Monday, January 14, 2013

කෝෂය




මං හිමින් හිමින් තටු දිගහැරියා. මුලින්ම ගොඩක් හෙමින් පුංචි උත්සහයක් ගත්තා එකට ඇලවිලා තිබුණු තටු හරි පරිස්සමින් ඈත් කරගන්න. හිරි වැටිලා වගේ ගතියක් මට දැනුණේ. ඇත්තටම හිරි වැටිල වගේ නෙවෙයි. හිරි වැටිල තමයි. කෝෂෙ ඇතුළට වෙලා සෑහෙන කලක් හිටියා. දැනුණ විදිහට අවුරුදු ගණනාවක්. පුංචි කෝෂයක් ඇතුළෙ. ඇත්තටම බැලුවොත් කියන්න පුළුවන් තත්පර ගණනක් කියලා. ඒත් දන්නවද, පුංචි කෝෂයක් ඇතුළෙ හිරපට්ටමේ එකම විදිහට ඉද්දි දැනෙන්නෙ මොන වගේද කියලා? ඒ වගේම ඒ කෝෂෙ ඇතුළෙම ටිකින් ටික මාව විශාල වෙද්දි... හිතනවද හරි සනිපයි කියලා? ඩිංගක්වත් එහාට මෙහාට වෙන්න බැරිව එකම ඉරියව්වෙන් එකම විදිහට ඉන්න අතරෙ ඔන්න මාවත් ටිකින් ටික ලොකු වෙනවා. මට දැනෙනවා මාව ප්‍රසාරණය වෙනව වගේ.... මාව ඇදෙනවා වගේ. කවදහරි බිත්තර සාරු මූණෙ ගාලා
ඒක වේලෙන්න ඇරල තියෙනවද? එහෙම කරල නැත්නම් කරල බලන්නකො. බිත්තර සාරු වේලෙද්දි ඔන්න ටිකින් ටික මූණ උඩ තියන ආලේපෙ ඇකිළෙනවා වගේ දැණෙනවා. එතකොට ඒක තැවරුණ අපේ හම ඒ ඇකිළුමට විරුද්දව ඇදෙනවා ඇදෙනවා වගේ දැණෙනවා. හරියට ඇකිළිලා හිටපු මම මගේ කැමැත්තට විරුද්ධව බලෙන් දිගාදිනවා වගේ දෙයක්. ඉතිං එහෙමයි මේ කෝෂෙ ඇතුළෙ ජීවිතේ.

ඔවු..... කවුරුහරි කියයි මේ කෝෂය හදාගත්තෙත් මමය කියලා. ඉතිං මං ඒක බලෙන් හදාගත්තද? කවුරුත් මට බල කළාද උඹ කෝෂයක් හදන් ඒක ඇතුළට වෙලා ඉඳපන් කියලා? කවුරුහරි කෝෂයක් හදලා, හා හා දැන් පල ඇතුළට කියලා මාව බලෙන් රිගෙවුවද? නැ තමයි. ඒත් මම දහාගත්තු කෝෂයකුත් නෑ. ඒක හරියට උදේට ඉර පායලා හවසට බැහැල යනවා වගේ. ඉරට කවුරුත් කියනවද, දැන් හරි වෙලාව පායපං කියලා? දැන් අහසට වෙලා විරිත්තන් හිටිය ඇති බැහැල පලයන් කියලා? කවුරු කීවත් නොකීවත් ඒක වෙනවා. ඉබේම වෙනවා. ඕක නැගෙනවද බහිනවද කියලා කවුරුත් බලං ඉන්න එකක්යැ. දවල් රෑ වෙන බව, දවල් කියන්නේ වැඩ කරන කාලය බව, රෑ කියන්නෙ විවේකී කාලය බව කවුරුත් අමුතුවෙන් කියාදෙනවද? නැනෙ. ඔන්න ඔහේ පුරුද්දට ඉගෙනගන්නව. ඉගෙනගන්නවමත් නෙවේ. හුරුවට කෙරෙනවා.

