Sunday, September 2, 2012

ජීවිතයේ මුල් වරට පොලිසියට ගියෙමි


සැබැවින්ම, ජීවිතයේ මුල් වරට පොලීසියේ ගේට්ටුවෙන් ඇතුළට පියවර තැබුවෙමි.

පොලිසිය, කෙල්ලෙකුට හෝ ගැහැණියකට තනිව නොයා යුතු තැනක් ලෙස මගේ මව්තුමියත්, පියතුමාත් යම් යම් අවස්ථා වලදී පවසනු අසා ඇත්තෙමි.

අද දිනයේ අප පොලිසිය වෙත ගියේ එම ආකල්පයද සිතේ යම් තැනක රදවා ගෙනය. එහෙත් මා හට හැගුනේ එම ආකල්පයට සපුරා වෙනස් අනෙකකි.

විශේෂයෙන්ම හද කම්පා කරවන සිදුවිම් අසන්නට දකින්නට විදින්නට ලැබුණේ කාන්තා කාර්යයාංශය තුළදීය.

අප ඒ අසළ මදක් රැදී සිටිනා විට වයස 15ත් 20ත් පමණ පරාසයක යැයි සිකිය හැකි ගැහැණියක් කොරිඩෝම අසල එහා මෙහා යමින් සිටියායය. ශරීරයෙන් කිව හැකි වූයේ ඇය ලාබාල මවක් බවයි. කතා බහේදිත් හැසිරීමේදිත් ඉතා ගැමි අව්‍යාජත්මයක් සේම සමාජාවබෝධයෙන් හිනම වු තැනැත්තියක් බව පෙනී ගියේ ඇය කෙරෙහි අප තුළ අනුකම්පාවක් ජනනය කරමිනි.

සුළු වේලාවකින් ඇය අසල බිත්තියේ වූ දැන්විමක් අකුරෙන් අකුර හඩ නගා කියවන්නට වූවාය. සැබැවින්ම ඇය කෙරෙහි, ‘පවු‘ යන සිතිවිල්ල අප සිත්හි නිතැතින් ඇති විය.

පසුව අප දුටු දෙයින් පෙනි ගියේ ඇය ඇගේ කුඩා බිළිදා නැවත රැගෙන යාමට පැමිණ සිටි බවයි. ඈ අත කුඩා ෆැනල් රෙද්දක් සහ බිළිදු හිස් වැස්මක් විය.

අප අදාල කාරණය සදහා කාන්තා කාර්යයාංශය තුළට ගිය විට සවන වැකුණේ ස්වාමියාගේ පහරකැමට පත්වූ කාන්තාවකගේ පැමිණිල්ලකි. ඇය ඉතා හොදින් ඇද පැළද සිටි කාන්තාවකි.

ඉතාම කටුක වූත්, වේදනාසහගත වුත් සිදුවිම වන්නේ එය නොවේ.

අදාල ප්‍රෙද්ශයේ සිදුව ඇති අපචාර, අපයෝජන, අනතුරු ආදීවූ බොහෝ දෑහි සංඛාලේණන ලබා ගැනීම මෙදින අප සතු කාර්යය වූ බැවින් අප මෙහි පිවිසියේ කාන්තා සහ ළමා අපයෝජනයන් පිළිබද දත්ත ලබා ගැනිම සදහායි.වයස අවුරුදු 8 සිට ඉහළට කුඩා පාසැල් දැරියන්ට සිදුව තිබූ ලිංගික අපයෝජනයන් මෙහිදී නෙත ගැටුණේ අප සිත් කම්පා කරවමිනි.

වෙව්ලන දැතින් පිටු පෙරලමින්, හිරිවැටී යන සර්වාංගයට වාරු ගනිමින් එකී සිද්ධීන් එකින් එක අපි කියැවිමු.

පොලිස් වාර්තාවේ එවන් එක් දැරියකගේ ජීවිතයම අදුරු කරමින් ලියැවි තිබූ පේළි ගණනක් මම ඡායාරූපගත කළද එය මෙහි දැමිම සුදුසු නොවේ යැයි සිතන හෙයින් නොදමමි.

පියවරුන්, කාම සේවනයේ ලෝලී අමනුෂ්‍යයන්, ගැබ්ගත් බිරිද නිසාවෙන් තම ආශා සන්තර්පනයට අහිංසක දැරියන් බිළිගත් කාමාතුරයන් විසින් අදුරු කරන ලද නොදරුවන්ගේ ජීවිත පිළිබද ලියැවුණු ඇග කිළිපොලායන වාර්තා එකින් එක අපි කියැවිමු.ලිංගික අපයෝජනයන් සිදු වූ ආකාරය අයන්නේ සිට ලියැවී තිබුණු එම වාර්තා කියවිමේදී මොවුන් මනුෂ්‍යයන්දැයි මම මාගෙන්ම අසා ගතිමි.

පොලීසිය...

එය නොයා යුතු තැනත්ද? මම කනගාටු වෙමි

මෙවන් දෑ කොතෙකුත් සමාජයේ එදිනෙදා අසන්නට ලැබුණද අද මෙන් ඒ කෙරෙහි සංවේදි වු දවසක් මට තවනම් මතක නැත.

පෙලිසිය කෙරෙහි මා සිත්හි පැවති යම් යම් අසුබවාදී දෑ යම් තරමකින් හෝ දුරු වු බව කියනු කැමැත්තෙමි.අහිංසක නොදරුවන් මෙවන් දුෂකයන්ගෙන් රැකගැනීම ඔබේත් අපේත් කාගේත් වගකිම වනවා සේම, මෙවන් අකාරුණික ඉරණමකට ඔව්න් ඇද වැටීමට ප්‍රථම, ඒ කෙරෙහි සමාජය දැණුවත් කිරිම පොලිසියේ පමණක් නොව තනි වශයෙන් ගත් කල්හි අප කාගේත් වගකීමක් සේ මම දකිමි. හදිසියේ ආ සිතිවිල්ලක් මත සේයාරුවක් දමමි...

No comments:

Post a Comment