Wednesday, December 21, 2011

හිරිකඩ


හීන් හිරිකඩ ජනේල් පියනට වදින්නෙ ඊතල වැස්සක් වගේ. සේරම ඊතල එන්නෙ මගේ දිහාවටමයි. තිරගතවෙන චිත්‍රපටයක දුශ්ටයා හරියට මම වගෙයි ඊතල හිරිකඩ මගේ දිහාවටම එල්ල වෙන්නෙ. උදේ මීදුම වැදිල බොඳ වෙලා තිබුණු ජනේලෙන් පිටත කම්මැලිකමෙන් ඇහැරෙන ගම් එකින්එක පහුවෙන බව පෙනෙන්න පටන්ගත්තෙත් හිරිකඩ නිසයි. අනික ලයිට් ඕෆ් කරපු නිසයි. ඒත් මේ පුංචි පුංචි වතුර බිංදු වලට පුළුවන්ද එකපාරටම බස් එකෙන් පිටත ලෝකෙට අදෘශ්‍යමාන දොරටුවක් වෙන්න. පිනි බිංදුත් මීදුමත් එකට මිශ්‍ර වෙලා.. ඒකටම, ඉස්සරහට වේගෙන් ඇදීගෙන යන බස් එකත් එකතු වුණාම ඉස්කෝලෙ කාලෙ ඉගෙනගත්තු චිත්‍ර ශිල්පියෙක්ගෙ චිත්‍ර මතක් වෙනවා.
ශිල්පියා කවුද කියල මතක් කලත් මේ වෙලේ මතකෙට එන්නෙ නෑ. එක අතකින් ඒකත් හොඳයි. අතීතය අමතක කරන්න පුළුවන්නම්... නෑ අතීතය ඉබේම අමතක වෙලා යනවනම් කොච්චර දෙයක්ද? ඒත් මට පුළුවන්ද ඒක කරන්න? මම කොහොමද එයාව අමතක කරන්නෙ.. අවුරුදු තුනක් පුරා මගේම වෙලා හිටපු, මමම වෙලා හිටපු නිම්සරණි... මගේ නිම්මිව මම කොහොමද අමතක කරන්නෙ?

පාන්දර ඉඳල බස් එකේ වීදුරුවෙන් එළිය බලාගෙන ඉද්දි මට පෙනුනෙ එයාවමයි. හරියට නිම්මි මගේ දිහාම බලගෙන ඉන්නව වගේ. ‘යන්න එපා චතූ’ කියල එක පාරක් හරි කීවනම්.. එයා එහෙම කියයි කියල මම බලාපොරොත්තු වුණා. ඒත් ඒ වචන තුන මං වෙනුවෙන් නොකිය ඉන්න තරම් නිම්මි ගල් වුණේ කොහොමද කියල මට හිතාගන්නවත් බෑ. අවුරුදු තුනක් පුරා, හරියටම බැලුවොත් අවුරුදු තුනයි මාස දෙකයි දවස් විසි පහක්, ඒ කියන්නෙ දවස් එද්දාද් එකසිය අසූවක්... ඒ මුළු කාලය පුරාම මේ තරම් දැඩි වුණේ නැති නිම්මි... මම හීනයක විතරක් තියාගෙන හිටපු අවස්ථාවකට මාව ඇදල දැම්මා. ඒ ගෙවුණු කාලය වේගෙන් ආපස්සට ඇදීගෙන යනවා. මම ඉස්සරහට යනවා.. නෑ මාව ඉස්සරහට ඇදගෙන යනව මේ බස් එක. කොහොමත් මට පුළුවනි බස් එකේ වේගෙට වඩා ඉක්මනින් අතීතෙට දුවගෙන යන්න. ඒ නිසා බස් එක ඔහෙ ගියාවෙ. ඒත් දැන් ටික වෙලාවකට කලින් ඇතුලෙ ලයිට් ඕෆ් කළාම මම වීදුරුවෙන් බලං හිටපු නිම්මිත් ඕෆ් වෙලා ගියා. ලා අඳුරු පසුබිමේ මට පෙනුණු නිම්මි වෙනුවට, මගේ හිතවතී මට ළං කරපු අපූරු නුවරඑළිය, මීදුමෙනුයි හිරිකඩිනුයි බොඳ වෙච්ච චිත්‍රයක් වගේ හරියට වෑන්ගෝගෙ කැරකි කැරකි නළියන චිත්‍රයක් වගේ බස් එකේ ජනේලෙ නිම්මි හිටපු දර්ශන තලය අරක් ගත්තා.