හුරුව................. හුරුව කියන්නෙ නිකන් ඔහේ වෙන දෙයක්නෙ. ඉතිං ඒ වගේම තමයි මගේ කෝෂයත්. කාලයක් ගියා. මං ඉතිං කෝෂෙ ඇතුළෙ. ඇයි මං කෝෂෙ ඇතුළට ආවෙ? කෝෂෙ ඇතුළෙට එනකනුත්, මේ වෙනකනුත් මං දන්නේ නැහැ. අර ඉර පෑවුවා වගේ ඔහේ වෙච්ච දෙයක් තමයි ඒක. කෝෂයක් හැදුනෙ නැත්නම්...... ඒකත් හරියට ඉර පෑවුවෙ නෑ වගේ. දැන් බැරි වෙලාවත් එක දවසක් හරි ඉර පායන් නැතිව තිබුණොත් කාට හරි පුළුවන්ද ඉර හොයාගෙන එන්න. ළමයෙක් ඉස්කෝලෙ වැඩ කරල තිබුණෙ නැත්නම් අම්ම කෙනෙක් එයාගෙ කනෙන් ඇදගෙන ඇවිත් හරි කියාවි වැඩ කරපන් කියලා. ඉරත් ඒ වගේ කනෙන් ඇදගෙන ඇවිත් හා දැන් අහසට වෙලා බැබලි බැබලි හිටු කියන්න පුළුවන්ද? පෑවුවෙ නැත්නම් නෑම තමයි. ඉතිං හැමෝම දන්නවනෙ ඉර පායන් නැතිව තියෙන් නැති බව. කොටින්ම කීවොත් පායන්න ඕන බව ඉරට අමතක වෙන්නෙ නැති බව. ඉතිං මගෙ කෝෂෙත් අන්න ඒ වගේ. හැදෙන්න ඕන කියලා කෝෂෙට අමතක වෙන්නේ නැතිව ඇති. ඒ නිසා හැදෙනව ඇති.

මම ඉතිං පටන් ගත්තෙ මැදින්නෙ. මං දැන් මුලට යන්නම්. මම සාමාන්‍යයෙන් පුරුද්දක් හැටියට එක පෙළට කියන් නෑ. ඒක හරියට අර වාක්‍යයක උක්ත ආක්‍යාත අරව මේවා ගලපනවා වගේත් නෙවෙයි. පිලිගත් මුලධර්ම කොහේ තිබුණත් හරියට තියෙන්න ඕන කියනව වගේ නැහැ මම කතා කියද්දි. කැමතිනම් කියවගෙන යන්න පුළුවන්. කැමතිනම් ගලපගන්න පුළුවන්. බැ වගේ හිතෙනවනම් කියවන එක අත් හැරල දාලා තමන්ගෙ වැඩක් කරගන්න පුළුවන්. කොහොමත් ඉතිං කවුරුත් කැමති නැනෙ හිතට වෙහෙසක් දෙන වැඩ වලම එල්ලිලා ඉන්න. පුංචි කාලෙ ඉඳලම අපි ඉගෙනගත්තෙ, ඔන්න පුතේ එකෝමත් එක රටක ලස්සන කුමාරිකාවක් හිටියා...... කියලා කවුරුත් දන්න උදාරම් වැකිය කියෝලනෙ. කතා දෙක තුනක් කියද්දි පොඩි එකා වුණත් දන්නව කතාව පටන්ගෙන පැවතිලා ඉවර වෙන විදිහ. ඔන්න ඉතිං ඒ විදිහට ඉගෙන ගන්න අපේ එව්වො ලොකු වුණාම කතා ලියනවා. එකෝමත් එක රටක විත්තිය..... දන්නෙම නැතිව එකම අච්චුවකට වෙනස් කරපු නම් ගම් ටිකක් දාලා එකම හොද්ද හදනවා. දැන් අහන්න එපා මට අර කතා ගැන කීවෙ කවුද කියලා. හරි, මම කිය කිය හිටියෙ මගේ කතාව ගැනනෙ.

