Monday, June 18, 2012

පැරණි අදහස් තුළ එල්බ සිටීමෙන් සහ ගතානුගතික ච්න්තනයෙන් මිදිම කාන්තාවට අකැප වූවක්ද?


ලෝකයේ නොයෙක් බෙදීම් ඇති කර ගන්නේ සමාජය විසින්මය. මිනිසාම සම්මත කර ගත් එම බෙදිම් තුළ සිටිමින් විය යුතු යොවිය යුතු සම්මතයන් ඒ අනුව මිනිසා විසින්ම බිහි කරගෙන තිබේ. මෙකී සමාජ සම්මතයන් තීරණය කිරීමෙහි ලා ප්‍රබල දායකත්වය සපයන්නේ සංස්කෘතියයි. යම් ජන කොට්ඨාසයක්, ඔවුන් විසින්ම නීතිගත කරන ලද සංස්කෘතික රාමුවක සිට සමාජ සම්මත, තහංචි දමා සිය සංස්කෘතික දෘශ්ටියට යම් අනන්‍යතාවයක් ලබා දී තිබේ. මෙසේ බිහිකරගත් යම් නිශ්චිත කෝණයක සිට බැලීමේදී තම සමාජයට සුදුසු දේ ‍කවරක්ද, නුසුදුසු දේ කවරක්ද යන්න සම්මතයකට පැමිණීම මෙකී සංස්කෘතික පසුබිමේ ස්වභාවයයි. ඒකාකාරි රාමුවකට කේන්ද්‍රගත වීම තුළින් ඇතැම් නව්‍ය ප්‍රගමන වෙත මෙකී සමාජය ඔරොත්තු නොදේ නම් සංස්කෘතික බැම්මෙන් එපිට ඇති දේ යැයි කියා ඒවා බැහැර කිරීම සාමාන්‍ය සිරිතය. මෙය ලංකාවේ පමණක් දක්නට ලැබෙන්නක් නොවේ. සමාජය තුළ ගැහැණියගේ භූමිකාව මෙහි එක් ප්‍රභල පැතිකඩකි. සමාජය හා ගැටීමේදී මා වෙත එල්ලවු නොයෙක් අභියෝග, අපවාද, දිරිගැන්විම් ආදියද මෙම ලිපිය සඳහා පසුබිම් විය.

විශේෂයෙන් මෙහිදී අවධානය කෙරෙනුයේ ලංකා සමාජය පිළිබඳවයි. "ඈත අතිතයේ සිට සම්මතයේ පැවතියේ මෙසේයි" කියමින් සමාජයේ අනෙකුත් සැමටම පාහේ කාන්තාවටද යම් නිශ්චිත රාමුවක් සපයා ඇත. නැහැයි කියා නොකිව හැකි පරිදි කාන්තාව ළමා කාලයේ සිටම පුරුදු පුහුණු කළ චින්තනයන් සමග මෙකි රාමුවට කොටුවී එයට වහල් වි තිබේ. ඇය සතු යුතුකම් සහ වගකිම් සමුදායක් තිබේ. ඇය විසින් ඒවා අත් නොහැර අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතුය. එසේ නොවේනම් ඇය සමාජයේ සිරිත් කඩ කරන්නියකි. සීමාන්තික චින්තනයකට ඇය ගොනු කර මිටි බැඳ අසුරා තැබිම මත මිනිසෙකු වශයෙන් ගත් කල්හි ඇය නිදහසේ ජීවත් වන්නේද යන්න ගැටළුවකි. එසේම සමාජ සම්මතයෙන් පැනවූ සීමාවෙන් පිට අඩිය තැබීමට පෙළඹෙන ඇයට එතැන් පටන් සිදුවන්නේ අනේකවිධ ප්‍රශ්න සඳහා මුහුණ පෑමට සිදු වීමයි. උදාහරණයක් ලෙස වාරිස් ඩයරි නම් නිරෑපිකාව ගනිමු. සමාජ සම්මතයෙන් තහනම් වූ චාරිත්‍ර ලොවට හඬගා කිම හේතුවෙන් ඇය නොයෙක් අපවාදයක්ට මුහුණ දුන්නාය. ලංකාව තුළ එවන් චාරිත්‍රයන් නොමැති වුවද, යම් හෙයකින් කාන්තාව නවමු දැක්මකට යොමු වුවහොත් හෝ පවතින සමාජ සංස්ථාවට පරිබාහිර ක්‍රමයක් ප්‍රසිද්ධියේ පැවසුවහොත් මෙම සමාජයේ ප්‍රතිචාරයම පෙර දැක්වූ උදාහරණයේ තරමම ගන්නේය. සමාජ සම්සතයන් බිඳම යන කාරණය සඳහා කවර ගතානුගතික සමාජයක හෝ වේවා ප්‍රතිචාරය එකමය. වෙනස වන්නේ ඒ සඳහා ක්‍රියාකාරීවන ආකාරයන්ගේ යම් යම් වෙනස්කම් පැවතීම පමණි. 

