Monday, June 18, 2012

බුදුන් උපන් දේශය ලංකාවයැයි පුළුල් ප්‍රචාර ගෙනයාම ජනතාව මුළා කරවන්නක්

නූතනයේ ඇතැම් සමාජ පිරිස් සිය අවියත් මතවාද තුළින් ලංකාව පසුබිම් කොටගත් අර්ථහින ප්‍රකාශන ප්‍රචාරණයෙන් ජනතාව මුළා කරවිමටත් වක්‍රාකාරයෙන් ඒ ඇසුරින් ජාතිවාදි හැඟිම් සමාජගත කිරීමටත් කටයුතු කරති. මෙකී අදූරදර්ශී ව්‍යාජ ප්‍රකාශයන්හි ව්‍යර්ථබව සාධක සහිතව ඔප්පු කර පෙන්වීම කාලින අවශ්‍යතාවයක් සේ දකිමි. ජාත්‍යාලයට, අන්තවාදි ආගමික මාවතකට මැදි නොවී ඉතිහාසයේ සිදුවූ සිදුවිම් සාක්ෂි සහිතව විද්‍යාත්මක අයුරින් අධ්‍යයනය කරන්නාවු ගවේශකයන්ට මේවා අසිරු අභියෝග නෙවන බව මුලින්ම මතත් කර දෙනු කැමැත්තෙමි. මෙම අදහස් දක්වන්නන් මුලික උපන්‍යාසයක් (Hypothasis) මත පිහිටා තම මතය විදහා දැක්විම විද්‍යාත්මක විශයන් කෙරෙහි පමණක් මිස මෙවන් ක්ෂේත්‍ර සඳහා කිසිසේත් යෝග්‍ය නොවන බව අවධාරණයෙන් මතක් කරදෙනු කැමැත්තෙමි.

මෙවන් ඇතැම් පිරිස් බුදුන් වහන්සේ ලංකාවේ උපන් බව අනේකවිධ සාධක මවා පාමින් ස්වමත දක්වති. දඹදිව යනු ලංකාව යැයි ඇතැමෙකුගේ අදහසයි.
ජම්බු යනු දඹ යන්නයි. දඹරන් කියනුයේ දඹදිවින් ගෙන ආ රන් වලටයි. කෙසේවෙතත් ලංකාවට ජම්බුද්දිපයයැයි පවසන්නේ කවර සාධක මුල් කොට ගෙනදැයි නොදනිමි. දඹදිව යනු දිවයිනක් (දූපතක්) මිස අර්ධද්විපයක් නොවේ කී පමණින් දඹදිව යනු ලංකාව වන්නේද නැත. අද්‍යතන දෘශ්ටියෙන් බලා ක්‍රි.පූ. යුගයේ පැවති සමාජයක් විනිශ්වයට යාමේදී මෙම නව විකෘති මතධාරීන් ඉතිහාසය අච්චාරු කොටකෙන ඇති බව ඉතා පැහැදිලිය. ජම්බුද්විපය යනු ලංකාවයැයි යන සංකල්පයේ සිට නූතනයේ මත ඉදිරිපත් කරන ඇතැමුන් පවසන්නේ රොබට් නොක්ස් ආදින් පවා ලංකාවට දඹදිව යැයි ව්‍යවහාර කළ බවකි. නමුත් මූලාශ්‍ර පරිහරණයේදී වුවද මොවුන් තම සංකල්පිතාර්ථයන් සාධාරණීකරණය කිරිම උදෙසා මූලාශ්‍ර පවා විකෘති කරන තත්වයක් මෙමගින් ධ්වනිත වේ. නොක්ස් පැවසුවේ ලංකාව යනු දඹදිව යන්න නොව, 'මේ රටේ මිනිසුන් ඔහු දඹදිවදි දුටු මිනිසුන්ටද වඩා වෙනස්'ය යන කරුණයි. 

මෙහි මතවාද ප්‍රචාරකයන්ගේ උපන්‍යාසය මෙයයි.. ඔවුන් අපේක්ෂා කරනුයේ අන්තවාදි බෞද්ධයන් සුළුතරයකගේ හිතසුව පිණිස බුදුන් උපන්නේ ලංකාව තුළ යැයි පැවසිමයි. මේ සාධක විග්‍රහ කිරිමට ඔහු උපයුක්ත කර ගන්නේද පශ්වාත්කාලින බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයන්ය. ඒද, ඉන්දිය සම්භවයක් ඇති භික්ෂූන් යැයි කියා එම ග්‍රන්ථ කතුවරුන්ට බැන වදිමිනි. අභාග්‍යයට කරුණක් වන්නේ ලංකාව තුළ පුදුන් වැඩ විසුවේයැයි මොවුන පවසන මෙම ප්‍රදේශ වන්දනාමාන කිරිම උදෙසා අද වන විට ජනයා ඇදි යාමත්, ඒ සදහා ප්‍රචාරයන් ලබා දිමත්ය.

