Tuesday, February 26, 2013

පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික චින්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද?



ලෝකයේ නොයෙක් බෙදීම් ඇති කර ගන්නේ සමාජය විසින්මය. මිනිසාම සම්මත කර ගත් එම බෙදිම් තුළ සිටිමින් විය යුතු යොවිය යුතු සම්මතයන් ඒ අනුව මිනිසා විසින්ම බිහි කරගෙන තිබේ. මෙකී සමාජ සම්මතයන් තීරණය කිරීමෙහි ලා ප්‍රබල දායකත්වය සපයන්නේ සංස්කෘතියයි. යම් ජන කොට්ඨාසයක්, ඔවුන් විසින්ම නීතිගත කරන ලද සංස්කෘතික රාමුවක සිට සමාජ සම්මත, තහංචි දමා සිය සංස්කෘතික දෘශ්ටියට යම් අනන්‍යතාවයක් ලබා දී තිබේ. මෙසේ බිහිකරගත් යම් නිශ්චිත කෝණයක සිට බැලීමේදී තම සමාජයට සුදුසු දේ ‍කවරක්ද, නුසුදුසු දේ කවරක්ද යන්න සම්මතයකට පැමිණීම මෙකී සංස්කෘතික පසුබිමේ ස්වභාවයයි. ඒකාකාරි රාමුවකට කේන්ද්‍රගත වීම තුළින් ඇතැම් නව්‍ය ප්‍රගමන වෙත මෙකී සමාජය ඔරොත්තු නොදේ නම් සංස්කෘතික බැම්මෙන් එපිට ඇති දේ යැයි කියා ඒවා බැහැර කිරීම සාමාන්‍ය සිරිතය. මෙය ලංකාවේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. සමාජය තුළ ගැහැණියගේ භූමිකාව මෙහි එක් ප්‍රභල පැතිකඩකි. සමාජය හා ගැටීමේදී මා වෙත එල්ලවු නොයෙක් අභියෝග, අපවාද, දිරිගැන්විම් ආදියද මෙම ලිපිය සඳහා පසුබිම් විය.

විශේෂයෙන් මෙහිදී අවධානය කෙරෙනුයේ ලංකා සමාජය පිළිබඳවයි. "ඈත අතිතයේ සිට සම්මතයේ පැවතියේ මෙසේයි" කියමින් සමාජයේ අනෙකුත් සැමටම පාහේ කාන්තාවටද යම් නිශ්චිත රාමුවක් සපයා ඇත. නැහැයි කියා නොකිව හැකි පරිදි කාන්තාව ළමා කාලයේ සිටම පුරුදු පුහුණු කළ චින්තනයන් සමග මෙකි රාමුවට කොටුවී එයට වහල් වි තිබේ. ඇය සතු යුතුකම් සහ වගකිම් සමුදායක් තිබේ. ඇය විසින් ඒවා අත් නොහැර අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුය. එසේ නොවේනම් ඇය සමාජයේ සිරිත් කඩ කරන්නියකි. සීමාන්තික චින්තනයකට ඇය ගොනු කර මිටි බැඳ අසුරා තැබිම මත මිනිසෙකු වශයෙන් ගත් කල්හි ඇය නිදහසේ ජීවත් වන්නේද යන්න ගැටළුවකි. එසේම සමාජ සම්මතයෙන් පැනවූ සීමාවෙන් පිට අඩිය තැබීමට පෙළඹෙන ඇයට එතැන් පටන් සිදුවන්නේ අනේකවිධ ප්‍රශ්න සඳහා මුහුණ පෑමට සිදු වීමයි. උදාහරණයක් ලෙස වාරිස් ඩයරි නම් නිරෑපිකාව ගනිමු. සමාජ සම්මතයෙන් තහනම් වූ චාරිත්‍ර ලොවට හඬගා කිම හේතුවෙන් ඇය නොයෙක් අපවාදයක්ට මුහුණ දුන්නාය. ලංකාව තුළ එවන් චාරිත්‍රයන් නොමැති වුවද, යම් හෙයකින් කාන්තාව නවමු දැක්මකට යොමු වුවහොත් හෝ පවතින සමාජ සංස්ථාවට පරිබාහිර ක්‍රමයක් ප්‍රසිද්ධියේ පැවසුවහොත් මෙම සමාජයේ ප්‍රතිචාරයම පෙර දැක්වූ උදාහරණයේ තරමම ගන්නේය. සමාජ සම්සතයන් බිඳම යන කාරණය සඳහා කවර ගතානුගතික සමාජයක හෝ වේවා ප්‍රතිචාරය එකමය. වෙනස වන්නේ ඒ සඳහා ක්‍රියාකාරීවන ආකාරයන්ගේ යම් යම් වෙනස්කම් පැවතීම පමණි. 