ආ..., මගේ තටු දෙක....... නෑ නෑ හකරක් තියෙනවා. කොහොම හරි ඒව මට ඕන විදිහට තියෙනවා. ටිකින් ටික හිරිය ගිහින් වගේ. ආඩම්බර වෙන්න ඕනද කියලා මම ටිකක් කලාපනා කරන්න ඕන. මට ඕන විදිහ මොකද්ද කියලා මම ආයෙම කල්පනා කරන්න ඕන. මම කලින් මෙහෙම තට්ටක් ගැන හිතන් හිටියෙ නැහැ. හීනෙකින්වත්..... නෑ එහෙම කියන්නත් බෑ. හීන ගැන කියද්දි මම ආයෙ හිතන්න වෙනවා හීන කියන ජාතියක් මම දැක්කද කියලා. සමහරු හීන දකිනවා. සමහරු හීන බලනවා. සමහරුන්ට හීන පෙනෙනවා. දවසක් මුළු සභාවක් ඉස්සරහ කෙනෙක් කීවා එයාට පාට පාට හීන පෙනෙන බව... මේ අත්තෙ ඉද්දිම. මම කීවා හීන පාට පාට නැහැ, මට පෙනෙන්නෙ කළු සුදු හීන බව. අර මුලින් කී කෙනා තර්ක කළා හීන පාට පාටම බව. සභාවෙ කොටසක් මේ තර්කෙට එකතු වුණා. දෙපිලක් බෙදුණා. දෙපිල මොකද්ද කියල ඉතිං හිතාගන්න පුළුවන්නෙ. ඒකත් මොකටද මම ඇඟිල්ලෙන් ඇනලම කියන්නෙ. ඉතිං එදා තර්කෙ දිග්ගැස්සුනා හීන ගැන. උත්තරයක් තිබුණෙ නෑ. පස්සෙ කාලෙක මම දැනගත්තා හීන සමහරුන්ට පාට පාටිනුත්, සමහරුන්ට කළු සුදුවෙනුත් පෙනෙනවාය කියලා. ඉතිං මං අයිති ගනයත් හිතාගන්න පුළුවන්නෙ. දැන් මම දන්නවා ඔයාලත් හිතාගන්න ඇති ඔයාලා අයිති ගනය ගැන. දැන් ඉතිං මෙහෙම කල්පනා කරද්දි මමත් හීන දැකල තියනව නේද කියලා හිතෙනවා. බලන්න ඉතිං පුද්ගලයින්ගෙ වචනත් වෙනස් වෙන විදිහ. සිතිවිලි වෙනස් වෙන විදිහ.

මම අත්තටු දෙක ගසන ගමන් මේ. ගසනව කීවට ටිකක් හොලවලා බලනවා. තවම මම දන්නෙ නැ මට පියාඹන්න පුළුවන්ද කියලා. අත්තටු තිබුණ පලියට පියාඹන්න පුළුවන්ද? කල්පනා කරන්න කලාන් මම උත්සහයක්වත් දරන්න එපැයි. පීනන්න ඉගෙනගන්න වතුරට බහින්න ඕන කියන කතාව මම මෙතෙන්ට ගන්නෙ නැහැ.... කිවත් මම ඔන්න ඒකත් මෙතන කියලා. තටු දෙකක් තියන නිසා මට පියාඹන්න පුළුවන් ඇති. ඒත් මම ඒකට ඒ තරම් හදිස්සි වෙන්නෙ නැහැ. මං දන්නවා මුල අහගන්න ඔයාලා කැමැත්තෙන් ඉන්නවා කියලා.

ඒ කාලෙ මං හිටියෙ කෝෂයක් ඇතුළෙ නෙවෙයි. කෝෂෙ වෙනුවට මම හිටියෙ බිත්තරේක. මගේ ඇඟ පුරාම මාවම හැදෙන සාරුව තැවරිලා තිබුණා. ඒ සාරුවට ඕන විදිහටයි මාව හැදුණෙ. මට ඕන විදිහට නෙවෙයි. දන්නවනෙ ඉතිං, අලියෙක්ගෙ බඩින් හාල්මැස්සෙක් එන්නෙ නැනෙ උගේ පැටියා විදිහට. බඩේ ඉන්න එකාට වෙන ජාතියේ සතෙක් වෙන්න ඕන උණත් ඌ එළියට එන්නෙ අලිපැටියෙක් විදිහටම විතරයි. ඔන්න බලන් ඉන්න අයට ඌ කුරුළු පැටියෙක්, සමහරවිට සැලලිහිනි පැටියෙක් කියලා හිතාගන්න ඕන වුණොත්, කිසි භාදාවක් නැ එහෙම හිතාගන්න පුළුවන්. අලිපැටියට සැලී සැලී සැලී කියලා කතා කරන්න පුළුවන්. ඒත් ජීව විද්‍යාත්මකව බැලුවොත් ඌ තවත් එක අලිපැටියෙක්ම විතරයි. හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. පණුවෙක් කියන්න බැහැනෙ. එහෙම කීවොත් කැතයිනෙ. ඉතිං මං දැළඹුවා කියලා කියන්නම්. මම ඔන්න බිත්තරේ ඇතුළෙ හැදුණෙ දැළඹුවෙක් විදිහට. බූල් පිරුණු පාට පාට ලස්සන තිත් වැටුණු දැළඹුවෙක්නම් නෙවෙයි. නිකම්ම නිකන් දැළඹුවෙක් විදිහට. හැබැයි මගේ අම්මා දැළඹුවෙක්ද? සමහරවිට අම්මට ඕන වෙන්නත් නැතිව ඇති එයාගෙ බිත්තරෙන් තටු නැති දැළඹුවෙක් එළියට එනවා දකින්න. දකින්න ඕන වුණත් නැතත් ඒක දකින්නවත් එයා මම එළියට එද්දි ළඟ හිටියෙ නැහැ. ඉතිං ප්‍රශ්නයක් නැහැ. ගැටුමක් නැහැ. බිත්තරේට ඕන එකාව බිත්තරේට ඕන විදිහට දැළඹුවෙක් කරන්න මිසක් බිත්තරේ දාපු එකාට ඕන විදිහේ එකෙක් කරන්න නෙවෙයි. තීරණය බිත්තරේ සතුයි.