මට අමතක වෙන්නෙ කොහොමද, මේ වගේම දවසකයි නිම්මි මගේ නවාතැනට ආවෙ. හරියටම මගේ නවාතැනට නෙවෙයි, මගෙ හිතේ අරග්ගත්තෙ එදායි. එතකොට මම හිටියෙ පෝටිකෝවෙ. එයා ආවෙ ලිලී මල් අරන් නැලවි නැලවි එන කුමාරියක් වගේ නම් නෙවෙයි. ඒත් සුදු ගවුමයි නිල් සුදු ටයි පටියයි එක්ක හිරිකඩකුත් අරන් දුවගෙන වගෙයි ආවෙ. මොකෝ නංගි මේ දුවන්නෙ ටියුශන්ද කියල මං අහද්දි මමයි එයයි දෙන්නම මගේ නවාතැනේ වැට ගාවටම ඇවිත්. නෑ මිස්, වැස්සක් වගේ.. කියලා පුංචි හිනාවකුත් එක්කම දුවගෙන ගියා.

පහුවදාත් ඊට පහුවදාත් මට බලන් ඉන්න වුණා ආපහු සඳුද වෙනකන්. මට ආගන්තුක වුණු නුවරඑළිය කොච්චර සීතලද කියල අහල තිබුණත් මට ඒ කාලෙ රස්නෙද සීතලද කියල මතක නෑ. ඒ සඳුදා එයා ඒවි කියල හිතුණු වෙලාව අල්ලලා මම මගට ගියා. ඒ අපේ අවුරුදු තුනක් විතරක් පවතින බැඳීමක් පටන්ගන්න අරමුණින් නම් නෙවෙයි.

“අද දුවගෙන යන්න හදිස්සියක් නෑ වගේ නේද?” මම නැවතිලා හිටපු, එයාගෙ ගෙදර තිබුණු අතුරු පාර දිගේ මට ඉස්සරහින් ගිය එයා ගාවට ඉක්මන් ගමනින් ළං වෙලා මම අහද්දි එයා පුදුම වුණා . මං හිතන්නෙ ඒ වෙලාවෙ එයා මාව එතනදි බලාබොරොත්තු නොවුණු නිසා වෙන්න ඇති. උත්තරේ පුංචි හිනාවක් විතරයි.

“කීය වසරෙද ඔයා?”

“දහතුනේ. මිස්, මිස් මෙහාට අළුතෙන් නේද”

“ඔවු. ඇවිත් ටික දවසක් වෙනවා”  මම චිත්‍ර අඳින්න ආව කීවම නිම්මි ගොඩක් සතුටු වුණා. එයාට ඔන කළා ඇවිත් මගේ චිත්‍ර බලන්න. එදාම ආව එයා මගේ නවාතැනට. පොඩි කාමර කෑල්ලකුයි සාලෙකුයි ප්‍රයෝජනයකට නොගත්ත කුස්සියකුයි තිබුණ මගේ මුළු නිවහනටම.

“ඔයා ටිකක් ඉඳගෙන ඉන්න. මෙහෙ එච්චර පිළිවෙලක් නම් නෑ. ඔහොම ඉන්න මම සීඩී එකක් හොයන් එනකන්” මම නිම්සරණිව සාලෙ තියලා මගේ චිත්‍ර තියන සීඩී එකක් අරන් එන්න කාමරේට ගියා. ඇත්තටම මම කලබල වෙලයි හිටියෙ. ඒත් ඊටත් වැඩිය සතුටුයි නිම්සරණි එදාම මම හිටපු ගෙදරට ආපු එක ගැන. මම ආපහු සාලෙට යද්දි මම පහුගිය දවස් දෙකතුනේ බාගෙට ඇඳල අත් හැරල දාපු කැන්වස් එක රඳවපු ආධාරකයට යටින් නිම්සරණිගෙ කකුල් දෙකයි සුදු සපත්තු දෙකයි පෙනුණා.

“ම්ස් මේකෙන් මොකද්ද අදහස් කළේ?” එයා ඇහුවෙ ඒ බාගෙට ඇඳපු චිත්‍රෙ ගැන.

