Sunday, October 21, 2012

අදෘශ්‍යමාන හාදුව




මම කණ්ණාඩිය ඉදිරිපිට සිටගතිමි. එකින් එක මගේ ඇඳුම් අහවර කිරීමටය මාගේ මේ සූදානම. කණ්ණාඩියෙහි මාපිළිබිඹුව වැටෙනු ඇත. නූල් නූල් එකට ඇමිණී ගෙතුණු ඇදුමෙන් ආවරණිත සිරුර තව මොහොතකින් විවර වනු ඇත. මම නැවත දොර අසළට ගියෙමි. නැවතත් වරක්... මතක හැටියට ඒ සිව් වන වතාව විය යුතුය. මම නැවතත් අගුල කරකවා බැලූවේ එක අගුළු වැටී ඇතිද කියායි. එසේය. එය මැනවින් අගුලු වැටී ඇත. මම නැවතත් කණ්ණාඩිය අබියස.

මුලින්ම මම කරාඹු ජෝඩුව ගැලවීමි. මගේම කන් පෙත්තේ සුමුදු බව මට දැනුණි. කනේ හිල මදක් උස්වී ගැටියක් සෑදී ඇත. මෙය කියන අවස්ථාවේදී... දැනුදු මම මගේ කන් පෙත්ත ඇල්ලීමි.  නිරුවත් කන් පෙත්තේ එම සිදුර ඇති තැන මට දැනේ...
එය කවර පාට වන්නට ඇත්දැයි මම කල්පනා කරමි. මගේ මතකයට කිසිවක් නිවැරදිව ඇතුළු නොවන්නේදැයි මට වඩාත් බියක් දැනෙන්නේ මෙලෙස සීමාවෙන් ඔබ්බට කල්පනා කරන විට විය යුතුය. එහෙයින් මම සිමාවක් තබා ගමි. මම ඔබට කියන මේ කථාන්දරය කියන්නේ එම සීමාවේ සිටයි.

කන් පෙත්තේ ඉහළ මද සීතලක මා ඇඟිලි තුඩු දැවටේ. ඔබගේ කන් පෙතිද එසේ වනු ඇත. මේ මූර්තියට එම සීතලද එක් කළ හැකිනම් මා කෙතරම් අපූරු කලාකාරිණියක වනු ඇත්ද....? භෞතිකත්වයට ආරෝපණය නොවන  ඇතැම් ගුණයන් සගවාලීමට තරම් කලා කෘති එක්තරා මට්ටමක අජීව ගුණයකින් පිරීම මා මනස විඩාවෙන් පුරවන්නකි. කෙරරම් එළවූවද රූං කියා පැමිණ මා ගතෙහි වසා අනවසරයෙන් ලේ බොන මදුරුවෙක් කෙරෙහි ඇති වන නුරුස්නා ගතියම ඒ වේලාවන්හි මට මගේ කෘති කෙරෙහි ඇතිවේ. කෙතරම් තැත් දැරූවද අප සිරුරේ ඇතැම් ස්ථානයක්හි පවතින උණුසුම සිසිල ඒ ආකාරයෙන් කලා කෘතියකට දිය නොහැක. එහෙයින් සියල්ලෙන් අංග සම්පූර්ණ වූත් පරිපූර්ණ නිර්මාණයක් කිරීමේ මගේ වෑයට සැම විටම නිරර්ථක උත්සාහයක් පමණකැයි නිරන්තරයෙන් මා සිතේ පැල් බැද ඇති සිතිවිල්ල මකාලීමට කිසිවකුගේ ඇගයීමක් සමත් නොවේ.