මට පෙනෙනවා මගේ අත්තටු දිලිසෙන හැටි. ඉර එළියට පුංචි පුංචි දිස්න විහිදෙනවා... තටු හෙලවෙන තාලෙට. මං කීවෙ නැ නේද මගේ අත් තුටු වල හැටි. මං දැනන් හිටියෙත් නෑ. මං දිහාම ටිකක් හැරිල බලද්දියි මමත් දැක්කෙ. කණ්නාඩියකින් බලනව වගේනම් නෙවෙයි. බෙල්ල කරකවලා ඇටත් ඇහැටත් නුහුරු කෝණයකින් උඩ බලද්දි සෑහෙන්න අමාරුයි. මුල කොටස කට සම්බන්ධ වුණු අග කොටස අහසට එසවුණු අත් තටු දෙකක්. ඒ පිටිපස්සෙන් තවත් දෙකක්.... ඒකනම් මම දැක්කෙ නැහැ. මගේ ඇගේම තවත් කොටසක් තියෙන බව මට දැනුණා එහාට මෙහාට තටු හොල්ලද්දි. ඉතිං දිස්න විහිදෙන තද නිල් පාට නිදැල්ලේ යන ඉරි රටාව අතරට දම් පාටට හුරු තද රෝස පාට තිත් ඉහිලා.... කළු පාට පසුබිමේ. සමහරවිට.... නෑ නෑ බොහෝ දරට මට ආඩම්බර වෙන්න පුළුවනි.

ආඩම්බරය..... අද වෙනකන් ඒක අවශ්‍ය දෙයක් කියලා මම දැනන් හිටියෙ නැහැ. එයාත් ආඩම්බර වුණා... සෑහෙන්න ආඩම්බර වුණා එයාගෙ අත්තටු ගැන. එදා මම ඇස් දෙක හරි අමාරුවෙන් ඇරල බලද්දි මගේ ඉස්සරහින් ලොකු බුල් ගොඩක් මම දැක්කා. ඒ බූල් වලට ඉස්සරහින්ම තිබුණෙ දිග අු දෙකක් එක්ක ලොකුම ලොකු ඇස්. මගේ දිහාට හැරවිලා. එයා කිවා මම බිත්තරෙන් එළියට එන දිහා එයා බලන් හිටියා කියලා. ඔවු මට මතකයි ඒ දවස. මම කල්ප කාලයක් බිත්තරේ ඇතුළෙ ගුලි වෙලා ඉලා එළියට ආවා. හරිම අමාරුවෙන් එහෙට මෙහෙට වෙවී. සමහරවිට කෝෂෙ ඇතුළෙ ඉන්න පුළුවන් වුණෙත් බිත්තරේ ඇතුළෙ මේ වගේම කාලයක් හිටපු නිසා වෙන්නත් ඇති. ගුලිවෙලා ඇකිළිලා පොඩිවෙලා හිරවෙලා මිරිකිලා මම ඒ බිත්තරේ ඇතුළෙත් හිටියෙ. මං එනකන් බිත්තරේ ගාවට වෙලා බලන් හිටපු එයා එදා මං ආවට පස්සෙ යන්න ගියා.

