Saturday, July 14, 2012

අග්නි



වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... පරිසර වර්ණනය නම් කරන්න අමතක වුණා. සාමාන්‍යයෙන් කතාවක් පටන් ගද්දි ගඟක් ගැන, කුරුල්ලො ගැන, කුඹුරක් ගැන, ඉර හරි හඳ හරි ගැන පොඩිපහේ වැණුමක් කරන එක සිරිතනෙ. මම හිතුව වෙනස් විදිහකට පටන් ගන්න. වෙනද වගේම සමන්මලි ආවා ලතාවට ලතාවට ලතාවට... ඇයි ඉතිං පරිසර වර්ණනයක්. මේ වගේ සුන්දර ගැහැණියක් උදේ පාන්දරින් කරන්න තියෙන දාහක් වැඩ කන්දරාවක් දඩිබිඩියෙ ඉවර කරල ඔෆිස් එකේ ඇතුල් කාමරේ පඩි ටික නැගගද්දි එයාගෙ හිතේ තියෙන සැනසිම... හැමදාම වගේ අදත් සමන්මලී එද්දි මම හිටියෙ පොතක් කියව කියව. ඒත් එයා මගේ ළඟට එන බව මට දැනෙන්නෙ ඉවෙන් වගේ. මම සමහරදාට සමන්මලී එන දිහා හොරෙන් බලාගෙන ඉන්නව ඇති කියල මට හිතුණෙ එයාගෙ ලස්සන ගැන එයා එක්ක මම කියද්දියි. පුරුදු විදිහටම එයා මගේ ගාවට ඇවිත් හිටගත්තට පස්සෙ මම පොතෙන් මූන උස්සලා එයා දිහා බැලුවෙ කියවමින් හිටි පිටුවටවමතේ දබරඟිල්ල තද කරගන්න ගමන්.

“හායි සුදා.. ගුඩ් මෝනිං. අද මොකෝ කලින්ම...”

“කලින්ද? කීයද වෙලාව.. නැගිටිද්දි හය උනා අනේ. උයල බබාව වොශ්කරල කවල ටක්ටක් ගාල ලෑස්ති වෙලා දුවගෙන ආවෙ.”

අද සමන්මලි වෙනදට වඩා විනාඩි පහක් විතර කලින්. වෙනද එයා එද්දි ඔෆ්ස් එකට අමුතු එළියක් වැටෙනවා. පෙතට නැමිල ඉන්න මගේ ඇස් වලට ඈත කොනකින් ඒ එළිය අහුවෙන නිසා වෙන්න ඇති මම සමන්මලී ආපු බව දැනෙන්නෙ. ඉද හිට දවසක මම ඔළුව උස්සලා බැලුවොත් මට පේනවා ලස්සන හිනාවක් එක්ක ලතාවට මම ඉන්න තැනට එන එයාගෙ ගමන. සමහර විට ඒ සමන්මලිගෙ හමේ පාටටම යන අපූරු තැඹිලි පාටකට මිශ්‍ර වුණු ඔසරි නිසා වෙන්න ඇති අමුතු එළිය මගේ ඇස් විනිවිද යවන්නෙ. එයා අඳින්නෙම ඒ පාට. ඒ සමහරවිට නෙවෙයි, ඇත්තටම එයාට තියෙන්නෙ ඒ පාටට යන සාරි හතරක් නිසා වෙන්න ඇති. 

අපි මුලින්ම මුනගැහුණු දවසෙ මම දැනන් හිටියෙ නැ එයා අම්ම කෙනෙක් බව එයා කියනකම්ම. අම්ම කෙනෙකුට වඩා ගුරුවරියකගෙ රූප විලාසය ඔසරියෙන් එයාට දිල තිබුණා. ‘ඔයා හරි හැඩයි. ටීචින් තමයි ඔයාට ගැලපෙන්නෙ.’ එදා මම සමන්මලිට කීවම එයා කීවෙ එයා ආසත් ඒකට බව. ඒ කවුරුත් දෙන පොදු උත්තරයක් එක්ක... ‘නිදහස් රස්සාව’ 

“බබා එක්ක බෑ අනේ. ටීචින් හම්බවුණානම් නිදහස්. උදේ වරුව වැඩට ගිහින් හවස ගෙදර එන්න පුළුවන්”

“අනේ නිකං ඉඳපන් අක්කෙ, අද කාලෙ ටීචින් කරනව කියන්නෙ කොළ පුරවන්න යන එක විතරයි. එඩියුකේෂන් ඔෆිස් එකෙන් එන කොලිෆිකේෂන්වත් නැති උන් අපේ අම්මලාට පාට් දානව කියල අම්ම කියනවා. අනික දැන් භමයි ඉස්කොලෙ යන එකක්යැ, ටියුෂන් ටිකක් කරානම් ගොඩේ ගොඩ. මම දැය අටට හාරදාහක් හොයනවා. ඉස්සරහට සල්ලි ඔන මේ යන විදිහට”

“ඇත්ත තමයි අනේ, ඒ වුණත් බබාගෙ වැඩයි මහත්තයාගෙ වැඩයි, ගෙදර වැඩයි, අම්මලාගෙ වැඩයි කියක් කියලද?”

“හ්ම්.. අනේ අප්පේ මමනම් බඳින්නෙ නැ.. මිනිහෙක් බැඳගත්තට හපන් යකා බැඳගත්ත වගේ වැඩ කරන්න ගියාම”

“අනේ ඔවු, මමත් මේ දන්න දන්න අයට කියන්නෙ කසාදනම් ඕනම නැ කියලයි”

සමන්මලී මට හිතන්න දෙයක් දුන්නා. එයා බැඳලා. බබාට අවුරුද්දයි. ඉන්නෙ නැන්දම්මලත් එක්ක. සමන්මලි වැඩට එද්දි බබා බලන්නෙ නැන්දම්මා. සමන්මලිට ජීවිතේ එපා වෙලා. ඒත් නිතරම හිනාවෙන්.. ඒ මුන දකිද්දි මම හරිම පරිපුර්ණත්වයකට පත් වෙනවා වගේ දැනෙනවා. උදේම ඔෆිස් එකේ පටි ටික නැගෙගෙන කැඹිලි පාටින් බැබලි බැබලි එන එයා දිහා මම කෙලින්ම බලන්නෙ එයා මගේ ළඟටම ඇවිත් උරහිසට අත තිබ්බට පස්සෙ වුණාට, පොතට හරවගත්ත මගේ ඇස් හැමදාම දකිනවා හීන් කරගත්තු ඇස් වලින් හිනා වෙවී එන සමන්මලීව. ඔෆ්ස් එකේ තිහක් විතර කෙල්ලොයි, ඇන්ටිලාගෙ වයසට කිට්ටු කරපු අක්කලායි අපිත් එක්ක හිටියට ඒ එක්කෙනෙක්ගෙන්වත් මම දැකල නෑ මේ වගේ පිරුණු ගතියක්. ඒක ඇත්තටම ඕනම මනුස්සයෙක්ගෙ හිත එයා දැක්කම පිරිල ඉතිරිලා.. කිසිම දුකක් කනගාටුවක් කනස්සලයක් නැතිව අමුතුම හැඟීමක් ගෙන එන ජාතියේ මූනක්.. සහ ඇඟක්. 