ලංකාවේ පූර්ව බ්‍රාහ්මි සහ අපර බ්‍රාහ්මි ශිලා ලේඛනද මොවුන් උදාහරණයට ගෙන ඒවා තම මතය සාක්ෂාත් කරනු වස් අපුරු ලෙස ගලපා ඇත. මෙහිදි අක්ෂර කාලනිර්ණ තුළින් හෙළිකරගත් නිවැරදි දින වකවානු සමග බුද්ධ කාලින සිදුවීම් සංසන්දනය කළ නොහැකි බව මොවුන්ට අමතක වි ඇති සෙයකි. එසේ නැතහොත් සිය වාසිය තකා එම විද්‍යාත්මක දත්ත සිය සුරංගනා කථා තුළින් ආවරණය කරන්නට මොවුන් කටයුතු කර ඇතුවා විය හැකිය. නමුත් සිය කල්පිතයන් නිරවද්‍ය සිදුවිම් ලෙස ජනතාව අතරට මෙලෙස ගෙනවිත් තිබිම සැබවින්ම අදූරදර්ශී ක්‍රියාවකි. (ඔබගේ දැණුවත්වීම පිණිස මා හට කියවාගත හැකිවූ එවන් ශිලා ලිපි කිහිපයක් මෙහි ගෙනහැර දක්වමි.) මෙහි දැක්වෙන්නේ බුදුන් ලංකාවේ උපන් බව සනාථ කිරීමට එම මතධාරීන් ඉදිරිපත් කරනු ලැබූ ශිලා ලිපි කිහිපයකි.
මින් එකක දැක්වෙන්නේ "ශගශ ගහශ දර" ලෙසයි. මේ වාක්‍ය කණ්ඩයක් පෙන්වමින් මේ බුදුන්‍ උපන් දේශය බවට සපථ කිරිමට කවර අදහසක් ගෙනහැර දක්වන්නට උත්සාහ කළේදැයි නොදනිමි. මෙහි ශගස යන වචනය අර්ථ දක්වන්නේනම්, පැරණි ලක්දිව පූර්ව සහ අපර බ්‍රාහ්මි ශිලා ලිපි වල සේම ඉන්දිය ජෛන ලෙන් විහාර වලද දක්වා ඇති ශිලා ලේඛනයන්හි මෙම වචනය නිරන්තරයෙන් දක්වා ඇත. ශග යනු සංඝ යන්නයි. සංඝ යනු ගණ හෙවත් කණ්ඩායම යන අර්ථය ගෙන දෙන වචනයකි. ශගශ යනු සමුහයාට යන අර්ථය ගෙන දෙන්නකි. මෙය පොදුවේ අප සලකන්නේ සංඝයාට ලෙසිනි. නමුත් උක්ත මතධාරීන් මෙම වචනය මුල් කොට ගෙන මහා පරිමාණ කල්පිතයක් ගොඩ නගා එය සැබෑවක් ලෙස ජනතාව හමුවට ගෙන එයි. ඔවුන් සිය කල්පිතය අප හමුවේ තබන්නේ නිගමනයක් ලෙසිනි. නිවැරදිම සාධක නොමැති ඉතිහාසය තුළ කිසිවිටෙකත් අපට නිගමන ඉදිරිපත් කළ නො‍හැක. මේ ප්‍රෝඩාව තව දුරටත් ඔවුන්ගේම සාධක තුළින් බිදලිය හැකිය.

බුදුරදුන් ලංකාව තුළ උපන්නේය යන මතය දරන්නවුන් ඉදිරිපත් කරන තවත් ලිපියක දැක්වෙන්නේ "අනද තෙර ශශදිවි _ රියන ලෙ _" යනුවෙනි. ඔවුන් මෙයට දෙන නිර්වචනය වන්නේ "ලංකාවේ තිබූ සැබෑ අනෝතත්ත විල අසළ පිහිටි ලෙණකි මේ" යන්නයි. මෙවන් කල්පිත තුළ පිහිටා මෙවන් මන්ද මානසික ප්‍රකාශ කිරිම සැබැවින්ම අප තර්කනයට ලක් කළ යුතු දේවල්ද නොවේ. නමුත් මෙවන් දුර්මත තුළින් සමාජයට වෙන අවැඩ යම් තරමකින් හෝ වලක්වාලිය හැකිනම් එය අන්තවාදි නොවන කාගේත් හිතසුව පිණිස වනු ඇත. සැබැවින්ම පූර්ව බ්‍රාහ්මී ලිපි තුළින් අපට දීර්ඝ අර්ථකථන ඉදිරිපත් කළ නොහැක. මන්ද එම යුගය එනම් ක්‍රි.පූ. 3වන සියවසෙන් මෙපිට කාලය තාක්ෂණය අතින් ඉතාමත්ම සරළ වු යුගයක් වීමත්, ලෙන් පූජා කළ ඇත්තන් හැකි සරලම ආකාරයෙන් සිය කර්තව්‍යයේ අර්ථය සදහන් කර තැබිමත් නිසාවෙනි. උක්ත පිරිස් අර්ථ දක්වන පරිදි දීර්ඝ වූ සාධක සටහන් සහිත ලිපි ලංකාව තුළ ලැබෙන්නේ මින් වසර 300කට පමණ පසුවයි. බුද්ධොත්පත්තියේ සිට බැලුවහොත් ඒ ඉන් වසර පන්සියයකටත් පසු අවධියකදිය. එබැවින් මෙම ගෙනහැර දක්වන ශිලා ලිපි විහිළුවකට කරුණක් සේ දකිමි. 

එවැනි තවත් ශිලා ලිපියක් වන්නේ "අනද තෙරහ ලෙණෙ ශගශ" යන්නයි. මේ සදහා ඔවුන් දෙන නිර්වචනය වන්නේ "අනද තෙරුන්ගේ සිද්ධිවිහාරික භික්ෂූන්වහන්සේලාට පිදූ ලෙණකි මේ" යන්නයි. මෙය නම් ඉතාමත්ම අධූරදර්ශී මුග්ධ ප්‍රකාශයකි. සැබැවින්ම මේ ලිපියේ කියවෙන්නේ "අනද තෙරුන්ගේ ලෙණ සංඝයාට" යන්නයි. සිද්ධිවිහාරික භික්ෂූන්වහන්සේලාට යන ප්‍රකාශයක් මේ සෙල් ලිපිය තුළ කෙසේවත් හදුනාගත නොහැක. මට හැ‍ඟෙනා පරිදි මෙම මතවාද ප්‍රචාරය කරන්නන් සිතාගෙන ඇත්තේ 'ශගශ, සගස, ශගස' වැනි මෙම ලිපි තුළ අන්තර්ගත වචන තුළින් ඉහත අර්ථය ගම්‍ය කරන බව විය යුතුය. නමුත් තම උපකල්පන මෙලෙස අවිචාරාත්මක ලෙස ජනතාව වෙත ගෙන ඒමට පෙර නැවත නැවතත් අධ්‍යයනය කළ යුතු බව ඔවුනට අවධාරණය කරමි. පෙර කි සෙලම මෙම වචනයෙන් ධ්වනිත වන්නේ සමූහය, ඝනය යන අර්ථයයි. අනද තෙර කී පමණින් මින් කියවෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේ නොවන බවද මොවුන්ට මතක් කර දෙනු කැමැත්තෙමි. ඔවුන් මෙයින් බලාපොරොත්තු වු අනද තෙරුන්, ආනන්ද මහ රහතන් වහන්සේ වූයේද යන්න නොදනිමි. නමුත් ඔවුන් එසේ සිතුවේනම්, මෙය කිසිසේත් ඔප්පු කිරලිමට සාධක ‍මෙහි නොමැති බවත්, එකම නාමය කිහිප දෙනෙකු විවිධ කාල පරාසයන්හි භාවිතය ඉතා සාමාන්‍ය කරුණක් බවත් පෙන්වා දෙනු කැමැත්තෙමි.