මගේ දිග ඇ ඇතුළෙ මහ අමුතු වේදනාවක් වගේ එකක් දැනුණා. හිතාගන්න බැරි වුණා මට ඒ මොකද්ද කියලා. බිත්තරේ ඇතුළෙ ඉද්දි එහෙම දෙයක් දැණිලා තිබුණෙ නැති නිසා මම ඇත්තටම කලබල වුණා. ඒ එක්කම, ගන්න හුස්මත් එක්ක ඇදිලා යන අමුතුම අමුතු සුවක් ආවා. කට ඇතුළ තෙත් වෙනවා වගේ දැනුණා. සමහර විට ඊට කලින් ඉලම ඒක වෙන්න ඇති. මට ඒක වැඩි ගානක් නැති වුණේ මගේ මූණ ඉස්සරහ තිබුණ ඇස් දෙකයි බුල් ගොඩයි නිසා වෙන්න ඇති. මම හිටියෙ කොළ පාට දිග කොළයක් උඩ. මම ටිකක් ඒ කොළේ හපල බැලුවා. කටේ තෙත් ගතිය ඒ එක්කම වැඩි වුණා. මම තව ටිකක් කොළේ හැපුවා. කටේ තිබුණු කොළ හපය මම ගිල්ලා. එතකොට දැනුණා ඒකෙන් අර දැනුණු වේදනාව යම් තරමක් අඩු වුණා හෝ අවු වෙන්නට පුළුවන් වගේ ගතියක්. මට වෙන කරන්නය කියලා විශේෂ වැඩක් තිබුණෙ නැති නිසාත්, මඩ ඇතුළෙන් ආපු මට ඩේදනාව නිසාත් මම කොළේ කාගෙන කාගෙන ගියා. ඉතිරි මුළු වරුවම, වේගයෙන්, මද වේගයෙන් සහ අවම වේගයෙන් කියන සීඝ්‍රතා මට්ටම් කිහිපයේ ඉන් මම කොළේ කන එකමයි කළේ.

ඔන්න ඉතිං කොළ දෙකහමාරක් විතර ඉවර වෙද්දි අරයා ආයෙම ආවා. මගේ වටේම කැරකිලා බැලුවා. කැරකිලා කැරකිලා පැත්තකින් නැවතුණා. ඔළුව හරවලා හොඳ අහංකාර බැල්මක් දැම්මා. අහංකාර..... ඒක මම කොහොම හොයාගත්තද මංදා. කොහොම හරි ඒ වගේ බැලුමක් වෙන්න ඕනි. ඒ හරි බරි ගැහීම් වලට පස්සෙයි අපි කතාව පටන් ගත්තේ.

"ඔයාට තටු නෑ නේද?"
"ඒ මොනවද?"
"මේ, පේනවද? මගේ පිටේ තියෙන්නෙ..."
"ඉතිං ඒව තිබුණත් නැතත් මොකද?"
"බලන්න, මේවයින් මට පුළුවනි ඉගිලෙන්න."
"ඉගිලෙනව කියන්නෙ මොකද්ද?"
"ඉගිලෙනව කියන්නෙ ඉගිලෙනව කියන එක. මම මේ තටු මෙන්න මෙහෙම හොලවද්දි..., මගේ කකුල් වලින් පොඩි තල්ලුවක් දෙන ගමන් මට පුළුවනි ඈතට ඈතට යන්න. මට ඕන තැනකට. ඔය ඇවිදිනවා වගේ මහ එපාකරපු වැඩක් තවත් නෑ"
"හ්ම්.... ඉතිං ඉගිලිලා ඇති පලේ මොකද්ද?"
"මම ඉගිලිලා ගිහින් මට ඕන දේ හොයා ගන්නවා. ඒ විතරද, මම එහෙම ඉගිලෙද්දි මා දිහා කොච්චර අය බලනවද කියල දන්නවද? හැමෝටම බැ ඉගිලෙන්න... හරියට ඔයාට වගේ"