බොහොමයක් පුද්ගලයින් මගෙන් අසන පැනයක් ඇත. "ඔබ ඉදිරිපත් වන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන්ද?" යන්නයි ඒ. කාන්තාවගේ අයිතින් කෙසේ වෙතත්, මා දකිනා ප්‍රධානතම කාරණය වන්නේ සැමට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත යන්නයි. නමුත් තම "නිදහස" යන සාධකය තුළ කොටුවී සිටින බොහොමයක් දෙනා තම අදහස් යනු කවරක්ද යන්න අමතක වී තිබීමේ දරුණු තත්වයට අද වන විට මුහුණ පා ඇත. 

විශේෂයෙන්ම කාන්තාවන් ගත් කල්හි, ඔවුන් තම අදහස් ලෙස දකින්‍නේ පෙර කී අයුරින්, සමාජය විසින් ඔවුන්ට පැනවූ සීමාවේ සිට බලද්දී තමන්ට පෙනෙනා දෙයත්, කාන්තාව යන ආකල්පය තුළ සිට බලන කල්හි සීමා වූ චින්තන රාමුවක් තුළ ඇය දකිනා දෙයත් පමණි. මෙම ලිපිය සඳහා අදහස් විමසීමට යාමේදී කාන්තාවන් බහුතරයක් තුළින් මා දුටු තත්වය එයයි. ඔවුන් පවසන්නේ තම ආකල්ප නොව සමාජය විසින් කාන්තාවගේ හිස මත පැටවූ සංස්කෘතියක සදාවැරයක ආකල්පයන්ගේ ප්‍රතිරාවයකි. 

මින් පසුව නැවත සංස්කෘතිය වෙත අවධානය යොමු කරන්නේ නම්, අධ්‍යතන සංස්කෘතිය යනු කවරක්දැයි අසනු කැමැත්තෙමි. සංස්කෘතිය යනු ස්තිථික වූවක් නොව කාලානුරූපව වෙනස් වන්නාවූ දෙයකි. වෙනස් නොවන සංස්කෘතියක් නැත. සංස්කෘතිය වෙනස් වන්නේ නම් අප අද වන විටද නැවතී සිටිය යුත්තේ කණ්ඩායම් සමාජ ක්‍රමය පැවති පැරණිතම ගෝත්‍රික මට්ටමේය. මාගේ අදහස සංස්කෘතියක් අනවශ්‍යය යන්න නොවේ. මා පවසන්නේ සංස්කෘතිය යනු වෙනස්වන්නාවූ දෙයක් බවයි. එසේම සංස්කෘතික සම්මතයන්යැයි කියනා, සමාජය විසින්ම සාදා ගන්නාලද අස්ථායී හර පද්ධතීන් තුළම එල්බ සිටිමින් පිරිසක් වෙත පමණක් නිති පැනවිම යුක්ති යුක්තද යන්න අසනු කැමැත්තෙමි. 

