Sunday, July 29, 2012

අළුත් මනාළි


රාමු කරන ලද පින්තුරවල ඇති දූවිල්ලක්ද නැතිවුණත් මම පිහදනවා. යුතුකමක් වගකිමක් ලෙස හෝ පිළිවෙතක් ලෙස නිරන්තරයෙන් නිරතවිය යුතු, සැබැවින්ම පිළිවෙත් යැයි කිව හැකි වූ දේවල මට දැන් තියෙනවා. පැයක් පාසා දිනපතා සතිපතා මාස්පතා.... මින් පසු වසරක් පාසා දිග්ගැස්සෙන එදිනෙදා කාරණා. සීලිමේ පංකාව කැරකෙන දිහා මම ටික වෙලාවක් බලන් හිටියෙ අපේ ඩෙඩින් ෆොටෝ එකත් දූවිලි පිහන රෙදි කෑල්ලත් දෙකම එකට අල්ලගෙන. අපේ පැත්තෙනම් ‍ෆෑන් ඕන නෑ. ගිනිකාස්ටකේට පෑවුවත් ගේ ඇතුළ සීතලයි. අපේ ගෙදරට පහළින් පුංචි ඇළ පාරක් ගලන් ගිය නිසාත් කෙහෙල් වත්තක්ම එහා පැත්තෙන් තිබුණු නිසාත් ගස් වදුල නිසාත් අමුතුවෙන් හුලං ගහගන්නවත් සිකලක්වත් අපිට කවදාවත් ඕන කළේ නෑ.
මහරගම ආපු අළුත.. ඒ කියන්නෙ මගේය කියල තිබුණු ගෙදරින් මට සමු දුන්නු දාට පහුවදා ඉලම මට මුල ඉල ජීවත් වෙන්න ඉගෙන ගන්න වුණා. ෆෑන් එක දාගෙන නිදාගන්නව කියන්නෙ මගේ හුස්ම හිරවෙනව වගේ වැඩක්. මුල් දවස් වල හැමදාම උදේට නැගිටිද්දි නහය බර ගතියත් එක්ක කැරකිල්ල වගේ ගතියක් එනවා. ඉතිං දවසම ඉවරයි එහෙම වුණාම. අපේ දිහා ‍ඉද්දිනම් මම අදේ නැගිට්ටෙනව ඉර එළිය වැටෙනවත් එක්කම. අපේ අම්ම වැඩට ගිහින් පැය ගානක් යනකනුත් මම ඇඳේම හිටියට, එහෙම ඉන්නෙ මට හිතන්න ඕන නිසා. ඒ වෙලාවට මම ලස්සන ලස්සන මගේම සිතුවිලි වල රවුම් ගහනවා. අඩනින්දෙ. මම දවසෙ ආසම වෙලාව තමයි උදේ වරුවෙ ඒ පැය දෙක. මෙහෙ තියන දාඩියයි උදේට මාව බදාගෙනම ඉන්න කැරකිල්ලයි එකතුවුණාමනම් ඉතිං මොන සිතිවිලිද? විගින් කීවා ටික දවසක් යද්දි මම හුරුවෙයි කියලා. හුළං නොවැදෙන්න මම කොයිතරම් බිත්තිය අයිනට ගියත් ඒකෙන් වැඩක් වුණේ නෑ. කොහොමත් අළුත් ගෙදර මම ඉන්න ඔන විදිහ මතක් වෙද්දි ෆෑන් එකනම් නොසලකා හැරිය යුතු කුෂුද්‍ර අංශුවක් වගේයි මට පෙනුණෙ. සීලිමේ ෆෑන් එක මම ඕෆ් කළේ ගේ අතුගාල දාන්න ඕන නිසා. හිමින් හිමින් ඒකෙ කැරකෙන වේගෙ අඩු වෙනවත් එක්කම රත්තරන් පාට ගාපු මල් මෝස්තරත් පැහැදිලි වෙලා එක තැන නතර වුණේ ‘හා හොින් ලස්සන බලාගනින්’ කියන්නා වගේ.