ඒ අන්තිම ටික එයා කීවෙ අර මුලින් කියපු බෙල්ල අමුතු විදිහට හදාගෙන කියන බැල්මත් එක්ක. එහෙම කියලා ටික වෙලාවකින් එයා ගහේ අත්ත අහුරන් වහගෙන හිටපු එයාගෙ මහ විසාලඅත්තටු දෙක ක්‍රියාත්මක කරගත්තා. මම හිටපු කොළේත් හුළඟෙ යන තරම් වේගෙන් ආයෙම යන්න ගියා. එයා ගියාට පස්සෙ මට කරන්න දෙයක් තිබුණෙත් නැති නිසා මම කන්න පටන් ගත්තා. මම ආයෙම කොලේ කාගෙන කාගෙන ගියා. ඒ අතරෙ මං කල්පනා කළා... ඉගිලිලා ගියත් මට කන්න වෙන්නේ කොළේමයි. ඉගිලුණා කියල මට කරන්න වෙන වැඩක් හිතාගන්නත් බැහැ. වෙන එකක් තියා ඉගිලෙන්න මට ඒ කියපු ජාතියේ මහ විසාල තටු තිබුණෙත් නැහැ. ඒ වෙනකොට මම එක දෙයක් තේරුම් ගෙන හිටියා. මට කරන්න තිබුණ දෙය. ඒ කොළේ කන එක. සමහර විට මුල ඉඳන් අගට. සමහර විට අග ඉඳන් මුලට. තවත් සමහර විට මැද ඉඳන් දෙපැත්තට.... මම කරපු එකම වැඩේ කොළ කන එක.

එයා ආයෙම ආවෙ ඔන්න ඔහොම කකා ඉන්න අතරෙ වෙලාවක මම නිදි කිරා වැටෙද්දි. යාන්තමට පියවීගෙන ගිය ඇස් ඉස්සරහ මහ විසාල ඒ ඇස් දැක්කම මම බය වෙලා ඇහැරුණා.

"මම මේ දෙයක් කියන්න කියලා"
"මොකද්ද?"
"අපි ආදරේ කරමු"
"මොකද්ද ආදරේ කියන්නෙ?"
"මං දන්නෙ නැහැ"
"දන් නැති දෙයක් කොහොමද කරන්නෙ?"
"පුරුදු වෙමු"
"පුරුදු වෙන්නත් දැනගෙන ඉන්න ඕන නැද්ද?"
"මංද..... ඒත් අපි කරමු. ඔය හැමෝම කරනව වගේ අපිටත් ආදරේ කරන්න බැරි කමක් නැතිවෙයි.."
එහෙම කියලා එයා හොඳින් ආයෙම මං දිහා බලලා මේ ටිකත් එකතු කළා... "සමහරවිට ඔයාට තටු නොතිබුණත්... අපි හොඳ ආදරවන්තයෝ වෙයි"

ඒ විදිහට අපි ආදරවන්තයෝ වුණා. එයා අත්ත පුරා විහිදගෙන හිටපු, මහ විසාල ඒ තටු හරිබරිගස්සගෙන ඉගිලෙන්න හදද්දි මං පොඩි හාදුවක් දුන්නා... එහෙමයි එයා කියලා තිබුණෙ. එයා එක්ක ඉගිල්ලෙන්න මට බැරි එක ගැන ආඩපලි කියන ගමන් මුමුණ මුමුණ එයා ඊට පස්සෙ ඉගිලිලා ගියා. අනිත් ආදරවන්තයෝ එක ට ඇතිල්ලි ඇතිල්ලි කොමළ කර කර ඉගිලුණත් එයාට ඒ අවස්ථාව නැති එක ගැන එයා දුක් වන බව කීවා. කොහොම හරි එයා ආයෙ එනකන් මම කොළ කන්න පටන් ගත්තා. කොළ දෙකහමාරක් කන වෙලාව ඇතුළත එයා ආයෙම එන බව මම ටිකින් ටික ඉගෙනගත්තා.