කාන්තාව දුර්වල වූ අයෙක්ද? ඇය දුර්වලනම්, සමාජයේ ඇය පහත් කොට සලකන්නේ නම්, ඇයගේ ස්වතන්ත්‍ර අදහස් නිග්‍රහයට ලක් වන්නේ නම්, කාන්තාවක් තුළින් මෙලොව එළිය දුටු පිරිමියා, තමන් පමණක් ප්‍රමුඛ යැයි සිතා කටයුතු කිරිම සාධාරණ වූවක්ද? (සියලුම පුරුෂ පාර්ෂවය නොව බහුතරයක් සැලකීමේදී තත්වය මෙයයි) මෙහිදී වැදගත් වන්නේ ප්‍රමුඛ ස්ථානය, ශක්තිය නොව මිනිසත් බවයි. ගැහැණු පිරිමි යන්න භෞතික කාරණයකි. අප අවධාරණය කළ යුතුතේ සත්‍ය, පැහැදිලි සිතිවිලි, සාධාරණත්වය ආදිය පිළිබඳවයි. එහිදී කාන්තා පිරිමි බෙදීම ප්‍රමුඛත්වයට පත් වන්නේනම්, එය ඉතා අවාසනාවන්ත සිදුවිමකි. මන්ද එතැනින්ම "මිනිසත්බව" යන සංකල්පය නිෂ්ප්‍රභා වී ඇති බැවිණි.

අන්තවාදී චින්තනය සමාජයට ගෙන එන්නේ ඉතා කනගාටුදායක තත්වයකි. ආගම, ජාතිය, ස්ව මතය ආදී කවර අවස්ථාවක හෝ වේවා මෙකී අන්තවාදීත්වය තුළ සිටිමින් කිසිසේත් සාධාරණත්වයක් හෝ සත්‍යයක් දැකිය නොහැකිය. නමුත් බොහෝ විට සමාජ සම්මතයන් තුළ අත්තනෝමතිකව එල්බ සිටීම තුළ සිදු වන්නේ උක්ත අන්තවාදිත්වය හිස එසවිමයි. කාන්තාවකගෙන්, කාන්තාවගේ නිදහස් චින්තනය පිළිබඳව විමසීමක් තළෙමි. මේ ඇයගේ අදහසයි.

".... මම කියන්නෙ කාන්තාව පිරිමියා යටතේ ඉන්න ඕන. හේතුව අපිට පිරිමි කෙනෙක්ගෙ ආරක්ෂාව අනිවාර්යයෙන් ඕන. අපි කොහොමත් ඉන්න ඕනෙ පිරිමියාට යටත් වෙලා..."

සමාජයේ බහුතරයකගේ ආකල්පය මෙය වූයේ නම් කිව යුත්තේ, සත්‍ය වශයෙන්ම කාන්තාව තම ස්වාධීන සිතුවිල්ලකට නිදහසේ ‍කළඑළි බැසීමට ඉඩ දී නොමැති බවයි. ඉහත වචන, එම කතා කළ ඇයගේ වචන නොව ගතානුගතික චින්තනය තුළින් ඇගේ මනසට කිඳා බස්වන ලද සංස්කෘතික කඩතුරාවෙන් ආවරණිත සමාජයේ දෝංකාරයයි. මාගේ පැනය වුයේ කාන්තාවගේ නිදහස් චින්තනය, ඇයගේ නිදහස් ආකල්ප කරළියට ගෙන ඒමේ නම්‍යතාව පිළිබඳව මිස ඇය පිරිමියා යටතේ සිටිය යුතුද, ඇය සමාජයේ ප්‍රමුඛත්වයට පත් විය යුතුද යන්න නොවේ. මින් පෙනී යන්නේ, යම් ගැටළුවක් පැහැදිලිව නිරවුල් මනසකින් තේරුම් කර ගැනිමට පවා අද්‍යතන කාන්තාවට නුපුළුවන් වී ඇද්ද යන කාරණය නම් මෙය මහා අභාග්‍යයකි. 