තවත් එක් ස්ථානයක බුදුන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සුත්‍රය දෙසා වදාළ ව්‍යග්ග හෙවත් දීඝජානුගේ පුත්‍රයාගේ ලෙන් පුජාවත් ලෙස එක් ලිපියක් අර්ථ දක්වා ඇත. මෙම නිදර්ශනයේ ඔවුන් දක්වන ලිපියේ එක මත ලිපි ද්විත්වක් සටහන් කර ඇත. ඉන් කොටසක "ගමික පරුමක වශිම _ පුත _ _ ණය ලෙණෙ_ _...." යන සදහන දැක්වේ. මෙම ලිපිය උපයුක්ත කොට ගෙනද ඉහත දක්වන අන්වර්ථයන් කිසි සේත් දිය කොහැකි බව කිව යුතුය. මෙම කථාකරන අවධියෙහි ගමික, පරුමක වරු යනු අප ලංකාවේ සිටි යම් තනතුරු දැරූ පුද්ගලයින් පිරිසක් ලෙස හදුනාගනු ලැබේ. එමනිසා උක්ත ශිලා ලිපිය සෙසු එවන් ශිලා ලිපි වල මෙන් එක සමාන වැදගත්කමක් පමණක් දරන බව පැහැදිලිය. මෙය "බුදුන් වහන්සේ ව්‍යග්ගපජ්ජ සුත්‍රය දෙසා වදාළ ව්‍යග්ග හෙවත් දීඝජානුගේ පුත්‍රයාගේ ලෙන් පුජාවක් ලෙස එක් ලිපියක්" ලෙසනම් අර්ථ දැක්විය කොහැක. එවන් සදහනක් මෙම ලිපියේ ඇත්තේද නැත.

ලංකාව තුළ ලුම්බිනිය, ගයාව, ඉසිපතනය, කුසිනාරාව දැනට සොයා ගෙන ඇත්නම්, ඉත්දියා‍ව තුළ ක්‍රි.පූ. 3වන සියවසටත් එපිට යුගයක සිට හමුවන එවන් ‍ක්ෂේත්‍ර අලලා බිහිවුණු පුරාවිද්‍යාත්මක ස්මාරක, කැටයම්, ශිලා ලේඛන ව්‍යාජයක් දැයි අසනු කැමැත්තෙමි. භාර්හුත්, සාංචි, අමරාවතී, නාගර්ජුනිකොණ්ඩ ස්මාරක, කැටයම් අපට ඉවතලිය හැකිද? ඒවා ව්‍යාජ ඒවානම්, එවන් ප්‍රෝඩාවක් මත එතරම් වටිනා කලාවක් බිහි වනු ඇත්ද? ප්‍රෝඩාවක් මත පිහිටා සිරස්, තිරස් සංස්කෘතික ප්‍රවාහයන් ඒ ඒ යුගයන්හි එළි දකිනු ඇත්ද? ලංකාව තුළ අපට හදුනා ගත හැක්කේ මින් කවර ප්‍රමාණයක්ද? මිහිදු හිමි ඇතුළු පිරිස මෙහි පැමිණි බව පැවසෙන මිහින්තලා සෙල් ලිපිය ව්‍යාජ වූ එකක්ද? මෙරට තුළ බුදුන් පහළ වූයේ නම් බුදුන් උපන් දේශයටම නැවත බුදුන්ගේම ධර්මය ගෙන ආ යුතුද? 

ටෙනන්ට් මෙන්ම නොක්ස් ද ලංකාව දඹදිව ලෙස හැදින්වූ බව ඉහත මතධාරීන් සදහන් කර තිබේ. නැවතත් මතක් කරනුයේ අධ්‍යතන මිම්මේ සිට ඉතිහාසය අර්ථ දැක්විමට යාම ඉතා අදූරදර්ශී ක්‍රියාවක් වන බවයි. ඉතිහාසය ප්‍රතිනිර්මාණය සදහා විවිධ විද්‍යාත්මක වු ක්‍රම ශිල්පයන් ඇත. ඒවා පිළිබද හසරක් නොදැන පරිකල්පනාත්මක දෘශ්ටිය තුළින් නිගමන ඉදිරිපත් කිරිමෙන් විහිළුවට ලක් වන්නේ මෙම නිගමන ඉදිරිපත් කරන්නාවු අයයි. සාධු නාදෙන් හැමෙකක්ම එහෙයි කියා පිළිගන්නාවූ අයටනම් මේවා ඇත්‍ත වේවා බොරු වේවා ඉන් පලක් නැත. නොක්ස් කියන්නාවු සෑම දෙයම තත්වාකාරයෙන්ම පිළිගන්නේ නම්, කොක්ස් පවසන පරිදි ලංකාවේ කාන්තාවන් කන්‍යාබව පිළිබදව බිදක් හෝ සැලකිල්ලක් නොදැක්වු බවත්, බුද්ධ නම් දෙවියෙක් ලංකාවේ වැසියා ඇදහූ බවත් තවත් නොක්ස් දක්වන බොහෝ එවන් සාධකත් එහෙයි කියා පිළිගන්නේදැයි අසනු කැමැත්තෙමි. මූලාශ්‍ර පරිහරණයේද යම් විධික්‍රමයක් ඇත. බුදුරදුන් ලංකාවේ උපන් බවත්, ලකාව යනු ජම්බුද්විපය බවත්, බුදුදහම පැවතුණේ ලංකාවේ බවත් පහසුවෙන්ම බිදලිය හැකි නිදර්ශන දක්වමින් තර්ක කරන මෙම පුදුගලයින් මේ සැම මූලාශ්‍රයක්ම පරිහරණය කර ඇත්තේ තම මතය සනාථ කර ගැනීම මතම පිහිටියා වූ ඉතා පටු චේතනාවක සිට බැව් පෙනී යයි.