අපි බින්න කලින් දවසෙ අපේ ගෙදර හරිම කලබලයක් තිබුණෙ. මාව කලින්ම ඇට යැවුවා ‘මනමාළි දැන් ගිහින් නිදාගන්න’ කියලා. යාලුවො ටික සැරින් සැරේ මට මැසේජ් කළා ගෙයි එහා පැත්තෙ ඉන්.. ‘ඒ දැන් උඹ හීනෙන් පෝරුව උඩ නේද ඉන්නෙ.. පඩිපෙල බහින්න එපා ඇ‍ඳ ලග්ගෙ පෙරලෙයි..’ ‘කොහොමද අල්ත් මනමාළි හෙට මේ වෙලාවට.. ආව් ආව්.. අපිටත් විස්තර කියහන්..’

විගිනුයි මමයි මුළු රෑම වගේ ඇහැරලා හිටියෙ. එයා හිටියෙ ෆෝන් එකේ එහා පැත්තෙ. මම මගේ ලොකු ටෙඩියවත් තුරුල් කරගෙන බ්ලැන්කට් එක ඇතුළෙ ගුළි වෙලා හිටියෙ ෆෝන් එකත් කත උඩ තියාගෙන. ටෙඩී, අපි හමුවුණු පළවෙනි දවසෙ විගින් මට අරන් දුන්නෙ. හැමදාම මම ටෙඩිය ගැන රෑට විගින්ට කීවට එදානම් මම ගොළු වුණෘ වගෙයි. ඒ හිතලම නෙවෙයි. හෙට, ඒ කියන්නෙ ඒ මොහොතේ ඉඳල තව පැය තුනක් තුනහමාරක් ගෙවුණට පස්සෙ උදා වෙන දවසෙ මම විගින්ගෙ මනමාළි. අද කියපු දවසට මාස කීපෙකට කලින්නම් විගින් ගාවට යන්න මට පුදුම හදිස්සියක් තිබුණෙ. ඒත් ඒ අද කියන දවස ළංවේගෙන ළං වේගෙන එද්දි මගේ ඇඟ ඇතුළෙ ස්ටාට් කරපු එන්ජිමක් තිබුණ වගෙයි මට දැණුනෙ. එයා අහන දේකට හ්ම්, ඔවු, නෑ, බෑ, අනේ එපා අනේ, අයියෝ විගින්.. කියනව ඇරුණම එදා රෑ බ්ලැන්කට් එක ඇතුළෙ ගුළි වුණු මගෙන් කිසි ප්‍රශ්නෙකට උත්තරයක් ගන්න විගින්ට බැරි වුණා. වෙන දවසකනම් එයා තරහ වෙලා දවස් කීපයක් කතා නොකර ඉන්න තිබුණත් විගින්ටත් එදා දැනෙන්න ඇති මගේ හිතේ තිබුණු බය. ‘අනේ චූටි අම්මි ඉක්මනින් එළිවෙන්න කියල ප්‍රාර්ථනා කරන්නකො’ කියල විගින්ගෙ කටහඬ ෆෝන් එකේ අනිත් පැත්තෙන් හීනියට කියද්දි, හෙටය කියන දවස ඉක්මනින් එළිවුණොත් මමය කියල කෙනෙක් තවත් නැති බව මගේ හිත මට කිවා. ඒත් මම ප්‍රාර්ථනා කළා අද තත්පර කටු ඇයි මේ තරම් හිමින් කැරකෙන්නෙ කියලා. ගෙදර කට්ටියගෙ කලබලෙත්, ෆෝන් එකෙන් එන විගින්ගෙ හඬත් බිත්ති ඔරලෝසුවේ චුක් චුක් රිද්මයත් අස්සෙන් මහ භයානක සිතිවිලි මගේ හිතට ආවා.