යමෙක් ලිංගිකත්වය, සමාජ තහංචි, පුරුෂ කේන්ද්‍රීය සමාජය, කාන්තාවාදී චින්තනය ආදීවූ තේමා පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කරන කල්හි ඔහුට යම් යම් භාධා විශාල වශෙයෙන් එල්ල වේ. කාන්තාවක් මුල්වී මෙකී මාතෘකා විවෘතව විවාදයට ලක් කරන්නේ නම්, ඇය වෙත පැමිනෙන භාදක ඉමහත්ය. බොහෝ විට මෙවන් සංවාදයට ලක්කළ යුතු තේමා කරළියට ගෙන ඒමේදී, ඇයගේ පෞද්ගලික හැඟීම්, රුචිකත්වයන් පිළිබඳව කුතුහලයෙන් යුතු විමර්ශනයන් කිරිමට අධම ආකාරයෙන් පෙළඹීමට පවා අද සමාජයේ ඇතැම් පිරිමින් කටයුතු කරන තත්වයක් උද්ගත වී ඇත. ගැහැණිය මුළුතැන්ගෙට, එදිනෙදා ජීවිත සටනේ වගකීම් සහ යුතුකම් වෙත 'පමණක්' තරයේ සීමා කර ගෙයි මුල්ලක දමා විලංගු ලෑ යුතුද? (මාගේ අදහස ඔවුන් එම කටයුතු වලින් මිදිය යුතුය යන්න නොවේ, මේ සඳහා පමණක් සිමා විය යුතුද යන්නයි.)
නමුත් මිනිසුන් වශයෙන් අප කළ යුත්තේ නිරවුල් මනසකින්, ඉවසිමෙන් එකිනෙකාගේ සිතිවිලි තේරුම් ගැනීම මිස යම් යම් භාදක පනවා, නෛතික සිමාවන් පනවා සමාජ බෙදීම් තුළ යල් පැන ගිය ඒක කේන්ද්‍රීය දෘශ්ටියක සිටිමින් එයට ප්‍රාණය පෙවිම නොවේ. 

විශේෂයෙන්ම කාන්තාව පහත් කොට සිතනවාට වඩා, පුහු ගතානුගතිකත්ව විලංගුවෙන් මිදී නව්‍ය අදහස් සමගින් සමාජය අභිමුවට ඒමේ ප්‍රවණතාව සඳහා අත්වැල් සැපයිම දියුණුවන සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ‍බෙහෙවින් ඵලදායි වන බව කිව යුතුය.
Comments
14 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

14 comments:

  1. ගැහැණිය ගැන අපිට කතා කරලා අවසානයකට එන්න පුළුවන් කියල හිතනවද......???????

    ෴ගැහැණිය නිරුවතින්෴


    ReplyDelete
    Replies
    1. අපි එහෙනම් අග ඉඳන් කතා කරමු

      Delete
  2. කවුරුත් කතා නොකරන දෙයක් ගැන ඔබ ලියලා තියෙනේ..අද සමාජයේ ගැහැණිය නික්ම නිකන් පුහු බාන්ඩයක් බවට පත කරලා තියෙන්නේ ....මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුලුවන්ම් මීට වඩා හොද සමාජක් බිහි වී කියලා මම හිතනවා...ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. තම තමන්ම ඒ දේවල් ගැන හිතල ස්වාධීන චින්තනයක් ඇති කරගන්නවනම්...... :( ඒත් එහෙම වෙන් නැනේ

      Delete
  3. ඔයා ඔහොම කිව්වට සිත්තරී, කාන්තාවන්ව ඔය රාමුව ඇතුලේ, නැතිනම් ගතානුගතිකත්වය ඇතුලෙ කො‍ටු කරලා තියන්න කාන්තාවොම ගන්න වෙහෙස, ඔයා පුදුම වේවි. සමහරි ආසයි තමනුත් ඒක ඇතුලෙ ඉන්න ගමන් එලියට යන උන්ට ආඩපාලි කියන්නත්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... යථාර්ථය කොහොම වුණත්, සමහර ගැහැණු හරි කැමතියි සිනිදු සුකොමල නිකැලැල් ස්ත්‍රී ප්‍රතිරූපය එලෙසින්ම රැකගත්ත බමුණන් විසින් මවා පෙන්වපු ස්ත්‍රීත්වය තුළ තමන් ඉන්න බව ලෝකෙට කියන්න

      Delete
  4. කාන්තාව හිර කරලා තියලා තියෙන්නේ මං දන්න තරමිංනං කාන්තාවොමයි...
    ලේලියෙක් ගෙදට්ට ආවම රටේ නැති දේවල් හොයලා ලේලිත් එක්ක වලි දා ගන්නේ නැන්දම්මද මාමද??????
    අනේ මංදා ඉතිං...

    ReplyDelete
    Replies
    1. තරියා මගේ කමෙන්ට් එක දාන කොට මට ඉස්සෙල්ලම මතක් වුනේ ඕක.

