තිබුණා. ඒත් මම ගොඩක් ආස කළේ රවුම් පාරෙ ඔහේ ඇවිදගෙන එන්න. අනික, ගමේ ඒ පැත්තෙ කොල්ලො මාව වැඩිය දැකල තිබුණෙත් නෑ. මුලින්ම ඒ අය මාව දැන්නම එක එක ජාතියේ කතා කියන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවේ ‍සෑහෙන දැරක් මගේ පස්සෙනුත් ආවා. ඒත් අපේ ගෙදරට එන්න තියන දඅර වැඩිකම නිසාදෝ උන් ඒ අදහස අත්හැරල දාල ආයෙ යන්න ගියා. කොහොම උනත් කොල්ලන්ව අවුස්සන විදිහ මගේ උපතින්ම මට නොලැබුණු ලක්ෂණයක් කියලයි මම හිතාගෙන හිටියෙ. මොකෙක් හරි මට මොනව හරි කිම හැටියෙ තරහ ගිහින් ඌට පුප්පන පුරුදුදක් මට තිබුණා. අදටත් ඒ හෙනේමද මංද ඉතිරි වෙලා තියෙන්නෙ. 

කොහොමහරි අර රවුම් පාරෙ එදිදි එක ගෙයක් හම්බවෙනවා, උගුරැස්ස පිරුණු ගහක් තියන. ගහ තියෙන්නෙ ඇල්ල උඩ උනත් පහළට නැමුණු අත්තක් උගුරැස්ස බුරුතු පිටින් එල්ලෙනවා. මම ඒ අත්ත අල්ලන් ඇත්ත දිගේ ගිහින් උගුරුස්ස කඩනවා. මේ කාලෙ මම තව යාලුවො දෙන්නෙකුත් එක්කයි ‍ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවෙ. ඒ වගේ දවසක මම ඇල්ල දිගේ බඩගාගෙන ගිහින් උගුරුස්ස අත්තක එල්ලිලා ඉද්දි මගේ නෑදෑ අක්කකෙනෙක් පාරෙ ආවා. මම විනාසයි... එදා මම ආයෙ වතාවක් පලු මතුවෙනකන් අම්මගෙන් ගුටි කැවා, අනුන්ගෙ වතු වලින් හොරා කන්න ගියා කියලා.

මොන අමාරුව තිබුණත් මම කවදාවත් ඉස්කෝලෙ නොයා හිටියෙ නෑ. හැමදාම ගියා. මම මුලින්ම එක වසරට ඇතුළත් කරල සතියක් යද්දි මගේ ආච්චි නැති වුණා. එදා මම බිමි පෙරලි පෙරලි ඇඩුවා ඉස්කෝලෙ යන්න ඕන කියලා. අම්මලා හිතුවෙ ඒ මම ඉස්කෝලෙ යන්න එච්චරම ආස නිසායි අඩත්තෙ කියලා. ඒත් ඒ කවුරුත් අද වෙනක්න් දන්නෙ නැ මම ඒ ඇඩුවෙ ආච්චි නැති වුණු ආරන්චිය උණු උණුවෙම යාලුවන්ට කියන්න තියන හදිස්සියටයි කියලා. කොහොමහරි මාව එදා ඉස්කෝලෙ යැවුවා මම බල කරපු නිසා. මම දඩිබිඩියෙ පන්තියට ගිහින් යාලුවන්ට ආරංචිය කිවා. ඒත් මගේ හිතේ නලියපු බලාපොරොත්තු සේරම දිය වෙලා ගියා එක පාරටම... "ආච්චි මැරුණනම් ඔයා කොහොමද ඉස්කෝලෙ එන්නෙ? අනේ යන්න අනේ බොරු කියන්නෙ නැතිව..." මම එදා ගියේ අපරාදෙ කියල මට හිතුණා. ඒ මොහොතේ ඉදල ගෙදර එන්න තිබුණෙ ලොකු හදිස්සියක් වුණත් මගේ හදිස්සියට ඔරලෝසුවේ කටු කැරකුණේ නෑ.

අවුරුදු ගානක් මම මේ කන්දෙ බඩගෑවා එක එක මනෝ විකාර හිත හිතා. හැමදාම සිතුවිලි විතරයි. මම කල්පනා කළා අඩුගානෙ අම්ම මාව 21 වෙද්දිවත් බන්දලා දේවි කියලා. මට හොදට මතකයි දවසක් මේ පාරෙ ලොකු වංගුවක එන ගමන් මම ගැන්නා, මට විසි එක වෙන්න තව අවුරුදු අටක් තියන බව. ඒ වෙද්දි මට දහතුනයි. එපා වෙන්නෙ මේ කාලෙ ගෙවෙන් නැති වුණාම.