“පුටුවක් අරන් එන්න”

පුරුදු විදිහටම මගේ වම් අත පැත්තෙන් එයා ඉඳන්නෙ බෙල්ල දික් කරල පැමිණීමේ ලේඛනය කොතනද කියල හොයන ගමන්. 

“ලස්සන සාරියක්.. අම්මගෙද?”මේ ඊළඟට එයා මගෙන් අහන ප්‍රශ්නෙ.

“මේකනම් අම්මගෙ තමයි. අම්ම රතු පාට අඳින්නෙ නැති නිසා මට දුන්නා.” මගෙන් වෙනදට වඩා වෙනස් උත්තරයක්..

සාරි ගැන මම ආයෙමත් හිතන්න වුණා. මේ දවස්වල මම සාරි ගැන හිතනව වැඩියි. මට ඕන, එතන ඉන්න කාටත් වඩා ලස්සනට අඳින්න.. කැපීපෙනෙන විදිහට.. ‘උඹ හරියට මේ රස්සාවට යන්නෙ ලක්සෙක පඩියක් ලැබෙනව වගේ බබලවගෙන..’ මේ අපේ අම්ම කියන කතාව. ඒත් පිට පිටම මම දැක්ක සමන්මලී එකම සාරිය ඇදන් එනවා. එකම සාරිය නිතර නිතර දකිද්දි මට තරහක් ඇති වුණේ සමන්මලිගෙ මහත්තයා එක්ක. විවාහ නොවුණු අපේ පෙළේ කෙල්ලන්ගෙ පාරිභාශික පද මාලාවෙන් කීවොත් සමන්මලිගෙ පොරත් එක්ක. සතියම එකම ඇන්දත් එයාගෙ ලස්සනේ අඩුවක් නැති බවනම් මම හොඳටම දන්නවා. මොකද සමන්මලීගෙන් මම එක එක වෙලාවට ‍දකින්නෙ වෙනස් වෙනස් ‍විදිහේ ලස්සනවල්. හරියට හත්පණ පොතේ කිරිහාමිගෙ අක්ක ගැන විස්කර කරල තියනවා ව‍ගේ..

“ඔයා එක එක වෙලාවට එක එක විදිහයි හලෝ..”

“ඒ කීවෙ”

“තත්පරෙන් තත්පරේ ඔයා වෙනස් වෙනවා. එක මොහොතක් එක වගේ නෑ”

මගේ දිහා බලපු එයාගෙ ලස්සන හිනාවෙ තිබුණෙ සතුටකට වඩා කුතුහලයක්. මම දන්නව මම කියන දේවල් හැමෝටම නොතේරෙන බව. සමහර වෙලාවට මම කියන දේවල් අහන කෙනා තේරුම් ගන්නෙ වැරදි විදිහට. ඉතිං මට පරිස්සම් වෙන්න වුණා මේ කතාව සමන්මලීට පැහැදිලි කරල දෙද්දි. මොකද කලබල වුණාම මගේ කටින් පිට වෙන්නෙ මම කියන්න හිතාගෙන හිටපු දේ නෙවෙයි. ඒ නිසා කියන්න ගිය අදහස චොර කරගන්නෙ නැතිව උත්තර දෙන්න මට ටිකක් හිතන්න වුණා.

“මේකයි බං අක්කෙ, මම දැන් අත හෝදන්න ටැප් එක ගාවට යද්දි ඔයාගෙ මුණෙ මම දැක්කෙ එක විදිහක ලස්සනක්. අත හෝදන් ඇවිත් මේ පුටුවෙ ඉඳගන්න යද්දි දැක්කෙ තව විදිහක ලස්සනක්. කැතක් නෑ.. ලස්සනයි.. ඒකයි මම කීවෙ..”

හීනි කරගත්තු හෝ ඉබේටම හීනි වුණ ඇස් දෙකෙන් එයා ලස්සනට හිනා වෙද්දි ඒ දත්වලිනුත් මූණට අපූරු එළියක් ආවා. සමන්මලීගෙ වම් ඇහේ පැත්තකින් වලගැහිල තිබුණු පුංචි කැළලට තමයි මම ගොඩක් ආස කළේ. කෙල්ලෙක් විදිහට තවත් කෙල්ලෙක්ගෙ සුන්දරත්වය දශමෙන් දශමෙ මේ විදිහට විස්තර කරද්දි සමහරවිට කියවන ඔයාලට නුහුරක් දකින්නත් පුළුවන්. ඒත් ඉතිං මේ මගේ ඇහැට පෙනෙන සුන්දරත්වයනම් මම කොහොමද ඒක නොකියා හරින්නෙ.

සමන්මලි රසට බත් උයන් ආවා. පුංවි එකෙකුත් එක්ක මහ යුද්ධයක් කර කර කොහොම මේ විදිහට සර්ව සම්පූර්ණ වෙනවද කියන එක මටනම් මහා ගැටළුවක්. ඒ මේ දේවල් ගැන යන්තමින් හරි හිතෙන නිසයි මම විවාහය කියන මාරකය දවසින් දවස කල් අරින්නෙ.