“ම්..... නිම්සරාට මොකද්ද හිතෙන්නෙ...?”

අනේ මංදා, චිත්‍ර ගැනනම් කියන්න මම වැඩිය දන්නෙ නෑ. කාන්තා හිංසනයද?

“ම්හ්.. ටිකක් එහෙමත් හිතන්න පුළුවනි. ඒත් අදහස් කළේ සමස්ථ ගැහැණිය.... හරි ඒක නෙවේ. ඒක ඇඳල ඉවර නෑනෙ තවම. එන්න කලින් ඒව පෙන්නන්න. මෙතන ටිකක් තියනවා” මම නිම්සරාගෙ පිටට තට්ටුවක් දාල මේසෙ දිහාවට යොමු කරවල ඔන් කරල තිබුණු ලැප් එක ගාවට එයාව එක්කන් ගියා.

එයා සතුටින් චිත්‍ර බැලුවා. එකින් එක... චිත්‍රයක් චිත්‍රයක් ගානෙ වෙනස්වෙන එයාගෙ ඇස් දෙක, තොල්... මුහුන.... තත්පරෙන් තන්පරේ වෙනස්වෙන ඒ මුහුනෙ මැවුණු චලන චිත්‍රයක් දිහා මම බලාගෙන හිටියා. අවුල් වෙලා එහෙන් මෙහෙන් ඒ මූනට කොණ්ඩෙ වැටිලා තිබුණත් පිණි වැස්සත් එක්ක එදා දැක්ක ලස්සන නැති වෙලා තිබුණෙ නෑ.

ගොඩක් ලස්සනයි

මගේ දිහා බලල නිම්සරා කියද්දිත් මම එයාගෙ මූද දිහා බලාගෙන.

“චිත්‍ර ගොඩක් ලස්සනයි. අදහස් කියන්න තරම් නම් මට තේරුමක් නෑ.”

“වටේපිටේ වෙන දේවල් හොඳින් බලල අවධානෙට ගත්තොත් ඕනම නොතේරෙන දෙයක් තේරුම් යාවි. මම අඳින්නෙ අපි අහනදකින හිතනපතන දේ ගැනයි.”

“මම කැමතියි අඳින දිහා බලන් ඉන්න”

“ගොඩක් අය කැමති නෑ අඳිනව බලන්න. ඒක කම්මැලි වැඩක් කියලයි මට සමහර අය කියල තියෙන්නෙ. ඒත් ඔයා කැමතිනම් විභාගෙ ඉවරවෙලා මෙහෙ එන්න”

එදා නිම්මි මගේ තාවකාලික නවාතැනෙන් පිට වුණාට එදාමයි එයා මගේ නවාතැනේ හැමදාටම පදිංචියට ආවෙ. ඒ මගේ හිතේ. කොටිටපැදුරු ඇඳුම්පැළඳුම් වෙනුවට හිනාවෙන ඇස් දෙකකුත්, මැවිමැවී මැකිමැකී අලුත්වෙන නිහඬව කතා ගොඩාක් කියන මූනකුත් එක්ක. නුවරඑළිය උණුසුම් වෙලා පාට පාට වෙලා.. මගෙ කාමර කෑලි දෙකත් එළිය වෙලා.

මාස දෙකකට විතර පස්සෙ නිම්මි ටිකෙන් ටික මාව බලන්න එන්න ගත්තෙ ඒ වෙද්දි විභාගෙත් ඉවරවෙලා එයා ගෙදරම හිටිය නිසයි. මාත් එක්ක වතු ගානෙ ලැයිම්වල ඇවිදින්නත් හවස පාරවල් දිගේ ඇවිදන් යන්නත් එක එක ජාතියේ වෙළඳ බඩු විකුණන්න තිබුණු කඩවල්වලට යන්නත් නිම්මි ආවෙ සතුටින්. 

නොදන්න පළාතක නිම්මි මට මාර්ගෝපදේශකයෙක් වෙද්දි අපි තව තවත් සමීප වුණා.
හැමෝම මාව මුලින්ම අඳුනගද්දි අහන මුල්ම ප්‍රශ්නෙ, නැත්නම් කරන මුල්ම ඉල්ලීම නිම්මි මගෙන් ඇහුවෙ නෑ කවදාවත්. ඉතිං මම එයාගෙන් ඒ ඉල්ලීම කළා. වෙනස් විදිහකට.