      Delete
    2. හික් හික්... අනේ ඇත්තට ඔය ගතානුගතික චාරිත්‍රයනම් කවදටත් වලංගුයි වගේ :)

      Delete
  5. මේක මම හිතන්නේ සිත්තරී ලොකු අදහසක් එන දෙයක් කියල තියෙන්නේ. .හැබැයි කී දෙනෙක් පිළිගන්නවද දන්නෑ. මට හිතෙන්නේ සිත්තරී කියන සාපේක්ෂ නොවූ බැදීම් වලට බැදීම් ඇති කර නොගන්නා ගැහැනියක් ගැන වෙන්ට ඇති.. ඔන්න ඔය සංස්කෘතික රාමුව තුල කොටු වෙන්නේ නැතිනං ඇත්තටම ස්වාධීන ගැහැනියෙක් බිහිවෙන්න ඉඩ තියෙනවා. හැබැයි එකක් ගැහැනු වගේ ම පිරිමිත් වෙනසක් නැතිව ස්වාධීන ගැහැනියෙක් ඇති වීම දකින්නේ මහා භයානක දෙයක් විදියටයි. ඇයි ඒගොල්ලන්ට බයයි උන්ව අතික්‍රමණය කරයි කියලා...මම හිතන්නේ මේක හැම කෙනෙක්ම කියවිය යුතු පෝස්ට්කටුවක්...

    ReplyDelete
    Replies
    1. සමහරු ඉන්නව, නිවැරදි චින්තනය ගැන මොන තරම් කෑ ගැහුවත් තමන්ගෙ පුද්ගලික ජීවිතේදි ඉබි කටු අස්සට වැදෙන අය... සමහරු සමාජයට මහා පුරුෂ ලකුණු ගෙනාවට ප්‍රාෙයා්ගිකත්වය තුළ ඒ දේවල් පවතින් නැහැ... අනේ මංද මක් කරන්නද කියලා... බැඳීම් සේරගෙන්ම ඈත් වෙලා ස්වාධීන වෙනවනම් හිතේ සැනසිල්ලවත් තියෙනව කියල ඇත්තටම හිතෙනවා. සමහර අවස්ථා වලදි සමාජ රාමුවෙන් පිට පනින එක මහ භයංකාර දෙයක් වෙන බව අත්දැකිමෙන්ම මම දන්නවා

      Delete
  6. සිත්තරී අද කතා කරනුයේ කාලීන වැදගත්, කාලාන්තරයක් අරගලයක (නිහඩ සහ සක්‍රීය) යෙදෙන්නාවූත් කාන්තා අයිතීන් පිළිබඳ මාතෘකාවකි. එය මේ බ්ලොග් අවකාශයේ අඩුවෙන්ම කතා බහට ලක් වූ කාරණයකි. මිනිසුන් යන පදය ගත් විට සමහර අවස්ථාවලදී සමාජය එහි අයිතිවාසිකම් සම්බන්ධයෙන් ගැහැණිය ඈත් කොට ඇත. නමුත් අපි බුද්ධිමත් සත්ව කොට්ඨාශයක් ලෙස අපේ සංස්කෘතීන් ඊට අනුචිත පරිදි සකසා ගැනීමට පෙළැඹිය යුතුය.
    තාරියා කියා ඇති කාරණය ගැහැනිය තුළින් බොහෝවිට සිදුවන්යේ අවිඥානකව ය (ජීව විද්‍යාත්මක සංසිද්ධි කිහිපයක්ද ඇත). ඇයද සමාජ සංස්කෘතියේ ගොදුරක් වූ විට එහි සියලුම අංග හිස් මුදුනින් පිළිගනී.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය කියන සංස්කෘතිය කියන්නෙ මොකද්ද කියන එක ගැන සමාජයට අයන්නේ ඉඳල කියා දෙන්න තියෙනවනම් වටිනවා. සංස්කෘතිය කියන්නෙ කාලිනව වෙනස් වන දෙයක් බව කවුරුත් හිතන් නැහැ. ඇහුවොත් කියන්නෙ “අනාදිමත් කාලයක සිට පැවතෙන අහවල් දේ“ කියලා... ඔය අනාදිමත් කාලයේ ස්වරූපයවත් ඒ කියන අය දශමයක් හරි දන්නවනම්.........

      Delete