Sunday, September 2, 2012

ප්‍රේමනීය චිත්‍රපටයක් --- Monsoon Wedding ---

Monsoon Wedding මෙය ඉන්දීය චිත්‍රපටයකි. කථාව තේමා වි ඇත්තේ නවින පංජාබ සංස්කෘතියේ විවාහ උත්සවයක් වටායි. දින කිහිපයක පමණක් තතු ඇතුළත් වන මෙම චිත්‍රපටයේ දින කිහිපයකින් එළඹෙන විවාහ උත්සවය යන සංකල්පය තුළ ගැබ් වූ කලබලකාරිත්වය මැනවින් විදහා දැක්වේ. රුපරාමු හසුරුවා ඇති විලාසය, වරිතවල දෙබස් හසුරුවා ඇති ස්වභාවය, පරිසරයේ විවිධතා, නිවසේ පිරිසගේ හැසිරිම් රටා ශිල්පියා ඉතා සාර්ථක ලෙස මේ උදෙසා උපයුක්ත කර ගෙන තිබේ.






මානාලියගේ පියා වන Lalithසිය දියණියගේ විවාහය අරබයා සූදානම් වන කලබලකාරී විලාසය, යම් යම් අඩුපාඩු, අතපසුවිමි ඇතිවන කල්හි ඔහු ගේ චංචල ස්වරූපය තුළින් චිත්‍රපටයේ තේමාව වඩ වඩාත් ඔප්නංවාලයි. බොහෝ විට යම් යම් සුළු කරුණු අරබයා ඔහු මෝඩයා යැයි කියමින් සිය ඥාති පුත්‍රයා වන Rahulහට බැන වැදිම තුළ, විවාහ උත්සවය උදෙසා අධික ලෙස වෙහෙස වන Rahulකෙරෙහි අනුකම්පාවක් ප්‍රේක්ෂක මනසේ ජනිත වේ. උසස් සමාජයක පුහු ආටෝපය මෙම පවුල තුළද නැත්තේ නොවේ. ඉන් ගම්‍ය වන්නේ සංස්කෘතික වෙනසකට ලක් වීම මත මේ සමාජය වැළදගත් යම් යම් පරිබාහිර විපරිත සංස්කෘතිකාංගයන්ය. මෙයද චිත්‍රපටයේ තේමාව ඉස්මතුකිරිමෙහිලා ශිල්පියා දායක කරගත් වැදගත් සාධක බව නිරික්ෂණය කළ හැකිය.

ආරම්භයේ සිට ඉතා කලබලකාරී පරිසරයක් වටා කේන්ද්‍රගත වන චිත්‍රපටය මොහොතකට එම කලබලකාරීත්වයෙන් මිදෙන්නේ නිවසේ සේවිකාව වන Alisගේ සහ විවාහ මංගල්‍යයේ සැරසිලි කටයුතු සදහා පැමිණි Dubeyනම් පුද්ගලයාගේ හමුවිම් සිදුවු අවස්ථාවන්හි පමණි. මොවුන් හමුවන අවස්ථාවන්හි නිර්මාණ ශිල්පියා "දහස්පෙතියා මල" සංකේතාර්ථයක් සේ යොදා ගනී. ඉන්දියානු සංස්කෘතිය තුළ විවාහයකදි මෙකි පුෂපයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. චිත්‍රපටය සදහා ප්‍රධාන තේමාව සපයන විවාහක යුවළ අයත් නූතනත්වය සහ මුදල් බලයෙන් පිරි සම්මිශ්‍රිත සමාජ පසුබිමට වඩා සපුරා වෙනස් වන, මෙම සේවිකාව සහ අත්උදවුකරු අයත් සාමාන්‍ය සමාජය මෙකි දහස්පෙතියා මලෙන් තව තවත් සංකේතවත් වන බව හැගි යයි.

නුහුරු නුපුරුදු ප්‍රේමණීය ලෙන්ගතුකමක් සමග එක්වන සිතුවිලි හේතුවෙන් Dubeyගේ සිතේ ඇති කැළඹීම නිරුපණය කිරීමේදී චිත්‍රපටයේ අපූරු උපක්‍රමයක් යොදා ඇත. එනම්, කැමරාව නිශ්චිත ස්ථානයක ඒකීයව නොතියා නිදහසේ හසුරුවා තිබිමයි. Dubeyඇවිදිමේදී ඔහුගේ අඩිතැබිමේ රටාවත් සමග චලනය වන වටාපිටාව තුළින් මෙලෙස ඔහුගේ හිතේ කැළඹීම නිරුපණයට කටයුතු යොදා තිබේ.

