Thursday, August 1, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/29-2



මුලින් කීමට අමතකව මතකය තුළ අමතකව ගිය යමක් දැන් කියමි.ඒ, මේ ලියවෙන කරුමක්කාරිය ගැනයි. ඈ මට හමුවූයේ මින් වසර බෝහෝ ගණනකට ඉහතදීය. මේලියැවෙන්නේ, ලෝකයාට අමතකව සුළඟට හසුව පාව යමින් සිටි ඈ විසින් අඛන්ඩව ඇගේ දිනසටහන් පොත් මත කුරුටු ගා තැබූ මතකයයි. එසේම මේ ලියවිල්ලේදී මා දක්වන්නේ ඇගේ දිනයන්නොව මා මෙය ලියන දිනයන් බව ඔබට පවසනු කැමැත්තෙමි. ඒ අනුව මේ ලියවිලි තුළින් ඔබට ඈහමු වන්නේ ඍජුවම ඇගේ මතකයන් තුළින් නොව අතරමැදියකු වන මා හරහායි. ඒ අනුව සිදුවීම්පෙළ ගැස්වෙන කාලය හා අවකාශය අතර ඈ වෙත ඔබට සමීප විය නොහැකි ප්‍රතිරෝධකයක් මම ඇතිකරමි. එසේම ලියාගෙන යෑමේදී මට මගහැරෙන දින ගණන් පැවතිමට පුළුවන. එහිදී ඔබ නිහඬවබලා සිටිය යුතුය අතර ඔබට මාගෙන් ප්‍රශ්න ඇසීමේ හැකියාවක් නැත. මා ඈ පිළිබඳවසිතමින් ඇගේ අනීතය වර්තමානයට හැරවීමේදී ඇයට වඩාත් සමීප වීමට ඔබට ඉඩකඩ පාදා දීමට මමමෙම කාලය යොදා ගනිමි. ඒ ඔබ වෙනුවෙන්ම වන සිසා ඔබට මට විරුද්ධව ප්‍රශ්න කළ නොහැකිය'


ඇයට “ඈ” යනුවෙන් ඇමතීමෙන් ඔබ දැනටමත් වෙහෙසට පත් වූවාට සැකයක් නැත. එනිසාමම ඇයට නමක් යෝජනා කරමි. මාද ඈද වඩාත් රුචියක් දක්වන්නේ ඈට ඈ යැයි ඇමතීමට වුවද, ඔබඉන් ඇතැම් විට වෙහෙසට පත් වනු ඇත. එපමණක් නොව, ඈ ඈ ඈ යැයි පුනරුච්චාරණය වීමේදී ඔබටඈ එපා වීමටද ඉඩ ඇත. එනිසා අපි ඇයට මෙසේ අමතමු. “කරුමක්කාරිය”. නම තුළින්ම ඇය සර්වසම්පූර්ණයෙන් නිරූපණය වන බව ඔබට පෙනේවි. එහෙත් ඔබට නොපෙනෙන, ඔබ විසින් දැකිය යුතුදෑ බොහොමයක් ඇගේ දිවියේ අවස්ථා සම්බන්ධයන් ගණනාවක් මින් ඉදිරියට පසු කරදීදී ඔබටදැනේවි. එවිට ඔබ භෙෘතික වශයෙන් පමණක් නොව, මානසික වශයෙන්ද ඈ කවුදැයි දැනගනු ඇත.


මහා වැසි වට දිනයන්හි මිදුල පුරා වතුර පුරවා ගලා බස්නා දිය දහර දෙස ඈ බලාසිටි වාර සුළු ගණනක් නොවේ. නිරන්තරයෙන් කවුරුත් නොදන්නා මහා දුකකින් කළුතලා වීඑල්ලා වැටුණූ මුහුණින් ඈ දෙස බලා සිටි අහස, නිනවු නැතිව හඬමින් සිටි පළාතකය ඈ හැදීවැඩුණේ. ලී පොලු හරස් කර ‘උඹට යාමට හැකි මේ මේ සීමා සඳහා පමණැ’කැයි නොකියාම කීකොටුවක (බොහෝ විට දෑවුරුද්දක්) සිටි ඇය ජීවිතයේ ළදරු වියේදීම කිසිදු ලෙසකින් ඇහැටදැක කතට නාසා තිබූ සිරගෙයක අත්දැකීම ලබන්නී, බහ තෝරන්නටත් පෙර සිටම සිතිවිලි ඔස්සේදුර මගක යාමට හුරු වූවාය. හැදී වැඩුණු යෞවනියක වූ ඉක්බිති ඇයට උවමනා වූ දහසකුත්එකක් අත්දැකීම් අතරින් එකක් වූයේත් සිරගත විමටයි. එය සිය ළමා විය තුළ බලෙන්ම රිංගාගැනිමට ඈ තුළ වූ ආශාවක් ලෙස කිසි සේත් කිව නොහැකි අතර, ඇගේ සිතිවිලි හඳුනාගත්මටහැඟී ගියේ සමාජයෙන් පිටමං කළ ජීවන රටා කෙරෙහි ඈ තුළ තිබූ ආශාව, පෙළඹවීම ඊට හේතුවන්නට ඇති බවයි.  ජනේල අතරින් සිරසට ගැසූයකඩ කම්බි වල එල්ලී, හඬා වැටෙන අහසේ කඳුළු පින්නට යන්තමින් මුව අල්ලා දෝවාගන්නා ඈ,තම වයසේ සෙසු ළදැරියන් මෙන් ගිගිරුමට ගෙරවුමට බිය නොවීය. දිරා ගිය යකඩ පොලු අතරපාට පතුරු නියපොත්තෙන් කොනහමින් ඇය අසහ තුළ සරන සිය මියගිය මිත්තණිය සොයන්නට තැත්දැරුවේ ඈ පස් විය පුරා දින එකොළහක් ගිය තැන ඈව හැර ගිය සෙනෙහසේ මතකය සොයමිනි.