දෙවන පියවර වන්නේ රාත්‍රී ඇඳුම උරහිසෙන් පන්නා දැමීමයි. එය නිල් පැහැති විය යුතුය. මීට වසර ගණනාවකට පෙර මම මැහුම් පංති ගිය සමයේ මාතින් මැහුණු ඇදුම එයයි. පාන්කඩ තරමටම දිය නොවුණත් එහි ඇති සැපපහසු බව නිසාම මම තවමත් එය අඳිමි. සිහින් හිරියක් ඇ පුරා වද්දමින් එය බිම වැටෙණු මට දැණිනි. අන්න එම හිරියද මාතින් නිමවෙන මූර්තියට ආදේශ කිරීමට මට තදබල උවමනාවක් විය. කැඩපතේ මාගේ සම්පූර්ණ නිරුවත් දේහය නිරූපණය වනු ඇත. එය පෙර පරිදිම රතු දුඹුරු පැහැයට හුරු කෙස සිරුරමදැයි බලා ගැන්මට ඇත්නම්.... කල්ප ගණනක හිරු එළිය ඇ නොවැදි නිසා දැන් මගේ සිරුර මළාණික පැහැයක් ගෙන තිබේනම් එය පුදුමයක් නොවනු ඇත. නමුත් තවමත් එදාද මම ආශා කළ මගේ සිරුරේ රැඳි සිහින් සිසිලස මට දැනේ.... පෙරදීද මා කල්පනා කළේ පිරිමින් මේ මද සිසිලසට ආශා කරන්නේද නැතිනම් කාන්තා සිරුරෙන් විහිදෙන රශ්මියට ආශා කරන්නේද යන්නයි. කෙසේ වෙතත් ඇතැම් දිනෙක බසයේ යනෙන විට වුව මා අසල හි ගන්නා ගැහැණියකගේ සිරුරෙන් විහිදෙන උශ්ණත්වයේ ප්‍රමාණය මැනීමට මම පෙරදී පුරුදු වී සිටියෙමි. ඇතැමුන්ගෙන් මගේ හමට දැනෙන්නේ හැගීම් අකුළුවන සුළු වූ රස්නයකි. තවත් එකියකගේ සිරුර දවස පුරා දමන ලද දහඩියෙන් තැම්බී අපුල ස්පර්ශයක් දනවන්නේය. එවැනියන් ළ යාමට වූ කල්හි මම වඩ වඩාත් පසුබා යමි. හැකිතරම් එවැන්නියන්ගෙන් දුරස් වෙමි. මනුෂ්‍යයෙකු තවත් මනුෂ්‍යයෙකුට බැඳීමට ස්පර්ශයද ප්‍රධාන සාධකයක් වී යැයි මම තිතර සිතුවෙමි. තවත් ඇතැම් දිනයක ප්‍රියදායක උණුසුමක් ගත රවාගත් තැනැත්තියන් මට හමු වේ. මද පමණට උණුසුමද, සිසිලද කැටිවූ එම සිරුරු කෙතරම් ප්‍රියජනකදැයි මම නැවත නැවත කල්පනා කරමි.

ශාලාව පුරා මහ ගෝශාවක් නැතත් හින් මුණු මුණුවක් සවන් පිටුපසින් මට ඇසේ. රාත්‍රිය වුවද විදුලි බල්බ රැසක් දල්වා ඇති සෙයකි. ඒ වෙනස මගේ ඇස් දෙකටද දැනේ... නිවෙන දැල්වෙන ලෝකයක්... ලෝකය මහ වේගෙන් කැරකී දහවල රැය ක්ෂණයෙන් වෙනස් වන්නා සේ මට දැනේ. සම්මාන ප්‍රධානෝත්සවයට පැමිණීම මම කළ මහත් මෝඩකමක් සේද ආපසු හැරී යා නොහැකි බාධකයක් සේද මට දැනේ. ප්‍රශංසාවට යටින් හිස ඔසවන්නේ අනුකම්පාවද, අනුකම්පාවද, අනුකම්පාවද......... දසහක් නෙත් මා වෙත හැරී තිබෙනු ඇත. දහයක් දොළහක් කැමරා කාච සිය දහස් ගුණයක් විශාලනය වී පෙනෙන මැස්සෙකුගේ ඇසක් මෙන් මා වෙත මේ මොහොතේත් එල්ල වි තිබෙනු ඇත.... කාගෙන් අසන්නද? මේ රැඟුම අවසන් වන තෙක් සිනහව මුවේ අලවාගෙන සිටිය යුතුව ඇත. අනේ මෙහෙමත් වධ බන්ධනයක්.

