Friday, September 21, 2012

මෙහෙමලු මං විභාග ලීවෙ



වැල් ලෙහීගෙන යන වැල් පාලමක් තියනවා. සංගිලි පාලම් කියන්නේ ඒවටද මංද... කොහොම හරි හෙල්ලෙන පාලමක්. මේ පාලම දැන් හරිම අබලන්. ඒ පාලම තමයි මගේ මතකය. මම මේ හදන්නෙ ඒ ලෙහීගෙන ලිහිල් විගෙන අමතක විගෙන යන මතකය කියන වැල් පාලම දිගේ ටිකකට අතීතයට යන්න. J

පුංචි දවස්වල අම්මගෙන් මම නොසෑහෙන්න ගුටි කැවා බැනුම් ඇහුව... අකුරු ලියන්න හුරු වෙන්න. අපොයි ඒ වගේ කාලයක්නම් ආයෙත් එපා. එක අතකින් ගුරුවරියකගෙ ළමයෙක් වෙනවයි කියන එප එපා කරපු දෙයක් වෙනවා පාඩම් මතක් වෙද්දි. ඉතිං නොසැහෙන්න හොටු පෙරාගෙන කදුළු හලාගෙන එක වසරේ ඉදල පහ වසරට යනකන් ටොකු කකා ඉගෙන ගත්තා.

මෙන්න දවසක් දාවා... අපේ ශිෂ්‍යත්ව විභාගෙ ළකුණු ආපු දවස. අපි එකකොට ලොකු ඉස්කෝලෙ පොඩිම පංතියේ ළමයි. ඒ කියන්නෙ හය වසරේ. පෝලීමේ ගියා ළකුණු බලන්න. ශිෂ්‍ය නායිකායෝ රූලක් තියාගෙන එක එක ළමයට එයාගෙ ළකුණු පෙන්වනවා. ඒ අක්ක කෙනෙක් මටත් මගේ ළකුණු පෙන්නුවා. මට තාමත් මතකයි ඒ අක්කිව. කණ්නාඩි දාලා දත් වලට ප්ලේට් එකකුත් දාලයි එයා හිටියෙ.
'නංගි ඔයා පාස් මෙන්න ළකුණු'

මගේ ඇස් ගෙඩි දෙක නළලෙ ඉන්දවුණා. ඒ ළකුණු දැකලා. මම ඒ තඑම් දක්ෂ නැ. කොහොමත් දක්ෂ නැ. ඒත් පංතියේ ඉහළින් කැපී පෙනුණු ළමයින්ට වඩා ළකුණු තිබුණා. කියන්න අමතක වුණානෙ. ඔන්න ඔය ශිෂ්‍යත්වය කියන එක ලියන්න සතියකට විතර කලින් මට පැපොල හැදුණා. ඇග පුරා බිබිලි දාලා ඒව පුපුරලා ජූස් එනවා.. ඇදේ කොහොඹ කොළ දාලා කොහොඹ අතු වලින් කස කස මමත් හිටියා කැත වුණු සර්වාංගය දිහා බලාගෙන හූල්ල හූල්ල. අපේ පොඩි එකා ඉපදිලා මාස තුනෙන් මම එයාටත් පැපොල බෝ කළා. මේක අතුරු කතාවක්. හරි දැන් ආයෙත් මාතෘතාවට බහිමු.

අපේ ගෙදර අපි හතරදෙනා අතරෙත් පොඩි පහේ නෙවේ සෑහෙන තරගයක් තියනව ඉගෙනගන්න කෙසේ වෙතත් ළකුණු ගැනීම සම්බන්ධයෙන්. දෙවෙනි මල්ලිනම් නිතරගයෙන්ම අයින් වෙන්නෙ එයා සිංදු කම්පියුටර් විලාසිතා පිස්සෙක් නිසායි. ශිෂ්‍යත්ව ළකුණු ගැනත් ඒ වගේයි. ඒත් චූටි මල්ලි මාව පැරැද්දුව එක මම සතුටින් විදගත්තා.
ඉතිං ආයෙම මාතෘකාවට......