ඉගෙනගැනිම.... ඉගෙනගන්නනම් දේවල් කොයි තරම්ද? බිත්තරේ ඇතුළෙ ඇකිළිලා ඉන්න මම ඉගෙනගත්තා. බිත්තරේට ඕන විදිහට හැඩගැහෙන්න මම ඉගෙනගත්තා. ඊට කල්පෙකට පස්සෙ අර හිටපු කෝෂෙ ඇතුළෙ ගුලි වෙලා ඉන්න හැටිත් මම ඉගෙනගත්තා. මුලදිම අර බිත්තරෙන් එළියට ආවට පස්සෙ බඩේ වේදනාවට බෙහෙත මම ඉගෙනගත්තා. කොළ කන්න මම ඉගෙනගත්තා. එකක් ඉවර වෙද්දි තව කොළයක් හොයාගන්න මම ඉගෙන ගත්තා. එයා කොයිතරම් කන්කෙඳිරි ගෑවත් මට තිබුණු කකුලු තටු නොවන බවත් කොළ කකා මට ඉන්න වෙන බවත් ඉගෙන ගත්තා......... දවසක් කොළ දෙකහමාරක් කෑවත්.... තව ටිකක් කෑවත්... කන්නම බැරි නිසාත් හිතේ වේදනාව නිසා කෑම අත් හැරල දැම්මත්... හුරු පුරුදු වෙලාවට එයා ආවෙ නැති බව දැනුණම ආයෙමත් ඒවිය කියන බලාපොරොත්තුවෙන් ඉඳල පලක් නැති බව මම ඉගෙනගත්තා.

එදා එයා හොඳටම කලකිරීමෙන් හිටි දවසක් බව මට තේරුණා. පුරුද්දට දෙන හාදුව එයාට වුවමනා නොවුණ වගේම අත්තටු නැති එක ගැනත්, එයාට හැමදාම තනියමම ඉගිලෙන්න වෙන එක ගැනත්, මම කොළ දෙකහමාර කමින් ගෙවන කාලය තුළ එයාට තනියමම පාලුවෙන් ඉගිලි ඉගිලි ඉන්න වෙන එක ගැනත් එයා කේන්තියෙන් කතා කළේ. මහ විසාල අත් තටු වලින් වෙනදටත් වැඩිය හුළං පාරක් මතු කරලා මම හිටපු මුළු අත්තම හොල්ලලා එයා එදායි යන්න ගියේ. කොළ දෙකහමාරකුත් තව චුට්ටකුත් කාලා වෙනදට වඩා වැඩි වෙලාවක් එයා ආයෙ එන්න ගත කරන එක ගැන මම කලබල වෙලයි බලං හිටියෙ. ඒ බලං ඉඳිල්ලටත් මං හුරු වුණා. ටික ටික මම ඉගෙනගත්තා බලන් හිටියොත් හැමදාම බලන් ඉන්න වෙන බව. ඔන්න ඔය කාලෙදියි මටත් නොදැණිම කෝෂෙ හැදුණෙ. මම දැනන් හිටියෙ නැහැ. ඒක ඉගෙනගත්තෙත් මම අනිත් හැමදේම වුණා වගේම ඒ දේත් වුණෘට පස්සෙයි. කෝෂෙ මගේ වුවමනාවට හැදුණු එකක් නෙවෙයි. බිත්තරේ වුවමනාවට මාව දැළඹුවෙක් කළා වගේම කෝෂෙ වුවමනාවට මාව කිටි කිටියෙ තද කර ගත්තා.

ඒ කාලෙත් මං කල්පනා කළා බැරි වෙලාවත් එයා තටු තියන ආදරවන්තියක් හොයාගන්න බැරිව ආයෙ ආවොත් මාව හොයයි නේද කියලා. ඒ නිසා මම කෝෂෙන් එළියට එනකන් ඉවසිල්ලක් නැතිව බලන් හිටියා. ඒත් කෝෂෙ ඇතුළෙ තද වෙලා තද වෙලා හිරපට්ටමේ තව තවත් ඉන්න වෙනකොට මට හිතුණා මට ආය එළියට ඒමක් නැතිවෙයි කියලා. එහෙම ඉන්න එක දවසක මට දැණුනා මගේ පිට දිගේ මහ වේදනාවක්. කොයි තරම් වේදනාවක්ද කියනවනම් මගේ පිට පුපුරු ගහන්න පටන් ගත්තා. කොහොමද කියලා හිතල බලන්නකො. මම අර හිරපට්ටමේ කෝෂයක් ඇතුළට වෙලා ඉද්දි තව ඉවසන්න බැරි වේදනාවකුත් එනවා. මං හිතුවෙම මම මැරෙයි කියලයි. ඒ එක්කම ටිකින් ටික මට තේරුණා මම හිටපු මගේ කෝෂෙත් පාට වෙනස් වෙන බව. දිලිසෙන තද නිල් පාටක අමුතු එළියක් මට යන්තමට වගේ දැණුනා. ටිකින් ටික මට දැනුණා මගේ කෝෂය ලිහිල් වෙන බව. ඒ වගේම මට හිරි වැටුණු ගතියක් දැණුනා. අකුළන් හිටපු අඬුපඬු ආය ජීවිතේටවත් දිගාරින්න බැරි වෙයි කියලා මට හිතුණා.