ඉඳහිට දිනෙක අවසර ඇසිල්ලක් ලැබූ ඇය මිදුලට පැන වැලි පස සෝදා සූරා ගලා බසිනදිය දහරට අම්මාගෙන් සොරකම් කළ කඩදාසි වලින් තැනූ අංගවිකල බෝට්ටු තැබුවාය. පීලිනොදැමූ වහළයේ, රැළි තහඩු උගුල්ලාලීමට තරම් වේගෙන් ඇදී ආ වතුරට හසුවූ ඇතැම් බෝට්ටු,ඇතුළට වතුර පිරී එකතැන කැරකී ඇඹරී ගොස් මඩ වතුරේ අතුරුදහන් විය.

“මඩකරිය වගේ මඩේ ලැගගෙන ඉන් නැතිව ‍ගෙට එන්න පුතේ”

කඩදාසි ගොණු තුළ ඔළුව ඔබා සිටි මව ඉඳ හිට එවන් දිනයක ඇගේ සීමාව අඟවමින්ආදරයත් වගකීමත් කැටි වූ නියෝග දෙන්නීය. පැය ගණනකට පසු, ඉදිරියට නෙරාවිත් පහළට බරවූ කුසින් යුතුව කවිච්චියේ හිඳ ඇගේ කකුල් අතගාන ලෙස ඇයට සන් කරන්නීය.


හැඬූ අහස ඉකි බිඳින මොහොත එන විට නැවත එළියට පැනගන්නා ඈ මිදුලේ වතුර පහළ ඇලවෙත යාමට හැකි ලෙස කැපූ කාණුව ඉහළ කොණේ රත් මල් පඳුරේ මුල් අතර හිර වුණූ ඇගේආබාධිත කරදහි බෝට්ටු දෙස බලන්නී, තමාගේ වුවමනාවට නොව, අන්නුගේ වුවමනාවට ඇදවී මඩවැකී පෙඟී ගිය ඒවා දෙස බලා ශෝක කරන්නීය.


‘ඔයාලත් මං වගේමය’යි කිමට තරම් උපමා රූපක ඒ වන විට ඈ දැන නොසිටියත් බෝට්ටුකෙරෙහිත්, බෝට්ටු‍වල නංවා ඇගේ මනෝ රාජ්‍යයේ සිටි, ඈ සැඩ පහරේ වැහි වතුරට බිළි කළ, එතෙරදේවාලයට පිටත් කර හැරි නළා කාරයන් බෙරවායන් සිහි වි හැඬුවාය. මඩ පැහැයෙන් සායම්උලාගත් ඇගේ දෑතින් මැවුණූ බෝට්ටු පසුදින කෙමෙන් වේලෙන වැල්ලත් සමග වේලෙමින් තිබෙනුඈ නිවසට එන කවරෙකුට වුව දැකිය හැකි විය.


“පොඩි එකීගෙ විකාර වැඩ‍‍‍” කියමින් ඇතැම් වැඩිහිටියෙක් වේලෙමින් තිබූබෝට්ටු සැකිළි පාගාගෙන නිවසට ගොඩ වුයේ ඇ‍ඬෙන්නට ඔන්න මෙන්න තරම් තිබූ ඇගේ දෑස්දෙසද නොබලා, එහෙත් යන්තමින් හිස අතගාගෙනය. කිටි කිටියේ දත්කූරු සපමින් වෙව්ලමින් ඈප්‍රමාණයට වඩා විසල් වූද අම්මා විසින් ‘දොඹ ගෙඩි’ යැයි අන්වර්ථයක් යෙදුවා වූද ස්වභාවයෙන්මරතු සිය දැස් තුළට කඳුළු උනවා ගනිමින් වේලෙන්නට මිදුල පුරා වනා තිබූ බෝට්ටු වෙතපැන දිව්වේ දුක නොව ඉහවහා යන කෝපයෙන් පුපුරු ගසමිනි. වයසින් වැඩෙත් වැඩෙත් ඈවිසින් උගත් ‘පරුෂ වදන්’ යැයි ඇතැමුන් හැඳින් වූ ඒවා ඒ වන විට ඈ දැන සිටියේනම්ඥාතියාගේ කන් පිරෙන්නට බෝට්ටු කෙරෙහි තිබූ ඔහුගේ අනාදරය වෙනුවෙන් ඈ තුළ උපන්සංවේගය ඈ පල කරනු නිසැකය. එහෙත් පස් වන විය එළඹ සිටියදි ඇගේ ශබ්ද කෝෂයේ වූ වචනබොහෝ සීමිත, නිවැරදිව අන්වර්ථයන් දිය නොහැකි තරම් සරල වූ ඒවා විය.