ඉතිං ඔය ඉස්කෝල වල හැම වාරෙම විභාග තියනවනෙ. ඉස්සර අපේ කරුමෙටද මංද මාසික පරීක්ෂණ කියල ජාතියකුත් තිබුණා. මට මතක නැ මම පාඩම් කළාද කියලවත්. ඔය වාර විභාග එනවනෙ ඒ අතරෙ. අපේ ඉස්කෝල ඉතිං තමන්ගෙ ලොකුකම් පෙන්වන්නද මංද මෙලෝ යකෙකුට නොතේරෙන විදිහේ අණ්ඩර දෙමළ ප්‍රශ්නපත්තර තමයි හදන්නෙ. අනිත් ඉස්කෝලවල පේපර්ස් කොහොම හරි කරන්න පුළුවනි. ඒත් මේවගෙ ප්‍රශ්න තේරුම් ගන්නම හැට පැයක් යනවා.

කාලයක් යද්දි මම පාඩම් කරන එක අත් හැරලම දැම්මා. සමහර දාට විභාගෙ දවසෙ ගිහින් අදාල තැන ඉදගත්තම එහා පැත්තෙ ඉන්න එකීගෙන් අහනව අද මොකද්ද දෙන පේපර් එක කියලා. සමහර දාටනම් ඒ අහන්නත් අමතක වෙනවා, මොකද ඉස්කෝලෙ පටන් අරන් විනාඩි දහයක් විතර ගියාමයි ඉස්කෝලෙට යන්නෙ. ඉතිං පේපර් එක අතට දුන්නමයි දන්නෙ, මොකද්ද විෂය කියලා.

හැමෝගෙම ජීවිතේ විසේ වැඩි වෙන කාලයක් එනවනෙ. මගෙත් ඒ කාලෙ ආවා ඔන්න. වාසනාවටද අවාසනාවටද මංද ඒ ඕලෙවල් කාලෙ. මගේ මේසෙ ඉස්සර කණ්නාඩියක් තිබුණා. ඒක අපේ සීයගෙ හෙන පරණ තාලෙ අමුතුම ජාතියේ මේසයක්. ටේබල් ලෑම්ප් එක දාගත්තම ඒ කළු පාට මේසෙ කණ්නාඩියෙන් මාව පේන්නෙ අවතාරයක් වගේ. ඒ විකාර රූපෙ දිහා බලන් මගේ වැඩේ එක එක සමයන් කරන එක. පාඩම් කළා කියල කිසි දෙයක් කළේ නෑ. ඒ වගේම තමයි මගේ හිතේ මවන් හිටපු කුමාරයා ගැන මං ගැන අපි ගැන එක එක දේ හිතුවා.... ලස්සන සුරංගනා ලෝකයක් මගේ පොත් ටික දිගෑරගෙන.......... කණ්නාඩිය ඉස්සරහා......... J

අපේ තාත්තගෙන් මළ කරදරේ පාඩම් කරන්න කියලා. අපි නොකරනම දේ ඒක. අනික මට කෙනෙක් දෙයක් බල කරල කීවොත් මාව මැරුවත් මම ඒ දේ නම් කරන්නෙම නැ. ඉතිං තාත්ත ඔහොම කියද්දි මම කාමරේට ගිහින් හොරාට චිත්‍ර අදිනවා. අපේ ගෙදර මට චිත්‍ර අදින එක තහනම් කරලයි තිබුණෙ. අහියට අර ඩාවින්චිලාට මිනිස් අස්ථි අධ්‍යයනය තහනම් කළා වගේ කියලයි මට ඒක දැණුනෙ. එපා කියන දේ කොහොම හරි කරන්න තමයි මම ආස. ඒ නිසා තාත්තගෙ බල කීරිම කනකට නොගෙන මම චිත්‍ර ඇන්දා. ලයිබ්‍රරි පොත් ගෙනත් කියෙව්වා... මම ඒ කලෙ කියවලා තේරුම් ගත්තු සමහර පොත් දැන් වෙද්දි මට තේරෙන් නැ. අපරාදෙ.

ඔහොම ඉද්දි මං කිව අර විසේ උග්‍ර වෙලා පිස්සුවක් නැටුව මම ඕලෙවල් වලට මාසයක් තියෙද්දි. පලවෙනි දවසෙම ගෙදරට අහු වුන නිසා සැහෙන්න වැට කඩුලු කටුකම්බි පවුරු පදනම් මගේ වටේ ටක් ටක් ටක් ගාලා ඉදිවුනා. දුක තමයි ඉතිං මොනව කරන්නද. අපි පවු.