පුංචි එකිගෙ ෆොටෝස් පෙන්වපු දවසෙ මම කිවෙ ‘කෙල්ල ගැන මම හිතේ මවාගෙන හිටපු රූපෙ ඒ විදහටම කියනවයි කියලා.’ සමන්මලී එතකොට මගේ දිහා බැලුවෙ පුදුම වෙලා ව‍ගේ.. ‘ඔයා කොහොමද හිතේ මවා ගත්තෙ’ සමන්මලීගෙ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මම ඒ වෙලේ දැනන් හිටියෙ නෑ.. ඇත්තටම මමත් පුදුම වුණා මම කොහොමද හිතේ මවා ගත්තෙ කවදාවත් නොදැකපු පුංචි බබෙක්ව කියලා.. ඒත් මම සරලව උත්තර දුන්නා.. ‘අනේ දන්නෙ නැ හලෝ, මගේ හිතේ ඇදුනෙ මේ වගේ බබෙක්, මොනව උනත් පොඩි උන් සේරම පුංචි කාලෙ එකවගේනෙ’ ඒත් දැන් හිතෙනව මම සමන්මලිව හිතේ තියන් එයාගෙ බබා ගැන හිතන්න ඇති කියලා. සමහරවිට එහෙම වෙන්නත් ඇති. මම හේතුව තවමත් හරියටම දන්නෙ නැ.

සමන්මලි කියන විදිහට එයාගෙ මහත්තයාගෙ, ඒ කියන්නෙ එයාගෙ අයියගෙ, නැත්නම් පොරගෙ ෆොටෝස් දෙකක් මම දැක්කා. අහම්බෙන් හෝ කැමැත්තෙන් මම ඒව වැඩිය බැලුවෙ නැ. දැක්ක විතරයි. මම හිතන් හිටපු විදිහට වඩා මනුස්සයා ගොඩක් කෙට්ටුයි. සමන්මලිගෙ ලස්සනේ අහලකින් වත් තියන්න බැහැ. මේ යකාද සමන්මලිට කියන්නෙ, ‘තමුසෙ ගත්තු වෙලේ මට ගෑණු දාහක් ගන්න තිබුණ’යි කියලා? මේ මනුස්සයාට මේ කෙල්ලගෙ ලස්සන පේන්නෙ නැත්තෙ ඇයි කියල මම නිතර කල්පනා කළා. හැරෙන හැරෙන පැත්තට සමන්මලිගෙ මම දකින ලස්සන.

“හිතේ ඇති කෙල්ලො මෙයාට වහ වැටෙයි කියල. දෙකක් දු‍න්නොත් විසිවෙයි අනිත් කන්ද පැත්තට..” සමන්මලි අයිය ගැන කීවෙ එහෙමයි.
තමන්ව තමන්ගෙ මනුස්සයා හෑල්ලුවට ලක් කරද්දි ගැහැණියකට සිනහවෙන් ඒ දේ විඳගෙන ඉන්න පුළුවන්ද කියලා මම නිතර කල්පනා කළා. මම සමන්මලීනම්, මම ලස්සන නැති බව මම දන්නව වුණත්, මගේ මිනිහ මට අරම කතාවක් කිවොත් මම එයාට ගහන තරම් මට්ටමේ ආවේගයක් ගන්න කෙල්ලෙක් බව මම දැනන් හිටියා. දැනට මම කෙල්ලෙක් වුණත්, ඒ වෙද්දි මම ගෑණියක් වුණත් තත්වය එකයි. ඒත් නිතරම සමන්මලිමට මතක් කළා අම්ම කෙනෙක් කියන්නෙ කවුද කියන එක. ‘මේ දරුව නැත්නම් මෙලහකටත් මම ගිහිල්ලා ඕන නැටුමක් නටාගන්නයි කියලා’ සමන්මලි දවසට අඩුම තරමේ තුන් පාරක්වත් මේ වාක්‍ය මේ විදිහටම කියනවාමයි. ‘මමනම් යනවා එද්දි ගෙනාපු එකෙක්යැ, තියාගනින් කියලා..’ මම සමන්මලිට මෙහෙම උත්තර දුන්නත් ලංකාවෙ සාම්ප්‍රදායික ගැහැණියගේ හෙවනැල්ල මගේ වටේ කැරකෙන බව එයත් මමත් දැනන් හිටියා.

ඔෆිස් එකේ අත්සන් කරන්න එන කට්ටිය උදේ දහය වෙද්දි පිට වෙලා යනවා. එකකොටයි සමන්මලීයි මමයි වැඩ පටන් ගන්නෙ. මේ වෙලාව එනකන් කියවන්න මම පොතක් ගෙනියනවා. ඒත් මට කියවන්න ලැබෙන්නෙ සමන්මලි එනකන් විතරයි. එයා ආවම කෙහොමත් මාව කතාවට අල්ලගන්නවා. මොන කියවිල්ලක්ද? ‍

“මේක හරියන්නෙ නැ. මේ මම හෙට ඉදන් ඔයාටත් පොතක් ගේනව හරිද? නැත්නම් මට මේක කියවන්න වෙන්නෙ නැ.”

“හරි හැබැයි පුංචි කතාවක් ගේන්න හො‍ඳේ..” සමන්මලී එකඟත්වයට ආවා.

පහුවදා මම ‍ජපන් පරිවර්තනයක් එයාට ගෙනිහින් දුන්නා.මම කියව කියව ඉද්දි හොරෙන් එයා දිහා බැලුවා. පොත අතේ අරන් එයා අහල පහළ අයත් එක්ක කතාව..

“අනේ හලෝ මම කොහොමද කියන්නකො පොත් කියවන්න වෙලාවක් හොයා ගන්නෙ?” මගේ බැල්ම ඉවකින් දැණුනා වගෙයි එයා කීවෙ.

“ඊයෙත් ගෙදර යද්දි බබා හැම තැනම කෑම හලලා. කිලුටුවට හියියෙ. මහ ගෑණි කියනව මෙයා දැන් හරි නරකයි කියලා. ඉතිං පොඩි උන් තිබ්බ තැන තිබ්බ විදිහට ඉන්නෙ නැනෙ. එයා ඒක තේරුම් ගන්න එපැයි. ඔන්න දවස් දෙකක රෙදි ගොඩක් තිබිල හෝදලා දැම්මා. මහන්සියට නින්ද ගියා. නැගිට්ටෙද්දි රෑ දහයයි. ඒ පාර ඔන්න ඇඟ සෝදගෙන නිදාගත්ත. කීයක්නම් වැඩ මමම කරන්නද? අද අරයලැයි අම්මය කොන්ද නවාගන්න බැරිම හරි කලබලයක් වුණා. මම ඉතිං එයාවත් අමාරුවෙන් ගෙනිහින් ඇ‍ඳේ තියල ආවා. දැන් එයා ඇ‍ඳේ. බබා මහත්තයාලගෙ තාත්ත ගාව.”