ඔක්කොටම වඩා එපා කරපු දේ මම එන පාරෙ තිබුණ ඉස්කෝලෙට ගිය මන්දබුද්ධික වගේ පිරිමි ළමයා. හැමදැම මට එයාව හම්බවෙනවා. පස්සෙ කාලෙක නිතරම ටවුන් එකේදිත් හම්බවුණා. ඉස්කෝලෙ කාලෙ කතා කළේ නැතත්, ඉස්කොලෙ ගිහින් ඉවරවෙලා අවුරුදුත් ගණනක් ගියාට පස්සෙ පාරෙදි හම්බවෙද්දි මේ යකා මා එක්ක එල්ලි එල්ලි කතා කරන්න ආවා. ඉන් පස්සෙ පාරෙ යද්දි මම හරිම පරිස්සම් වුණා මෙයා මට මුනගැහේදෝ කියලා. දැක්කත් නොදැක්ක ගානට යන්න, කතා කළත් ඇහුණෙ නැති ගානට යන්න මම පුළුවන් තරම් උත්සහ කළා. මම දන්නෙ නෑ ඇයි මේ ළමයව දකිද්දි මට කරහ ගියේ කියලා. අනන්තවත් හිතුණා මට ආස හිතෙන ජාතියේ කොල්ලෙක් හම්බවුණානම් කොයි තරම් හොදද කියලා. ඒත් මේ ගල් ගැඩුණු ගොරහැඩි පාරෙ ගිනි කාස්ටකේ මොන ආල හැගුම්ද?

සමහර දාට මම දකිනව එක එක ජාතියේ කට්ටිය. කට්ටිය කියල අදහස් කළේ ජෝඩු. දවසක් මම පිටිපස්සෙන් යනවා.. ඉස්සරහින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි යනවා.. කොල්ල ත්‍රීවිලර් ඩ්‍රයිව කෙනෙක්. හැබැයි හරිම හැඩයි. කොල්ල කෙල්ලට කජු කව කව යනවා.. හ්ම්... මම අඩිය ඉක්මන් කරල ඒ දෙන්නව පාස් කරල ගියා. ඒ වගේම සමහර දාට පාරට පහල කැලේ කොකෝ වත්තෙ එක එක මුණුමුණු හඩවල් ඇහෙන බව මම දන්නවා. ඒත් ඉබේම හිත කියනව බලන්න එපා ඒ පැත්ත කියලා. පුංචි කාලෙ ගාට ගාට නැගපු කන්ද පස්සෙ පස්සෙ ඉක්මන් අඩියෙන් එන්න පුරුදු වුණේ ඒ විදිහට. කවදා මේ උඩට පහළට යන ගමන නවතීද කියල ඒ යන හැම වතාවෙම මම ඇගිලි ගැන්නා.

ආවගියා ආවගියා ආවගියා ආවගියා අවුරුදු ගණනක් ආවගියා. ගල් බොරළු මතුවුණ, ගෙඩි කඩපු වලවල් හෑරිචිච අබලන් පාර කාපට් කළා. හරි ලකේට කළු පාට වැටුණා. දැන් ඉස්සර වගේ කකුල් වලට වෙහෙසක් නෑ. පාර එක මට්ටමේ නිසා පාවි පාවි යන්න පුළුවන්. හැමදැම මම වැඩට යනවා. ඉස්කොලෙ ගිහින් ඉවර නිසා. යනවා එනවා... හැමදාමත් උඩට පහළට... දැන් මම හරි ආසයි කාපට් කරපු පාරෙ යන්න. ඇගට වෙහෙසක් නෑ. පැතලි අඩි තියන සෙරෙප්පු දෙකක් දාපුවම පතුලට දැනෙනවා පාර පතුලෙ වදින විදිහ. හැමදාමම මම කල්පනා කරනවා.. පුරුද්දට වගේ... ඇබ්බැහි වෙලා මම ඇත්තටම කිවොත්.. මම ඇබ්බැහි වෙලා මගේ හින ලෝකෙට... මමම විතරක් රජකරන, මගේ සිතිවිලි විතරක් මුල් තැන ගන්න මගේ හීන ලෝකෙ නැතිව මට මේ පාරෙ යන්න බෑ. ඒ වගේම මම හිතන දේවල් කෙලින්ම හිතන්න ඉස්සර වගේ ලැජ්ජ වෙන්නෙත් නැ.. ගෙදරට වෙලා හිටියට හීන අතර ලේසියෙන් කිමිදෙන්න බැහැ. මගේ සිතිවිලි වල සුන්දරත්වය විදින්නනම් මම මේ පාරටම එන්න ඕන. මොන තරම් ලස්සනද? හැබෑ ලෝකෙට වඩා මොන තරම් ලස්සනද? නිදහස්ද?... මේ මගේ හීන ලෝකෙ... මම ආසයි හැමදාම මේ පාරෙ උඩට පල්ලට ඇවිද ඇවිද ඉන්න.
Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. හරි අමුතු ලියවිල්ලක්. මාත් ඉස්කෝලේ කාලෙට ගියා. ඒ වගේමයි ඒ කාලේ වටපිටාව, යාලුවෝ, සිද්ධි ගොඩක් හිතේ මැවුනා..... දැන් ඒ ඔක්කොම වෙනස් වෙලා.