උක්ත ලිපි මගින් දැක්වෙන්නේ ඉතාමත් මුග්ධ ප්‍රකාශයන් බව දැක්වීමට මම මගේ නිදර්ශන තවදුරටත් ගෙනහැර දක්වනු කැමැත්තෙමි. 

**** පිප්‍රාවා ධාතු කරඬු ලිපිය ****

1. ඉයං සලිල නිධනෙ බුධස භගවතො සකි(යානං) සුකිති භතිනං සභගිනිකනං සපුත දලනං


අර්ථය :- 
1. මෙම හරීර නිධානය / තැන්පත් කළ දෙය, භාග්‍යවත් වූ ශාක්‍ය බුදුන්ගේය, සහෝදරයන්ගේය, සහෝදරියන්ගේය, පුත්‍රයන්ගේය, භාර්යාවන්ගේය.

මෙම ලිපිය ක්‍රි.පූ. 3වන සියවසට වඩා පැරණි බව සැලකේ. ඊට හේතුව වන්නේ මෙම ලිපිය මගින් අශෝක යුගයටත් වඩා පෙර පැවති කරුණු පිළිබඳ සාධක හෙළිවන බැවිණි. විද්වත් මතය වන්නේ මින් කියවෙන්නේ මෙම ලිපිය සහිත ධාතු කරඬුව තුළ ශාක්‍ය බුදුන්ගේ, එම පරම්පරාවේ පුද්ගලයින්ගේ ධාතු අඩංගුවන්නට ඇති බවයි. උතුරු ඉන්දියාවේ පිප්‍රාවාහි තිබි හමුවූ කරඬු තුනක් අතුරින් එකක පිට පැත්තේ මෙම ලිපිය සටහන් කර තිබිණි. ප්‍රාකෘත භාෂාවෙන් පූර්ව භ්‍රාහ්මි අක්ෂරවලින් මෙම ලිපිය ලියා තිබේ. දැනට මෙය නවදිල්ලි කෞතුකාගාරයේ විශේෂ තැනක ප්‍රදර්ශනය කරයි.

බුදුන්ගේත් එම ශාක්‍ය පරපුරේත් පුද්ගලයින්ගේ භෂ්මාවශේෂ මෙම කරඬුව තුළ තිබුණේනම්, ලංකාව තුළ පිහිටි ලෙන් ලිපි කිහිපයකට පටු ලෙස සිමා වී සුරංගනා ලෝක මවා නව පරිකල්පන දැක්විම යුක්තියුක්තදැයි අසනු කැමැත්තෙමි. 

‍තවත් නිදර්ශනයක් ‍වන්නේ අශෝක රජු විසින් තරවු ලිපියකි.

රුමින්දෙයි ටැම් ලිපිය

1. දෙවාන පියෙන පි‍යදසින ලාජින වීසති වසාභිසිතෙන
2. අතනආගාච මහීයිතෙ හිදබුධෙජාතෙ සක්‍යමුනීති
3. සිලාවිගඩභීචා කාලාපිත සලාථභෙච උසපාපිතෙ
4. හිදභගවංජාතෙති ලුංමිනිගාමෙ උබලිකෙකටෙ
5. අඨභාගියෙච


නේපාලයේ ලුමිබිණි හෙවත් රුමින්දෙයිහි පිහිටුවා ඇත. මෙහි ඇති අශෝක රජු විසින් කරවූ කුළුනෙහි මෙම ලිපිය ලේඛනගතකර තිබේ. බුදුන් වහන්සේ පිළිබද දැක්වෙන ප්‍රබල සාධකයකි. අක්ෂර පැරණිතම ලක්ෂණ පෙන්වයි. ක්‍රි.පූ. 3වන සියවසට අයත් වේ.

පරිවර්තනය :- 
1. දෙවියන්ට ප්‍රිය වු ප්‍රියදර්ශි රජුගේ විස්සක් වර්ෂ අභිශේකයෙන්
2. තමාම පැමිණ වදින ලදි මෙතන බුදුන් ඉපදුනාවු ශාක්‍යමුණි
3. ගලින් වෙනස් කරනලද බිත්තියක් කරවන ලදී ශිලා ස්ථම්භයක්ද ඔසවන ලදී
4. මෙතන භාග්‍යවතුන් ඉපදුනාවූ ලුම්මිනි ග්‍රාමයෙ නිදහස් කළා දුන්න බදු
5. අටෙන් එකක්ද කළා

තේරුම :- 
"දෙවියන්ට ප්‍රිය වු ප්‍රියදර්ශී රජුගේ අභිශේකයෙන් විසි වැන්නේ ශාක්‍යමුණි බුදුන් ඉපදුනාවූ මෙතන තමාම පැමිණ වදින ලදී. කැටයම් කරන ලද ගල් බිත්තියක්ද කරවන ලදී. ගල් කණුවක්ද ඔසවන ලදි. බුදුන් ඉපදුනාවු ලුමිබිණි ග්‍රාමය බදුවලින් නිදහස් කර බද්ද අටෙන් එකක් කරන ලදී / භෝග අටක් වවන ප්‍රදේශයක් කරන ලදී."

