Wednesday, August 7, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/01 – 5 කොටස



සිතිවිලි මිටි බැඳ අසුරා පිළිවෙලට තැබු ඇගේ රාක්කෙන් එකිනෙක සිතිවිලි මිටි දිගහරින මා ඒවා ඔබ ඉදිරියේ විවර කරමි. ඇය බෙහෙවින් ආශා කළේ සිතිවිලි රාක්කයක් පිරවිමට නොව පොත් රාක්ක ගණන් පුරවා ඈටම වෙන් කළ පුස්තකාලයක ආඩම්බරකාර හිමිකාරියක විමටයි.


උඹ මහ ආත්මාර්ථකාමි ගෑණියෙක්



ඇගේ ආශාව ඇසූ සමීපතමයෙක් දිනක් දුරකථන සංවාදයකදී ඈට බැන වැදුණි.


පොත් ගොඩගහගන්නෙ ආත්මාර්ථකාමී මිනිස්සු. පොතක් ගත්තම කියවලා කාටහරි දිපං. නැත්නම් අළුතින්ම පොත් උඹටම කියල සල්ලිවලට ගන් නැතිව, ඒ පොත තියන එකෙක්ගෙන් ඉල්ලගනිං.


බෑ... මට ඕන ලස්සනට පොත් පිරුණු රාක්කයක්


ඔහු කියන්නක් නොඅසා ස්වමතයේම රඳමින් තම අතාගත පොත් රාක්කයට එක් විය යුතු, වන විට පාඨක රසවින්දනය නොමදව දිනා ඇති අළුත් පොත් මිතුරන්ගෙන් අසා ලැයිස්තු ගත කරන්නි පඩි දා නොවැරදීම දෙතුන් දහසක පොත් මිලදි ගන්නීය. ජීවිතයේ පළමුවර ඈටම කියා පොතක් ලැබුණු දිනය කෙසේවතුදු, ඈ උදෙසාම ලද ළමා පත්තරය ලත් දින ඈ මතකයේ හොඳින් සටහන් වි තිබිණි. බිංදුලෙසින් නම සඳහන් වු එහි කවරය සැරසූයේ දුඹුරු පැහැති වලස් මවක් පියෙක් සහ බබෙකි. සීයා සමග එක්වී දහවල පුරා වැටහිර කෝටු සුද්ද කිරිමෙන් සිරුර පුරා තවරාගත් ගස් ගඳට ඇලෙන දහඩියද එක්කරගත් ඈ අම්මා දුන් පත්තරය අතට ගත්තා නොව ඩැහැගත්තීය. සිව් වන විය සපුරා තිබූ ඇය ඒ වන විට කියවීම හුරු කරගෙන සිටියා සේම වඩාත් රුචි කළේ පාටකූරුවලින් හරඹ දැක්විමටයි.





ඉටි පහනක් දල්වා නැවෙන බිඳෙන ගිනි දල්ලට පාට කූරු අල්ලන ඇය උණූ වී වැගිරෙන දියරයන් එකට කලවම් කරන්නී පාට පාටින් ඈ තුළ උපදින සිතිවිලි එනිනෙක මුහු කර අපූරු මුහුම් සිතිවිලි සම්ප්‍රදායක් තමාට නිර්මාණය කළ හැකි බව අවබෝධ කරගත්තාය. චිමිණි ලාම්පුවේ දැල්ල නංවා විදුරුව වටා බැඳෙන දැලි එක් කර පැස්ටල් කූරු උණු කර තනාගත් වෛවර්ණ පැහැයන්ට එක් කරන ඈ හරි ලස්සනයි මේවයෙ විහිදෙන රැස් කළු දැලි වලින් අඩු කරද්දියි පවසන්නීය. තිබූ උස පසුකර ඇගේ ගෙල දිගු වද්දී, දොර උළුවස්සට ඇගේ හිස් මුදුන සමග තිබු පරතරය අඩු වද්දී, සිතිවිලි අමු අමුවෙන් විදහා දක්වනවාට වඩා එහි තීව්‍රත්වය අඩු වැඩි කරමින් දැක්විම ඉතා අගේ ඇති සෙල්ලමක් බව ඈ උගත්තේ මෙම පහන් දැලි ඉටිපන්දම් සෙල්ලමෙන් කලකට පසුවදිය. තොටිල්ලේ ලෑලි අතරින් ඈ වෙත අත පොවමින් ඌ ඌ... යැයි හඬමින් පාට කූරු ඉල්ලන මල්ලීගෙන් එසමයේ තිබූ සුරතල් කරදරය කරදරයක් කොට නොතැකූ ඈ කල් යත් යත්ම ඈ තුළ තැන්පත් කළ වෛරය මල්ලි මත හෙලාලන්නට පටන් ගත්තාය. ඈ සිතිවිලි තුළ කිමිදෙන සැඳෑ සමයේ නිවසේ පැවති දෝංකාර නංවන නිහඬතාව බිඳින ඔහු කන් දෙදරවනා හඬින් ගයන ගී අසන ඇය පරුෂ වදනින් ඔහුට බැන වදින්නී ඔහුගේ දැක්ම පවා අප්‍රසන්න කරන තත්වයට පත් වූවාය.



නැලවිලි ගී කියා උකුලේ හොවා හාදු වැසි වස්වා නැලැවූ ඔහු උදෙසා ඈ මෙතරම් වෛරී දැලක් වියාලූයේ කවදා පටන්දැයි ඈම නොදන්නී ඈ කෙරෙහිම උපන් පිළිකුලෙන් ඇගේ හුදෙකලාවෙන් ජනිත අපේක්ෂාභංගත්වයෙන් නිරන්තරයෙන් දැවිණි.



දිනක් ඔවුනතර ඇතිවූ රණ්ඩුවක් දුර දිග යාමෙන් කෝපයෙන් වෙවුලන්නට වූ ඈ අතට හසුවු වීදුරු බෝතලයක් ඔහු වෙත දමා ගැසුවද ඉලක්කය වැරදී ගොස් එය ඔහු සිටි පඩියට පහළ පඩියේ ගැටී සුණු වි ගියේය. අම්මා පැමිණි විට තමාට ඒ වෙනුවෙන් වන්දි දෙස ගුටි වාරයක් ලැබෙන බව දැන සිටියද, විසිරුණූ වීදුරු කටු එහෙ මෙහෙ කොට ත්‍රිකෝණාකාර උල් වීදුරු කැබැල්ලක් අසුලාගත් ඈ කාමරයට ගොස් දොර වසා ගත්තීය.



පාර්ෂවදර්ශීයව දිස් වන උඩුකය සහිත තරමක් ඉහළ බලාගත් දිගු ගෙල මුලට ඇට මාලයක් දමා, කන මුල අරලියා මලක් රඳවා ගත් කෙල්ලකගේ රුව ඒ වන විටත් කහ පැහැයේ ප්‍රභේදයන්ගෙන් හැඩවී ඇගේ ඊසලය මත රැඳි තිබිණි. තනි ඇසක් දිස් වූ ඇගේ මුහුණින් කඳුළු සඟවා ගැනිමට ඉහළ බලා සිටින ආකාරයක් මැවි පෙණිනි. උල් විදුරු කටුව දෙස තත්පර කිහිපයක් බලා සිටි ඈ වමතේ පිටි අල්ල ඉන් කපා ගත්තී වේදනාවත් සමග පිටාර ගලනා රත් පැහැ ලෙය සායම් බඳුනට වැටෙන පරිදි අල්ලා ගත්තීය. ටිකක් ඉඳපන් ගල් නොවී, ඇගේ වේදනාව අඩු නොවෙනකන්කී ඈ ඇදුම් කන අත එලෙස තිබියදී ඈට හුරු දකුණතට පින්සලයක් ගෙන, කහ පැහැයේ විවිධ ප්‍රභේද මුසු කර පැහැ ගැන්වූ මලානික කහ පැහැය කැපී යන පරිදි සිතුවමේ කෙල්ල මතු වි පෙනෙන සේ ඇගේ ලෙය ඈ මත තැවරුවාය.



අඬපන් උඹ... දකින උන් විඳීවි වේදනාව. උඹ හරිම මෝඩයි. අනිත් උන්ට වින්දනයක් දෙන්න උඹ වැලපෙනව වැලහින්නක් වගේ. ඒ උන් විඳිනව උඹේ වේදනාව. ඉන් පස්සෙ උන් කියාවි ශහ්..... අපූරු සිතුවමක්කියලා



කාලයත් සමග සිතුවමේ කෙල්ලගේ උවනත තැවරූ ඇගේ ලෙය, කෙමෙන් කෙමෙන් සිය රත් පැහැය කුණු පැහැයකට හරවා ගනිමින් ඇගේ අරුත වඩාත් උද්දීපනය කරන්නට යෙදුනේ ගැහැණියගේ හද තුළ ගිලා බස්නා ලද්දා වුද, මුලිනුපුටා දැමිය නොහැකි වුද වේදනාව පිළිකුළට හරවාලමිනි. එය, ගැහැණිය කෙරෙහි අපන් සදාකාලික පිළිකුළක් වූවා සේම ගැහැණූකම හා බද්ධ කොට හංවඩු ගැසූ නොමැකෙන, නොමැකිය හැකි සංකේතයක් වන බවද ඈ සිය පවුල් පරිසරය තුළ සිටිමින් අවබෝධ කරගත්තාය. රැයේ සිතිවිලි පුබුදුවාලමින් මෝරා එන අන්ධකාරයට දෙනෙත හරවන ඈ විවර කරගන්නා ලද දෙනෙතින් අඳුරෙහි ඇගේ සිතිවිලි ලෝකයට තව තවත් අරුත් සොයන්නට, කවි සඳහා උපමා රූපක සොයන්නට වුවාය. කොතනින් ගියද එක් තැනක ඈ නැවතිණි. සිය ස්ත්‍රීත්වයේ අච්චුව තුළින් එළියට පනින්නට වලි කන සිතිවිලි සියල්ල ඇගේ එම සිතිවිලි වැකියේ අවසන් තිත කෙරෙහිම යොමු විය.





මතුසම්බන්ධයි
Comments
2 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

2 comments:

  1. ජයවේවා.... රාජ සම්පත් ලැබේවා.... හරිම සම්භාව්‍ය බවක් දැනෙනවා. නිකං අර වටිනා කියන කෞතුක භාණ්ඩ තියන තැනකට ගියාම දැනෙන ආඩම්බරය වගේ..

    බොර දියක ඉඳුවර

    ReplyDelete

 
There was an error in this gadget