මඩ පෑ බතික් මෝස්තර වැටී තිබූඅංගවිකලත්වයෙන් හවුහරණක් නැති තැනට පත් වූ ඇගේ බෝට්ටු ඉදිරියේ උක්කුටියෙන්හිඳගන්නා ඇය, මෝරා එන අව්ව සමග කරකුට්ටන් වී, මහල්ලෙකුගේ ඇ‍ඟේ රැළී මෙන් බෝට්ටු හැඩවැටෙනයුරු බලා හිඳ අවු රැසට කුඩා කරගත් දෙනෙතින් නැවත ආකාසට දෙස බලන්නි මිත්තණියඑහි ඇත්දැයි සොයන්නටය.
“ආච්චි නැතිව මට මෙහෙ හරි පාළුයි”එවන් විටෙක ඇය පවසන්නේ වෛරයෙන් තවත් කළු වූ ඇගේ රත්වී නලියන ලෙස මගහැරීගිය සිතලසෙනෙහසකින් සමහන් වන විටයි.

“පුතේ කකුල් දෙක හරියට හදාගෙන ඉඳගන්න.බලන්නකො ගෑණූ ළමයෙක් ඉන්න ඕන හැටිද ඔය”

ඇගේ සීමාව දක්වමින් මට සන් කරන විට ඇයනෑසූ කන්ව නොදුටුව නෙත් ඇතිව සිටින්නී, ‘මට ඕන විදිහටයි මං ඉන්නෙ’යි මුමුණන්නීය.එහෙත් වේලෙමින් ඇති බෝට්ටු තුළ නංවා ඈ පිටත් කළ, ඇතැම් විට සැඩ වතුර පහරේ වේගයටදැනටමත් අත පය කැඩී ආබාධිතව ඇතැයි ඇය සිතා සිටි බෝට්ටු ජනයා, උක්කුටියෙන් සිටිනතමන්ගේ මල් විසිරී ගිය ගැහැණූ යට කලිසම දකී යැයි සිතා සුළු මොහොතකින් ඉරියව් වෙනස්කරගනීනී, ‘අම්මට ඕනි නිසා නෙවේ, මට හිතුණ නිසා’යැයි සිතමින් සිත හදා ගත්තීය. අම්මාගේසිනාමුසු වදන් නෑයන්ගේ සිනහව සමග එක්වී ඇගේ සවනට වැටී නෑසී යද්දී ඈ සිය හුදෙකලාසිතිවිලි ලෝකයේ නොනැවතෙන ගමනක් අරඹන්නීය. දියබත් වූ බෝට්ටු වේළුණු පසු ඇගේ අඩුමකුඩුම බහාලන පෙට්ටගම තුළ ඒවා තැන්පත් කරන්නේ ‘කහළ ගොඩවල්’ කියමින් ඒවා විසි කිරිමටඅම්මාට ඉඩ නොතබා ඇය පොත් අතර අතරමං වන වෙලාවක් දෙස කුරුමානම් අල්ලමින් සිටඉක්බිතිය.



මතුසම්බන්ධයි.
Comments
8 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

8 comments:

  1. බොහෝම අමාරුවෙන් කරුමක්කාරී වටහා ගන්න උත්සහයක් කළා. යාන්තමට කරුමක්කාරි තේරුණා.
    බලමුකෝ ඉදිරියට කතාව. කරුමක්කාරිගේ දින සටහනට සුබ පැතුම්..

    බොර දියක ඉඳුවර

    ReplyDelete
  2. අද දින ආමී.. සටහන තබමි... හැකි හැම විට ගොඩ වැදී යන්නෙමි .. ෂැගියා...

    ReplyDelete
    Replies
    1. ආයු‍බෝවන්....
      නැවත එන්න

      Delete
  3. ඉතාම හොඳ රසවත් ව්‍යක්ත බස් වහරකින් ගොඩ නැගුණ ආරම්භයක්. කෙටකතාවකට වඩා එහා ගයි අදහසක් ජනිතවන කතා පුවතක්. සමාජය විනිවිද යන සංකීර්ණ චරිතයක් ගොඩ නැගෙමින් පවතින බවට කරන ලද මේ ඉඟිය දිහා ඉදිරියටත් බලමු..

    ReplyDelete
    Replies
    1. ‍‍බො‍හොම ස්තූතියි... නවකතාවක් විදිහට ලියන්න හිතලයි ආරම්භය සනිටුහන් ක‍ළේ..
      මේ ලින්කුවෙන් පලමු ‍කොටස බලන්න පුළුවනි... http://sanskaravinivida.blogspot.com/2013/07/20130728-1.html

      Delete

 
There was an error in this gadget