සමන්මලීට කියන්න උත්තරයක් මට හිතාගන්න බැරි වුණා. අපි කෙල්ලො ටික එකතු වුණාම කවදාවත් මේ වගේ මාතෘකා ගැන කතා කරල තියා හිතලවත් තිබුණෙ නැ. මම බය වුණා. ඒ නිසාමද මංද මම කීවෙ “මමනම් කවදාවත් බඳින්නෙ නෑ” කියලා. අපේ මේසෙ අපිට ඉස්සරහින් හිටපු අයියලා දෙන්නයි අක්කති එක පාරටම මා දිහා බලද්දියි මට තේරුණේ ම‍ගේ කටහඬ ඔනෑවට වඩා සද්දෙන් පිට වුණු බව. මෙනව වුණත් සමන්මලිට විසඳුමක් දෙන්න පුළුවන් මට්ටමක මම හිටියෙ නැ.

අපි වැඩ පටන්ගත්තට පස්සෙ සමන්මලි පිට පිටම කියන අංක වරද්දගත්තා. අපිට තිබුණෙ එක පොතකින් බලල ඒ ගණන් තව පොතකට දාන්න. වෙනද හරි සිහියෙන් හිටියත් වැඩ මංඤඤ් කරගන්නෙ මම. ඒත් ‍මේ වෙලේ මට බොහොම අමාරුවෙන් හොද අවධානයෙන් ඉන්න වුණා. වරදක් වුණොත් එක වැඩේ දවස් ගානක් දිග්ගැස්සෙනවා.

“මොකද හලෝ කවදාවත් නැතිව අද වෙලා තියෙන්නෙ?” බැරිම තැන මම ඇහුවා.

‘අනේ හලෝ වෙච්ච දේ කියන්නත් ලැජ්ජයි.’ කියල එයා හිනා වෙන්න ගත්තෙ ලේන්සුව විදිහට එයා පාචිච්චි කරපු බබාගෙ නැප්කින් එක ඇස් දෙකට තද කරගෙනයි. මොනව හෝ දෙයක් වෙලා තියව බවට හැඟීමක් මට ඇති වුණත් ඒක පස්සෙ පන්නන්ක මට ඔන වුණේ නෑ. විශේශයෙන්ම සමන්මලී අර ලස්සන හිනාව දාපු නිසා. මම හිතුවා ඒක ගණන් ගත යුත්තක් නෙවෙයි කියලා. ඒත් පිට පිටම වැරද්ද වරද්ද එයා ගණන් කිව නිසා මගේ වැඩ දෙක්ක වුණා. 

“අයියෝ මට එපා වෙනව අක්කෙ, මොන මගුලක්ද?” ආයෙමත් එයා හිනා වෙලා එක පාරටම මා එක්ක විස්තරයක් කියන්න පටන් ගත්තා. 

“අනේ ඔයාට මේකෙන් කතාවක් ලියන්නත් පුළුවන් වේවි. මේකයි වුණේ..” 

හිනා වෙවී ඉන්න අතරෙ එයා අඬන්න පටන් ගත්තා. හරියටම කරන්නෙ අඬන එකද, හිනාවෙන එකද කියල මට තේරුම් ගන්න බැරි වුණා. කියන්න දෙයකුත් මට හිතාගන්න බැරි වුණා. තැඹිලි පාට ඔසරියෙන් එළිය වුණු මූනෙ එකවරට හිනාවෙන සහ අඬන වැඩ දෙකම කරන ඇස් දෙක අමුතු රතු පාටකට හැරිලා. හරි ලස්සනයි. ඒ ලස්සන මට ඒ වෙලාවෙ පෙනුනෙ සමහරවිට එයා හිනා වුණු නිසාත් වෙන්න ඇති. නැත්නම් මාව රිදෙන්න තිබුණා එයා තනිකරම කළේ අඬපු එක විතරක්නම්. සමන්මලි කතාව පටන් ගත්තා...

“මාස තුනෙක් තුනට ඉන්ජෙක්ෂන් විදිනවනෙ හලෝ...”

“මොකටද?”

“ආ... ඇයි ඔයා දන්නෙ නැද්ද?...” (ආයෙමත් හිනාවක්.. ඒ හිනාවෙ ලැජ්ජාවකුත් තිබුණු බව දැක්ක නිසාත් මටත් තේරීගෙන තේරීගෙන වගේ ආව දැනුණු නිසාත් මටත් හිනා ගියා) “අර බබාල හම්බෙන්නැතිවෙන්න බෙහෙත් විදිනවනෙ. ඒකයි මහත් වෙන්නෙත්..”

“ඉතිං ටැබ්ලට් එකක් ගන්න තියෙනවා නේද?” මම කතාව මැද්දට පැන්නෙ හැමදාම නැති හැමතැනම නැති කතා තේමාවක් ඉබේම මතු වෙලා ආපු නිසයි. ඒත් මට ඉඟියක් දැණුනා සමන්මලීගෙ කතාව හැරෙන පැත්ත ගැන. ඒ නිසා හිතේ මම අකුළලා දාල තිබුණු කුතුහලය පිත ඇතුළෙන් ලියළාගෙන එන බව මට දැණුනා.

“නැ හලෝ, ඒක බොනවනම් හැමදාම බොන්න ඔනි. අනික එක දවසක් බීවෙ නැත්නම් පහුවදාට කලින් දවසෙ එකත් බොන්න ඔන. ඒක කරදර වැඩක්. මේක විදින්න තියෙන්නෙ මාස තුනෙන් තුනට. මට හලෝ ආය විදගන්න තිබුණෙ ගිය සතියෙ හත්වෙනිදා.”

සමන්මලී කදුළුත් හිනාවත් අතරෙ මේක කියාගෙන යද්දි මට තේරුණා ගැටළුව මොන වගේ එකක් වෙන්න ඇතිද කියලා. ‘ඉතිං යකෝ හැමදාම ඔක කරන්න ඕනිද?’ මට එයාගෙන් එහෙම අහන්න හිතුණා. ඒක් ඒක අහන්න මගේ දිවේ පණ තිබුණෙ නෑ. අනික අපි අපි කෙල්ලො කෙල්ලො ඕව කතා කළාට අපි අතරෙම හිටිය, බැඳපු, අපේ සමිපම යාලුවාගෙන් පවා මම කවදාවත් ලිංගික ජීවිතේ ගැන අහල තිබුණෙ නෑ එයා අපේ දැණුවත් විමට කියපු එකක් දෙකක් දේවල් ප්‍රශ්න නොනගා අහන් හිටියා ඇරුණු කොට. වල් කතාය කියල හඳුන්වන කතා කා ඉස්සරහ වුණත් කියන්න මට පුළුවන්කමක් තිබුණට මම හැම වෙලාවෙම පුරුදු වුණේ ඒවා ශාස්ත්‍රීය මට්ටමට හරවලා කියන්න. ඒත් සමන්මලී විස්කර කරන්න යන විදිහේ දෙයක් ගැන කෙළින් මම කවදාවත් කතා නොකළෙ සමහරවිට මම මුලදි කියපු මගේ රැඩිකල් අදහස් යටපත්කරගෙන නැගුණු සස්කෘතික ගැතිකත්වය නිසා වෙන්න ඇති. ඒත් මම ටිකක් හරි උත්සහ කළානම් මේ වෙච්ච දේවල් නොවි තියෙන්නත් ඉව තිබුණාදෝ කියල මට දැන් හිතෙනවා.