මම කණ්ණාඩිය ඉදිරිපස පූර්ණ නිර්වස්ත්‍රයෙන්... සරළව කීවොත් අව්‍යාජ මනුෂ්‍ය ප්‍රාණියෙකු සේ දිස් වනු ඇත. මම ඇඟිලිතුඩු ගෙනයමි. මුළින්ම මගේ නළල.... එහි මතුවී ඇති කුඩා බිබිළි කිහිපයක් මගේ ඇඟිලි තුඩගට දැනේ. කාලයකින් හැඩට නොකැපූ ඇහි බැමි... උස්වී දැනෙන ලලාටයේ කෙළවර... මම කෙට්ටු වී ඇති සෙයකි. තරමක් ගිළුණු කොපුල් තලට එයට සාක්ෂි තබයි. සෑදිය යුත්තේ ගෙල පසෙකට හරවා තරමක් උඩ බලා සිටින රූපයකි. මම ගෙල හරවා බිත්තියත් වහළයත් අතර ඇති දාරය හිතින් නිශ්චය කරගෙන බලමි. මගේ ඇිලි තුඩු ගෙල දිගේ පහළට... පහළට... ඒවා ගෙලත් උරහිසත් හරි මැද ඒ වල ගැසෙන කොටසේ නතර වෙයි. ඉංග්‍රීසි හෝඩියේ වි අකුරුති හැඩයක් මගේ ගෙල මුල මතුවේ.... පෙර කාලයට වඩා ගැඹුරින්... ඔහු සිඹින විට මගේ ගෙලේ කිතිය ඇති කළේ මෙතනික් නොව ගෙල පිටුපසිනි. ඔහු එය මැනවින් දනියි. මා තරහ ගත් කළ මා අස්වසන්නට ඔහුගේ පළමු උපක්‍රමය මගේ ගෙල සිඹීම වූයේ ඒ අයුරිනි. මගේ නොරිස්සුම පිට මගේ අකමැත්තෙන් මුලදී සිදු කළ එය, ඒ දෙතොලේ පහසත් සමග පසුව බල කර සිප ගැන්මකට ඔහුව පොළඹවාලීමට මා සිත යොමු කරවන්නකි. ඇකිළෙන උරහිස් සමග ගෙල මුල ගැඹුරු ආවාටය එහිදි තව තවත් වල ගැසේ.... මුව තරමක් විවර වේ... දෙනෙත් නිරායාසයෙන්ම අඩවන් වේ... මූර්තිය සදහා සුදුසුම ඉරියව්ව මේ යැයි මට සිතේ....

මම මගේම අතැඟිලි මගේ සිරුරේ තව තවත් පහළට ගෙනයමි. තරමක් මතුවී ඇති පයෝධර අග තන පුඩු පීදී ඇත්තේ නිකම්ම නිකන් සීතලටය. අවුරුද්දේ සෑම දිනම ඒවා පවතිත්නේ දැඩි නින්දක වාගේය. හදිසි සිතලකදී නෑමෙන් අනතුරුව පමණක් ඒව පණ ගසා දෑස් හැර බලන උදේ පිපෙන්නට ආසන්න මල් කැකැළු සේ පිබිදීමකට පත් වේ. මම... සිරුරේ මගේ ලැමේ පවත්නා උණුහුම හදුනාගමි... මගේ අතැගිලි වලින්ම..... දකුණත වම් පියයුර මත තබා මගේම හෘදයේ නාදය දැනෙන්නේදැයි බැලිමි. නැත. එය නැවතිලාවත්ද.

මම මගේ සිරුරේ මිම්ම ගතිමි.... තරමක් පෑදුණු ඉල ඇට ඇඟිලි තුඩගට හසුවේ. එම අවස්ථාව හිතේ ඇදෙන මේ මොහෝතේ නැවතත් මම ඇඳුමට උඩින් ලැමට පහළින් අතක් ගෙනයමි. ඉල ඇට නිවැරදිව ගණන් කළ හැකි තරමට මා කෘෂ වී ඇත. එදා ඇදුමෙන් තොර මගේ සිරුර පුරා දෑත ඇවිද්දවූ වේලෙහි පූර්වයේ සිටි මම කෙබදුදැයි මම නැවත සිතින් ඇ ගතිමි. හීන්දෑරි සිරුරකින් යුතු මම දකිය කවුරුත් එළඹෙන පොදු නිගමනයෙන් යුතු වූවෙමි... ''කෙට්ටු මොකෝ ළමයෝ ඔච්චර''. මගේ ඇඟිලි තුළින් අද මමම උත්තේජනයක් ලබමි. අදෘශ්‍යමාන හාදුවේ මූර්තිය සඳහා.....