මෙම නිදර්ශන කිසිසේත් සාවද්‍ය බව ප්‍රකාශ කළ නොහැක. මේවා සාවද්‍ය යැයි කියන්නේ නම්, මීට වඩා ප්‍රබල නිදර්ශන ඒ සදහා ඉදිරිපත් කළ යුතුය. එසේ නොකර ලෙන් ලිපි කිහිපයක් අල්ලාගෙන ඒවා කෙරෙහි සුරංගනා කථා ආදේශ කරමින් කතාන්දර කීම සාධාරණ නොවේ. විද්‍යාර්ථීන් වශයෙන් එවන් කරුණු ගොඩනැගීමද උපහාසයට හේතුවකි. මෙම විවරණයට තේමා වූ ලිපි තුළ අන්තර්ගත සාධක කිසිදු අයුරකින් හෝ ජාත්‍යන්තරයට ගෙන යාමට ප්‍රමාණවත් නොවේ. එම සාධක සියල්ල හේතු රහිත නිශ්ඵල ප්‍රකාශයන්ය. අප නිරතුරුව අවධාරණය කළ යුත්තේ ලංකාව තුළ අපි හුදෙකලා ජාතියක් නෙවන බවයි. එසේම තම ජාතිය ආගම පමණක් ශ්‍රේෂ්ටයැයි හුවා දක්වන ව්‍යංගාර්තයන් කරමත තබා ජනයා මුළාවට පත් කරන මෙවන් ප්‍රකාශන තුළින් පැහැදිලි වන්නේ මේවා සමාජගත කරන්නන්ගේ ඇති පහත් රුචිකත්වයන්ය. ලොවක් මුලා කරවීමට තරම් ප්‍රකාශයන් ඉදිරිපත් කරමින් හාස්‍යයට ලක්වන මෙවන් පිරිස් තුළින් සිදුවන සමාජ දූශනය හැකිතාක් වලක්වා ලිය යුතුය. ඔවුන්ගේ මෙම අදහස් අර්ථ හින ඒවා වුවද, පහසුවෙන් බිදලිය හැකි වුවද මෙහිදි වඩා වැදගත් වන්නේ මෙවන් කරුණු පදනම් කරගනිමින් සිදුවන සමාජ විරෝධී ක්‍රියාත්, අන්තවාදි මතධාරීන් බිහිවීමත්ය. මෙකී තත්වය සමාජයෙන් තුරන් කිරිමට කටයුතු කිරීම පැහැදිලි නිරවුල් දර්ශනයක් ඇති කාගේත් යුතුකමකි.

හුදු හීන ලොකයක සිට අන්තවාදි ආකල්ප ප්‍රචාරය කරනු වෙනුවට නියම බෞද්ධ සාරධර්ම මත පිහිටා කටයුතු කිරිම ඔබටත්, සමාජයටත් හිතසුව පිණිස නොවන්නේද?

බුදුරදුන් කොතැනක ඉපදුනත්, බුද්ධ දේශනාව අනුව වැදගත් වන්නේ එහි අක්මුල් සොයා යෑම නොව නිවැරදි ශීලයෙහි පිහිටා බෞද්ධ චින්තනය අනුව ජිවත් වීම යැයි සිතමි.
Comments
14 Comments
___Facebook Comments Powerd by Tricks Lanka

14 comments:

  1. ඔය කිසි දෙයක් ඕනෙද?බුද්ධ කාලෙදි කොච්චර නම් අන්‍ය තීට්ථකයො හිටියද?බාරතය පුරා වැහි වැහැල.අදටත් ඒ ඇදහිලි සහ විශ්වාස වෙනසක් නොවී ඒ ආකාරයෙන්ම පවතිනව.උදාහරනෙකට බුදුහාමුදුරොවො ලංකාවෙ ඉපදුනාම කියමුකො,ඉතින් ඒ කාලෙ හිටපු නිඝන්ටනාථ ගෙ ගෝලයො අදටත් ඉන්දියාවෙ ඉන්නව.කෝ ඔය කවුරුත් ලංකාවෙ ඉන්නවද?එකෙක් හෙලුවෙන් ඇවිදිනව මම දැකල නෑ.අනික එහෙම පරම අවිහින්සා වාදී මිනිස්සු ලංකාවෙ බෙහෙතකටවත් හොයා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාලුවා. ඒත් ගොඩක් මිනිස්සු මේ දේවල් ඇහූ පමණින් හොයන් ගිහින් වදින පුදන තත්වෙකට පත් වෙලයි තියෙන්නෙ. මේ වගේ පුහු ආකල්ප සමාජයෙන් නැති කරන්න උත්සහ කරන්න ඕන. බොහොමයක් දෙනාට උනන්දුවක් නැ ඇත්ත නැත්ත හොයල බලන්න. විශේෂයෙන්ම මේ මුවාවෙන් ජාතිවාදි, ආගම්වාදි ආකල්ප ප්‍රචාරණයක් වෙනවා. ඒක මේකෙ තියන භයානක එක් පැත්තක්

      Delete
    2. ඒ ආකල්ප සමාජයෙන් නැතිකරන්න දැන් බෑ.අපි ගොඩක් පරක්කුයි.මොකද දැන් බුද්ධ ධර්මයෙ මූලික හරය අපේ බෞද්ධයො අතර නෑ.ඒ වෙනුවට තියෙන්නෙ වෙන මොකක්දෝ අමුතු එකක්.කාර්යය කරන්න ඕනෙ අපේ බෞද්ධ බික්ෂුව,නමුත් ඒ රාජකාරිය පැත්තකට තියල ඒ අයට දැන් වෙන වැඩ.ගංගොඩවිල සෝම හාමුදුරුවො,බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවො වගේ උතුම් සංග පිතෘන් වහසේලගෙ අඩුව දැන් ලංකාවට හොඳට දැනෙනව.

      Delete
    3. කෝ හලෝ එතකොට බෞද්ධ ශ්‍රාවකයෝ ඉන්දියාවේ.