“පෙරේද රෑ මම නිදාගන්න ගියේ හරිම මහන්සියෙන්. ඇයි අනේ ගෙදර ගියාට පස්සෙ කියක් වැඩ රාජකාරිද? ඒ අස්සෙ අරය මම ඇදට වැටුණු හැටියෙ මට කතා කළා. (බබාගෙ නැපිය ඇස් දෙකට හිර කරන් හිනහ වෙවී අඬන සමන්මලි කියාගෙන ගියා.) එයා ඉතිං මාව එයාගෙ පැත්තට හරවගන්න හැදුවා. මම ඉතිං ගස්සල දාල අනේ නිතන් ඉන්නවකෝ ඕයි වද දෙන්නෙ නැතිව කියල අනිත් පැත්ත හැරිල නිදා ගත්තා... මොන වදයක්ද අනේ මම කොච්චර මහන්සි වෙනවද දවසට. මේ මිනිහත් මට වද දෙනවා.”

“ඔන්න ඉතිං ඊයෙ උදේ ඉඳල මෙයා කතා කරන්නෙ නැ.. අනේ මේ යසට හිටිය මනුස්සයා හො‍ඳේ.. සාරියේ කට්ට ගහන්න කියද්දි අම්මට කියල ගහගන්න එකයි ඇත්තෙ කියල ඇඳෙන් නැගිටලා යන්න ගියා..”

කදුළු අතරින් මේ විදිහට හිනාවෙන ගෑණියක් මම දැක්කමයි. සමන්මලි කොයි තරම් ලස්සනද කියල මම ආයෙ ආයෙමත් හිතුවා. කියන කතා වලට හිනහවෙන්නද, දුකින් ඉන්නද කියල මට තේරුණේ නැ. මම ඔහේ බලන් හිටිය සමන්මලි කියනකන්.. බබාගෙ නැප්කින් එක ඇස් දෙකට තද කරන්.. දැන් සමන්මලිගෙ නහයත් රතු වෙලා ජම්බුගෙඩියක් වගේ. 

“ඊයේ රෑත් මෙයා මම වැඩ ටික ඉවර වෙලා ඇඳ එනකන් වෙන්න ඇති ඉන්න ඇත්තෙ හොඳේ.. අනේ හලෝ මට වැටුණු ගමන් නින්ද ගියා. පුදුම මහන්සියක් තිබ්බෙ ගේත් හේදුවා එදා.. මෙයා මාව හරව ගද්දි මම බාගෙට නිදි ‍හලෝ.. (ආයෙමත් කඳුලුයි හිනාවයි..) මම නිදි මරගාතෙම බැන්න පාඩුවෙ යනවකො ඕයි වද කොදී කියලා..”

“මෙන්න මෙයා එක පාරම බනින්න පටන් ගත්තා ‘තොට දහපදුරා වැඩ ඔක්කොම කරල එන්න පුළුවන්, මෙතන ඇඳට ආවට පස්සෙ තමයි මතේ ගහන්නෙ’ කියලා. ‘තෝ ආය යන්නෙ නැ වැඩට. ගියොත් බලාගන්නම්, තොට මා ගැනයි ළමය ගැනයි බලනවට වඩා දැන් සල්ලියි ලොකු වෙලා තියෙන්නෙ’ කියල කෑ ගහල මගේ සාරි ටික ඔක්කොම ඇදල විසික්කළා හලො.. අනේ මංද එක පාරම මොනව උනාද කියලාග තරහ වෙන්න දේකුත් තිබුණෙ නැ අනේ..”

මම කල්පනා කළා මම මොනවද කියන්න ඕන කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඉන්ජක්ශන් එක ගත්තෙ නැති බව සමන්මලි අයියට නොකියපු එක කියල මට මතක් වුණා. ඒත් ඊට කලින් මතක් වුණේ අයියට ඕන කරල තිබුණ දේ.. මේ වගේ දෙයක් මීට කලින් ඇත්තටම මේ විදිහට කතා කරල තිබුණෙ නැති නිසා කුතුහලය කියන දේ මගේ හිත පුරා දුවන්න ගත්තා.

“ඉතිං අක්කෙ ඔන්න ඔහේ තව විනාඩි පහක් දහයක් එයාට ඕන දේ කරගන්න කියලා ඔයා පාඩුවේ හිටියනම් ඉවරනෙ.. ඔයා දික්ගස්සගෙන තියෙන්නෙ විනාඩි දහයක වැඩක්නෙ.. අපරාදෙ. ඒ වෙලේ ඔයාට කරන්න තිබුණෙ... මේ ඒක නෙවේ, ඇයි අයියට කීවෙ නැත්තෙ ඉන්ජෙක්ශන් එක ගත්තෙ නැති බව.. අපරාදෙ රණ්ඩු වුණු වෙලේ කිවනම් ඉවරනේ.. ගන්න ගන්න කෝල් එකක්.. දැන්මම..”

“මට බැ.. හැමදාම මම විතරයි මුලින් කතාවට යන්නෙ. අනික ඒක කියන්නවත් මට මතකක් තිබුණෙ නැ අ‍නේ, මම බාගෙට නිදාගෙනයි හිටියෙ.. එයා කියන්නෙ එයාට ඔන තරම් ගැණු ගන්න පුළුවන් කියලනෙ.. මම ඒත් කියන්නෙ හිතන් ඇති අනංගයා කියලා.. දෙන්න පුළුවන් එහා පැත්තෙ කන්දට විසි වෙන්න..”