වේදීකාවෙන් නිකුත් වූ මගේම නාමය මගේ සවන් තුළ තැවත නැවතත් දෝංකාර නංවනවා සේය. නාදය පිට වූයේ වේදිකාවෙන් වුවද පසෙකින් ඇති ස්පීකරය මගේ කන් හාරා එම වචන කීපය මගේ මොළයට ඇතුල් කරණු මට දැණිනි. 'එන්න මිස්' මා වේදිකාවට කැවාගෙන යාමට පැමිණි දැරියගේ කටහඩ සමග සීතල මෙලෙක් අතත් මා අත ගනු මට දැණීනි. අමතකව තිබූ සිනහව ආයාසයෙන් ගෙන මම නැවත මුහුණ මත එය ඇ ගතිමි. උපතින්ම අන්ධ වූවානම් එය වඩාත් පහසුවකැයි මට සිතේ. මන්ද, එවිට සිනහව දුක සැනසුම වේදනාව වැනි දහසකුත් හැගීම් ඒ ඒ අවස්ථාවන්හි මුහුණේ ඇ ගැනීමට තරම් අවබෝධයක් එවිට නොලැබෙන නිසාවෙනි. ඇඳුම පිළිවෙලට ඇත්දැයි මම නොදනිමි. පැය ගණනක් එකම ඉරියව්වෙන් ඉඳ සිටින්නට සිදුවීමේ වධ බන්ධනයෙන් පසු දැන් ඇදුම සිසීගක වී ඇත්දැයි නොදනිමි... සමහරවිට එය පිටුපසින් තැලී පොඩිවී හපයක් වී ඇතිවා විය හැකිය. දැන් කරන්නට දෙයක් නැත. මට නොපෙනුනද මා පසුපස සිටින මහත් ප්‍රේක්ෂක ජනයාට මගේ සෑම ඉරියව්වක්ම පෙනෙනු ඇත. අඩුගානේ දහඩිය පිසගැනීමට හෝ ඉවක් නැත. කනවැල අල්ලාගෙන යන ඇය පසුපස මම වේදිකාවට නගිමි.

මූර්තිය සදහා පදම්කරගත් මැට්ට තැබූ ලෑල්ල අසල මම ඉදගතිමි. නැවත මගේ ඇඟිලි මගේ මුහුණ හරහා දිවවීමි. මෙය ඉතා පහසුය... මගේ මිම්ම මගේ ඇඟිලි වලින්ම ගැනීම.... තෙත්කරගත් දෑත පදම්කළ මැට්ටේ රඳවා මූලික හිසේ ආකෘතිය ගොඩනගමි. අම්මා මා කුඩා කළ එසේ මාව අඹන්නට ඇත. පුංචි නහය මුක්කන් විය නොදී රැහැයියකු සේ මා හඩනා විටදී මගේ නාසය ඇගේ දෑඟිල්ලෙන් උස් කරන්නට ඇත. නළල පිටුපසට තල්ලු කරන්නට ඇත. කන් පෙති දිගට අදින්නට ඇත. මා හඩනා හඬ පරදා මට තොදොල් බස් කියමින් මා හුරතල් කරන්නට ඇත. දැන් මම මැයව අඹමි. අදෘශ්‍යමාන හාදුවෙන් පිබිදුණු ඇයගේ රූපය මම මැටි පිඩට කැටි කරමි. ඇය නාඬන්නීය. අතන මෙතන ඇද යැයි මැසිවිලි නොකියන්නීය. මට එරෙහිව සුසුමකදු නොහෙළන්නිය.

මම නැවත මැටි මිශ්‍රිත දෑත මා මුහුණේ ඇවිද්දවමි. මගේ ගෙල සහ මුහුණ පැත්තකට ඇල කර හිස මදක් ඔසවා දෑස් අඩවන් කර මුව මදක් විවර කර මම ඇය වෙමි.... නැතහොත් ඇයව මම කරමි... දශමයෙන් දශමය මම මගේ මුහුණේ මිම්ම ගමි.... හකුළාගත් උරහිස් අහේතුකව මට හිරියක් ඇති කරයි. මම ඒ රසය විදගමි. මගේ දෑත් මගේ සිරුර පුරා ඇවිද්දවමි... හෙමින්... දැනෙන නොදැනෙන වේගයෙන්.