හෙටින් පස්සෙ මම මගේ ගෙදරට අයිති නෑ. මම ගෙදර එනවනම් එන්න ඕන විගින් එක්ක. වෙනද උදයක් දවාලක් රැයක් නැතිව කැමති කැමති විදිහට ගොඩවුණු මගේ ගෙදරට හෙටින් පස්සෙ මම එන්න ඕන අමුත්තෙක් වගේ. සමහරවිට මම ගියාම මගේ කාමරේ මල්ලිගෙ රජදහන වේවි. වෙනද මම තනියම මගේම ලෝකෙක රස්තියාදු ගහන්න කියල හිතාගෙන දොර වහගෙන, කාටවත් එන්න නොදී තියා ගත්තු මගේ කාමරේට යන්න මට මීට පස්සෙ මල්ලිගෙ අවසරේ ඕන වෙයි. ඒ නැතත්, අම්මලා ඒක අස් කරාවි මමයි විගිනුයි ගෙදර ආපු දවස්වලට අපිට දෙන්න. ම‍ගේ ගෙදර මගේම තනි අයිතියට පැවරුණු කාමරේ හෙටින් පස්සෙ මගේම කියන පිරිමියෙක්ව තියාගන්න මට නීතියෙන් සහතිකේකුත් එක්ක අම්මලාගෙ ආශිර්වාදයත් ලැබෙනවා. මම විගින් එක්ක ඒ කාමරේට යන්නෙ කොහොමද කියල හිතෙද්දිත් මට පොළව පලන් යන්න හිතෙනවා. ඒකනම් අම්මලා ඉන්න තැන කරන්නම බැරි දෙයක්. අම්මල ඉස්සරහ මිනිහෙක් එක්ක කාමරේට යන එක.... ඒ මිනිහ මගේම මිනිහ වුණත්... අම්මලා ඉස්සරහ..

‘දෙන්නකො සුදු අම්මි.. කෝ ඔයා.. හලෝ.. කෝ.. ඇයි සද්ද නැත්තෙ...?’ විගින් එහා පැත්තෙන් කතා කරනවා.. ‘ම්හ්... ආවම දෙන්නම්..’ 

විගින් එහා පැත්තෙන් හාදු වැස්සක්ම වස්සලයි නිදා ගන්න කියල ෆෝන් එක තිබ්බෙ. ‘හෙට ඉතුරු ටික..’ එයා කීවා. මම විගින් කියන වචනයක් වචනයක් ගානෙ අහුලගෙන මතක තියා ගත්තා. කෙල්ලෙක්ට කසාද බඳින්න කලින් දවසෙ රෑ එන්නෙ ජීවිතේ එකම එක වතාවයිනෙ. ඉතිං ඒකත් සම්පූර්ණ රැයක් නොවුණත්, ඒ පැය හතරේ පහේ වෙන හැම දෙයක්ම ඒ විදිහටම මතක තියා ගන්න එක හරිම අමාරු බව මම තේරුම් ගත්තෙ මගේ හිතේ කැළඹිල්ලත් සතුටත් බයත් තව එක එක ජාතියේ දේවලුත් කැළතුණු අච්චාරු හැළියකින් විගින්ගෙ වචන වෙන් කරල ගන්න මම ගත්ත උත්සහය නිසයි. විගින් මාව එයාගෙ පාට පාට ලෝකෙ මල් පෙති වලින් හදපු ඔන්චිල්ලාවක තියල නැලෙව්වා. හැම පැත්තෙම තිබුණෙ ලා තැඹිලි කහ පාටත් එක්ක ලාවට මිශ්‍ර වුණු රෝස පාටක්.