බොහොමයක් පුද්ගලයින් මගෙන් අසන පැනයක් ඇත. "ඔබ ඉදිරිපත් වන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන්ද?" යන්නයි ඒ. කාන්තාවගේ අයිතින් කෙසේ වෙතත්, මා දකිනා ප්‍රධානතම කාරණය වන්නේ සැමට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇත යන්නයි. නමුත් තම "නිදහස" යන සාධකය තුළ කොටුවී සිටින බොහොමයක් දෙනා තම අදහස් යනු කවරක්ද යන්න අමතක වී තිබීමේ දරුණු තත්වයට අද වන විට මුහුණ පා ඇත. 

විශේෂයෙන්ම කාන්තාවන් ගත් කල්හි, ඔවුන් තම අදහස් ලෙස දකින්‍නේ පෙර කී අයුරින්, සමාජය විසින් ඔවුන්ට පැනවූ සීමාවේ සිට බලද්දී තමන්ට පෙනෙනා දෙයත්, කාන්තාව යන ආකල්පය තුළ සිට බලන කල්හි සීමා වූ චින්තන රාමුවක් තුළ ඇය දකිනා දෙයත් පමණි. මෙම ලිපිය සඳහා අදහස් විමසීමට යාමේදී කාන්තාවන් බහුතරයක් තුළින් මා දුටු තත්වය එයයි. ඔවුන් පවසන්නේ තම ආකල්ප නොව සමාජය විසින් කාන්තාවගේ හිස මත පැටවූ සංස්කෘතියක සදාවැරයක ආකල්පයන්ගේ ප්‍රතිරාවයකි. 

මින් පසුව නැවත සංස්කෘතිය වෙත අවධානය යොමු කරන්නේ නම්, අධ්‍යතන සංස්කෘතිය යනු කවරක්දැයි අසනු කැමැත්තෙමි. සංස්කෘතිය යනු ස්තිථික වූවක් නොව කාලානුරූපව වෙනස් වන්නාවූ දෙයකි. වෙනස් නොවන සංස්කෘතියක් නැත. සංස්කෘතිය වෙනස් වන්නේ නම් අප අද වන විටද නැවතී සිටිය යුත්තේ කණ්ඩායම් සමාජ ක්‍රමය පැවති පැරණිතම ගෝත්‍රික මට්ටමේය. මාගේ අදහස සංස්කෘතියක් අනවශ්‍යය යන්න නොවේ. මා පවසන්නේ සංස්කෘතිය යනු වෙනස්වන්නාවූ දෙයක් බවයි. එසේම සංස්කෘතික සම්මතයන්යැයි කියනා, සමාජය විසින්ම සාදා ගන්නාලද අස්ථායී හර පද්ධතීන් තුළම එල්බ සිටිමින් පිරිසක් වෙත පමණක් නිති පැනවිම යුක්ති යුක්තද යන්න අසනු කැමැත්තෙමි. 