      එදා හිටිය වුනුයි අද වුනුයි සසදලාද ඉතිහාසේ ගොඩනගන්නේ. අනේ මෙහෙම විහිලු

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  2. වැදගත් ලිපියක්.බුදු හාමුදුරුවොම දේශනා කරලා තියනවනෙ කවුරු කිව්වත් තමන්ගෙ බුද්ධියෙන් විමසලා බලලා ඒක හරියි කියලා හිතනවානම් මිසක් පිලි ගන්න එපා කියලා.අනෙක නියම බෞද්ධයෙක්ට වැදගත් වෙන්නෙ භුදුන් උපන්නෙ ලංකාවෙ ද ඉන්දියාවෙද කියන එක නෙවෙයි.දේශනා කරපු ධර්මය.ඒ නිසා මේ වගෙ ප්‍රචාර පස්සෙ යන්නෙ අන්ධ භක්තියෙන් ඉන්න උපාසකම්මලා විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත යාලුවා.. දැන් අන්තර්ජාලය හරහාත් පුළුල් ප්‍රවාර ගෙනියනවා අනිත් ආගම් වලට විරුද්ධව. ඇත්තටම ඒක ලැජ්ජ විය යුතු කාරණයක්. නියම බෞද්ධයෝ කවදාවත් කුලල් කාගන්න ගියේ නැ. ඒත් අද සමාජය පුදුම විදිහට සංකල්ප දූෂණයක ලක් වෙලා තියෙන්නෙ.
      නිවැරදි අවබෝධය තියන මිනිස්සු හරිම අවමයි.

      Delete
  3. "දැන් අන්තර්ජාලය හරහාත් පුළුල් ප්‍රවාර ගෙනියනවා අනිත් ආගම් වලට විරුද්ධව. ඇත්තටම ඒක ලැජ්ජ විය යුතු කාරණයක්".කතාව ඇත්ත.නමුත් මේ ප්‍රචාර වඩාත් පුළුල්ව ප්‍රචාරය කරන්නේ ඒවා වැරදී කියන පිරිස විසින්මයි.මගේ නම් අදහස මෙවන් අමන ප්‍රචාර තිබිරිගේ තුලදීම වල පල්ලට යැවිය යුතු බවයි.මෙවන් මාතෘකා කතා කිරීමෙන් සිදුවන්නේ අනියම්ව හෝ ඒවා ප්‍රචාරණයට සම්බන්ද වීම පමණයි .ඒවගේම අද සමාජය ඔබ ඔය කියන තරම්ම පිරිහිලා කියල මම හිතන්නෑ.පසුගිය දශක වලට සාපේක්ෂව අද තරුණ පරම්පරාව ගොඩක් බුද්ධිමත් සහ ශක්තිමත් පරම්පරාවක්."සමාජය පිරිහිලා" කියන එක විදියක style එකක් විතරයි.

    ReplyDelete
  4. බුදු හිමියන් වැඩ සිටි දේශය කුමක්දැයි නිවැරදිව වටහා ගන්නට යම් හැදෑරීමක් කල යුතුය..මේ මාතෘකාව ධර්මය හා බැදුනක් නොව පුරා විද්‍යාව නැමැති විශයට අදාල වූවකි..මේ සදහා හැදෑරිය යුත්තේ පුරා විද්‍යාවයි..ත්‍රිපිඨකයෙන් හෝ වෙනත් බෞද්ධ ග්‍රන්ථ මූලාශ්‍ර වලින් ගත හැකි පුරාවිද්‍යාවට අදාල කරුණුයි..
    බුදු හිමියන් වැඩ සිටි දේශය කොහිදැයි සෙවීමෙන් ධර්මයට වන හානියක් නැත... එසේ වනවා යැයි සිතන්නේ ධර්මය සහ පුරා විද්‍යාව පටලවා ගත් මතුපිට අතපතගාන්නන් පමණි...
    මේකට ධර්මය හෝ බෞද්ධ සාහිත්‍යය හෝ මීවනපලානේ හාමුදුරුවන්ගේ සමාධිය හෝ ගාගන්න අවශ්‍ය නෑ..මෙතන තියෙන්නෙ පුරාවිද්‍යාවට අදාල කතාවක්..මීවනපලානේ හාමුදුරුවො අපට දුන්නෙ හොද ඔත්තුවක් විතරයි..
    අපට කරන්න තියෙන්නෙ කාරණා දෙකයි..ඉන්දියාවේ සහ ලංකාවේ ඉතිහාසය ගැබුරින් ගවේශණය කිරීම සහ බෞද්ධ ඉතිහාසය සමග ගැලපීම..
    හොයල බලන්න..රිටිගල, රජගල වගේ ස්ථාන, ඉන්ද්‍රසාල ගුහාව වගේ තැන් ගැන... අපි මොනවද දන්නෙ..කවුද මේවා හැදුවෙ..මොකටද මේවා හැදුවෙ..එතකොට ගොඩක් ප්‍රශ්ණවලට උත්තර ලැබෙයි...:)
    කලබල වෙන්න එපා..කාලයත් සමග ඇත්ත එළියට ඒවි...එතකන් අළුත් යමක් අදුන ගන්න.. ඉගෙන ගන්න..ට්‍රයි කරමු...
    මේක පුරාවිද්‍යාවට අදාල භෞතික දෙයක් මිස ධර්මයට අදාල ලෝකෝත්තර දෙයක් නෙවෙයි...

    ReplyDelete
  5. "බුදුන් උපන් දේශය යන අර්ථය ඇතිව ජම්බුද්වීපය යනුවෙන් එදා බුද්ධ කාලයේ දී දේව හෙළයට භාවිතා කළ නාමය, පසුව මේ රටේ ම විසූ ගත්කතුවරු හා අර්ථ කථා ලියු අය ඉන්දියාවට භාවිතා කළ නමකැයි අනුමානයෙන් සිතා ක්‍රියා කළහ. එය පොත්පත් වල ද ලියූහ. ජන්බුද්වීපය යන නාමය පිලිබදව මුල් බැසගත් මේ වැරදි මතය වෙනස් කර මේ පිලිබදව සත්ය නිවැරදි ලෙසින් ලෝකයාට හෙලිකර දෙන්නට දැන් කාලය පැමිණ තිබේ. මේ පිලිබදව එදා මෙදාතුර කාලය තුළ බොහෝ අය යම් යම් උත්සාහ දැරුවද එය පිලිබදව සත්‍ය හෙලි කරන්නට ඔවුහු අපොහොසත් වූහ. මෙයට මූලික ම හේතුව බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක් ම යැයි තවමත් බොහෝ අය දැඩිව විශ්වාස කිරීම යි. බුද්ධ ධර්මය නොදැනීම යි."