කොහොමහරි සති දෙකකින් ඔලෙවල් වලට පාඩම් කළා. විභාගෙත් කළා. ඔන්න ඉතිං මං ඉතිහාසය පේපර් එක කර කර ඉද්දි ජනේලෙන් එපිට බැලුනා නිකමට වගේ. මෙන්න මගේ බෑග් එක ගහක් උඩින් යනවා. ඒක රතු කොළ තැඹිලි වගේ පාට පාට බැග් එකක්. මම අපේ ශාලාධිපතිනිට කතා කරල කිවා රිලවෙක් මගේ බෑගැ එක ගෙනියනවා මැඩම් කියලා. මටමමයි වෙන්නෙ ඔහොම දේවලුත් ඈ. විභාගෙ ඉවර වෙලා එළියට යද්දි සික්‍යූරිටි අන්කල් මගේ බැග් එක එල්ලගෙන මේක කාගෙද දේක කාගෙද කිය කියා අහ අහා හිටියා. රිලවට ඒකෙ පාටට ආස හිතෙන්න ඇති මං හිතන්නෙ.

චිත්‍ර පේපර් එක දවසෙ වර්ණ චිත්‍රය අදින වෙලාවෙනම් මට නිවනක් තිබුණෙ නැ. පුංචි ආඩම්බරේකුත් හිතුණ කරදරය එක්කම. අපේ ශාලාවෙ මැඩම්ල කාටවත් වෙන වැඩක් නැතුවා වගේ මම අදින දිහා බලන් හිටිය වට වෙලා. අන්තිමේ මගේ චිත්‍රෙ උස්සලා ශාලාවෙ හැමෝටම පෙන්නුවා. කොහොම හරි පොඩි පහේ අවුලකුත් වුනා. චිත්‍රය අදින්න තිබුණෙ මාළු අල්ලන්න යන දර්ශනයක් ගැන. දියඹ කියන වචනෙ දාල තිබුණ ඒ මාතෘතාවට. බාගෙට පාට කර කර ඉද්දියි මම දියඹ කියන වචනෙ දැක්කෙ. මම කල්පනා කළා ඒ මොකද්ද කියලා. අන්තිමේ සිංදු කෑල්ලක් මතක් වුණා. හරි වැඩේ. හෙන අවුලක් වෙලා තියෙන්නෙ. අදින්න ඕන මාළු අල්ලන්න මුහුදට යන එකක්. ඇදල තියෙන්නෙ මාළු අල්ලගෙන එන එකක්. මොන දෙයියන්ට කියන්නද? බාගෙට පාට කරලත් ඉවරයි. කරන්න තිබුණෙ එක දෙයයි. මුහුදයි ඉරයි මකල දාලා ඒ දෙකේ පැත්ත මාරු කළා. අන්තිමට.... ළමය වඩාගෙන ගැණුකෙනා මුහුදෙ. මනුස්සයා ගොඩ හබල් ගානවා.... ඒත් යාන්තම් ජාමෙ බේරගන්න පුළුවන් වුණා.

සමහර අයට හොද රිසාල්ට්ස් එන්නෙ වාසනාවට වෙන්න ඇති. ඒත් නොහිතපු විදිහට ඔලෙවල් වලින් මම උපරිමයෙන් පාස් වුනේ නම් මගේ පූරුවෙ කරුමයකට. එදා පාන්දර යාලුවා මගේ රිසාල්ට්ස් කියද්දි කෝල් කරලා... මම උඩ ගියා. අපේ ගෙදර අය පුදුම තරම් සතුටු වුණා. අපේ ලොකු මල්ලි උදේ පාන්දර නැගිට්ට ගමන් මාව බදාගෙන ඇඩුවා.

විභාගෙන් ඉහළින් සමත් වීමේ වරදට මාව හංවඩු ගැහුණා. තාත්ත අඩල දොඩල කිවා බයෝ කරපිය කියලා. මම ආසාවෙන් හිටියෙ............ ම්............ නෑ මට ආසාවක් තිබුණෙ නැ කවදාවත්... ඒත් බයෝ වලටනම් සත පහක තියා සතේකවත් කැමැත්තක් මට තිබුණෙ නැ. කොහොමින් කොහොම හරි මට බයෝ පංතියේ ඇවිත් ඉදගන්න වුනා. මම ඒ කාලෙ කල්පනා කළේ රිසාල්ට්ස් අඩු ළමයි මොන එහෙකටද ප්‍රින්සිපල් මැඩම් ඉස්සරහ, සෙක්ෂනල් හෙඩ් ඉස්සරහ අඩා වැලපෙන්නෙ බයෝ මැත්ස් කරන්නයි කියලා. මගේ අවස්ථාව ඒ එක්කෙනෙක් එක්ක මාරු කරගන්න තිබුණනම් මට කිරිල්ලියක් වගේ පියාඹලා යිහින් ආට්ස් ක්ලාස් එකේ ඉදගෙන සැපෙන් සනීපෙන් ගින්නක් නැතිව ඉන්න තිබුණා.

