Wednesday, July 11, 2012

සමුගැනිම



“හෙලෝ.. ආ කොහේද ඉන්නෙ?”
“අනේ බං උඹ ආවද? මම තවම ඔෆිස් එකේ..”
“හරි මට ගෑස් වගේ . උඹ එනකන් මම බත් එකක් කන්නම් . සිටි සෙන්ට එකට වරෙන්.”
“හරි හරි හලෝ මම මෙහෙන් දැන් පිටත් වෙනවා. ඉක්මනින් එන්නම්.”
“හ්ම්. මම සිටි සෙන්ට එකේ සරසවියෙ ඉන්නවා. වරෙන්.”
“ඕකේ. බායි.. බුදුසරණයි..”
“බුදුසරණයි..”

මම ඔෆිස් එකෙන් පිටත් වෙද්දි මහ වැස්සක් පටන් අරන්. මේ වැස්සෙ මාළිගාවෙ යන්නෙ කොහොමද කියල හිත හිතා මම එළියට බැස්සෙ. ඔෆිස් එක ගාවම ටිකක් එහාට ගියාම නුවරට බස් එක ගන්න පුළුවනි. හෑන්ඩ් බෑග් එකත් එල්ලන්, ඒ අතින්ම මම සාරියේ රැළි ටික එක අතකට කරල උස්සලා අල්ල ගත්තෙ පාරෙ මඩ වලින් මගේ අලුත් සාරිය බේර ගන්න ඕන නිසා. අනිත් අතින් ඉහලගත්තු තුඩෙත් එක්ක මට විනාඩි ගණනක් බස් එකක් එනකත් ඉන්න වුණා.. කරුමෙ, හදිසි වෙලාවටමයි බසුත් නැත්තෙ.. චිරී...ස් ගාගෙන මහ හයියෙන් යන වාහන රෝද වලින් විසි වෙන වතුරමල් නිසා මගේ සාරිය පරිස්සම් කරගන්න දරපු වැයම අත් හරින්න සිද්ද වුනේ හරිම ඉක්මනින්. නොදකින් විතරක්.. මුන් හිතන් ඉන්නෙ මුන් සක්කරය වගේ යන්න ඕන කියල වෙන්න ඇති රෝද හතරක නැගල හතර අතින් වහ ගත්තම.. මේ මගුල් බස් අද නැත්තෙ ඇයි මංදා... වෙලාවට සීටිබී කට්ටක් ආව නිසා මම කුඩෙත් අකුලන්න හදන ගමන්ම බස් එකට ගොඩ වුණා.. පඩිය‍ට ගොඩ වෙන කොටම බස් එක ඉක්මනින් ඇද්දුවේ මගේ කුඩේ පස්සට ඇදිල යන හුළං පාරට අහුවෙන අතරෙමයි.
ඒත් බස් කාරයා ගැන මට තරහක් ආවෙ නෑ.. ඉක්මනින් යා ගන්න තරමට බෝතලයව හම්බවෙන්න පුළුවන් තත්පරයක් හරි ඉක්මනින්.. ජීවිතේ සමහර අවස්ථා වලදි ඉක්මන් වෙන තත්පරයක කාලය ගැන පවා මම හරිම ලෝබ කමින් හිතුවෙ. අදත් ඒ වගේම දවසක්. ඉක්මනින් එයාව දැකගන්නයි මට ඕන වුණේ. අකුලගත්තු කුඩේ තියන අතින්ම බස් එකේ බටේ ලාවට අල්ලගෙන අනික් අතින් සාරි‍ය අල්ලගෙන මම බස් එක ඇතුළට ගියේ බස් එකේ වේගෙට ගැස්සි ගැස්සි වගෙයි. 

