Friday, January 4, 2013

සිතිවිල්ලේ මං




මුලින්ම යමක් කීමට අවැසිය. සැබැවින්ම සිතට නිහතමානී සතුටක් දැනුණි. මා මෙහි නැවත පැමිණි විගස ඔබ මා හා දෑත් බැඳ සිටියෝය...... මාගේ දිගු නිහඬතාවයට පසුවත්........
මෙහි ලිවීමට යමක් මම සිතමි. සිතිවිලි නම් එමටය. නමුත් මුලින් සිතිය යුත්තේ ලියනා සියල්ල පල කරගන්නේ කෙසේද යන කාරණයයි. මන්ද......, මාගේ දුප්පත් පරිගණකය දැන් පාවිච්චියට ගත නොහෙන තරමට අබලන් බැවිණි. පැලවත්තේ මංසන්ධිය පසු කරගෙන තනිව යනෙනා ගමනේ මම නිරන්තර සිතිවිල්ලකට වැටෙමි. අලුත් පරිගණකයක් ගන්නේද.......? අලුත් උපාධිය අරඹන්නේද.....? නව ජීවිතයක් සඳහා පියවර තබන්නේද.....?
පරිගණකය නිරන්තරයෙන් මගේ සිතිවිලිත් මමත් එක්තැන් කරනා මගේ එකම ලබැඳි මිතුරායි. උපාධිය, අද මා සිටිනා ඉසව්වෙන් මා ඔසවා ඉහළින් තබනා සමාජයේ පිළිගැනීමකට මා නතු කරනා ඉන්ද්‍රජාලිකයෙකි. නව ජීවිතය........ දැනට එයට විරාමයක් තබා මම කතාවේ ඉතිරි ටික කියන්නෙමි.
කතාව........! කුමන කතාවක්ද? මම මගේ ඇඟිලි යතුරු පුවරුව පුරා දුවවමි. මන්ද..., වෙනත් කරන්නට යමක් මට දැන් නැති බැවිනි. ඉදින් ඔබ මෙය කියවන්නේනම් ඒ කියවන්නේද වෙනත් කරන්නට දෙයක් නැති බැවිනි.
සාන්තියාගෝ නම් සැරිසරන්නා තුළ මම අතරමං වෙමි. කාර්යයාලයේ ලිපි ගොණු අතරින් එකක් තුළ මම සාන්තියාගෝ සඟවමි. මන්ද......., ඇතැම් වේලාවක කරන්නට කියා කිසියම්ම වු හෝ වැඩක් මට එහි නොමැති බැවිනි. අපගේ වැඩබලන අධ්‍යක්ෂතුමියගේ ඇසට මාගේ ක්‍රියාව නතු නොවන පරිදි සියුම්ව මම සාන්තියාගෝ නම් සැරිසරන්නා ලිපි ගොණුව තුළ සඟවා රස විඳිමි. මන්ද මා ඔහුට, ඔහුගේ චරිතයට, ඔහුගේ ජීවන ක්‍රමයට ආලය කරනා බැවිනි.....
ජීවිතයේ යම් කලෙක මමද සාන්තියාගෝ විමට තැත් දැරීමි. මේ මා දිවියේ හැරවුම් ලක්ෂයකි. මම පෙරදී නොකියා විරාමය තැබුවේ එයටය. නමුත් තැවතත් සාන්තියාගෝ තුළින් මම මම දකිමි. මම නැවතත් ඔහු වන් අයෙක් විය යුතුද? මමද සංචාරයේ යෙදිය යුත්තෙම්ද? මේ ලෝකයේ මා නොදුටු, මා දකින්නට අපේක්ෂිත තැන් තවමත් මා එනතුරු මගබලා සිටිනු ඇත්ද?
විදුලි පංකාව මා හිසට ඉහළින් කැරකේ. එය එකම වටයට කැරකේ. මහ විකාරයකි. මමද විදුලි පංකාවක් වීගෙන එතැයි මට සිතේ.
උදේ බස් නැවතුමේ එකම මුහුණු ටික මම දකිමි. එකම වේලාවට එකම විදිහට එකම සෙනග පුරවාගෙන එන බස් රථ දෙකක දෙවේලාවක නැගී මම කාර්යයාලය බලා යමි. හන්දියේ මාළු ලෑල්ලට අයිස් තලනා මහල්ලා මම දකිමි. පොලිස් කාරයා මම යන දෙස බලා සිටිනා අයුරු මම නෙතගින් බලා ඔහුව පසුකර යමි. නාවික හමුදාවේ බස් රථ දෙක මා පසු කර යන සැටිත් එහි වන් පිරිස් අතුරින් ඇතැමෙක් මදෙස බලනා අයුරුත් මම දකිමි. කාර්යයාල භූමියේ වංගු පාරවල යන විට ඒ පුරා සිටිනා බලු සුරතලුන්ව සුරතල් කරමින් මම යමි. උදෑසන උදෙසා සුබ පතා මට නියමිත කාඩ්පත මම අත්සන් කර කාර්යයාලයේ මෙම පුටුවේ මම ඉඳගනිමි. මම කැරකෙමි...... සීලිම් පංකාව මෙන් මම කැරකෙමි...... එකම තැන.... කැරකෙමි.......
Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. හැමෝගෙම ජීවිත සීලිමෙ පංකාව වගේ හැමදාම එකම තටු තුන එකම විදියට කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා

    ReplyDelete
    Replies
    1. මගේ උත්සාහය දැන් ඒ කැරකෙන පංකාවෙන් බිමට බහින්න

      Delete
  2. අපි හැමෝගෙම ජීවිත කා වටා හෝ ජීවිත කාලය පුරාම කරකැවෙනවා.පුංචිම කාලේ අම්මගේ ලෝකය වටා කරකැවෙන අපේ ජීවිත පසුකාලීනව තමන්ගේ දරුවන් වටා කරකැවෙනවා. මේ අතර තුර බොහෝ චරිත ඇසුරේ අපි කරකැවෙනවා.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. වෙනසකට කියල මොන දේ කලත් හැමෝම මුල ඉඳලම කරලා තියෙන්නේ එකම චක්‍රයක් වටේ කැරකෙන එක (බොහෝදුරට)

      Delete
  3. මම පොඩි කාලෙ දුක් උනා ගෙදරින් පිට ඉන්න උනාට ඒත් දැන් සතුටුයි මට හුන්ගක් තැන් වල යන්න වාසනාව ලැබුනට.මගේ පාසල් ජීවිතේ අවුරුදු 12ක් ඇතුලත පාසල් 6කට යන්න ලබුන.ඒකෙන් මම ජීවිතෙ ගැන හිතන විදිය හැම තප්පරේකදිම වෙනස් උනා. කියන්න හුන්ගක් දේවල් තිබුනත් මට අයිති නැති තැනක් නිස මම යනව. ඔයා ආයෙ ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. හිතට එන ඕන දෙයක් කියල යන්න
      :)
      විවෘත්තයි ඔබේ අදහස් සියල්ලට.... සිතිවිලි සියල්ලට.....

      Delete
  4. ඔබට හොද ලිවීමේ හැකියාවක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි........... :)

      Delete

 
There was an error in this gadget