“නිම්මි මට ඔයාව අඳින්න ඕන”

මුලින්නම් එයා කීවෙ ලැජ්ජයි කියලා. ඒත් පස්සෙ ඒක අමුත්තක් වුණේ නෑ.

දවසින් දවස, නැත්නම් සතියෙන් සතිය අළුත් අළුත් නිම්මිලා මගේ නවාතැනේ පිරුණා. මුහුණෙන් පටන්ගත්තු චිත්‍ර එතනින් නොනැවතී දිගින්දිගටම.. මුළු නිම්මිවම..

ඇස්වලින් දැකල ඇස්වලින් අල්ලගත්ත නිම්මිගෙ ඇඟ චාකෝල් කෑලි දිගට හරහට කැන්වස් එක පුරා යවද්දි අතින්.. ඇඟිලි තුඩින් අල්ලගන්න පුළුවන් වුණා.

ඒ වගේ දවසක, මගේ නිම්මි හරියටම ඒ විදිහටම මගේ කැන්වස් එකේ මම ආස කරපු හීන් හිනාවත් එක්කම ඇඳුණා. හරියටම නිම්මිගෙ ඇගේ පාට හදාගන්නකන්, ඕන කරන පාට වර්ග කොළඹින් ගෙන්නගන්නකන් නිම්මිට පාටක් දෙන වැඩේ ටික දවසකට නවත්වන්න වුණු එක නම් හිතට ගොඩක් අමාරු වුණා. ඒත් මට මගේ නිම්මි මගේ නිම්මි වගේම ඕන කරපු නිසා මම ඒ නිම්මිව පාට ගේනකන් සාලෙ බිත්තියක එල්ලලා තිබ්බා.

නවාගෙන ටිකක් ඉස්සරහට දික්කරපු කකුලෙ දනිස්ස උඩ නිකට තියාගෙන, එයාව බලන අය දිහා බලාගෙන ඉන්න නිම්මිගෙ ඇස් කැන්වස් එක පලාගෙන මගෙ දිහා බලන් හිටියා.  පහුවදා නිම්මි කෑගහගෙන ඇවිත් ඒ වෙද්දිත් සාලෙ බිත්තියක එල්ලිලා හිටපු එයාව වහාම එතනින් අයින් කරන්න කියල කීව.

“මොකද්ද චතූ, කවුරුහරි දැක්කොත් මටනෙ ලැජ්ජා. ”

“ඔයා මොකට ලැජ්ජ වෙනවද? මගේ ගාවනෙ ඔයා ඉන්නෙ” පුංචි හිනාවකුත් එක්ක මම කීවම තවත් තරහ ගිය බව පෙන්නලා එයාම කැන්වස් එක ගෙනත් කාමරෙන් තිබ්බා.

“ආ.. ඒක හොඳයි. දැන් මටම බල බල ඉන්න පුළුවන්නෙ”

“ඔයා හිනා වෙවී ඔහොම කියයි. කවුරුහරි දැක්කනම් මට මේ පැත්තෙ ඉන්න නැතිවෙයි.”

නිම්මි බය වුණු එකම හේතුවත්, ලොකුම හේතුවත් ඒක වුණා වගේම මම බය නොවුණු එකම හා ලොකුම හේතුව වුණේත් ඒක.

“මම ඇඳපු, මගෙ අතින් ඇඳුණු හැබෑම නිම්මියි මේ.” මම එහෙම කියද්දි කවදත් වගේ එයා හීනියට හිනා වුණා. මම ආසම කරපු එයාගෙ හිනාව. ඒ ඇස් දෙකත් කැන්වස් එකේ ඇස් දෙකත්... ඇස් හතරක්ම මට දැන් ඒ විදිහ හිනාවක් දෙනවා.

“හරි හරි, කෝ අද මාව එක්කන් යනව කීව දිහා යන්නෙ නැද්ද? ඔයා තවම ලෑස්ති වෙලත් නෑනෙ අක්කෙ. යන්නකෝ... ලෑස්ති වෙන්න. මම වතුර එකක් උණු කරල දෙන්නද?”