තෙත් තොල්පෙති, හිරියෙන් විකසිත වුණ සිරුරේ උණුහුම ඒ ආකාරයෙන්ම මගේ මූර්තියට ඔබ්බවාලීමට හැකිනම්... ඒ හැඟුම් නොමැති මේ මූර්තියෙන් කවර පලයක්ද? ඇය උරහිස් හකුලා ගෙල පසෙකට හරවා හිස මදක් උස් කර අඩවන් දෑසින් සහ මදක් විවර වූ දෙතොලින් යුතුව බලා සිටින්නීය. ඇගේ දෑත් කතිර හැඩයට ලැම හරහා රැඳී ඇත. එක් අතක මෑත් වුණු ඇඟිලි දෙකක් අතරින් ඇගේ තනපුඩුට ඔබ දෙස බලා සිටිනු ඔබට පෙනෙනු ඇත. ඇය... අදෘශමාන හාදුවේ හිරියෙන් පිබිදී සිටින්නීය. මම මැටි වැකුණු මගේ නිරුවත් සිරුර තෙත රෙදි කැබැල්ලෙන් පිසදා ගනිමි. සිහින් වැලි කැට මගේ සම සිහින් සීරුම් තලමින් රටා මවයි.

වේදිකාව වෙත මා නගින මේ මොහොතේ කන් බිහිරි කරවන අත්පොලසන් නාදය මගේ පිටුපසින් ඇසේ. එය සැබැවින්ම මාගේ කලාකෘතියේ විශිෂ්ටත්වය උදෙසා ගැසෙන්නක්ද? මගේ දුර්වලතාවයට ගැසෙන්නක්ද? මා කෙරෙහි උපන් අනුකම්පාවෙන් ගැසෙන්නක්ද? කෙසේ වුව ඒ අත්පොළසනේ මාගේ ආබාධිත බව වෙනුවෙන් සියයට අසූවක පමණ බරක් ගැබ් වී ඇති බව මට හැ‍ඟේ. කෙනෙකු මා උදෙසා කථා කරන වචනයක් වචනයක් පාසා ගැබ් වු ඒ බර, ඒ අනුකම්පාව මම හඳුනමි. දෑස් පෙනුනානම් මේ සම්මානය මෙලෙසින්ම අද මට ලැබේවිද...? මා වෙව්ලා යන පැනය එයයි. සැබැවින්ම කලාකාරිනියක විශයෙහි මා සමතෙක්ද? නැතහොතු හුදු මායාමය ප්‍රසාදයක්... අනුකම්පාවක් පිණිස මෙම සම්මානය මවෙත පුදන්නේද?

මහත් ප්‍රශංසාවකි. මයික්‍රෆෝනය බෙරිහන්දී කියන්නේ මා ගැන අනුකම්පා කරන්නට කියාද? 'මැය වැනි දිරිය කාන්තාවන් රටට අවැසි යුගයකි...' ඒ මා වෙත අනුකම්පාවේ සහතිකය පිළිගන්වන ආකාරයද? මා සැබැවින්ම සාර්ථක වන්නේ ඇගේ කන් පෙත්තේ, පයෝධර තුඩග රැඳුණු සීතල දෙනෙත් යට ගිලුණු උණුහුම ඒ ආකාරයෙන් දිය හැකි වූ විට පමණක් බව මොවුන් වටහා තොගත් හැටි. මේ සම්මානය කවරක් සඳහාද? මහත් අත්පොළසනක්.....
මට එය දැනුණි. එය සිතලය. මැට්ටෙන් මා ඇඹූ ගැහැණිය තුළ තිබූ ඒකාකාර සිතල නොවෙයි මේ සම්මානය තුළ කැටි වූයේ. එය කවර පාටදැයි බලාගැන්මට ඇත්තම්.

Comments
22 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

22 comments:

  1. මේ සම්මානය කවරක් සඳහාද?ඔබ මෙසේ අපෙන් ඇසුවා.අප කුමක් කියම්ද‚ඔබට මෙම සම්මානය ලැබෙන්නේ කිසිවකු නොකළ දෙයක් ඔබ කළ නිසාවෙනි!සිතල අතට දැනේනම් පාටින් ඇති ඵලය කිම?

    ReplyDelete
    Replies
    1. හ්ම්....... එක අතකින් අනුකම්පාව අත් ‍නොහැරිය හැකි ‍ලෝකයක ආත්මපරාජය උ‍දෙසා පසුතැ‍වෙනවාට වඩා ‍දෙන ‍දේ බාර‍ගෙන ප‍සෙකට වීම ‍හොදයි... නැත්නම් දුක ඒ පුද්ගලයාටමයි....