මම නැගිටලා ආයෙම ලයිට් එක දාල මගේ වෙඩින් සාරිය එළියට ගත්තා. සෙරෙප්පු දෙක දාල බැලුවා.. රතු සාරියනම් අම්මලා අරන් තියලයි තිබුණෙ වෙනමම. ෆෝන් එකේ විගින්ගෙ අම්ම තාත්ත නංගි.. එයයි මමයි ගිය තැන්.. එයාලගෙ ගෙදර එයා අරන් තිබුණු ෆොටෝස්... 

ගේ අතුගාල ඉවරවෙලා මම කල්පනා කළේ තව කරන්න ඕන මොනවද කියලයි. මගේ අළුත් ගෙදර, ඒ කියන්නෙ දැන් මගේ ගෙදර විගින්ගෙ අම්ම උයන පියන දේවල් මට හරිම අමුතුයි. ඇත්තම කිවොත් මහා බරපතලෙන් ඉවිල්ලක් නෑ. සමහර කෑමවල නම් තියා ඒව කන විදිහවත් මම දන්නෙත් නෑ. විගින් හිටියොත් මම ඒ වගේ වෙලාවට එයාට රහසෙන් ගිහින් කියනව. එයා එතකොට මටත් එක්ක බෙදාගෙන කාමරේට ගේනවා. එයා කන බොන විදිහ, ඒ ඒ කැම වල නම් කියල දුන්නත්, කොයි තරම් එයා ඉස්සරහදි මම විහිලුවෙනුයි සතුටිනුයි ඒව විඳ දරාගෙන හිටියත් අම්ම එක්ක එකට වැඩ කරද්දි මාව ඇතුළෙන් වෙව්ලනව වගේ ගතියක් දැනෙනවා. කොයි වෙලේ වරදීද කියලා මට බය හිතෙනවා. වැරදුණොත් අම්ම කියාවි කොහෙදෝ ඉන්න ගොන් ගෑණියක් ගෙනල්ලා කියලා. විගින්ලගෙ අම්ම එහෙම නොකිවත් මට නිතර එහෙම හිතෙනවා... මට දැන් වරදී... දැන් වරදී... අපි බඳින්න කලින්නම් මම බය වුණේ උදේම නැගිටලා ගෙවල් දොරවල් අස් පස් කරලා බත් උයලා එයාට කෑම බෙදල දීලා රෙදි හෝදලා... ඒ මේ හැම වැඩක්ම කරද්දි මගේ අතින් වෙන්න පුළුවන් අඩුපාඩු පුළුවන් තරම් අවම කරගන්නෙ කොහොමද කියන එකත්, අම්මට උදවු වෙලා ඉන්නෙ කොහොමද කියන එකත් ගැන. 

අනික විගින් කියනවා වගේ අම්මි කියන්න මගේ දිව නැවෙන් නැති එකත් මට හරිම අපහසුවක්. මම හුරු වුණේ අම්ම කියන්න. අම්ම අම්මි කරද්දි මට මහා නුහුරක් දැනෙනවා. මේ අම්මත් ඒ අම්මත් වචනෙ එක වුණත් විගින්ලගෙ අම්මට අම්ම කියද්දි අමුතු ගම්භීරත්වයකුත් නුහුරකුත් දැණුනට මම ඒ බව නොඅඟවා ඉන්න නිතරම උත්සහ කරනවා. මට ඔන මගේ අම්මට කරනවා වගේ මේ අම්මවත් පස්සෙන් ගිහින් බදාගන්න, චුට්ටක් හුරතල් වෙන්න, අම්ම කද්දි පැනල බත් කටක් කවාගන්න.. ඒත් ඒ සිතිවිලි ඇති වෙනවත් එක්ක ඒවා හිතේම ගුලි කරගන්න මට සිද්ද වුණේ ඒක මහ විකාරයක් වගේ දැණුනු නිසයි. 