ඔන්න එතකොටයි මම මේ කතාව කියන්න පටන් ගත්තෙ. මතකයි නේද? දැනුයි මට කල්පනාවට එන්නෙ අර වේදනාව මොකද්ද කියලා. පිට පලාගෙන මාව  මැරෙන තරම් වේදනාවකින් ඒ මතු වෙලා තිබුණෙ, දැන් මේ මගේ පිට උඩට ඉස්සිලා තියන මගේ තටු. ඔහු නොදුටු, එයාට උවමනා කළ මගේ ඒ අත්තටු. මම තාමත් උත්සාහ කළේ නැහැ ඉගිලිලා බලන්න. එයාට වුවමනා කළෙත් මා එක්ක ඉගිලෙන්න. ඉස්සර නිතරම එයා හිටියෙ එයාගෙ විසාල ඒ අත්තටු මේ අත්ත පුරා විහිදගෙන... අත්තම වහගෙන.....

අහ්.... අන්න එයා... ඔවු ඒ එයා තමයි. ඒත් තනියම නෙවෙයි. හරි... එයාට ඉගිලෙන්න, එයාගේ තනියට ඉගිලෙන්න සහකාරියක් ලැබිල වගෙයි. එහෙනම් දැන් එයා ඉස්සර වගේ කනගාටුවෙන් කන්කෙඳිරි ගාන්නෙ නැතිව ඇති... තනියම ඉගිලෙන්න වෙන එක ගැනත්, සහාකාරිට තටු නැති එක ගැනත්.... ඒත් මම එයාව නොදැක්ක විදිහට ඉන්නෙ කොහොමද? කතා කරන්න ඕනද මම... එයා දැන් ළඟයි මාව පහු කරන් ඉගිලියා යන්න.. ආදරවන්ති එක්ක... මට ඇහෙනවා එයාලගෙ කතාව. ඔවු දැන් එයාල මට ඇහෙන තරම් ලඟක.

"කවුද අනේ අර ඔයා දිහා බලන් ඉන්නෙ... බලන්න අර, එයා ඔයාට කතා කරන්නයි හදන්නෙ"
"කෝ.. කොහේද"
"ඇයි අනේ අර අත්ත උඩ... අර... අර..."
"ආ... අනේ මංදා... මං කොහොම දැනගන්නද.... සලබයෙක් වුණ මම සමනල්ලු ගැන දන්නෙ කොහොමද?"
Comments
13 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

13 comments:

  1. "සමනලයා" ලස්සන කෙටි කතාවක්

    ReplyDelete
  2. //"මංද..... ඒත් අපි කරමු. // ඉතිං අපි කරමු... ඒකට කමක් නෑ දිගටම ලියන්න ලස්සනයි.

    ReplyDelete
  3. ආ ම්මම්ම්මම්ම්ම් පෙර ඔබගේම ලිපි කියවු මා මෙයින් සැහිමටකට පත් නොවෙමි

    ReplyDelete
  4. සලබයෙක් ගැන ලියවුණත් මෙහි නිර්මාණාත්මක පැත්තෙන් කියවෙන්න වෙනත් අරුතක්. ඒ සටහන හිතන්න ඕනෑ කරුනු කාරණා ගොඩක්මේ අපුරු සටහන අපට කියා දෙනවා.

    ReplyDelete
    Replies
    1. අදහස් කළා විස්තර කරන දෙයින් සපුරාම වෙනස් දෙයක් ඉස්මතු කරන්න. ඒක කොයි තරම් දුරට සිදු වුණාද කියලනම් මම දන්නෙ නැහැ. කොහොම වුණත් ඔබේ මේ කමෙන්ටුවත් එක්ක, ටිකක් දුකින් තිබුණ හිත ආයෙම හරි ගියා.
      ස්තූතියි

      Delete
  5. පුදුම විදියට මේ කතාව හිතට වැදුන අක්කියෝ.......

    ReplyDelete

 
There was an error in this gadget