කාන්තාව දුර්වල වූ අයෙක්ද? ඇය දුර්වලනම්, සමාජයේ ඇය පහත් කොට සලකන්නේ නම්, ඇයගේ ස්වතන්ත්‍ර අදහස් නිග්‍රහයට ලක් වන්නේ නම්, කාන්තාවක් තුළින් මෙලොව එළිය දුටු පිරිමියා, තමන් පමණක් ප්‍රමුඛ යැයි සිතා කටයුතු කිරිම සාධාරණ වූවක්ද? (සියලුම පුරුෂ පාර්ෂවය නොව බහුතරයක් සැලකීමේදී තත්වය මෙයයි) මෙහිදී වැදගත් වන්නේ ප්‍රමුඛ ස්ථානය, ශක්තිය නොව මිනිසත් බවයි. ගැහැණු පිරිමි යන්න භෞතික කාරණයකි. අප අවධාරණය කළ යුතුතේ සත්‍ය, පැහැදිලි සිතිවිලි, සාධාරණත්වය ආදිය පිළිබඳවයි. එහිදී කාන්තා පිරිමි බෙදීම ප්‍රමුඛත්වයට පත් වන්නේනම්, එය ඉතා අවාසනාවන්ත සිදුවිමකි. මන්ද එතැනින්ම "මිනිසත්බව" යන සංකල්පය නිෂ්ප්‍රභා වී ඇති බැවිණි.

අන්තවාදී චින්තනය සමාජයට ගෙන එන්නේ ඉතා කනගාටුදායක තත්වයකි. ආගම, ජාතිය, ස්ව මතය ආදී කවර අවස්ථාවක හෝ වේවා මෙකී අන්තවාදීත්වය තුළ සිටිමින් කිසිසේත් සාධාරණත්වයක් හෝ සත්‍යයක් දැකිය නොහැකිය. නමුත් බොහෝ විට සමාජ සම්මතයන් තුළ අත්තනෝමතිකව එල්බ සිටීම තුළ සිදු වන්නේ උක්ත අන්තවාදිත්වය හිස එසවිමයි. කාන්තාවකගෙන්, කාන්තාවගේ නිදහස් චින්තනය පිළිබඳව විමසීමක් තළෙමි. මේ ඇයගේ අදහසයි.

".... මම කියන්නෙ කාන්තාව පිරිමියා යටතේ ඉන්න ඕන. හේතුව අපිට පිරිමි කෙනෙක්ගෙ ආරක්ෂාව අනිවාර්යයෙන් ඕන. අපි කොහොමත් ඉන්න ඕනෙ පිරිමියාට යටත් වෙලා..."

සමාජයේ බහුතරයකගේ ආකල්පය මෙය වූයේ නම් කිව යුත්තේ, සත්‍ය වශයෙන්ම කාන්තාව තම ස්වාධීන සිතුවිල්ලකට නිදහසේ ‍කළඑළි බැසීමට ඉඩ දී නොමැති බවයි. ඉහත වචන, එම කතා කළ ඇයගේ වචන නොව ගතානුගතික චින්තනය තුළින් ඇගේ මනසට කිඳා බස්වන ලද සංස්කෘතික කඩතුරාවෙන් ආවරණිත සමාජයේ දෝංකාරයයි. මාගේ පැනය වුයේ කාන්තාවගේ නිදහස් චින්තනය, ඇයගේ නිදහස් ආකල්ප කරළියට ගෙන ඒමේ නම්‍යතාව පිළිබඳව මිස ඇය පිරිමියා යටතේ සිටිය යුතුද, ඇය සමාජයේ ප්‍රමුඛත්වයට පත් විය යුතුද යන්න නොවේ. මින් පෙනී යන්නේ, යම් ගැටළුවක් පැහැදිලිව නිරවුල් මනසකින් තේරුම් කර ගැනිමට පවා අද්‍යතන කාන්තාවට නුපුළුවන් වී ඇද්ද යන කාරණය නම් මෙය මහා අභාග්‍යයකි. 