අම්ම ‍ගෙදරට එන අයට මාව හඳුන්වලා දෙනවා, ‍’මේ අපේ අලුත් මනමාළිනෙ..’ සමහර අය අම්මට කලින් අහනවා.. ‘මේ අලුත් මනමාළි නේද?’ කවුරු කිවත් ඒ වචන හතරත් එක්ක මගේ ඔළුව උඩට මහා බරක් පාත් වෙනවා. අලුත් මනමාලි.. සිරියාව... සිනහව... සෞභාග්‍ය.. සන්තෝසය.. සෙනෙහස... සේරම “ස” යන්නෙන් පටන් ගන්න වචන ම‍ගේ ඔළුව වටේ කැරකෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම උදේ ඇතිවෙන ඔළුවෙ කැක්කුම.. ‘ස’ යන්නෙ දෝශයක්ද මංදා.. 

මෙහෙ ගෙදර පළවෙනි රැය පහන් කරල පඩි ටික බැහැගෙන සාලෙට එන අතරෙ මම තේරුම් ගත්ත මේ පොළව ඉස්සර මගේ වුණු ගෙදර පොළව තරම් මට නිස්කලන්කයක්‍ දෙන්නෙ නැති බව. ඒ වගේම මම දැන් මේ ඔපමට්ටම් කරපු පොළොවෙ සැලකිල්ලෙන් හැම අඩියක්ම තියන්න ඕන බව මට මතක්කරල දුන්නෙ මේ ගෙදර ඇතුළෙ තිබුණු ආගන්තුක ගතියයි. කවුරුත්ම නැති වෙලාවට දැන් මගේයි විගින්ගෙයි වුණු ඉස්සර විගින්ගෙ කාමරේ ‍බාගයක්ම වහගත්තු ලොතු ඇ‍ඳේ වැටිල මට උඩින් පේන දුඹුරු පාට කැටයම් කරපු සීලිම දිහා බලන් ඉන්න එකයි මම කරන ලොකුම රාජකාරිය. ලීයෙ හරි මැදින් පටන් ගන්න රේකාව හතරැස් හැඩයක් මවාගෙන එකම ඉරකින් කොටුවක් පුරා ඇ‍ඳෙනවා. මම ඒ ඉරි දිහා ඔහේ බලන් ඉන්නවා. මම දන්නෙ නැ මෙහෙ තියන සමහර දේවල් අල්ලන්නවත්. අරකෙන් මේක කරනවා මේකෙන් අරක කරනවා සමහර දේවලින් කිසි දෙයක් නොකෙරුණත් ඔහේ තියල තියනවා. විගින් සමහර වෙලාවට මට විහිළු කරනවා ගමේ ගෑණියෙක් වගේ මුළුගැන්වෙන්නෙ නැතිව දඟලල කරල ඉන්න කියලා. මම දඟලල කරල හිටියා. ඒ මීට දවස් ගානකට කලින්. හති වැටෙනකන් දිවුවා සෙල්ලම් කළා සෙල්ලමට රණුඩු වුණා... ඒත් අපේ ගෙදර දැඟලිල්ලයි මෙහෙ දැඟලිල්ලයි අහසට ලොළව වගේ වෙනස් බව මට අමුතුවෙන් හිතන්න වුණේ නෑ.