ඔන්න වාරයක් ඉවර වෙලා විභාගෙ ළං වුණා. මම අම්මට වැදල කීවා මාව අපේ ඉස්කෝලෙන් අස් කරගෙන අම්මලාගෙ ඉස්කෝලෙ ආට්ස් පංතියකට දාන්න කියලා. මම ගෙදරින් නොසැහෙන්න බැණුම් ඇහුවා. අනේ දෙවියනේ කිසිම භමයෙක්ම තමන්ගෙ කැමැත්තට පිටින් අකමැති දේවල් කරන්න ඉඩ ලැබෙන්න එපා. මොන නරා දුකක්ද ඇත්තට අකමැති දේවල් බලෙන් ඉගෙන ගන්න ලැබෙන එක....... ඇඩෙනව මතක් වෙද්දිත්....

පළවෙනි වාර විභාගෙ දවසෙ මම උදෙන්ම පංතියට ගියා. මතක ඇති කාලෙක ඉදන් බෙල් එක ගහල පන්සිලුත් අරන් ඉවර වුණාම පංතියට යන මම එදා තමයි මහ පාන්දරින් ගියේ. මගේ විභාග අංකෙ ගහල තිබුණ මේසෙට මම ගියා. 10550..... එතන ඉදගෙන ඉස්කෝලෙ පටන් ගන්නකන් මම ඇඩුවා.... ඇඩුවා... ඇඩුවා.... සෑහෙන්න ඇඩුවා... යාලුවෝ බය වුණා මේ ඇයි කියලා... ඒ මම ඇඩුවෙ මගේ අසරණ කම වෙනුවෙන්. පාඩම් කරන්න පුළුවන් කම තිබුණා වුණත් මම විෂයට අතමැති නිසා පොතක් ඇල්ලුවේවත් නැ.

අපේ ඉස්කෝලවල ළමයි අඩනවා.. ඒ පේපර් එකට උත්තර ලීවට පස්සෙ. කවුරුත් ඊට කලින් අඩන් නැ. ඔන්න ඉතිං කවුරුහරි අඩනවනම් වටේ පිටේ ඉන්න කෙල්ලො රොත්තම එතනට වට වෙලා එයාව සනසනවා... දාහක් දේ කිය කිය... ඒ විභාගෙන් පස්සෙනෙ. ඉතිං කාටවත් තේරුම් ගන්න බැරි වුණා මම ඇයි උදේ පාන්දර ඇවිත් මේ අඩන්නෙ කියලා. එයාලා බූත වෙලා වගේ මා වටේ හිටි බව මට දැණුනා.

කොහොමින් කොහොම හරි ඒලෙවලුත් ලීවා. රිසාල්ට්සුත් ආවා. තාත්තලා මහ මෙරක් බලාපොරොත්තු තියන් හිටියට මම මක් කරන්නද? ඉංගිරිසියයි බයෝයි විතරක් යාන්තන් පාස් වුණා. අනික්වා ගැන කවර කතාද? විභාගෙට යන්න කලිනුත් මම එදා රෑ නවල් එකක් කියව කියව ඉදලයි නිදා ගත්තෙ. හැබැයි මුල්ම වාර විභාගෙ දා ඇඩුවයින් පස්සෙ කවදාවත් මම ආය ඇඩුවෙ නැ විභාගයක් වෙනුවෙන්. එදාට කලින් කිසි දවසක අඩලත් නැ විභාග නිසා. මොකද.... තම තමන් වපුරන ගරමටයි අස්වැන්න කියන එක තදින් මගේ හිතේ ඇදිල තිබුණා.

ඊට පස්සෙ ඔන්න මම ආසම... මගේ ප්‍රියතම විෂයන් වලට මම බැස්සා අම්මගේ උදව්වෙන්. අධිශ්ටානයක් ගත්තා හිතට... ඒ මාස හය මහන්සි වෙලා කොහොම හරි ආට්ස් කරල ඉහළින්ම් පාස් වෙලා කැම්පස් ගිහින් කැම්පස් එකෙනුත් ඉහළම ළකුණු ගන්නවා කියලා.....