“අපරාදෙ.. ඔයාට තිබුණෙ ඔක කරල දාල නිදාගන්න” 

මම මගේ මානසිකත්වයෙනුයි ඒ දේ කීවෙ.. නමුත් අපි දකින හීන ලෝකෙ හැබැහින් නැති බව සමන්මලී නිසා මට ටික ටික තේ‍රීගෙන යමින් තිලුණෙ. විවාහය ව‍ගේම වෛවාහික සම්බන්ධතා ගැන කුතුහලයෙන්, උනන්දුවෙන්, උද්යෝගයෙන් වෙලාවක පිරිල ති‍බුණු මගේ හිත ටික ටික ඒ හැගීම් වලින් දුරස් වෙන්න ගත්තෙ සමන්මලී නිසා.. නැන්දම්මලාගෙ ගෙදර එයා කරපු දාහක් වැඩ රාජකාරි නිසා..

“නැ මෙයා, ඔයා කියන්නෙ මට ඒකෙන් එහෙම කිසිම හැගීමක් දැනෙන්නෙ නැ.. අනේ මංදා ඒක මහ කරදරයක්.. පිරිමින්ට මොකට ඕක ඕන වෙනවද මංදා.. සමහරවිට මම නිතරම බබා ගැනම හිතන නිසාද මංදා..”

“අපොයි අක්කෙ ඔයා මාව බය කරනවා.. දැන්නම් අයිය පවු කියල හිතෙනවා.. හැගීමක් නොදැණුනත් ඒ ගැන අඟවන්න එපා.” 

ඇත්තටම බය හිතුණ මට සමන්මලී කියපු දේ නිසා. කසාද බැඳ ටික කාලෙකින් ගැහැණියක් තුළ ලිංගික අකර්මන්‍යතාවක් ඇති වෙනවද? සමන්මලීගෙ බබාට අවුරුද්දක් විතර ඇති. එතතොට එයාල බැඳල අවුරුදු දෙකක් කියමුකො.. අපොයි දෙවියනේ.. ජීවිතේ ඉතිරි කාලෙ ඉස්සරහට ගෙනියන්නෙ කොහොමද? ජීවිතේ තවම එහෙම්මමයි.. මට මතක් වුණා ‘රූං පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා සිංදුව’. බබාල හම්බවුණාට පස්සෙ ගැහැණිය මවකගේ තත්වයට සර්ව සම්පුර්ණයෙන්ම පත් වෙනවා කියන්නෙ ස්වාමියාව නොසලකා හැරීමක් වෙනවයි කියන එකද? අපේ ගෙවල් වල, සමාජයේ තියන ප්‍රශ්න දකිද්දි මම ගොඩක්ම ආස කළේ තනියම ජිවිතේ පවත්වගෙන යන්න. සමන්මලි මුලින්ම හමුවුණු දවසෙත් කීවෙ ‘අපෝ බඳින්නනම් එපා’ කියලයි. එදා එයා වගේ ලස්සන විවාහක කෙල්ලෙක් ඇයි එහෙම කීවෙ කියල මම පුදුම වුණා.

“අක්කෙ ඒ වුණාට ඔයා අයිය ගැනත් හිතන්න. බලෙන් හරි ඔයාට හිතන්න වෙනවා. ඒක වගකිමක්. යුතුකමක්. ඔන්න ඔයා බඳින්න කලින් එයාට කියල තිබුණනම් ඔයා ජොබ් එකක් කරනවමයි කියලා, අන්න එතකොට අද වෙද්දි ඔයාට කතා කරන්න පුංචි හරි ඉඩක් තියා ගන්න තිබුණා. ඒත් වරද්දගෙන තියෙන්නෙ ඔයාමයි. දැන් රණුඩු නොවි එයාට පැහැදිලිව තේරුම් කරල දෙන්න බලන්න රස්සාවක ඇති වටිනාකම. අනික බබා හිටියයි කියල එයාව මගහරින්න එපා.” මම මට පුළුවන් විදිහට සමන්මලිට කිවා.

එදා ගෙදර යන ගමනුත් අපි කතා කළේ.. නෑ සමන්මලි කතා කළේ එයාගෙම කියන තැනකින් ඈත් වෙලා පිටස්තර සමාජයක හුදෙකලා වුණු එයා ගැන. මම හිතන්නෙ මේ දේවල් කියන්න එයාට ඒ කාලෙටම හම්බවුණු එකම යාලුවා මම. නැත්නම් සතියක දෙකක කුළුපතකමක් නිසා මේ තරම් දේවල්.. නැ.. සම්පූර්ණ ජීවිත අරගලයම එපා මා ඉස්සරහ දිගාරින එකක් නෑ. 

“ඔයා කියන්නෙ හලෝ අළුත් අවුරුද්ද දවසෙ අපේ අම්මලාට කතා තරන්නවත් මේ මිනිහ අපේ ගෙදර ආවෙ නැ. මම තනියම ගෙදර ගියේ.. ඒ ගියෙත් රණ්ඩු වෙලා.. අන්තිමට දොළොස් වෙනිද මහියංගනේ ටවුන් එකට ආවා මාව එක්ක යන්න. ඔය තරම් දුරක් ගිය මට මම දන්න ටවුන් එකට එන එක අහවල් දෙයක්ද? මම කිවා ආපහු යන්න කියලා, මම හෙට එන්නම් කියලා...”

“...මේ මිනිස්සුනම් හරිම අමුතුයි. උද්දච්චකමනම් තියනව ඉහටත් උඩින්. මනුස්සයෙක් එක්ක කතා කරන එකත් වැරදියි මෙහෙ. මට හලෝ ඩෙන්ටල් ෆැකල්ටි එකේ මම දන්න මල්ලි කෙනෙක් කෝල් කරනවා. මේ මිනිහ කියනව තෝ පල අර ඩෙන්ටල් එකේ එකා එක්ක, තොට ඉන්නවනෙ හොර මිනිහො කියලා..”