    "ජන්බුද්වීපය නමින් එදා ප්‍රචලිතව පැවති බුද්ධෝත්පත්තිය සිදු වූ මෙම දේව හෙළයේ එදා ප්‍රධාන ජනපද දහසයක් ම විය. මෙම ජනපද බොහොමයකමත් අශෝක රාජ්‍ය යුගය වන විටත් පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රියාත්මකව පැවතිණි. මහ රහතුන් වහන්සේලා මෙන් ම මඟපල ලාභීහුද වැඩ සිටියහ. පිරිසිදු බුද්ධ ධර්මය අනුගමනය කිරීම නිසාම, එහි ප්‍රතිඵලයක් ලෙසින් ම, හෙළ රජදරුවන් පවා මහණ වී යුද්ධ කිරීම අතහැර දමා, රජසැප හැර දමා, යෑම නිසා ක්‍රමානුකූලව රාජ්‍ය බලයද ගිලිහී හීනවී ගියේය. රාජ පරම්පරාවෝ ද අභාවයට ම ගියහ. අනුරාධපුරයේ පිහිටුවා ගත් අලුත් රාජ්‍යයට මේ සමගම රටේ බොහෝ ප්‍රදේශ ද යටත් විය. දුටුගැමුණු රජු කලකට පසුව දේවහෙළයේ රාජධානියකින් බිහි වූ එමෙන් ම අනුරපුර රාජ්‍යයද යටපත් කරගත් හෙළදිව එක්සේසත් කළ පළමුවන රජතුමා බවට පත් විය. අප දන්නා හෙළ ඉතිහාසයේ සිව් හෙළය ම එක් සේසත් කළ පළමු රජතුමා රුහුණෙන් පැමිණි දුටුගැමුණු මහරජතුමා ය."