ලඟලඟම පැමිණෙන විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් නිවසේ පරිසරයේ කෙතරම් කලබලකාරීත්වයක් පැවතුණද, සිය හිටපු පෙම්වතා පිළිබද සිහියෙන් තැවෙන මනාලියගේ චිත්ත ස්වභාවය තුළින් ප්‍රේක්ෂක සිතෙහි කුහුල දැනවිමට නිර්මාණ ශිල්පියා උත්සහ දරා ඇත. එහෙයින් අවසානය තෙක් කුතුහලය අප සිත් සතන්හි රැන්දවිමට මෙකී සංසිද්ධිය මනා සේ ඉවහල් වී ඇති බව කිව හැකිය.

Lalithගේ මස්සිනා වන පවුලේ නොමද පිළිගැනිමට සහ ගෞරවාදරයට පත් බලවත් පුද්ගලයා දුටු විගස Ria එනම්, මනාලියගේ අවිවාහක ඥාති සොයුරියගේ හිතේ ඇතිවන කැළඹීම ශිල්පියා ඉස්මතු කර දක්වා ඇත්තේ කලබලකාරී නිවසේ පරිසරය තුළ එහා මෙහා වන සෙනගගේ අතරින් පතරිනි. එයද චිත්‍රපටයේ නිර්මාණාත්මක බව ඉස්මතු කරන්නාවූ උපක්‍රමයක් සේම ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන්නක් ලෙස පෙනී යයි. මේ බව වඩ වඩාත් තහවුරු කෙරෙන්නේ එම පවුලේ කුඩා දැරියක් තනි කොට ගෙන ඉවත ගෙන යාමට පෙර කි පුද්ගලයා උත්සහ දැරූ අවස්ථාවේ, සිය නිහඩතා පසෙක ලා Riaඔහුට විරුද්ධව තම අතීතයේ ඔහු නිසා සිදුවූ අප්‍රසන්න මතකයක් සියල්ලන් හමුවේ පැවසිමත් සමගිනි.

තම පවුලේ අද්විතීය ස්ථානයක වැජඹුණු සිය මස්සිනා වන බලවත් පුද්ගලයාත්, පියා නොමැති හේතුවෙන් ආදරයෙන් රැක බලා ගන්නා තම ඥාති දියණිය වන Riaගේ හෙළිදරවුවෙන් බිදී ගිය ආත්මාභිමානයත්, දුහිතෲ ප්‍රේමයත් අතර දෝලනය වන Lalithගේ චිත්ත ස්වභාවය ඉස්මතු කිරිමේදී නිවසේ පෙර පැවති ස්වභාවය මෙකි අවස්ථාවට උචිත පරිදි මැනවින් හසුරුවා ගැනිමට මෙහිදී හැකියාව ලැබි ඇත. කලබලකාරි විවාහ මංගල්‍යයට ශෝකය, අවමානය, අතීරණය එක් වන්නේ මෙකී සිදුවිමත් සමගිනි.

මෙතෙක් කි සහ මෙතෙක් නොකී සාර්ථකත්වයන් සමගින් රූපණය වන, මෝසම් සමයේ ‍විවාහය... මෙකී නිර්මාණ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණව ප්‍රේක්ෂක සිතෙහි ඉතා වින්දනිය හෝරා යුග්මයක් තිළින කිරීමට සමත් නිර්මාණයක් ලෙස ඇගයිය හැකිය.

වැස්ස හේතුවෙන් ඇතිවන අපහසුතාවත් - නමුත් වැස්සෙන් ලබන අනුපමේය වින්දනයත්, විවාහ මංගල්‍යය හේතුවෙන් ඇතිවන කලබලකාරීත්වයත් - නමුත් ඒ විවාහය උදෙසාම සැම දෙනා ලබන තෘප්තියත් මෙකි චිත්‍රපටය මනා ලෙස අප හමුවේ දර්ශනය කරවයි.

No comments:

Post a Comment