මම හිතුවට වඩා මේ ප්‍රශ්න ගොඩක් දුර ගිය ඒව වෙන්න ඇති කියල හිතුණෙ සමන්මලීගෙයි අයියගෙයි විශ්වාසය කියන බැම්ම කැඩිල ගිහින් කියන ඉඟිය මට දැණුනු නිසයි. මේ කෙල්ල කොයි තරම් හිනාවෙන් හිටියත්, දුක වහගෙන හිටියත්, එයා ඉන්නෙ අපායක කියල මට හිතුණා. අවිශ්වාසය, කනස්සල්ල, වේදනාව, අතෘප්තිය එක්ක වෙන කාටද සමන්මලීට වගේ හිනා වෙලා ඉන්න පුළුවන්...? මම ගොඩක් කල්පනා කළා. ඒත් මගේ හිත හිස් වෙලා.. දවසක් අපි එන පාර අයිනෙ තියන ඩේ කෙයා එකටත් ගියා සමන්මලිගෙ බබාව එහෙ තියන්න පුළුවන්ද බලන්න. ඒත් එතන හිටපු ඇන්ටි කීවා ඒ බබා තවම එතනට ගන්න තරම් පොඩි වැඩී කියලා. සමන්මලි පෙන්වන හිනහවට යටින් කොයි තරම් දුකක් ඇත්ද කියලා හිතාගන්න තරම් මට අත්දැකීම් තිබුණෙ නෑ. ඒත් මම උත්සහ කළා එයාට පුළුවන් තරම් සහනයක් වෙන විදිහට ඉන්න. විශේෂයෙන්ම තමන්ගෙ දරුවා ආච්චිගෙ අතින් ප්‍රතික්ෂේප වෙද්දි හවුහරණක් නැති අම්ම කෙනෙක් එයාගෙ පිහිටට තිබුණු රස්සාව රැකගන්න ඕන නිසා හිත හදාගෙන පැය ගානක් පිට ඉන්නෙ කොහොමද කියල තේරුම් ගන්න මම උත්සහ කළා.

“ඉතුරු ටික හෙට කියන්නම්.. බායි..” 

කතා කරකරම කන්ද නැගපු අපි දෙන්නා වෙන් වෙන තුංමංහන්දිය ගාවින් එයා වම් පැත්තට හැරුණා. මම දකුණට හැරුණා.

‘මේ දරුව නැත්නම් මම මෙලහකටත් දමල ගහල ගිහින්’ ‘මම මේ මොකුත් අපේ අම්ම කෝල් කරපු වෙලාවක අඟවන්නෙවත් නෑ හලෝ’ ‘අපේ අම්මත් පුදුම දුකක් විදින්නෙ මම නිසා’ මට ආයෙ ආයෙම මතක් වුණා සමන්මලිගෙ වචන. මේ මනුස්සයාට මේ ලස්සන ගැහැණියව ආදරෙන් බලාගන්න බැරි ඇයි? මට මගෙන්ම ප්‍රශ්න කළා. 

හෙට කියල දවසක් නම් උදා වුණා. උදේම ගිහින් ඔෆිස් එකේ පුරුදු මුල්ලෙ ඉඳගෙන පුරුදු විදිහටම පොත කියව කියව හිටපු මට අර අමුතු එළියත් අරන් සමන්මලි එන ගතිය දැණුනෙ නෑ. එයා එන්න පුරුදු වෙලා හිටපු වෙලාව, අටයි හතලිස්පහ පහුවුණ ගමන් මම, අපි ඉඳගෙන ඉන්න තැනට ඉස්සරහින් තියන ජනේලෙන් පෙනෙන පාර දිහා ඉස්සි ඉස්සි බැලුවා. ඇත බෑවුම් පාර පෙනුනා වුණත් සමන්මලී එන පාටක් පෙනුණෙ නැ. නවය පහුවුණු හැටියෙ මම කෝල් එකක් ගත්තා.. ඒත් ෆෝන් එක අස්සෙ ගෑණියෙක් කැ ගහනවා ප්‍රතිචාරයක් නොමැත කියලා. මම දිගින් දිගටම කෝල් කළා.. 

ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න
ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න
ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න
ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න
ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න
ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න

මම කල්පනා කළා මොකද්ද කරන්න ඔන කියලා.. කාගෙන් අහන්නද කියලා.. මොකුත් හිතට ආ‍වෙ නෑ. මේ තාක් කාලෙකට මම මේ ඔෆිස් එකේ තනියම ඉඳලත් නෑ. එදා දවසෙ මම හරිම අමාරුවෙන් කාලෙ ගෙවා ගත්තෙ. වැඩකරන අයත් මගෙන් අහනවා කෝ මිස් මිස්ගෙ යාළුවා.. කියලා. දෙන්න ඔන උත්තරයක් හිතාගන්නත් බෑ. මම සරලව කිව දන්නෙ නැ කියලා.

දවසක් ගියා දෙකක් ගියා.. තුනත් හකරක්ම ගියා.. හරිම මුස්පේන්තු දවස්.. වැඩ ඉවර වෙලා මම එළියට බැස්ස ගෙදර යන්න. කවුරුත් නැති පාළු පාරෙ මම ඔහේ ඇවිදගෙන ආවා. අපි දවසක් ගොඩවැදුණු ඩේ කෙයා එක ඇතුළෙන් දුවන පනින දඟලන පැටවුන්ගෙ කාලගෝට්ටිය ඇහුණා. ඉස්සරහින් පෙරහැරක් එනවා. නිකන්ම නිකන් පෙරහැරක් නෙවෙයි. සුදු ගැටපිච්ච මල් මාල එල්ලපු කළු දිග කාර් එකක් තමයි මම මුලින්ම දැක්කෙ. ‘තවත් කෙනෙක්’ ඉබේටම වගේ මට හිතෙනවත් එක්කම මිනියක් දකිද්දි මගේ නහයට දැනෙන පුළුටු ගතිය මාව ආක්‍රමණය කළා. මම පාර අයිනට වෙලා ඉඩ දුන්නා පෙරහැරට. පාර දිගටම හර්ස් එකට විසි කරපු රිදී පාට වගේම වෛවර්ණ දිලිසෙන කොළ කෑළි... දාඩිය දාපු ම‍ගේ අතේත් පුංචි ඊයම් කොළ කෑල්ලක්.. මම ඒක පිහදලා දාද්දිත් ඒක මගේ අතේ දාඩියට ඇලවිලයි තිබුණෙ. හරි කෙළින් තියන මේ පාර කැළෑ පාරක්.. මිනිස්සු කවුරුත් හමුවෙන් නැති, මේ පාරෙන් මම ආවෙ ඔෆිස් එකට යන්න ලේසි නිසයි. අද දැක්ක මරණයේ සෙවනැල්ල නිසා මට අමුතු බයක් නම් ඇති වුනේ නැත්තෙ පුරුද්දක් විදිහට මම කිසි දේකට බය නැති නිසා වෙන්න ඇති. වෙනදා මමයි සමන්මලීයි වෙන්වෙන තුන්මංහංදිටට එනකන් අමාරුවෙන් කන්ද නැගගත්තා. එතකොට නිකමට වගේයි මට බැලුණෙ පාරෙ ලයිට් කණුවක අලවලා තිබුණු මරණ දැන්විම දිහා.

