Saturday, August 3, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/07/30 - 3 ‍කොටස


ඇගේ දින සටහන් අතර ළදරු විය පිළිබඳ මතකයේ ඈ ශේෂ කර ගිය දෑ බොහෝ විය. ඇතැම් විට වයස අවුරුදු දෙකේදි හෝ තුනේදී පමණ සිදුවූ දෑ ඇගේ මතකයේ එතරම් තදින් රැඳී තිබුණේ කෙසේදැයි මට සිතා ගැනීම ඉතා අසීරු වු අවස්ථා තිබුණි. ඉතා දුෂ්කර පෙදෙසක ළදරු විය ගෙවා දැමූ ඈ මතකයේ ඒ පිළිබඳ තිබු අතළොස්සක් සිදුවිම් අතර ‘වැව‘ විශේෂිත තැනක් ගති. 

‘ජිම් පප්පා ජිම් පප්පා ලිඳේ වැටීලා
ලිඳේ තිබුණු කෝටු බෝටු ඇඟේ ඇනිලා‘ 
කියා සිංදුවට නොව, පෙරහැරේ යන කඩියන් පෑගීම නිසා උඩපැන නටමින් දැවිල්ල ගත් පා පිරිමදිමින් ඈ වැව් ඉව්රේ ගිනි කාශ්ටකය නොතකා ගත කළ වරු බොහෝ විය. බහ තෝරන වියේ ඈ තමා අසල නොමැති විමෙන් වික්ෂිප්ත වු මවත්, අසල් වැසියනුත් ඈ සොයා වෙහෙසෙනාතුර ‘‘ අම්මා, අත්ත අතන ඔකූඌඌඌ තිබුලෙක්“ යැයි කියමින් වැවේ සිට පැමිණී ඈ කටින් පමණක් නොව අතින්ද, ඇස් දෙකෙන්ද ඹුලාගේ ප්‍රමාණය පෙන්වූවාය. ඈ කිඹුලෙකියි සිතා රැවටි තිබුණේ වැවේ පාවූ දරකොටකයට වුව, අරක හොඳය අරක නරකය කියමින් ළමා විය සිට සුබාසුබ තෝරාගැනිමට හුරු කළ ඇය ස්වභාවයෙන්ම කිඹුලා යනු දරුණු සතෙකිය යන්නත් ඌ දැක බිය විය යුතුය යන්නත් අවබෝධ කරගත්තාය. 


ඇඳ තෙමාගන්නා දින මහ රෑ නින්දත් නොනින්දත් අතරම හිඳිමින් හඬන ඇය තමා ඇඳ තෙත් කරගන්නා අයුරු සිහිනෙන්ද දකින්නි ඒවා නිම වන තෙක්ම අවදි නොවි සිහිනයේම රැඳී සිටියාය. එවන් දිනක, සුදු පෙන අහුරු ගොඩක් උඩින් උඩට මතු වන ළිඳක් දුටු ඇය සිහිනයේ පරතෙරට යමින් පෙන අතරින් ලිඳ තුළට එබෙන්නට තැත් කරන විට අම්මාගේ කීද්දීමෙන් අවදිව හැඬූයේ සිහිනයේ ඉතිරිය බලා ගැන්මට මතුවු භාදකයට ප්‍රතිවිරුද්ධව කළ හැකි එකම දෙය, හැඬීම දිගින් දිගටම කරමිනි. පුස් කෑ ඉටි රෙද්දේ තෙත් සිතල ඇඟට දැනි දැනි තිබුණු හෙයින් සුව නින්දක් බලා ගත නොහැකි වවද ඈ උණූහුමක් සොයමින් අඳුරේම එහෙ මෙහෙ අත පත ගා සුදුසු තැනක් බලා ඇණ හිටි හිනය නැවත මුල සිට බැලිම ඇරඹුවාය. ඇගේ මෙම, කැඩුණු හින නැවත නැවත දැකිමේ පුරුද්ද ඈ කිසි දිනෙක අත් නොහැර ගත් අතර පසුකාලිනව පද්‍යාවලින් ලෙස ගොත ගොතා මනෝමය ලෝකයන්ගේ මුල සිට අග දක්වා වූ සිදුවිම් පෙළ ගස්වන්නටත්, කැන්වස් මත අපූර්ව රේඛා හැඩතලයෙන් එකින් එක හැඩයන් අතර කිමිදෙමින් අරුත් සොයන්නටත් සිදු වන සිතුවම් බිහිවන්නටත් එය හේතුවක් විය. 