බෝගලයව මම නිතර දකිනවා ඉස්සර අපි කැම්පස් ගිය අලුත රැග් සිසන් එකේ. ඒ එයා මම ගෙදර යන බස් හෝල්ට් එකට ප්‍රතිවිරුද්ධ බස් හෝල්ට් ‍එකෙන් බස් එකට නගින නිසායි. රැග් ඉවර වෙලා කුණු ජුන්නො වෙන අපි ගෙදර යන්න එන වෙලාවට හැමදාම වගේ අපි මුනගැහෙනවා. ඒ දවස්වල අපිට ගෙදර යන්න අවසරයක් නෑ. අපි අනිවාර්යයෙන් හොස්ටල් නවතින්න ඕන. පිරිමි ළමයින්ටනම් මේ නිතිය අනිවාර්යයි. ඒත් මට මතක නෑ බෝතලය කවදාවත් හොස්ටල් නැවතුණු වගක්. පස්සෙ කාලෙකනම් එයා කිව තමයි දවසක්ද කොහෙද හොස්ටල් හිටපු බව. කොහොමත් මට එයාව මේ තරම් මතක තියෙන්නෙ එයා හැමදාම පුරුදු වෙලාවට හෝල්ට් එකට ආව නිසයි. මේත් එක්ක සින්නොත් නොහිටියාම නෙවෙයි.. 

“ඇයි තෝ ගෙදර යන්නෙ? දවස් කියක් ‍හොස්ටල් හිටියද? ගෙදර කොහොද? නැවතියන් දවස් දහයක් හරි.. නැවතෙන් නැතිව තොපි කොහොමද මේකෙ ඉන්නෙ...?....”

සින්නන්ගෙ කතා කෙළවරක් නෑ. 

“අම්ම විතරයි ගෙදර ජ්‍යෙෂඨතුමා.. දවස් හයක් හිටියා.. රාමනාදන් එකේ.. හා ජේෂ්ඨතුමී.. 115 කාමරේ.. කොණ්ඩ කිරිල්ලිගෙ කාමරේ.. හෙට එන්නම්.. හා හා.. හා.. හා..” මොන මොනවා හෝ කටට එන දෙයක් කියලා ඒ වෙලාවට සින්නන්ගෙන් බේරෙන්න පුළුවනි. මේත් එක්කම එන ‘කදුරට කොමළි’ බස් එක පේන්නෙ දිව්‍ය අංගනාවක් වගේ.. ඒකට පැනගත්ත ගමන් සින්නන්ගෙ අණසක ඉවරයි. ආය ඒව අපේ ඔළු උඩ පතබෑවෙන්නෙ පහුවෙනිදට. දෙවියො බුදුන් දැක්ක වගේ සතුටක් මහකන්ද බස් එක දකිද්දි මේ වෙලාවට ඇති වෙන්නෙ මේ නිසයි. ‍

මේ අතරෙ බෝතලයගෙ මුනෙ සින්නන්ගෙ ප්‍රශ්න වලින් ඇතිවෙන හැගිම් නිසා මැවෙන රූප රටා මම හැමදාම වගේ බලන් හිටියා. 

‘ඇයි මේ කොල්ලට හොස්ටල් ඉන්න බැරි? යකෝ අපි කෙල්ලො වෙලත් හොස්ටල් නැවතුණා.. කොල්ලෙක් වෙලා මූට බැරි මොකෝ..’

බෝතලයා ගැන හිත හිතමයි මම ගොඩක් දවස් වලට බස් එකට නැංගෙ. ඒත් මේ දවස් වල බස් එකට නැග්ගම ආපස්ස බලනු බොරු නිසා බෝතලයගෙ දෙක වෙච්ච මූන එතනින් පස්සෙ මට අමතක වෙනවා. තගෙන් තොර නිවසක් හිතේ මවාගෙන කදුරට කොමළිගෙ සීට් එකක් හොයා ගත්තම නිදහසේ යන්න පුළුවනි නුවරටම.

ගෙවුණු අවුරුදු හතර පුරාවට අපි මොන තරම් නම් සමීප වුණෘද? කවදාවත් නොකැඩෙන බැදීමක් එක්ක.. බෝතලයව කොයි තරම් දැකල තිබුණත් එයා එක්ක කතා කරපු දවසක් මට මතක නෑ. මම එයාට සමිප වුණේ මගේ වගේම බෝතලයගෙත් යාලුවො වුණ කීරයි හියාරයයි නිසා.
මට මතක විදිහට මුලින්ම මම එයා එක්ක කතා කළ දවස විදිහට මතක තියෙන්නෙ අපේ ලයිබ්‍රියේ ලෙන්ඩින් සෙක්ෂන් එකේදි. 

“.....අපෝ ඔයා පොත් කියවන්නෙම නැද්ද? ලැජ්ජාවෙ බෑ හලෝ.. මහ ලොකුවට සිංහල නේද කරන්නෙ? අපෝ වැඩක් නෑ පොත් කියවන්නෙ නැත්නම්, මෙලෝ රහක් නෑ..”