යමෙක් ලිංගිකත්වය, සමාජ තහංචි, පුරුෂ කේන්ද්‍රීය සමාජය, කාන්තාවාදී චින්තනය ආදීවූ තේමා පිළිබඳව ප්‍රසිද්ධියේ කථා කරන කල්හි ඔහුට යම් යම් භාධා විශාල වශෙයෙන් එල්ල වේ. කාන්තාවක් මුල්වී මෙකී මාතෘකා විවෘතව විවාදයට ලක් කරන්නේ නම්, ඇය වෙත පැමිනෙන භාදක ඉමහත්ය. බොහෝ විට මෙවන් සංවාදයට ලක්කළ යුතු තේමා කරළියට ගෙන ඒමේදී, ඇයගේ පෞද්ගලික හැඟීම්, රුචිකත්වයන් පිළිබඳව කුතුහලයෙන් යුතු විමර්ශනයන් කිරිමට අධම ආකාරයෙන් පෙළඹීමට පවා අද සමාජයේ ඇතැම් පිරිමින් කටයුතු කරන තත්වයක් උද්ගත වී ඇත. ගැහැණිය මුළුතැන්ගෙට, එදිනෙදා ජීවිත සටනේ වගකීම් සහ යුතුකම් වෙත 'පමණක්' තරයේ සීමා කර ගෙයි මුල්ලක දමා විලංගු ලෑ යුතුද? (මාගේ අදහස ඔවුන් එම කටයුතු වලින් මිදිය යුතුය යන්න නොවේ, මේ සඳහා පමණක් සිමා විය යුතුද යන්නයි.)
නමුත් මිනිසුන් වශයෙන් අප කළ යුත්තේ නිරවුල් මනසකින්, ඉවසිමෙන් එකිනෙකාගේ සිතිවිලි තේරුම් ගැනීම මිස යම් යම් භාදක පනවා, නෛතික සිමාවන් පනවා සමාජ බෙදීම් තුළ යල් පැන ගිය ඒක කේන්ද්‍රීය දෘශ්ටියක සිටිමින් එයට ප්‍රාණය පෙවිම නොවේ. 

විශේෂයෙන්ම කාන්තාව පහත් කොට සිතනවාට වඩා, පුහු ගතානුගතිකත්ව විලංගුවෙන් මිදී නව්‍ය අදහස් සමගින් සමාජය අභිමුවට ඒමේ ප්‍රවණතාව සඳහා අත්වැල් සැපයිම දියුණුවන සමාජයේ ඉදිරි පැවැත්ම සඳහා ‍බෙහෙවින් ඵලදායි වන බව කිව යුතුය.
Comments
7 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

7 comments:

  1. අදයි මේ පැත්තට ආවෙ....

    කමෙන්ට් එකක් විදියට දාන්න දෙයක් ඇත්තටම නැති තරම් කථාකරන්න ගත්තු විශය ගැන හිඩැසක් නොතියම කථකරලා..අපිට පිරිමි කෙනෙක්ගෙ ආරක්ෂාව අනිවාර්යයෙන් ඕන.ඒක මමත් නැහැ කියන්නෙ නැහැ නමුත් පුරුෂාධිපත්‍යට යටත් විය යුතු නැහැයි කියන එකයි මගේ මතය.නමුත් ඒකෙන් මිදෙන්නටත් බැරි එකයි ලොකුම ප්‍රශ්නය.

    පුරුෂාධිපත්‍ය ගොඩනැගෙන්නෙ කාන්තාව සදහා පුරුෂයා ඇහුම්කන් නොදීම තුලින් ඔයා කියන්න වගේ කාන්තාව පහත් කොට සිතන නිසා..මෙයින් මිදිල ඉදිරියට යන්න පුළුවන්නම් ඇත්තටම සමාජයේ ඉදිරි පැවැත්මනම් සුභ දායක වේවි...

    ජය වේවා....