ඈ තුළ පැවති ඇගේ හීන යථාර්ථයක් වෙනු දැක්මට ඈ කොතෙකුත් ප්‍රාර්ථනා පීරුවද ඒ සැම විටකදිම ඈ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කරුමක්කාරියක්ම වූ බව ඇය සටහන් පුරා කවි පුරා ලිවීය. ඈ ලියනාතුර දැසින් රූරා වැටී සටහන් බදාගත් ඇගේම කඳුළු ඇගේම සිතිවිලි බොඳකරලද්දී ඈ සිය හදේ වැකි වේදනාව පාර පාරා ඉකිබින්දේ ඇගේම ඛේදනිය ඉරණම තුළ ගිලි යමිනි. 

හාත්පස මලානික සුදු පැහැය පතුරාගත් ඇගේම හීන ලෝකයක් ඈ තනා ගද්දී යන්තමින් අට වස් සපිරි ඇය සිහින ලෝකයේ තටු ලද ඉතාම ශෝභමාන ලදැරියක් විය. ඉහ මොළ රත් කරන අවු කූටකේ පාසල ඇරි පයින්ම තරණය කළ යුතු කිලෝමිටර ගණනින් දුරට සිය කල්පනාවන් සමග දිග වැඩි වි යන මගක පාසැල ඇරී ගමන් කළ යුතු වු නිසාය ඈ එම මග ගෙවාලිම පහසු කරවනු වස් මග දිගට සිහින ලෝකයක සැරි සැරුවේ. කිසිවෙකුට අමතකව නොසලකා හරිනු ලැබු, සිටියද නොදුටුව ගානට වැඩිහිටියන්ගේ අවධානයට ලක් නොවුණු ඈ සිය මනෝ විජිතයේ සිය සර්වබලධාරීත්වය පතුරුවාලීය. සියලු පරාක්‍රමයන් සහිත සුරඟන වූ ඇය, තමා වඩා පරිවාර සේනා රැසක්ද සිය කාන්සිය මගහරවාගනු වස් තමා පිළිබඳ සිතැතිව තමා ගැනම සොය සොයා වෙහෙසෙන සම වයසේ පිරිමි ළමයෙකුද, එනම් හවුල් කරුවෙකුද සිය මනෝ විජිතය තුළ නිර්මාණය කළාය. එහි පහින් ගමන් නොගිය ඈ පොළවෙන් ඉස්සි පාවෙමින් ගමන් කළ අතර ඇයට කිසිදු සරතැසක් නොදැණුනා සේම ඩා බිඳකදු සිරුරින් නොගැලීය.

මනෝ විජිතයේ කෙසේ වුව ඈටද නොදැනී නිල ඇඳුම දාඩියෙන් පෙඟී දාඩියට තෙත් වු කෙස්ස ගෙල දිගේ ඇදි ඇදි කිතිකැවෙන විට පැය ගණනකින් දිගු වන ගමනකට පසු, පොත් බර නිසා කුදු ගැහුණු සිරුරෙන් යුතුව ඇය නිවසට ළඟා වන්නීය. ‘කොහෙද මෙච්චර වෙලා ගියේ? කියටද ඉස්කෝලෙ ඇරුණෙ?‘ යැයි ඇසිමට කිසිවකු නොවූ නිවසේ මුහුණ අතපය සෝදාගැන්මකින් තොරවම ඇඳුම් මාරු කිරීමකින් තොරවම ඈ ඇඳේ ඇලවෙන්නේ යථාර්ථය වැළඳ ගනිමිනි.

මතුසම්බන්ධයි

Comments
4 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

4 comments:

  1. ඇ, මේක කලින් පෝස්ට් කරා නේද, අලුතින් එකක් දාල ඒත් බුකියෙ ශෙයා කලේ නෑ කියල බනින්න හිතානයි ආවෙ.

    ReplyDelete
    Replies
    1. නෑ... මේක බුකි‍‍යෙ දැම්මට බ්‍ලොග් එ‍කේ ලියවු‍‍ණේ අද

      Delete
  2. ලස්සන ලියමනක්..අගනා පද බැඳුමක්..මගෙ හිතෙත් වැහිලා ගිය තැනක් ආයෙත් අවදිවෙන්න හදනව වගේ මේක කියෙව්වට පස්සේ.

    ReplyDelete
  3. ලස්සන පින්තුරයක් ශෝක්........

    ReplyDelete

 
There was an error in this gadget