මට මතක විදිහට මම ඌට කියපු මුල්ම වචන අතරට මේ වචන තමයි ප්‍රධාන වෙන්නෙ. එයා පොත් නොකියවන බව අහලා මම පුදුම වුණා මතකයි එදා.. කොහොම වුණත් පස්සෙ පස්සෙ එයා පුදුම විදිහට පොත් කියවන්න ගත්තා.. මාවත් පරදලා පුදුම තරම් පොත් කන්දරාවක් කියෙව්වා.. මටත් හොදම හොද පොත් තෝරලා දුන්නා.

බෝගම්බර බන්ධනාගාරෙ සුදු බැම්ම පේද්දිම මම බස් එකෙන් නැගිට්ටා.  ඉක්මනින් බස් එකෙන් පැනගන්න. මම සිටි සෙන්ට එකේ සරසවිය ඇතුළට ගිහින් බෝතලයව හෙව්වා. දැක්කෙ නැති නිසා රිං කළා.. කොහෙන්දෝ මුල්ලකින් ආපු සිංදු සද්දෙ උගේ බව අදුනගන්න මට වැඩි වෙලා ගියේ නෑ.

“මේ පොත් ඇතිද?”

සී ආර් පොත් තුනක් පෙන්නලා බෝතලය මගෙන් ඇහුවෙ මම එයා ගාවට ළං වෙද්දිමයි.

එයා අරන් තිබුණු ඇස් කඩාගෙන යන කහ පාට පොඩි පෙන්සිල් කේස් එක අයින් කරන්න කියල අපි දෙන්නම එකතු වෙලා ‍ලස්සන පෙන්සිල් කේස් එකක් තෝර ගත්තා. ඒක තැඹිලි පාට සිලින්ඩර් හැඩයේ එකක්. බෝතලයා ‍ගත්ත තව තව පොඩි පොඩි බඩු වලට බිල ගෙවන අතරෙ මම පාවුලෝ කොයියෝගෙ පොත් තියනවද කියලා රාක්ක අතරෙ පොඩ්ඩක් ඇවිද්දා..

ඉස්සර කැම්පස් කාලෙ සමහර දාට අම්ම මාව එක්ක යන්න අක්බාර් පාලම ගාවට එනවා. මම ඒ සමහර දාට බෝතලය එක්ක තෙල් බැම්මෙ ඉදගෙන ඉන්නව පැය ගණන්.. හවස හයට විතර අපි වෙන් වෙද්දි අහස පුරා ලස්සන තැඹීලි පැට විසිරිලා.. වවුල්ලු පියාඹන්න පටන් අරන්.. හරියට මේ දේවල් එක පාරම වුණා වගේ. අපි අපේ කතා බගේ කොයි තරම් දුර යනවද කීවොත් අපිටම තේරෙන්නෙ නැ අපේ කතා අතරෙ මේ තරම් වෙනසක් අපි අවට සිදු වෙලා තියන බව. සමහර දාට කීරයි හියාරයයිත් එකතු වෙනවා.. ලයිබ්‍රියේ පළවෙනි තට්ටුවේ අපි කට්ටියටම වෙන් වුණු අපේ මේසෙ හරියට අපේ පාරාදිසය වගේ.. සමහර දාට අම්ම ඇවිත් බැනුම් කෝටියක් එක්ක එන අම්මගේ කෝල් එකක් නිසා මට යන්න වෙනවා.. ඒත් ඒ හිතේ කැමැත්තකින් නෙවෙයි.. කතා කතා කතා පිට අපි කොයි තරම් වෙලාවක් ගෙවනවද කියලා දපිට තේරෙන්නෙ නෑ. ඒත් කැම්පස්එකම කළු කරගෙන එන රැය අපිට වෙන් වෙන්න වෙලාව හරි බව නොකියා කියද්දි බෝතලයා දෙල්තොට බස් එකට දුවන්න කලින් මාව මහකන්දකට දානවා. තෙල් බැම්මට වෙලා උරහිසේ එක පැත්තක එල්ලගත්ත බෑග් රාජයා ඔඩොක්කුවට කරගෙන ඉදගෙන ඉන්න බෝතලයට මම අත වනන්න, බස් එකේ ජනේලෙ අයිනෙම ඒ පැත්තට වෙන්න හැමදාම ඉද ගන්නවා.