    ReplyDelete
    Replies
    1. කාන්තාවන් විසින්ම ඒ ශක්තිය ඇති කර ගත යුතුයි. නමුත් අද සමාජයේ වුණත් කාන්තාවො තරමක් පසුගාමියි. මේ තත්වය වෙනස් වෙනවනම් අනිවාර්යයෙන් කාන්තාවට නිදහසේ හිතන්න පුළුවන් කමක් ලැබේවි.

      Delete
  2. ඔබගේ අදහසට සම්පූ‍ර්ණයෙන්ම එකගයි. විශේෂයෙන්ම දකුනු ආසියාතික කාන්තාවසංස්කෘතිය තුළ සිරව සිටිනවා. ඇය ඒ සංස්කෘතිය අභිබවා යාමට උත්සාහ කරන්නේ නැහැ. එය පුෂාධිපත්‍යයම නොවුනත් එක්තරා ආකාරයක සංස්කෘතිකමය බැඳ තැබිමක් විදියටයි මා දකින්නේ.

    නිදසුනක් ලෙස මේ සංස්කෘතියට එරෙහිව "අනෝමා ජනාදරී" නම් වූ නිලිය යම් හඬක් අවදි කළා. ඇය "පුනරුක්ති"කෘතිය තුළින් සමාජයේ අවධානයට බඳුන් කල දේ අඩුම තරමේ මේ රටේ කාන්තාවන්ගේ අවධානයට පවා යොමු වුනේ නැහැ.

    එයින්ම පෙන්වන්නේ දකුණු අසියාතික කාන්තාව මේ සමාජ ගතානුගතිකත්වයෙන් මිඳීමට කාන්තාවන් තුළම යම් අකමැත්තක් තිබෙන බවයි.

    ඔබේ මේ මාතෘකාව සමාජ ගත විය යුතු මාතෘකාවක්

    ReplyDelete
    Replies
    1. මම මේ ලිපියට කරුණු ගන්න කරපු උත්සාහයේදි ඔබ කියන කරුණ මට ගොඩක්ම පැහැදිලි වුණා. මේ තත්වය උසස් අධාපනික ආයතන මට්ටමේදිනම් සැහෙන්න අවමයි. නමුත් සාමාන්‍ය සමාජයේ තත්වය වෙනස්.
      අපි බලමු කරන්න පුළුවන් දෙයක් කරන්න.

      Delete
    2. සත්‍ය ය , ලොව අන්තවාදී කාන්තාවදය වැපිරුනා මිස එයට අත්‍යවශ්‍ය වූ බුද්ධිමත් කතිකාවතක් තවමත් ගොඩ නැගී නැත . එසේ යම්තාක් දුරට හෝ කතිකාවතක් ගොඩ නගුනානම් ඒ අප කිහිප දෙනෙක් අතර පමණය ,එය සහෙන්නේ නැත , එම කතිකාවත සාර්ථක වූ දිනෙක මුස්ලිම් රටවල් වල , සමහර ආසියාතික රටවල් වල ගැහැණිය කෙරෙහි දක්වන සැලකිල්ල පිළිගත හැකි මට්ටමේ සතුටුදායක වනු ඇත

      Delete
  3. හැමදෙයක්ම සාපේක්ෂයි.ගතානුගතිකත්වය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදුයි.ඒ නිසා අත හැරීම නොහැරීම රඳා පවතින්නෙ සමාජ ක්‍රමය උඩ කියල මට හිතෙන්නෙ

    ReplyDelete
  4. පිරිමියාට යටත් ගැහැණිය යන්න සංස්කෘතික කඩතුරාවක් ම පමණක්යැයි සැලකිය නොහැක . වැරැද්ද ඇත්තේ ස්වභාවධර්මයේ පටන්මය. ස්වභාවයෙන්ම ගැහැණිය නිලීන (පුරුෂයාට සාපේක්ෂව ) විවා සංස්කෘතියේ හෝ සමාජයේ වැරැද්දක් විය නොහැක . එහෙයින් අභියෝග රැසක් ඇත . අභියෝග ජයගත් කලෙක ඔබ පතනා ලෝකය ගොඩ නැගීමට හැකි වනු ඇත

    ReplyDelete

 
There was an error in this gadget