ඇත්තටම තමන් අකමැති දේ කරනවට වඩා තමන් කැමතිම දේට හිත යොදවනන් පුළුවන්නම් ඒක ගොඩක් සාර්ථක වෙන බව අත්දැකීමෙන් ඉගෙන ගත්තා. ඒ වගේම විභාග කියන්නෙ ජිවිතේ තවත් එක සාමාන්‍ය දෙයක් විතරක් බව ඉගෙන ගත්තා. ෆේස් බුක් එකේම ලැගගෙන ඉදල මට කැම්පස් එකේ පේපර් එකකුත් මගහැරුණා. වෙනමම තියරියක් ආදේශ කරල ඒ පේපර් එක ගොඩ දාගත්තා. ඒ නිසා විභාග.... ආසාවෙන් කරනවනම් විභාග කියන්නෙ අභියෝගයක් නෙවෙයි කියන එකත් හිතට දැණුනා.

ඔයාලටනම් මේ කියපුවා කොහොමද දන්නෙ නැ. මට හිතුණු දේයි අද මම මේ විදිහට ලීවේ.

අපේ එක කෙල්ලෙක් පාඩම් කරද්දි කකුල් වතුර බේසමක දාගෙන පාඩම් කරන්න හුරු වුණා. අන්තිමේ ඒකිට වතුර බේසම නැතිව නිදාගන්න බැරි තත්වයක් ඇති වුණා. හිනා කාලා මැරෙනව මතක් වෙද්දි.  J

ඉතිං තමන් කැමති දේ තමන්ගෙ ශෛලියට කරනවනම් මම හිතන්නෙ කිසි ගින්නක් නෑ. හිතේ නිදහසයි සැහැල්ලුවය් සැනසිමයි තෘප්තියයි හැම දේම ලැබෙනව එතකොට....
මම හරිද යාලුවනේ...........................?



(මම දැන් දැන් ලියන භාෂා ශෛලියනම් හොදටම පිරිහිලා වගෙයි මට දැනෙන්නෙ L )
Comments
14 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

14 comments:

  1. ah akki meh kathawa nam maru :D .......mama nam full ekama kiyawaa :D ...........oyata ithin mokada une ........dan university eke da?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි
      මම දැන් කැම්පස් අවුට් :)

      Delete
  2. අම්මේ මෙයා කරලා තියෙන පිස්සු වැඩවල තරම ,මමත් ඕ ලෙවල් වල ඉතිහාසය පේපර් එකට ඉදගත්තේ කිසිම සුදානමක් නැතුව හැබැයි රිසල්ට් එනකොට A එකක් තිබුනා ඒකටත් ....

    ReplyDelete
    Replies
    1. මෙම කොහොමත් පිස්සුවෙන් ඉන්නෙ යාලු
      එතකොට ජීවිතේ හරිම සුන්දරයි

      Delete
  3. මගේ කතාවත් ටිකක් ටිකක් ඔය වගෙම තමා....
    තමන් කැමති දෙ තමා කරන්න ඕන..අකමැතිදේ කොරල පලක් නැත්තෙම නෑ හබැයි....
    මම නං සංගිලි පාලම කැඩෙන්න දෙන්නෙ නෑ...
    ==================================
    මේ කතාව හරිම වැදගත් අපේ නංගිල මල්ලිලංට....
    ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
    Replies
    1. ඒ සංගිලි පාලම කැවෙන්න කලින් මේ විදිහට සටහන් තියනව මල්ලියෝ....
      ඒක අනාගතේට වැදගත් වේවි...... :)

      Delete
  4. 100% නිවැරදී.
    කවුරුන් කෙසේ කිව්වත් තමා අකැමති දෙයක් කිරීමෙන් පලක් නොවේ.

    ReplyDelete
  5. මුන්දැ බලාගෙන ගියාම මට හපන්...

    ReplyDelete
  6. සහතික ඇත්ත.... අපේ ඇගට දැනෙන, අපිට ආස දෙයක් කරන්න කවදාවත් ඉඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. මමනම් කෝමිං කෝම හරි ඉඩ හදාගත්තා :)

      Delete
  7. Replies
    1. සත්තයි
      හැබැයි අනුකරණය කළාට වගකියනු නොලැබේ :)

      Delete

 
There was an error in this gadget