“හරි.. වරෙන් දැන් මාළිගාවට යන්න කලින් මේ සල්ලි ඩොල වලට මාරු කරගන්න බැංකුවට යන්න ඕන..”

අල්ල අල්ල හිටිය, පාවුලෝ කොයියෝගෙ මිනිත්තු එකොළහ අත් හැරල දොරත් තල්ලු කරන් මම බෝතලය පස්සෙන් ආවා.

“හරි බයයි බං. උඹ දන්නෙ නැ මම මේ හිටියට මට ලං ලං වෙද්දි යන්න හිතෙන්නෙම නෑ.. මම අද අක්ක කෙනෙක්ට කතා කළා. එයත් මුල් දවස් වල කිසි කෙනෙක්ගෙ උදව්වක් නැති නිසා පාරවල් ගානෙ අඩ අඩා ගියාලු බං”
“පිස්සුද ‍යකෝ... හැමෝටම එහෙම වෙන්නෙ නැ.. වුණත් මොකෝ.. උඹ මෙච්චර කල් හැමදේම තනියම කරගත්ත එකේ මේ අභියෝගෙ උඹට සුළු දෙයක්.. අනික දැන් උඹට හැම පහසුකමම ලැබෙන බවට ඒ රටින් පොරොන්දු වෙලා තියෙද්දි එන හැටියකට මුහුණ දෙන්න බලාගෙන පලයන්. මේ වතාව විතරයි උඹට ලැබෙන්නෙ.. වෙන දෙයක් වෙච්චාවෙ.. හිතේ විශ්වාසෙ තියාගෙන ඉදපන්. උඹ දුර්වල වුණොත් හරි යන දේවලුත් වරද්ද ගනීවි..” 

බෝතලය බය වෙලයි හිටියෙ හෙට එයා යන ගමන ගැන. මට ඔන වුණේ එයාගෙ හිතේ බය නැති කරන්න වුණත්, ඒක මගේ වචන වලින් කොයි කරමක් සාර්ථක වුණාද කියල මම දන්නෙ නැ. මට ඔන වුණේ එන දේකට එන හැටියකට මුහුණ දෙන්න කියල එයාට කියන්නයි. ඒ රටේ මිනිස්සු කොයි තරම් වෙනස් වුණත්, අපිව පහළ හෙළුවත් එයා යන්නෙ එයාගෙ අනාගතේ සාර්ථක කරගන්නයි. තවත්, තව තවත් ඉහළට ඉගෙන ගන්නයි.. ඉතිං මොන ප්‍රශ්නෙට වුණත් බෝතලයට තනියම මුහුණ දෙන්න ඉබේටම සිද්ධ වෙනව. නැත්නම් මුහුද හතු ගව්වක් තියෙද්දි අමුඩ ගහන්න ගිහින් ගෙදරම නවතින්න වෙනවා..

එතකොට දාහක් කෝටියක් දෙනා අතරෙ සුවිශේෂී එකම පුදුගලයා වෙන්න එයාගෙ තිබුණු අරමුණ ඉබේටම වාශ්ප වුණා වගේ වෙනවා.

“හොදම දේ තමයි උඹ හිතට හයිය ගන්න එක. උඹ මුහුණ දුන්නු ප්‍රශ්න එක්ක මෙතන කිසි ප්‍රශ්නයක් නැ.”
අපි වැස්සෙම මාළිගාවට ගියා.. 

“මොකෝ බං පරක්කු, උඹේ මොනවද ඔය හැටි හෝදිසි කළේ..?” චෙක් පොයින්ට් එක ඇතුළෙ ඉදන් එලියට එන්න පරක්කු වුණ නිසා මම බෝතලය එළයට ආපු හැටියෙ එයාගෙන් ඇහුවා.

“ටිකට් එකක් දික් කරා බං චෙක්පොයින්ට් එක ඇතුළෙදි. මම කිව එන ගමන් ගන්නම් කියලා. මොකුත් බැලුවෙ නෑ ටිකට් එක ගන්නම කියල බල කළා..”

ආයෙමත් ඒක ඇතුළෙන් අපි නොයන බව දන්න නිසාම හිනා වෙවි ගිහින් ‍නෙළුම් මල් වට්ටියක් ගත්ත පුජා කරන්න.