    ReplyDelete
  6. එදා ඉන්දියාවේ අශෝක රජතුමා ව්සින් ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය සහ ඊට වර්ෂ 300 කට පමණ පෙර කාලයකදී මේ හෙළදිව ජන්බුද්වීපයේ මුල් බුද්ධ රාජ්‍යය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල පදනම් ද අදටත් ඉතිරිව ඇත. මේ නටබුන් සන්සන්දනය කර බලන කෙනෙකුට පහත සදහන් වෙනස්කම් ද දැක බලාගත හැකි ය. සත්‍යවබෝදයට මේවා බෙහෙවින් ම උපකාර කරගත හැකි ය.
    1. බුද්ධ කාලයේ හෙළදිව ජන්බුද්වීපයේ රජකම් කළ රජදරුවන්, සිටුවරුන්, ධනවතුන් ඉදිකළ විවිධ ගොඩනැගිලි වෙහෙර විහාර ආදියේ අදටත් ඉතිරිව ඇති සුවිශේෂී නටබුන් දෙස බලන විට ඒ සියලු ගොඩනැගිලිවල පදනම තනි කලුගලෙන්, පදම් කරන ලද කලුගල් පුවරුවලින් සකස් කර ඇති බව පෙනේ . ඒ සියලු ගල් පුවරු උසස් තාක්ෂණයක් යොදාගෙන සකස් කරගෙන ඇති පවත් පෙනේ. අද කළු ගල් සකස් කර ග්රෑනයිට් සාදාන්නාක් මෙන් එදා හෙළදිව වැසියන් කළුගල් පදම්කර සකස් කර ගත් බව පෙනේ. අදටත් රිටිගල, හිරිවඩුන්න, අම්පාරේ බුද්ධංගල, රජගල, නිල් ගල, තිරියාය ප්‍රදේශවල හා බලංගොඩ බුදුගල, කුරගල ප්‍රදේශවලත්, සිතුල්පව්ව, තිස්සමහාරාමය, මාලිගාවිල, කුඩුම්බිගල, මුහුදු මහ විහාරය මෙන් ම විශේෂයෙන් ම සේරුවිලට දකුණෙන් ඇති කොට්ටියාරම් නුවරත්, කටාරම් පුරයේත් එදා ඉදිකල කළුගල් පුවරු හා ගොඩනැගිලිවල පදනම් අදටත් ඉතිරිව ඇති නිසා මේ කළුගල් තාක්ෂණය දියුණුව පැවති ආකාරය සිතාගත හැකි ය. නමුත් ඉන්දියාවේදී අශෝක මහරජ විසින් ගොඩනැගූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගොඩනැගීමේදී භාවිතා කර ඇත්තේ ගඩොල් ය. අනුරාධපුර යුගයට පෙර බුද්ධ කාලයේ දී හෙළදිව ගඩොල් භාවිතා කර නැත.
    2. අශෝක මහ රජු විසින් එදා ඉන්දියාවේ ඉදිකළ බොහෝ ගොඩනැගිලිවල අදටත් ඉතිරිව ඇති නටඹුන් සියල්ල ම ගැන සලකන විට ඒවාගේ හින්දු සංස්කෘතියට, හින්දු ගෘහහනිර්මාණ ශිල්පයට හෝ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ලක්ශණයන් හා ඒවාගේ බලපෑම් ඇති බව පැහැදිලිවම දකින්නට ඇත. නමුත් එදා හෙළ දිව බුද්ධ කාලයේ ඉදිකරන ලද සියලු ම ගොඩනැගිලි පදනම්වල දක්නට ඇත්තේ අපට ම ආවේනික වූ, ලොව වෙනත් තැනක දක්නට නැති ශිල්ප ක්‍රම හා ලක්ෂණයන් ය. මේ බව රිටිගල පුරාවිද්යා නටඹුන්වලින් පමනක් ම වුවත් දැකගත හැකි ය. අද රිටිගල යැයි අප හදුන්වන්නේ එදා සුදන්ත (අණේපිඬු) සිටුතුමා තම ධනය වැය කර ඉදිකරන ලද දෙව්රම්වෙහෙරේ නටඹුන් ය. එය ගෞතම බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩසිටී ජේතවනාරාමය යි. මේ අනුව ම එදා ජන්බුද්වීපය යැයි විරුදාවලිය ලැබූ, දේව හෙළයට අයත්ව තිබු සොලොස් මහ ජනපදවලම රජ කළ රජදරුවන් හා මහ ධන සිටුවරුන් බුද්ධ ප්‍රමුඛ මහා සන්ඝයාට පූජා කළ වෙහෙර විහාර කිසිවක් ගඩොලින් සෑදු ඒවා නොවේ. හින්දු හෝ ග්‍රීක සංස්කෘතියක ලක්ෂණවලින් යුතු ඒවා ද නොවේ. නමුත් පසු කලෙක අනුරාධපුර යුගයේ හෝ ඊට පසුව හෝ ඉදිකළ ගොඩනැගිලි වෙහෙර විහාර බොහොමයක් ගඩොල් භාවිතයෙන් ඉදිකළ හින්දු හා ග්‍රීක ගෘහනිර්මාන ශිල්පිය බලපෑම් සහිත වු ඉදිකිරීම් ය. ඒ ඉන්දීය බලපෑම්වලට පසු යුගයයි.
    3. පිළිම නෙළීම, පිළිම වන්දනාව හෝ පිළිම තැනීම එදා බුද්ධ යුගයේ මුල් හෙළදිව ජන්බුද්වීපයේ දකින්නට නොතිබිණි. පිළිම නෙළීම හා පිළිම වන්දනාව භාවිතයට පැමිණියේ ග්‍රීක බලපෑමක් අනුව ය. අනුරාධපුර යුගයේද පසුව ඉන්දීය බලපෑම් මත පිළිම නෙළීම, පුදසුන් සකස් කිරීම, ලංකාවේ ද ආරම්භ කළේ ඉන්දියා වෙන් ලංකාවට පැමිණි කුල දහඅටක ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. පවිත්‍ර බුද්ධ ධර්මයේ මේවා කිසිවක්ම නොවීය. බුද්ධාගමේ, බෞද්ධ සංස්කෘතියේ මේවා සියල්ල අඩංගු ය. එදා හෙළදිව වැසියන් වන්දනාමාන පැවැත්වුයේ බුදු සිරි පතුලට හා ඇසතු බෝධියටය.
    4. එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද කළුගල් පදම් කර සකස් කරගත් විශ්මිත තාක්ශණය පිළිබදව ද මෙහි සටහනක් තැබිය යුතු ය. මෙය ඉතාමත් ම දියුණු තාක්ශණයකි. ගල් වඩුවන් විසින් ගල් කඩා, ගල් කොටා සකස් කර, ගල් පුවරු සකස් කරගත් ක්රමයක් මෙහි නැත. විශේෂයෙන් ම මෙම ගල් පුවරු භාවිතා කළේ ආගමික ගොඩනැගිලි නැනීමේදී ම පමණක් බව ද දකින්නට ඇත. මෙසේ කළුගල් පදම් කර සකස් කර ගන්නට එදා භාවිතා කළේ කැළයෙන් ම සපයා ගත් කැලෑ කොළ තුන් වර්ගයක් යම් පදමකට කොටා මිරිකා සකස් කරගත් දියරයකට තවත් කැළයෙන් ම සොයාගත් ගෙඩි වර්ගයක යුෂ ද මිශ්‍ර කිරීමෙනි. මෙම මිශ්‍රණය යොදාගෙන කළුගල් සියුම් ආකාරයට පැලීමටත් කිරිමැටි මෙන් කළුගල් මෙලක් කර කැමති ආකෘතියට ගල් සකස් කර, කැමති හැඩයකින් ගල් පුවරු ලබා ගන්නටත් හැකි වු උසස් ක්‍රමවේදයක් එදා හෙළදිව තිබිණි. ඉන්දියාවේ සෘෂිවරු පවා මෙම උසස් ක්‍රමවේදයක් එදා ඉන්දියාවේ සෘශිවරුන් පවා මෙම උසස් ක්‍රමවේදය එදා දැන සිටියේ නැති බව මෙහිදී පැවසිය යුතුය.//

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ඔයාගේ ආගමේ ආදිකතෘන් වන ජේසු තුමා ගැන එහෙම කෙනෙක් හිටියද කියලා හොයන්න ...එහෙමත් නැත්තම් අර ජැක්සොන් තේවත්ත පල්ලියේ හදන විලිලජ්ජා නැති බේගල් ඉතිහාසය හොයන්න ...සැබෑ බෞද්ධයෝ බුදුන් උපන් දේශය කොහෙද කියලා දන්නවා ඒක ඔයා වගේ පන්චස්කන්දයකින් අහ ගන්න අවශ්‍ය නෑ...අන්තර්ජාලය සහ ලිවීමේ නිදහසත් ලංකාවේ ඕනෑම කෙනෙකුට තියෙනවා ...එත් එකෙන් ගොන් ආතල් ගන්න එපා

    ReplyDelete
  9. මීවනපලානේ හිමියන් සේම වහරක අභයරත්නාලංකාර හිමියන්ද බුදුන් වහන්සේ උපන්නේ ලංකාවේ බව පවසයි. දැනගත්තේ සමාපත්ති බලයෙන් බවත් දෙදෙනාම පවසයි. නමුත් කරණු පරස්පරයි.

    උදා: බුදු වූ ස්ථානය - මීවනපලානේ හිමි = හිරිවඩුන්න, වහරක හිමි = අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය

    සමාපත්ති බලයෙන් නිවැරදි දේ දැන ගත්තා නම් ස්ථාන වෙනස් උනේ කොහොමද?

    අප විශ්වාස කල යුත්තේ කවුරුද?

    ReplyDelete