    …අපි දැන් වයසක මිනිස්සුනේ :D

    ReplyDelete
    Replies
    1. අපි කොයි තරම් වයසින් දුරට ගියත් හිතිං තරුණ වෙන්න පුළුවන්...
      ඔයාගෙ කතාවනම් ඇත්ත... කොහොමත් හිතිං ගොඩක් දේවල් ලං කරන්න පුළුවන් වුණත්, ඒ කාලෙ හැබැ විදිහටම ආයෙ ගන්න බැනෙ... :(

      Delete
  2. මතක නම් සුන්දරයි හැමදාමත්! :) :)

    ReplyDelete
  3. මාත් ඔය කන්ද බහින්නෙ කවදද කියලා සෑහෙන්න කාලයක් බලා හිටියා.අන්තිමේ ඒක මග ඇරිලා තාමත් කන්ද නගිනවා.

    ReplyDelete
  4. හැමදාම ලියපු ගැමුරු සංකල්පනා සහ අදහස් වලින් මිදිල . බොහොම සරල සිතුවිල්ලක් ලියල.

    ඒත් මේ "පාර දිගේ මගේ ගමන" සටහන ඇතුලෙ අර කිල්න් ලියපු සංකීර්න සමාජ ගැටලු ඒ විදිටයම තියෙනවා.
    තමන්ගෙ අභයන්තර ලෝයෙන් පිට ඇතිවන සබඳතා පරිසරය එක්ක ගැලපීම තුළ.

    මට නම් හිතෙන්නෙ අර පාර කාපට් කරපු එක කෘතීමයි වගේ මොකද එතන අර ගල් මුල් වල හැපි හැපි සොබා දහම වින්ද සුන්රත්වය එතැන නැති නිසා.

    මේ පෝස්ට් එක කියවලා ඉවර වුණාම සුනිල් එදිරිසිංහ කාලෙකට ඉස්සර ගැයූ

    "ඉස්සර මං ගිය පාසැල ඇරිලා " ගීතය සිහියට නැගුනා

    ReplyDelete
    Replies
    1. සුතූතියි යාලු....

      මමත් දැන් දකිදුදි අපේ ඉස්කොලෙ නංගිලාව.. හිතට හරි දුකක් තනිකමක් දැනෙනවා.
      තව ටික කාලෙකින් මේ නංගිලාට දුව කියල අමතන්නත් කාලයක් ඒවි.. ඒ ගැනනම් හිතෙද්දි සැහෙන්න දුකයි අපේ අතිතය ගැන...

      Delete
  5. අසංක (දැ) කියනවා ඒ දවස්වල තිළිණි ඉස්කෝලේ ඇරිලා උන්ගේ ඉස්කෝලේ ගාවින් වැනි වැනී යන හැටි.
    කොහොම උණත් මේ සටහන හරි අපූරුයි.තිළිණිට ලියන්න සහ ගලපන්න පුලුවන් බවට හොඳ උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. අපොයි මම වැනි වැනීනම් ගියේ නැ...
      කෙනෙක්ව බලාපොරොත්තුවෙන් කුරුමානම් අල්ල අල්ලනම් ගියා තමයි කාලයක්... :D

      Delete