එයා මාව ඇදෙන් නැගිට්ටවලා නාන කාමරේ දිහාට තල්ලු කරන ගමන් ඇහුවා.

“එපා. උණුවතුර ඇඟට වැටෙනකන් විතරයි උණු. පස්සෙයි හැබෑ සීතල දැනෙන්නෙ.”

එදා අපි ගියා පුංචි කන්දකට. මුදුනටම නැංගා. ෆයිනස් කොළ ගොඩේ ඉඳගෙන හවස ඉර බැහැගෙන යනව බලන්න. රතු පාට තැඹිලි පාට පරද්දන්න ඉර ඇතුලෙ තරඟයක්. වටේ කඳු ඉරෙන් හැලෙන පාට අරන් එයාලගෙ ඇඟේ ගාගෙන. ටිකින් ටික ඉර කඳු අතරින් පහළට යද්දි අර කඳුවලින් ඒ පාටත් උදුරගෙනම වගේ යන්න හදනවා.

“චතූ”

“හ්ම්”

“ලබන ඉරිද එයාල එනවලු”

“කවුද...?”

“ගම්පල කට්ටියක්. බැංකුවක කියනව වැඩ කරන්නෙ.... එයා...”

“.....”

“චතූ”

“ඔයාට බඳින්නම ඔනද?”

“මට තවම විසිදෙකයි”

‘ඉතිං ඇයි බැරි බැහැ කියන්න. අනේ නිම්මි බෑ කියන්නකෝ..’ මගේ කටින් නෙවෙයි හිතිං වචන කැරළි ගැහුවා. හිතේ පුපුරු ගහන ගෝසාව පපුව පලාගෙන එළියට එන්න හදල බැරිවුණු තැන හෝස් ගාලා උඩට ඇවිත් කන් දෙකෙන් පිටවෙලා ගියා වගේ වුණා. වටේපිටේ කිසි දෙයක් ඇහුණෙ නෑ. හරියට කඩුගන්නාවෙ කන්දෙ යද්දි කන් අගුල් වැටුණම කන ඇතුලෙ දැනෙන බර ගතිය මේ වෙලේ කඩුගන්නාව නොබැස්සත් දැනෙනව වගේ. මම නිම්මි දිහා බැලුවා.. එයා බැහැගෙන යන, දැන් රතු පාට ජය අරන් ඉන්න ඉර පලුව දිහා බලාගෙන.. අර හීන් හිනාවෙන්. ඒ හිනාවෙන්ම ඒ ඉර දිහා බලාගෙන.

“යං චතූ. කළුවර වෙලා.”

“හ්ම්. කළුවරයි”

එළියෙ අලුත් වැහි අන්ධකාරයක්.  බස් එක අටබාගෙට ළං වෙලා. ඈත කඳු මීදුමෙන් වැහිලා සුදු පාටට. නිම්මිව මුලින් දැකපු දවසෙ එයා ඇඳල හිටිය සුදු ගවුමෙ පාටම වගේ. අහසත් නිල් පාට වුණානම් ඒ ගවුම වගේම තියේවි.. නිල් සුදු ටයි පටියත් එක්ක සුදු ගවුම. එයා දුවගෙන ආපු ඒ හිරිකඩ දවස අද වගේනම් නෑ. මේ නම් මහ මූසල පාටක්. එදානම් පුදුම එළියක් තිබ්බෙ. එක වතාවක් කීවනම් ‘යන්න එපා චතූ’ කියලා.. මගේ අතේ රෝල් කරගෙන තිබුණු නිම්මිගෙ චිත්‍රෙ.. පාටක් නොදීපු, පාට ගෙන්නගන්න බැරිවුණු නිම්මි මගේ අතේම පොඩිවෙලා. ටිකින් ටික ජනේලෙට විදුණු හිරිකඩ ඊතල මගේ පපුවටම බැහැල වගේ. කොතනද කියල හරියටම කියන්න බැරි වේදනාවක්.. ආයෙමත් මාව පුපුරල යන්න වගේ දැනෙන වේදනාවක් එක්ක මාව උණුහුමින් පුරවපු සීතල නුවරඑළියෙන් මම යනවා. පොඩිවුණු නිම්මිව අතින් පිරිමැදල නැමුම් පාරවල් යවල මම තුරුලු කරගත්තා. උණුහුමට.
Comments
1 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

1 comment: