Thursday, August 8, 2013

කරුමක්කාරියකගේ දින සටහන් 2013/08/03 - 7 කොටස

කාලය කැටි කර මිටින් ගත හැකිනම් ඈ කාලය හකුළුවා ගවුමේ පසෙකින් ඇති පැසෙහි බහා ගන්නීය. අතිතයට එසේ කළ හැකි වුවද ඇ ඉදිරියේ ඇති අනාගතය තෙක් වර්තමානය ඇදෙන්නේ රබර් පටියක් මෙනි. ඇදෙන්නට හැකි තාක් දිගට රබර් පටිය ඇදෙනවා සේම ගෙවා ගැනිමට අසීරු කාලයද බොහෝ සේ ඇදෙමින් ඈ වෙහෙසට පත් කළේය. ඒ ඇදීමෙන් අනතුරුව සංකෝචනය වන රබර් පටිය තිබුණාටත් වැඩි තරමින් යම් ප්‍රමාණයක් විශාල වන්නේ යම් සේද, ඇදුණු කාලය පුරා ඈ එක්කාසු කරගත් තොරතුරු ‍හිස් කාලයට එක් කළ විට, රබර්පටියේ වැඩිපුර ඇදුණූ කොටසට ඈ අළුතින් එක් කරගත් අත්දැකීම් සම කළාය. ගෙවුණු කාලය තුළ ඈ තම මතක සටහන් අතරට කඳුල සිනහව ඉකිය සුසුම වේදනාව වින්දනය සමග අසීරුවෙන් සහ කැමැත්තෙන්ම පුරවාගත් යම් යම් දෑ හේතුවෙන් අනාගතයේදී ඇයට සිය අතීතය පිළිබඳ කථා කළ හැකි බොහොමයක් දෑ මෙම ඇදෙමින් පැවති කාලය තුළ ඈ එක් කරගත් අතර පසුව ඒවා හකුළුවා කැටි කර සිය පසුම්බිය තුළට රුවා ගනු ලැබුවාය.


විදුලි බුබුළු නිවී නිවැසියන් නින්දේ සැප ලබද්දී මුළු පරිසරයම නිහඬතාවේ ගිලෙද්දී අඳුර විනිවිදගෙන රැහැයියන් හඬාවැටෙන කළුවරේ මේස විදුලි පහන දල්වන ඇය අඳුරට කෙමෙන් හුරු වෙමින් අන්ධකාරයේ සිය සිතිවිලි කූද්දවමින් කොළ මිටියකට දෑස් හරවා ලියන්නට පටන් ගන්නිය. එකිනෙකට‍ නොපෑහෙන ලෙස ‍ඇලේ හඬ නගන විවිධාකාර ගෙඹි කූජනයන්ට රැහැයි නාදය පරස්පර තනු එක් කරන සංගීතයේ විසංයෝජනයට ආශාවෙන් කන් යොමන ඇය ලිවිල්ල පසෙක තබා සිතිවිලි එක්කාසු කරගන්නට එම වරදවාගත් රිද්මය රුකුලක් කර ගන්නී නෙත් පියා සමවැදී නිසොල්මනේ සිටින්නීය.

‘අපිළිවෙල’ ඇයට රුකුලක් වූයේ ලිවිල්ලේදී පමණක් නොවේ. එකිකෙන නොපෑහෙන ගෙඹි රැහැයි නාදය සුසංයුක්තයෙන් ඈ සිය සිත තුළ ‍සිතිවිලි පෙළගැස්වූයේ අපිලිවෙලින් උපන් පිළිවෙලට ස්වභාවයෙන්ම ලද හුරුව නිසාවෙනි. කිසි දිනක ඈ පිළිවෙලට සැකසූ කාමරයක සිට, ක්‍රමවත්ව සකස් කළ පොත් මේසයක සිට සිය කටයුතු කිරීමට රුචි කළේ නැත. ‘පිළිවෙල’ ඇගේ සිත වඩාත් අපිළිවෙලකට පත් කර සිතිවිලි සීසිකඩ විසුරුවා හැරියේය. පාරේ තනිව සිතිවිල්ලේ යන කල්හි ලියන්නට සිතා අපූරුලෙස සියුම්ව ප්‍රතිභාපූර්ණව නිර්මාණය කළ වීදුරු මාළිගාවක් ඈ සිත තුළ ගොඩනගා ගනිමින්, ලියන්නට පෙර අමතකවේයැයි සිතා ඉක්මන් ගමනින් පැමිණ ඈ පිළිවෙලකට සකස් කරන ලද මේසයක හිඳ ගත්තේනම්, එතරම් අලංකාරවත්ව ඈ එන මග පුරාවට ගොඩ නැගූ සිතිවිල්ල වන එකී විදුරු මාළිගය එක පහරින් සුණූ විසුණු කර දමන ගල ‘පිළිවෙල’ වන තරමටම ක්‍රමවත්ව සැකසූ පරිසරය ඇයට හානිකර විය.


එනිසා කිසි දිනෙක ඇය අවට ‘ඇගේය කියන පරිසරය’ දකින අයෙකුට පිලිවෙලක් ලස්සනක් ගෙන ආවේ නැත. තැන තැන දැමූ ඇඳුම්, සායම් පිසදැමූ සායම් සුවඳ විහිදුවන රෙදි කැබලි, සෝදා දැමූ බාගෙට තෙත් වූ කිළිටි වූ රෙදි, මැහුමු ගෙතුම් සඳහා ගෙන කැපී ගිය රෙදි කැබලි, සෝදා දැමීමට කල් ගියෙන් කිළිටි පිටම විසිකිරීමට යැයි සිතා ඉවත් කළ එහෙත් අමතක වී ගිය හෙයින් විසි කර දැමීමක්ද නොමැතිව තැන තැන දැමුණු ඇඳුම්, ආදී වූ රෙදි වර්ග වලින්ද කියවූ, කියවන්නට ගෙන අතරමග නතර කර දැමූ, අළුතින්ම ගත්, මිටි බැඳ පසෙකට කර දැමූ පොත් වලින්ද ලිය ලියා මිටි බැඳ රාක්ක ගණන් පිරවූ නිබන්ධන වලින්ද හරහට ලණු ඇද රෙදි එල්ලා දැමුණා වුද මේ සියල්ලෙන් ඇහිරුණා වූ කාමරයක් ඇයට විය. ඇගේ විසිරුණූ සිතිවිලි එක්කාසු කර ලස්සන වදනින් පෙළගැස්විමට සුදුසුම උපස්ථරය ලෙස ඇය තෝරා ගත්තේ මෙම පරිසරයයි. එහි බිජුවට ලෙස වැපිරී සෙමෙන් සෙමෙන් මුල් ඇදී හැදි හැදි පල දරන අපූර්ව වූ නිර්මාණයෝ ඇගේ දරු කැල ලෙස ඈ තුරුළු කරගත්තාය. මුල් ඇදී දළු කොළ මල් දරමින් උස් මහත් වන ‘නිර්මාණ’ ලෙසින් එළිබට සිය දරුවනට සාත්තු සප්පායම් කරමින් පොහොර වතුර යොදා ඒවා කඩත්තු කරන්නී තමා අවට මුළු මහත් සමාජයෙන් කැපී පෙනෙන බහුතරය කෙරෙහි ඈ තුළ රෝපණය වූ කෝපයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් බිඳ බිඳ ඈ එම පොහොර නම් අලංකාරෝක්ති හා මුසු කර සියතින් බිහි වන නිර්මාණ වෙත කවා පොවා ඒවා බිහි කර උස්මහත් කර එළිදැක්වූවාය.


“හරි අපූරුයි ඔබේ සිතිවිලි. කියන්න, මේ තරම් අඩු වයසකදි කොහොමද ඔබ මේ තරම් දුරට ගැඹුරු සංකල්ප ගැන හිතන්නේ?”

දිනක් රූපවාහිනී වැඩසටහනකදී නිවේදිකාව හිටිහැටියේ ඇගෙන් විමසා සිටියාය. දිය හැකි පිළිතුරක් එකවරම ඇයට සිතා ගත නොහැකි වූවා සේම, ‘අමුතුවෙන් කුමක් සිතන්නද? පෙනෙන දේ දකින දේ සිතෙන දේ මං නිර්මාණ ලෙස බිහි කරනවා’ යන්න පමණි ඇගේ සිතට නැගුණේ.

“අනිත් අයට හිතෙන දේවල්ම තමයි මං හිතන්නෙ මටත් හිතෙන්නේ.” ඇය නිවේදිකාවගේ පැනයට එලෙස පිළිතුරු දුන්නීය.

“නැහැ... සාමාන්‍යයෙන් අපිටහිතෙන දේවලටවඩා වැඩි යමක් ඔබට හිතෙන බව ඔබේ නිරාමාණ වලින් මට හැ‍ඟෙනවා. ඒක ඔබේ වයස ඉක්මවා ගිය දෙයක්. ඇතැම් ඒවා අපේ අවබෝධයෙන් එපිටට ගිය දේවල්”

නිවේදිකාවගේ මෙම කරුණු පැහැදිලි කිරීම ගැන පසුව නොයෙක් අවස්ථාවන්හි ඈ සිතමින් සිටියද ඇගේ කථාව නිවාරදිව ඈ තේරුම් ගත්තේ ඉන් වසර ගණනාවකට පසුවයි. ‘මිනිසුන්ට සිතක් තිබුණද දුරින් දුරට සිතීමෙන් ඔවුන් වැලකෙන බවත්, සිතට වෙහෙස ගෙන දෙන සිතිවිලි ප්‍රහාරයන් මගහරවාගනිමින් හැකිතාක් සරලව සිතන්නට බහුතරය කැමැත්ත දක්වන බවත්’ තේරුම් ගැනීමට ඒ වයස අවුරුදු දහනවයේදී ඇයට නොහැකි වූ අතර වයස විසි පහ පසු කරන තෙක්ම ඈ සිතා සිටියේ මිනිසුන් සිතිවිලි ඔස්සේ දුරින් දුරට සිතා ඒවා විග්‍රහ කළ යුතු බවයි. එහෙත්, මිනිසුන් වඩා කැමති තේරුම් ගත හැකි දේ පමණක් තේරුම් ගැනීමට පමණක් බව අවබෝධ කර ගන්නා විට, ‘ඔබ මේවා අවධාරණයෙන් සිතා බැලිය යුත්තේමයැ’යි යන ආකල්පයෙන් ඈ විසින් ලියා සමාජයට මුදා හැරිය දෑ බොහෝ විය. එතෙක් වු දිර්ඝ කාලයක් පුරා නිස්සාර ආකල්පයන්ගෙන් හෙබි පිරිසක් තෙලිතුඩගින්, පන්හිඳකින් ආමන්ත්‍රණය කරනු ලැබීමට සිදුවීමේ මහා වරද ඈ අවබෝධ කරගන්නා විටත් යළි සැකසිය නොහැකි ලෙස ඇගේ ආකල්ප පැවති සමාජයේ පොදු ජනතාවගේ සරල සිතිවිලි අතික්‍රමණය කර බොහෝ දුර ඉගිල ගොස් තිබිණි.


තද හිරු රැස් නිසා අම්මාගේ සාරි පොටින් හිස වසාගෙන එහි මල් මෝස්තරයෙන් පෙරී එන ආලෝක කිරණ හා දොඩමලු වෙමින් ගිනියම් අව්වේ පෙරුණු හිරු කිරණින් නැහැවෙමින්ම අම්මාගේ වේගයට දුවමින් ගමන් ගිය ඈ ඇතැම් විටෙක කිසිදු පෙරහන්කඩක් නොමැතිවම ඇ වෙත ඇතැමුන් ඍජුව නගන අපවාද දෙස බලා සිටියාය. ඒවා අසා සිටියාය. ආවරණයට හිස තිබූ අම්මාගේ සාරි පොට ඈ වෙතින් පළමුව උදුරා දැමූ අම්මා මුල්ම ගල් ප්‍රහාරය සිය නිවස තුළින්ම ඈ නළල් තලයේ වැරෙන් පතිත කරමින් ‘‘තෝ හැදුවට වඩා හොඳයි උපන් ගෙයි මරා දැම්මානම්’’ කියා  සිටියාය.


නළල් තලය සිරස්ව දෙකට බෙදමින් උපතින්ම ඇගේ නළලෙහි පිහිටි ශිරාව ගල් පහරින් සිදුරු වී ගිය අතර උණු ලේ දහරාවක් විදෙන්නට විය. ඇගේම ලෙය කුප්පියකට එක් කර ලෙයින් කුප්පිය පුරවාගත් ඇය, සිය තින්න පෑන එහි රුවා සිය ලෙයින් සිය සිතිවිලි පත්තිරු මත සටහන් කරන්නී සාපලත් ගැහැණියකගේ චරිතය විවිධාකාරයෙන් එහි සිත්තම් කළාය. “හීරෝ” ලෙස සටහන් වූ ඇගේ උල් තුඩැති පෑන, ඇගේ සිතිවිලිවලින් ඇගේ ලෙයින් කොළ පුරවද්දී තමා කෙරෙහිම උපන් ශෝකයෙන් හඬා වැටුණු ඇගේ කඳුළු කොළ මත වු ඇගේ ලේ සමග එක්කාසු වී ඈ මැවූ සාපලත් ගැහැණිය වේදනාවේ ගැඹුරු පත්ලෙන් ඇදගෙන විත් කොළ මත චිත්‍රණය කළේය.

“උඹ හිතන් ඉන්නෙ මිටරේ කැරකෙන්නෙ නිකන් කියලද? නිවපන් ඔය ලයිට් එක. පාන්දර දෙකත් වෙලා ලයිට් දමාගෙන මොන ඉලව්වක් කරනවද මංදා”

අන්තිම වාක්‍ය තමාටම කියාගනිමින් ක්‍රමයෙන් අඩු වී යන එම උස් හඬේ වේගය මැකී යන්වාත් සමග ඇය නිදද්දී පොරවන බ්ලැන්කට්ටුව මේස ලාම්පුවත් හිසත් ආවරණය වන සේ දමා කාමරයේ බිත්ති තීරයෙන් පිටතට ගොස් තමාගේ නොනින්ද ගැන අනෙක් අයට ගතු කියනා විදුළි එළිය ආවරණය කර දමන්නීය.


(බොහෝ දුරට මේ පල වුණේ අවසන් කොටස. ඉතිරිය, මෙතෙක් පලවූ ඒවායේ සංශෝධනද සහිතව මුද්‍රිත පොතක් ලෙස වසරක පමණ කාලයක් තුළ ඔබ වෙත ගෙන එන්නට අපේක්ෂා කරමි)

Comments
5 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

5 comments:

  1. //...නළල් තලය සිරස්ව දෙකට බෙදමින් උපතින්ම ඇගේ නළලෙහි පිහිටි ශිරාව ගල් පහරින් සිදුරු වී ගිය අතර උණු ලේ දහරාවක් විදෙන්නට විය. ඇගේම ලෙය කුප්පියකට එක් කර ලෙයින් කුප්පිය පුරවාගත් ඇය, සිය තින්න පෑන එහි රුවා සිය ලෙයින් සිය සිතිවිලි පත්තිරු මත සටහන් කරන්නී සාපලත් ගැහැණියකගේ චරිතය විවිධාකාරයෙන් එහි සිත්තම් කළාය. “හීරෝ” ලෙස සටහන් වූ ඇගේ උල් තුඩැති පෑන, ඇගේ සිතිවිලිවලින් ඇගේ ලෙයින් කොළ පුරවද්දී තමා කෙරෙහිම උපන් ශෝකයෙන් හඬා වැටුණු ඇගේ කඳුළු කොළ මත වු ඇගේ ලේ සමග එක්කාසු වී ඈ මැවූ සාපලත් ගැහැණිය වේදනාවේ ගැඹුරු පත්ලෙන් ඇදගෙන විත් කොළ මත චිත්‍රණය කළේය....//

    හදවත පසාරු කරගෙන යන වචන ටිකක්...මේක ඇතුළෙ අපි හැමෝගෙම කතාව තියනවා..ඔබේ කෘතිය විශිෂ්ට ගණයේ එකක්...කියවන්න අවස්ථාව ලැබෙනකම් ඉන්නවා..සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උමා......

      Delete
  2. oya hamadema sium widihata balanawa api godak dewal saralawa thama hithanne thats true. methaning meka awasanaya godak hodai awasana kotasen thama apita therenne mokakda kiyanne kiyala.Eth akka meka pothak karanawanam kiyawana ayawa pothata adaganna patan ganma tikak edit karanna (oya mata hithena hati)

    ReplyDelete
    Replies
    1. තවම අවසානයක් නැහැ.... පොත ලියා පල කළ දවසක අවසානයක් එයි. මම ඒ ගැන තවම හිතල නැහැ :)
      කොහොමත් මේක සංශෙෘ්ධනය කරන්න වෙනවා අඩුපාඩු හදාගෙන පල කරන්නම්
      බොහොම ස්තූතියි

      Delete

 
There was an error in this gadget