මෙහෙට එන හැමෝම ආව වෙලාවටත්, යන වෙලාවටත් හැමෝටම කිස් කරනවා. මම කෙනෙක්ව මුනගැහෙන්න ගොඩක් අකමැතිම මේ නිසයි. මටත් එහෙම කරන්න වෙනවා. මම හිතන් හිටියෙ මම මේ තරමින් ළං වෙන්න ඔන විගින්ට විතරයි කියලයි. ඒත් කවුරුත් කරන මේ සිරිත කොයි තරම් මෙහෙ සාමාන්‍යකරණය වෙලා තිබුණත් විගින්ට කෙනෙක් හාදු දෙනවා දැක්කොත් මට හිතෙන්නෙ, මගෙයි විගින්ගෙයි විතරක්ම වුණු ලෝකෙන් බාගයක් ඒ කෙනා විසින් උදුරගත්ත වගේ හැඟීමක්. ඒ ගැන තරහක් ඇති නොවුණත් ඒ වෙලාවට මහා කොඩෙත්තු ගතියක් ඇඟට දැනෙන්නෙ. මම කොහේ ගියත් අම්මට වැඳල යන එක ඉබේටම කෙරෙන දෙයක් වුණා. මුලදි අම්මට ඒක නුහුරක් වුණත් ඒ වෙලාවට එයා මාව තදින් බදාගෙන සිපගත්තෙ, අනේ පැටියො වඳින්න ඔනනෑ කියලයි. ඒත් මම තේරුම් ගත්ත අම්ම මම වඳිනවට ගොඩක් කැමති බව. ඒ එයා මාව ඒ වෙලාවට තදින් සිප ගත්ත නිසා. මමත් ප්‍රාර්ථනා කළා අම්මව ඒ විදිහටම තුරුල් කරගන්න මගේ අත් දෙකට ඉක්මනින් ශක්තිය එන්නයි කියලා.

විගින් ගියාට පස්සෙ මම ගේට්ටුව අගුලු දාලා යතුර ගෙනත් යතුරු එල්ලන පුවරුවේ එල්ලුවා. ගෙදර කට්ටිය හිටියත් නැතත් මෙහෙ නිතරම ගේට්ටුවත් දොරත් අගුළු දාලයි තිබුණෙ. ‘චූටි අම්මි කොහේවත් ගමනක් තියනවද අද? මම තුවට විතර එන්නම්.. පරිස්සමින් ඉන්න. ටේක්කෙයා..’ කියන විගින් යනකන් මම ගේට්ටුවේ එල්ලිලා හිටියා. විගින් ආය එනකන් වුණත් මට මෙහෙම ගේට්ටුවේ එල්ලිලා මග බලන් ඉන්න පුළුවන් වුණත් මම දැන් ගේ ඇතුළට යන්න ඔන කියල මගේ හිත කිවා.. ඒ කියුම නිසා වෙන්න ඇති මගේ කකුල් ගේ දිහාවට මෙහෙයවුණේ. විගින්ගෙ චූටි අම්මි හෝ සුදු අම්මි මේ පොළවට අහසින් කඩා පාත් වුණා වගේ කියල විගින් තේරුම් ගත්තෙ නැ. එයා කිවෙ මම හරිම කුලෑටි, ඕනෑවට වඩා කලබල වෙන කෙනෙක් කියලයි. හැරෙන හැරෙන අතට තව තවත් පරිස්සම් වෙන්න ඕන මේ ගෙදරට චූටි ‍අම්මි කොහෙත්ම නොගැලපෙන බව මම දැනන් හිටියා. මොනව උනත් එක සහනයක් තිබුණා. මගේ වුණු ඉස්සර ගෙදරදිත්, මගේම වුණු දැන් ගෙදරදිත් මම චූටි අම්මි වුණු එක.

Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. තිළිනිගෙ අදහස්. සිතුවිල්, මේ සියල්ලම දැවැන්ත සමාජ ප්‍රවාහයක් කණපිට හරවන රැඩිකල් බවක් පෙන්වනවා.

    තමන් තමන් තුළම මමත්ව සොයන අරගලය නියැලෙන ලේඛිකාවක් වගේ මේවා කියවනකොට දැනෙනවා.

    මේ අදහසත් ජී.බී.සේනානායක ලියපු "අලුතගෙනා මනමාලි' කවිපන්තියේ තිබුන බව මතකෙට ආවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු....

      පුංචි ආරාඹනාවක් කරන්නම්...
      මේ මගේ අනිත් බ්ලොග් අඩවිය..
      මේ පැත්තටත් ගොඩවෙලා යන්න කියල ආරාඹනා කරනවා
      http://sanskaravinivida.wordpress.com/

      Delete

 
There was an error in this gadget