“සීයෙ එකක්ම ගන්නද”
“එපා බං බෝතලයො, සීයෙ වට්ටිය ගත්තත් පනහෙ වට්ටිය ගත්තත් පින එකයි. වැදගත් වෙන්නෙ සිතිවිල්ල. මල් පූජ නොකළත් මොකෝ...”

මල් වල වතුර බිංදු ඉහිල තිබුණ නිසා එයා කැමති වුණේ නෑ මාළිගාවෙ පිවිසුමේ අනිත් පැත්තෙ තියන පොතුණ ගාවට ආයෙ ගිහින් පැන් ඉහගෙන අත් දෝවනය කරගෙන එන්න. මල් ටික දන්තධාතූන් වහන්සේ වැඩඉන්න මාළිගෙයි ඉස්සරහ ආසනයෙන් තියලා අපි පැත්තතින් වාඩි වුණෘ පන්සිල් ගන්න.

“අඩේ බං ගාථා මතක නෑ..” බෝතලය කිවා. මට හිනා ගියා. මමත් කල්පනා කළා මට ගාථා මතකද් කියලා. මම හිතනවා මට සබ්බසකලමනාවම නැතත් අවශ්‍ය ගාථා ටික අර්ථයත් එක්ක මතක් කරගෙන කියන්න පුළුවන් බව.

“වරෙන් මා ගාවට..” මම ඌට කතා කළත් ඔන නෑ කියල එයා එහා පැත්තෙ ඉදන් වදින්න බටන් ගත්තා.

ගාථා තියලා ඉවර වෙලා, මම එදා උදේ ඉදන් නිතරමම මම පහු කරල එන පන්සල ගාවදි පැතුව ප්‍රාර්ථනාව ආයෙම පාරක් කළා...

“ස්වාමිනි, ඔබ වහන්සේ මගේ පැතුම් හැමදාම ඒ විදිහටම ඉටුවෙන්න කියල මට ආශිර්වාද කරනවා. ඔබ වහන්සේගෙ ආශීර්වාදය නිසාම මම අද සාර්ථකයි. මට හැමදේම ලැබිල තියනවා. මම වෙනද වගේම ‍අදත් ඔබවහන්සේගෙන් ආශිර්වාද ඉල්ලනවා. ඒ මට නෙවෙයි.. බෝතලයට හෙට එයා යන ගමන සාර්ථකව නිමා කරන්නත්, එහෙදි උසස්ම විදිහට එයාගෙ වැඩකටයුතු සිදු කරගන්නත් එබ වහන්සේගේ ආශීර්වාදය ලබා දෙන්න... අද මට ඔබ වහන්සේගේ ආශිර්වාදය නොලැබුණෘට කමක් නෑ.. අද මම වෙනුවෙන් බෝතලයට ආශීර්වාද කරන්න..”

මම වැදල ඉවර වෙලා ඔලුව උස්සද්දිත් ‍එයා වැදල ඉවර වෙලා වට පිට බල බල හිටියා..  හරියට ගාථා කිවද දන්නෙ නැ.. මට හිනා. කමක් නෑ මම එයා වෙනුවෙන් හරියට වැන්ද නිසා වරදක් නෑ.. අනික බුදුහාමුදුරැවො කා එක්කවත් වෛර බැදගන්නෙ නැනෙ..

“යමුද”
“හා”

අපි හතර දෙනාගෙන් කාගෙන ඉගෙනිමේ පැතෙරට යාමේ උවමනාව හියාරයාට හැර අපි තුන් දෙනාටම තිබුණා. ෆස්ට් ඉයර් ‍එකේ ඉද්දිම අපි ප්‍රාර්ථකාවක් කළා අපි තුන්දෙනාගෙ ඩිපාට්මන්ට්ස් තුනෙක් ඉහළම ලකුණු අරගන්න අපි උත්සහ කරනවා කියලා. හැප්පි හැප්පි ගැස්සි ගැස්සි ආපු අපේ කැම්පස් ජීවිතේ ඒ පැතුම් ප්‍රාර්ථනා ඒ විදිහටම සපුර ගන්න අපිට පුළුවන් වුණා.. මම දන්නෙ නැ අපි වගේ පිස්සු නට නටා ගොන්පාට් කර කර හොදින් ඉගෙන ගත්තු ගෲප් එකක් තවත්නම් හිටියද කියලා මේ පේරාදෙණියෙ.. මොනව වුණත් තෘප්තිමත් කැම්පස් ජිවිතයක් එක්ක කෙස් ගහෙන් බේරුණු සම්මානයන් එක්ක අපිට කැම්පස් ජීවිතේ සුමිහිරි තිළිණයනුත් එකතු වුණා... ඒ අපේ පළවෙනි අවුරුද්දෙ ප්‍රාර්ථනා සඵල කරමින්.