      Delete
  2. අපූර්ව නිර්මානයක්නේ අදමද මන්දා මේ පැත්තට ආවේ හරිම සුන්දරයි හරවත් මං ආසයි.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ‍බො‍හොම ස්තූතියි... මමත් ‍මේ දැන් ඔ‍බේ අඩවියට ‍ගොඩවැදිලා ආ‍වෙ... එයත් හරිම හරවත් බව දුටුවා... :)

      Delete
  3. ගොඩක් සුන්දරයි සිත්තරියේ ....
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලු‍වේ............

      Delete
  4. Replies
    1. ලෝකයම අමුතුයි මටනම් :)

      Delete
  5. විටෙක ඔබ අඳින සිතුවමක් වර්ණ ගැන්වෙන්නේ කෙසේද, ඒහා සමානවත්, විටෙක යම් මූර්ති ශිල්පියෙකු විසින් තෙත මැටි පිඩක් ගෙන නිමවන ඇඹුමත්,වඩුවෙක් විසින් හිතේ මවාගෙන කරන කැටයමත් කලා කෘතියක හැඩය ගන්නේ ඔහු හෝ ඇය තුළ ඇති නිසග කලාහැකියාව සිය ජීවන අරගලයට මිහ්‍ර කිරීමෙනි.

    ඔබ තෙලිතුඩින් කරන සිතුවම සේම අක්ෂරයෙන් වරණ ගන්වන මෙවන් සිතුවිලි ද සිතුවම් බඳුය.සිත්තරී... ඔබට ඇත්තේ අසාමාන්‍ය වු කලාත්මක හැකියාවකි. එය සිතුවමකින් සේම අක්ෂරවලින්ද මම බොහෝවිට දැක ඇත්තෙමි.

    ඒහැකියාවට ගෞරවය පුද කරනු විනා වෙන කුමක් කියන්නද

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි
      මම කැමතියි මගෙන් ඔබ දකිව අඩුපාඩු ඇතොත් ඒවත් දැනගන්න... මොකද මම ආකෘතියක ඉදල නෙවෙයි නිර්මාණ කරන්නෙ.. සමහර විට නොගැලපීම් බොහෝ ඇති. කියවන්නාට හසුවන....
      ඒ ගැනත් මට කියා දෙනවානම් සතුටුයි ප්‍රශංසාවට වඩා... :)

      Delete
  6. ලිංගිකත්වය තුල ඇති ආට් එක කලාව අපුර්ව විදියට ඉදිරිපත් කරලා තියනවා මිටත් වැඩිය හොදට සිමං ට ලියන්න පුළුවන් ඉදරියට සුබ පතනවා මේකේ සමහර තැන් පිරිමියෙක් වෙච්ච මගෙත් සිතුවිලිවලට බලපෑමක් ඇති කරන්න පුළුවන් උනා එක උත්තේජනයක් කිව්වොත් හරි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාරයා හැකියාවන් වර්ධනය කරගන්න උත්සාහ කරනවා.... ඔබේ අදහස් මට ගොඩක් වටිනවා...

      Delete
  7. කාලෙකින් කියවපු අපුරුවතම ලිපියක් ම්ම්ම් විශිශ්ටයි ජය,

    ReplyDelete
  8. අපුරුයි සිත්තරී.. එකම සිද්දියක් ඔස්සේ මාතෘකා හුඟාක් කතා කරලා..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මී ගොඩයා.....

      Delete
  9. eka marama marama marai akka,,,,,,,,,,,,,,,,,,,,,mara lassanai,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    (Y) superb ...........

    ReplyDelete
  10. "මම නැවත දොර අසළට ගියෙමි. නැවතත් වරක්... මතක හැටියට ඒ සිව් වන වතාව විය යුතුය. මම නැවතත් අගුල කරකවා බැලූවේ එක අගුළු වැටී ඇතිද කියායි. එසේය. එය මැනවින් අගුලු වැටී ඇත" -

    දොර අගුලු වැටිලා තිබ්බට අපි ඔයාගේ නිරුවත් හදවත් දැක්කා ඈ ... සුබ පතනවා

    ReplyDelete

 
There was an error in this gadget