අනේ දෙවියනේ.. ඇයි මම මේක මෙච්චර දවසක් දැක්කෙ නැත්තෙ..?

සමන්මලී ගුණසේකර මිය
උපත 1985 / 09 / 15
විපත 2012 / 07 /10

මම ගෙදරට ආවෙ කොහොමද කියන්න මට මතකයක් තිබුණෙ නෑ. කොහොම වුණත් මතකයි ඒ වෙලාවෙ බොඳ වෙච්ච මගේ ඇස් දෙක තවමත් එහෙම්මම බව. මුළු රෑම මම ඇඬුවා. එතනින් එහාට කරන්න පුළුවන් දෙයක් මට තිබුණෙ නෑ. කවුද මේකට වගකියන්න ඕන, සමන්මලි නැති වුණෘනම් ගෙදර මිනිස්සු ඒ ගැන ඔෆිස් එකට දැන්නුවේ නැත්තෙ ඇයි, සමන්මලි වහ බීවද? බෙල්ලෙ වැල දාගත්තද? නෑ නැ කවදාවත් එයා එහෙම කරන ජාතියේ ගෑණියෙක් නෙවෙයි. ‘මේ දරුව නිසයි මම ඉවසන්නෙ’ එයා නිතරම එහෙම කීවා. බබා අරන් එයාගෙ ගෙදරට ගියත්, කරදාවත්නම් එයා මැරෙන්න තරම් අවදානමක් ගන්නෙ නැ. අයිය සමන්මලිට මෙනවහරි කළාද? ආයෙමත් සමන්මලි අයිය එක්ක එකතු වෙන එක ප්‍රත්ක්ෂේප කරපු නිසා අයිය එයාට ගැහුවද? මැරුවද? එතකොට ඒ මල ඉලව් ගෙදර හිටපු අනිත් මිනිස්සු බුදියන් හිටියද? එදා එයා කීව වගේ අයියා බීලා ආපු වෙලාවක රණුඩුවක් ඇති වුණාවත්ද? තෝ වෙන මිනිහෙක් එක්ක පල.. අර ඩෙන්ටල් එකේ එකා එක්ක පල.. කියල අයිය එයාව පඩිපෙලකින්වත් පහළට තල්ලු කළාද?

ඔයා ගැන කතාවක් ලියන්න කියල මට ඔයා කිවට මම හිනෙකින්වත් හිතුවෙ නැ මේ වගේ ඉක්මනින් ඒක ලියන්න. ඒ වගේම මේ මම බලාපොරොත්තු වුණ අවසානයත් නෙවෙයි සමන්මලී..

සමන්මලි.. හිනා වෙවි අමුතු එළයක් එක්ක ආව සමන්මලී.. මටම නොදැනෙන්න මම හොරෙන් බලන් හිටිය සමන්මලී.. උත්තර නැති ප්‍රශ්න ගොඩක් මට දිල ගිය සමන්මලි නේද අර පිච්චමල් වලින් වටකරපු කළු දිග කාර් එකේ ගියේ..?
Comments
14 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

14 comments:

  1. කාලෙකින් කියවපු ලස්සනම කතාවක්

    ReplyDelete
  2. කතාව ලස්සනයි.. ගොඩක් හොඳට ලියලා තියෙනවා... හොඳ ගලා යාමක් සහ සියුම් නිරීක්ෂණාත්මක ගතියක් ඒකෙ තියෙනව. ඒත් අවසානය හරි නැහැ වගෙයි...
    ඔබ ඇමතූ ඩයලොග් දුරකතනයෙන් ප්‍රතිචාරයක් නොමැත කරුණාකර පසුව අමතන්න
    කියන තැනින් හරි අවමගුල් පෙරහැර ළගින් හරි ඉවර කළා නම් හොඳයි... (මේක මට හිතෙන හැටි විතරයි.. අනික් අයගෙනුත් අහන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු..
      කොහොමත් කතාවක අවසානය සටහන් කිරීමේදී පොඩ් දුර්වලතාවයක් මගේ තියනවා.. සමහර විට ඔබ දකින්න ඇත්තේ ඒක..
      මම උත්සහ කරන්නම් ඒක හදාගන්න..

      Delete
  3. කතාව ඇත්තටම ලස්සනයි! ලියල තියන විදිහත් ඒ වගේමයි!

    ReplyDelete
  4. ජීවිත වල තියෙන සොදුරු බව බලෙන් තවරපු කතා තමයි අපට නිතර කියවන්න ලැබෙන්නේ ඒත් මේ කතාව සහ එහි අභ්‍යන්තර සිද්ධිය ඊට හාත්පස වෙනස්. අපි අත්දකින විදින සමාජය තුල ප්‍රසිද්ධියේ කතා නොකරන එහෙත් කතා කලයුතු දේවල් ඔබ විවෘතව ලියනව. මේක හරියට උඩුගංබලා පීනනව වගේ වැඩක්.

    ඒවගේ රැඩිකල් කාන්තා අභියෝග සමාජයේ හමුවෙන්නේ කලාතුරකින් ඔබ එවැනි ලේඛිකාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු...
      හැමදාමත් වගේ ඔබේ මේ දිරිගැන්විමත් මට ශක්තියක්..

      Delete
  5. අහම්බෙන් ගොඩ වුනේ පුරුදු තැනක්ද මන්දා ලස්සනට ලියල තියනවා තව ලියන්න අහම්බෙන් ආව වුනාට අයෙත් හැමදාම එනවා සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා...
      ඉස්සරහටත් ලියනවා..
      දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා..

      Delete
  6. තිළිණි කථා කරන්නෙ ගොඩක් අය කථා නොකරන පැත්තක්.මගෙ කමෙන්ට් එක දානෙ කථාවෙ ඊළඟ කොටස බැලුවට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. අනේ යාලු මේකෙ දෙවෙනි කොටසක් නෑ...

      Delete
  7. හරිම ලස්සනයි සිත්තරි ඔයා ,
    මේ කථාවනම් හරිම ලස්සනයි

    ReplyDelete
  8. හරිම ලස්සන කතාවක්...ආසාවෙන් කියෙව්වා...අදමයි මමත් මේ පැත්තේ අවේ...

    ReplyDelete

 
There was an error in this gadget