ඒව මේව කොහොම වුණත් දැන් බෝතලයා අපිව දාල යනවා.. අවුරුදු කීපෙකට.. අන්තිම මොහොතෙ සමුදෙන්න වුණෙත් ක‍ඩිමුඩියෙ.. අපි ඉස්සර වගේ එකට හිටියනම් කොයි තරම් දුකක් වේවිද මේ අවස්ථාව... තෙමිච්ච සාරියකුයි තෙත බේරෙන කුඩේකුයි එක්ක මම හිස් අතින්මයි ආවෙ බෝතලයට සමු දෙන්න.. කොහොමත් කැම්පස් කාලෙ වගේම මේ ගෙවෙන කාලෙත්, රුපියල් සත වලින් අපෙන් උදව්වක් ගන්නව කියන එක හිනයකත් හිනයක් තමයි..

“එහෙ හචුයි එයාටෙලුයි වැඩලු. මම සිම් එකක් අරන් දාහක විතර රීලෝඩ් දාගන්න ඕන..”
“එච්චර මොකටද බං”
“ඇයි බං කෝල් කරන්න එපැයි එහෙටයි මෙහෙටයි..”
“හ්ම් එහෙනම් පරිස්සමින් පලයන්. කලබල වෙන්න එපා. බුදුසරණායි..”

වැඩි සමු‍ගැනිම් දුක්ඛාන්ත වාක්‍ය නැතිව මම වෙනද පුරුදු විදිහටම හැමදාම කියන වචන ටික කියල බෝලගයගෙන් වෙන් වුණේ මගේ එයාටෙල් සිම් එකත් එයා අතට දිලා. ඒ ඉන්දියාවෙ එයාටෙල් වැඩ කරනවයි කියල කියපු නිසා, ආය සිම් ගන්න එයාට කරදර වෙන්න ඔන නැනෙ. එයා පාර මාරු වෙලා නුවර පැත්තට ගියා. මම අනිත් පැත්තට යන්න පිටත් වුණා. එක පාරම මට මතක් වුණා බෝතලයව ආය කාලෙකට මුන නොගැහෙන බවත්, මම හරියට හැගිමෙන් එයාට සමු දුන්නෙ නැති බවත්.. පුරුද්දට කීව වචන ටික විතරක් කියපු බවත්.. මම එයාට සුබ පැතුව හරිම මදි වගේ දැනුණා. මම ආයෙම හැරිල බැලුවා.. එතකොට එයා ක්වින්ස් එක පැත්තටත් ගිහින් ඉවරයි..

ආයෙම මාළිගාව පහු කරන් එද්දිත් මම ප්‍රාර්ථනා කළා... ‘ස්වාමිනි එයාට හොදින්, කරදරයක් නැතිව වැඩ ටික කරගන්න ආශිර්වාද කරන්න’ ඒ වගේම කීරට කෝල් කරල කිවා අරූ බය වෙලා ඉන්නෙ ටිකක් කතා කරල බලන්න කියලා. 

................
................

“හෙලෝ බෝතලේ...” එයා ඉන්දියාවට ගිහින් ඇතියි කියල හිතුණු වෙලාවෙ මම කෝල් කළෘ මම එයාට දුන්නු මගේ නම්බ එකට.
“හෙලෝ.. ආ බං මම මේ දැන් ආවෙ වැඩ ටිකක් තියනවා බවර කරල මම ගන්නම්.. කමක් නැනෙ..”
“හරි හරි බං පරිස්සමින්.. සේරම ඉවර වෙලා මට මිස් කෝල් එකක් දියං”

“අම්මේ බෝතලේ අරෙහට ගිහිංලු...”
Comments
6 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

6 comments:

  1. කම්මැලි නැතිව කියෙව්වා..

    ReplyDelete
  2. ලස්සන කථාවක්

    ReplyDelete
  3. යාලුවාට අපිත් සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. හරි යාලු.. මම එයාට කියන්නම්...

      Delete

 
There was an error in this gadget